Thursday, October 18, 2012

ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය...



"ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"

මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ඕනෑ විදිහට ය. උන් මහත් පරිශ්‍රමයකින් සමාජ සම්මතයන් තමන්ගේ ජීවිත තුලට ඔබ්බවාගෙන දුක් විඳියි. තම ආශාවන් විඳිම් යටපත් කර දමයි. විටෙක මට උන් ගැන කණගාටුය. උන්ගේ බියගුලු කම් ගැන තරහා ය. 

"මගේ අත් ගොරෝසු ඔයාගේ අත් සිනිඳු නිසා"

"ඒ උනාට මේ වගේ අත් තියෙන්නේ කොල්ලන්ට"

"කොල්ලෝ ගොඩකගේ අත් අල්ලලා තියෙනවා වගෙයි?"

"නෑ දෙන්නෙක්ගේ විතරයි"

"ඉතිං ඇයි ඒ අත් අතෑරියේ?"
ඈ ඇඳට මදක් ඔබ්බෙන් වූ ජනේලයෙන් පිටත බලා ගත්තාය. මොහොතක් නිහඩව සිටි ඈ නැවත් මදෙසට හැරුණාය.


"ඒ අත් වලින් මට කිසිම හැඟීමක් දැනුනේ නෑ, මේ අත් වලින් වගේ"
මගේ අත ඈ ලයට තුරුලු කර ගත්තාය.


ඈ මෙන්ම මාද එක් වරක් එවන් වූ හැඟීම් විරහිත බැඳීමකින් පීඩා විඳ ඇත්තෙමි. මිතුරු මිතුරියන්ගේ බල කිරීමට ජීවිතේ පළමු වතාවට ඇති කර ගත් ඒ බැඳීම සිහි කිරීම පවා මට අපුලකි. ඔහු හා දෑත් පටලා ඇවිදීම මට මහත් කරදරයක් පමණක්ම විය. ඔහුගේ හාදු මාගේ දෙකොපුල්, දෙතොල් කිලිටි කරන බව හැරෙන්නට වෙන කිසිදු හැඟීමක් මා හට ගෙන නොදීය. ආදරය යැයි කියාගෙන ඔහු කළ කී දෑ මට මහත් හිසරදයක් පමණක්ම වූ තැන මම ඒ බැඳිම නවතා දැමීමට තීරණය කළෙමි. යලිත් කිසිම දිනෙක එවන් වූ බැඳීම් ඇති නොකර ගැනීමට එදා මා තදින්ම සිතට ගතිමි.

මා එවන් වූ හැඟීම් විරහිත බැඳිමකින් පීඩා වින්දේ එක් වරක් පමණකි. නමුත් මෑ දෙවරක්ම එවන් වූ බැඳීම් වලින් පීඩා විද ඇත. මට ඈ ගැණ කණගාටුවක් ඇති විණි. ඈ තවමත් මා අත තුරුළු කරගෙනය. මම අනෙක් අතින් ඇගේ හිස පිරිමදින්නට ගතිමි. මගේ අතැඟිලි අතරින් බේරෙන ඇගේ සිනිඳු කෙස් ඇති කරනා හැඟීමට මම ආසා කරමි.

"ඔයාලගේ ගෙදරින් වගේම අපේ ගෙදරිනුත් බඳින්න කෙනෙක් හොයන්න පටං අරං"
ඇගේ හඩ දුක්මුසුය.

මම කිසිත් නොකියාම ඇගේ හිස පිරිමදිමි. හිතට සියුම් වේදනාවක්ද දැනෙයි. මෙය මා බලාපොරොත්තු වූවකි. මසක පමණ සිට මා නිවැසියන්ද පුවත්පත් වල මංගල යෝජනා තීරු පිරික්සන්නට පටන් ගෙන ඇත. මගේ සිතුවිලි වේගයෙන් එහා මෙහා යයි. සංස්කෘතිය.......... සමාජය........... සභ්‍යත්වය........ ලබ්බ! සියල්ලක්ම පිළිබඳව මට ඇති වන්නේ වෛරයකි. වෛරය........... මගේ ආශාවන් මගෙන් උදුර ගන්නා වූ සංස්කෘතියට ඇති වෛරය, මගේ බලාපොරොත්තු මගෙන් උදුර ගන්නා වූ සමාජයට ඇති වෛරය.... සියළු වෛරයන් එක් වී අවසානයේ මේ රට පිළිබඳව ඇති වන්නා වූ වෛරය හමුවේ මම දත් මිටි කමි.

අත් වැල් පටලන් යන පෙම්වතුන් පිළිබඳව විටෙක ඇති වන්නේ ඊර්ෂ්‍යයා සහගත හැඟීමකි. ඔවුන්ට ඇති ඒ නිදහස තබා, අසම්මත පෙම්වතුන් යන කිළිටි ලේබලයකුදු අපට හිමි නැත. ඉතින් එවන් වූ සමාජයක්, රටක් ගැන මගෙ හිතේ ඇති වන වෛරය අතිශය සාධාරණය. ලොව ජීවත්වන සියළුම සත්වයින් ආත්මාර්ථකාමීය. නමුත් මනසින් උසස් යැයි කියා ගන්නා මනු සතා අනෙක් සියළුම සත්වයින්ට වඩා ආත්මාර්ථකාමී කුහක සත්වයෙකි. ඌ බහුතරයකගේ කැමැත්ත, ආශාව වර්ණනා කරන අතර සුළුතරයකගේ කැමැත්ත, ආශාව විවෙචනය කරයි. 

සිතේ නොසන්සුන් ගතිය මා සිතුවිලි අතර අතරමං කරවයි. එය ගැටළුවට විසඳුමක් වෙනුවට මා සිත අවුලෙන් අවුලට පත් කරයි. මම ඇඳෙන් නැඟිට ජනේලය අසලට ගොස් දුම් වැටියක් දල්වා ගතිමි. කඩයකට ගොස් සිගරට්ටුවක් මිලට ගැනීමේදී පවා මේ සමාජයේ අසාධාරණත්වය මොනවට පෙන්නුම් කරන්නකි.

දුම් උගුරු කීපයක් යනු හිතට යම් අස්වැසිල්ලකි. ජනේලයට ඔබ්බෙන් පෙනෙන නොනවත්වා ගමන් කරන වාහන දෙස බලාන මම දුම් වැටිය උරමි. නැවත් හැරී ඈ දෙස බැලීමි. ඇය කොට්ටයක් තුරුළු කරගෙන දෙනෙත් පියාගෙන සිටියි. සිගරට් නොබොන ඈ දෙස බලාගෙනම අවසාන දුම් උගුරද ගිලගත් මා ෆිල්ටර් කොටය ජනේලයෙන් පිටතට වීසි කළෙමි.

"අපි බඳිමු"
මම පැහැදිලි හඩින් කීමි.

"අපි?"
දෙනෙත් හැරි ඈ, සාමාන්‍ය පමණට වඩා වටකුරු දෙනෙතින් බලාගෙන මා වෙත පිය නැඟීය. ඇගේ මුහුණ දුක සතුට විශ්මය කැටි ප්‍රශ්නාර්ථයක් මෙන් මට දිස් වෙයි.

"ඔව්! අපි බඳිමු............... අම්මලා හොයලා දෙන කාව හරි"

"එතකොට?"
ඇගේ මුහුණ අඳුරු විය.

"එතකොටත් අපි මේ වගේම හොඳම යාළුවෝ විදිහට ඉමු"

මම ඇගේ මුහුණ දෙස බැලීමි. ඇගේ හිතේ ඇතිවන හැඟීම් මුහුණෙන් කියවීමට මම කවදත් ප්‍රිය කරමි. ඒ මුහුණේ අඳුර අඩු වූ අතර දෙතොලේ පුංචි සිනා රැල්ලක් සටහන් විය. ටික වේලාවක් ඈ දෙස බලා සිටි මා ඇගේ කොපුල සිප ගතිමි. ඈ මගේ බඳ වටා අත් දමා මා ඈ වෙතට කරගත්තාය. මාද ඇයට තුරුලු වී ඇගේ ගෙල සිප ගතිමි. ඇගේ පියොයුරු වලට මගේ පියොයුරු තද වන විට දැනෙනා මේ හැඟීමට මම ආසා කරමි.


෴෴



[පින්තූරෙ - http://theaveragegirlnextdoor.files.wordpress.com/2010/09/girl_looking_out_window-28993534_std.jpg]

41 comments:

  1. ෆයර්, තනි තටුවෙන්.. ඇතුළු මේ ගැන හැදිච්ච රාශියක් චිත්‍රපටි වගේම කියවලා තියෙන පොත් රාශියක් මතක් උනා..බහුතරයකගෙ මතය පස්සෙ අන්ධානුකරනයෙන් යන සමාජයක ඛේදාන්තය මේක තමයි..

    ReplyDelete
  2. ජානමය වෙනසකින් සෑදෙන මෙවන් ඵල දැකීමම මා නොරිසන්නේය ඒ මාගේ හැඟීමයි..... ඔබේ හැඟිම මීට බොහෝ සෙයින් වෙනස් විය හැක ඒ පුද්ගල නිදහසද...?

    ReplyDelete
  3. රාජ් මෙම ඵලය සෑදෙන්නේ ජානමය වෙනසකින් නොෙව්. අඩු තරමින් ඒෙස් යැයි ඔප්පු ෙකාට නැත.

    අතිශයින් ම Masculine ෙහා් Feminine ලෙස වර්ග කරන පුද්ගලයින් පවා සිරගත කිරීම වැනි ෙකාටු කිරීම් වලට බදුන් කල විට සමරිසි වන බව ඔබ දන්නවා ද?

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරිමට ස්තුතී මට ඔන උනේ මගේ අපුල ගැන අදහසක් දක්වන්න පමනයි විද්‍යාත්මක සාධක ගැන ලොකු දැනුමක් මේ පිළිබඳව මට නෑ

      Delete
    2. රාජ්ගෙයි සම්පත්හෙයි කතාව නිසාමයි මාත් ටිකක් හොයල බැලුවේ. විකිපීඩියාවේ වැදහත් තොරතුරු තිබ්බා!
      http://en.wikipedia.org/wiki/Homosexuality

      Delete
  4. හ්ම්ම් හ්ම්ම්ම්.... ඒ අ-සම්මතය කෙටියෙන් පෙන්නපු විදිය නියමයි.

    ReplyDelete
  5. හ්ම්ම්.... අන්තිමට එනක්ම් පැටලිලා තිබ්බේ, අන්තිම වාක්‍ය කීපය කියවද්දී සියල්ල නිරවුල් වුනා
    මෙහෙම දේවලුත් තියනවා....

    වටරවුමේ - මුදියන්සේ

    ReplyDelete
  6. අසම්මතේ සත්‍ය කථාවක් වගෙයි....වැඩිය කියවෙන්නෙ නැති මාතෘකාවක්...

    ReplyDelete
  7. මමත් වැඩිය ප්‍රිය නොකරන මාතෘකාවක්. එත් අපූරුවට ගොඩනගල තියනවා. කතාවේ අන්තිමට තමයි පැටලිල්ල ලිහාගත්තෙ. ජය.

    ReplyDelete
  8. මැද හරියෙ ඔහු කියද්දි මම හිතුවෙ පූසාට පැටලිලා කියලා... සිගරට් සීන් එකේදී තමයි තේරුනේ මේ සමරිසි සීන් එකක් කියලා....

    ලොවට නොපෙනන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්, කරනු බැරි තහනම්

    ReplyDelete
  9. කියවන් යද්දි මට පැටළුනාද පූසට පැටළුණාද කියල හිතුණා. ආයෙ ආයෙම කියවලත් හරි ගියේ නැති තැන දිගටම කියෙව්වා... :) එතකොටයි තේරුණේ....
    අසම්මතයක් ඇති වෙන්නෙත් ඉතිං සම්මතයක් තියෙන නිසානෙ... සංස්කෘතිය සදාචාරය සභ්‍යත්වය අරක මේක අනිත් එක (අර කීවා වගේ ලබ්බ) පැත්තකට දාල බැලුවොත් නිදහසේ රසවිදින්න පුළුවනි. නැත්නම් අර මුල් කී ඒවයේ අපි වටා විහිදිලා තියන අක්මුල් අපේ චින්තනය අහුරණවා....

    හරි ලස්සනට ලියවිලා යාලුවා....
    සුබපැතුම්.....

    ReplyDelete
  10. :O පූසා ඔයා !!!! :D

    ReplyDelete
  11. ආදරේ සමරිසි වීම අසම්මතද ? නැතිනම් ජීවිත වලට බලෙන් සම්මතයක් රිංගවාගත්ත අපි දකින විදියද ?

    ReplyDelete
    Replies
    1. එක එක අය හදා ගත් සීමා මායිම් ඇතුලේ එක එක අය දකින දේ එක එක විදිහයි!

      Delete
  12. අපි ඉන්නේ සීමා මායිම් වලින් පිරුණු ලෝකෙකනේ.
    මේ වගේ බැඳීමක් මම දකින විදිහට සොබා දහමට විරුද්ධයි.එහෙම කියල මේ වගේ අයව කොන් කරන එක නම් මම අනුමත කරන්නේ නෑ.කලාතුරකින් එහෙම අය ඉන්න පුළුවන්.එක ස්වාභාවිකයි.
    මෙහෙම දේකුත් තියෙනවා.පිරිමි ළමයිව මත් කුඩු වලට එහෙම ඇබ්බැහි කරලා සමලිංගිකත්වය ට පොළඹවා ගන්න එක ඇද කාලේ සුලබ දෙයක් වෙලා.ඒ වගේ එවටනම් විරුද්ධ වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ආශාවන් තවත් කෙනෙක්ට හිංසාවක් පීඩාවක් නොවෙන තාක් ඒක ප්‍රශ්නයක් නෙමයි!(මට)

      Delete
  13. ආදරය කරන දෙන්නෙක් මේලෝකෙ එකතුවෙන්න හදද්දී මූණදෙන්න වෙන අභියෝග ගොඩක් එනවා... දෙමාපිය කැමැත්ත, ආගම ජාතිය කුල මල නොගැලපීම්, පවුල් පසුබිම යනාදී මේ වගේ ලොකු පොඩි හේතු ගොඩක් අතරේ දෙදෙනාම එකම ලිංගයක වීමත් ඉන් එකක්... ඉතින් මොනවා කරන්නද? :) තමන්ගේ ආදරය ගැන විශ්වාසය තියෙන අය ඒ අහියෝගයට මුහුණ දෙනවා... නැති අය වෙන්වෙනවා... හැබැයි මේ කතාව අන්තිමට කියන විදියට "එතකොටත් අපි මේ වගේම හොඳම යාළුවෝ විදිහට ඉමු..." කියන කතාවේ තේරුම මොකද්ද කියලා හරියටම දන්නේ නෑ... ඒකේ තේරුම විවාහ උනාට පස්සෙත් අපි අපේ ආදර සම්බන්ධය දිගටම තියාගමු කියන එකනම් මට අනුව ඒ කතාව වැරදි... මොකද අනියම් සම්බන්ධයකයි ඒකෙයි වෙනසක් නෑ...

    ReplyDelete
    Replies
    1. මට ඒකෙන් කියන්න ඕන උනෙ මේකයි...........
      එයාලා සමාජයට පෙන්නන්නේ එයාලා හොඳම යාළුවන් විදිහටයි. එහෙම නැතිව අපි ආදරවන්තයෝ කියලා එයාලා සමාජයට පෙන්නන්නේ නෑ(පෙන්නන්න බෑ). හොඳම යාළුවෝ කියන වෙස් මූණ පිහිටෙන් එයාලා දිහටම පවත්වාගෙන යන එයාලගේ සම්බන්ධය විවාහයෙන් පස්සෙත් ඒ වෙස් මුහුණේ පිහිටෙන්ම දිහටම පවත්වාගමු කියන එකයි මම එතනින් අදහස් කරන්න හැදුවේ. මට වැරදුනාද?

      Delete
    2. ඉතින් පුසා ඒ ගැහැනු ළමයි දෙදෙනා සමාජ සම්මතයට වෙනස් වූ පමණින් ඔවුන් හා සබදතා ගොඩනගා ගන්න කොල්ලොන්ට මොකෝ වෙන්නේ? වෙනස් වුණා නම් ඔවුන් ඔවුන්ගේ ගමනක් යා යුතුයි. වරදක් නොකළ වෙනත් අයට දුක් නොදී.

      Delete
    3. විසිතුරු කියන කතාව ඇත්ත. නමුත් ඒත් ඒ අයට තමන්ගේ ගමනක් යන්නට මේ සමාජයේ අවසරයක් නෑ. මේක තමයි සරලම විසඳුම. මේ සිද්ධියම නොවුනත් මම මීට අතිශය සමාන සිද්ධියක් හැබෑවටම දැකලා තියෙනවා. හැබැයි ප්‍රධාන චරිතය ගැහැණු චරිතයක් නෙමෙයි!

      Delete
  14. අසම්මතය සම්මතයක් කරගන්න උත්සාහ කරන තවත් ජීවින් දෙන්නෙක්.

    කතාවේ භාෂා රටාව හිතට ඇල්ලුවා සුපිරියටම,

    ReplyDelete
  15. හප්පට සිරි, පූසා දැන් අතාරින්නෙම මේ වගේ බෝම්බමයි! මේකා ටිකක් ‍රැඩිකල් පූසෙක් කවදත්! :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. පූසා කවදත් රැඩිකල්..........

    දෙපාරක් කියවන්න හිතෙන කතාවත්.මේ වගේ කතාවත් මම පලවෙනි වරට කියෙව්වෙ ටැබූගෙ බ්ලොග් එකේ රවි අයියා ලියපු කතාව.ඒක නම් දෙතුන් සැරයක් කියවන්න වෙනවා වටහා ගන්න. හරි අගෙයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ ෆේස්බුක් එකේ දැම්ම අදහස් වලට! :)

      Delete
    2. මටත් මතක් වුනා ටැබූ සබ්ජෙක්ට්ස් වල ගිය කථාව ම. හැබැයි ඒක මීට වඩා නිර්මාණාත්මකයි කියලා හිතුනා. අන්තිම වෙනකම් මේ කියන්නේ මේ බහුබූත මගුල ගැන කියලා තේරුනේම නැහැ........ :) ඒ කථාව මතක නිසාද මන්දා මේක කියවද්දිම චරිත වැටහුනා.

      මිනිස්සු අසම්මතය කියලා කරන්න හදන්නේම (මගේ ඇහින්) මේ වගේ බහුබූත වැඩ විතරක් වුනු එක හරිම කණගාටුවක්. ඇයි බැරි අසම්මත දේවල් විදිහට ඉන්ධන වෙනුවට වතුරෙන් දුවන වාහන හදන්න (සාමාන්‍ය සම්මතය අධික වියදමක් දරන ඉන්ධනනේ), ඔය වගේ ලිස්ට් එකක් සිහි වෙනවා. ඒවා ඕනැන්නේ නැහැ. :)කොහොම වුනත් බීට්ල් කිව්වා වගේ කරන්න යන්නේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යැමක්.

      Delete
    3. රවී අයියාගේ කතාව කියවන්න තිබ්බානම් අපූරුයි! ටැබූගේ බ්ලොග් එකේ අදාල ලිපිය දැනගත්තානං මට හොයාගන්නත් තිබ්බා!

      රන්දිල් අක්කා වරද්දගෙන! අසම්මත කියන වචනේ තේරුම ගොඩක් අය බොහොම සරලව සම්මත නොවන කියලා කියන නිසා ඔය වගේ වැරදි වැටහීමක් ඇති වුණා වෙන්න පුළුවන්. මොකද එතකොට ගොඩ දෙනෙක් සම්මතය කියන වචනේ දන්නෙත් නෑ අසම්මතය දන්නෙත් නෑ! අසම්මත කියන එකේ තේරුම බහුතරය විසින් සාමාන්‍ය දෙයක් බවට පිළිනොගන්නා, බහුතරය විසින් "අනුමත නොකරන" විදිහේ දේවල්. එතනදී සමාජයේ බහුතරය විසින් අනුමත කරන දෙයක් අසම්මතයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ වතුරෙන් දුවන වාහනයක් නිපදවීම කියන්නේ අසම්මතයක් නෙමෙයි!

      Delete
    4. :D :D :D වතුරෙන් දුවන වාහනේ ගත්තහම ඒක බොහොම දෙනෙක් අනුමත කරන දෙයක් වුනත් ඇයි එහෙම දෙයක් හැදිලා, වැඩි දියුණු ‍නොවන්නේ? බහු ජාතික සමාගම්, (විශේෂයෙන් ඉන්ධන දහනයෙන් ඇතිවන දුමින් පිළිකාකාරක දේ වායුගෝලයට මුදා හැරෙන බව වෛද්‍ය විශේෂඥයින් විසින් සොයා ගන්නා විට, ඒ තොරතුර යට ගහන්න වියදම් කරන උදවිය නොහොත් ඉන්ධනයෙන් 'එදාවේල' සරිකරගන්නා අය) ආදී බොහොම පිරිසක් නිසා ඒක අද වනවිටත් අසම්මතයක් වෙලා. එයාලා ඒ දේ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. තනි තනි පුද්ගලයින් විසින් කැමති වුවත්, අර විදිහේ සමාගම් විදිහට ගත්තහම ඒවායේ වැඩ කරන සියලුම දෙනා පාහේ මේ වැඩේ විරුද්ධ කාරයින් වෙලා ඉවරයි.
      //අසම්මත කියන එකේ තේරුම බහුතරය විසින් සාමාන්‍ය දෙයක් බවට පිළිනොගන්නා, බහුතරය විසින් "අනුමත නොකරන" විදිහේ දේවල්.\\

      ඉතිං බහුතරය අනුමත නොකරන හෝ ඒ දේ සිදුවන්න තියෙන පාරවල් වහන නිසා තමයි මම ඒ වාහනය අසම්මතයක් විදිහට පෙන්වූයේ..............

      ඒ වාහනය නිපදවීම වැනි සමාජයට වැඩක් ඇති දෙයක් කරන්න දත කාගෙන නැහීගෙන කැපවෙන මිනිස්සු නැති නිසා, අදත් අපි අධිමිල ගෙවාගෙන ගමන්බිමන් සරි කරගන්නවා. ඒත් (මගේ දැක්මේ හැටියට) 'බහුභුත මගුල්' වලට මග පාදා ගන්න නං බොහොම රටවල් වල මිනිස්සු දතකාගෙන නැහීගෙන කැපවෙලා තියෙනවා.‍ කාලයක් යනකොට ඔයා මේ කථාවෙන් කියන අසම්මතය තවදුරටත් අසම්මතයක් නොවී මුළු ලෝකයම 'බහුභුතයක්' වේවි............ :D

      Delete
  17. හැමදාමත් වගේ............

    ෆට්ටයි!!!

    ReplyDelete
  18. මං රැඩිකල්ය කිව්ව අයට : රැඩිකල් කියන්නේ සාපේක්ෂ දෙයක්. එතකොට මම රැඩිකල්ද නැද්ද කියන්න මට බෑ. මොකද මට මේ මගේ සාමාන්‍ය විදිහ. මට වෙනසක් දැනෙන්නෑ. :)

    අදහස් දැම්ම නොදැම්ම කියෙව්ව හැමෝටම ස්තූතියි! :)

    ReplyDelete
  19. ඒහෙම දේවල් අසම්මතය කියලා දකින ඇස් කණ්ඩියෙන් බලන වටපිටාවක හැදුණු මං මේ ගැන ලියන එක හරිද මංදා. එත් මේ සම්බන්ධයන් අතීතයේ ඉදන් පැවතුනාලු කියලා කියවලා තියෙනවා.(එක්තරා ආකාරයට) මහා සමාජයෙන් වියුක්ත වන මෙවන් කොටස් සමාජයේම තවත් නිමැවුමක් විදිහට දකින්න මට නම් තව ටික කලක් යාවී. මට ඒ අය අපුලයි... ඒ අය අප වගේම. නමුත් මේ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ සමාජිය උවමනාවනුත් මත කියලා මං දන්නවා.
    හොදයි ඒ අයගේ පැත්තෙන් කතා කල එක එතකොට අඩුම තරමේ ඒ අයට ඒක උදව්වක් වේවි.

    ReplyDelete
    Replies
    1. තිරිසන් සතුන් අතර පවා සමලිංගික හැසිරීම් තියෙනවලු!

      Delete
  20. මේ වගේ බැඳීම් දෙස මම ඉස්සර බලන්න පුරුදු වෙලා හිටියේ හරිම පිලිකුලෙන් . නමුත් මේ පිලිබඳව ඉතාමත් හොඳ ලිපියක් අපේ වෙදගෙදර මහ වෙදන දාල තිබුන කලකට පෙර . එතුමා මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරල තිබුනා .එම ලිපිය කියෙව්වාට පසුව මම මේ දෙස බලන කෝණය වෙනස් කර ගත්ත .

    …පූසගේ ලිපි , කවි හැමදාමත් කමෙන්ට් එකක් නොදැම්මත් මම කියවනවා . මොකද පූස ටිකක් වෙනස් විදියට ලියන බ්ලොග් කරුවෙක් . මේ ලිපියත් ඔබගේ හොඳ නිර්මාණයක් .
    …ජය වේවා !

    ReplyDelete
  21. සමරිසි භාවය ගැන මගේ අපුල පැත්තකින් තියලා කතාව ඉතා තදින් අගය කරන්නට තරම් පූස්ගේ කතා ලිවීමේ හැකියාව නම් අති ඉහළයි...
    ජය!

    ReplyDelete
  22. මේ මෑතකදි ඇත්තටමත් සිද්ධ වුන පොලීසි දුරකටත් ගිය කථාවක් මතක් උනා.. හ්ම්..

    ReplyDelete
  23. පූස් කියෝලා දැම්මා

    ReplyDelete
  24. නියමයි .... ඇත්තටම දැන් ලංකාවෙත් මේ වගේ කාරණා හින්දා දුක් විදින අය ගොඩක් ඉන්නවා ........... ආදරයේ නම් කිසි වරදක් නෑ ..... මාත් හිතන්නේ ඇත්තටම මේක ස්වභාධර්මයට විරුද්දව යාමක් .... විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු ස්භාවධර්මයා එකතු කරන්නේ මනුස්ස වර්ගයාගේ අකණ්ඩ පැවැත්ම උදෙසා..... නමුත් මෙය ?..........

    ReplyDelete
    Replies
    1. සරල ප්‍රශ්නයක්....
      ඔබ ගෑල්ලමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටං ගන්නකොට ඔය කිව්ව මනුශ්‍යයාගේ අඛණ්ඩ පැවැත්ම වගේ දේවල් මතක් වෙනවද? ;)

      Delete
  25. ලෝකය සම්මත වූ පමණින් මිනිස් හැඟිම් සම්මත විය යුතු යැයි රීතියක් නැත.මිනිසා සංකීර්ණ වන්නා සේම ඔහු රස විදින සීමාවන් ද සංකීර්ණය.සම්මතයට පිටින් ගියද ආදරයේ සීමා මායිම් පිළීබද වෙනත් කෝණයක සිට ස්පර්ෂ කර තිබේ.ව්‍යාකූල බැදීමක්....නමුත් ආදරයේ තවත් අදුරු පැතිකඩක්...අපුරුයි.

    ReplyDelete
  26. මමනං ඔය වගේ සබඳතා සම්මත් හෝ අසම්මත කියලා වෙන්කළ යුතුයි කියලා කොහෙත්ම හිතන්නෙ නෑ..ඒක තීරණය කරන්න අපට පිටින් ඉඳන් බලලා කොහෙත්ම අයිතියකුත් නෑ..හැමදේම තීරණය වෙන්නෙ ඒ අදාල හදවත්වල ඇතිවන හැඟීම මත... හොඳ ලිපියක් පූසො... :)

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...