Monday, September 12, 2011

ආදරේ විකිණීමට තිබේ!

අතේ සතේ
නැති එදා
තිබූ සතෙත්
බසයටම පුදා
ඇගේ පස්සෙන්
ගියේ
සැරසිලා
කැරකිලා

ආදරෙයි මා
සදා
කියූ විට
එදා
ගියේ වෙනතක්
බලා
ගස්සලා
ඔරවලා

අතේ සතේ
නැති නිසා
ගියෙමි
පිටරට බලා
මාළිගා තනන්නට
හීන
බල බලා
හිත හිතා

දෙවසරක් ගෙවා
ආවේ මා
මෙදා
රත්‍රං
මාල
මුදු
පළඳලා
සැරසිලා

හැරී මා දෙස
බලා
කෙල්ලෝ
දොඩමලු වෙනා
ෂඃ බලන්නකෝ
ඔයා
තර වෙලා
සුදු වෙලා

ළඟදී දවසක්
එයා
ඇගේ හැප්පුනා
බොරු තරහක්
මවා
ගියානේ එයා
හිනැහිලා
බිම බලා

එදා වගේද
මෙදා
ආදරේ ඉල්ලයි
එයා
මා දෑත බදා
බොරු
ගොත ගොතා
හඬ හඬා
 
ප/ලි : මටත් නොදැනිම මගේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාලා අද වෙනකොට අවුරුද්දකටත් වඩා ගතවෙලා.....
මෙච්චර කාලයක් මාත් එක්ක හිටපු අදටත් ඉන්න හැමෝටම ස්තූතියි.....
(පින්තූරෙ - http://goo.gl/8GQb1)

Monday, September 5, 2011

මගේ වරදින් මා හැරදා ගිය ඈ එනතුරා.............


ළඟ සිටි කළ නොදැනුනි මට ඔබේ         අගේ
ළඟ නැති විට දැනුනයි මට ඔබේ           අගේ
නිවාඩුවට පාළු වූ පාසලක්                   වගේ
දරන්න බෑ පාළුයි මුළු සිතම                මගේ

මටත් හොරා මගෙ සිත පෙම් බැන්ද         වග
පසක් උනේ නැතිවිට ඔබ මගේ               ළඟ
ගුලි වී වකුටු වී මම දැන් ඇඳේ               අග
ඔබ එනතුරා නෙතු නොපියා බලමි           මඟ

නොගැලපෙනා පෙම්වතියක් උනත්           එදා
මුණගස්සා දුන් පාඩම් මෙමට               බෙදා
ඒ පාඩම් පවතියි තව සිතේ                   රඳා
එකලත් මා සුවපත් කළ ඔබයි              වෙදා

බ්ලොග් ලියන්න මඟ සැදුවෙත් ඔබම      තමයි
නව මිතුරන් හමු වූයෙත් ඔබ               හින්දයි
දැන් ඒ කිසිත් නැත්තේ ඔබ නැති          හින්දයි
තව ඉවසන්න බෑ ඔබවම හද               ඉල්ලයි

අලුත් සිංදු නෑ ඔබ ළඟ නැති              හන්දා
අලුත් ෆිල්ම් නැත්තෙත් ඔබ නැති          හන්දා
යලි කවදා බ්ලොග් කියවන්නද            මන්දා
බෙල්ල රිදෙයි උඩ බලාන උන්            හන්දා

මෙය කියවා ඔබසැම යන්නට                     යාවී
තව සමහරුන් අදහස් දක්වා                      යාවී
ඒ  අය  හට  මගේ පිළිතුරු නැති                වේවී
"ඇය නොමැතිවද කමෙන්ට්ස් නැත්තේ"   විමසාවී

කුමක් නිසාදැයි මා හට ඇය නැති          වූයේ
පැනයක් නොවෙද ඔබහට දැන් ඇති       වූයේ
ලං වී සවන් දෙනු මෙලෙසයි සිදු           වූයේ
ඔබහට කියන්නත් ලැජ්ජයි සිදු වූ             දේ

සිත්තර තරඟයක් පෙරදා               පැවතූයේ
එම තරඟෙන් මා පළවෙනියා                වූයේ
එම සතුටටයි මොඩමය උඩ විසි            වූයේ
ගිලිහුනු නිසයි සියතින්, එය කුඩු             වූයේ

මා මෙන් කිසිදා ඔබ නම් කරනු                  එපා
සතුට නිසා මොඩමය උඩ දමනු                 එපා
රවුටර් උනත් කිසිදා උඩ දමනු                  එපා
හතුරෙකුටවත් මෙලෙසින් නම් වෙන්න         එපා

මේ කවි පෙල දමා යන්න මේ            පැත්තේ
ලොකු මුදලක්ය මා අද වැය කර         ගත්තේ
යලි කවදා ඈ හමුවේද නොම            දත්තේ
ඇය කවුදැයි ඔබ හට පැහැදිලි          ඇත්තේ

Monday, August 22, 2011

ඔබ නොදන්න තවත් එක් ආදර කතාවක්....


පොළව,
අහසට ආදරේ කළා
..........
තමන්ගේ මුළු ගතම
තෙත් කරපු
වැහි කඳුලට
පොළව ආදරේ කළා
පුර පෝයට
අහසේ ඉන්න
සඳ ලපයට
පොළව ආදරේ කළා
තරු පායපු රෑ
අහස් කුසේ
තරු මාලෙට
පොළව ආදරේ කළා

පොළව....
ඒ ආදරේ
හිතේ තියාන උන්නා

අහස
ක්ෂිතිජයේදී
මුණ ගැහුනාම
ඒ ආදරේ
කියනවාමයි කියලා
හිතාන උන්නා
...................
...............
ඒ ආදරේ
හිතේ තියාන
පොළව තාමත් ඉන්නවා

අහස
ක්ෂිතිජයේදී 
මුණ ගැහෙනකම්......

Thursday, August 18, 2011

ලෝකයේ දියුණුවෙන් මිනිසාට සිදුවන්නේ යහපතක්මද?


ජීවය මිහිපිට ආරම්භ වුණු දවසේ ඉඳන් අද වෙනකොට මිනිසා කියන සත්වයා කොච්චරනම් දියුණු වෙලාද? ඒත් හදිස්සිය්න් වගේ මගේ හිතට ආව ප්‍රශ්නයක් තමයි මිනිසාගේ මේ දියුණුව නිසා ඇත්තටම මිනිසාට යහපතක් වෙනවාමද කියන එක. 

අපි හිතලා බලමු වාහන කියන දේ හොයාගන්න කලින් මිනිස්සු බොහෝවිට ගමන් කරන්න ඇත්තේ පයින්මයි. ඉතිං ඒකාලේ මිනිස්සුන්ට අධික තරබාරුකම නිසා ඇතිවෙන ලෙඩරෝග බොහෝම අඩු වෙන්න ඇති. ඒත් මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න නිපදවපු වාහන නිසා මොකද වෙලාතියන්නේ? මිනිස්සු ඔක්කොම කම්මැලි වෙලා. එක බස් හෝල්ට් එකක ඉඳන් මීටර් ගානක් එහායින් තියන තව හෝල්ට් එකකට යන්නෙත් බස් එකේ. සල්ලි තියන උදවිය තමන්ගෙම වාහන වලින් යනවා. මේ ළඟකදි මම දැක්කා එක අංකල් කෙනෙක් කාර් එකේ වාඩිවෙලා හිටියා. එයා කොච්චර මහතද කියනවනම් සුක්කානම බඩේ වදිනවා.

බොහෝම ඉස්සර ඉස්කෝල නැති කාලේ ළමයි ගෙදර ඉන්නකොට එයාලගේ අම්මාගෙන් තාත්තාගෙන් සමාජය ගැන රටේ ලෝකේ ගැන ගොවිතැන ගැන ආදිය දැනගන්න ඇති. තව එයාලගේම අත්දැකීම් වලින් යම් යම් දේවල් ඉගෙන ගන්න ඇති. ඒත් අද අධ්‍යාපන ක්‍රමය සෑහෙන්න දියුණුවෙලා. කාලෙන් කාලෙට විෂය නිර්දේශ වෙනස් වෙනවා. මේ ළඟදි මට කැම්පස් ගිහින් අවසන් වුණු කෙනෙක්, උසස්පෙළ විෂය නිර්දේශය දැකලා කියනවා ඇහුනා එයාලට කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ උගන්නපු දේවල් මේ නව නිර්දශයේ තියනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැනුම දියුණු වෙනවා. ඒත් මේ නිසා ඉගෙනීම සංකීරණ වෙලා. තරඟකාරීත්වය වැඩි වෙලා. උසස්පෙළ කරන ළමයින්ගෙන් කීයෙන් කී දෙනයිද අතිරේක වැඩ කටයුතුවල යෙදෙන්නේ? උසස්පෙළ කරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "අනේ ඕවට කෝ වෙලාවක්" කියලා. ගොඩක් වෙලාවට ගෙවල් වලින් උනත් කැමැත්තක් නෑ තමන්ගේ ළමයා උසස් පෙළ කරන ගමන් අමතර දෙයක යෙදෙනවාට.  අධ්‍යාපනය මහා තරඟයක් වෙලා. මේ නිසා අපේ ජීවිත සංකීර්ණ වෙලා.

මුදල් කියලා දෙයක් නොතිබුණු කාලේ මිනුස්සු කෑවේ බිව්වේ නැති වෙන්න බෑ. ඒ කාලේත් මිනිස්සු කාලා ඇඳලා ජීවත්වෙන්න ඇති. හැබැයි කාලයත් එක්ක දියුණු වෙලා අද මුදල් කියලා දෙයක් තියනවා. ඉතිං අපි හැමෝම මේ උත්සාහ කරන්නේ වැඩි වැඩියෙන් මුදල් කියන දේ එකතු කරන්නයි. කිසි කෙනෙක්ට කියන්න බෑ මම නම් මේ රස්සාව කරන්නේ මුදල් හොයන්න නෙමෙයි කියලා. මුදල් නැතුව අද කිසිම කෙනෙක්ට කාලා ඇඳලා ජීවත් වෙන්න බෑ. සමහරු හොරකම් කරන්නෙත් සමහරු මිනී මරන්නත් මුදල් නිසාමයි. කොහොම හරි කරලා වැඩියෙන් උපයාගන්න දඟලන අද කාලේ මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා.

අද මේ තියන පහසු කම්, මිල මුදල්, යාන වාහන කිසිම දෙයක් නැති කාලෙත් මිනිස්සු ජීවත්වෙලා අන්තිමේ මැරිලා ගියා. අද කාලේ මිනිස්සු පහසු කම්, මිල මුදල්, යාන වාහන සහ තව නොයෙකුත් දේවල් ලබාගන්න මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා අන්තිමට මැරිලා යනවා. අන්තිමට කොහොමත් අපි මැරිලා යන එකමයි වෙන්නේ. ඒත් එහෙමවුනත් අද ලෝකේ යන අතටම අපිටත් යන්න වෙනවා. අපායට වුනත් දිව්‍යලෝකෙට වුනත් හැමෝම යන පස්සේ අපිටත් යන්න වෙනවා......
මිනිස්සු දියුණු වෙලා ජීවිත සංකීර්ණ වෙලා............

ප.ලි : ගණන් ගන්න එපා මේ දවස්වල ඔයවගේ විකාර මට නිතරම හිතෙනවා.


[පින්තූරෙ-http://www.supercoloring.com/wp-content/main/2009_07/So-tired-after-shopping-coloring-page.jpg]

Monday, August 8, 2011

ලස්සන වෙන්න මෙන්න තෛයිලේ.......

කළු අයව
සුදු කරන්න
මහත අයව
කෙට්ටු කරන්න
මූණේ කුරුලෑ
නැති කරන්න
ලප කැළැල්
මකා ගන්න
සති ගණන්
යන්නේ නෑ
වැඩ දන්නවනම්
එක පැයයි
.............
පොටෝෂොප් තෛයිලේ
අත්දුටුවයි
ප්‍රත්‍යක්ෂයි!

Tuesday, July 26, 2011

අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා)


තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි.  "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.

ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර පංතියේ ළමුන්ට මා නියමිත කර තිබූයේ තමාගේ අනාගතයේ තමන් පිළිබඳව කතාවකට සූදානම්වී පැමිණෙන ලෙසයි. ඒ අනූව එදින ළමෝ එකිනෙකා තමාගේ කතාවන් පැවැත්වූහ. අප කුඩා කල අපෙන් කිසිවෙකු අපේ අනාගත බලපොරොත්තුව විමසුවොත් අප සැම දෙනාටම පාහේ කීමට තිබූයේ කාරණා කිහිපයක් පමණි. එකල දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රටට වැඩදායි පුරවැසියෙක් යන අවස්ථා තුන හැරුනුකොට වෙනත් දෙයක් පැවසු ළමයෙක් නැති තරම්ය. නමුත් අද මේ දරුවනට ඇති අනාගත බලාපොරොත්තු බොහෝමය. අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ආකිටෙක්ට් කෙනෙක්වෙන්න කියයි තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි. ඒ අතරේ ඊළඟ කතාව කිරීමට තිබුයේ අයිර්ලියා දැරියටයි.

පංතියේ ඉදිරියට පැමිණි ඈ කතාව ආරම්භ කළාය.

"සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ අනාගත බලාපොරොත්තුව පිළිබඳව වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි"
"මගේ අනාගත බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න"

මට මාගේ දෙසවන් ඇදහිය නොහැකි විය.
"මොකක්ද අයිර්ලියා කිව්වේ?"
මම ඇගෙන් නැවත් විමසීමි.

"සර් මම කිව්වේ මගේ අනාගත් බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න කියලා"

"මොනවා!" මම මවිත වීමි
කුඩා දැරිවියව ගුරු මේසය අසලට කැඳවා ගත් මා ඇගෙන් ටෙලි නාට්‍ය පිළිබඳව දැනගත් අයුරු විමසන්නට විය.

"දුව ටෙලි නාට්ටි බලලා තියනවද?"
"ඔව් සර් මම ගෙදරදි බලනවා"
"ගෙදර ටෙලි නාට්ටි පෙන්නන චැනල් අහුවෙනවද?"
"සාලේ ටීවී එකේ නෑ සර් ඒත් අම්මලාගේ කාමරේ ටීවී එකේ තියනවා. අම්මලා එනකොට හවස් වෙනවනේ සර්, ඉතිං අම්මලා එනකම් මම නාට්ටි බලනවා"

මට කාරණය වැටහුනි. වහාම ඇගේ පියාට ඇමතූ මම හැකිනම් එදිනම හෝ පසු දින පාසලට පැමිණෙන මෙන් දැන්වූයෙමි. නමුත් මාතර පිහිටි තම සේවා ස්ථානයේ සිට කොළඹ පිහිටි පාසලට විනාඩි 20කටත් නොඅඩු කාලයකදී පැමිණීමට ඔහුට අධිවේගී මාර්ගය නිසා හැකි විය.

මම ඔහුට සිදුවූ දෑ පැවසුවෙමි. අවසානයේ මෙසේ විමසීමි
"දැන් බලන්න වෙලා තියන දේ දෙමව්පියෝ විදිහට ඔයාල මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ නේද? පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට නාට්ටි පෙන්නන චැනල් ටික සල්ලි දීලා ගන්න තරම් ඔයාලා මෝඩද?" මම තරහෙන් පැවසුවෙමි.

"මට වැරැද්ද තේරෙනවා සර්. මම දැන්ම ගිහින් ඒ චැනල් ටික අයින් කරනවා" එසේ පවසන විට පියාගේ වත රත් පැහැ ගැන්වුනේ ලැජ්ජාවටද, දුකටද, තරහටදැයි මම නොදත්තෙමි.

"චැනල් ටික අයින් කරලා විතරක් හරියන්නේ නෑ. මේ දරුවට සමාජයේ හොඳ නරක කියලා දෙන්න"
ඔහුට අවවාද රාශියක් දී පිටත් කළ මා ඒ දැරිවියටත් ඇගේ බලාපොරොත්තුවේ ඇති නරක පැත්ත පිළිබඳව හැකිතාක් දුරට තේරුම් කර දීමට උත්සාහ ගතිමි. නමුත් ඒ පුංචි දැරිවියට ඒ දේවල් වැටහුනාද යන්න සැක සහිතය.

මේ පුවත් පත් දැන්වීම එසේ පසුගිය සතියේ සිදු වූ ඒ සිදුවීම මට නැවත සිහිපත් කිරීමට සමත් විය. මම නැවත දැන්වීම කියවාගෙන ගියෙමි. පොල්ගෙඩි අකුරින් මෙසේ සඳහන් වී තිබිණි.
'අලුත් මෙගා ටෙලි නාට්‍යයකට ප්‍රධාන චරිතයට සහ සෙසු චරිත වලට නිළියන් වුවමනාකර තිබේ' 
තවත් බොහෝ තොරතුරු වලින් පසුව ඉතා කුඩා අකුරුන් මෙසේ සදහන් වී තිබිණි 
'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'


ප.ලි: පසුගිය දින වල පුවත් පත්වල දුටු පුවත් අනූව ඒ සිදුවීම් තවත් දිගින් දිගටම සිදුවීගෙන ගියහොත් මේ මා සඳහන් කළ කතාව සත්‍යයක් වනු දැකීමට අපට 2041 වන තෙක් බලා සිටිය යුතු නොවනු ඇත.


[පින්තූරෙ-http://1.bp.blogspot.com/-4ijI7Eyz0mA/TZu9jwSwQnI/AAAAAAAAABs/s_jXTOu-QXY/s1600/imagesCASCL53C.jpg]

Friday, July 22, 2011

මිරිඟුවකට පෙම් කළ කාලේ.......


මිරිඟුවකට පෙම්කරයි
හදවත යළිත්
පෙනි පෙනී
හැරයන්නත්
බෑ
ලං වෙලා
නැතිකරගන්නත්
බෑ


ප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........

[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg]

Monday, July 18, 2011

නූතන පංච කල්‍යාණියේ සිරි............


මුහුණ සුදට
ඇඟ කළුවට
ඡවි කළණේ

ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ

දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ

නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
 
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ

පංච කල්‍යාණියේ
සිරි වෙනස්ය
 මේ කාලේ

෴෴෴

...:::විශේෂ ස්තූතිය:::...
මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......


[පින්තූරෙ-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFEzdPgU0XQnSXa0ARjF_gdg4X0xzfLKKrjDiK-PPPwilN3iAacY_roHKZO-VSYiItrzWgQyFwShpz2JGCWmhF5t54QU_3n9CngjfmYJdnBfP9MMTPs5niw3Q1V8KNDEu7_gXbdgBO0pQ/s400/muthu-imesha.jpg]

Monday, July 11, 2011

පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ.........


ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?

නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.
මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා බං අපරාදේ එහෙම ටිකක් කල්හරි හිටියේ කියලා. දැන් බලපන් දැන් ගෙදර එනකොට කෑම ටික හදලා තියෙනවා කිසි කරදරයක් නෑ. අපි දෙන්නත් හොඳට සතුටින් ඉන්නවා.

ඕක තමා හොඳම වැඩේ. ආයේ ලොකු පාටි තියලා බොරු වියදම් කරන්න ඕනෙත් නෑනේ. මුකුත් නොකියා ඉන්න බැටිකමට මමත් කිව්වා.

ඔව් බං....... මමත් උඹලට කියන්නේ කරන දෙයක් පුළුවන් තරම් ඉක්මනට කරගෙනිං, නිකං නාකි වෙනකම් ඉන්න එපා.

කොහෙද අයියේ අපිට ඔහොම තියා කොහොම හරි එක්කං එන්නවත් කවුරුත් නෑනේ.

ඒකනේ බං උඹලත් අනේ මන්දා........ උඹලා ඉතිං කොළඹ උංනේ... උඹලා ඉතිං කොළඹ ලොකු ලොකු සල්ලි කාරයින්ගේ කෙල්ලෝ අල්ලගන්න බලාගෙන ඇති. මම ඉතිං ගොඩේ එකානේ. මට හිතුනා මම එක්කං ආවා. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා.

පිස්සුද බං අයියේ.....උඹ වයස 23න් එක්කං ආවා. සල්ලි කාරයින්ගේ කෙල්ලෝ කොහේ අල්ලන්නද? ඒවා බලං හිටියොත් අපිට 40 පැන්නත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙනවා. මොනවා හරි කියන්න ඕන කමට මමත් කිව්වා.

මල්ලී අපිට පුළුවං කාලෙදී ඒ ඒ දේවල් කරගන්න ඕනේ. මට සල්ලි තියනකොට මම වියදම් කරනවා. අම්මලා අක්කලාට සලකනවා ඈ........ බලපං මම නිතරම කිරි අම්මාව බලන්න යනවා. ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකාලේ ඕවා කරනවා මිසක් නැති වුනාම ගිහින් බලලා ඇවිත් වැඩක් තියනවද බං?
මම මචං පන්සලුත් යනවා හවසට පහනත් තියනවා. ඕවා බං වයසට යනකම් ඉඳලා කරන්න ඕන වැඩ නෙමෙයි. පුළුවං කාලේ කරන්න ඕනේ බං.
මට හිතුනා මම එක්කං ආවා. උඹ දන්නවනේ මං ගැන? කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ.... දැන් අපි සතුටින් ඉන්නවා.............

පලි: මම කලින් කිව්ව සුන්දර ගම්මානේ ඉන්න අයියා කෙනෙක් තමන්ගේ ආදරවන්තියව බිරිඳ කරන් එක්කං ඇවිත්. හැබැයි අයියගේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි මේක දැනගත්තේ පස්සේ. එහෙම එක්කං ඇවිත් තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් ටිකක් අකමැති වුන නිසාම නෙමෙයි. කෙල්ලගේ තාත්තා තව අවුරුදු කීපයක් ඉන්න කිව්ව නිසාලු.
දැන් මාස කීපයකට ඉහතදී මේ අයියට රජයේ රැකියාවක් ලැබුණා ඉන්න තැනකුත් එක්ක. තරමක වැටුපකුත් ලැබනවා. තනියම උයා පිහා ගන්න එකත් අමාරු නිසාලු එක්කං ආවේ. මේ සිද්ධිය තාම නෑදෑ පිරිවර දන්නෙත් නෑ. දැනගත්තාම තමයි මිනිහට ලෝකේ නැති කතා අහන්න වෙන්නේ!


[පින්තූරෙ-http://mariagabrielap.files.wordpress.com/2009/10/boyandgirl2.jpg?w=294&h=284]
Related Posts Plugin for WordPress, Blogger...