Monday, June 27, 2011

අදෘෂ්‍යමාන බලවේගය සහ කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නා ගැනීම.............


එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ සිතේ ඇති වුනු ඒවාය. ඇය අවසන් පඩිය නැඟ බසයට ගොඩවත්ම ඇය වෙත ලෙංගතු සිනහවක් පෑවේ මගේ උවමනාවින් නොව එය කිරීමට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් මාව පොළඹවන්නට ඇත. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය පිළිබඳව සිතීමට මට අවස්ථාවන් නොලැබිණි. ඇය මාවෙත හෙලූ හසරැල්ල මා සුළු මොහොතකට දැහැන් ගත කිරීමට සමත් විය. 

බසයේ ඉදිරිපසටම වන්නට සිටි මා පසුකර ගිය ඇය මට වම්පසින් සිට ගෙන සිටියි. මම නැවතත් ඒ මුහුණ දෙස බැලීමි. ඇය මගේ දෑස් දෙස එක එල්ලේම බැලුවාය.  ඒ බැල්මද මා නැවත වරක් දැහැන් ගත් කිරීමට සමත් විය. මට තරමක් අසලින් වූ අසුන ඇයට හිමිකරමින් කරුමක්කාර බසය ඊළඟ බස් නැවතුමේ නැවතිනි. මගේ ඇස ඇය සිටි අසුනේ සිටි අනෙක් පුද්ගලයා වෙතට යොමු අතර ඔහු තරමක් මැදි වියේ පුද්ගලයෙකි.  ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන ඔහු බැසිය යුතු බස් නැවතුම තහවුරු කර ගැනීමට වෙහෙසෙයි. 

"වැඩේ හරි! මිනිහා බහින්නයි හදන්නේ මට දැන් එයා ළඟින්ම වාඩි වෙන්න පුළුවන්
මම නැවතත් ඇය දෙස බැලීමි. ඇයත් මා දෙස බලාගෙන සිටියි. ඇය අතේ ෆයිල් කවරයකි. මා මීට කලකට ඉහතදී පාඨමාලාවක් හැදෑරූ පෞද්ගලික අධ්‍යාපන ආයතනක නම එහි සඳහන්ය. මම කල්පනා කරන්නට වීමි.

"දැන් එයා ළඟින් වාඩි උනාම එක පාරටම නම අහන්න හොඳ නෑ. එහෙම වුනොත් කෙල්ල බයවෙයි. මොකාද වගේ පැනපු ගමන් නම අහලා හරියන්නේ නෑනේ. මමත් ටිකක් දන්න එකේ අර ඉන්ස්ටිටියුට් එකේද කියලා අහන්න ඕනේ. ඔව් එහෙම කතාව පටන් ගන්නවා........"

සිතුවිලි අතරේ තවත් බස් නැවතුමක් පසුවිය. මැදි වයසේ පුද්ගලයා තාමත් පෙරසේම කලබලෙන් හාත්පස බලයි. මම නැවතත් ඇය දෙස බැලීමි. ඇය නැවතත් සිනාසෙයි සිනාසී අහක බලාගනියි. මම නැවතත් කල්පනා සයුරේ කිමිදන්නට වීමි.

"ඔන්න පුතේ උඹනම් මෙදා සැරේ ගොඩම තමයි. දෙන දෙයියෝ  බස් එකටම ගෙනත් දීලයි තියෙන්නේ. මෙයානම් මට බස් එකේදිම කැමැත්ත දෙයි වගේ. අහ් අමතක නොකර ෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕනේ. නැත්තම් ආයේ කොහෙන් හොයන්නද. මෙයා හිනාවෙන හැටියටනම් මට ඉල්ලන්න කලින්ම නම්බර් එකයි එඩ්‍රස් එකයි දෙකම දෙයි වගේ. බලගෙන යනකොට අපි වගේ මෙලෝ රහක් නැති කොල්ලන්ටත් කැමති ලස්සන කෙල්ලෝ ඉන්නවනේ. බලමුකෝ ඒකෙත් හැටි................."

සිතුවිලි කෝටියකි. කල්පනාව අතර බසය ඊළඟ නැවතුමේද නවතා දැන් සෙමෙන් සෙමෙන් වේගය වැඩි කරමින් ගමන් කරයි. අංකල් කාරයා බැස්සද දන්නෙත් නෑ. මම අසුන දෙස බැලීමි. අංකල් පෙර සේම ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන බසය නවතවා ගත යුතු ස්ථානය සොයයි. 

අහ් කෝ එයා! 
ඇය ඒ අසුනේ නැත. මම ක්ෂණිකව බසයේ පිටුපස සීට් පේළියට ඉහළින් ඇති වීදුරුවෙන් පිටත බැලීමි. ඈත බස් නැවතුමේ ඇය ඔරවාගෙන බසය දෙස බලා සිටියි. දැන් බසය පිඹගෙන යයි. අදෘෂ්‍යමාන බලවේගය නැවත්ත් මා මෙහෙය වීය. එය මා සෙමෙන් කැඳවාගෙන ගොස් ඇය නොමැතිව හිස් වූ ආසනයෙන් වාඩිකරවූයේය. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය ගැන සිතීමට වෙලාවක් නැත. මට නැවතත් කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නෑමට අවශ්‍ය විය.



ප.ලි : 
මෙය හුදෙක් නිර්මාණයක් පමණක්මය. අත් දැකීමක් නොවේ!




[පින්තූරෙ - http://www.flickr.com/photos/rstromberg/2936463705/sizes/z/in/photostream/]

Monday, June 20, 2011

අප්පටබොල හිඟන්නා!


යනවිට දිනක් හරහා අපි මරදානේ
රතු දැල්වී වාහනේ නැවතුනානේ
දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ
නොකර කතා සැම ඉවසා සිටින්නේ

වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ
දෙකට නැමී යාචකයෙකි මේ ආවේ
"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"
පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ

රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්
දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්
සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල්
එය යාචකයා හට දුනි පාමින් හසරැල්

රුපියක් පහ අතට ගත්තා යාචකයා
දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා
රුපියක් පහක්! මොන හු***ද කියමින්නා
පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා

පහත් අරං බැණ බැණ කුණු හරුපෙන්
මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින්
බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින්
මට එන්න හිතයි පහත් අරං හනිකෙන්

කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ
වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ 
ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ
එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ



[පින්තූරෙ - http://images.travelpod.com/users/redheadgrrl/1.1234919700.traffic-beggar.jpg]

Monday, June 13, 2011

ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ.......

පහුගිය මාසේ අපේ අහල පහල උදවියත් එක්ක අපි ලංකාව වටේම එක එක තැන් වලට ගියා. අර මම කිව්වේ මං දැකපු සුන්දර ගම්මානයක් ගැන එහෙම. එතකොට අර මුහුදු මහාවිහාරය ගැන එහෙමත් කිව්වේ. ඒ අපි ඇවිදපු තැන් වලින් දෙකක්. ට්‍රිප් යනකොට ඉතිං අංකල්ලා කට්ටිය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ වෙලාවට එයාලා දන්න පරණ කතා, ඉස්සර වෙච්ච රසවත් සිදුවීම් එහෙම එළියට එනවා. මේකත් ඒ වගේ වෙලාවක එළියට ආව කතාවක්.

ඔන්න ට්‍රිප් එකක් ගිය වෙලාවක අපි ගියා අපි දන්න අඳුරන කෙනෙක් අලුතින් ගත්තයි කිව්ව පොල්වත්තක් බලන්න කියලා කුරුණෑගල පැත්තේ. ඒ වත්තේ අපිට කොළඹදී ලේසියට හොයාගන්න බැරි බොහොම ගුණදායක කොළ වර්ග පිරිලා තිබුණා. ඔන්න ඉතින් ගැහැණු උදවිය ඔක්කොමලා කැඳ හදන්න කියලා එක එක ජාතියේ කොළ එකතු කරනවා.

එක ඇන්ටි කෙනෙක් වැල්පෙනෙල මිටියක් අරගෙන ආවා වෑන් එකට දාන්න කියලා. මේ වෙලාවේ පිරිමි කට්ටිය ලාවට අරගෙන හිටියේ. අර ඇන්ටි වැල්පෙනෙල මිටිය අරන් එනව දැකපු එක අංකල් කෙනෙක් එතන එහාපැත්තේ හිටපු ඇන්ටිගේ මහත්තයට මෙහෙම කියලා හිනා වෙනවා.

ආ මෙන්න මෙයා උඹට වැල් පෙනෙල හදලා දෙන්න යන්නේ.

එතකොට ඇන්ටි කිව්වා
ආ ඉතිං නරක දෙයක්යැ. වැල්පෙනෙල කොච්චර ගුණද

ආයේ අර අංකල් කියලනවා
ඔව් ඔව් ඕවා මාර ගුණයි ඒක නිසා ඕවා මහත්තයට හදලා දෙනකොට පරිස්සමෙන්

ඇන්ටි: ඉතිං ගුණනම් මොකටද පරිස්සමෙන් කියන්නේ?

අංකල්: ඕව කොච්චර ගුණද කියලා ඔයාල දන්නේ නෑ. පරණ කතාවක් තියනවා වැල්පෙනෙල ගැන ඔයාලා දන්නේ නෑනේ.


ඔන්න කට්ටියගේ දැඩි ඉල්ලීම මත අංකල් මෙහෙම කතාව කිව්වා.

දවසක් එක ගොවියෙක්ට තිබුණලු පතෝල මැස්සක්. ඉතිං පතෝලවැල් මැස්ස උඩින් යනකොට බිම තියන ඉඩත් ප්‍රයෝජනයට ගන්න ඕනේ කියලා හිතපු ගොවියා වැල්පෙනෙල ඇට ටිකක් පතෝල මැස්ස යටින් ඉස්සලු. පස්සේ වැල්පෙනෙල ටිකත් හොඳට හැදිලා තියනකොට පතෝල කරල් හැදෙන්න පටන් ගත්තලු. වැල්පෙනල වල ගුණේ කොච්චරද කියනවනම් සාමාන්‍යයෙන් පහලට වැටෙන පතෝල කරල් උඩ අතට යන්න ගත්තලු.


ඉතිං ඔය කතාවෙයි, "මහත්තයට වැල් පෙනෙල හදලා දෙනකොට පරිස්සමෙන්" කිව්ව කතාවෙයි සම්බන්ධය පිරිමි කට්ටියටනම් ඉක්මනට මීටර් වුනාට ගැහැණු කට්ටියට ඒක මීටර් වෙන්න ටිකක් වෙලා ගියා.

ප.ලි :කතාව කලින් අහලා තියනවනම් ඔන්න කරන්න දෙයක් නෑ.

Tuesday, June 7, 2011

මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල)

මුහුදු මහා විහාරය


මා කලින් ලිපියේ සඳහන් කළ සුන්දර ගම්මානයේ සිට කිලෝමීටර් සීයකටත් වඩා දුරින් පිහිටි පෞරාණික සිද්ධස්ථානයකි පොතුවිල්හි පිහිටි මුහුදු මහාවිහාරය. දැන් දැන් පිරිස් තරමක් මේ සිද්ධස්ථානය නැරඹීමට පැමිණීයද සාමාන්‍ය සතියේ දවසකට එය බොහෝවිට වන්දනා නඩ දෙක තුන වඩා වැඩි නොවිය හැකියි. අනුරාධපුරයට පොළොන්නරුවට ඕනෑම දවසක යන ඔබට ඒ ස්ථාන දැක බලාගැනීමට පැමිණි බොහෝ පිරිස් දැක ගැනීමට හැකියි. නමුත් අප මුහුදු මහාවිහාරයට ගිය අවස්ථාවේ සහ එහි සැරිසැරූ පැය කිහිපයක කාලය තුළ ඒ ස්ථානයට පැමිණියේ එකම එක වන්දනා නඩයක් පමණකි.
මුහුදු මහා විහාරයේ පිහිටීම මෙම සිතියමේ බලන්න


මෙහි 'A' අකුරින් මුහුදු මහාවිහාරයත් 'B' අකුරින් මඟුල්මහා විහාරයත් දැක්වේ. ඔබ කොළඹ අවට පදිංචි වී සිටින අයෙක් නම් මුහුදු මහා විහාරය නැරඹීමට ලංකාවේ මෙහා කොනේ සිට එහා කොනටම යාමට සිදිවෙනු ඇත
මේ සිතියමත් බලන්න


මුහුදු මහාවිහාරය ලකුණු කර ඇති ස්ථානයට තරමක් පහලින් බලන්න. ඔබ මුහුදු මහාවිහාරය ගැන නොදන්නවා වුවත් ඔබ හොඳින් දන්නා ස්ථානටක් දිස්වේවි. ඔව් ඒ ආරුගම් බොක්ක සහ ආරුගම් කලපුව ආශ්‍රිත ප්‍රදේශයයි.

විහාරමහා දේවිය ගොඩ බැස්සේ ලංකාවේ කිනම් ප්‍රදේශයටද? කිසිවෙක් ඔබෙන් ප්‍රශ්න කළොත් බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ 'කිරින්ද වෙරළට' යන්නයි. නමුත් සත්‍ය වශයෙන්ම විහාර මහාදේවිය ගොඩ බැස්සේ මේ මුහුදු මහාවිහාරය ආශ්‍රිත ප්‍රදේශයට බව පුරාතන සෙල්ලිපි වල සඳහන් කරුණු මඟින් දැන් අනාවරණය වී ඇත. මා මේ සඳහන් කළේ පොත පතින් සොයා ගත් කරුණු නොව. මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ වදාළ කරුණුය.

තවදුරටත් උන්වහන්සේ වදාළ පරිදි මේ අවට ගම් වලට නම් ලැබී ඇති අයුරුද පුදුමාකාරය. මගේ මතකයේ ඇති පරිදි ඒ කතා කිහිපයක් දක්වන්නම්.

කැළණිතිස්ස රජු රාජ්‍ය කරන කාලයේ මුහුද ගොඩගැලූ කතාව සියලු දෙනාම පාහේ දන්නවා ඇති. එදා ඒ ව්‍යසනයෙන් ගැලවෙන්න කැළණිතිස්ස රජ තුමාගේ දූ කුමරිය වුනු විහාරමහා දේවිය මුහුදේ පා කරලා හැරියා. ඒ ආරංචිය ලැබුණූ රුහුණේ රජ කරපු කාවන්තිස්ස රජු පිරිවර යොදලා විශාල අට්ටාල ගහලා කුමාරිය රැගත් නැව වෙරලට ගොඩ ගසයිද බලන්න පිරිස යොදවලා තිබුණලු. ඉතිං ඒ අට්ටාල ගහලා තිබ්බ ගම පස්සේ කාලෙට "අට්ටාලගාම" විදිහට තිබිලා පස්සේ දෙමළ ජනයා ඒ ප්‍රදේශයේ බහුල වීමත් සමඟම අද මේ වෙනකොට ඒ ගම හදුන්වන්නේ "අඩ්ඩාලච්චේනෙයි" කියලලු. 

ඊට පස්සේ කුමරිය රැහත් නෞකාව වෙරලට ගොඩ ගැසූ විට ඒ බව පැවසීමට පැමිණි පුද්ගලයා රජුට විස්තර පැවසීමෙන් පසු රජු ඒ පුද්ගලයාගෙන් "කෝ කුමාරිය" යැයි විමසුවාලු. එසේ විමසූ ප්‍රදේශය අද හඳූන්වන්නේ "කෝමාරිය" නමිනි.

රජු "කෝ කුමාරිය" යැයි විමසූ විට එයට පිළිතුරු වශයෙන් පණිවිඩය රැගෙන ආ පුද්ගලයා අත දිගු කොට පෙන්වමින් "අර ගමේ" යැයි පැවසුවාලු. ඔහු එසේ "අර ගමේ" යැයි පෙන්වූ ප්‍රදේශය අද "ආරුගම" නම් වෙයි.

මේ විස්තර සියල්ලක්ම පැවසුවේ මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසිනි. ඔබ ලංකා සිතියමක් රැගෙන නිරීක්ෂණය කළොත් මේ සියළුම ගම්මාන එකිනෙකට ආසන්නව පිහිටා ඇති අයුරු දැක ගත හැකියි.




මේ ඡායාරූපයෙන් දිස්වන්නේ මුහුදු මහාවිහාර භූමියේ තිබෙන නටබුන් වී ගිය ගොඩනැඟිල්ලක කොටසකි. මේ ප්‍රතිමා වලින් කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, රහතන් වහන්සේ නමක් ඉදිරියේ සිටින අයුරු පෙන්නුම් කෙරෙන බව විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ අපිට පැවසුවා.



මේ තවත් නටඹුන්...........
මෙවන් නටඹුන් විහාර භූමියේ තැනින් තැන දැක ගත හැකියි.

තරමක් දුරට ඇවිද ගිය පසු මුහුදු වෙරළ හමුවේ. ඒ ප්‍රදේශයද අයිති විහාර භූමියටමය. එහිද තැනින් තැන නටඹුන් දැකිය හැකියි.




මේ විහාරයට අක්කර දෙසීයත් තුන්සීයත් අතර භූමි ප්‍රමාණයක් අයතව තිබුණත් අද ඉතිරි වී තිබෙන්නේ අක්කර කිහිපයක් පමණයි. අනෙක් සියළුම භූමි ප්‍රදේශ අන්‍යාගමික ජනයා විසින් අත් කරගෙන ඇති බවයි ස්වාමීන් වහන්සේ සඳහන් කළ සිටියේ. තව ඒ ජනයා අතින් සිදුවෙන බවට පැවසූ අකටයුතුකම්ද බොහෝමය. ඇත්ත වශයෙන්ම පන්සල අවට ප්‍රදේශයේ එකදු සිංහල ගෙයක්වත් තිබේදැයි සැක සහිතය. (කරුණාකර ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වද්දී අන්‍යාගමික ජනතාව පිළිබඳව අදහස් දැක්වීමෙන් වලකින්න. මක්නිසාදයත් සිංහල ගම්මාන රාශියක් මැද වෙනත් ආගම සිද්ධස්ථානයක් තිබූණද තත්වය මෙයම විය හැකි බැවිණි.)




මේ ඡායාරූපයේ සිටින්නේ මා ඉහත සඳහන් කළ සියළුම තොරතුරු දේශනා කළ, පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේයි.


මඟුල් මහාවිහාරය



පෙර රජ දවස අප සමාජයේ සියළුම සුභ කටයුතු පන්සල ආශ්‍රිතව සිදුකෙරිනි. එකල විවාහ කටයුතු පවා සිදු කෙරුනේ පන්සල ආශ්‍රිතවය. මඟුල් මහා විහාරය අපට වැදගත් වන්නේ එම විහාරස්ථානය කාවන්තිස්ස රජු විසින් විහාරමහා දේවියව සරණපාවා ගත් ස්ථානය වීම නිසායි.

මෙම පන්සල් භූමියේ සැරි සැරූ කාලය තුල නම් එකඳු වන්දනා නඩයක්වත් එහි පැමිණියේ නැත. නමුත් පන්සලට ඇතුල් වන ස්ථානයේ දෙපස කුඩා කඩවල් තිබිමෙන් කියා පාන්නේ මේ ස්ථානයට සාමාන්‍යයෙන් පිරිස් පැමිණෙන බවයි.

මේ විහාර භූමියේ ඉපැරණි ගොඩනැඟිලි වල ඉතිරව ඇති නටඹුන් රාශියකි. 

මේ විහාරයේ තවත් සුවිශේෂ දෙයක් තිබෙනවා. එනම් ඇතා පිට නැඟි ඇත් ගොව්වාගේ කැටයම රැගත් ලංකාවේ ඇති එකම සඳකඩ පහන හමුවන්නේ මේ ස්ථානයේදී වීමයි.

මේ තිබෙන්නේ එම සඳකඩ පහනයි.


පහළ ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇතා පිට නැඟි ඇත්ගොව්වා කැටයම දිස්වන ආකාරයයි.



මේ විහාරය බොහොම සුන්දර වට පිටාවකින් හෙබි පරිසරයක පිහිටා තිබේ. අති විශාල නෙළුම් මල් සහිත විශාල පොකුණක් පන්සල් භූමියට පැමිණෙන මාර්ගයේදී හමුවිය. එතරම් විශාල නෙළුම් මල් මම ඊට පෙර දැක නොතිබ්බෙමි.

මේ ඡායාරූපයේ සිටින්නේ මඟුල් මහාවිහාරයේ වැඩ සිටි, අපට විහාරයේ අතීතය පිළිබඳව විස්තර පැවසූ ස්වාමීන් වහන්සේයි.


ප.ලි: මම මේ ලිපිය ලියන්න හිටියේ කලින් ලිපිය ලිව්වට පස්සේ සතියේ ඒත් එක එක වැඩ යෙදුනු නිසා මේ ලිපිය ලියන්න වුනේ නෑ. ඒ පිළිබඳව සමාවෙන්න. 

මඟුල් මහාවිහාරය ගැන බොහෝ දෙනක් දන්නවා වුනත් මුහුදු මහා විහාරය ගැන වැඩි දෙනෙක් දන්නේ නෑ. ත්‍රස්ථවාදී උවදුරු එහෙම ඉවර වුන නිසා දැන් දැන් ගොඩ දෙනෙක් මේ ඓතිහාසික සිද්ධස්‍ථාන වලට යන්න පටන් අරන්. 

පොඩි ප්‍රශ්නයක් අහන්නද? සල්ලි තියන අපේ සමහර මිනිස්සු පිටරටවල් වලට යනවා ඒ රටවල් වල තියන දේවල් නරඹලා එන්න කියලා. එයාලා අපේ රටේ තියන සේරම තැන් බලලා ඉවරද?
Related Posts Plugin for WordPress, Blogger...