Tuesday, February 22, 2011

එදා පෙම් පත් අද ලොවෙත් නැත!


පෙම් කරන්නට මූණුපොත ඇත
 
මල් කඩන්නට ස්කයිප් ඇත
 
කවි ලියන්නට බ්ලොග් පිටුත් ඇත
 
උපන් දිනයට ඊ කාඩ් ඇත
    
වැඩක් නැති විට ඊ මේල් ඇත
 
පොත් අතර සඟවා හුවමාරු කළ
 
එදා පෙම් පත් අද ලොවෙත් නැත!


(මූණුපොතේ කෙනෙක් ලියා තිබූ කවියකට මම ලියූ කමෙන්ටුවක් මදක් වෙනස් කර බ්ලොගයට දැමුවෙමි.) 

Friday, February 18, 2011

වලක් දැක්කොත් ගෙම්බෙක්!


කල දුටු කළ 
වල ඉහ ගැනීමට සිතා 
මම වල අසලට ගියෙමි
මළ කෙලියකි 
වල අරක් ගත් තඩි ගෙබ්බෙකි!

Monday, February 14, 2011

අපිට කොයින්ද වැලන්ටයින්..............


මොකද බොලේ හැමතැනක්ම රතු පාට වෙලා?
ඈ බං කොහෙන්ද උඹට තෑග්ගක්?
අද උඹේ උපන්දිනේ නෙවෙයි නේ
යකෝ උඹ කිව්වාමයි මතක් වුනේ
සිරාවටම අද වැලන්ටයින් ඩේ එකනේ
!

Friday, February 11, 2011

ලස්සන වෙන්න ගිහින් කැත වෙන කෙල්ලෝ.....


කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්නට හිතුනු........... හ්ම්ම්ම්ම්............ මොකක්ද? කතාවක්? හ්ම්ම්ම්...... නෑ.....
හ්ම්ම්ම්ම් කොළඹ අවට සැරිසරනකොට දැකපු කෙල්ලෝ නිසා ලියන්න හිතුනු මොකක් හරි එකක්........

ඔය කොළඹ අවට සැරි සරනකොට, කොල්ලො හැටියට අපිට ඉබේටම වගේ ඇහැ යන විදිහේ කෙල්ලෝ ඕන තරම් ;) බොරුද? එයාලා අතරින් කිසිම විදිහක බාහිර අලංකාරයක් නොකර(තොල් පාට නොකර, කොන්ඩ මෝස්තර නැතුව,මූණේ පාට නොගා, බාගෙට ඇඳුම් නොඇද) හිටපු අය කීදෙනයිද? :t දෙතුන් දෙනෙක්? සමහර විට එක්කෙනෙක්වත් නැතුව ඇති.

කෙල්ලෝ වුනාම ලස්සනට ඉන්න පුදුම උත්සාහයක්නේ ගන්නේ. ඒ එයාලගේ හැටිනේ. ඉස්සර රජකාලේ ඉඳන්ම කෙල්ලෝ මූණේ එක එක ජාති ගාලා ලස්සන්ට හිටියයි කියනවනේ. ගල් යුගයේත් එහෙම වෙන්න ඇති. ඊට කලිනුත් එහෙම වෙන්න ඇති. ඒ කියන්නේ ඒක කෙල්ලන්ගේ හැටියක්. ඇත්තටම එයාලා එහෙම හිටියයි කියලා ඒකේ වැරැද්දක් නෑනේ :) කොල්ලෝ අපිනම් ඔය මූණේ එක එක ජාති ගාගෙන පැය ගනන් ඇස් වලට පිපිඤ්ඤා කෑලි තියාගෙන ඉන්නේ නෑනේ. එහෙම ඉන්න කොල්ලොත් ඇති ඕන තරම් :O හැබැයි කෙල්ලෝ නම් ඔය එක එක ජාති මූණේ උලාගෙන කොහොම හරි තමන්ගේ ලස්සන වැඩි කරගන්න තමයි උත්සාහ කරන්නේ.
මම කියන්නේ කෙල්ලෝ මොනදේ කරලා හරි ලස්සනට හිටියට ප්‍රශ්නයක් නෑ. ඒත් පාරේ යන කොට මම දකිනවා සමහර කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන එක එක දේවල් කරගෙන කැත වෙලා ඉන්නවා :( සමහරු ලස්සනට කෙලින් තිබ්බ කොණ්ඩෙට මොකක් හරි මෝස්තරයක් දාගන්න ගිහින් කැතවෙලා. කොණ්ඩ මෝස්තරේ ලස්සනයි ඒ වුනාට ඒක ඒ කෙල්ලට ගැලපෙන්නේ නෑ.

තව කෙල්ලෝ ලස්සන වෙන්න කියලා හිතාගෙන(වෙන්න ඕනේ) කරන මරුම වැඩක් තමයි ලස්සන ලස්සන ඇඳුම් ඇඳීම. ඔය ලස්සන ලස්සන් ඇඳුම් කියලා මම අදහස් කලේ අර ඇඟෙන් භාගයක් විතරක් වහගෙන යන ඒවා.(එතකොට ඉතුරු භාගේ?)  ;) තව අර, ඇඳුම ඇන්දේ කොහොමද කියලා පුදුම හිතෙන තරමට හිරට හිරේ ඇඳගෙන යන ඒවා. වැඩිපුරම අපේ ඇහැ යන්නේ ඒ වගේ අයව දැක්කාම තමයි නේද? මම කියන්නේ බොරුද? :O මම දැකලා තියනවා ඒ වගේ කෙල්ලෝ දිහා සමහර වෙලාවට කෙල්ලොත් පුදුම වෙලා බලනවා :D එතකොට ඒ ඇඳුම ඇදන් ඉන්න කට්ටියට හිතෙනවා ඇති මේ කට්ටිය හැරි හැරී බලන්නේ මම ලස්සන නිසා කියලා :$


අපෝ ඒ වගේ ඒවා ඇඳන් යන කෙල්ලෝ දන්නවානම් එයාලා ගැන අපේ උන් කියන කතා. සමහරවිට ආයේ එහෙම අඳින එකක් නෑ :r

ඊට පස්සේ අර මූණේ පාට ගාන එක. අර මේක් අප් කියන්නේ. ඒක හරියට කරගෙන ලස්සනට යන කෙල්ලෝ ඉන්නවා. ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චිත්‍ර වගේ යන අයත් ඉන්නවා.

ඔය ටික මට ලියන්න හිතුනේ පහුගිය දවස් වල බස් එකේ යනකොට දැකපු හරි අපූරු කෙල්ලෝ කිහිප දෙනෙක් නිසා. මම කියන්නේ ලස්සන වෙන්න කරන ඕන දෙයක් තමන්ට ගැලපෙන විදිහට, ගැලපෙන තරමට කළානම් හොඳයි. නැත්තම් තමන්ගේ තියන ලස්සනත් නැති වෙයි.

ප.ලි: හා හා දැන් මදෑ ඔය කෙල්ලන්ගේ විච්චූරණ බැලුවා. 

මතක ඇතුව හෙට හවස දෙකට විහාර මහා දේවී උද්‍යානයට එන්න ඉලංදාරියා අයියාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල සොයා ගන්නට අපිට එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන සාකච්චා කරන්න. අපි හැමෝම එකතු වුනොත් අපිට මොනවද කරන්න බැරි!

Monday, February 7, 2011

කව්ද යකෝ කෝල් කරන්නේ?


මට ප්‍රථම වරට ජංගම දුරකතනයක් ලැබෙන්නේ 2005 වසරේදීය. එකල මම උපේක්ෂාට ට්‍රයි කරන අවදිය වූ බැවින් ඒ ජංගමයෙන් ගත් ප්‍රයෝජන බොහෝය.එකල මාගේ ජංගමය ඉතාමත් කාර්යබහුලය. එය විනාඩි කිහිපයකට සැරයක් හඩනගයි. ඒ උපේක්ෂාගෙන ලැබෙන රින් කටු නිසාවෙනි. එමෙන ඇයත් සමඟ කතා කළ අවස්ථාද බොහෝ විය. ක්‍රමයෙන් රින් කටු වැඩි වන්නට වූ කළ මම ජංගමය නිෂ්ශබ්ධ කර එය දෙදරන පරිදි තැබූවෙමි. නමුත් ඒ ක්‍රමය එතරම්ම සාර්ථක නොවූයේ ජංගමය මේසයක් උඩ ඇති අවස්ථාවන්හීදී දෙදරන්නට ගත් කළ එයින් මහා ශබ්ධයක් නිකුත් වීම නිසායි. ඒ දින වල මාගේ ජංගමය නිතර නිතර නද දීම අපේ නිවැසියන්ගේ සැකයට හේතු වෙමින් තිබිණි. ඒ නිසා මම ජංගමයේ දෙදරීමද නවතා දමා සැරෙන් සැරේට ජංගමය දෙස බලන්නට පුරුදු වුනෙමි.එකල මම නිවසේ සිටින විටදී පවා ජංගමය සාක්කුවේ දමාගෙන සිටියෙමි. ඒ දිනවල මට මහා වේගයෙන් මැසේජ ටයිප් කිරීමේ හැකියාවක්ද තිබිණි. තවකෙක් සමඟ කතාවක් කරන ගමන් මම ජංගමය දෙස නොබලාම මැසේජ ටයිප් කළෙමි. නමුත් ඒ වේගයෙන්ම ජංගමයේ ශේෂයද බැස ගියේය. ඒ එකලය.

මෙකල තත්වය හාත්පසින්ම වෙනස්ය. නමට ජංගමයක් තිබුණත් එයට ලැබෙන ඇමතුමක් නැත. රුපියල් සියයේ කාඩයක් දැමූ විට මාසයක් දෙකක් පමණ භාවිතා කළ හැකිය. මේ ළඟකදී මැසේජයක් ටයිප් කිරීමට ගොස් මට මා ගැනම දුක සිතිණි. ඒ "ඉස්සර කොච්චර ස්පීඩ් එකකින් මැසේජ් ටයිප් කරපු එකෙක්ද මේ" යන්න සිහි වීමෙනි. එදා මට මා පළමු වරට මැසේජයක් ටයිප් කරපු දිනය සිහි විය. අද මම ඒ පළමු දිනයට වඩා පොඩ්ඩක් හොඳය. දැන් මම ජංගමය නිෂ්ශබ්ධ කරන්නේ ගුරුවරුන්ගේ දේශන වලදී පමණි. නමුත් එයද බොහෝ විට අමතක වී යන නමුත් ඇමතුම් නොලැබෙන බැවින් හානියක් නැත. 
ඉතාමත් කලාතුරකින් ඇමතුමක් ලැබෙන අවස්ථාද ඇත. ඒ දුරකතන සංවාද බොහෝමයක් මෙසේය.

මම: හලෝ

එහා පැත්තේ එකා: හලෝ..... චූටි බාප්පා ඉන්නවාද?

මම: කව්ද?

එහා පැත්තේ එකා: චූටි බාප්පා.....සුනිල්

මම: එහෙම කෙනෙක් නෑනේ

එහා පැත්තේ එකා:ඔය බදුල්ලෙන් නෙමෙයිද?

මම: නෑ

එහා පැත්තේ එකා: අහ් නොම්මරේ වැරදිලා

මම: :@

දැන් මිතුරන් හැම දෙනාම පාහේ මූණුපොතේ සිටියි. ඉතින් පණිවිඩ බොහෝවිට හුවමාරු වෙන්නේද මූණුපොත හරහාමය. ඒ නිසා උන්ගෙන් ඇමතුමක් ලැබුණොත් ලැබෙන්නේ කුමක් හෝ හදිසියකදී පමණි. ඒ බව දන්නා මා හැකි ඉක්මනින් ඇමතුමට පිළිතුරු දීමට සෑම විටම උත්සාහ කරයි. ළඟදී සිට මට එක කෙල්ලෙක්ගෙන් ඇමතුම් නිතරම පැමිණෙයි.

දැන් මට ඉස්සර වාගේ නිවසේ සිටින විට ජංගමය ළඟ තබාගෙන සිටීමේ පුරුද්දක් නැත. 
දිනක් මම වැසිකිලියේ සිටින විටදී ජංගමය නාද විය. ඒ ඇමතුම මිතුරෙකුගේ හදිසි ඇමතුමක් විය හැකියැයි සිතූ මා කරමින් සිටි වැඩයද භාගෙට නවත්වා ජංගමයට පිළිතුරු දීමට ගියෙමි. නොදන්නා අංකයකි.

මම: හලෝ
එහා පැත්තෙන් කිසි සද්දයක් නැත
මම:හලෝ
පසුබිම් සංගීතයක් ඇසෙන්නට විය. ඉන්පසු ඉතා මිහිරි කටහඩකින් කෙල්ලෙක්.

මේ නවතම මොබිටල් එම් ටියුන්...............

මට එවෙලේනම් යකා ඇවිස්සිණි. මොබිටල් එකේ @#$%%^%# යැයි සිතිණි :@ මේ කරදරය තාමත් නිමක් නැතිය. මම කුමක් හෝ වැදගත් වැඩක නිරතවී සිටින අවස්ථා වලදීම මේ කෙල්ල මට වද දෙයි. ඒකිගේ ටියුන් එක මට වැඩක් නැතිය. එක්කෝ ඒක මැසේජයකින් එව්වානම් කරදරයක් නැත. මොබිටෙල් එකේ උන්ටත් පිස්සුද මන්දා. ජංගමයක් ගත් දා සිටම භාවිතා කරන අංකය
මාරු කිරීමට ඇති අකමැත්ත නිසා සියල්ල ඉවසාගෙන සිටිමි :(

Saturday, January 29, 2011

මම ඔයාලට ගොඩාක් ආදරෙයි... (මොකටද මගේ කට #@*$& )


අපේ ගෙදර අනවසරෙන් පදිංචි වී සිටින සතුන් කිහිප දෙනෙකි. උන්ගෙන් අපට ඇති උදව් උපකාරනම් නිමක් නැතිය. ඒ නිසා අපි උන්ට හරිම ආදරේය. ගෙදර හැමෝටම වඩා මම උන්ට ආදරේය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. උන් මොනවා කළත් අවසානයේ පෝරියල් එක සෙට් වෙන්නේ මට නිසාය. මේ ඒ අනවසර පදිංචි කරුවන් කිහිප දෙනෙක් පිළිබඳව ගෙනෙන ගුණ වර්ණනාවකි.

ඔය සතුන්ගෙන් අපට ලැබෙන උපකාර සත්වයා අනූව කලින් කලට වෙනස් වෙයි. මේ තරමක වැසි සහිත කාලයක් නිසා මේ දිනවල අපට වැඩියෙන්ම උපකාර කරන්නේ මදුරුවන්ය. මේ දවස්වල නම් හවස් වරුවේ උන් ගැවසෙන්නේ බොහෝම මද වශයෙනි. කෙතරම් ටිකද කියනවානම්, හවස හයෙන් පසු සාලේ ඇවිදින විට ඇඟේ වැදන ගානට, නැත්තම් අත්දෙක එකතුකර අත්පුඩියක් ගැසූ විට මදුරුවන් දෙන්නෙක් අභාවප්‍රාප්ත වන තරමට සිටිති. අපේ අම්මාගේ නියමය අනූව මඳුරු කොයිල් ගේන්න වෙන්නේ මටය. ගෙදර හතර කොනේ මඳුරු කොයිල් පත්තු කළද උන්ට ගානක් නැත. වෙලාවකට උන් මඳුරු කොයිල් දුම සමඟ සෙල්ලම් කරයි. මා සිතනා පරිදි මදුරු කොයිල් සාදා ඇත්තේ මඳුරුවන්ට නාසය හිරවූ විට දුම් ඇල්ලීමට වියහැකිය.
අනේ බලන්නකෝ පුතා මුන් මඳුරු කොයිල් පත්තු කළත් යන්නේ නෑනේ. අපේ අම්මා මැසිවිලි නගයි. මුන්ට මොනවා කරන්නදැයි මට අද වනතුරුත් සිතා ගැනීමට නොහැකිය.

නිදා ගන්නාවිට නෙට් එක නොදැම්මොතින් පහු වෙනිදාට ඇඟේ ලේ බිඳකුදු ඉතිරි වේදැයි සැක සහිතය.  දිනක් මම නෙට් එක දමාගෙන නිදා ගතිමි. උදේ අවදිවූ මාහට කවුරුන් හෝ පොල්ලකින් තඩි බෑවාක් මෙන් වේදනාවක් දැනුනි. නෙට් එකෙන් එළියට පැමිණි විට වෙනදා මා අවදිවී නෙට් එකෙක් එළියට එන විට මට ගුඩ් මෝනින් කියන මදුරු රෑන නැත. ලෝක පුදුමයකි. වට පිට බැලූ මා හට කරුණ පසක් විය. නෙට් එකේ තිබූ කුඩා සිදුරෙන් එළියේ උන් මදුරුවන් සේරම ඇතුළට පැමිණ ඇත. එදා සිට සතියක් යනතුරු මම ඉදිමුම් බසින්නට තෙල් ගෑවෙමි. නෙට් එක දැමූවත් ඒකේ පුංචි හෝ සිදුරක් ඇත්තන්ම් නිදාගෙන හමාරය.
අනිත් කට්ටිය මීයන්ය. උන්ද අපිට බොහෝ උදව් උපකාර කරයි. උන් වැඩිය අපට දිස් වෙන සීමවේ ඉන්නේ නැතිය. හිටියත් සිටින්නේ අපට ලං විය නොහැකි තැන්වලය. හිටි හැටියේ වහලේ පරාල අතරින් මතුවෙන එකෙකු අපට දිව දික් කර පස්ස පෙන්නා හිනා වෙවී දුවයි. ඌ ඒ කොලොප්පම් කරන්නේ අපට ඌව අල්ලා ගැනීමට නොහැකි බව දන්නා නිසාය. උන් වැඩ පටන් ගන්නේ අපි සේරම නිදා ගැනීමෙන් පසුවය. ගෙදර හැමෝම තද නින්දේ පසුවන වෙලාව උන් හොඳට දනී.

උන්ගේ කෙරුම් අපි දකින්නේ උදේ අවදි වූ විටය. උන්ට හසුවන මායිමේ සබන් කෑල්ලක් තිබුණොත් උන් එය අරන් යයි. උන් ඩෙටෝල් සබන් නෑම සඳහා හා සන්ලයිට් රෙදි සේදීම සඳහා භාවිතා කරනවා ඇතිය. උන්ට හසු උනොත් සමහර වෙලාවට ඇඳුම් වලින් කැබලි කපන් අරන් යයි. නමුත් උන් කිසිම දවසක ඇඳුම් ඇඳන් සිටිනවා මා දැක නැත. දිනක් මාගේ මේස් කුට්ටමකින් එකක් අතුරුදහන් විය. ඊට දින කිහිපයකට පසු නිවස අස් පස් කරන අවස්ථාවක එය හමුවූ අතර එහි මීයන් විසින් තැනින් තැන් හිල් කර තිබිණි. මුළු විලුඹම ආවරණය වනවාට වඩා තැනින් තැන හිල් තිබීම කකුලට පහසුවකැයි උන් සිතන්නට ඇත.

එක් දිනක් පාන්දර 2.30 ට පමණ මා තද නිනින්දේ සිටින විට අහස ඔළුවට කඩා වැටුනාක් මෙන් දැනුන නිසා මම ක්ෂණිකව ඇඳේ වාඩි වීමට උත්සාහ කළෙමි. නමුත් නැඟිටින්නට බැරිය. ලොකු මකුළු දැලක පැටලී ඇති සෙයකි. හැරී පොටර් කතාවේ සිටින ලොකු මකුළුවා මගේ කාමරයට ඇවිත් දැයි සිතිණි. සමහර විට සිහිනයක් විය හැකිය. මම මාවම කොනිත්තාගෙන බැලුවෙමි. සිහිනක් නොවේ. පසුව නිදිමත ගතිය පහවන විට මට කරුණ අවබෝධ විය. නෙට් එක ඇඟට කඩා වැටී ඇත. විශාල ප්‍රයත්නයකින් පසුව නෙට් එකෙන් එළියට පැමිණි මම ගිහින් ලයිට් එක දැමූවෙමි. වහලේ සිටි මීයෙක් හිනා වෙවී දුවනවා දුටුවේ එවිටය. ඌ නෙට් එක පරාලයේ එල්ලා තිබූ රෙදි පටිය කපලාය. උගේ දෙමාපිය නෑදෑ හිතමිතුරන්ට සිතින් පින් දෙමින් නෙට් එක අයින් කර නැවත නිදා ගැනීමට තැත් කළද, මා පෙර සඳහන් කළ මාගේ මිත්‍ර මදුරු සේනාව මා ඔසවා යාමට මුළු රෑ පුරාම ගත් උත්සාහය නිසා එදා මට නිදා ගැනීමට නොහැකි විය.

මුන්ව කම්බස් කිරීමට විවිධ ක්‍රම භාවිතා කළද ඒ ක්‍රම වල විවිධ දුර්වලතා පවතියි. උදාහරණයක් ලෙස මී කතුර ගතහොත්, දැන් දැන් එය සාදන්නේ මීයන්ට ආහාර සුරක්ෂිතව තබන උපකරණයක් ලෙස විය හැකිය. නැත්නම් අපේ ගෙදර සිටින මීයන් විසින් සිදුකළ පරීක්ෂණ රාශියක ප්‍රතිඵලයක් ලෙස උන් මී කතුරින් බේරීමට දනී. බොහෝ අවස්ථා වලදී උන් මී කතුරට දමන කෑම කිසිම ආපදාවකින් තොරව අරගෙන යයි. අනෙක් කරුණ නම් අපේ ගෙදර සිටින බවලත් උදවියට මී කතුර පෙන්නන්නට බැරිය. 

තවද කැරපොත්තන් සහ මැස්සන්ගෙන් අපට බොහෝ උදව් උපකාර ලැබුණත් උන්ගේ වීර වික්‍රම වැඩිය ලිවීමට නොහැක්කේ අවාසනාවට මේ දිනවල ඒ දෙවර්ගයම අප නිවසින් තුරන් වී සිටීම නිසාය. කැරපොත්තන්ට නම් දත් බුරුසු පේන්නට බැරිය. උන් විත් ඒවායින් උන්ගේ දත් මැද ගනී. මැස්සන් සිටින කාලයට උන් උදේ සිට හවස් වනතුරුම අප නිවසේ හාත්පස යමින් අපගේ පාළුව දුරු කරයි. ඉන්පසු හවස 5ට පමණ උන් ඩියුටිය මදුරුවන්ට බාර කරයි.


අන්ත්‍රාවයි.............මේ සතුන්ට ඔබ නිවසේ අනවසරයෙන් රැඳී සිටීමට ඉඩ නොතබන්න!!!!!!!!!!!

Monday, January 24, 2011

ඇය එපා කී මගේ ප්‍රථම ප්‍රේමය......(ඇයට පෙම් කළ පාසල් කාලය 02)


ඔන්න මේක ඉස්සෙල්ලා පෝස්ට් එකට සම්බන්ධයි. ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.
සාපෙ ඉවර වුනාට පස්සේත් උපේක්ෂායි මායි වෙනදා වගේම කතා කළා. ඒත් ලොකුම ප්‍රශ්නේ වුනේ මට එයාව හම්බවෙන්න විදිහක් නැති එක. මම දැනගෙන හිටියා එයා අපේ ඉස්කෝලේ ලඟ තියන මහජන පුස්ථකාලෙට නිතරම එනවා කියලා. ඒත් වැඩේ කියන්නේ මට ගෙදරින් පැනගන්න විදිහක් නෑ. ඇයි ක්ලාස් යන්නේත් නෑ ඔහේ ගෙදරට වෙලා ඉන්න ගමන් එළියට යන්න අම්මාට කියන්න දෙයක් නෑ. ඒක නිසා මමත් හිතුවා පුස්ථකාලෙට බැඳෙන්න ඕනේ කියලා. ඒත් වැඩේ කියන්නේ පුස්ථකාලෙට බැඳෙන්නනම් අදාල ප්‍රදේශයේ කෙනෙක් කියලා පෙන්නන්න ඕනේ. ඕකට මට මතක විදිහට ග්‍රාමසේවකගෙන් අත්සනයි සීල් එකයි තව ඒ ප්‍රදේශයේ ආදායම් බදු(වෙන්න ඕනේ මට හරියට මතක නෑ) ගෙවන කෙනෙක්ගේ අත්සනත් එක්ක බදු ගෙවපු රිසිට් දෙකක කොපියි(ඔය වැඩේට ඕන වුනේ ඒ ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ව ) තව ඉගෙන ගන්න පාසලේ විදුහල් පතිතුමාගේ අත්සන.

ඔය හැම දේම කරගන්න එක මහා ලොකු දෙයක් නෙමයි අදාල ප්‍රදේශයේ කෙනෙක් වුනානම්. ඒත් වැඩේ කියන්නේ මම පදිංචි වෙලා ඉන්නේ ඔය කියන ප්‍රදේශයේ නෙවෙයි. මම ඉන්න  පැත්තේ තියෙන්නේ වෙන පුස්ථකාලයක්. ඒ කොහොම වුනත් වැඩේ කරගන්න එපැයි. ඔක්කෝම කරගන්න පුළුවන් ඒත් වැඩේ කියන්නේ ග්‍රාමසේවකගේ අත්සන තමයි. හොඳ වෙලාවට මගේ යාළුවෙක් හිටියා මිනිහාගේ තාත්තා ඒ ගමේ ග්‍රාමසේවකගේ හොඳ යාළුවෙක්ලු. ඉතින් මම කරපු වැඩේ මගේ නමට යාළුවාගේ ගෙදර ඇඩ්‍රස් දාලා ඒකා අතේ යැව්වා අත්සන් කරගන්න. යාළුවා ගිහින් එයාගේ තාත්තගේ නම ග්‍රාමසේවකට කිව්ව ගමන් අනේ කිසිම දෙයක් බලන්නේ නැතුව ෂෝක් එකට අත්සන් කරලා දැම්මලු ග්‍රාමසේවකත්. අනික ඒක අත්සන් කරලා මගේ මිත්‍රයා ඒක මට නිකම්ම නෙවෙයි ගෙනත් දුන්නේ. එයා අදුරන කඩයක් කරන කෙනෙක් බදු ගෙවපු රිසිට් දෙකකුත් එක්ක. වැඩේ ගොඩ. (ඒ දවස්වල අයිඩින්ටි තිබ්බේ නෑනේ නැත්තම් ඒවත් බලනවා ඇති.)

කොහොම හරි ඒ වැඩේ කරගත්තාට පස්සේනම් ගෙදරින් පැනගන්න එක හරිමලේසියි. මොකද අපේ අම්මා කොහොමත් දන්නවා මම පොත් කියවන්න ආසයි කියලා. ඒක නිසා ගේන පොත් දෙක දවස් දෙකෙන් තුනෙන් කියවලා ඉවර කළත් අම්මා ඒක ගනන් ගත්තේ නෑ. (අපේ අම්මාට බොරුකරන්න බෑ සුවර් එකටම එයා දැනගෙන ඉන්න ඇති මම පුස්ථකාලේ පටලවා ගත්තේ ගෙදරින් පනින්න කියලා) ඒ කොහොම වුනත් අපි දෙන්නා අඩුම ගානේ සතියකට සැරයක්වත් හම්බවුනා.

ඔය පුස්ථකාලේ ඇතුල් වෙන තැන ඉන්න(බෑග් තියන තැන ) ඇන්ටි අපි දෙන්නට දවසක් නැත්තම් දෙකක් කිව්ව හයියෙන් කතා කරන්න එපා කියලත් පුස්ථකාලේ ලඟ. කොහෙද ඉතින් මට එයා එක්ක ඉන්නකොට අහල පහල ගැන මීටරක් තිබුණේ නෑනේ. අපි දෙන්නා ඒ විදිහට වැඩි දවසක් හම්බවෙන්න වුනේ නෑ මට උපෙ අමතර පංති පටන් ගත්තු නිසා. අපි පුස්ථකාලෙට ඇවිත් හම්බවුනු දවස් කීපයකදීම මම අහුවා අපි කඩේකින් මොනවාහරි බීලා යමුද කියලා. ඒ හැම සැරේකම එයා මොකක් හරි බොරුවක් කියලා පැනලා ගියා.එයා එහෙම එක දවසක් හරි ආවනම් මම එයාට කැමතියි කියලා කියන්න බොහෝදුරට ඉඩ තිබුණා. අපි
දෙන්නා හම්බ වුනු හැම වෙලාවකම උපේක්ෂා බොහොම බයෙන් හිටියේ. මාත් එක්ක පාරේ ඇවිදන් යනකොට වුනත් හුඟාක්ම බයෙන් හිටියේ. එයාගේ ඇස් දෙකන් වගේම එයාගේ කටහඩිනුත් මට ඒක දැනුනා. කොහොම වුනත් ඔය කාලේ මගේ හිතේ තිබ්බ දේ එයාට නොකියපු මම මහා ගොං පූසෙක්. ඒත් මම ඒක එයාට නොකියන්න හේතුව මේකයි. මට කිසිම වෙලාවක දැනුනේ නෑ එයාගේ හිතේ මගේ ගැන විශේෂ කැමැත්තක් තියනවා කියලා. එයා මාත් එක්ක හැම වෙලාවෙම හිටියේ නිකම්ම නිකම් යාළුවෙක් ගානට.

ඔය යාළුකමට එහා ගිය දෙයක් මම එයාගෙන් දකිනකම් මම ඉවසන් හිටියා. හොඳ යාළුවෝ වගේ හිටියා. ඔයකාලේ අපි දන්නා අතරේ එක එක ජාතියේ කාඩ් හුවමාරු උනා.(බර්ත්ඩේ කාඩ්, වෙසක් කාඩ්, අළුත් අවුරුද්දට ) එයා කොමස් කළේ. එයාගෙත් ටිකක් පහු වෙලා පංති පටන් ගත්තා. කොහොමින් කොහොම හරි රිසාල්ට් ආවා. බහුතරය 'ඒ' අකුරු වෙච්ච ප්‍රතිඵල දෙකක් අපි දෙන්නාට ආවා. එයාට මට වඩා එක 'ඒ' අකුරක් වැඩියෙන් තිබ්බා. අපි රිසාල්ට් ආපු දවසේ ගොඩාක් සතුටු වුනා. ඒත් එයාට හොඳම විශයන් දෙක විදිහට හැමෝම සලකට විශයන් දෙකට 'ඒ' සාමාර්ථ තිබුණේ නෑ. ඔන්න රිසාල්ට් ආවට පස්සේ තමයි මම අදටත් පසුතැවෙන දෙවෙනි ගොංකම කළේ. ඒ තමයි මට තිබ්බ රිසාල්ට් වලින් කොළඹ තරමක් ජනප්‍රිය පිරිමි පාසලකට මට ඇතුලත් වෙන්න තිබ්බා ඒත් මම ඒකට කැමති වුනේ නෑ. ප්‍රධානම හේතුව උපේක්ෂා තමයි. ඒ ඇර තවත් මෝඩ හේතු නොතිබුණාම නෙමෙයි.

12 වසරේදිත් අපි යාළුවොමයි. ඉස්කෝලේ ඉවර වුනාම මම ඉන්නවා එයා එ
කම්. මුල දවස් වල අපි ඉස්කෝලේ ඇරිලා කතා කර කර ගියත් පස්සේ පස්සේ එයා ඒකට අකමැති ගතියක් මට දැනුනා. ආ තව දෙයක් වුනා ඊට කලින්. අපේ ඉස්කෝලේ ආට් කරන්න ඇවිත් හිටියා මරු සුකුරුත්තම් කෙල්ලෙක්. ලස්සනයි ලස්සනටත් වඩා විශේෂ මේකයි. එයා කොළඹ ප්‍රසිද්ධ ගැහැණු ඉස්කෝලෙක ඉඳන් ඇවිත් තිබ්බේ අපේ ඉස්කෝලට. ඉතින් අපේ උන් හරි ආසාවෙන් හිටියා ඒකිත් එක්ක කතා කරන්න. අහ් මේ අපිට එයා කිව්වේ ඒ ඉස්කෝලේ නැටුම් නැති නිසා අපේ ඉස්කෝලට ආවා කියලා. පස්සේ නම් අපිට වෙන වෙන ඒවා ආරංචි වුනා. ඇත්ත නැත්ත මම නම් දන්නේ නෑ. කොහොමහරි මගේ මිත්‍රයෝ සෙට් එක එයත් එක්ක චැට් එකකට සෙට් වුනා. මමත් ඔතන ඉඳලා එයාත් එක්ක ටිකක් කතා කළා. යකෝ මෙන්න එදා නැත්තම් පහුවෙනිදා රෑ මට අස්.එම්.එස් එකක් එනවා පුළුවන්නම් කව්ද කියන්න කියලා.කව්ද කියලා කියාගන්න අමාරු වුනේ නෑ ඒක කඩ්ඩෙන් කොටලා තිබ්බ නිසා. මොකද ඒ දවස් වල කඩ්ඩෙන් කොටලා එස්.එම්.එස් එවන යාළුවෝ කවුරුත් මට හිටියේ නෑ.

මම ඒ කෙල්ල්ට එස්.එම්.එස් යවනවට උපේක්ෂා කැමති නෑ කියලා මට තේරුණ නිසා ඒකත් මම නැවැත්තුවා. 12 වසරෙදී මම උපේක්ෂාගේ උපන්දිනේ දවසේ මම එයාට තෑග්ගක් දෙන්න කියලා හිතාගෙන හිටියා. තෑග්ග දීලා ටික දවසකින් මම එයාට කැමතියි කියලා කියනවාමයි කියලා හිතාගෙන මම ගිහින් එයාට දෙන්න තෑග්ගක් ගත්තා. ලස්සන අත් ඔරලෝසුවක්. ඒ දවස් වල අම්මලා දෙන සල්ලි වලින් කීයක් හරි ඉතුරු කරගන්න සල්ලි වලින් මහාලොකු දේවල් ගන්න බෑනේ. ඒක මම ලස්සනට පාර්සල් කරලා තිබ්බා. උපන්දිනේ දවසේ මම එයාල කෝල් කළා. මම කිව්වා එයාව හම්බවෙන්න ඕනේ කියලා. එයාට එදා බෑ කිව්වා. එදා බෑ කිව්වට මොකෝ එයා ඊට පස්සේ මාව හම්බවෙන්න ආවෙම නෑ. එක එක දේවල් කිය කියා මඟ හැරියා. සති දෙකකට විතර පස්සේ මම තෑග්ග
දෙන අදහස අත හැරලා දැම්මා.(ඒක මම මගේ නංගිගේ උපන්දිනේ දවසේ එයාට දුන්නා. ඒක අරන් එයා හොඩාක් සතුටු වුනා. එදා ඉඳන් අද වෙනකම් හැම උපන්දිනේකදීම මම එයාට මොනවා හරි අරන් දෙනවා)

එදා ඉඳ
න් ටිකෙන් ටික එයා මාගෙන් ඈත් වෙන්නම හැදුවා. මම අදටත් දන්නේ නෑ ඇයි ඒ කියලා. අන්තිමට උපෙට මාස හත් අටක් තියලා මට ඉවසන්නම බැරි තැන මම තීරණය කළා එයාට කියන්න මම එයාට කැමතියි කියලා. ඒත් කොහොමද මම ඒක එයාට කියන්නේ. ඒ වෙනකොට එයා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ. මම තීරණය කළා ලියුමකින් ලියලා දෙනවා කියලා. මම රෑ එළි වෙනකම් ලිව්ව ඒ ලියුම. මහා ලොකු නැතත් මම කෙල්ලෙක්ට ලිව්ව පළවෙනි ලියුම. පහුවෙනිදා ඒක මම එයාට දුන්නා. ආපහු ලියුමක් මට එයාගෙන් ලැබුණා. ඒක ඇරලා බැලුවේ මොනතරම් බලාපොරොත්තු හිතේ තියාගෙනද? ඒත් ඒකේ පේළි තුන හතරකින් ලියලා තිබ්බේ අපි යාළුවෝ වගේ ඉමු කියලා. ආදරේ කරන කෙල්ලෙක් දිහා යාළුවෙක් වගේ බලන්නේ කොහොමද එහෙම බලාගෙන හිත හදාගෙන එයත් එක්ක වචන දෙකක් කතාකරන්නේ කොහොමද?

මගේ යාළුවන්ගේ අදහස වුනේ ඒ කෙල්ලොන්ගේ හැටි තව ටිකක් බලපන් ඔහොම තමයි එකපාරට කියන්නේ නෑ කියලා. ඒ කොහොම වුනත් එයා මට කෙලින් කැමති නෑ කියලා කිව්වේ නෑ. අපි සතියක් විතර ආයෙත් එස්.එම්.එස් වලින් කතා කළා. මම අන්තිමට කිව්වා මට අකමැතිනම් හේතුවක් කියන්න කියලා. ඒත් මුකුත් නෑ. ආයේ ටික දවසකට පස්සේ එයා මට කියනවා එයාට බෝයි කෙනෙක් ඉන්නවාලු. මට විශ්වාසයි එයා කාත් එක්කවත් යාළුවෙලා හිටියේ නෑ. අනික එහෙම හිටියානම් මම යාළුවෙන්න අහපු වෙලාවේ මට ඒක කියන්නේ නැතුව සති දෙකකට පස්සේ කියන්න ඕනේ නෑ. ඒත් මගේ හිත
හරි මදි. ඉතින් මම උපේක්ෂාට කිව්වා මට එයාගේ බොයි ෆ්‍රෙන්ඩ්ව හම්බවෙන්න ඕනේ කියලා. එයා හා කිව්වා. ඔය දවස්වල එක දවසක් මම එයාට කෝල් කරපු වෙලාවක එයාගේ ෆෝන් එකෙන් මට කතා කළේ කොල්ලෙක්. එතන කෙල්ලෝ සෙට් එකක් හිනා වෙනවත් මට ඇහුනා. මම හිතන්නේ එයාට මාව විහිළුවක් වුනාද දන්නේ නෑ.

පස්සේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන කෙනා මට කෝල් කළා. ඒත් ඒකා කතා කළේ මහා රස්ති විදිහට.ඔන්න දවසක් ඒ කියපු හාදයා මාව හම්බ වෙන්න ආවා. ආවේ ත්‍රී වීල් එකකින්. ඒකෙන් බැස්සේ කොන්ඩේ වවා ගත්තු මහා රස්ති පෙනුමක් තියන එකෙක්. මෙන්න මොහෙමයි අපි අතර වුනු සංවාදය. මොකා වුනත් දැන් එනවයි කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් නේ ඉතින් හොඳට කතා කරන්නත් එපාය.

මම:හලෝ මචං

ඌ:ආ හා හා
   මේ මල්ලි බොයි ෆ්‍රෙන්ඩ් #කුං නම් නෑ මල්ලී මම එයාගේ අයියා.

මම: අහ් එහෙමද අයියේ එයා මට කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් එනවා කියලනේ. අනික එයාට අයියලා නෑ නේ.

ඌ: හරි හරි බං මම එයාගේ එහා ගෙදර ඉන්නේ. ඒකිට කොල්ලෙක් නෑ. ඒකි මේ කිව්වා කොල්ලෙක් කරදර කරනවා කියලා ඒකයි මම මේ බලන්න ආවේ.

මම: ආ එතකොට අර අයියාද ෆෝන් එකෙන් කතා කළේ?

ඌ: ඔව්
ඒකි පන්සල් ඇවිත් හිටියේ එවෙලේ. කොල්ලෙක් කෝල් කරලා කරදර කරනවා කිව්ව නිසා මම කතා කළේ.

උගේ පට්ටපල් බොරු. ඒකා එදා මාත් එක්ක කතා කරනකොට කිව්වේ බොයි ෆ්‍රෙන්ඩ් කියලයි. ඔය කතාවෙන් පස්සේ නම් මට ගොඩාක් දුකයි ඇයි එයා ඒ වගේ දෙයක් කළේ කියලා. ඊටත් වඩා මට තරහයි. මට කැමති නැත්තම් ඒක කෙලින් කියන්නේ නැතුව හරියට කතාකරන්නවත් දන්නේ නැති රස්තියාදු කාරයන්ව එවාට. උ
න්ව කොහෙන් අඳුරගෙනද මන්දා..... එදා නම් මම එයාට කිව්ව ආයේ කරදර කරන්නේ නෑ කියලා. තව මොනවා කිව්වද කියලා මට ඇත්තටම මතක නෑ. එදා රෑ මට පිස්සු හැදුනේ නැති එක විතරයි. පහුවෙනිදා ඉස්කෝලෙදී එයාගේ යාළුවෙක් මම එයාට යවපු කාඩ් සේරම උපේක්ෂා මට දෙන්න කිව්වා කියලා මේස උඩට ඉව්සික් කරලා ගියා. ඒක විසික් කළේ හරියම මම ඒකි එක්ක යාලු වෙන්න ඇහුවා වගේ.
"අනුන්ගේ ඒවා උස්සන් එන්න එපා" මම ඒකිට තරහෙන් කිව්වා වගේ මතකයි. එතන කාඩ් මිටියක් තිබ්බා. මට පුදුම විදිහට දුක හිතුනා.

මට අදටත් හිතාගන්න බැරි ඇයි එයා එහෙම කළේ කියලා. මට අකමැතිනම් ඒක එයාට කියන්න තිබ්බා. මේ මෑතකදී එයා මගේ යාළුවෙක්ට කියලා තිබ්බා එදා බෝයි ෆ්‍රෙන්ඩ් වෙස් අරන් ඒ ආපු එකාව එයා දන්නේ නෑ කියලා. මගේ යාළුවා ඒ බොරු පිළිගත්තාට මම නම් ඒවා පිළිගන්නේ නෑ. ඔන්න ඔහොමයි සිද්ධ වුනේ. උපේක්ෂාව මම අර සයිබර් ලව් එකට පැටලෙනකම්ම මූණු පොතේ බ්ලොක් කරලයි තිබ්බේ. වෙන මුකුත් නිසා නෙමෙයි එයාව දකිනකොට මට දුක හිතෙන නිසා. ඉස්සරනම් මේ කතාව මතක් වෙනකොටත් ගොඩාක් දුක හිතුනාට දැන්නම් නිකන් රස කතාවක් කියවනවා වගේ. උපේක්ෂා අද වුනත් මගේ ඉස්සරහට හම්බ වුනොත් මාව නොදැක්ක ගානට යයි. දැන්නම් එයා කොයි විදිහට ගියත් මූණුපොතේ මට එයාව පෙනුන
ත් මට ගානක් නෑ. පොඩි කාලේ කරපුවානේ :D



ප.ලි කෙටිකරන්න එපා කියන දැඩි ප්‍රෙක්ෂක ඉල්ලීම නිසා කොච්චර දිග වුනත් තනි පෝස්ට් එකට දානවා.
දැන් රෑ 2යි. අන්තිම ටික හදිස්සියෙන් ලියන් ගියේ. රෑට මේක දානවයි කියලා පොරොන්දු වුන නිසා දාන්නම් ඕනේ. පොරොන්දු කඩන්න හොඳ නෑනේ.

මේ මේකේ කොළඹ කියලා ලියලා තිබුණාට මමත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේම තමයි. මේකේ කොළඹ කියලා හැඳින්නුවේ කොළඹ 01 සිට තියන ඒවාටයි.
මේක ලියන් යන ගමන් ඉස්කෝලේ කාලේ වුන රස කතා මතක් වුනා. ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා.

Sunday, January 23, 2011

ඇයට පෙම් කළ පාසල් කාලය.......


කලින් කතා දෙකකදී මම කිව්වානේ සුමුදු ගැනයි චාමි ගැනයි. ඔන්න බලපු නැති අයට ඒ කතා දෙක
මම ඒ දෙකේදිම කිව්වා මගේ හිතේ තිබ්බේ උපෙක්ෂා ගැනමයි කියලා. අද කියන්න යන්නේ මම උපේක්ෂාට ආදරෙයි කියලා වුන දේ ගැන.

අර දෙන්නා ගැන මුලින් කිව්වා වගේම මම මුලින් උපේක්ෂා ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්. උපේක්ෂා සුමුදුටයි චාමිටයි දෙන්නටම වඩා ලස්සනයි.(උන් දන්නා කැත නෑ හොඳේ). ඒ වගේම අපේ පංතියේ හිටපු ඉගෙන ගන්න දක්ෂම කට්ටියගෙන් එක්කෙනෙක්. ඉගෙන ගන්න දක්ෂයි කිව්වට අර ලෝකේ පෙරළුනත් දන්නේ නැති ගානට  පොතේ ඔළුව ඔබන් ඉන්න ජාතියේ කෙල්ලෙක් නෙමෙයි ඕං ;) ඒ වගේම වැඩි දැඟලිලක් නෑ.(අර දෙන්න වගේ). ඔන්න ඔය හේතු නිසාම වෙන්න ඇති එයාට මගේ හිත ගියෙත්.

10 වසරෙදි(සුමුදුගේ කතාව යන කාලේ) එක දවසක් මම උදෙන්ම ඉස්කෝලේ පටන් ගන්න කලින් ඔහේ කැරකි කැරකි ඉන්න ගමන් ගියා අපේ එහා පංතිය පැත්තේ පොඩි රවුමක් දාන්න. එතන මගේ යාළුවෝ දෙන්නෙක් පොඩි කතාවක්. යාළුවෝ උනාට ඉතින් අර චණ්ඩි කියලා ගණන් ගන්න කට්ටියගෙන් දෙන්නෙක්. මාව දැක්ක ගමන් එකෙක් මගෙන් අහනවා

අඩෝ මේ උපේක්ෂා උඹලගේ පංතියේ නේද?

ඔව්

ආයේ උන් දෙන්නා කතා වෙනවා
මම උපේක්ෂාට ට්‍රයි බං. වැඩේ අවුලක් නෑ වගේ.

ඒක ඇහුවාම මම ෆුල් අප්සට් වෙලා ගියා. මගේ මූණ වෙනස් වෙනවා දැකපු අරුන් දෙන්නාගෙන් එකෙක් මගෙන් අහනවා.

මොකද උඹත් ට්‍රයිද?

අහ් නෑ..... නෑ බං එහෙම එකක් නෑ

එහෙම එකක් නෑ කියලා කිව්වට මොකද ඒ වෙලාවේ මට වැඩේට හොඳටම අප්සට්. ඒත් මට හොඳටම විශ්වාසයි උපේක්ෂා වගේ කෙල්ලෙක් අරූ වගේ එකෙක් එක්ක යාළු වෙන්නෙ නෑ කියලා. ඒත් කියන්න බෑනේ. ඉතින් මම හිතා ගත්තා ෂේප් එකේ මේක ගැන උපේක්ෂාගෙන් අහන්න. කොහොමත් ඒ වෙනකොට අර තුන් කට්ටුව(සුමුදු,චාමි,උපේක්ෂා) මගේ හොඳම යාළුවෝ. දවසක් මම හොඳ වෙලාවක් බලලා නිකම් විහිළුවෙන් වගේ අහලා බැලුවා

අන්න රොෂාන්(අරුන් දෙන්නාගෙන් එකෙක්) ඔයාට කැමතියිලු

රොෂාන්???
ඊයා මම ඒ වලහාට කැමති නෑ.

ඒ වෙලාවෙනම් හිතේ තිබුණ ලොකු බරක් නිදහස් වුනා වගේ දැනුනා :D ඊට ටික දවසකට පස්සේ රොෂානයා උපේක්ෂාගෙන් අහලා තිබ්බා. ඒත් උපේක්ෂා ඌට කැමති වුනේ නෑ. ඔන්න ඔයවගේ සිදුවීමුත් එක්ක 10 වසර ගෙවිලා ගියා. හැබැයි මම උපේක්ෂාට ගොඩාක් ලං වුනා.

11 වසරට ආවාමනම් අපි ඔක්කෝටම තිබුණේ සාපෙ සිහිය. සාපෙ ඇරුනාම මගේ නම් සිහියේ තිබ්බේ උපේක්ෂා ගැන. ඔය කාලේ මට ජංගම ෆෝනයක් තිබුණේ නෑ. හැබැයි ගෙදර පාවිච්චියට කියලා ජංගම ෆෝනයක් තිබ්බා. දවසක් ඒකට එස්.එම්.එස් එකක් ආවා මට තාම මතකයි ඒ එස්.එම්.එස් එක. බොරුවට අකුරු ගොඩාක් ටයිප් කරලා අන්තිමට එයාගේ නම ලියලා තිබ්බා අකුරු දෙකක් හිස් තැන් තියලා මෙන්න මේ වගේ UPEK_ _A. ඒ වගේ එව්වේ ඇයි කියලා මම අහුවාම නම් කිව්වේ අපේ ගෙදර උදවිය දැකලා මට බනී කියලා බය හිතුන නිසා එහෙම එව්වයි කියලා. එදානම් මට හරිම හැපී. මම ඒ එස්.එම්.එස් එකට ප්‍රතිචාර දක්වලා එස්.එම්.එස් තුනක්ම යැව්වා. හැබැයි එයාගෙන්නම් එදා වෙන එස්.එම්.එස් ආවේ නෑ. එදායින් පසේනම් ඕන තරම් අපි දෙන්නා අතරේ  එස්.එම්.එස් හුවමාරු වුනා. ඔය එස්.එම්.එස් සීන් එකට පින් සිද්ධ වෙන්න තමයි මම උපේක්ෂාට ගොඩාක්ලං උනේ. ඔය කාලේ මගේ ඔළුවේ මහා ගොං අදහසක් තිබුණා. ඒ තමයි සාපෙ ඉවර වෙනකම් කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ නෑ කියන එක. ඔය අදහස මගේ ඔළුවට දාන්න ඇත්තේ ඒ දවස්වල ගිය අතිරේක පංතිවල ගුරුවරු තමයි. ඉතින් මම හිතාගෙන හිටියේ සාපෙ ඉවර වෙලාම උපේක්ෂාට කියනවා කියලා.

10 වසරේ ඉඳන්ම මම ගණන් කාරයා. ඒ කිව්වේ ගණිතය විෂයට වැඩියෙන්ම ලකුණු ගත්තේ මම. නැතුව ඔය වලි වලට ගිහින් නම් නෙමෙයි මම ගණන් කාරයෙක් උනේ. කොහොම හරි 11 වසරට එනකොට මම තමයි ශ්‍රේණියේ ගණන් වලට වැඩිම ලකුණු ගන්න එකා වෙලා තිබ්බේ. (එහෙම හිටපු එකාව අද මේ ඉන්න තැන ඇදලා දැම්මේ උපෙ තමයි :( )ඉතිං ඔය දවස් වල අපේ පංතියේ කෙල්ලෝ එනවා මගෙන් ගණන් අහගන්න. අප්පේ මගේ වටේට කෙල්ලෝ හතර පස් දෙනෙක් වට වුනාම අපේ පන්තියේ කොල්ලෝ ටිකට උන්ව එළවනකම් මෙලෝ සිහියක් නෑ ;) ලෝකේ නැති දේවල් කියවනවා. උපේක්ෂානම් මගෙන් දෙයක් අහගන්න එන්නේ බොහෝම කලාතුරකින් වුනත් එයා ආපු වෙලාවට ළඟින් වාඩි වෙලා කියලා දෙන්න මම ගොඩාක් ආසා කළා.

කොහොමින් කොහොම හරි සාපෙ ලං වෙනකොට අපි දෙන්නා ගොඩාක්ම හොඳ යාළුවෝ වෙලා හිටියා. (අහ් තව අර බර්ත් ඩේ කාඩ් සීන් එක වුනෙත් ඔය කාලෙදිමයි.) දන්නවානේ සාපෙ ලං වෙනකොට කට්ටිය වැඩිය ඉස්කෝලේ යන්නේ නෑනේ. ඉතින් ඒ දවස්වල දවසක් හැර දවසක් අපි දෙන්නා කෝල් කරලා කතා කරන්න තරම් හොඳ යාළුවෝ වෙලා හිටියේ. ඉස්කෝලේ එනවානම් අපි කතාවෙනවා. සමහර දවස් වලට උදේන්ම කතාකරලත් අහපු දවස් තිබ්බා ඉස්කෝලේ එනවාද කියලා. තව රෑ වෙනකම් පාඩම් කරනකම් වැඩ කළේ අර රිං කට් කියන මෙ'ත'ඩ් එකෙන්. එකට දෙකට එයා නිදා ගන්න යන වෙලාවට එස්.එම්.එස් එකක් එවනවා.

(ෆෝන් කතා කියනකොට තව දයක් මතක් වුනා කතාවට අදාල නැති වුනත් කියන්නම්. ඔය කාලේදිත් මම පාවිච්චි කළේ මේ දැන් තියන මොබිටෙල් නොම්මරේමයි. ඒ දවස්වල මම කෝල් ගත්තේ විනාඩියට රුපියල් 13 යි ශත ගානකුත් දීලා. අපේ තාත්තා නම් විනාඩියට රුපියල් 15ක් දීලත් කෝල් ගන්නවා මතකයි. අහනකොටත් බය හිතෙනවා නේද දැන් කාලේ නම් විනාඩි කීයක්ද :o )

ඔන්න ඔහොම සාපෙ ඉවර වුනා කියමුකෝ. ඊට පස්සේ ෆුල් ආතල් නිවාඩු කාලේ. ඔය දවස් වල තමයි හොඳ හොඳ දේවල් වුනේ.(ෆුල් ආතල් නිවාඩු කාලේ කිව්වාට මහාලොකු නිවාඩුවක් තිබ්බේ නෑ. සති දෙක තුනක් යනකොට උපෙ අතිරේක පංති පටන් ගත්තා :( )

අනේ මේ කතාව දිග වැඩියි වගේ. එක දිගට කියන් ගියොත් හොඳම හරියෙදී කම්මැලි හිතෙයි. එහෙම වුනොත් අපරාදේ. කණගාටුවෙන් වුනත් කතාව කුට්ටි කරලා දාන්න වෙනවා. වැඩිය අදින්නේ නෑ ඊළඟ කොටසින් ඉවර කරනවා :)

ප.ලි: සාපෙ = සාමාන්‍ය පෙළ
         උපෙ = උසස් පෙළ

Sunday, January 16, 2011

ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්)



දැන් වෙලාව රෑ 11.52යි මේ වගේ ලිපියක් ලියනවා තියා හිතකවත් තිබ්බේ නෑ. මේක ලියන්නේ දුක මිශ්‍රිත තරහකින්.
දැන් පැයකට විතර කලින් මගේ ඉන්න හොඳම යාළුවෝ හතර පස් දෙනාගෙන් එකෙක් මට ෆේස් බුකියේ චැට් කළා.

මචං පූසා
උඹ ඉන්නවද?
පුළුවන්නම් ස්කයිප් එක දාපන්කෝ


වෙනදා හද්ද කුණු හරුපයකින් කතා කරන එකාට අදනම් මොකක් හරි අවුලක් කියලා මට නිකමට වගේ හිතුනා.

මුලින් මම මගේ යාළුවා ගැන හඳුන්වලා දෙන්නම්.
මිනිහා ගැන පිටින් බලන කෙනෙක්ටනම් හිතෙන්නේ අමුම අමු පිස්සෙක් කියලයි. ඒත් ඌව ආස්‍රය කරන උන් තමයි දන්නේ උගේ ඇතුලින් ඉන්න හිත හොඳ කොල්ලාව. මට මගේ යාළුවාව මුලින්ම් හම්බ වෙන්නේ 10 වසරේදී විද්‍යාව අතිරේක පංතියකදී මගේ වෙන් යාළුවෙක් නිසා. ඇත්තටම මටත් ඒ දවස් වල මිහාව වැඩිය දිරෙව්වේ නෑ. ඒත් පස්සේ පස්සේ මට තේරුනා ඒකා පිටින පේන එකා නවෙයි කියලා. මම ඌත් එක්ක ගොඩාක්ම ෆිට් උනේ ඒලෙවල් කරන කාලේ. අපි ගියේ එකම පංති වලට නිසා මට මිනිහාව ගොඩක් ආස්‍රය කරන්න ලැබුණා. රටේ ප්‍රසිද්ධම පාසලකට ගියත් ඒ පාසල් වල ඉන්න සමහර උන් වගේ ලොකු පාසලකට යනවයි කියලා පොඩ්ඩක්වත් ආඩම්බර උනේ නෑ කවදාවත්.

ඒ තරම් පිස්සු කෙළින එකෙක් මම කවදාවත් දැකලා නෑ. ඉස්කෝලේ එකෙක්ගේ වලියක්නම් ඌ එතන. මම ඇස් දෙකෙන්ම දැක්කා ඒකා වෙන කාගෙද වලියකට ගිහින් පස්සේ අනිත් උන් ගහන්න හෙව්වේ වලිය පටන් ගත්ත එකාව නෙවෙයි මගේ යාළුවාව. ඔය ඔක්කෝම ජරමර අස්සේ මිනිහා කෙල්ලෙක් එක්කත් යාළුවෙලා හිටියා. ඒලෙවල් ඉවර උනාම ඒ කෙල්ලව මොරටුව යුනියට සෙට් උනා. අපේ එකා ලාවට පාස්. ඒ ගෑණි මගේ යාලුවාව අත හැරියා. මම දැක්කා යාළුවා ගොඩාක් දුක් වෙනවා. පස්සේ මිනිහා ඔක්කෝම දේවල් අමතර කරලා කොහොම හරි යුනි යනවාමයි කියලා වැඩට බැස්සා තරහටත් එක්ක. කොහොම හරි දෙවෙනි පාර මොරටුවට බැරි උනත් කොළඹ යුනි මිනිහට සෙට් උනා. දෙවෙනි පාර ඒලෙවල් අතරේ තමයි වෙන කෙල්ලෙක්ව මගේ යාළුවාට සෙට් උනේ.

ඒ කෙල්ලත් එක්ක නම් මිනිහා ෆුල් බොක්කෙන්මයි යාළු වෙලා හිටියේ. හැමදාම බොන්නම හොයන එකා ඒ කෙල්ලව යාලු උනාට පස්සේ දෙන්නා අතරේ ඇඟට දැනෙන ප්‍රශ්නයක් ඇති වුන දවස වෙනකම්ම බිව්වේ නෑ.

යාළු වෙලා මාස තුනක් ඇති දවසක් කෙල්ලට ඉගෙන ගන්න එකේ එක්සෑම් ෆී ගෙවන්න සල්ලි නෑ කියලා ඉන්නකොට(කෙල්ල ප්‍රයිවට් තැනක ඉගෙන ගන්නේ) මගේ යාළුවා ඌ ගාව තිබ්බ සල්ලි සේරම එකතු කරලා ඒ කෙල්ලට  දුන්නා. ඒ එක්කම කෙල්ලට මොනවදෝ ප්‍රශ්න නිසා මගේ යාළුවාගෙන් ඒ ගෑණි ඈත් වෙන්න හදපු වෙලාවක ඒ ගෑණිගේ ගෙදරට ගිහින් කතා කරන්න ඕනේ කියලා දවසක් ගියේත් අපේ ගෙදරට ඇවිල්ලමයි.

ඔය මම දන්නේ දේවල් ටිකක් විතරයි. මට හොඳටම විශ්වාසයි කෙල්ලට සල්ලි ප්‍රශ්න එහෙම තිබ්බ නිසා මගේ යාළුවා ඒකිට ගොඩාක් උදව් කරන්න ඇති. මගේ යාළුවා ඒවා හැම තැනම කිය කියා යන එකෙකුත් නෙවෙයි. බීලා ඉන්න වෙලාවක වැරදිලා කියෙව්වොත් මිසක් නැත්තම් දැන ගන්න වෙන්නෙම නෑ.

අද මහ රෑ මිනිහා මාත් එක්ක කතා කළේ අඩ අඩා. ඇත්තටම ඌ අද තරම් මානසිකව වැටිලා ඉන්නවා මම කවදාවත් දැකලා නෑ. උන්ගේ ගෙදරත් සල්ලි ප්‍රශ්න ඕන තරම්. මිනිහගේ පර්ස් එකේ සමහර දවස් වලට යන්න එන්න සල්ලි විතරක් තියනවා මම ඕන තරම් දැකලා තියනවා. ඒත් හැමතිස්සේම හිනා වෙලා ඉන්න එකා අද අඩනවා දැක්කාම මට මට පුදුම විදිහට දුක හිතුනා.
මගේ යාළුවායි කෙල්ලයි අතරේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඉඳන් තිබ්බා. ඒත් දෙන්නා නිතරම හම්බ වුනා. කතාකළා. අද මගේ යාළුවා මට කතා කරලා මෙහෙමයි කිව්වේ.( මේ මුළු දෙබස පුරාම් මිනිහා අඩ අඩා කතා කළේ)

මචං පූසා
මගේ ගෑණි වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලාලු බං

මොකක්?

ඔව් බං

පලයන් බොරු කියන්නේ නැතුව

සිරාවට බං මම මේ දැන් කතා කළේ බං. මට මාර අප්සට් බං මට මේක කියන්න කියන්න කතා කරන්න කවුරුත් නෑ බං. මම ඒකයි උඹට කතා කලේ.

විහිළුවට කියනවාද දන්නේ නෑ බං. කෙල්ලෝ ඔය වගේ කතා කියල නිකම් ටෙස්ට් කරලා බලනවා බං

නෑ බං නෑ මම දැන් පැයකටත් වඩා ඒකිත් එක්ක කතා කළා බං.

ඒකිද උඹට කිව්වේ ඒකි යාලුයි කියලා වෙන කොල්ලෙක් එක්ක.

මම දැක්කා බං ෆේස්බුක් එකේ කොල්ලෙක් ඒකිගේ ෆොටෝස් වලටයි හැම මඟුලකටම කමෙන්ට් කරනවා. මම ඒකිගෙන් ඇහුවාම තමයි කිව්වේ.
මට තේරෙන්නේ නෑ බං ඇයි බං මට ඒකි මෙහෙම කළේ. උඹ දන්නවා බං මම ඒකිට කොච්චර දේවල් කළාද කියලා. අඩුම තරමේ මට කියන්න තිබ්බා බං මම අහනකම් ඉන්නේ නැතුව. මට තේරෙන්නේ නෑ බං මොනවා කරන්නද කියලා. අනිද්දා ම
යුනි එකේ එක්ස්සෑම් බං තාම පොතක් අතින් අල්ලලාවත් නෑ. මේ පාර මට එක්සෑම් කරන්න නම් බෑ බං. මට දැන් එයාත් නෑ එක්සෑමුත් නෑ අනේ මන්දා බං.


ඌ කියාගෙන කියාගෙන ගියා. මම පුළුවන් තරම් දේවල් කියලා හිත හදන්න බැලුවා. මම දන්නවා මගේ යාළුවා ගැන. ඒකා අද රෑට එක මොහොතක්වත් නිදාගන්නේ නෑ. හෙට නැත්තම් ලඟදීම දවසක සමහර විට මට කතා කරයි බොන්න යන්න. සමහර විට කතා කරන එකක් නෑ. මේ දවස් වල ඒකා අතේ සත පහක් නෑ. කොහොම හරි කරලා මොන මොනවා හරි කියලා එක්සෑම් එක කරන්න යවන්න ඕනේ.

බයේ බෑ මේ කෙල්ලෙක් හින්දා මූ හැම දෙයක්ම නැති කර ගනීද? නෑ නෑ ඌට මොලේ තියනවා. මිනිහා වලට යන එකක් නෑ.

මට හිතා ගන්න බැරි ඇයි කෙල්ලෝ මේ වගේ කරන්නේ කියලා. අනිවා ආයේ කතා දෙකක් නෑ ඒ කෙල්ලට මගේ යාළුවාට වගේ සල්ලි ප්‍රශ්න නැති හොඳ සල්ලි කාරයෙක් එක්ක යාළුවෙලා ඇති. ඒත් ඇයි ඇයි එහෙම කරන්නේ? මම විතරයි දන්නේ අද මගේ යාළුවා කොච්චර දුක් වෙනවාද කියලා. මගේ යාළුවා අද නිදාගන්නේ නැතුව අඩ අඩා ඉන්නකොට ඒකි අලුත් කොල්ලත් එක්ක නිදිවරාගෙන හිනා වෙවී මල් කඩනවා ඇති. මට හිතා ගන්න බෑ මේ කෙල්ලන්ගේ හැසිරීම. මට දුකයි මගේ යාළුවා ගැන ඊට වඩා කේන්තියි අර කෙල්ලත් එක්ක. ඕකි ඉගෙන ගන්නේත් මම ඉගෙන ගන්න තැනමයි. වෙන පංතියක ඉන්නේ. කමක් නෑ අහුවෙන්නැතෑ සඳුදාට.


ප.ලි: හෙට මම මගේ යාළුවාගේ හිත කොහොම හරි පොඩ්ඩක් හරි හදන්න ඕනේ. එයගේ හිත හදන්න මම මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. මම මොනවා කියන්නද?
දැන් වෙලාව 1.45 යි තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.

Saturday, January 15, 2011

මම අකමැති ඔබේ ආදරය..........


ඔන්න මම කලින් කිව්වනේ සුමුදුගේ කතාව. ඔන්න ඒක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. ඒක 10 වසර ඉවර වෙනවත් එක්කම ඉවර වුනා. ඊළඟට පටන් ගත්තේ චාමිගේ විකාර. චාමිනම් ඇත්තටම මට ලොකුම ලොකු ඇණයක් උනා.

චාමි ගැන කියනවා නම් එයා අපේ මුළු ශ්‍රේණියේම ඉන්න පුංචිම කෙල්ලන්ගෙන් එක්කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති හුරු බුහුටි පෙනුමක් තිබ්බා. හැබැයි පොඩි විසයක් නම් නමෙයි තිබ්බේ. කොයි වෙලාවක බැලුවත් එහෙට දුවනවා මෙහෙට දුවනවා උඩ පැන පැන, හිනා වෙනවා එක විකාරයයි.

මම කලින් කතාවෙදිත් කිව්වනේ සුමුදු, චාමි, උපේක්ෂා තුන්දෙනා 10 වසරේදී හොඳම යාළුවෝ තුන් දෙනෙක්. ඒත් 11 වසරදී සුමුදු පන්තියේ වෙන කෙල්ලෝ සෙට් එකකට සෙට් උනා. අනිත් දෙන්නත් එක්ක වැඩි ඇයි හොඳයියක් තිබ්බේ නෑ. හේතුවනම් මම දන්නේ නෑ. චාමි මාත් එක්ක ගොඩාක් ෆිට් වුන සිද්ධිය මේකයි.

10 වසරේ මාස කීපයක් යනකොට ඔය තුන්දෙනා මාත් එක්ක ගොඩක් ෆිට් උනා. සමහර දවස් වලට ඉස්කෝලේ පටන් ගන්න කලින් පංතියට වෙලා ඉන්නකොට (මම ඉස්කෝ
ලෙට කිසිම දවසක මම පරක්කු වෙලා ගිහින් නෑ. පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ පටන් ගන්න පැය බාගෙකට කලින් ඉස්කෝලෙට යනවා. 13 වසරේදිනම් ඉස්කෝලේ පටන් ගන්න විනාඩි 5කට කලින් පංතියේ :D ) චාමි හොරෙන් පිටි පස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක වහලා

හා... කියන්න බලන්න කව්ද කියලා

ඔන්න ඔය වගේ වැඩත් කරනවා.
ඉතින් ඔය කාලෙදී චාමියි, උපේක්ෂායි ගණන් සහ විද්‍යාව ටියුෂන් ගියේ මමයි මගේ යාළුවෙකුයි ගිය පංති වලටමයි. ඔය අස්සේ මගේ යාළුවාට චාමි ගැන හිතක් පහල වෙලා. ඇයි හරි හුරු බුහුටු කෙල්ල නොවැ ;) මිනිහා මට කිව්ව අනේ බං සෙට් කරලා දීපන්කෝ කියලා. මම අද උනත් යාළුවෙක් ඔය වගේ උදව්වක් ඉල්ලුවොත් බැහැලා කරනවා. එදත් එහෙම්ම තමයි. මම ඉතිං දන්න කියන ශිලප ඔක්කොම දාලා දෙන්නට දෙන්නා හම්බ වෙලා කතා කරන්න වැඩේ සෙට් කළා. සෙට් කළා තමයි මට උනේ ලෝක ලෙඩක්. පළවෙනි පාරට කතා කරලා ආවා විතරයි මගේ යාළුවා කියපි
 
අපෝ බං ඒක හරියන්නේ නෑ ඒකිට හොඳටම පිස්සුනේ

මොකක් උඹ දැන් ඒකිට මොනවද කිව්වේ?

මුකුත් නෑ බං


මට ඒ වෙලාවෙනම් යකා නැග්ගා. මම අදටත් කැමති නෑ ඔය බොරුවට ලව් කරන සීන් එකට. හැබැයි බොරුවට ලවු කරලා රෙකෝර්ඩ් තිබ්බ මගේ යාළුවෝ ඔක්කෝම වගේ අද ෆුල් සීරියස් ලව් කරනවා. බොරුවට ලව් කරනවාට අකමැති මට තමයි තාමත් කවුරුත් නැත්තේ :t

කොහොමින් කොහොම හරි මගේ යාළුවා තව දවස් දෙක තුනක් මගේ වදකිරීමට බෑ බෑ කිය කියා ගිහින් චාමිව හම්බ උනා. ඒට පස්සේ ඒකා චාමිව මඟහරින්න ගත්තා. ඒ වැඩේටනම් මට ගොඩක් අප්සට්. මම එක එක ඒවා කියලා චාමිගේ හිත හදන්න උත්සාහ කළා.

ඔය දේවලුයි සුමුදුගේ දේවලුයි ඔක්කෝම ඉවර වෙලා 11 වසරට එනකොට එනකොට අපි හැමෝටම සාපෙ ගැන උනන්දුව වැඩි උනා (සාපෙ කිව්වේ මේ..... සාමන්‍ය පෙළ :D ) මොන දේ වුනත් මම උපේක්ෂායි මමයි හොඳ යාලුවෝ විදිහට හිටියා.

11 වසරට යනකොට අර තුන් දෙනා වෙනදා වගේ හොඳ යාළුවෝ වෙලා හිටියේ නෑ. චාමියි උපේක්ෂායි වෙන කෙල්ලෝ සෙට් එකක් එක්ක හිටියේ. ඒ තුන් දෙනා අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා මම හිතන්නේ. 11 වසරේදී චාමි මට ගොඩාක් ලං වෙන්න උත්සාහ කළා. සුමුදුගේ වගේම කේස් එකක් වෙන්න යනවයි කියලා දැනුන නිසා මම ගොඩාක් පරිස්සමෙන් තමයි චාමිව ආස්‍රය කළේ. හැබැයි ඔය අතරෙදී මමයි උපේක්ෂායි එස්.එම්.එස් වලට පින් සිද්ධ වෙන්න ගොඩාක් හොඳ යාළුවෝ වෙලා හිටියේ.

අවුරුද්දේ මාස කීපයක් යනකොට විද්‍යාව අතිරේක පංතියේ හිටපු කොල්ලෙක්ටත් චාමිගේ හිත ගිහින් තිබුණා කියලා මට දැනුනා. ඒකටනම් මට සතුටුයි. මොකද ඒ දෙන්නා යාළු වුනාට පස්සේ චාමිගේ වදෙත් ඉවරයි නේ. ඔය කාලෙදී දවසක් චාමි මට දවසක් කඩදාසියක් අතට දීලා කියවලා බලන්න කිව්වා. ඒක නිසඳෙසක්. මැද්දේ කැත රතු පාටකින් හාට් එකක් ඇඳලා අයි ලව් යූ කියලා ලියලා තිබ්බා. 

ඕක කියවලා බලන්න ලස්සනද කියලා
මම ඒක කියවනකොට ආයේ කියනවා

මම ඔය  මැද්දේ තියන හාට් එකයි අනිත් ටිකයි ලිව්වේ ලේ වලින් මේ..
 
එයා තුවාල වෙලා ප්ලාස්ටරයක් ගහලා තිබ්බ සුලඟිල්ල මට පෙන්නුවා.

ඒ එක්කම මම කඩදාසිය කොනෙන් ඇඟිලි දෙකෙන් අල්ලන්
ගෙදර ඉන්න බල්ලගේ මැක්කෝ ඉන්නවා නේද?

එයාට මම කිව්ව දේ මීටර් වෙන්න ටිකක් වෙලා ගියා. ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා

අනේ යනවා යන්න කියලා මූණ හකුල ගත්තා.

හ්ම් මේක හොඳයි
කියලා මම නිසඳෙස ආපහු එයාට දුන්නා.

මගේ මෝඩ විහිළුවට එයා අප්සට් ගියා කියලා මට තේරුනා. මූණ එල්ලන් ඉන්නව දැකපු මට දුක හිතුන නිසා මම ආයේත් ගිහින් චාමිත් එක්ක කතා කළා.

මේ කාට දෙන්නද ඉතිං ඔයා ඕක ලිව්වේ?


පොඩි හිනාවක් දාලා
ම්ම්ම්ම්... මම මේක ඔයාට දෙන්න කියලා ලිව්වේ ඒත් මම දන්නවා ඔයා කැමති නෑ කියලා. ඒක නිසා මම අද හවසට මේක වසිකට දෙනවා ( වසික කියන්නේ අර විද්‍යාව පංතියේ ඉන්න කොල්ලා)

යාන්තම් බේරුණා කියලා මට හිතුනා.

ඊට පස්සේ එදා දවසේම චාමි හරි සතුටින් උඩ පැන පැන කෑගගහා හියියා. පස්සේ දැන ගත්තා වසිකයා චාමිට කැමති වෙලා කියලා. ඒත් ඉස්කෝලෙදී චාමි මාත් එක්කම එල්ලි එල්ලී ඉන්නමයි බැලුවේ. හැමතිස්සේම උගන්නන්න ගුරුවරයෙක් නැති වෙලාවට මගේ ලඟ ඉන්න උන් දෙන්නාගෙන් එකෙක් නැත්තම් එතනට ඇවිත් වාඩි වෙලා ඔහේ කියවනවා. පස්සේ පස්සේ බැරිම තැන මගේ දෙපත්තේ උන් දෙන්නාගෙන් එකෙක් හරි නැති වුනොත් මමත් නැඟිටලා කොහේ හරි යනවා.

ඔය කාලේ දවසක් මාර වැඩක් වුනා.
ඉස්කෝලේ පටන් ගන්න කලින් උදේ මම පංතියේ ඉන්න කොට සුමුදු ඇවිත් මට මොකක්ද කිව්වා. මට ඒක ඇහුනේ නෑ. සුමුදු කතා කරන්නෙත් හරි හිමීට. අනික අපේ පංතියේ උන්ගේ සද්දේ. මම ආයෙක් ඇහුවා මොකක්ද කියලා. එයා ආයේ කිව්වට මට හරියට ඇහුනේ නෑ මොකක්ද කිව්වේ කියලා. ඔය අස්සේ චාමිත් ඇවිත් මොනවදෝ කියන්න හදනවා. මුලින් කතා කළේ සුමුදුනේ එයා කියන එක මුලින් අහන්න ඕනෙනේ. ඉතින් මම පොඩ්ඩක් පාත් වෙලා ඇහුවා ආයෙමත්. සුමුදු මගේ කන ළඟට කරලා කෑගහලා කිව්වා කියන්න ආපු දේ ඔන්න එතකොට තමයි මට ඒක ඇහුනේ. චාමිත් මට මොනවදෝ කියන්නනේ දඟල දඟලා හිටියේ. මම පාත් වෙලා සුමුදුගෙන් කියන්න ආපු දේ අහගත්තා විතරයි චාමි හිමීට මගේ කම්මුලට පාරක් ගැහුවා තරහෙන් වගේ. රිදෙන්න නොවුනත් මට ඊට කලික් කිසිම කෙනෙක් කම්මුලට ගහලා නෑ. අදටත් චාමි විතරමයි ඒ වගේ වැඩක් කළේ. එවෙල නම් මට පුදුම විදිහට තරහා ගියා. ඒත් කෙල්ලෙක්ට අතක් උස්සන්න අද වගේම එදත් මම අකමැති නිසා මම එයාට රිටර්න් එක දෙන්න ගියේ නෑ.( කෙල්ලෙක්ට අත උස්සන එක බොහෝම පහත් ක්‍රියාවක් කියලා මම අදටත් විශ්වාස කරනවා හෙටටත් එහෙම්මමයි ) හැබැයි මම එදා ඉඳන් අද වෙනකම්ම චාමිත් එක්ක වැඩිය කතා කරන්නවත් ගියේ නෑ. මම හිතන්
නෑ එදා ඉඳන් අද වෙනකම්ම චාමිත් එක්ක එක වචන 10ක් මම කතා කරන්න ඇති කියලා.

ඔය සිදුවීමෙන් පස්සේ මගේ උපන් දිනේට උපේක්ෂායි චාමියි දෙන්නාම මට  සුභ පැතුම් කාට් දෙකක් එවලා තිබ්බා. මම ඉස්කෝලේ ඇරිලා දවසක් ගෙදර යනකොට ඒවා ගෙදරට ඇවිත් තිබ්බා. මම මුලින්ම බැලුවේ අපේ අම්මලා ඒක කඩලා බලලද කියලා ඒත් ඒවා කඩලා තිබ්බේ නෑ. උපේක්ෂාගේ කාඩ් එක නිකම්ම යාළුවෙක්ට එවන එකක්. චාමිගේ කාඩ් එකේ මල් මල් අලවලා ඒ මදිවට කොලේක නිසඳෙසකුත් ලියලා දාලා. ඒක අම්මලා දැක්කානම් මට වස ලැජ්ජයි. කොල්ලෙක් ඉඳලත් මේකි මට විකාර කාඩ් එවනවනේ කියලා මට තරහත් ගියා. උපේක්ෂාහෙන් කාඩ් එකක් ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වුනා. මම කාඩ් එකක් එව්ව එක ගැන චාමිට ස්තූති කළේවත් නෑ.

මේ සේරම සිද්ධි අස්සේත් මගේ හිතේ තිබ්බේ උපේක්ෂා ගැනමයි. මේ හැම දෙයක්ම ඉවර වෙලා මම උපේක්ෂාට එයා ගැන මගේ හිතේ තිබ්බ දේ මම කියලා මට වුන වින්නැහිය ඊළඟ පෝස්ට් එකෙන්.......

ප.ලි: මේ ලඟදී දවසක මම ආදරේ කියලා රැවටීමකට අහු උනානේ. සයිබර් ආදරයක්. මම රැවටිලා ඉන්න දවස් වල අම්මාට කිව්වා අම්මේ මට මෙහෙම කෙනෙක් හම්බ වුනා කියලා. අපේ අම්මලා මට දැන් ඕවාට මුකුත් කියන්නේ නෑ. මම දැන් ලොකු පූසෙක් නේ ;) ඒක අම්මාට කිව්ව දවස් වල, දවසක් අම්මා මට කියනවා

මතකද ඔයාට අර ඕලෙවල් කරන කාලේ උපන්දිනේකට බර්ත් ඩේ කාඩ් දෙකක් ආවා

හ්ම්ම්ම්ම්ම්

මමයි තාත්තයි ඒව හිමීට ඇරලා බලලා ආයේ ඒ විදිහටම තියලා තිබබා.

:o මොකක්?????

අපේ තාත්තා ඔය වගේ සූක්ෂම වැඩ වලට හරි දස්සයා. ඒක කිව්ව වෙලාවෙ නම් මට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ගියා :$

මේක ලියන් යනකොට සමහර තැන් වලදී මට මෙයාලගේ ඇත්ත නම් ලියවුනානේ මේක පබ්ලිෂ්කරන්න කලින් තව දෙපාරක්වත් කියවලා බලන්න වෙනවා :D

Related Posts Plugin for WordPress, Blogger...