Thursday, October 18, 2012

ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය...



"ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"

මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ඕනෑ විදිහට ය. උන් මහත් පරිශ්‍රමයකින් සමාජ සම්මතයන් තමන්ගේ ජීවිත තුලට ඔබ්බවාගෙන දුක් විඳියි. තම ආශාවන් විඳිම් යටපත් කර දමයි. විටෙක මට උන් ගැන කණගාටුය. උන්ගේ බියගුලු කම් ගැන තරහා ය. 

"මගේ අත් ගොරෝසු ඔයාගේ අත් සිනිඳු නිසා"

"ඒ උනාට මේ වගේ අත් තියෙන්නේ කොල්ලන්ට"

"කොල්ලෝ ගොඩකගේ අත් අල්ලලා තියෙනවා වගෙයි?"

"නෑ දෙන්නෙක්ගේ විතරයි"

"ඉතිං ඇයි ඒ අත් අතෑරියේ?"
ඈ ඇඳට මදක් ඔබ්බෙන් වූ ජනේලයෙන් පිටත බලා ගත්තාය. මොහොතක් නිහඩව සිටි ඈ නැවත් මදෙසට හැරුණාය.


"ඒ අත් වලින් මට කිසිම හැඟීමක් දැනුනේ නෑ, මේ අත් වලින් වගේ"
මගේ අත ඈ ලයට තුරුලු කර ගත්තාය.


ඈ මෙන්ම මාද එක් වරක් එවන් වූ හැඟීම් විරහිත බැඳීමකින් පීඩා විඳ ඇත්තෙමි. මිතුරු මිතුරියන්ගේ බල කිරීමට ජීවිතේ පළමු වතාවට ඇති කර ගත් ඒ බැඳීම සිහි කිරීම පවා මට අපුලකි. ඔහු හා දෑත් පටලා ඇවිදීම මට මහත් කරදරයක් පමණක්ම විය. ඔහුගේ හාදු මාගේ දෙකොපුල්, දෙතොල් කිලිටි කරන බව හැරෙන්නට වෙන කිසිදු හැඟීමක් මා හට ගෙන නොදීය. ආදරය යැයි කියාගෙන ඔහු කළ කී දෑ මට මහත් හිසරදයක් පමණක්ම වූ තැන මම ඒ බැඳිම නවතා දැමීමට තීරණය කළෙමි. යලිත් කිසිම දිනෙක එවන් වූ බැඳීම් ඇති නොකර ගැනීමට එදා මා තදින්ම සිතට ගතිමි.

මා එවන් වූ හැඟීම් විරහිත බැඳිමකින් පීඩා වින්දේ එක් වරක් පමණකි. නමුත් මෑ දෙවරක්ම එවන් වූ බැඳීම් වලින් පීඩා විද ඇත. මට ඈ ගැණ කණගාටුවක් ඇති විණි. ඈ තවමත් මා අත තුරුළු කරගෙනය. මම අනෙක් අතින් ඇගේ හිස පිරිමදින්නට ගතිමි. මගේ අතැඟිලි අතරින් බේරෙන ඇගේ සිනිඳු කෙස් ඇති කරනා හැඟීමට මම ආසා කරමි.

"ඔයාලගේ ගෙදරින් වගේම අපේ ගෙදරිනුත් බඳින්න කෙනෙක් හොයන්න පටං අරං"
ඇගේ හඩ දුක්මුසුය.

මම කිසිත් නොකියාම ඇගේ හිස පිරිමදිමි. හිතට සියුම් වේදනාවක්ද දැනෙයි. මෙය මා බලාපොරොත්තු වූවකි. මසක පමණ සිට මා නිවැසියන්ද පුවත්පත් වල මංගල යෝජනා තීරු පිරික්සන්නට පටන් ගෙන ඇත. මගේ සිතුවිලි වේගයෙන් එහා මෙහා යයි. සංස්කෘතිය.......... සමාජය........... සභ්‍යත්වය........ ලබ්බ! සියල්ලක්ම පිළිබඳව මට ඇති වන්නේ වෛරයකි. වෛරය........... මගේ ආශාවන් මගෙන් උදුර ගන්නා වූ සංස්කෘතියට ඇති වෛරය, මගේ බලාපොරොත්තු මගෙන් උදුර ගන්නා වූ සමාජයට ඇති වෛරය.... සියළු වෛරයන් එක් වී අවසානයේ මේ රට පිළිබඳව ඇති වන්නා වූ වෛරය හමුවේ මම දත් මිටි කමි.

අත් වැල් පටලන් යන පෙම්වතුන් පිළිබඳව විටෙක ඇති වන්නේ ඊර්ෂ්‍යයා සහගත හැඟීමකි. ඔවුන්ට ඇති ඒ නිදහස තබා, අසම්මත පෙම්වතුන් යන කිළිටි ලේබලයකුදු අපට හිමි නැත. ඉතින් එවන් වූ සමාජයක්, රටක් ගැන මගෙ හිතේ ඇති වන වෛරය අතිශය සාධාරණය. ලොව ජීවත්වන සියළුම සත්වයින් ආත්මාර්ථකාමීය. නමුත් මනසින් උසස් යැයි කියා ගන්නා මනු සතා අනෙක් සියළුම සත්වයින්ට වඩා ආත්මාර්ථකාමී කුහක සත්වයෙකි. ඌ බහුතරයකගේ කැමැත්ත, ආශාව වර්ණනා කරන අතර සුළුතරයකගේ කැමැත්ත, ආශාව විවෙචනය කරයි. 

සිතේ නොසන්සුන් ගතිය මා සිතුවිලි අතර අතරමං කරවයි. එය ගැටළුවට විසඳුමක් වෙනුවට මා සිත අවුලෙන් අවුලට පත් කරයි. මම ඇඳෙන් නැඟිට ජනේලය අසලට ගොස් දුම් වැටියක් දල්වා ගතිමි. කඩයකට ගොස් සිගරට්ටුවක් මිලට ගැනීමේදී පවා මේ සමාජයේ අසාධාරණත්වය මොනවට පෙන්නුම් කරන්නකි.

දුම් උගුරු කීපයක් යනු හිතට යම් අස්වැසිල්ලකි. ජනේලයට ඔබ්බෙන් පෙනෙන නොනවත්වා ගමන් කරන වාහන දෙස බලාන මම දුම් වැටිය උරමි. නැවත් හැරී ඈ දෙස බැලීමි. ඇය කොට්ටයක් තුරුළු කරගෙන දෙනෙත් පියාගෙන සිටියි. සිගරට් නොබොන ඈ දෙස බලාගෙනම අවසාන දුම් උගුරද ගිලගත් මා ෆිල්ටර් කොටය ජනේලයෙන් පිටතට වීසි කළෙමි.

"අපි බඳිමු"
මම පැහැදිලි හඩින් කීමි.

"අපි?"
දෙනෙත් හැරි ඈ, සාමාන්‍ය පමණට වඩා වටකුරු දෙනෙතින් බලාගෙන මා වෙත පිය නැඟීය. ඇගේ මුහුණ දුක සතුට විශ්මය කැටි ප්‍රශ්නාර්ථයක් මෙන් මට දිස් වෙයි.

"ඔව්! අපි බඳිමු............... අම්මලා හොයලා දෙන කාව හරි"

"එතකොට?"
ඇගේ මුහුණ අඳුරු විය.

"එතකොටත් අපි මේ වගේම හොඳම යාළුවෝ විදිහට ඉමු"

මම ඇගේ මුහුණ දෙස බැලීමි. ඇගේ හිතේ ඇතිවන හැඟීම් මුහුණෙන් කියවීමට මම කවදත් ප්‍රිය කරමි. ඒ මුහුණේ අඳුර අඩු වූ අතර දෙතොලේ පුංචි සිනා රැල්ලක් සටහන් විය. ටික වේලාවක් ඈ දෙස බලා සිටි මා ඇගේ කොපුල සිප ගතිමි. ඈ මගේ බඳ වටා අත් දමා මා ඈ වෙතට කරගත්තාය. මාද ඇයට තුරුලු වී ඇගේ ගෙල සිප ගතිමි. ඇගේ පියොයුරු වලට මගේ පියොයුරු තද වන විට දැනෙනා මේ හැඟීමට මම ආසා කරමි.


෴෴



[පින්තූරෙ - http://theaveragegirlnextdoor.files.wordpress.com/2010/09/girl_looking_out_window-28993534_std.jpg]
Related Posts Plugin for WordPress, Blogger...