Showing posts with label ආගම. Show all posts
Showing posts with label ආගම. Show all posts

Thursday, July 31, 2014

ආදරය යනු කුණුහරුපයක් වූ රටක......



අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් තමන්ට පොදු සතුරෙක් සිටින බව පසක් කරගන්නා විට සියල්ල සිදු වී හමාර ය. 

සතුරා, පෙම්වතුන්ගේ දූපත දෙස ක්‍රෝධයෙන් රත් පැහැ ගැන් වූ දෙනෙත් යොමාගෙන සිටියේ ය. ඔහු මුළු ජීවිත කාලය පුරාවටම පාහේ සතුටක් ලැබූ සාධකය වන යුද්ධය නැති වී ගොස් තිබිණි. තව දුරටත් ඔහුට සතුටු වන්නට යමක් නොතිබිණි. ඔහුට ජීවිත කාලය පුරාවටම ආදරය ලැබී තිබුණේ නැත. ඔහු ආදරය ඉගනගෙන තිබුණේ නැත. ඔහුගේ කාමරය පුරා විසිරී තිබෙන හින්දු, බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ත අතරේ ආදරය ගැන ලියවී තිබුණේ නැත. එකී පොත්පත් වල ආදරය නමින් අසමාන තාවය, මමත්වය සහ වෛරය උගන්වා තිබිණි. පෙම්වතුන් අතර හුවමාරු වන ප්‍රේමනීය හාදුවක රසය පිළිබද එකී පොත්පත් වල කිසිඳු සටහනක් නොවීය.

පෙම්වතුන්ගේ දූපතේ හුවමාරු වන හාදු දෙස බලාසිටි සතුරාට තමන් නොලැබූ දෙයක් ලබන තාරුණ්‍යය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති විය. තම කාමරයේ ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් නොවෙන යමක් සිදුකරන මිනිසුන් කෙරෙහි ක්‍රෝධයක් ඇති විය. ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය අතර අතරමං වූ සතුරා කිරි කිරි හඩින් දත්මිටි කන්නට විය. 

කාලය ගතවන්නට විය සතුරා තමාට සතුටක් ලබත හැකි කිසිවක් ගැන කල්පනා කරමින් කල් ගත කරන්නට විය. එක්තරා මොහොතක දී ක්‍රෝධයෙන් රත් පෑ ගැන් වූ දෙනෙතින් සතුරා කාමරය පුරා විසිරී ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ දෙස බලා කට කොණකින් සිනා සෙන්නට විය. 

කෙමෙන් කෙමෙන් සතුරාට සතුටු විය හැකි කාලයක් උදා වන ලකුණු පහළ වන්නට විය. සතුරාගේ කාමරය පුරා විසිරී තිබුණු දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ පිළිවෙලට අසුරා තිබුණි. එක එක ආගම සඳහා වෙන වෙනම අල්මාරි සාදා තිබිණි. අදාල ධර්ම ග්‍රන්ථ අදාල ආගමික අල්මාරියේ පමණක් තැන්පත් කර තිබිණි. අල්මාරි එකිනෙකට ලං වුව හොත් ධර්ම ග්‍රන්ථ එකිනෙකා ගැන අවබෝධයක් ලබාවි යැයි බියෙන් මෙන් සතුරා අල්මාරි හැකිතාක් එකිනෙකට දුරින් තබා තිබිණි.

වැඩි කලක් යන්නට මත්තෙන් සතුරාට යලිත් සතුටු විය හැකි කාලයක් උදා විය. ධර්ගා නගරයෙන්, අලුත්ගමින් කලු දුමාරයන් අහසට නඟින දෙස බලා සතුරා මහා හඬින් සිනා සෙන්නට විය. ඔහුගේ ගොරහැඬි හඩින් අල්මාරි වල වීදුරු දෙදරන්නට විය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් උපයාගත් ගේ දොර, යාන වාහන පිලිස්සී යන දෙස බලා සතුරා සතුටින් ඉපිලෙන්නට විය. සතුටින් ඉපිලෙන අතරම සතුරාගේ දෑස් අවිඥාණිකවම පෙම්වතුන්ගේ දූපත දෙසට යොමු විය.

සතුරාගේ සතුට ක්ෂණිකව අතුරුදන් විය. පෙම්වතුන්ගේ දූපත පුරා ආදරය ඉතිරී යමින් තිබිණි. පෙම්වතාගේ අතේ එල්ලී යන ෆර්දාවෙන් මූණ වසාගත් තරුණියක් තවත් පෙම්වතෙකුගේ අතේ එල්ලී යන ධර්ම චක්‍ර සංකේතයක් කරේ එල්ලා ගත් තරුණියක හා ලෙංගතුව සිනාසෙන අයුරු සතුරාට නෙත ගැටිනි. තවත් එවැනිම පෙම්වත් යුගල් දෙකක් එකම බංකුව බෙදාගෙන අසුන්ගෙන සිටියේ ය. සතුරා ක්‍රෝධයෙන් ගැහෙන්නට විය. සතුරාගේ සතුට නසන එකම සාධයක ආදරය බව සතුරාට එවෙලේ පසක් විය. ඉහවහා ගිය ක්‍රෝධයෙන් දැවෙමින්, ගැහෙන දෙඅතින් සතුරා තමාගේ දුරකතනය ගත්තේ ය. 1.....1..............9 ඔහුට ඇමතීමට අවශ්‍ය වූ අංකය එයයි.

පැය බාගයක් ගතවීමටත් මත්තෙන් පොලිස් රොබෝවන් පෙම්වතුන්ගේ දූපත ආක්‍රමණය කළේ ය. ඔවුන් රොබෝවරුන් බැවින් දැන සිටියේ අණ ක්‍රියාත්මක කිරීමට පමණකි. කුඩ ඉහලාගෙන සිටින සියලුම පෙම්වතුන්ට කුඩ අකුලන්නට අණ ලැබිණි. නමුත් සතුරා ඉන් සෑහීමකට පත් නොවිනි. ඔහු නැවතත් සුපුරුදු අංකයම අමතන්නට විය. ඔහුට අවැසි වූයේ පෙම්වතුන්ගේ දූපතින් ආදරය අතුගා දැමීමටයි. ඒ මොහොත වන විටත් ආදර සාධයක ඇති වන සියලුම ස්ථාන විනාශ කිරීමට සතුරා තදින් අදිටන් කරගෙන සිටියේ ය. පොලිස් රොබෝවරු යළිත් පෙම්වතුන්ගේ දූපත් ආක්‍රමණය කළේය. මෙවර පෙම්වතුන්ට තරමක් දුරින් වාඩි වී සිටීමට අණ ලැබිණි. නමුත් සතුරා සෑහීමකට පත් නොවීය.  ඔහු දිගින් දිගටම ඇමතුම් ගන්නට විය. අවසානයේ සියලුම පෙම්වතුන් දූපතින් පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කොට තිබිණි. ඉන් පසුව පෙම්වතුන් රැස්වන සෑම දිනයකම පාහේ සතුරා සුපුරුදු අංකයම අමතන්නට විය.

අවසානයේ පෙම්වතුන්ගේ දූපතින් පෙම්වතුන් සදාකාලිකව පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කළේ ය. දැන් පෙම්වතුන්ගේ දූපත යනු පෙම්වතුන් මුක්ත කලාපයකි. හිස් වූ දූපත දෙස බලන සතුරාට දැන් සියුම් සතුටක් දැනෙයි. මේ මොහොත වන විටත් සතුරා ජයගෙන සිටියි. පෙම්වතුන්ගේ දූපත ආදරය සොයන අතර රට අතරමං වී ඇත.

(මෙය මනඃකල්පිත කතාවක් නොවේ)
෴෴


පින්තූරෙ - http://www.ilovegenerator.com/large/stop-love-love-131548869878.png

Monday, February 4, 2013

මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද?


මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නටම නිදහස නැතුව යනවා.

මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන තැන. එතන සුමිත් අයියා දැන් අපිව අඳුරනවා. සුමිත් අයියගෙන් පුටුවක් ඉල්ලගෙන මම මුහුද පේන හරියෙන් වාඩි වෙලා වැඩේ පටං ගත්තා. මගේ නිදහස මගේ අත්ල මත රෝල් වෙන්න පටං ගත්තා.

මගේ ඉස්සරහා මේසේ ඉන්න සෙට් එක ශීෂා ගහන්න ලෑස්ති වෙනවා. මේ මගේ නිදහස වගේ ඒ උන්ගේ නිදහස වෙන්න ඇති. ඒත් උන් හූකඃ එකට වතුර දාලා වැඩියි. මම මගේ නිදහස විඳින ගමන්ම උන්ට උන්ගේ නිදිහස විඳ ගන්න සපෝට් එකක් දෙන එක හොඳ වැඩක්.

"මචං ඕකේ වතුර වැඩියි" මම උන්ට කිව්වා.
උන් උන්ගෙම සෙට් එකේ එක එකාට විහිළුවට බැණ බැණ වතුර අඩු කළා. උන්ට ලැජ්ජා හිතුනද දන්නෑ. මම උන්ගේ නිදහසට බාධා කළාද කියලත් හිතුණා.

මගේ නිදහස ලෑස්තියි. මම නිදහස පත්තු කළා. අරුං ශීෂා ගහන්නත් පටන් අරං. සමහර උන් ජීවිතේ පළවෙනි වතාවටද කොහෙද ශීෂා ගහලා තියෙන්නේ. මටත් මතකයි මාත් පළවෙනියටම ශීෂා ගහපු දවස. මත් වෙන්නෙත් නැති, කිසිම තේරුමක් නැති දුම් ගොඩක් මගේ ඇස් ඉස්සරහා නිදහසේ රටා මැව්වා. ශීෂා දුමයි මගේ නිදහසේ දුමයි අතරේ කිසිම වෙනසක් නෑ. ඒ දෙකම එකම තරමට නිදහස්. සීමාවක් නැතුව ඔහේ පාවෙන්න දුමට පුළුවන්. ඔහේ පාවෙන දුම් අතරින් මම දැක්කා විශේෂ දෙයක්. ඒ සෙට් එකේ එකෙක් බෙල්ලේ ධර්ම චක්‍රයක්  දාගෙන. අතේ වොඩ්කා වීදුරුවක්.

ඒත් එක්කම මට මතක් උනා එන ගමන් බස් එකේ පිටි පස්සේ සීට් එකේ හිටපු කොල්ලෝ දෙන්නා කතා උනු මාතෘකාව. හලාල්!. හිනහත් යනවා මේවා මතක් වෙනකොට. මේ ලෝකේ මිනිස්සු විසින් දෙවියන්ව මැව්වා, මිනිස්සු විසින්ම ආගම් ඇති කළා. ආයෙමෙත් මිනිසුන් විසින් මවපු දෙයියන්ට කියලා මිනිස්සුන්වම මැවෙව්වා. ඒකම මාරම විකාර වැඩක්. ආගම් හදාගත්තු මිනිස්සු ඒ ආගම කියන කූඩුව ඇතුලේ හිර වෙච්චි රිලා මොටෙක් වගේ වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ රිලව් තමන්ගේ කූඩුවට වෙලා පාඩුවේ නොඉඳ අනික් කූඩු වල ඉන්න රිලවුන්ට විරිත්තන්නත් පටන් අරං. අනික් කූඩු වල ඉන්න උන්ට කූඩු වෙලාවත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. ආගම කියන කූඩුවේම මිනිසාගේ හිතීමේ නිදහසත් කූඩු වෙලා නේද?.

සුද්දා අපිව හිර කරගෙන හිටියා. පස්සේ ඌටම එපා වෙලා අපිව නිදහස් කළා. ඌ, අපිව නිදහස් කරපු වෙලේ ඉඳන් අපි හැසිරිලා තියෙන්නේ පිස්සු බල්ලෙක්ව කූඩුවෙන් නිදහස් කළා වගේ නේද කියලා අතීත, වර්තමාන සිද්ධි දිහා බලනකොට හිතෙනවා. අතීතයේ ඉදන් තාමත් දේශපාලකයෝ තමන්ට අහුවෙන අහුවෙන දේ විනාස කරගෙන කරගෙන යන්නේ පුදුම නිදහසකින්. ඔවුන්ගේ නිදහසට බාධා කරන්න සමතෙක් අපේ රටේ නෑ. මිනිස්සු හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව. එහෙම ඉන්න ගමනුත් මේ මිනිස්සු තමන් හිර වෙලා ඉන්න කූඩුවේ තියෙන පුංචිම නිදහසත් නැති කරගන්න හදනවා ආගමයි, ජාතියයි තව මොන මොනවදෝ ටිකකුයි පටලවගෙන. ඒක හරිම විකාරයක්. ඇත්තටම මේ වගේ මිනිස්සුන්ව සුද්දට එපා උනු එක ආයේ පුදුමයකුත් නෙමෙයි. තමන්ගේ නිදහස තමන් විසින්ම නැති කරගන්න උත්සහ කරන මිනිස්සුම ආයේ තමන්ගේ නිදහනුන්ගෙන් ඉල්ලලා කෑ ගහනවා. ඒකත් පුදුම හිතෙන විකාර වැඩක්.

මම දල්වපු නිදහස නිවිලා ගියා. නිදහස දැල්වෙනකම්ම මගේ සිතුවිලිත් නිදහසේ පාවෙලා ගියා. මගේ හිතට පුදුම නිදහසක් දැනෙනවා. දැන් මට දැනෙනවා මමත් නිදහස් වේගෙන යනවා............ ගුරුත්වයෙන්!








[පින්තූරෙ - http://24.media.tumblr.com/tumblr_l3utughdRr1qahlbyo1_500.png ]

Thursday, September 13, 2012

සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි!


මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! 

පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි  නොයන තැනට වැඩේ සිද්ධ උනා.  පෙරේදා හවස ධාතු බලන්න ගිය කට්ටිය ආවේ ඊයේ හවස තුනට. ධාතු බලාගන්නත් බැරි උනාලු. එතකොට මේ දවස් ටිකේ ඔය ධාතු පෙන්නපු හරියෙන් වැඩ ඇරිලා යන කට්ටිය පට්ට දුකක් වින්දලු. මට මේ ධාතු පස්සේ මිනිස්සු යන දැක්කාම හිතෙන්නේ ඇත්තටම මේ අය මොකක්ද මේ කරන්නේ කියලා! 

මේ දවස් ටිකේම සැරෙන් සැරේට ටීවී චැනල් වලත් පෙන්නුවේ ඔය ධාතු ටිකමනේ. මං බලාහෙන ආච්චිලා සීයලාට කැමරාව අල්ලලා අදහස් අහනවා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" කියලා. මුලින්ම ඒක ඇහුවාම මට බකස් ගාලා හිනා ගියා. තව තව අය ඒ කතාවම කියනවා ඇහුවාම මම පට්ට අප්සට් ගියා. වැරදිලාවත් ඒ අයට ඇත්තටම බුදු හාමුදුරුවන්ව මුණගැහුනොත් අනිවාර්යයෙන් කියාවි "අනේ යන්න මෙයා යන්න ඔයා එනවා අපිට කොලොප්පම් කරන්න" කියලා. 

සහෝදර මුස්ලිම් බ්ලොග් ලියන්නෙක් අපි කට්ටියක්ගෙන් ඇහුවා "මොකක්ද මචං ඇත්තට ඔය සර්වඥ ධාතූන් කියන්නේ" කියලා. ඒකට තවත් සහෝදර බ්ලොග් ලියන්නෙක් දීපු උත්තරෙන් කොටසක් තමයි මේ. "ධාතු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙ නොදැවුනු කොටස්. හැගීම් දැනීම් තියෙන්න විදියක් නැහැ. ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැහැ. නමුත් ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරිර කොටස් නිසා එතුමන්ගේ ගුණයන් සිහිකරන්න මිනිස්සු අදටත් ඒවාට වැඳුම් පිදුම් කරනවා."  

දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සර්වඥ ධාතූන් බලන්න ගිය මහා ජනකායෙන් කී දෙනෙක් අපේ සහෝදර බ්ලොග් කරුවා පැහැදිලි කරලා තියෙනවා වගේ, ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැති බව දැනගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරීර කොටස් නිසා එතුමාගේ ගුණ සිහිකරන අදහසින් පමණක් ඔතනට ගියාද කියලා. මම නං හිතන්නේ නෑ ඒ ගිය පිරිසෙන් 2%ක් වත් එහෙම හිතාගෙන යන්න ඇති කියලා. මොකද එතැනට ගිය අය කියනවා ඇහුනේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් ගැන! ඇත්තටම ආගම කියලා මිනිස්සු මේ මොනවද කරන්නේ?

ඊළඟට මහා වීරයෝ සෙට් එකක් බිලි පූජාවක් කරන එක කල් දාගත්තලු. කකුල් හතරේ සත්තු සෙට් එකක් බේරගත්තයි කියලා සමහරු කතා වෙන්නේ රෑ සෙට් වෙලා තටු ගැහුවත් පියාඹගන්න බැරි කුරුල්ලෙක්ගේ කටු සූප්පු කර කර! 

බිලි පූජාව කියන්නේ හින්දු ආගමිකයින්ගේ යම් විශ්වාසයක් නිසා කරන දෙයක්. හරියට අපේ බෞද්ධයෝ ලෙඩකදි දුකකදි බෝධි පූජා තියෙන්වා වගේ! ඔන්න දැන් වැරදියට තේරුම් ගන්න එපා. මං මේ කතා කරන්නේ එක එක ආගම් අදහන අයගේ විශ්වාස ගැන මිසක් සත්තු මැරීම පව්ද පින්ද කියන එක ගැන නෙමෙයි!  බෝධි පූජාව කියන්නේ ගහකට වැඳිමක්, ඒක හෙන ගෝත්‍රික හැසිරීමක් ඒක තහනම් කරන්නැයි කියලා වෙන ආගමක සෙට් එකක් අධිකරණයකට ගියොත් අපේ බෞද්ධ උපාසක ඇත්තන්ට කොයි වගේ සිතුවිලි පහල වෙයිද? ඒ හා සමානම සිතුවිලි හින්දු ආගමිකයින්ට මේ වෙනකොට ඇති වෙලා නොතිබ්බොත් තමයි පුදුමේ!

කොහොමහරි පහුගිය දවසක අධිකරණෙන් කියලා තිබ්බා බිලි පූජාව නවත්වන්න නියෝග දෙන්න අධිකරණෙට බලයක් නැහැයි කියලා. මටනම් සතුටුයි. බෞද්ධයින්ටත් විශ්වාස ඇදහීම් තියෙනවානම්, අනික් ආගම් වල ඒවා නැති කරන්නැයි කියලා පෙළපාලි යන එක පිස්සුවක්! ඒකත් හරියට නිකං "ඔයා ඔහොම කමෙන්ට් කරනකොට කැතයි. අපි ඕකම මෙහෙම කියනවා. ඒවා ලස්සනයි" කියනවා වගේ! කෝකත් එකයි නම් ඇයි එකකට එහෙම කියන්නේ?

මේ කාටවත් යමක් තේරුම් කරන්නවත්, කාගෙවත් ඔළුවට යමක් බලෙන් දාන්නවත් ලියපු ලියවිල්ලක් නෙමෙයි. මගේ ඔළුවේ කැකෑරි කැකෑරි තිබ්බ වචන ටිකක් විතරයි! කොහොම හරි මේ දේවල් මේ විදිහට දිගින් දිගටම සිද්ධ උනොත් අපිට "අනේ යුද්ධේ තිබ්බනං හොඳයි" කියලා කියන්න වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි! මොකද යුද්ධයකට වඩා ආගමික උමතුව සෑහෙන්න දරුණුයි!


ප.ලි : මේ ලිපියටම දේශපාලනේ ගැනත් යමක් ලියන්න උවමනාව තිබ්බත් මට ඒ ගැන කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මොකද කෑගහගෙන, කුණුහරුප කියාගෙන, ගහගෙන, මරාගෙන, අපහාස කරගෙන මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ බලයට එන්න හදන්නේ අපේ රට සෞභාග්‍යමත් කරලා අපි වගේ සාමාන්‍ය ජනතාවට යහපතක් කරන්නනේ කියලා මතක් වෙනකොට මගේ පපුව රිදෙන්න ගන්නවා!


[ පිතූරෙ - http://www.rudyh.org/rudyh-images/religion-heaven.jpg ]
Related Posts Plugin for WordPress, Blogger...