Thursday, November 24, 2011

වෙනස


අප ගමන් ගත්
පාර දෙපසම
තිබුණු ගහ කොළ
තවම දළුලන

පුරුදු ලෙසටම
පිපෙන කුසුමන්
සුවඳ කරමින්
පාර සරසන

එදා උන් ඒ
සියොත් කැළ තව
අතු අතර හිඳ
ගීත ගයමින

දෑත් පටලන්
සිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන

වෙනස් වී නැත
එදා මෙන්මයි
සොඳුරු මාවත
අප ගමන් කළ

එකම වෙනසයි
අද තනිව යන
මගේ හදවත
කීරි ගස්සන






[පින්තූරෙ - http://farm7.static.flickr.com/6228/6340908255_3195818aae.jpg]

Monday, November 7, 2011

බෞද්ධ දර්ශණයෙන් අපගමනය වූ සමහරුන්ගේ බෞද්ධ "ආගම"...

බ්ලොග් කරනය නම් හිතට සැනසුමක්මය. මේ තරමට කෝප වූ මොහොතක කිසිවෙක්ට බණින්නටත් කිසිවෙක් හා තර්ක කිරීමටත් නොහැකි මොහොතක හිතේ ඇති කෝපය හිඳෙනා තුරු අකුරු වලට ගලපා සයිබරයට මුදාහැරිය හැකිය. එවන් වූ මොහොතක මා මේ ලියන්නට සැරසෙන්නේ අපේ සමහරුන්ගේ බුද්ධාගම ගැනය.

සමහරුන්ගේ බුද්ධාගම බුදුරජාණන් වහන්සේ දේශණා කළ බෞද්ධ දර්ශණයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ අය සිතා සිටින්නේ ලෝකයට පේන්න දාන මාන දීමෙන් නිවන් ලැබෙන බවය. ලෝකයට පෙනෙන්නට දානය දුන්නත් නොදුන්නත් දානය නැමති පුණ්‍ය කර්මයට මූලික වන්නේ සිතේ ඇති සිතුවිලිය. මේ බව අපේ බොහෝ උපාසක ඇත්තෝ නොදනිති. බොහෝ අය දාන මාන පින් කම් සිද්ධ කරන්නේ තමන්ගේ යහපත් බව රටට ලෝකටය ප්‍රදර්ශණය කිරීමටය. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ ලොකුම බිස්නස් ස්වාමීන් වහන්සේයි. එමනිසා උන්වහන්සේ පොඩි පොඩි දාන මාන ආදියට නොවඩියි. ඒ හන්දා කෙසේ හෝ උන්වහන්සේව නිවසට වඩම්මවාගෙන බණ ඇසීම, අපේ උපාසක උපාසිකාවන්ට නිවන් ලැබුවාටත් වඩා සතුටු විය හැකි කාරණයකි. එමෙන්ම නිවසට වැඩමවූ ලොකු හාමුදුරුවන්ට බැදපු තෝර පෙති ලබා දීම යනු මහා බල මහානිසංශ ලැබෙන පුණ්‍ය කර්මයක් සේ අපේ අසරණ උපාසක උපාසිකාවෝ සිතති.

බොහෝ නිවෙස් වල උපාසක උපාසිකාවන් දිනපතාම උදේ 8 සිට 9 වනතුරුම රේඩියෝවෙන් ධර්මය ස්‍රවණය කරයි. තවත් සමහර උපාසක උපාසිකාවන් රාත්‍රී 8 සිට 9 දක්වා ධර්ම දේශණයද කිසි ලෙසකින් මඟ නොහරියි. නමුත් අවාසනාවකට බොහෝ අය සිදුකරන්නේ දර්ම දේශණ වලට සවන් දීම පමණක්මය. ඔවුහු එම දේශණ වල හරය සිත්හි තබා ගැන්මට කිසිසේත් වෙහෙස නොවෙති. එම දේශණා වලට සවන් දෙන බොහෝ පින්වතුන් පින්වතියන් පවසන්නේ "අප්පේ අද බණ ටිකනම් අරූටම/අරකිටම කියනවා වගේ. මේවා ටේප් කරලා ගිහින් දෙන්න වටිනවා" යනුවෙනි. ඒ ඔවුන් ධර්ම දේශණයට සවන් දීමෙන් ලබාත් දේශණයේ හරයයි. එසේ ධර්ම දේශණ සවන්දෙන පිංවතුන්ගෙන් පැය කිහිපයකට පසුව අදාල ධර්ම දේශණයේ කියවුනු කරුණු මොනවාදැයි විමසීම නොහොබිනාය. ඒ හුදෙක් අපේ පිංවතුන්ට දේශණය අමතක වී ගොස් ඇති නිසා නොව ධර්මය ඇසූ කෙනෙක්ගෙන් එසේ විමසන්නේ අධාර්මික ඇත්තන් බැවිණි.

"බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි බුද්ධාගම කියන්නේ දර්ශණයක්" දිනක් උදෑසන ධර්ම දේශණාවකදී ස්වාමීන් වහන්සේ නමක් වදාළ සේක. අපේ පිංවත් ආච්චිලා සීයලාට ඔය කතාව විස්තර කිරීමට ගිය හොත්, කැති පොලු උස්සාන ස්වාමීන් වහන්සේ පිටුපස පන්නාගෙන ගොස් උන්වහන්සේ බුද්ධාගම නැති කිරීමට සිවුරු පොරවා පැමිණි අබෞද්ධයෙකු ලෙස හංවඩු ගසනු ඇතැයි ඇති වූ බිය නිසාමදෝ "මම ඒ සම්බන්ධව මෙතන විස්තර කරන්න යන්නේ නෑ" යනුවෙන් වදාළ උන්වහන්සේ කතාව වෙනතකට හැරවීය.

මේ ලිපියක කියවන ඔබද වැඩිහිටියෙකුට "බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශණයක්" යැයි කිසි විටෙක නොපැවසිය යුතුය. මක් නිසාද යත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය "අප්පේ මේ දැන් හැදෙන උන් කියන කතා. උඹලා වගේ උන් නිසා තමයි මේ ආගම පිරිහෙන්නේ. අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් අපි ඉගෙනගෙන තිබ්බේ මේ ලෝකේ තියන හොඳම ආගම බුද්ධාගම කියලා. ඔය වගේ කට කැඩිච්චි කතා කියලා බුදු දහමට අපහාස කරන්න එපා. ඕවා මහා පව් කතා. ඔය කතා මීට පස්සේ කියන්න එපා. ඕවායේ විපාක මේ ආත්මෙම ඵල දෙනවා!" යන්නට වෙනස් වන්නේ ඉතාම කලාතුරකින්ය. ඒ හැරෙන්නට වැඩිහිටියන් විසින් ඔබව අධර්මිෂ්ඨ පුද්ගලයෙකු ලෙසටද හංවඩු ගැසෙනු ඇත.

ලිපිය ලියන්නට පටන්ගත්තේ කෝපයෙන් වුවද ලිපිය අවසාන වන විට කෝපය සිඳී ගොසින්ය. මාසයක් තිස්සේම අනුන්ගේ ඕප දූප සොයමින්, කෙනෙක් නැති තැන ඔවුන්ට බණිමින්, අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, අනුන්ට වල කපමින් සිට මසකට වරක් පෝයට සිල් සමාදන් වීමෙන් හෝ පන්සල් යෑමෙන් නිවන් අවබෝධ වේ යැයි සිතා සිටින බොහෝ වැඩිහිටි පිංවතුන් පිළිබඳව දැන්නම් මා සිතේ ඇති වන්නේ කණගාටුව මිශ්‍රිත අනුකම්පාවක්ය.

Tuesday, November 1, 2011

කුමක් කරම්දෝ මා?

 
පෙරදා උත්සවයකි
ඇරයුම් කළේ මගේ සකි
ඔහුගේ නෑයෝ රාශියකි
පුංචි සෙට් වීමකි

මධු බඳුන් හිස් විනි
සමහරුන් වැනි වැනී
ගිටාර නාදයෙනි
කවි ගීත කියවිනි

පුංචි සුරඟනක් වැනි
රුවක් මට දිස් විණි
ඇගේ එක බැල්මෙනි
මගේ හද නැවතුනි

විටෙක නෙත් කොනින් බලා
නැවතත් හැරී  බලා
සිනා කැළුම් සලා
ඒවි  මතකයට ගලා

උත්සවය නිම වුනා
පිරිස විසිරුනා
ඇයත් නික්මුනා
මතකයේ නැවතුනා

පසුව දා එළි වුනා
 
රුව සිතේ මැවෙනා
අමුතු හැඟුමකිනා
සිත පිරී ඉතිරෙනා

මිතුරාට කියම්දෝ
ඔහු මොනා කියයිදෝ
ප්‍රශ්නයක් වේදෝ
මා කුමක් කරම්දෝ

හිතාගන්නට බැරුව
කියා ගන්නට බැරුව
අමුතු හැඟීමක් මතුව
හදේ ඇත සිරව
 


 [පින්තූරෙ - http://thumbs.dreamstime.com/thumb_309/1220919805U6p9oE.jpg]
Related Posts Plugin for WordPress, Blogger...