Showing posts with label යාළුවෝ. Show all posts
Showing posts with label යාළුවෝ. Show all posts

Tuesday, January 1, 2013

100, 2 සහ ඌ...


ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් ඇදගන්න සුළු ගතිය ඒකට හේතු වෙන්න ඇති. එදා ඉඳං ඌ ඒ බ්ලොග් එකේ(ඔය බ්ලොග් එක ළඟක් වෙනකම් ඔතන තිබ්බා) වැටෙන ලිපි පස්සේ පන්නන එකෙක් උනා. අන්තර්ජාලේ අකුරු කුරුටු ගාන එකත් මාර ආතල් වැඩක් කියලා හිතුනා. ටික කාලෙකින් ඌත් බ්ලොග් එකක් අටවා ගත්තා ඒ හරියටම 2009 නොවැම්බර් මාසේ. එකම එක පෝස්ට් එකකුත් දැම්මා. ඒකට ටොපියේ අයිතිකාරයත් කමෙන්ට් එකක් දැම්මා. ඒත් ඒ එක පෝස්‍ට් එකෙන්ම උගේ බ්ලොග් ලිවිල්ල නතර උනා. ඌට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුණු හන්දා. ඒත් ඌ කියවිල්ල අතෑරියේ නෑ. ඌ තව තව බ්ලොග් හොය හොයා කියවන්න ගත්තා.

කාලය ගෙවිලා ගියා. ඌ ආදර දැලේ පැටලුනා. ඒ හින්දම ඌ ආයෙත් බ්ලොග් එකක් පටං ගත්තා. අලුත් බ්ලොග් එකේ ඌ උගේ පළවෙනි පෝස්ට් එක දානවා 2010 සැප්තැම්බරේ. එදා ඉදං ඒ ආදර දැලෙන් ගැලවෙනකම්ම ඌ කවි ලිව්වා. කතා ලිව්වා. අන්න ඒ නිසයි ඌ තාමත් කියන්නේ, ආදරේ කියන්නේ ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු දෙයක් කියලා. ආදර දැලෙන් ගැලවුණු ඌට ඉතිරි උනේ වැඩකට නැති කවි කතා ටිකක් එක්ක බ්ලොග් එකක්. ඌ පරණ පෝස්ට් ගලවලා දාන්නත් කල්පනා කළා. අතීතයේ අසුන්දර සිද්ධිවල මතකයන් සුන්දරයි. ඌ පරණ පෝස්ට් නොගලවන්න තීරණය කළා.

ඌ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි සුහද හමුවේ ඉඳන් සෑම සුහද හමුවකටම වගේ සහභාගී උනා. ඒ දේවල් නිසාම මේ අඟල් කීපයක පුංචි කොටුව ඇතුලේ හිර වෙච්චි අදහස් වලින් මිතුරුන් වෙලා හිටි උදවියව හැබෑ ලෝකේ මිතුරන් බවට පත් උනා. තමන් දරණ අදහස් වලට තරමක් හෝ සමාන අදහස් දරණ මිතුරු මිතුරියන් ඌට හමුවුණා, තමන්ගේ අදහස් වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දරණ මිතුරු මිතුරියනුත් හමුවුණා. මේ බ්ලොග් ලිවිල්ලට ඌ තාමත් ආස ඒ විවිධත්වය නිසා වෙන්න ඇති. ඔය අස්සේ "ඔහෙම ලියන්න එපා කැතයි. ඕකම මෙහෙම ලිව්වැකි. එතකොට ලස්සනයි" වගේ ගොං ආතල් දෙන්න ආපු ඈයොත් හිටියා. පොඩි වෙනසකටත් එක්ක උනුත් ඉන්න ඕනේ. නැත්තම් එකම විදිහට හැමදාම ගියාමත් කම්මැලි හිතෙන්න පුළුවං. ඌ හිතා ගත්තා.

එදා ඌ බ්ලොග් එක පටං ගනිද්දී ලියුපු දේවල් සහ අද ඌ ලියන දේවල් ගත්තාම පැහැදිලි වෙනසක් ඌටම දැනෙනවා. වෙලාවට ඉස්සර ලියපු ලිපි කියෙව්වම ඌටම ලැජ්ජා හිතෙනවා. මේ ඌ ලියපුවාමද කියලා හිතෙනවා. ඒ අතරේ උගේ ඉස්සර ලිපි කියවලා කමෙන්ට් කරපු සමහර අය, අද පැත්ත පලාතේ නොඑන බවත් ඌ දන්නවා. ඒ එදා සහ අද වෙලා තියෙන වෙනස නිසා වෙන්න ඇති. කියෙව්වාම කොච්ච්ර ලැජ්ජා හිතුනත් පරණ ලිපි නොගලවා ඉන්න ඌට ලොකු හේතුවක් පෙනුනා. එදා සහ අද ගත්තාම උගේ අදහස් කොච්චර නම් පරිණාමය වෙලාද කියලා ඌට පෙනුනේ ඌ ලියපු බ්ලොග් ලිපි වලින්. ඒ දිහා බලන කෙනෙක්ට ඒ වෙනස හොඳයි කියන්නත් පුළුවං නරකයි කියන්නත් පුළුවං. කවුරු මොනවා කිව්වත් උගේ දැන් විදිට ඌට හොඳයි කියලා හිතුනා.

අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අකුරු කෙටුව ඌ දැන් අකුරු කරමින් ඉන්නේ උගේ සියවෙනි පෝස්ට් එකයි. සියය කියන්නේ මහාලොකු ඉලක්කමක් නෙමෙයි අවුරුදු දෙකක් කියන්නේ මහාලොකු කාලයකුත් නෙමෙයි. නමුත් අවුරුදු දෙකක් සහ ලිපි සියයක් කියන්නේ ඌට වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක්! ඒ ඌට සාපේක්ෂව. ඌ ලිවීමට (හෝ මැලවීමට) කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් දැන් ඌ කතන්දර එක බ්ලොග් එකකත්, කවි(ද මන්දා) වෙන බ්ලොග් එකකත් ලියන අතරෙම ඌ කියවන පොත්වල හිත ඇදිලා ගිය කොටසක් එහෙමත් නැත්තම් පොත ගැන අදහසක් වෙන බ්ලොග් එකකත් ලියනවා. ඒ එක්කම ඌ සියයටත් කතා සෑහෙන ප්‍රමාණයක් ලියලා.

විශේෂම දේ නම්, ඌ ලියන ඉලව් කියවන පිරිසක් සහ ඒ කියවන පිරිස අතරින් අදහසක් දාලා යන කීප දෙනෙක් සිටීමයි. ඒ දෙපිරිස නොහිටින්න ඌ මේ කරුමාන්තේ මෙච්චර කල් කරගෙන නොයන විත්තිය ඌ දන්නවා. ඒකයි ඌ ඒ කට්ටියට කියන්නේ "උඹලට ස්තූතියි!" කියලා. බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු. ඒත් දැන්නම් එහෙම කියන්න තරම් මහා සතුටක් ඌට දැනෙන්නේ නෑ. හැබැයි උගේ නිර්මාණයක් ගැන විවේචනයක් දකින්න ඌ කැමතියි. 

මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා.  ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"


ප.ලි :
හැමෝටම සුභ නව වසරක් වේවා!!!!!




Monday, October 3, 2011

චූට්ටක් ගැඹුරු රංගයාගේ දෙකේ ඇළ......


පහුගිය දවසක අපේ ගෙවල් ළඟ පවුල් හතර පහක් එක්කහු වෙලා අපි ගියා ට්‍රිප් එකක් පොළොන්නරුව පැත්තේ. ඔය එක ගෙදරක කුළියට නැවතිලා රස්සාවට ගිය අයියා කෙනෙක් හිටියා. මිනිහත් පොළොන්නරුවේ. හැබැයි දැන් අවුරුදු ගානක ඉඳන් මෙහේ ජොබ් එක කරන නිසා අර ගෙදරම අවුරුදු කීපයක් ඉඳලම මිනිහා දැන් අපිත් එක්කත් ෆිට්. මිනිහගේ නම තමයි රංග. ඉතිං රංගයා කිය කියාමයි හිටියේ මිනිහා ඉන්නේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට පයින් යන දුරින් කියලා. ඇයි තව කියනවා "අපි ඔය පැළයක් හිටවන්න වලක් කපන කොටත් සෙල්ලිපි කෑලි මතු වෙනවා බං" කියලා එහෙම. ඔන්න ඒ හින්දම මිනිහව අපේ නඩේ ගුරා කරගත්තා.

හැබැයි රංගයා කිව්වා වගේම මිනිහාගේ ගෙවල් තිබ්බේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට හරිම කිට්ටුවෙන්. මිනිහාගේ ගෙදර පොඩි පොකුණක් හදලත් තිබ්බා. ඒකේ හරි මැද්දෙක් ලස්සනට කපපු කොටු කළු ගලක් තිබ්බ නිසා මාත් පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. අප්පට සිරි ඒකත් සෙල්ලිපියක්! ඉතිං කොහොම හරි මිනිහා ඒ කිට්ටුවෙන්ම අපිට නවතින්නත් හොඳ තැනක් සෙට් කරලා දුන්නා. 

ඔන්න පළවෙනි දවසේ පොළොන්නරුවට එන ගමන් අතර මඟ සිද්ධස්ථාන වැද පුදාගෙන නවතින තැනට එනකොට රෑ 7.30 ට විතර ඇති. ඇඟටත් මාර තෙහෙට්ටුයි. තාත්තලා නම් පොඩි වොෂ් එකක් දාන් තෙහෙට්ටුව නිවා ගන්න හිතාගෙන බයිට් එක හදනවා. අපේ සෙට් එකත් තෙහෙට්ටු නිවන අරිෂ්ඨ ගෙනිහින් තිබ්බේ. ඒත් මඟ දිහටම ඇළවල් එහෙමත් පහු කරගෙන ආව නිසාම වෙන්න ඇති "මේ පැත්තේ ඇළක්වත් නැද්ද බං පනින්න" කියලා අපේ එකෙක් රංගගෙන් ඇහුවේ. 
"අයියෝ බං දෙකේ ඇළ ඔය පොඩ්ඩක් ඉස්සරහින් යන්නේ. යමං ඕන්නම් නාගෙන එන්න" රංගයත් කිව්වා.

ඌ කිව්වට කරුවලේ නාන්න අපිට පොඩි බයකුත් තිබ්බා. අපේ එකෙක්ටවත් හරියට පීන ගන්නත් බෑ. ඇරත් අම්මලා සුවර් එකටම දෙන්නේ නෑ රෑ ඇළේ බහින්න. 
අපේ සෙට් එකේ ප්‍රදීපයා නොදන්න තැන් වල කළුවලේ නෑම වගේ ත්‍රාසජනක වැඩ වලට යන්න බයයි. ඒක නිසාමයි ඌ රංගයාගෙන් ඇහුවේ. 
"යකෝ මේ කරුවෙලේ උඹනම් පීනයි මාළුවා වගේ අපිට පීනන්නත් බෑ මොනවා හරි උනොත්. ඕක කොච්චර විතර ගැඹුරුද?" කියලා.
"අයියෝ චූට්ටයි ගැඹුරු. මගේ පපුව ගානට වතුර බං. බය වෙන්න දෙයක් නෑ" රංගයත් කිව්වා.
පස්සේ කොහොම හරි කට්ටියම කතා වෙලා අම්මලාට නොකියා අපි තාත්තලාට කියලා යමු කියලා කතා වුනා. අපි රංගයාටම කිව්වා තාත්තලාට කියපං කියලා. මිනිහා කිව්වාම ඉතිං තාත්තලාට විස්වාසයිනේ. ඇයි මේ මිනිහාගේ ගමනේ.
"අයියෝ බයවෙන්න දෙයක් නෑ මේං මෙතෙන්ට වතුර" තාත්තල ඇළ කොච්චර ගැඹුරුද ඇහුවාම රංගයා කිව්වේ බුරිය හරියට අත තියලා පෙන්නලා.

ඇළ ගාවට යන ගමන් ප්‍රදීපයා කිය කියා ගියේ "මූ කිව්වාට මම මුලින්ම ඇළට බැහැලා බලන්නම් ඒක ගැඹුරුද කියලා"
අපිට කොහොමත් ප්‍රදීපයාව සුවර්. ඌ බොහොම පරිස්සමට පිළිවෙලට වැඩ කරන එකා. ඒ මොනවා කිය කිය ගියත් ප්‍රදීපයා හිමීට ඇඳුම් ගලවලා නවලා පැත්තකින් ලස්සනට තියන අතරේ චම්පකයා ඇළේ පඩි දිගේ බහින්න ගත්තා. මිනිහා තුන් වෙනි පඩියට බැහැලා හතර වෙනි පඩියට බහින්න බැලුවා.
"යකෝ මේකේ හතර වෙනි පඩියක් නෑ. තුන්වෙනි එකත් කැඩිලා එකෙක්ට විතරයි හිටගන්න පුළුවන්" කියලා ගොඩට ආවා. ප්‍රදීපයා තාමත් ඇඳුම් නමනවා. 

"අපෝ උඹලා ගෑනු වගේනේ" කියලා රංගයා පැන්නා ඇළට ජබෝස් ගාලා. ඌට මොකද ඌ පීනනවා ඇළේ ඒ කොනේ ඉඳන් මේ කොනට. 

ප්‍රදීපයා පරක්කු නිසා මම ගියා ඇළේ ගැඹුර බලන්න.

පළවෙනි පඩියට බැස්සා. කකුළේ විලුම්බෙන් පොඩ්ඩක් උඩට වතුර. දෙවෙනි එකට බැස්සා. දණිස්ස ගාවට වතුර. තුන් වෙනි එකට බහින්න බැළුවා. අප්පා ඒක කැඩිලා ගිහින් අඩි 2ක් වත් දිහ නැති කෑල්ලක් විතරයි. ඒකටත් බැස්සා. බුරිය ගාවට වතුර. හතර වෙනි පඩියට අඩිය තියන්න බැළුවා හුටා! එහෙම එකක් නෑ. ඇළේ පතුලවත් අහුවෙයිද බැළුවා ඒත් නෑ. මමත් ගොඩට ආවා. රංගයානම් අපිට හිනා වෙවී පීනනවා.

"මේ උඹ ඔය ඉන්න හරිය කොච්චර ගැඹුටද" අපිට වඩා මීටරයක් විතර එහායින් හිටපු රංගයාගෙන් ප්‍රදීපයා ඇහුවා. 
"ඕං බලාගනින්!" රංගයා එක අතක් උස්සන් වතුර යටට ගියා. අපිට උගේ අතින් පෙනුනේ අල්ල විතරයි. 
"අන්න එච්චරයි ගැඹූරු" රංගයා වතුරෙන් මතුවෙලා වැඩ කාරයා වගේ කිව්වා.

"ඈ යකෝ තෝ කිව්වා නේද පපුව හරියට වතුර තියෙන්නේ කියලා?" දර්ශනයට නම් තරහා ගිහින්ද මන්දා. 
කොහොම හරි ප්‍රදීපයා දෙවෙනි පඩියේ ඉදන් ලාවට ඇඟ තෙමා ගත්තා. මමයි අනිත් උන් දෙන්නයි සැරෙන් සැරේට තුන් වෙනි පඩියට බැහැලා ලාවට ඇඟ තෙමා ගත්තා. රංගයානම් පීන පීන අපිට විහිළු කර කර ඉන්නවා. ඒ ගමන් මූ අපි නාන තැනට පොඩ්ඩක් එගා ඉවුර අයින පෙන්නලා කියනවා

"අන්න අතන තමයි බං ගිය මාසේ ට්‍රිප් එකක් ආව පොඩි කෙල්ලෙක් මේක් ගිලිලා මැරිලා හිටියේ" 

ඒක ඇහුව වෙලේ ඉඳන්  ප්‍රදිපයා "යං යං" ගගා කෑ ගහන්න ගත්තු නිසා අපි ගොඩට ආවා(කොහොමත් ගොඩ තමයි හිටියේ). එන ගමන් ඉතිං රංගයාට බැනුම් ගොඩයි. ඒ අස්සේ රංගයා කියනවා.
"නෑ බං මමත් මේ මෙතනට නාන්න ආවේ අවුරුදු 15කින් විතර බං. නැත්තම් මම යන්නේ අපේ ආච්චිලාගේ ගේ ගාව තැනට. එතන රෑට පට්ට කළුවරයි. ඒකයි මම උඹලව මෙතන්ට එක්කං ආවේ. හරි අපි හෙට රෑට එතනට යමු"
"එතන කොච්චරද බං ගැඹුරු මෙතනට වඩා චූට්ටක් ගැඹූරුද?" මං ඇහුවා.
"යකෝ උඹ දැන්ද කියන්නේ අවුරුදු 15 කින් එතන නාලා නෑ කියලා? අපේ එකෙක් එහෙම ගියානම්" ප්‍රදීපයාට ඒ පාරනම් සිරාවටම කේන්ති ගිහින්.

"උඹලගෙන් එකෙක් ගියානම් මම කියනවැයි මම මෙතන අවුරුදු 15 කින් නෑවේ නෑ කියලා. ඇරත් ගොඩ නාන උන් කොකොමද ඇළේ ගහගෙන යන්නේ" රංගයා කිව්වා.

ප.ලි : 
මට ඔය වැඩේම මගේ නෑ වෙන මල්ලි කෙනෙකුත් කළා අර සුන්දර ගම්මානෙට ගිය වෙලේ. රෑ ගියා නාන්න ගේ ඉස්සරහින්ම යන ඇළට. ඒකට බහින්න පඩි තිබ්බෙ නෑ. බැස්ස ගමන් මගේ බෙල්ල ගාවට වතුර. ඒකනම් අවුලක් නෑ. වැඩේ කියන්නේ ඒකේ මාර වේගෙන් වතුර එනවා. මම පැත්තට හිටගෙන නෑවේ. වතුරට ලම්භකව(මෙතෙනට දාන්න සාමාන්‍ය වචනයක් හොයාගන්න බැරි උනා) හිටගන්න බෑ ගහගෙන යනවා. පස්සේ නාලා ගොඩට එනකොට අරූ මම නෑව තැනව මීටර් තුන හරක් ඈත තැනක් පෙන්නලා මට කියනවා 
"ආං අර හරිය ඔයා වගේ දෙකක් විතර ගැඹූරුයි" කියලා. අන්න එවෙලෙනම් මට &$%$#^&@##.

කොහොම උනත් කියන්න ඕනෙම දෙයක් තියනවා. තෙහෙට්ටු වෙලාවක ඇළකට බැහැලා නෑවාම තියන සනීපේ අපිට කවදාවත් ෂවර් එකකට ඔළුව අල්ලලා ලබාගන්න බෑ!


මෙහි එන නම් ගම් සහ කතාව ඇතුළු සියල්ල  සත්‍ය වේ!


[පින්තූරෙ - http://www.turnbacktogod.com/wp-content/uploads/2008/07/sacred-jordan-river-0106.jpg]

Monday, March 21, 2011

මූණුපොතෙන් සෙවිය හැකිද සැබෑ මිතුරන්?


අනේ මෝඩ යකුනේ...

එහෙන් මෙහෙන් 
ඇප්ලිකේෂන් හොයාගෙන
ඒකෙන් උඹේ හොඳම යාළුවෝ කියලා
එක දෙක තුන විදිහට යාළුවන්ව
පොටෝවලට ටැග් කළාට

මොකක් හරි මඟුලක් හොයන් ඇවිත්
වෝල් එකේ කුරුටු ගාලා
ඔයා මගේ හොඳ යාළුවෙක් නම්
මමත් ඇතුළුව
තවත් ඔයාගේ හොඳම යාළුවෝ
දහ දෙනෙක්ගේ වෝල් වලත් 
මේකම කුරුටු ගාපන් කිව්වට

තමන්ගේ හොඳම යාළුවෝ 
හොයාගන්න පුළුවන් වෙයිද
ඔයවගේ මෝඩ වැඩ වලින්?

පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා
හදිස්සියකදී, කරදරේකදී
ඔය එක දෙක තුන වැටුනු උන්ද
උඹේ ලඟින් ඉන්නේ කියලා...........


ප.ලි: මේක මම ලිව්වේ මගේ යාළුවෙක් මූණුපොතේ කඩ්ඩෙන් ලියල තිබ්බ අදහසක් පොඩ්ඩක් වෙනස් කරලා. එයාගෙන් අවසර අරගෙනයි ලිව්වේ. මේ තියෙන්නේ එයාගේ අදහස.

if you need applications like "Friends Who Always Be There For Me " , "Friends who love me the most", "My best Friends" or "My Top Fans".....and bla blaaaa to recognize your true friends..... then my friend you are "AN ASSHOLE........"..... coz how dumb wld u be f u believe tht a F**king computer application can show your true friends..... ? (මේකේ වචන ටිකක් සැර වැඩිද මන්දා)

Monday, January 24, 2011

ඇය එපා කී මගේ ප්‍රථම ප්‍රේමය......(ඇයට පෙම් කළ පාසල් කාලය 02)


ඔන්න මේක ඉස්සෙල්ලා පෝස්ට් එකට සම්බන්ධයි. ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.
සාපෙ ඉවර වුනාට පස්සේත් උපේක්ෂායි මායි වෙනදා වගේම කතා කළා. ඒත් ලොකුම ප්‍රශ්නේ වුනේ මට එයාව හම්බවෙන්න විදිහක් නැති එක. මම දැනගෙන හිටියා එයා අපේ ඉස්කෝලේ ලඟ තියන මහජන පුස්ථකාලෙට නිතරම එනවා කියලා. ඒත් වැඩේ කියන්නේ මට ගෙදරින් පැනගන්න විදිහක් නෑ. ඇයි ක්ලාස් යන්නේත් නෑ ඔහේ ගෙදරට වෙලා ඉන්න ගමන් එළියට යන්න අම්මාට කියන්න දෙයක් නෑ. ඒක නිසා මමත් හිතුවා පුස්ථකාලෙට බැඳෙන්න ඕනේ කියලා. ඒත් වැඩේ කියන්නේ පුස්ථකාලෙට බැඳෙන්නනම් අදාල ප්‍රදේශයේ කෙනෙක් කියලා පෙන්නන්න ඕනේ. ඕකට මට මතක විදිහට ග්‍රාමසේවකගෙන් අත්සනයි සීල් එකයි තව ඒ ප්‍රදේශයේ ආදායම් බදු(වෙන්න ඕනේ මට හරියට මතක නෑ) ගෙවන කෙනෙක්ගේ අත්සනත් එක්ක බදු ගෙවපු රිසිට් දෙකක කොපියි(ඔය වැඩේට ඕන වුනේ ඒ ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ව ) තව ඉගෙන ගන්න පාසලේ විදුහල් පතිතුමාගේ අත්සන.

ඔය හැම දේම කරගන්න එක මහා ලොකු දෙයක් නෙමයි අදාල ප්‍රදේශයේ කෙනෙක් වුනානම්. ඒත් වැඩේ කියන්නේ මම පදිංචි වෙලා ඉන්නේ ඔය කියන ප්‍රදේශයේ නෙවෙයි. මම ඉන්න  පැත්තේ තියෙන්නේ වෙන පුස්ථකාලයක්. ඒ කොහොම වුනත් වැඩේ කරගන්න එපැයි. ඔක්කෝම කරගන්න පුළුවන් ඒත් වැඩේ කියන්නේ ග්‍රාමසේවකගේ අත්සන තමයි. හොඳ වෙලාවට මගේ යාළුවෙක් හිටියා මිනිහාගේ තාත්තා ඒ ගමේ ග්‍රාමසේවකගේ හොඳ යාළුවෙක්ලු. ඉතින් මම කරපු වැඩේ මගේ නමට යාළුවාගේ ගෙදර ඇඩ්‍රස් දාලා ඒකා අතේ යැව්වා අත්සන් කරගන්න. යාළුවා ගිහින් එයාගේ තාත්තගේ නම ග්‍රාමසේවකට කිව්ව ගමන් අනේ කිසිම දෙයක් බලන්නේ නැතුව ෂෝක් එකට අත්සන් කරලා දැම්මලු ග්‍රාමසේවකත්. අනික ඒක අත්සන් කරලා මගේ මිත්‍රයා ඒක මට නිකම්ම නෙවෙයි ගෙනත් දුන්නේ. එයා අදුරන කඩයක් කරන කෙනෙක් බදු ගෙවපු රිසිට් දෙකකුත් එක්ක. වැඩේ ගොඩ. (ඒ දවස්වල අයිඩින්ටි තිබ්බේ නෑනේ නැත්තම් ඒවත් බලනවා ඇති.)

කොහොම හරි ඒ වැඩේ කරගත්තාට පස්සේනම් ගෙදරින් පැනගන්න එක හරිමලේසියි. මොකද අපේ අම්මා කොහොමත් දන්නවා මම පොත් කියවන්න ආසයි කියලා. ඒක නිසා ගේන පොත් දෙක දවස් දෙකෙන් තුනෙන් කියවලා ඉවර කළත් අම්මා ඒක ගනන් ගත්තේ නෑ. (අපේ අම්මාට බොරුකරන්න බෑ සුවර් එකටම එයා දැනගෙන ඉන්න ඇති මම පුස්ථකාලේ පටලවා ගත්තේ ගෙදරින් පනින්න කියලා) ඒ කොහොම වුනත් අපි දෙන්නා අඩුම ගානේ සතියකට සැරයක්වත් හම්බවුනා.

ඔය පුස්ථකාලේ ඇතුල් වෙන තැන ඉන්න(බෑග් තියන තැන ) ඇන්ටි අපි දෙන්නට දවසක් නැත්තම් දෙකක් කිව්ව හයියෙන් කතා කරන්න එපා කියලත් පුස්ථකාලේ ලඟ. කොහෙද ඉතින් මට එයා එක්ක ඉන්නකොට අහල පහල ගැන මීටරක් තිබුණේ නෑනේ. අපි දෙන්නා ඒ විදිහට වැඩි දවසක් හම්බවෙන්න වුනේ නෑ මට උපෙ අමතර පංති පටන් ගත්තු නිසා. අපි පුස්ථකාලෙට ඇවිත් හම්බවුනු දවස් කීපයකදීම මම අහුවා අපි කඩේකින් මොනවාහරි බීලා යමුද කියලා. ඒ හැම සැරේකම එයා මොකක් හරි බොරුවක් කියලා පැනලා ගියා.එයා එහෙම එක දවසක් හරි ආවනම් මම එයාට කැමතියි කියලා කියන්න බොහෝදුරට ඉඩ තිබුණා. අපි
දෙන්නා හම්බ වුනු හැම වෙලාවකම උපේක්ෂා බොහොම බයෙන් හිටියේ. මාත් එක්ක පාරේ ඇවිදන් යනකොට වුනත් හුඟාක්ම බයෙන් හිටියේ. එයාගේ ඇස් දෙකන් වගේම එයාගේ කටහඩිනුත් මට ඒක දැනුනා. කොහොම වුනත් ඔය කාලේ මගේ හිතේ තිබ්බ දේ එයාට නොකියපු මම මහා ගොං පූසෙක්. ඒත් මම ඒක එයාට නොකියන්න හේතුව මේකයි. මට කිසිම වෙලාවක දැනුනේ නෑ එයාගේ හිතේ මගේ ගැන විශේෂ කැමැත්තක් තියනවා කියලා. එයා මාත් එක්ක හැම වෙලාවෙම හිටියේ නිකම්ම නිකම් යාළුවෙක් ගානට.

ඔය යාළුකමට එහා ගිය දෙයක් මම එයාගෙන් දකිනකම් මම ඉවසන් හිටියා. හොඳ යාළුවෝ වගේ හිටියා. ඔයකාලේ අපි දන්නා අතරේ එක එක ජාතියේ කාඩ් හුවමාරු උනා.(බර්ත්ඩේ කාඩ්, වෙසක් කාඩ්, අළුත් අවුරුද්දට ) එයා කොමස් කළේ. එයාගෙත් ටිකක් පහු වෙලා පංති පටන් ගත්තා. කොහොමින් කොහොම හරි රිසාල්ට් ආවා. බහුතරය 'ඒ' අකුරු වෙච්ච ප්‍රතිඵල දෙකක් අපි දෙන්නාට ආවා. එයාට මට වඩා එක 'ඒ' අකුරක් වැඩියෙන් තිබ්බා. අපි රිසාල්ට් ආපු දවසේ ගොඩාක් සතුටු වුනා. ඒත් එයාට හොඳම විශයන් දෙක විදිහට හැමෝම සලකට විශයන් දෙකට 'ඒ' සාමාර්ථ තිබුණේ නෑ. ඔන්න රිසාල්ට් ආවට පස්සේ තමයි මම අදටත් පසුතැවෙන දෙවෙනි ගොංකම කළේ. ඒ තමයි මට තිබ්බ රිසාල්ට් වලින් කොළඹ තරමක් ජනප්‍රිය පිරිමි පාසලකට මට ඇතුලත් වෙන්න තිබ්බා ඒත් මම ඒකට කැමති වුනේ නෑ. ප්‍රධානම හේතුව උපේක්ෂා තමයි. ඒ ඇර තවත් මෝඩ හේතු නොතිබුණාම නෙමෙයි.

12 වසරේදිත් අපි යාළුවොමයි. ඉස්කෝලේ ඉවර වුනාම මම ඉන්නවා එයා එ
කම්. මුල දවස් වල අපි ඉස්කෝලේ ඇරිලා කතා කර කර ගියත් පස්සේ පස්සේ එයා ඒකට අකමැති ගතියක් මට දැනුනා. ආ තව දෙයක් වුනා ඊට කලින්. අපේ ඉස්කෝලේ ආට් කරන්න ඇවිත් හිටියා මරු සුකුරුත්තම් කෙල්ලෙක්. ලස්සනයි ලස්සනටත් වඩා විශේෂ මේකයි. එයා කොළඹ ප්‍රසිද්ධ ගැහැණු ඉස්කෝලෙක ඉඳන් ඇවිත් තිබ්බේ අපේ ඉස්කෝලට. ඉතින් අපේ උන් හරි ආසාවෙන් හිටියා ඒකිත් එක්ක කතා කරන්න. අහ් මේ අපිට එයා කිව්වේ ඒ ඉස්කෝලේ නැටුම් නැති නිසා අපේ ඉස්කෝලට ආවා කියලා. පස්සේ නම් අපිට වෙන වෙන ඒවා ආරංචි වුනා. ඇත්ත නැත්ත මම නම් දන්නේ නෑ. කොහොමහරි මගේ මිත්‍රයෝ සෙට් එක එයත් එක්ක චැට් එකකට සෙට් වුනා. මමත් ඔතන ඉඳලා එයාත් එක්ක ටිකක් කතා කළා. යකෝ මෙන්න එදා නැත්තම් පහුවෙනිදා රෑ මට අස්.එම්.එස් එකක් එනවා පුළුවන්නම් කව්ද කියන්න කියලා.කව්ද කියලා කියාගන්න අමාරු වුනේ නෑ ඒක කඩ්ඩෙන් කොටලා තිබ්බ නිසා. මොකද ඒ දවස් වල කඩ්ඩෙන් කොටලා එස්.එම්.එස් එවන යාළුවෝ කවුරුත් මට හිටියේ නෑ.

මම ඒ කෙල්ල්ට එස්.එම්.එස් යවනවට උපේක්ෂා කැමති නෑ කියලා මට තේරුණ නිසා ඒකත් මම නැවැත්තුවා. 12 වසරෙදී මම උපේක්ෂාගේ උපන්දිනේ දවසේ මම එයාට තෑග්ගක් දෙන්න කියලා හිතාගෙන හිටියා. තෑග්ග දීලා ටික දවසකින් මම එයාට කැමතියි කියලා කියනවාමයි කියලා හිතාගෙන මම ගිහින් එයාට දෙන්න තෑග්ගක් ගත්තා. ලස්සන අත් ඔරලෝසුවක්. ඒ දවස් වල අම්මලා දෙන සල්ලි වලින් කීයක් හරි ඉතුරු කරගන්න සල්ලි වලින් මහාලොකු දේවල් ගන්න බෑනේ. ඒක මම ලස්සනට පාර්සල් කරලා තිබ්බා. උපන්දිනේ දවසේ මම එයාල කෝල් කළා. මම කිව්වා එයාව හම්බවෙන්න ඕනේ කියලා. එයාට එදා බෑ කිව්වා. එදා බෑ කිව්වට මොකෝ එයා ඊට පස්සේ මාව හම්බවෙන්න ආවෙම නෑ. එක එක දේවල් කිය කියා මඟ හැරියා. සති දෙකකට විතර පස්සේ මම තෑග්ග
දෙන අදහස අත හැරලා දැම්මා.(ඒක මම මගේ නංගිගේ උපන්දිනේ දවසේ එයාට දුන්නා. ඒක අරන් එයා හොඩාක් සතුටු වුනා. එදා ඉඳන් අද වෙනකම් හැම උපන්දිනේකදීම මම එයාට මොනවා හරි අරන් දෙනවා)

එදා ඉඳ
න් ටිකෙන් ටික එයා මාගෙන් ඈත් වෙන්නම හැදුවා. මම අදටත් දන්නේ නෑ ඇයි ඒ කියලා. අන්තිමට උපෙට මාස හත් අටක් තියලා මට ඉවසන්නම බැරි තැන මම තීරණය කළා එයාට කියන්න මම එයාට කැමතියි කියලා. ඒත් කොහොමද මම ඒක එයාට කියන්නේ. ඒ වෙනකොට එයා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ. මම තීරණය කළා ලියුමකින් ලියලා දෙනවා කියලා. මම රෑ එළි වෙනකම් ලිව්ව ඒ ලියුම. මහා ලොකු නැතත් මම කෙල්ලෙක්ට ලිව්ව පළවෙනි ලියුම. පහුවෙනිදා ඒක මම එයාට දුන්නා. ආපහු ලියුමක් මට එයාගෙන් ලැබුණා. ඒක ඇරලා බැලුවේ මොනතරම් බලාපොරොත්තු හිතේ තියාගෙනද? ඒත් ඒකේ පේළි තුන හතරකින් ලියලා තිබ්බේ අපි යාළුවෝ වගේ ඉමු කියලා. ආදරේ කරන කෙල්ලෙක් දිහා යාළුවෙක් වගේ බලන්නේ කොහොමද එහෙම බලාගෙන හිත හදාගෙන එයත් එක්ක වචන දෙකක් කතාකරන්නේ කොහොමද?

මගේ යාළුවන්ගේ අදහස වුනේ ඒ කෙල්ලොන්ගේ හැටි තව ටිකක් බලපන් ඔහොම තමයි එකපාරට කියන්නේ නෑ කියලා. ඒ කොහොම වුනත් එයා මට කෙලින් කැමති නෑ කියලා කිව්වේ නෑ. අපි සතියක් විතර ආයෙත් එස්.එම්.එස් වලින් කතා කළා. මම අන්තිමට කිව්වා මට අකමැතිනම් හේතුවක් කියන්න කියලා. ඒත් මුකුත් නෑ. ආයේ ටික දවසකට පස්සේ එයා මට කියනවා එයාට බෝයි කෙනෙක් ඉන්නවාලු. මට විශ්වාසයි එයා කාත් එක්කවත් යාළුවෙලා හිටියේ නෑ. අනික එහෙම හිටියානම් මම යාළුවෙන්න අහපු වෙලාවේ මට ඒක කියන්නේ නැතුව සති දෙකකට පස්සේ කියන්න ඕනේ නෑ. ඒත් මගේ හිත
හරි මදි. ඉතින් මම උපේක්ෂාට කිව්වා මට එයාගේ බොයි ෆ්‍රෙන්ඩ්ව හම්බවෙන්න ඕනේ කියලා. එයා හා කිව්වා. ඔය දවස්වල එක දවසක් මම එයාට කෝල් කරපු වෙලාවක එයාගේ ෆෝන් එකෙන් මට කතා කළේ කොල්ලෙක්. එතන කෙල්ලෝ සෙට් එකක් හිනා වෙනවත් මට ඇහුනා. මම හිතන්නේ එයාට මාව විහිළුවක් වුනාද දන්නේ නෑ.

පස්සේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන කෙනා මට කෝල් කළා. ඒත් ඒකා කතා කළේ මහා රස්ති විදිහට.ඔන්න දවසක් ඒ කියපු හාදයා මාව හම්බ වෙන්න ආවා. ආවේ ත්‍රී වීල් එකකින්. ඒකෙන් බැස්සේ කොන්ඩේ වවා ගත්තු මහා රස්ති පෙනුමක් තියන එකෙක්. මෙන්න මොහෙමයි අපි අතර වුනු සංවාදය. මොකා වුනත් දැන් එනවයි කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් නේ ඉතින් හොඳට කතා කරන්නත් එපාය.

මම:හලෝ මචං

ඌ:ආ හා හා
   මේ මල්ලි බොයි ෆ්‍රෙන්ඩ් #කුං නම් නෑ මල්ලී මම එයාගේ අයියා.

මම: අහ් එහෙමද අයියේ එයා මට කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් එනවා කියලනේ. අනික එයාට අයියලා නෑ නේ.

ඌ: හරි හරි බං මම එයාගේ එහා ගෙදර ඉන්නේ. ඒකිට කොල්ලෙක් නෑ. ඒකි මේ කිව්වා කොල්ලෙක් කරදර කරනවා කියලා ඒකයි මම මේ බලන්න ආවේ.

මම: ආ එතකොට අර අයියාද ෆෝන් එකෙන් කතා කළේ?

ඌ: ඔව්
ඒකි පන්සල් ඇවිත් හිටියේ එවෙලේ. කොල්ලෙක් කෝල් කරලා කරදර කරනවා කිව්ව නිසා මම කතා කළේ.

උගේ පට්ටපල් බොරු. ඒකා එදා මාත් එක්ක කතා කරනකොට කිව්වේ බොයි ෆ්‍රෙන්ඩ් කියලයි. ඔය කතාවෙන් පස්සේ නම් මට ගොඩාක් දුකයි ඇයි එයා ඒ වගේ දෙයක් කළේ කියලා. ඊටත් වඩා මට තරහයි. මට කැමති නැත්තම් ඒක කෙලින් කියන්නේ නැතුව හරියට කතාකරන්නවත් දන්නේ නැති රස්තියාදු කාරයන්ව එවාට. උ
න්ව කොහෙන් අඳුරගෙනද මන්දා..... එදා නම් මම එයාට කිව්ව ආයේ කරදර කරන්නේ නෑ කියලා. තව මොනවා කිව්වද කියලා මට ඇත්තටම මතක නෑ. එදා රෑ මට පිස්සු හැදුනේ නැති එක විතරයි. පහුවෙනිදා ඉස්කෝලෙදී එයාගේ යාළුවෙක් මම එයාට යවපු කාඩ් සේරම උපේක්ෂා මට දෙන්න කිව්වා කියලා මේස උඩට ඉව්සික් කරලා ගියා. ඒක විසික් කළේ හරියම මම ඒකි එක්ක යාලු වෙන්න ඇහුවා වගේ.
"අනුන්ගේ ඒවා උස්සන් එන්න එපා" මම ඒකිට තරහෙන් කිව්වා වගේ මතකයි. එතන කාඩ් මිටියක් තිබ්බා. මට පුදුම විදිහට දුක හිතුනා.

මට අදටත් හිතාගන්න බැරි ඇයි එයා එහෙම කළේ කියලා. මට අකමැතිනම් ඒක එයාට කියන්න තිබ්බා. මේ මෑතකදී එයා මගේ යාළුවෙක්ට කියලා තිබ්බා එදා බෝයි ෆ්‍රෙන්ඩ් වෙස් අරන් ඒ ආපු එකාව එයා දන්නේ නෑ කියලා. මගේ යාළුවා ඒ බොරු පිළිගත්තාට මම නම් ඒවා පිළිගන්නේ නෑ. ඔන්න ඔහොමයි සිද්ධ වුනේ. උපේක්ෂාව මම අර සයිබර් ලව් එකට පැටලෙනකම්ම මූණු පොතේ බ්ලොක් කරලයි තිබ්බේ. වෙන මුකුත් නිසා නෙමෙයි එයාව දකිනකොට මට දුක හිතෙන නිසා. ඉස්සරනම් මේ කතාව මතක් වෙනකොටත් ගොඩාක් දුක හිතුනාට දැන්නම් නිකන් රස කතාවක් කියවනවා වගේ. උපේක්ෂා අද වුනත් මගේ ඉස්සරහට හම්බ වුනොත් මාව නොදැක්ක ගානට යයි. දැන්නම් එයා කොයි විදිහට ගියත් මූණුපොතේ මට එයාව පෙනුන
ත් මට ගානක් නෑ. පොඩි කාලේ කරපුවානේ :D



ප.ලි කෙටිකරන්න එපා කියන දැඩි ප්‍රෙක්ෂක ඉල්ලීම නිසා කොච්චර දිග වුනත් තනි පෝස්ට් එකට දානවා.
දැන් රෑ 2යි. අන්තිම ටික හදිස්සියෙන් ලියන් ගියේ. රෑට මේක දානවයි කියලා පොරොන්දු වුන නිසා දාන්නම් ඕනේ. පොරොන්දු කඩන්න හොඳ නෑනේ.

මේ මේකේ කොළඹ කියලා ලියලා තිබුණාට මමත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේම තමයි. මේකේ කොළඹ කියලා හැඳින්නුවේ කොළඹ 01 සිට තියන ඒවාටයි.
මේක ලියන් යන ගමන් ඉස්කෝලේ කාලේ වුන රස කතා මතක් වුනා. ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා.

Sunday, January 23, 2011

ඇයට පෙම් කළ පාසල් කාලය.......


කලින් කතා දෙකකදී මම කිව්වානේ සුමුදු ගැනයි චාමි ගැනයි. ඔන්න බලපු නැති අයට ඒ කතා දෙක
මම ඒ දෙකේදිම කිව්වා මගේ හිතේ තිබ්බේ උපෙක්ෂා ගැනමයි කියලා. අද කියන්න යන්නේ මම උපේක්ෂාට ආදරෙයි කියලා වුන දේ ගැන.

අර දෙන්නා ගැන මුලින් කිව්වා වගේම මම මුලින් උපේක්ෂා ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්. උපේක්ෂා සුමුදුටයි චාමිටයි දෙන්නටම වඩා ලස්සනයි.(උන් දන්නා කැත නෑ හොඳේ). ඒ වගේම අපේ පංතියේ හිටපු ඉගෙන ගන්න දක්ෂම කට්ටියගෙන් එක්කෙනෙක්. ඉගෙන ගන්න දක්ෂයි කිව්වට අර ලෝකේ පෙරළුනත් දන්නේ නැති ගානට  පොතේ ඔළුව ඔබන් ඉන්න ජාතියේ කෙල්ලෙක් නෙමෙයි ඕං ;) ඒ වගේම වැඩි දැඟලිලක් නෑ.(අර දෙන්න වගේ). ඔන්න ඔය හේතු නිසාම වෙන්න ඇති එයාට මගේ හිත ගියෙත්.

10 වසරෙදි(සුමුදුගේ කතාව යන කාලේ) එක දවසක් මම උදෙන්ම ඉස්කෝලේ පටන් ගන්න කලින් ඔහේ කැරකි කැරකි ඉන්න ගමන් ගියා අපේ එහා පංතිය පැත්තේ පොඩි රවුමක් දාන්න. එතන මගේ යාළුවෝ දෙන්නෙක් පොඩි කතාවක්. යාළුවෝ උනාට ඉතින් අර චණ්ඩි කියලා ගණන් ගන්න කට්ටියගෙන් දෙන්නෙක්. මාව දැක්ක ගමන් එකෙක් මගෙන් අහනවා

අඩෝ මේ උපේක්ෂා උඹලගේ පංතියේ නේද?

ඔව්

ආයේ උන් දෙන්නා කතා වෙනවා
මම උපේක්ෂාට ට්‍රයි බං. වැඩේ අවුලක් නෑ වගේ.

ඒක ඇහුවාම මම ෆුල් අප්සට් වෙලා ගියා. මගේ මූණ වෙනස් වෙනවා දැකපු අරුන් දෙන්නාගෙන් එකෙක් මගෙන් අහනවා.

මොකද උඹත් ට්‍රයිද?

අහ් නෑ..... නෑ බං එහෙම එකක් නෑ

එහෙම එකක් නෑ කියලා කිව්වට මොකද ඒ වෙලාවේ මට වැඩේට හොඳටම අප්සට්. ඒත් මට හොඳටම විශ්වාසයි උපේක්ෂා වගේ කෙල්ලෙක් අරූ වගේ එකෙක් එක්ක යාළු වෙන්නෙ නෑ කියලා. ඒත් කියන්න බෑනේ. ඉතින් මම හිතා ගත්තා ෂේප් එකේ මේක ගැන උපේක්ෂාගෙන් අහන්න. කොහොමත් ඒ වෙනකොට අර තුන් කට්ටුව(සුමුදු,චාමි,උපේක්ෂා) මගේ හොඳම යාළුවෝ. දවසක් මම හොඳ වෙලාවක් බලලා නිකම් විහිළුවෙන් වගේ අහලා බැලුවා

අන්න රොෂාන්(අරුන් දෙන්නාගෙන් එකෙක්) ඔයාට කැමතියිලු

රොෂාන්???
ඊයා මම ඒ වලහාට කැමති නෑ.

ඒ වෙලාවෙනම් හිතේ තිබුණ ලොකු බරක් නිදහස් වුනා වගේ දැනුනා :D ඊට ටික දවසකට පස්සේ රොෂානයා උපේක්ෂාගෙන් අහලා තිබ්බා. ඒත් උපේක්ෂා ඌට කැමති වුනේ නෑ. ඔන්න ඔයවගේ සිදුවීමුත් එක්ක 10 වසර ගෙවිලා ගියා. හැබැයි මම උපේක්ෂාට ගොඩාක් ලං වුනා.

11 වසරට ආවාමනම් අපි ඔක්කෝටම තිබුණේ සාපෙ සිහිය. සාපෙ ඇරුනාම මගේ නම් සිහියේ තිබ්බේ උපේක්ෂා ගැන. ඔය කාලේ මට ජංගම ෆෝනයක් තිබුණේ නෑ. හැබැයි ගෙදර පාවිච්චියට කියලා ජංගම ෆෝනයක් තිබ්බා. දවසක් ඒකට එස්.එම්.එස් එකක් ආවා මට තාම මතකයි ඒ එස්.එම්.එස් එක. බොරුවට අකුරු ගොඩාක් ටයිප් කරලා අන්තිමට එයාගේ නම ලියලා තිබ්බා අකුරු දෙකක් හිස් තැන් තියලා මෙන්න මේ වගේ UPEK_ _A. ඒ වගේ එව්වේ ඇයි කියලා මම අහුවාම නම් කිව්වේ අපේ ගෙදර උදවිය දැකලා මට බනී කියලා බය හිතුන නිසා එහෙම එව්වයි කියලා. එදානම් මට හරිම හැපී. මම ඒ එස්.එම්.එස් එකට ප්‍රතිචාර දක්වලා එස්.එම්.එස් තුනක්ම යැව්වා. හැබැයි එයාගෙන්නම් එදා වෙන එස්.එම්.එස් ආවේ නෑ. එදායින් පසේනම් ඕන තරම් අපි දෙන්නා අතරේ  එස්.එම්.එස් හුවමාරු වුනා. ඔය එස්.එම්.එස් සීන් එකට පින් සිද්ධ වෙන්න තමයි මම උපේක්ෂාට ගොඩාක්ලං උනේ. ඔය කාලේ මගේ ඔළුවේ මහා ගොං අදහසක් තිබුණා. ඒ තමයි සාපෙ ඉවර වෙනකම් කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ නෑ කියන එක. ඔය අදහස මගේ ඔළුවට දාන්න ඇත්තේ ඒ දවස්වල ගිය අතිරේක පංතිවල ගුරුවරු තමයි. ඉතින් මම හිතාගෙන හිටියේ සාපෙ ඉවර වෙලාම උපේක්ෂාට කියනවා කියලා.

10 වසරේ ඉඳන්ම මම ගණන් කාරයා. ඒ කිව්වේ ගණිතය විෂයට වැඩියෙන්ම ලකුණු ගත්තේ මම. නැතුව ඔය වලි වලට ගිහින් නම් නෙමෙයි මම ගණන් කාරයෙක් උනේ. කොහොම හරි 11 වසරට එනකොට මම තමයි ශ්‍රේණියේ ගණන් වලට වැඩිම ලකුණු ගන්න එකා වෙලා තිබ්බේ. (එහෙම හිටපු එකාව අද මේ ඉන්න තැන ඇදලා දැම්මේ උපෙ තමයි :( )ඉතිං ඔය දවස් වල අපේ පංතියේ කෙල්ලෝ එනවා මගෙන් ගණන් අහගන්න. අප්පේ මගේ වටේට කෙල්ලෝ හතර පස් දෙනෙක් වට වුනාම අපේ පන්තියේ කොල්ලෝ ටිකට උන්ව එළවනකම් මෙලෝ සිහියක් නෑ ;) ලෝකේ නැති දේවල් කියවනවා. උපේක්ෂානම් මගෙන් දෙයක් අහගන්න එන්නේ බොහෝම කලාතුරකින් වුනත් එයා ආපු වෙලාවට ළඟින් වාඩි වෙලා කියලා දෙන්න මම ගොඩාක් ආසා කළා.

කොහොමින් කොහොම හරි සාපෙ ලං වෙනකොට අපි දෙන්නා ගොඩාක්ම හොඳ යාළුවෝ වෙලා හිටියා. (අහ් තව අර බර්ත් ඩේ කාඩ් සීන් එක වුනෙත් ඔය කාලෙදිමයි.) දන්නවානේ සාපෙ ලං වෙනකොට කට්ටිය වැඩිය ඉස්කෝලේ යන්නේ නෑනේ. ඉතින් ඒ දවස්වල දවසක් හැර දවසක් අපි දෙන්නා කෝල් කරලා කතා කරන්න තරම් හොඳ යාළුවෝ වෙලා හිටියේ. ඉස්කෝලේ එනවානම් අපි කතාවෙනවා. සමහර දවස් වලට උදේන්ම කතාකරලත් අහපු දවස් තිබ්බා ඉස්කෝලේ එනවාද කියලා. තව රෑ වෙනකම් පාඩම් කරනකම් වැඩ කළේ අර රිං කට් කියන මෙ'ත'ඩ් එකෙන්. එකට දෙකට එයා නිදා ගන්න යන වෙලාවට එස්.එම්.එස් එකක් එවනවා.

(ෆෝන් කතා කියනකොට තව දයක් මතක් වුනා කතාවට අදාල නැති වුනත් කියන්නම්. ඔය කාලේදිත් මම පාවිච්චි කළේ මේ දැන් තියන මොබිටෙල් නොම්මරේමයි. ඒ දවස්වල මම කෝල් ගත්තේ විනාඩියට රුපියල් 13 යි ශත ගානකුත් දීලා. අපේ තාත්තා නම් විනාඩියට රුපියල් 15ක් දීලත් කෝල් ගන්නවා මතකයි. අහනකොටත් බය හිතෙනවා නේද දැන් කාලේ නම් විනාඩි කීයක්ද :o )

ඔන්න ඔහොම සාපෙ ඉවර වුනා කියමුකෝ. ඊට පස්සේ ෆුල් ආතල් නිවාඩු කාලේ. ඔය දවස් වල තමයි හොඳ හොඳ දේවල් වුනේ.(ෆුල් ආතල් නිවාඩු කාලේ කිව්වාට මහාලොකු නිවාඩුවක් තිබ්බේ නෑ. සති දෙක තුනක් යනකොට උපෙ අතිරේක පංති පටන් ගත්තා :( )

අනේ මේ කතාව දිග වැඩියි වගේ. එක දිගට කියන් ගියොත් හොඳම හරියෙදී කම්මැලි හිතෙයි. එහෙම වුනොත් අපරාදේ. කණගාටුවෙන් වුනත් කතාව කුට්ටි කරලා දාන්න වෙනවා. වැඩිය අදින්නේ නෑ ඊළඟ කොටසින් ඉවර කරනවා :)

ප.ලි: සාපෙ = සාමාන්‍ය පෙළ
         උපෙ = උසස් පෙළ

Sunday, January 16, 2011

ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්)



දැන් වෙලාව රෑ 11.52යි මේ වගේ ලිපියක් ලියනවා තියා හිතකවත් තිබ්බේ නෑ. මේක ලියන්නේ දුක මිශ්‍රිත තරහකින්.
දැන් පැයකට විතර කලින් මගේ ඉන්න හොඳම යාළුවෝ හතර පස් දෙනාගෙන් එකෙක් මට ෆේස් බුකියේ චැට් කළා.

මචං පූසා
උඹ ඉන්නවද?
පුළුවන්නම් ස්කයිප් එක දාපන්කෝ


වෙනදා හද්ද කුණු හරුපයකින් කතා කරන එකාට අදනම් මොකක් හරි අවුලක් කියලා මට නිකමට වගේ හිතුනා.

මුලින් මම මගේ යාළුවා ගැන හඳුන්වලා දෙන්නම්.
මිනිහා ගැන පිටින් බලන කෙනෙක්ටනම් හිතෙන්නේ අමුම අමු පිස්සෙක් කියලයි. ඒත් ඌව ආස්‍රය කරන උන් තමයි දන්නේ උගේ ඇතුලින් ඉන්න හිත හොඳ කොල්ලාව. මට මගේ යාළුවාව මුලින්ම් හම්බ වෙන්නේ 10 වසරේදී විද්‍යාව අතිරේක පංතියකදී මගේ වෙන් යාළුවෙක් නිසා. ඇත්තටම මටත් ඒ දවස් වල මිහාව වැඩිය දිරෙව්වේ නෑ. ඒත් පස්සේ පස්සේ මට තේරුනා ඒකා පිටින පේන එකා නවෙයි කියලා. මම ඌත් එක්ක ගොඩාක්ම ෆිට් උනේ ඒලෙවල් කරන කාලේ. අපි ගියේ එකම පංති වලට නිසා මට මිනිහාව ගොඩක් ආස්‍රය කරන්න ලැබුණා. රටේ ප්‍රසිද්ධම පාසලකට ගියත් ඒ පාසල් වල ඉන්න සමහර උන් වගේ ලොකු පාසලකට යනවයි කියලා පොඩ්ඩක්වත් ආඩම්බර උනේ නෑ කවදාවත්.

ඒ තරම් පිස්සු කෙළින එකෙක් මම කවදාවත් දැකලා නෑ. ඉස්කෝලේ එකෙක්ගේ වලියක්නම් ඌ එතන. මම ඇස් දෙකෙන්ම දැක්කා ඒකා වෙන කාගෙද වලියකට ගිහින් පස්සේ අනිත් උන් ගහන්න හෙව්වේ වලිය පටන් ගත්ත එකාව නෙවෙයි මගේ යාළුවාව. ඔය ඔක්කෝම ජරමර අස්සේ මිනිහා කෙල්ලෙක් එක්කත් යාළුවෙලා හිටියා. ඒලෙවල් ඉවර උනාම ඒ කෙල්ලව මොරටුව යුනියට සෙට් උනා. අපේ එකා ලාවට පාස්. ඒ ගෑණි මගේ යාලුවාව අත හැරියා. මම දැක්කා යාළුවා ගොඩාක් දුක් වෙනවා. පස්සේ මිනිහා ඔක්කෝම දේවල් අමතර කරලා කොහොම හරි යුනි යනවාමයි කියලා වැඩට බැස්සා තරහටත් එක්ක. කොහොම හරි දෙවෙනි පාර මොරටුවට බැරි උනත් කොළඹ යුනි මිනිහට සෙට් උනා. දෙවෙනි පාර ඒලෙවල් අතරේ තමයි වෙන කෙල්ලෙක්ව මගේ යාළුවාට සෙට් උනේ.

ඒ කෙල්ලත් එක්ක නම් මිනිහා ෆුල් බොක්කෙන්මයි යාළු වෙලා හිටියේ. හැමදාම බොන්නම හොයන එකා ඒ කෙල්ලව යාලු උනාට පස්සේ දෙන්නා අතරේ ඇඟට දැනෙන ප්‍රශ්නයක් ඇති වුන දවස වෙනකම්ම බිව්වේ නෑ.

යාළු වෙලා මාස තුනක් ඇති දවසක් කෙල්ලට ඉගෙන ගන්න එකේ එක්සෑම් ෆී ගෙවන්න සල්ලි නෑ කියලා ඉන්නකොට(කෙල්ල ප්‍රයිවට් තැනක ඉගෙන ගන්නේ) මගේ යාළුවා ඌ ගාව තිබ්බ සල්ලි සේරම එකතු කරලා ඒ කෙල්ලට  දුන්නා. ඒ එක්කම කෙල්ලට මොනවදෝ ප්‍රශ්න නිසා මගේ යාළුවාගෙන් ඒ ගෑණි ඈත් වෙන්න හදපු වෙලාවක ඒ ගෑණිගේ ගෙදරට ගිහින් කතා කරන්න ඕනේ කියලා දවසක් ගියේත් අපේ ගෙදරට ඇවිල්ලමයි.

ඔය මම දන්නේ දේවල් ටිකක් විතරයි. මට හොඳටම විශ්වාසයි කෙල්ලට සල්ලි ප්‍රශ්න එහෙම තිබ්බ නිසා මගේ යාළුවා ඒකිට ගොඩාක් උදව් කරන්න ඇති. මගේ යාළුවා ඒවා හැම තැනම කිය කියා යන එකෙකුත් නෙවෙයි. බීලා ඉන්න වෙලාවක වැරදිලා කියෙව්වොත් මිසක් නැත්තම් දැන ගන්න වෙන්නෙම නෑ.

අද මහ රෑ මිනිහා මාත් එක්ක කතා කළේ අඩ අඩා. ඇත්තටම ඌ අද තරම් මානසිකව වැටිලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ. උන්ගේ ගෙදරත් සල්ලි ප්‍රශ්න ඕන තරම්. මිනිහගේ පර්ස් එකේ සමහර දවස් වලට යන්න එන්න සල්ලි විතරක් තියනවා මම ඕන තරම් දැකලා තියනවා. ඒත් හැමතිස්සේම හිනා වෙලා ඉන්න එකා අද අඩනවා දැක්කාම මට මට පුදුම විදිහට දුක හිතුනා.
මගේ යාළුවායි කෙල්ලයි අතරේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඉඳන් තිබ්බා. ඒත් දෙන්නා නිතරම හම්බ වුනා. කතාකළා. අද මගේ යාළුවා මට කතා කරලා මෙහෙමයි කිව්වේ.( මේ මුළු දෙබස පුරාම් මිනිහා අඩ අඩා කතා කළේ)

මචං පූසා
මගේ ගෑණි වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලාලු බං

මොකක්?

ඔව් බං

පලයන් බොරු කියන්නේ නැතුව

සිරාවට බං මම මේ දැන් කතා කළේ බං. මට මාර අප්සට් බං මට මේක කියන්න කියන්න කතා කරන්න කවුරුත් නෑ බං. මම ඒකයි උඹට කතා කලේ.

විහිළුවට කියනවාද දන්නේ නෑ බං. කෙල්ලෝ ඔය වගේ කතා කියල නිකම් ටෙස්ට් කරලා බලනවා බං

නෑ බං නෑ මම දැන් පැයකටත් වඩා ඒකිත් එක්ක කතා කළා බං.

ඒකිද උඹට කිව්වේ ඒකි යාලුයි කියලා වෙන කොල්ලෙක් එක්ක.

මම දැක්කා බං ෆේස්බුක් එකේ කොල්ලෙක් ඒකිගේ ෆොටෝස් වලටයි හැම මඟුලකටම කමෙන්ට් කරනවා. මම ඒකිගෙන් ඇහුවාම තමයි කිව්වේ.
මට තේරෙන්නේ නෑ බං ඇයි බං මට ඒකි මෙහෙම කළේ. උඹ දන්නවා බං මම ඒකිට කොච්චර දේවල් කළාද කියලා. අඩුම තරමේ මට කියන්න තිබ්බා බං මම අහනකම් ඉන්නේ නැතුව. මට තේරෙන්නේ නෑ බං මොනවා කරන්නද කියලා. අනිද්දා ම
යුනි එකේ එක්ස්සෑම් බං තාම පොතක් අතින් අල්ලලාවත් නෑ. මේ පාර මට එක්සෑම් කරන්න නම් බෑ බං. මට දැන් එයාත් නෑ එක්සෑමුත් නෑ අනේ මන්දා බං.


ඌ කියාගෙන කියාගෙන ගියා. මම පුළුවන් තරම් දේවල් කියලා හිත හදන්න බැලුවා. මම දන්නවා මගේ යාළුවා ගැන. ඒකා අද රෑට එක මොහොතක්වත් නිදාගන්නේ නෑ. හෙට නැත්තම් ලඟදීම දවසක සමහර විට මට කතා කරයි බොන්න යන්න. සමහර විට කතා කරන එකක් නෑ. මේ දවස් වල ඒකා අතේ සත පහක් නෑ. කොහොම හරි කරලා මොන මොනවා හරි කියලා එක්සෑම් එක කරන්න යවන්න ඕනේ.

බයේ බෑ මේ කෙල්ලෙක් හින්දා මූ හැම දෙයක්ම නැති කර ගනීද? නෑ නෑ ඌට මොලේ තියනවා. මිනිහා වලට යන එකක් නෑ.

මට හිතා ගන්න බැරි ඇයි කෙල්ලෝ මේ වගේ කරන්නේ කියලා. අනිවා ආයේ කතා දෙකක් නෑ ඒ කෙල්ලට මගේ යාළුවාට වගේ සල්ලි ප්‍රශ්න නැති හොඳ සල්ලි කාරයෙක් එක්ක යාළුවෙලා ඇති. ඒත් ඇයි ඇයි එහෙම කරන්නේ? මම විතරයි දන්නේ අද මගේ යාළුවා කොච්චර දුක් වෙනවාද කියලා. මගේ යාළුවා අද නිදාගන්නේ නැතුව අඩ අඩා ඉන්නකොට ඒකි අලුත් කොල්ලත් එක්ක නිදිවරාගෙන හිනා වෙවී මල් කඩනවා ඇති. මට හිතා ගන්න බෑ මේ කෙල්ලන්ගේ හැසිරීම. මට දුකයි මගේ යාළුවා ගැන ඊට වඩා කේන්තියි අර කෙල්ලත් එක්ක. ඕකි ඉගෙන ගන්නේත් මම ඉගෙන ගන්න තැනමයි. වෙන පංතියක ඉන්නේ. කමක් නෑ අහුවෙන්නැතෑ සඳුදාට.


ප.ලි: හෙට මම මගේ යාළුවාගේ හිත කොහොම හරි පොඩ්ඩක් හරි හදන්න ඕනේ. එයගේ හිත හදන්න මම මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. මම මොනවා කියන්නද?
දැන් වෙලාව 1.45 යි තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.

Saturday, January 15, 2011

මම අකමැති ඔබේ ආදරය..........


ඔන්න මම කලින් කිව්වනේ සුමුදුගේ කතාව. ඔන්න ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. ඒක 10 වසර ඉවර වෙනවත් එක්කම ඉවර වුනා. ඊළඟට පටන් ගත්තේ චාමිගේ විකාර. චාමිනම් ඇත්තටම මට ලොකුම ලොකු ඇණයක් උනා.

චාමි ගැන කියනවා නම් එයා අපේ මුළු ශ්‍රේණියේම ඉන්න පුංචිම කෙල්ලන්ගෙන් එක්කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති හුරු බුහුටි පෙනුමක් තිබ්බා. හැබැයි පොඩි විසයක් නම් නමෙයි තිබ්බේ. කොයි වෙලාවක බැලුවත් එහෙට දුවනවා මෙහෙට දුවනවා උඩ පැන පැන, හිනා වෙනවා එක විකාරයයි.

මම කලින් කතාවෙදිත් කිව්වනේ සුමුදු, චාමි, උපේක්ෂා තුන්දෙනා 10 වසරේදී හොඳම යාළුවෝ තුන් දෙනෙක්. ඒත් 11 වසරදී සුමුදු පන්තියේ වෙන කෙල්ලෝ සෙට් එකකට සෙට් උනා. අනිත් දෙන්නත් එක්ක වැඩි ඇයි හොඳයියක් තිබ්බේ නෑ. හේතුවනම් මම දන්නේ නෑ. චාමි මාත් එක්ක ගොඩාක් ෆිට් වුන සිද්ධිය මේකයි.

10 වසරේ මාස කීපයක් යනකොට ඔය තුන්දෙනා මාත් එක්ක ගොඩක් ෆිට් උනා. සමහර දවස් වලට ඉස්කෝලේ පටන් ගන්න කලින් පංතියට වෙලා ඉන්නකොට (මම ඉස්කෝ
ලෙට කිසිම දවසක මම පරක්කු වෙලා ගිහින් නෑ. පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ පටන් ගන්න පැය බාගෙකට කලින් ඉස්කෝලෙට යනවා. 13 වසරේදිනම් ඉස්කෝලේ පටන් ගන්න විනාඩි 5කට කලින් පංතියේ :D ) චාමි හොරෙන් පිටි පස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක වහලා

හා... කියන්න බලන්න කව්ද කියලා

ඔන්න ඔය වගේ වැඩත් කරනවා.
ඉතින් ඔය කාලෙදී චාමියි, උපේක්ෂායි ගණන් සහ විද්‍යාව ටියුෂන් ගියේ මමයි මගේ යාළුවෙකුයි ගිය පංති වලටමයි. ඔය අස්සේ මගේ යාළුවාට චාමි ගැන හිතක් පහල වෙලා. ඇයි හරි හුරු බුහුටු කෙල්ල නොවැ ;) මිනිහා මට කිව්ව අනේ බං සෙට් කරලා දීපන්කෝ කියලා. මම අද උනත් යාළුවෙක් ඔය වගේ උදව්වක් ඉල්ලුවොත් බැහැලා කරනවා. එදත් එහෙම්ම තමයි. මම ඉතිං දන්න කියන ශිලප ඔක්කොම දාලා දෙන්නට දෙන්නා හම්බ වෙලා කතා කරන්න වැඩේ සෙට් කළා. සෙට් කළා තමයි මට උනේ ලෝක ලෙඩක්. පළවෙනි පාරට කතා කරලා ආවා විතරයි මගේ යාළුවා කියපි
 
අපෝ බං ඒක හරියන්නේ නෑ ඒකිට හොඳටම පිස්සුනේ

මොකක් උඹ දැන් ඒකිට මොනවද කිව්වේ?

මුකුත් නෑ බං


මට ඒ වෙලාවෙනම් යකා නැග්ගා. මම අදටත් කැමති නෑ ඔය බොරුවට ලව් කරන සීන් එකට. හැබැයි බොරුවට ලවු කරලා රෙකෝර්ඩ් තිබ්බ මගේ යාළුවෝ ඔක්කෝම වගේ අද ෆුල් සීරියස් ලව් කරනවා. බොරුවට ලව් කරනවාට අකමැති මට තමයි තාමත් කවුරුත් නැත්තේ :t

කොහොමින් කොහොම හරි මගේ යාළුවා තව දවස් දෙක තුනක් මගේ වදකිරීමට බෑ බෑ කිය කියා ගිහින් චාමිව හම්බ උනා. ඒට පස්සේ ඒකා චාමිව මඟහරින්න ගත්තා. ඒ වැඩේටනම් මට ගොඩක් අප්සට්. මම එක එක ඒවා කියලා චාමිගේ හිත හදන්න උත්සාහ කළා.

ඔය දේවලුයි සුමුදුගේ දේවලුයි ඔක්කෝම ඉවර වෙලා 11 වසරට එනකොට එනකොට අපි හැමෝටම සාපෙ ගැන උනන්දුව වැඩි උනා (සාපෙ කිව්වේ මේ..... සාමන්‍ය පෙළ :D ) මොන දේ වුනත් මම උපේක්ෂායි මමයි හොඳ යාලුවෝ විදිහට හිටියා.

11 වසරට යනකොට අර තුන් දෙනා වෙනදා වගේ හොඳ යාළුවෝ වෙලා හිටියේ නෑ. චාමියි උපේක්ෂායි වෙන කෙල්ලෝ සෙට් එකක් එක්ක හිටියේ. ඒ තුන් දෙනා අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා මම හිතන්නේ. 11 වසරේදී චාමි මට ගොඩාක් ලං වෙන්න උත්සාහ කළා. සුමුදුගේ වගේම කේස් එකක් වෙන්න යනවයි කියලා දැනුන නිසා මම ගොඩාක් පරිස්සමෙන් තමයි චාමිව ආස්‍රය කළේ. හැබැයි ඔය අතරෙදී මමයි උපේක්ෂායි එස්.එම්.එස් වලට පින් සිද්ධ වෙන්න ගොඩාක් හොඳ යාළුවෝ වෙලා හිටියේ.

අවුරුද්දේ මාස කීපයක් යනකොට විද්‍යාව අතිරේක පංතියේ හිටපු කොල්ලෙක්ටත් චාමිගේ හිත ගිහින් තිබුණා කියලා මට දැනුනා. ඒකටනම් මට සතුටුයි. මොකද ඒ දෙන්නා යාළු වුනාට පස්සේ චාමිගේ වදෙත් ඉවරයි නේ. ඔය කාලෙදී දවසක් චාමි මට දවසක් කඩදාසියක් අතට දීලා කියවලා බලන්න කිව්වා. ඒක නිසඳෙසක්. මැද්දේ කැත රතු පාටකින් හාට් එකක් ඇඳලා අයි ලව් යූ කියලා ලියලා තිබ්බා. 

ඕක කියවලා බලන්න ලස්සනද කියලා
මම ඒක කියවනකොට ආයේ කියනවා

මම ඔය  මැද්දේ තියන හාට් එකයි අනිත් ටිකයි ලිව්වේ ලේ වලින් මේ..
 
එයා තුවාල වෙලා ප්ලාස්ටරයක් ගහලා තිබ්බ සුලඟිල්ල මට පෙන්නුවා.

ඒ එක්කම මම කඩදාසිය කොනෙන් ඇඟිලි දෙකෙන් අල්ලන්
ගෙදර ඉන්න බල්ලගේ මැක්කෝ ඉන්නවා නේද?

එයාට මම කිව්ව දේ මීටර් වෙන්න ටිකක් වෙලා ගියා. ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා

අනේ යනවා යන්න කියලා මූණ හකුල ගත්තා.

හ්ම් මේක හොඳයි
කියලා මම නිසඳෙස ආපහු එයාට දුන්නා.

මගේ මෝඩ විහිළුවට එයා අප්සට් ගියා කියලා මට තේරුනා. මූණ එල්ලන් ඉන්නව දැකපු මට දුක හිතුන නිසා මම ආයේත් ගිහින් චාමිත් එක්ක කතා කළා.

මේ කාට දෙන්නද ඉතිං ඔයා ඕක ලිව්වේ?


පොඩි හිනාවක් දාලා
ම්ම්ම්ම්... මම මේක ඔයාට දෙන්න කියලා ලිව්වේ ඒත් මම දන්නවා ඔයා කැමති නෑ කියලා. ඒක නිසා මම අද හවසට මේක වසිකට දෙනවා ( වසික කියන්නේ අර විද්‍යාව පංතියේ ඉන්න කොල්ලා)

යාන්තම් බේරුණා කියලා මට හිතුනා.

ඊට පස්සේ එදා දවසේම චාමි හරි සතුටින් උඩ පැන පැන කෑගගහා හියියා. පස්සේ දැන ගත්තා වසිකයා චාමිට කැමති වෙලා කියලා. ඒත් ඉස්කෝලෙදී චාමි මාත් එක්කම එල්ලි එල්ලී ඉන්නමයි බැලුවේ. හැමතිස්සේම උගන්නන්න ගුරුවරයෙක් නැති වෙලාවට මගේ ලඟ ඉන්න උන් දෙන්නාගෙන් එකෙක් නැත්තම් එතනට ඇවිත් වාඩි වෙලා ඔහේ කියවනවා. පස්සේ පස්සේ බැරිම තැන මගේ දෙපත්තේ උන් දෙන්නාගෙන් එකෙක් හරි නැති වුනොත් මමත් නැඟිටලා කොහේ හරි යනවා.

ඔය කාලේ දවසක් මාර වැඩක් වුනා.
ඉස්කෝලේ පටන් ගන්න කලින් උදේ මම පංතියේ ඉන්න කොට සුමුදු ඇවිත් මට මොකක්ද කිව්වා. මට ඒක ඇහුනේ නෑ. සුමුදු කතා කරන්නෙත් හරි හිමීට. අනික අපේ පංතියේ උන්ගේ සද්දේ. මම ආයෙක් ඇහුවා මොකක්ද කියලා. එයා ආයේ කිව්වට මට හරියට ඇහුනේ නෑ මොකක්ද කිව්වේ කියලා. ඔය අස්සේ චාමිත් ඇවිත් මොනවදෝ කියන්න හදනවා. මුලින් කතා කළේ සුමුදුනේ එයා කියන එක මුලින් අහන්න ඕනෙනේ. ඉතින් මම පොඩ්ඩක් පාත් වෙලා ඇහුවා ආයෙමත්. සුමුදු මගේ කන ළඟට කරලා කෑගහලා කිව්වා කියන්න ආපු දේ ඔන්න එතකොට තමයි මට ඒක ඇහුනේ. චාමිත් මට මොනවදෝ කියන්නනේ දඟල දඟලා හිටියේ. මම පාත් වෙලා සුමුදුගෙන් කියන්න ආපු දේ අහගත්තා විතරයි චාමි හිමීට මගේ කම්මුලට පාරක් ගැහුවා තරහෙන් වගේ. රිදෙන්න නොවුනත් මට ඊට කලික් කිසිම කෙනෙක් කම්මුලට ගහලා නෑ. අදටත් චාමි විතරමයි ඒ වගේ වැඩක් කළේ. එවෙල නම් මට පුදුම විදිහට තරහා ගියා. ඒත් කෙල්ලෙක්ට අතක් උස්සන්න අද වගේම එදත් මම අකමැති නිසා මම එයාට රිටර්න් එක දෙන්න ගියේ නෑ.( කෙල්ලෙක්ට අත උස්සන එක බොහෝම පහත් ක්‍රියාවක් කියලා මම අදටත් විශ්වාස කරනවා හෙටටත් එහෙම්මමයි ) හැබැයි මම එදා ඉඳන් අද වෙනකම්ම චාමිත් එක්ක වැඩිය කතා කරන්නවත් ගියේ නෑ. මම හිතන්
නෑ එදා ඉඳන් අද වෙනකම්ම චාමිත් එක්ක එක වචන 10ක් මම කතා කරන්න ඇති කියලා.

ඔය සිදුවීමෙන් පස්සේ මගේ උපන් දිනේට උපේක්ෂායි චාමියි දෙන්නාම මට  සුභ පැතුම් කාට් දෙකක් එවලා තිබ්බා. මම ඉස්කෝලේ ඇරිලා දවසක් ගෙදර යනකොට ඒවා ගෙදරට ඇවිත් තිබ්බා. මම මුලින්ම බැලුවේ අපේ අම්මලා ඒක කඩලා බලලද කියලා ඒත් ඒවා කඩලා තිබ්බේ නෑ. උපේක්ෂාගේ කාඩ් එක නිකම්ම යාළුවෙක්ට එවන එකක්. චාමිගේ කාඩ් එකේ මල් මල් අලවලා ඒ මදිවට කොලේක නිසඳෙසකුත් ලියලා දාලා. ඒක අම්මලා දැක්කානම් මට වස ලැජ්ජයි. කොල්ලෙක් ඉඳලත් මේකි මට විකාර කාඩ් එවනවනේ කියලා මට තරහත් ගියා. උපේක්ෂාහෙන් කාඩ් එකක් ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වුනා. මම කාඩ් එකක් එව්ව එක ගැන චාමිට ස්තූති කළේවත් නෑ.

මේ සේරම සිද්ධි අස්සේත් මගේ හිතේ තිබ්බේ උපේක්ෂා ගැනමයි. මේ හැම දෙයක්ම ඉවර වෙලා මම උපේක්ෂාට එයා ගැන මගේ හිතේ තිබ්බ දේ මම කියලා මට වුන වින්නැහිය ඊළඟ පෝස්ට් එකෙන්.......

ප.ලි: මේ ලඟදී දවසක මම ආදරේ කියලා රැවටීමකට අහු උනානේ. සයිබර් ආදරයක්. මම රැවටිලා ඉන්න දවස් වල අම්මාට කිව්වා අම්මේ මට මෙහෙම කෙනෙක් හම්බ වුනා කියලා. අපේ අම්මලා මට දැන් ඕවාට මුකුත් කියන්නේ නෑ. මම දැන් ලොකු පූසෙක් නේ ;) ඒක අම්මාට කිව්ව දවස් වල, දවසක් අම්මා මට කියනවා

මතකද ඔයාට අර ඕලෙවල් කරන කාලේ උපන්දිනේකට බර්ත් ඩේ කාඩ් දෙකක් ආවා

හ්ම්ම්ම්ම්ම්

මමයි තාත්තයි ඒව හිමීට ඇරලා බලලා ආයේ ඒ විදිහටම තියලා තිබබා.

:o මොකක්?????

අපේ තාත්තා ඔය වගේ සූක්ෂම වැඩ වලට හරි දස්සයා. ඒක කිව්ව වෙලාවෙ නම් මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ගියා :$

මේක ලියන් යනකොට සමහර තැන් වලදී මට මෙයාලගේ ඇත්ත නම් ලියවුනානේ මේක පබ්ලිෂ්කරන්න කලින් තව දෙපාරක්වත් කියවලා බලන්න වෙනවා :D

Tuesday, January 11, 2011

ඔබ කැමති මා අකමැති ඔබේ ආදරය.....


ඒ 2004 වර්ෂයයි.  අසනීප වී සිටි නිසාවෙන් පළමු පාසල් වාරය පටන්ගෙන දින කීපයක් පසුවී පාසලට පැමිණීමට සිදු විය. 6 වසරේ සිට 9 වසර දක්වා එකම පංතියේ සිටි අප සැම 10 වසරට වෙන වෙන පංති වලට දමා තිබිණි. අවාසනාවකි.... සිදු නොවේවායි මා ප්‍රාර්ථනා කළ දේම සිදුවී තිබිණි. මා වැටී තිබුණේ ශ්‍රේණියේ නපුරුම(යැයි සම්මත කරගෙන තිබූ) ගුරුතුමියගේ පංතියටයි.

මාගේ මේ කතාමාලාවෙදී ප්‍රධාන චරිත තුනක් හමුවේ. මා මේ ලියනා කතාවේ එන ප්‍රධාන චරිතය මම "සුමුදු" ලෙස හඳුන්වමි. අනිත් දෙදෙනාගෙන් එක් අයෙක් නම්
සුමුදු සේම මට කැමතිව සිටි මම අකමැති වූ "චාමියි". අනෙක් තැනැත්තිය නම් මම කැමතිව සිටි මට අකමැති වූ "උපේක්ෂායි".

මේ තිදෙනාම 6 වසරේ සිටම ඉහත කී ගුරුවරියගේ පංතියේ සිටි පුරුදු කාරියන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාව පළමු වරට හොඳින්ම හඳුනාගත් සිද්ධිය මෙසේයි.

ඒ වන විට අපව 10 ශ්‍රේණියට දමා ටික දිනකි. අප පාසලේ කිසියම් කටයුත්තක් සඳහා පංතිය අස් කිරීමට සිදුවී තිබිණි.තරමක් බරැති ඩෙස් එකක් වෙනත් ශ්‍රේණියකට ගෙන යාමට පැවරී තිබුණේ ඉහත කී කෙල්ලෙන් තිදෙනාටයි. වැඩ මඟහරිමින් දාඩිය දමන තුරු අයිස් ගසමින් සිටි මමත් මගේ මිත්‍රයාවත් අල්ලාගත් කෙල්ලන් තිදෙනා ඔවුන් සමඟ ඩෙස් එක උස්සාගෙන යාමට හවුල් කර ගත්තාය. දැනුත් කාගේවත් හිත නොරිදෙන ලෙස විහිළුවක් කර මිතුරන්ව හිනා ගැස්සීමට කැමති මම එකලද එසේමය. ඉතිං එදා ඔවුන් සමඟ විහිළු කරමින් ඩෙස් එක උසාගෙන සෑහෙන දුරක් යාමට සිදුවූ අතර මා විහිළු කරමින් පැමිණෙන අයුරු බලා සිටි අපේ නපුරු ගුරුතුමිය මට එරෙව්වාය. එදා හඳුනා ගත් ඔවුන් තිදෙනාදෙන් මා සිත ගත්තේ උපේක්ෂා වුවත් අනිත් දෙදෙනාගේ සිත මා වෙන ඇදී තිබූ බව මට පසු කාලයක දැනුනි.

කෙසේ හෝ පංතියේ ඔවුන් තිදෙනා සිටියේ මා සිටින පේළියට පිටුපස පේළියේය. උපේක්ෂා එතැන නිසා මම ඒ පිළිබඳව සතුටු වුනෙමි. කාලය ගත වෙත්ම ඔවුන්ව මට තව තවත් ළඟින් ආස්‍රය කිරීමට ලැබුණි. නමුත් සුමුදුගේ සිත මා වෙත යොමු වෙමින් පැවති බව මම නොදැන සිටියෙමි. එය මට නොදැනෙන්නට ඇත්තේ මගේ සිත උපේක්ෂා වෙත යොමු වී තිබූ නිසා විය හැක.

සුමුදු ගැන කියනවානම් ඇය තරමක් තරබාවු වුවත් පියකරුය. සිනා වෙන විට ඇය තවත් ලස්සනය. ලැජ්ජාවකදී ඇගේ සුදු මුහුණ රත් පැහැ ගැන්වෙයි. තරමක් සන්සුන් ගති පැවතුම් ඇත. තරමක කාලයක සිට පැවතෙන ඇගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා වූයේ අපේ ශ්‍රේණියේ චණ්ඩින්ගේ ලයිස්තුවේ සිටි අයෙකි. ඔවුන්ගේ පෙම් කතාව ශ්‍රේණියේ ගුරුවරුන්ට රහසක් වුවද ශ්‍රේණියේ කිසිඳු ළමයෙකුටනම් එය රහසක් නොවීය. නමුත් 10 වසරට පැමිණෙන විට ඔවුන් අතර කිසියම් ආරවුලක් පැන නැගී තිබිණි.

සුමුදු මා සමඟ වැඩියෙන් කාලය ගත කරන්නට තැත් කරන බව මට වැටහී තිබිණි. එදා පාසලේ විද්‍යා ප්‍රදර්ශණය දවසයි. මමත් කුමක් හෝ අටවාගෙන පීරියඩ් කට් කරමින් සිටියෙමි.
සුමුදුත් එතැනට පැමිණියාය. මම ඇයත් සමඟ කතා කරමින් සිටින විටදී කුමක් හෝ දෙයකට ඇයට විහිලුවක් කිරීමට මෙසේ පැවසුවෙමි.

ඔයාවත් අතේ දුරින් ආස්‍රය කරන්න ඕනේ. ඉස්සර පඬිවරු කියලා තියෙන්නේ යාළුවන්ව අතේ දුරින් ආස්‍රය කරන්න කියලා.

ඇගේ මුහුණ රතු විය. බිම බලාගෙන ටික වෙලාවකින් ඇගේ ඇස් වලින් කඳුළු වැටෙන්නට විය. මීට පෙරෙ කිසිම දිනෙට හඩන කෙල්ලෙකු සනසා නැති මම ලෝක අමාරුවක වැටුණි. 

ඔයාට මාව නිකන්ම නිකම් යාළුවෙක් විතරද?

ඇය තවත් හඩන්නට විය.
එදා මා ඇයට මොනවා පැවසුවාදැයි මට මතක නැත්තේ මා එතැන හොඳටම කලබල වූ නියා විය යුතුය. කෙසේ හෝ ඇයව සනසා පංතියට යැවූ මට වැඩේ දුර දිග යාමට පටන් ගෙන ඇති බව වැටහුනි. ඒ ඇරත් කොල්ලෙක් සිටින කෙල්ලකගේ මේ හැසිරීම ගැන මට තරහා ගියේය.ඒ කොල්ලාත් එසේ මෙසේ පොරක් නොවේ. තවත් වැඩේ දුර දිග යාමට නොදී නවතා ගත යුතුයැයි මම එදා සිතා ගතිමි.

දුර දිග යා නොදී නවතා ගැනීමට සිතූවත් ඇය පැමිණ මා හා කතා කරන විට කතා නොකර සිටීම කෙසේවත් කළ නොහැක්කි. ඇගේ පෙමවතා හා ඇය අතර ප්‍රශ්න වැඩි වෙමින් පැවති බව මට දැනුනි. දිනක් උදෑසන පාසල පටන් ගැන්මටත් පෙර මගේ යාළුවෙක් මා වෙත පැමිණියේය.

මචං පූසා උ
සුමුදුත් එක්ක ඕනාවට වැඩී කියලා අන්න අරූට මල පැනලාලු. උඹට ගුට්ටක් සෙට් වෙයි ටිකක් පරිස්සමෙන් හිටපන්.
ඔය කතාවනම් මට අසන්නට වෙන බව මම හොඳාකාරවම දැනගෙන සිටියෙමි. මා නිසා පවුලක් කැඩෙන්නද යන්නේ? මට ප්‍රශ්නයකි. මාගේ හොඳම මිතුරක් දෙදෙනකු සමඟ කතා කර අවසාන තීරණය ලෙස
සුමුදු සමඟ වැඩි කතාවකට නොයෑමට මම තීරනය කළෙමි.(පොඩි කාලේ මෝඩ වැඩ)

දින කීපයක් ගතවිය. උපේක්ෂා මගේ මිතුරෙකුගෙන් මම සුමුදු සමඟ කතා නොකරන්නට හේතුව විමසා ඇති අතර මගේ මිතුරාද ඇයට සියලුම හේතු පවසා ඇත. එදිනම විවේක කාලයේ සුමුදු ඇගේ පෙම්වතා සමඟ මුල්ලකට වී හඩමින් තරහෙන් කතා කරනු මම දුටුවෙමි. විවේකයෙන් පසු පාසල ඉවර වෙන තුරුම සුමුදු සිටියේ දුකෙන් මුහුණ රතු කරගෙනය. පසුවදා උදෑසනම සුමුදු ගේ කොල්ලා මා සොයාගෙන පැමිණියේය.

මචං උඹද පූසා කියන්නේ?
ඔව්
කවුරු හරි උඹට කිව්වද උඹ 
සුමුදුත් එක්ක ඕනාවට වඩා ඉන්න නිසා මම උඹට ගහන්න ඉන්නවා කියලා.
ඔව්
එහෙම එකක් නෑ බං ඒ කාගේ හරි බොරුවක්.


ඔහු කීවේ එපමණකි. කරුමයට එදා පළමු පීරියඩ් එක උගන්න ගුරුතුමිය පැමිණ නැත. සුමුදු පෙරදා සේම ටික වේලාවක් මුහුණ රතු කරගෙන සිට අඩන්නට පටන්ගත්තාය. ටික වෙලාවකින් උපේක්ෂා මා වෙත පැමිණ

පූසා බලන්න අර ළමයා ඔයා කතා කරන්නේ නෑ කියලා අඩනවා. පොඩ්ඩක් ගිහින් කතා කරන්න.

ඇය අඩනවා දුටු මට ගොඩක් දුක සිතුනි.(ගැහැණියක් හඩන සෑම විටෙකම වාගේ මට දුක සිතෙයි. එය මගේ දුර්වල කමක්ද?) මා ඇය ළඟට ගියවිට ඇය තවත් හඩන්නට පටන් ගත්තාය. ඇය ඉකි ගසමින් අඩයි. මගේ ඉදිරිපිට එදා සිට අද දක්වාම කිසිම කෙල්ලෙක් එතරම් අඩනවා මා දැක නැත. කිසිම දිනක යලිත් එසේ දකින්නට නොලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. කෙසේ හෝ එදිනද ඇයට මොන මොනවාද පවසා මා ඇයව සැනසුවමුත් එදායින් පසු ඇයත් සමඟ විහිළු කිරීමට හෝ වැඩි කතාවක
මා ගියේ නැත. 

පසුව මා ඇයට කැමැත්තක් නැති බව ඇයට හැඟෙන්නට ඇත. 11 වසරට යාමත් සමඟ ඇය මගේ යාළුවෙකුටත් වඩා ගොඩාක් ඈත් වී සිටියාය. මේ සියල්ල සිදුවද්දීත් මගේ සිතේ සිටියේ උපේක්ෂා පමණයි. නමුත් 11 වසරට යාමත් සමඟ සිතේ
උපේක්ෂා මගේ සිතේ සිටියත් චාමිගේ සිත මා වෙත යොමු වී තිබිණි.
ඒ කතාව පසුවට...................

ප.ලි: චණ්ඩි කොල්ලා ඇත්තටම හිත හොඳ කොල්ලෙක්ය. ඔහු චණ්ඩියෙක් වී තිබුණේ සාධාරණය වෙනුවෙන් හඩ නැඟීම නිසාය. ඌ අදටත් මගේ මිතුරෙකි. එදා මෙන්ම අදත් ඒකා අසාධාරණයකදී නැගීසිටියි. ඔහු කිසිම විටෙක හොරයක් බොරුවක් නොකරයි.

මා
සුමුදුට අකමැති වූයේ. මා බලාපොරොත්තු වන ගති ගුණ ඇය ළඟ නොතිබීම නිසා මෙන්ම මගේ හිතේ තිබුණේ උපේක්ෂා නිසායි. 

මේ විකාර සිද්ධීන් නිසා 10 වසරේදී මට උපේක්ෂාට එතරම් ලං වීමට නොහැකි විය. 11 වසරේදී චාමි නිසා නොහැකි විය. ඒ කතාව පසුවට.

Thursday, January 6, 2011

සයිස් එක මොකක්ද?(තවත් අවාසනාවන්ත සත්‍ය කතා දෙකක්)


ඔන්න බ්ලොගයට අලුත් ඇඳුමක් එහෙම අන්දලා නව වසරේ පළවෙනි පෝස්ට් එක දාන්න යන්නේ. මූණුපොතේ මගේ ආදරී ලියලා මම ලියපු කවියක්(අනේ මන්දා ඒවාට කියන්නේ කවි කියලද දන්නේ නෑ)ඊයේ mini කවි එකේ දාලා තිබ්බනේ.. ඒක මම ලිව්වේ හරියටම ගිය අවුරුද්දේ නොවැම්බර් 16 වෙනිදා. ගොඩාක් දුක හිතුනු වෙලාවක ආපු තරහත් එක්කම...... ඔන්න විකාර කියවන්න ගත්තා කතා දෙක කියන්නේ නැතුව.

කතා දෙක පටන් ගන්න කලින්ම කියන්නම්. මේ පළවෙනි කතාව මට යාළුවෙක් කිව්වේ. එයාගේ යාළුවෙක් කරපු මරු වැඩක් කියලා. අනිත් සිද්ධිය වෙනකොටනම් මම හිටියා. මම කලින් පෝස්ට් එකක ලිව්ව සත්‍ය කතා ටික ඇත්තටම මම අත්විඳපු දේවල්. ඔන්න එහෙනම් පටන් ගත්තා කතා දෙක.

කතා අංක 01
ඔන්න දවසක් රුක්ෂාන්ට එයාගේ ඇඟ හදාගන්න ජිම් එකකට යන්න හිතුනලු. ඉතිං මෙයා සේරම අවශ්‍ය බඩු බාහිරාදිය ගත්තලුම් හැබැයි මෙයාට තනියම ගිහිල්ලා සපෝටර් එකක් ගන්න ලැජ්ජයිලු.

(හපොයි සපෝටර් දන්නේ නැති උදවිය නෑ නේද? ඔව් ඔව් අර පටි සීන් එක තමයි. මොකද බොල හිනා වෙන්නේ. මේවා මිනිස්සු අඳින ඇඳුම්. හුටා ඔය කෙල්ලට තාම මීටර් නැද්ද? ඔය දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්නකෝ)

ඕං ඉතිං මිහිහා එයාගේ යාළුවෙන් වුන අරුණව ඇදගෙන ගියාලු සපෝටර් එක ගන්න. රුක්ෂාන් මීට කලින් කවදාවත් සපෝටර් එකක් අරන් තිබ්බේ නෑලු. ඉතිං මේකා අරුණ එක්ක යන ගමනුත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරිලු ගියේ. කොහොම කොහොම හරි කඩේට ගිහින් සපෝටර් එක ගන්න යනකොට රුක්ෂාන්ගේ කරුමෙටම එතන ඉන්නේ අක්කා කෙනෙක්ලු. දැන් මූ එතන තවත් ඇඹරෙනවලු. අරුණයා අරූට බණිනවලු.

අරුණ: මොන මඟුලක්ද බං කරන්නේ ගිහිල්ලා අර අක්කාට කියලා ඉල්ලගනින්කෝ.

රුක්ෂාන්: බලපන්කො බං එතන කෙල්ලෙක්නේ ඉන්නේ.

අරුණ: කවුරු හිටියාම මොකද බං. උඹ ගිහින් උඹට ඕන එක ඉලපංකෝ. උඹ නිකං ළඳක් වගේනේ.
ඔන්න කොහොමහරි අරුණ රුක්ෂානයාව අක්කා ළඟට බලෙන් වගේ ඇදගෙන ගියාලු.

රුක්ෂාන්: අක්කේ මේ සපෝටර් එකක්.......
මිනිහා ඇදලා කියනකොට අක්කට තේරුණාලු.

අක්කා: මොකක්ද මල්ලි සයිස් එක?
මළකෙලි හතකි.... රුක්ෂානයා ආයෙත් ඇඹරෙනවාලු.

අරුණ: මොකක්ද බං කරන්නේ අක්කට කියපන්කො සයිස් එක.

රුක්ෂාන් වටපිට බලා මැදගිල්ලට පොඩ්ඩක් පහල තැනක් පෙන්වමින්.
රුක්ෂාන්: අක්කේ...... මේ.......... මෙච්චරක් විතර ඇති.

----------------------------------------------------------------------------------------

කතා අංක 02

ඔන්න දවසක් යාළුවෝ සෙට් එකක් එක්ක මමත් ගියා පොඩි ට්‍රිප් එකක්. ඔන්න අපේ කට්ටියට උදේ සීතලේ ගැහෙන ගමන් ඕන වුනා කියපංකෝ පූල් එකක නාන්න. ඔන්න ඉතිං දැන් කට්ටියකට නාන්න අඳින කලිසම් නෑලු. ඔන්න බලනකොට තුන් දෙනෙක්ට ඒවා නෑලු. ඔන්න ඒ තුන්දෙනාව යැව්වා යඩේකට. ගිහිල්ලා ඕන ඒවා අරගෙන වරෙල්ලා කියලා. මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් උස මහතෙන් ටිකක් එකම සයිස් වගේ. අනිත් එකා ටිකක් පොඩියි.(ටිකක් කිව්වට ඉතිං ටිකක්මත් නෙවෙයි )

ඔන්න තුන් දෙනත් එක්ක කඩේට ගියා. එතනත් ඉන්නේ අක්කා කෙනෙක්. අක්කා කිව්වට නංගිද මන්දා. ඔන්න කට්ටිය ගියා.

එකෙක්: අක්කේ ස්විමින් ට්‍රන්ක්ස් තියෙන්නේ කොතනද?

අක්කා: ආ මේ තියෙන්නේ..
ඔන්න ඉතිං දැන් කට්ටිය එක එක පාට ඒවා අරං තෝර තෝර බලනවා. ඇඟට තියලා බලනවා. එක විකාරයයි. ෆිට් ඕන් කරන්න විතරයි අහුවේ නැත්තේ මම හිතන්නේ.

අක්කා: තුන් දෙනාටම එකම සයිස් හරියයි නේද?
ඔන්න එකතකොට අර මම කලින් කිව්වේ එකෙක් පොඩියි කියලා. ඒකා පැන්න ගමන් කියපි

පොඩි එකා: අක්කේ මගේ ටිකක් පොඩියි.

ළඟ හිටි අයියා කෙනෙක්ට කතා කළ අක්කා අපේ උන්ට ස්විමින් ට්‍රන්ක්ස් තෝරා දීමේ කාරිය අයියාට පැවරුවාය.

Monday, December 27, 2010

පොෂ් (පුස්) කට්ටිය (සත්‍ය කතා කීපයක්)


අපි ඒ ලෙවල් ඉවර වෙලා උසස් අධ්‍යාපනේ විශ්වවිද්‍යාලෙකින් හරි වෙනයම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් හරි ලබාගන්න යනවනේ. එතකොට බොහෝමයක් වෙලාවට අපිට ඒ දේවල් කරන්න වෙන්නේ කඩ්ඩෙන්. විශ්වවිද්‍යාල වල කෙසේ වෙතත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට එනවා පොඩිකාලේ ඉඳන්ම කඩ්ඩෙන් ඉගෙන ගත්තු කට්ටිය. සමහර අය හරි අමාරුවෙන් සිංහල කතා  කරන්නේ. තවත් කට්ටිය බොරුවට පේන්න සිංහල බෑ වගේ කතා කරනවා. කොහොම හරි මේ තියෙන්නේ ඒ වගේ සමහර අයගේ ගැන ඇත්තම ඇත්ත සිද්ධීන් කීපයක්.

ඔන්න ඉතිං ඉන්නවා එක කොල්ලෙක්. මිනිහා හරිම පොෂ් හරි අමාරුවෙන් සිංහල කතාකරන්නේ. හැබැයි මිනිහා සිංහල බෞද්ධ. සිංහල ලියන්න පොඩ්ඩක්වත් බෑ කියවන්නත් බෑ. මිනිහගෙන් අහුවාම මිනිහා සිංහල ලියන්න කියවන්න බෑ කියන්නේ බොහෝම ආඩම්බරෙන්. හැබැයි මම හොඳටම දන්න දෙයක් මිනිහගේ දෙමව්පියෝ මිනිහත් එක්ක සිංහලෙන් කතාකරනවා. අපි එයාට මෙනැන් ඉඳන් සුපුන් කියමුකෝ.

දවසක් මමයි මගේ යලුවෙකුයි අවසන් වරට වෙනස් වූ අය වැය ගැන සාකච්චාවක්. සුපුන් ළඟින් ඉන්නවා එයාගේ මාමා ඇමෙරිකාවෙන් එවපු ලැප්ටොප් එක ඔබ ඔබා.

සුපුන්: මොකක්ද බං අය වැය කියන්නේ?

මම: (කතාකරමින් සිටි යාලුවාට) මූට ඉතිං සිංහල බෑනේ. කඩ්ඩෙන් කිව්වම තේරෙයි. (සුපුන්ට)අය වැයට කඩ්ඩෙන් කියන්නේ බජට් එක කියලා. දැන් උඹට තේරුනා නේද මොකක්ද අය වැය කියන්නේ කියලා.

සුපුන්: ආහ් හරි හරි.

ආයෙත් මමයි යාලුවයි කතාව පටන් අරන් ටිකක් වෙලා යනකොට

සුපුන්: මේ...... මොකක්ද බං බජට් එකෙන් වෙන්නේ?
මගේ කටට ආවා හොඳ වචන දෙක තුනක් අමාරුවෙන් ඒවා නවත්තගෙන සුපුන්ට සරලව පැහැදිලි කළා මොකක්ද බජට් එක කියන්නේ කියලා. කියපුවා තේරුනාද දන්නේ නෑ.
------------------------------------------------------------------------------
මේ කතාවත් සුපුන් ගැනමයි.


සුපුන්ගේ තියෙන්නේ හරි ලොකු කතා. කතා කලොත් කතා කරන්නේ කෝටි ගණන් වලින්. ඒත් කිව්වම මොකෝ හදිස්සියකට සුපුන්ට කෝල් එකක් දෙන්න ගියාම අපිට පිස්සු හැදෙනවා මොකද අද කාලේ මොන්ටිසෝරි ළමයි ළඟ උනත් තියන ජංගම දුරකතනයක් සුපුන්ගාව නැති නිසා. තව දවසක්

මම: මචං ෆෝන් එකක් ගනිංකෝ බං හදිස්සියකට උඹට කෝල් එකක්වත් දෙන්න විදිහක් නෑනේ.

සුපුන්: එකක තිබ්බා බං

මම: කොහේද ඇමෙරිකාවේ මාමා ගාවද?

සුපුන්: නෑ බං මා ගාව තිබ්බා N95 එකක්.

මම: නෑ....... කෝ ඉතිං ඒක?

සුපුන්: ඒක නැති උනානේ බං.

මම: අපරාදේ කවුරුහරි හොරකම් කරලද?

සුපුන්: නෑ බං.

මම: එහෙනම්

සුපුන්: මගේ කාමරේ මචං ඇඳවල් දෙකක් තියනවා. එකක් ලැප්ටොප් එක තියාගෙන වැඩ කරන්න. අනික නිදාගන්න. ඔය ලැප්ටොප් එක තියන ඇඳ ටිකක් හැඩිවෙලා තියෙන්නේ. ඒකේ උඩ ෆෝන් එක දැම්මා දැන් ඒක නෑ බං.

සුපුන් මට ඔය කතාව කියලා දැන් මාස 6කට කිට්ටුයි. හැබැයි මිනිහට තාම ෆෝන් එක හම්බවෙලා නෑ. අනේ උගේ N95 ........
------------------------------------------------------------------------------ 

මේ කතාවට සම්බන්ධ කෙනාගේ නම අපි තරුෂි කියලා ගමුකෝ.
ඔන්න දවසක් මම යාලුවෙක් එක්ක ළමයි පොඩි කාලේ ඉඳන්ම ඉනර්නැෂනල් ඉස්කෝල වලට යැවුවාම එයාලට අපේ සංස්කෘතිය, අතීතය ගැන දැනුමක් නැති තරම් කියලා කතාවෙනවා.

මම: බලපන් දැන් අපේ සුපුන් මිනිහට සිංහලත් බෑ. ආයේ උගෙන් අතීතේ ගැන මුකුත් අහන්න පුළුවන්ද?

සුපුන්: (ආඩම්බරෙන්)අනේ අනේ මේ මගෙන් නම් ඕවා අහන්න එපා. මම ඕවා දන්නේ නෑ.

මම: බලපන් දැක්කනේ... තරුෂිත් ඔයවගේම තමයි.

තරුෂි: අනේ මේ ඉන්නවා... මට සිංහල ලියන්න කියවන්න පුලුවන් ඉන්ටර්නැෂනල් ගියාට මම අපේ රටේ සංස්කෘතිය අතීතෙ දන්නවා.

මම: හරි එහෙනම් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

තරුෂි: හා අහන්න ඕන එකක්.

මම: හ්ම්ම්ම්ම්ම් හරි කියන්න බලන්න කවුද විජය කුමාරයා කියන්නේ කියලා.

තරුෂි: අයියෝ ඕකද ප්‍රශ්නේ..... ඕක සිම්පල් නේ.

මම: හරි ඉතිං සිම්පල් නම් උත්තරේ දෙන්නකෝ.

තරුෂි: විජය කියන්නේ............. චන්ද්‍රිකාගේ හස්බන්ඩ්නේ අනේ.

චන්ද්‍රිකාගේ හස්බන්ඩ්????  o_O මොකටද මගේ කට...........

ඔන්න පොෂ් කට්ටිය. පොෂ් ද පුස් ද?
සමහරු හිතන් ඉන්නේ සිංහල බැරි කම තමයි පොෂ් කියන්නේ කියලා. පොෂ්????? මොකක්ද හැබෑට ඔය පොෂ් කියන්නේ......

Tuesday, December 21, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට පැමිණි චාටර් බුවාලා


Taboo subjects හි "කාලිංග අයියා බ්ලොග්කරුවන්ට දුන් සාඩම්බර එළවළු බත් දන්සැල" නමින් ලිපියකි. ඒ ලිපියට සබඳියක් ලබා දුන්නේ නැත්තම් මේ ලිපිය කියවන ඒත් ඒ ලිපිය නොකියවූ අයට කරන අසාධාණයක් නේ. ඔන්න ඒ නිසා සබඳියක් දැම්මා. කොහොමින් කොහොම හරි ටැබූ ලියලා තියෙන්නේ එයා දාපු ලිපිය එයාට කව්දෝ පාඨකයෙක් එව්වා කියලා. මම නම් ඉතිං කියන්න දන්නේ නෑ ඒ ඇත්තද බොරුද කියලා. ටැබූ කියන නිසා ඔන්න මම ඒක පිළිගන්නවා. ඉතිං මට පුදුම ඒක ලියපු කෙනා ඒක එයාගේ බ්ලොග් එකේ දාන්නේ නැතුව ටැබූට දුන්නේ ඇයි කියලා. සමහර විට ඒක ලියපු කෙනා කෙලින් කතා කරන්න බය කෙනෙක් වෙන්න ඇති. මටත් මොකක් හරි අසාධාරණයක් දැක්කාම කට පියාගෙන ඉන්න බැරි නිසා වගේම හැංගි හැංගි ලිපි ලියලා අනිත් උන්ට බාර දෙන්න අකමැති නිසා ඔන්න ඕන දෙයක් වෙච්චදෙන් කියලා මේක මගේ බ්ලොග් එකේම ලියනවා.

ඒ ලිපියට අදහස් තොගයක්ම වැටිලා. වැඩේ කියන්නේ එකම නමින් එක එක අය අදහස් දක්වලා. එක්කෙනෙක් එකක් කිව්වමා ඒ නමින්ම තව කෙනෙක් ඇවිත් කියනවා ඒ මම නෙමෙයි කියලා. මට පිස්සු වගේ ඇත්ත එකා හොයන්නත් බෑ බොරු එකා හොයන්නත් බෑ. කවුරු හරි අනුන්ගේ නමකින් අදහස් දක්වන්නේ. වෙන මොකක්ද ඉතින් බියගුලු ගතියනේ. ඒ ලිපිය ලියපු කෙනාගේ බ්ලොග් එක කාලිංග අයියලාගේ සින්ඩියේ නෑ මම හිතන්නේ. ඒ තරහටත් එක්ක තමයි ලියලා ඇත්තේ. මොනවා කරන්නද ඒ එයාගේ අදහස්නේ මේ මගේ ඒවා ඕං.

ඒ ලිපිය ලියූ  අහිංසකයා මුලින්ම සිංහල යුනිකේත විවේචනය කරලා. ඒත් වැඩේ කියන්නේ ඒ ලිපිය ලියලා පල කරලා තියෙන්නෙත් සිංහල යුනිකේත භාවිතා කරලමයි. ඊළඟ ඡේදෙන් කියලා තියෙන්නේ එතන හිටපු සමහර අයගේ බ්ලොග් අඩවි එයා කලින් අහලා නැතිලු. එයා ඒක කියන්නේ හරියට සින්ඩි ඔක්කෝගෙම තියන බ්ලොග් අඩවිටික එයාට කට පාඩමෙන් කියන්න පුළුවන් වගේ. බොරු බයිලා ඕනේ නෑ මම දන්නේ නැති බ්ලොග් අඩවිත් එතන ඕන තරම් තිබ්බා. ඇරත් මගේ බ්ලොග් අඩවිය උනත් වැඩි දෙනෙක් දන්නේ නෑ. ඒවා දැන ගන්න එක්ක තමයි සුහද හමුවක් තිබ්බේ. කමෙන්ට් මොඩරේට් කරන්නේ ඔය අනුන්ගේ නම් වලින් ඇවිත් කුණුහරුප දාන අයගෙන් වගේම නමක් ගමක් නැති කමෙන්ට් දාන අයගෙන් තමන්ගේ අඩවිය ආරක්සා කරගන්නනේ. නැත්තම් ඔල්මොරොන්දං උන් ඇවිත් ගොං කමෙන්ට්ස් දානවනේ. ලිපි ලිය ලියා අනුන්ට දීලා පලකරගන්න අයට ඔය ප්‍රශ්න තේරෙන්නේ නෑ.

කාලිංග අයියලා සුහද හමුවක් සංවිධානය නොකරන්න අපිට බ්ලොග් ලියන කියවන අයව හමු වෙන්නේ නෑනේ. මොකද ඔය පොර ටෝක්ස් දෙන කට්ටියට පුළුවන්ද ඒ වගේ දෙයක්වත් කරන්න. ඒක ලියපු කෙනා කියන විදිහට ඕං මාලිංග ගේ නම හැදිලා තියෙන්නේ මේ විදිහට වෙන්න ඇති. මහා+ලිංග= මාලිංග (සමාවෙන්න මේ තියරිය මගේ නෙමෙයි ඒ ලිපිය ලියපු කෙනාගෙමයි.)
ඒ ලිපිය ලියලා තිබ්බ ඔක්කොම ඒවා අරන් පහදන්න මට උවමනාවක් නෑ. ඒත් මම මෙහෙම කියන්නම් ඒ ලිපියේ තියන කිසිම දේකට මම එකඟ නෑ.

ඒ ලිපියේ තියන කමෙන්ට් ගොඩේ මාරයා කියලා දාපු කමෙන්ට් එකක් තිබ්බා. ඇත්තටම මාරයා අයියා දැම්මද නැද්ද කියලනම් දන්නේ නෑ. ඒකේ ඇත්තක් තියනවා "කාලිංග කරන දේ කාලිංග ගෙනියයි.
ඔබලා කරන දේ ඔබලා ගෙනියයි. කාලිංග අඩුම ගානේ එහෙමවත් කරනවා
" ඉතිං ඔය මඩ ගහන එක පැත්තකින් තියලා වැඩකට ඇති වැඩක් කළානම් කොච්චර හොඳද. 
මට ගොඩාක් දුක හිතුනා ඒ ලිපිය ලියපු කෙනා කාලිංග අයියලා සල්ලි වියදම් කරලා හදලා අපිට නිකං දීපු බත් එක කාලා ගිහිල්ලා ලියලා තියන ලිපිය ගැන. මට ඉතිං ලියනවනම් ලියන්න තිබ්බා මීට වඩා දරුණු වචන වලින්. එහෙම ලියවෙයි කියලා තමයි ටැබූගේ ලිපිය දැකලත් පැය කීපයකට පස්සේ මේක ලියන්න ගත්තේ.

මගේ අදහස මේකයි ඒ ලිපිය කවුරු ලිව්වා උනත් ඒ කරලා තියෙන්නේ බොහෝම පහත් වැඩක්. මොකද එදා දවස පුරාම තිබ්බ දේවල් එකින් එකට අරන් ඒවා විවේචනය කරලා. ඒ කියන්නේ සුහද හමුව පිළිබඳ ඒ ලිපිය ලියපු පුද්ගලයට ලොකු ඊරිසියාවක් තිබිලා නැත්තම් මොකක් හරි වෛරයක් තිබිලා. නැත්තම් වෙච්ච හැමදේම වැරදියට දකින්නේ කොහොමද? කොහොමත් හොඳ වැඩක් කරන මිනිස්සුන්ට මඩ ගහන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. ඒ හැටි.

මට ඒ ලිපිය දැකලත් ඕනෙනම් කටපියන් ඉන්න තිබ්බා දැක්කේ නෑ වගේ. ඒත් කරුමේ කියන්නේ මට අසාධාරණේකදී එහෙම ඉන්න බෑ. 

කාට හරි මට බැනලා කමෙට් කරන්න ඕනෙනම් බයනැතුව ඒ අයගේ ඇත්ත ගිණුම් වලින් ලොග් වෙලා මට බැනලා යන්න. කලින්ම කියන්නම් මම කමෙට් මොඩරේෂන් දාලා තියෙන්නේ. හොඳක් කිව්වත් නරකක් කිව්වත්
Anonymous කමෙට්ස් පබ්ලිෂ් කරන්නේ නෑ.
හැමදේම විවේචනය කරන්න නෙමයි හොඳ දේ හොඳ විදිහටත් නරක දේ නරක විදිහට දකින්නත් පුරුදු වෙයල්ලා.
Related Posts Plugin for WordPress, Blogger...