Wednesday, May 11, 2011

කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී සැබෑ වනාන්තර මැදින් ගොස් හමුවන සුන්දර ප්‍රදේශයක් පිළිබඳවයි..................

මාර්ගය දෙපසම කොන්ක්‍රීට් ගොඩනැඟිලි වලින් පිරි ප්‍රදේශයකින්, උදේ පාන්දරින් ගමන් ඇරඹූ අපි පැය ගණනාවක ගමනකින් පසු මාර්ගය දෙපසම ගස්කොළන් වලින් පිරිපුන් ප්‍රදේශයකට පැමිණියෙමු. කොන්ක්‍රීට් වනාන්තර පසුකර සැබෑ වනාන්තර මැදින් ගමන් කරන විට හිතට මෙන්ම ගතටද සුවපහසු හැඟීම් නිතැතින්ම දැනෙන්නට විය. මා මේ ප්‍රදේශ පසුකරන්නේ වසර 9කට හෝ 10කට පසුවය. එදා අප පණ බයේ ගමන් ගත් දහඅට වංගුව අද එහි නොවීය. එය පුළුල් පාරක් බවට පත් වෙමින් පවතී. බොහෝ කම්කරුවන් යුහුසුළුව වැඩ වල නිරත වී සිටිනු අපි දුටුවෙමු. දහඅට වංගුවද බැස වල් අලි ගැවසෙන කැළෑ පසුකරමින් තවත් බොහෝ දුරක් ගමන් කර සවස් යාමය වන විට අපි අදාල ගම්මානය වෙත පැමිණියෙමු.

මේ මගේ කැමරාවට හසුවූ වල් අලි කිහිප දෙනෙකි.



අප පවුලේ සැම හා තවත් අසල්වැසියන් පිරිසක් සමඟ අප මේ පැමිණියේ මගේ මව කුඩාකල හැදී වැඩුනු ගමටය. මේ ගම්මානය කොළඹ සිට කෙලෝමීටර් 250කටත් වඩා දුරින් පිහිටියා වූ ගම්මානයකි. ඉතින් කොළඹ ඉපිද කොළඹම හැදී වැඩුනු මා මේ කියන්නට සැරසෙන්නේ මා දුටු ඒ ගම්මානයේ අසිරියයි.

මේ ප්‍රදේශයේ නගරබඳව තට්ටු නිවාසයක් දෙකක් දැක ගත හැකි වුවද ගම්මානවල නම් එකදු තට්ටු නිවාසයක්වත් මා දුටුවේ නැත. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව වූ ගම් වැසියන්ට තට්ටු නිවාස සෑදීමට තරම් තට්ටු ගැසූ සිහින නොමැති විය හැකිය. ගම්මාන වල සිට ළඟම පිහිටි ප්‍රධාන නගරයට යනතෙක් වූ ප්‍රධාන මාර්ගය තාර දැමා තිබුණද බොහෝ තැන් වලවල් සහිතය. ගම්මානය තුලට වන්නට බොහෝ පාවරවල් දිස්වන්නේ මේ අයුරිනි.




එම පළාතේ ගැහැණු පිරිමි කියා වෙනසක් නැත දෙගොල්ලන්ම හරි හරියට කුඹුරේ හේනේ වැඩ කරයි. කොළඹ පළාතේ සිටින කෙසඟ සිරිරු හෙබි ළාමක යුවතියන් දැක පුරුදු මම උදැල්ලක් කරේ තබාගෙන ගමන් කරන යුවතියන් දෙස බැලුවේ පුදුමයෙනි. කොළඹ සිටින බොහෝ තරුණියන් උදැල්ලකින් හේනක් කුඹුරක් කොටනවා තබා උදැල්ලක් අල්ලා තිබේද යන්න සැක සහිතය. මා මේ පවසනා ගමේදී මා දුටු එවන් වූ දිරිය තරුණියන් දෙදෙනෙකි මේ.




අතලොස්සක් වූ දිග කලිසම් ඇඳි තරුණියන් ආසන්නම නගරයේදී දැකගත හැකි වුවද ගම්මානවලදී නම් එවන් තරුණියන් නොදැකිය හැකි තරම්ය. මා මෙහිදී පවසන්නේ අප කොළඹදී දකින, කිටි කිටියේ හිරට පස්සා පැත්තෙන් භාගයක් පෙනෙන්නට තරම් පහලින් සමහර කෙල්ලන් ඇඳගෙන යන ඩෙනිම් කලිසම් ගැන නොව සාමාන්‍ය කලිසම් පිළිබඳවය. අනෙක් සෑම තරුණියක්ම පාහේ පුංචි මල් වැටුනු දණහිස තෙක් දිග ගවුම් අඳී. මෙම තරුණියන් දුටු විට, පළල් කර සහිත බ්ලවුස්, බුරිය පෙනන්ට ටී ෂර්ට්, අඩියක්වත් දිග නැති සායවල් ඇඳගෙන යන කෙල්ලන් දුටු විට පහල වන සිතිවිලි නම් කිසි විටෙකත් පහල නොවන්නේය.

ගම්මානය මැදින් ගලා යන ඇළය. ගම්මානයේ සියළුම දෙනා තම දවසේ වැඩ රාජකාරි නිමවා සවසට ඇළෙන් ස්නානය කරයි. ගමේ සියළුම දෙනා පාහේ හොඳ පිහිනුම් කරුවන්ය. තවද ගම්මාන කිහිපයක් පුරාවට විහිදි සුන්දර වැවය. මේ තිබෙන්නේ එම වැවයි.
වැව අසල පදිංචි කුඩා දරුවන් පවා පිහිනීමේ අති දක්ෂයන්ය. අප සැම වැවේ ස්නානය කරමින් සිටිනවිට එතැනට පැමිණි වයස අවුරුදු 11ක පමණ කුඩා දරුවෙකු පිහිනන අයුරු දුටු අපි මවිතයට පත්වීමු. ඔවුන්ව පිහිණුම් ක්‍රීඩාවට යොමුකළ හැකිනම් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් බොහෝ කුසලාන හිමිවනු නොඅනුමානය. නමුත් මේ ගම්මානයේ ඔවුන්ව පිහිණුම් ක්‍රීඩාවට යොමුකරනු තබා ආසන්න නගරයක ඇති පාසලකවත් පිහිනුම් තටාකයක් තිබේද යන්න සැක සහිතය. 
මේ මා ඉහත පැවසූ කුඩා දරුවා රැඟුම් දක්වමින් ජලයේ පිහිනූ ආකාරයයි.




තවද කොළඹ වෙසෙන බොහෝ දෙනා දෙහිවල සත්වෝද්‍යානයට ගොස් නරඹන කූඩු කරසිටින සතුන් බොහෝමයක් මේ ගම්මානයේ නිදැල්ලේ සැරිසරයි. එමෙන්ම් කොළඹ අවට ප්‍රදේශවල ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන සමහර සතුන් එම ගම්මානයේදී සාමාන්‍ය දසුනක්ය. මේ එවන් සතුන් දෙදෙනෙකි.



මෙම ගම්මානයේ හා අප වෙසෙනා නාගරික පරිසරයේ ඇති වෙනස්කම් බොහෝය. සහලින් ස්වයංපෝෂිත් එම ප්‍රදේශයේ මිනිසුන් පාන් ආහාරයට නොගන්නා තරම්ය. අපි නැවතී සිටි ප්‍රදේශයේ පාන් විකිනීමට ඇත්තේ සවස් වරුවේ පමණකි. උදෑසන ආහාරයට පාන් අවශ්‍යනම් කලින් දා ඇඳිරි වැටීමට ප්‍රථම පාන් ගෙඩියක් මිලදී ගත යුතුය. තවද උපන් දා පටන් එම ප්‍රදේශයේ වෙසෙන මගේ ලොකු අම්මා පවසන පරිදි ඔවුන් මතක ඇති දිනෙක දෙහි මිලදීගෙන නැත. තවත් මුදලට නොගන්නා එවන් දෑ බොහෝය.

එමෙන්ම එම ප්‍රදේශයේ තරුණයන් "සාමාන්‍යයෙන් කොණ්ඩය වවන්නේ නැත" යන්න මට සිතුණු සිතුවිල්ලකි. මන්ද යත් තරමක් කොණ්ඩය වැවී සිටි මාගෙන් බොහෝ දෙනෙක් "මොකද මේ කොණ්ඩේ වවාගෙන" යැයි විමසූ බැවිණි.

විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් අප දවස් තුන හතරකට මෙවන් ගම්මානයක නැවතී එහි සුන්දරත්වය ඡායාරූප මඟින් මෙන්ම වචනයෙන් මෙලෙස ලියුවාට, උපන්දා පටන් වසර ගණනාවක් තිස්සේ එහි  වෙසෙන පුද්ගලයන් දවස් තුන හතරට අප නොදකින ගමේ කටුකත්වය අත්විඳිනවා ඇත. මේ ලස්සන වැව වැසි කාලයට උතුරා පිටාර ගලා ගම්මාන යට වෙනවා ඇත. වගා පාළු වෙනවා ඇත. එමෙන්ම පායන කාලයට වැව් සිඳී ජලය නොමැතිව මහත් පීඩා විඳිඅනවා ඇත. නැවතත් වගා පාළුවෙනවා ඇත. වල් අලි සිටින ඡායාරූප බලා "ෂා.... ලස්සන අලි" යැයි ඔබ කියනවා ඇත. නමුත් ඒ අලින්ම උන්ට ආහාර හිඟකාලයට ගම් වැදී මිනිසුන්ගේ නිවාස කඩා බිඳ දමනවා ඇත. වගා පාළු කරනවා ඇත. ලස්සනට පෙනෙන කැළෑ රොදවල් වලින් පැමිණෙන විෂකුරු සර්පයන් නිසා මිනිසුන්ට කරදර වෙනවා ඇත. මේ පෙනෙන සුන්දරත්වය මැද ඒ කටුකත්වයද නිසැකවම මේ ගම්මාන වල පවතිනවා ඇත.

ප.ලි : මේ ගමනේදී මට බොහොම සුවිශේෂී පුද්ගලයෙකුත් මුණ ගැහෙන්න පුළුවන් වුනා. ඒ ගැන නම් මට බොහොම සතුටුයි. 
මේ ගම මොකක්ද කියලා මේක කියවන ඔයාලාට හිතාගන්න බැරි වෙයි. මම ඊළඟට මේ ගමනේදී හමුවුනු පෞරාණික වශයෙන් බොහොම වැදගත් ඒත් එතරම් ප්‍රසිද්ධ නැති සිද්ධස්ථාන දෙකක් පිළිබඳව ලිපියක් ලියනවා. අන්න එතකොට ඔයාලා හිතාගන්නකෝ මම මේ ලිව්වේ ඒ සිද්ධස්ථාන වලට ටිකක් ආසන්නයෙන් පිහිටි ගමක් ගැන කියලා.

Wednesday, May 4, 2011

ආයේ බොන්නේ නෑ.........................


විභාගේ කාලේ 
අතරමැද නිවාඩු දවසක
බිව්ව බියර් බෝතල් දෙක
විනාස කළා මුළු දවසක්ම
පාඩම් කරන්නට තිබූ
ඊළඟ විෂයට
ආයේනම් 
කටේ තියන්නේ නෑ
ඔය ජරාව
..........................
......................
...................
...............
..........
.....
...
..
.
විභාගේ ඉවර වෙනකම්!
Related Posts Plugin for WordPress, Blogger...