Thursday, July 31, 2014

ආදරය යනු කුණුහරුපයක් වූ රටක......



අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් තමන්ට පොදු සතුරෙක් සිටින බව පසක් කරගන්නා විට සියල්ල සිදු වී හමාර ය. 

සතුරා, පෙම්වතුන්ගේ දූපත දෙස ක්‍රෝධයෙන් රත් පැහැ ගැන් වූ දෙනෙත් යොමාගෙන සිටියේ ය. ඔහු මුළු ජීවිත කාලය පුරාවටම පාහේ සතුටක් ලැබූ සාධකය වන යුද්ධය නැති වී ගොස් තිබිණි. තව දුරටත් ඔහුට සතුටු වන්නට යමක් නොතිබිණි. ඔහුට ජීවිත කාලය පුරාවටම ආදරය ලැබී තිබුණේ නැත. ඔහු ආදරය ඉගනගෙන තිබුණේ නැත. ඔහුගේ කාමරය පුරා විසිරී තිබෙන හින්දු, බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ත අතරේ ආදරය ගැන ලියවී තිබුණේ නැත. එකී පොත්පත් වල ආදරය නමින් අසමාන තාවය, මමත්වය සහ වෛරය උගන්වා තිබිණි. පෙම්වතුන් අතර හුවමාරු වන ප්‍රේමනීය හාදුවක රසය පිළිබද එකී පොත්පත් වල කිසිඳු සටහනක් නොවීය.

පෙම්වතුන්ගේ දූපතේ හුවමාරු වන හාදු දෙස බලාසිටි සතුරාට තමන් නොලැබූ දෙයක් ලබන තාරුණ්‍යය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති විය. තම කාමරයේ ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් නොවෙන යමක් සිදුකරන මිනිසුන් කෙරෙහි ක්‍රෝධයක් ඇති විය. ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය අතර අතරමං වූ සතුරා කිරි කිරි හඩින් දත්මිටි කන්නට විය. 

කාලය ගතවන්නට විය සතුරා තමාට සතුටක් ලබත හැකි කිසිවක් ගැන කල්පනා කරමින් කල් ගත කරන්නට විය. එක්තරා මොහොතක දී ක්‍රෝධයෙන් රත් පෑ ගැන් වූ දෙනෙතින් සතුරා කාමරය පුරා විසිරී ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ දෙස බලා කට කොණකින් සිනා සෙන්නට විය. 

කෙමෙන් කෙමෙන් සතුරාට සතුටු විය හැකි කාලයක් උදා වන ලකුණු පහළ වන්නට විය. සතුරාගේ කාමරය පුරා විසිරී තිබුණු දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ පිළිවෙලට අසුරා තිබුණි. එක එක ආගම සඳහා වෙන වෙනම අල්මාරි සාදා තිබිණි. අදාල ධර්ම ග්‍රන්ථ අදාල ආගමික අල්මාරියේ පමණක් තැන්පත් කර තිබිණි. අල්මාරි එකිනෙකට ලං වුව හොත් ධර්ම ග්‍රන්ථ එකිනෙකා ගැන අවබෝධයක් ලබාවි යැයි බියෙන් මෙන් සතුරා අල්මාරි හැකිතාක් එකිනෙකට දුරින් තබා තිබිණි.

වැඩි කලක් යන්නට මත්තෙන් සතුරාට යලිත් සතුටු විය හැකි කාලයක් උදා විය. ධර්ගා නගරයෙන්, අලුත්ගමින් කලු දුමාරයන් අහසට නඟින දෙස බලා සතුරා මහා හඬින් සිනා සෙන්නට විය. ඔහුගේ ගොරහැඬි හඩින් අල්මාරි වල වීදුරු දෙදරන්නට විය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් උපයාගත් ගේ දොර, යාන වාහන පිලිස්සී යන දෙස බලා සතුරා සතුටින් ඉපිලෙන්නට විය. සතුටින් ඉපිලෙන අතරම සතුරාගේ දෑස් අවිඥාණිකවම පෙම්වතුන්ගේ දූපත දෙසට යොමු විය.

සතුරාගේ සතුට ක්ෂණිකව අතුරුදන් විය. පෙම්වතුන්ගේ දූපත පුරා ආදරය ඉතිරී යමින් තිබිණි. පෙම්වතාගේ අතේ එල්ලී යන ෆර්දාවෙන් මූණ වසාගත් තරුණියක් තවත් පෙම්වතෙකුගේ අතේ එල්ලී යන ධර්ම චක්‍ර සංකේතයක් කරේ එල්ලා ගත් තරුණියක හා ලෙංගතුව සිනාසෙන අයුරු සතුරාට නෙත ගැටිනි. තවත් එවැනිම පෙම්වත් යුගල් දෙකක් එකම බංකුව බෙදාගෙන අසුන්ගෙන සිටියේ ය. සතුරා ක්‍රෝධයෙන් ගැහෙන්නට විය. සතුරාගේ සතුට නසන එකම සාධයක ආදරය බව සතුරාට එවෙලේ පසක් විය. ඉහවහා ගිය ක්‍රෝධයෙන් දැවෙමින්, ගැහෙන දෙඅතින් සතුරා තමාගේ දුරකතනය ගත්තේ ය. 1.....1..............9 ඔහුට ඇමතීමට අවශ්‍ය වූ අංකය එයයි.

පැය බාගයක් ගතවීමටත් මත්තෙන් පොලිස් රොබෝවන් පෙම්වතුන්ගේ දූපත ආක්‍රමණය කළේ ය. ඔවුන් රොබෝවරුන් බැවින් දැන සිටියේ අණ ක්‍රියාත්මක කිරීමට පමණකි. කුඩ ඉහලාගෙන සිටින සියලුම පෙම්වතුන්ට කුඩ අකුලන්නට අණ ලැබිණි. නමුත් සතුරා ඉන් සෑහීමකට පත් නොවිනි. ඔහු නැවතත් සුපුරුදු අංකයම අමතන්නට විය. ඔහුට අවැසි වූයේ පෙම්වතුන්ගේ දූපතින් ආදරය අතුගා දැමීමටයි. ඒ මොහොත වන විටත් ආදර සාධයක ඇති වන සියලුම ස්ථාන විනාශ කිරීමට සතුරා තදින් අදිටන් කරගෙන සිටියේ ය. පොලිස් රොබෝවරු යළිත් පෙම්වතුන්ගේ දූපත් ආක්‍රමණය කළේය. මෙවර පෙම්වතුන්ට තරමක් දුරින් වාඩි වී සිටීමට අණ ලැබිණි. නමුත් සතුරා සෑහීමකට පත් නොවීය.  ඔහු දිගින් දිගටම ඇමතුම් ගන්නට විය. අවසානයේ සියලුම පෙම්වතුන් දූපතින් පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කොට තිබිණි. ඉන් පසුව පෙම්වතුන් රැස්වන සෑම දිනයකම පාහේ සතුරා සුපුරුදු අංකයම අමතන්නට විය.

අවසානයේ පෙම්වතුන්ගේ දූපතින් පෙම්වතුන් සදාකාලිකව පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කළේ ය. දැන් පෙම්වතුන්ගේ දූපත යනු පෙම්වතුන් මුක්ත කලාපයකි. හිස් වූ දූපත දෙස බලන සතුරාට දැන් සියුම් සතුටක් දැනෙයි. මේ මොහොත වන විටත් සතුරා ජයගෙන සිටියි. පෙම්වතුන්ගේ දූපත ආදරය සොයන අතර රට අතරමං වී ඇත.

(මෙය මනඃකල්පිත කතාවක් නොවේ)
෴෴


පින්තූරෙ - http://www.ilovegenerator.com/large/stop-love-love-131548869878.png

Sunday, March 2, 2014

සංක්‍රාන්තිය...

මට බ්ලොග් එකක් තිබ්බ බව අමතක වෙලා තිබ්බා නෙමෙයි. මතක් වෙන වාරයක් වාරයක් පාසා උවමනාවෙන්ම ඒක අමතක කරලා දැම්මා. ඕනෙනං හේතු දෙන්න පුළුවන්. බොරු හේතු. "දැන් මාර බිසී ලියන්න වෙලාවක් නෑ" වගේ හේතු. මිනිස්සු බිසී වෙන්නෙ නෑ. එක වැඩකට වඩා තව වැඩකට තියෙන උනන්දුව වැඩි උනාම මිනිස්සු කියනවා දැන් මම මේ වැඩේ නිසා බිසී අරක කරන්න දැන් වෙලාවක් නෑ කියලා, එහෙම නැතිනම් කරමින් හිටපු දේ තව දුරටත් කරගෙන යන්න කම්මැලි හිතුනාම මිනිස්සු කියනවා දැන් බිසී ඒක කරන්න වෙලාවක් නෑ කියලා. ඇත්ත කතාව උනන්දුව අඩු වීමයි.

දවසක් ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්නකොට යාළුවෙක් ශෙයාර් කරලා තිබ්බ, සංඛ දිනෙත් කියන මේ සිංදුව මට අල්ලලා ගියා.


ඒ වචන වල ලොකු තේරුමක් තියෙනවා. අනික ඒ සිංදුවේ තාලේ, සිංදුවේ විස්තර කරන සිද්ධියටත් ගැලපෙනවයි කියලා මට හිතෙනවා. ඔය සිංදුව අල්ලා යන්න හේතු වුණ අනික් ප්‍රධානම හේතුව ඔය සිංදුව අහන දවස් වල මමත් ප්‍රේමයේ සංක්‍රාන්ති සමයක හිටපු එක, ඒ කිව්වේ සිංදුවේ කියනවා වගේ නිසල විසල හුදෙකලාවක ගිලී වෙලී ශුණ්‍යතාවයෙන් හිටපු එක වෙන්න ඇති. ඒකත් හරි අපූරු අත්දැකීමක්. විඳලා බලන්න වටින තරමෙ අත්දැකීමක්! හැබැයි එල්ලිලා මැරෙන්න තරම් දෙයක් නෙමේ.

අන්තර්ජාලය කියන එක මේ තරම් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් වෙන්න ඇති මිනිස්සුන්ට සැබෑ ලෝකේ විඳින්න බැරි සමහර දේවල් වර්චුවලි(අතත්‍යාකාරයෙන්) විඳින්න ලැබෙන එක. ඔය අතරේ ඩිජිටල් සෝෂල් මීඩියා එක්ක මිනිස්සු හරි අපූරු දේවල් කරන්න පටන් ගත්තා. හරියට තමන් නොවන තමන් කෙනෙක් ඇතිකිරීම වගේ වැඩ. ඒ කිව්වේ තමන්ගේ හැබෑ ජීවිතේ අදහස්, හැඟීම් වලට සම්පූර්ණයෙන් වෙනස් වුණු චරිතයක් සෝෂල් මීඩියා සයිට් එකක( උදා:- ෆේස්බුක්) හැදීම වගේ වැඩ. තවත් සමහරු ඔය සයිට් වලින් ආදරේ හොයන්න පටන් ගත්තා. ඒ වැඩේ දැන් බොහොම සාමාන්‍යය දෙයක් වෙලා. සමහරුන්ට හරියනවා. සමහරුන්ට වරදිනවා. හැබැයි මට දැනෙන දෙයක් තමයි බහුතරයකගේ සැබෑ ජීවිතයයි අන්තර්ජාල ජීවිතයයි වෙනස්. ඔය වෙනස මම හොඳින්ම දැක්කේ මීට අවුරුදු කීපෙකට උඩදී.

"මම ඔයාට ආදරෙයි" කියලා චැට් එකක ටයිප් කරනවට වඩා කෙල්ලෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන ඒක කියන එක මටනම් ටිකක් අමාරු වැඩක්. එතකොට මට ඒ වචන වල ලොකු බරපතල ගතියක් දැනෙනවා (සමහර විට මට විතරක් ද දන්නෑ). වර්චුවල් ලෝකේ ආදර වන්තයෝ සැබෑ ලෝකේ පළවෙනි වතාවටම මුණ ගැහුණ ගමන්, චැට් වලින් කියපු දේවල් ස්කයිප් වලින් දැකපු දේවල් සේරම එකපාරටම බොරු වෙලා ගියපු අවස්ථා මම දැකලා තියෙනවා. හැබැයි එහෙම නොවුණු අවස්ථාත් දැකලා තියෙනවා.

ඔය අතරේ මට ඇහුණා තවත් සිංදුවක්. අජිත් කුමාරසිරි කියන මේ සිංදුව. මගේ හිතට වැදුනු තව සිංදුවක්. ආදරේ කරන්න හිතෙන සිංදුවක්.


ගොඩ දෙනෙක් මේ සිංදුවට කැමති වෙන එකක් නෑ. අජිත්ගේ ගොරහැඩි කටහඩට කැමති වෙන එකක් නෑ. කැමැත්ත අකමැත්ත සාපේක්ෂයි. හැබැයි මම හිතනවා බහුතරයක් ගෑණු කැමතියි ගොරහැඩි පිරිමි ගතිය පේන පිරිමින්ට. 

ආදරේ කළා.  විවිධාකර හේතු නිසා වෙන් වුණා. විරහව වින්දා. එල්ලිලා මැරුණේ නැති අය ඉතිරි උනා. ආයේ ආදරේ කළා. කලින් ආදරේ කරපු මනුස්සයා නෙමෙයි ආයේ අලුතින් ආදරයක් ඇති වෙනකොට ඉන්නේ. කලින් කෙනාට වඩා අත්දැකීම් බහුල ආදරවන්තයෙක්, ආදරවන්තියක්.

මම කිසිම ආගමක් ගැන උනන්දුවක් නෑ කියලා එයා දන්නවා. එයා මට කියන්නේ ඔයාට ආගමක් නැති උනාට කමක් නෑ ඔයා ඉන්න විදිහේ වැරැද්දක් නෑ කියලා. මම බොන බව එයා දන්නවා. මට අද වෙනකම් එපා කියලා නෑ. අඩු කරන්න කියලවත් නෑ. කිසිම දෙයක් කියලා නෑ.

"ඔයා ගංජා බීලා තියෙනවද?" එයා ළඟදී දවසක බස් එකේ යන ගමන් මගෙන් අහුවා

"ඔව්"

"කී පාරක් ද?"

"ගණං කර කර නෙමෙයි බිව්වේ...."

එයා ජනෙල්ලෙන් එලිය බලාගෙන හිටියා විනාඩියක් විතර. ආයේ සාමාන්‍යය විදිහට හිනා වෙවී කතා කළා. එයා මේ ඉන්න විදිහට මම කැමතියි. එත් කොච්චර කාලයක් ඔහොම ඉදියිද? දිගටම ඉදියිද? නැද්ද?

ඔය අතරේ බූන්දියේ දැක්ක, රෝහණ පොතුලියැද්ද කවියා ලියලා තිබුණු මේ කවියට මගේ හිත ඇදිලා ගියා. මේ කවිය අනාගතේ ගැන මාව බය කළා.


"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර

රස්සාව කෙරුවා ­ ඕටීත් කෙරුවා ­තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ­ ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා ­ පංති ඇරියා ­ ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්

කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට

උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

*******************

බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං

මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං


මම මේ කවිය මගේ ෆේස්බුක් පිටුවේ ශෙයාර් කළා. කවුරුවත් දැක්කද දන්නෙත් නෑ. මම මේක ශෙයාර් කළේ මෙන්න මෙහෙම පද දෙකක් එක්ක.

"කිරි කිරි සද්දෙන් අයිස් කැට අස්සෙන් තිබුණාට හාද කම්
හෙටානිද්දා දවසක අපිටත් මෙහෙම වෙයිද බං??!"


(කවිය උපුටා ගත්තේ මෙතනින් - http://www.boondi.lk/article.php?ArtID=4016)

Monday, September 30, 2013

වැල්ලේ ලියවුණු ජීවිත...



"ගාණ දාහයි ඊට සතපහක් අඩුවෙන් මං එන්නෑ"
සුනිලා කීවේ තරමක කෝපයෙනි.

"හරි බං සුනිලක්කේ අදට විතරක්......."
නිමල් ගේ වාක්‍යය අවසාන කිරීමට සුනිලා අවසර නොදුන්නා ය.

"මේ මල්ලි..... උඹ දන්නවා මං මේ කුණු වැඩේ කරන්නේ සල්ලි හදිස්සියකට කරන්නම දෙයක් නැති උනාම බව. උඹට දාහක් දෙන්න බැරිනම් උඹේ මහත්තයාව වෙන ඕන දීපංකරේක එක්ක පලයං"

සුනිලාගේ කටහඩ තවත් තීව්‍ර වූවා ය. ඉක්බිති ඔවුන්ගේ දෙබස වැල්ලේ වෙන කාට හෝ ඇසුනේ දැයි සැක හැර දැනගන්නට මෙන් ඈ වට පිට බැලුවාය. ඇයව රුපියල් දහසකට වඩා  අඩුගණනකට නම්මවා ගැනීමට මෙදානම් නොහැකි බව නිමල්ට වැටහුණි.

"ඉඳා... ඉඳා.. උඹලටත් අපිම ඕනේ බිස්නස් සෙට් කරන්න. අපි පොඩ්ඩක් ගාණ එහෙ මෙහෙ කරන්න කිව්වම තමයි සේරම රැස්පොට්. මේක අරගෙන ඉක්මටන ඇඳුමක් දාගෙන වරෙන් ලයිට් කණුව ළඟට. මම මහත්තයාව ආටා එකේ තියලා මෙහෙට දුවගෙන ආවේ."
නිමල් වට පිට බලමින් කිසිවෙකුටත් නොපෙනෙන්නට දාහේ කොළයක් සුනිලාට දික් කළේය.

"අනේ මල්ලියේ තියේනම් මාරු වලින් දියංකෝ"
එවර ඇගේ ස්වරය ආයාචනාත්මක ය.

"ඒ පාර තවත් කැටයං. උඹලත් අනේ මන්දා.. ඉඳා... ඉක්මනට වරෙං මං යනවා"
නිමල් පන්සීයයේ නෝට්ටුවක් සහ සීයේ නෝට්ටු පහක් සුනිලා අත තබා ආපසු ගමන් කරන්නට විය. සුනිලා වටපිට බලමින් කිසිවෙකුටත් නොපෙනෙන්නට නෝට්ටු කීපය හැට්ටය අස්සේ රුවා ගෙන තම ලෑලි නිවහන වෙත කඩිමුඩියේ යන්නට වූවා ය.


*   *   *   *   *

නිලන්ත මුහුදු වෙරළේ වාඩිවී දැන් බොහෝ වේලාවක් ය. ඔහු තේරුමක් නැති රළ බිඳිම දෙස තේරුමක් නැතිව බලා සිටියි. ඔහු පාසල මඟහැර මුහුදු වෙරළේ ගතකරන පළමු දිනය මෙය නොවේ. බොහෝ විට මෙලෙස ගතකරන අවසන් දිනය ද මෙය නොවිය හැක. ඔහු අද උදෑසන නිවසින් පිටවන විටම මෙම ගමන තීරණය කර අවසන් ය. එබැවින් ඔහු බෑගයේ කොට කලිසමක් සහ කමිසයක් දමාගත්තේ පෙර දා රාත්‍රියේ ය. ඔහු අතිශය සාධාරණ සහ අතිශය අසාධාරණ හේතු නිසා අනේක වාරයක් මෙලෙස පාසල මඟහැර රස්තියාදු ගසා ඇත. ඔහු අද පාසල මඟ හැරියේ අතිශය සාධාරණ හේතුවකට යැයි ඔහුගේ සිත කියයි.

උදේ වරුවේ වෙරළේ රස්තියාදු ගසමින් සිටි ඔහුට බට්ටා මුණගැසුනි. බට්ටා කලින් පාසල් ගියේ නිලන්ත සමඟය. නමුත් බට්ටා අට වසරේදී පාසල් ගමන් නැවැත්වී ය. දැන් ඌ අන්නාසි බේසමක් හිසමත තබාගෙන ගල්කිස්ස මුහුදු වෙරළේ වෙළඳාම් කරයි. නිලන්ත බට්ටා සමඟ උදේ වරුවේ අන්නාසි විකිණුවේ ය. අව් රශ්මිය වැඩි වනවිට අන්නාසි විකිණීම එපා වූ නිලන්න වෙනතක් බලා යන්නට සැරසෙන විට බට්ටා රුපියල් දහයක් නිලන්තට දික් කළේ ය. නිලන්ත එය ප්‍රතික්ශේප කළේ ය.

ඔහු පොල්ගස් සෙවනට වී කොපමණ වේලාවක් මුහුද දෙස බලා සිටියා දැයි ඔහුට මතක නැත. වැල්ල යනු ඔහුගේ ජීවිතය යි. මීට කිලෝමීටර කීපයකට එපිටින් නිලන්තගේ නිවස පිහිටියේද වැල්ලේ ම ය. ඔහු ඉපදුනේද වැල්ලේ ම ය. හැදී වැඩෙන්නේද වැල්ලේ ම ය. මිතුරන් සමඟ සහ තට්ටතනිවම පාසල මඟහැර වැල්ලේ රස්තියාදු ගැසූ දිනගණන මෙතෙකැයි කියන්නට නිලන්තට මතකයක් නැත. නමුත් තට්ටතනිවම මුහුදු වෙරළේ සිටියදී සිදුවූ එක් සිදුවීමක් නම් ඔහුගේ මතකයෙක් කිසිදා මැකී නොයයි.

එකල නිලන්ත 9 වසරේ ය. ඒ දෙමාපිය රැස්වීම් දිනයයි. දෙමාපිය රැස්වීම් දිනය යනු නිලන්තට පාසල් යන දිනයක් නොවේ. එදා ඔහු මෙම වෙරළේ ම රස්තියාදු ගසමින් සිටියේ ය. ඔහුට කැනී අයියා මුණගැසුනේ ය.

"අහ්! මල්ලියා වෙලාවට අහු උනේ. මං උඹවගේ එකෙක් තමා හොය හොයා උන්නේ. මොකෝ කියන්නේ පොඩි වැඩක් තියෙනවා. උඹට රුපියල් සීයක් දෙනවා."
නමය වසරේ නිලන්තට රුපියල් සියයක් යනු අති විශාල ධනස්කන්දයකි. ඔහුට මොහොතකට කෝටිපතියෙක් වූවක් මෙන් හැඟීමක් ඇති විය.

"මොකක්ද කියපං වැඩේ?"

"මං අඳුරන සුදු මහත්තයෙක් ඉන්නවා. උඹට තියෙන්නේ ඌත් එක්ක ටික වෙලාවක් ඉන්න"

ඒ අතීතය සිහිවන වාරයක් පාසා නිලන්තයේ පස්ස පැත්ත ඇදුම් කයි. ඊට මාස කීපයකට පසු තම මවත් පියත් අතර මෙවන් දෙබසක් ඇති වූ බවද ඔහුට මතකය.


"කැනියා පහුගිය ටිකේ පේන්න නොහිටියේ ඌත් ඉතාලි පැනලය කියන්නේ. ඌට එහෙ සරුයිලු."
නිලන්තගේ මව සොයාගත් අලුත්ම ඕපාදූපය පියාගේ කන තැබීය.

"කිරිසප්පයින්ව වරත්තු සුද්දන්ට විකුණලා විකුණලා අම්මපා උන්ටත් හරියනවනේ. දෙයියෝ කියන එකාත් ඒ වගේ කාලකණ්නින්ටම තමා පිහිට වෙන්නේ"
නිලන්තගේ පියා කීවේ තරහකින් නොවේ. නමුත් වාක්‍ය අවසන් වෙත්ම උගුර කාරා තුහ්ඃ හඩින් කෙලපාරක් ගසමින් පියා නිවසින් පිටත් විය. 


"අනේ අපේ මිනිහගේ කට කැඩිච්ච කතා වලට දෙවියන් වහන්සේ සමාව දෙන සේක්වා"
නිලන්තගේ මව කොඳුරන හඩ නිලන්තට ඇසුනි.

 
*   *   *   *   *

ගෙදර යාමට වේලාව හරි යැයි නිලන්තට සිතුනි.

"අයියේ වෙලාව කීයද?"
නිලන්ත බිම හිඳගෙන සිටමින්ම, ඔහු ඉදිරියෙන් ගමන් ගත් තරුණයෙක්ගෙන් ඇසුවේ ය.

"එකයි"

නිලන්ත කම්මැලිකමින් තව විනාඩි කීපයක් වැල්ලේ හිඳගෙන ම සිටියේ ය. මොහොතකින් නැඟී සිට හොඳින් ආවරණය වුණු, හීන් කඩොල් පඳුරු අතරට මුවා වී පාසල් ඇඳුම් හැඳ ගත්තේ ය. 

රේල්පාරේ අනික් පසට මාරු වීමට පෙර ඔහු දුටු දෙයින් කලබල වී අසල තිබූ කොට්ටන් ගසට මුවා විය. නිමල් අයියාගේ ත්‍රී රෝද රථය, අසල හෝටලයක් ඉදිරිපිට නවතා ඇත. තම මවත් තවත් පිරිමියෙකුත් ත්‍රී රෝද රථයෙන් බැස හෝටලය දෙසට ඇදුනි. මොහොතකින් ත්‍රී රෝද රථය යන්නට ගියේ ය. ක්ෂණිකව දුටු දර්ශනයෙන් පසු සිහි එලවා ගැනීමට නිලන්තට තවත් විනාඩි කිහිපයක් ගත විය.

"බැල්ලි!"
නිලන්ත දත්මිටි කමින් රේල් පාරෙන් අනෙක් පසට පැන්නේ ය.


*   *   *   *   *

නිලන්ත බිම හිඳගෙන ගෙදර ලෑලි බිත්තියට හේත්තු වී මුහුද දෙස හිස් බැල්මකින් බලා සිටියි. මීට මොහොතකට පෙර තිබූ කෝපය තුනී වී ගොස් ය. තමා පැය දෙකක් පමණ මෙසේ සිටින්නට ඇතැයි නිලන්තට සිතුනි. ඔහුගේ මව ඔහු අසලට පැමිණි බවවත් ඔහුට දැනුනේ නැත.

"උඹ කෑවද?"

"තාම නෑ"
නිලන්ත මුහුද දෙස බලාගෙන ම පිළිතුරු දුන්නේ ය.

"උඹට ඕනෙ පොත් ගත්ත ද?"

"නෑ... හවසට ගන්නවා"

"උඹ, මං ලියලා ගිය ලියුං කෑල්ල දැක්කා ද?"

"ඔව්"

"උඹ ඊයේ ජල්ලි ඇල්ලුව විදිහට මං හිතුවා අද නොකාම පොත් ගන්න යයි කියලා. උඹෙත් බොරු බයිලා විතරයි."

"කොහෙන්ද සල්ලි?"
මවගේ කතාව නෑසුනාක් මෙන් සුනිල් පෙරලා ඇසුවේ ය.

"ආ..... මේ..... ප්‍රේමක්කගෙන් ඉල්ල ගත්තා"
කියූ සුනිලා වරදක් කළ එකියක මෙන් ගේ තුලට යාමට සැරසුණා ය.

"තාත්තා අදවත් එයිද දන්නෑ....."
නිලන්ත ඇසුවේ මුහුදේ ඈත් ක්ෂිතිජයේ තිතක් මෙන් පෙනෙනා බෝට්ටුවක් දෙස බලාගෙන ම ය.

"අදවත් ආවොත් හොඳයි.....  ඉඳපං මං බිත්තරයක් බැදලා දෙන්න උඹට"
සුනිලා ගේ තුලට වූවා ය.

නිලන්ත අතේ ගුලිකරගෙන සිටි, සුනිලා විසින් අකුරු අමුණමින් ලියා ඔහුගේ මේසය මත තබා ගිය සටහන නැවත දිග හැර කියවන්නට විය....


මම බඩු ගෙන්න කඩෙ ගිය පරක්කු උනොත් බත් බෙදන ලුනු ටිකක් ඉහන් කපන් අතන සල්ලි ටිකක් ඇති උබෙ පොත් ගනින්
                                                                                අම්ම




[පින්තූරෙ - http://marketingdeviant.com/wp-content/uploads/2008/09/steps-in-the-beach.jpg ] 

Wednesday, August 21, 2013

හඳ කඩාගෙන වැටුණා හදෙන් පලුවක් ගලවගෙන...



හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා.

ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ.

"අහන්න රත්තරං.... හැමදේටම දැන් හොඳටම පරක්කුයි. මම ලබන සිකුරාදා බඳිනවා"

එයා කිව්වේ ලොකූ හුස්මක් අරන්. අපේ ජීවිත තරම් නොවුණත් එතකොටත් අපේ ඇඟිලි එකිනෙකට පැටලිලා තිබුණේ. ඒ පැටලිල්ල ලිහන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. ශක්තියක් තිබුණේ නෑ. හීනෙන් වගේ ඇහුණු ඒ වචන වලට මගේ හීන මාලිගා මහා සද්දෙට කඩාගෙන වැටෙනවා මට අහුණා. ඒ සද්දෙට මගේ කන් අඟුලු වැටුනා. මුළු ලෝකෙම නැවතුනා වගේ දැනුනා. මම ඇගේ අත අතහැරිය යුතුව තිබුණා. ඒගේ මගේ හිත මට අවනත උනේ නෑ. මගේ ඇහැට කඳුළු ආවේ නෑ. මගේ හිතට සිතිවිලි ආවෙත් නෑ. මට දැනුනේ මහා ශූන්‍යත්වයක්. එයා මගේ මූණ දිහා බලාගෙන හිටපු බව මං දන්නවා. ඒත් එයාට කිසිම හැඟීමක් කියවගන්න බැරි වුණු බව මට විශ්වාසයි. මම ගන්ධබ්බ ආත්මයකට ඇතුළු වුණේ ඒ මොහොතේ බව මට දැන් හිතෙනවා.

අපි ආපසු යා යුතුව තිබුණා. මට නැඟිටින්න පුළුවන් කමක් තිබුණේ නෑ. කාලය ඒ මොහොත තුල සදාකල් නවතිනවා නම් කියලා හිතුනා. මම ඇගේ අත අතහැරිය යුතුව තුබුණා. ඒත් අපි අත් පටලගෙනම හිටියා.

ආදරේ උමතුවක් බව මම කලින් දැගෙන හිටියා. ඒත් උන්මන්තකයෙකුට තමන්ගේ උන්මන්තක ස්වභාවය දැනෙනවා ද? ජීවිත ගමනේ අනන්ත මාවත් තියෙද්දී අපි අහම්බෙන් තැන් තැන් වලදී නැවත නැවතත් හමු වුණා. හැමදේම අවසානයි කියලා හිතාගෙන වෙනම මාවත් වල ගමන් කරලත් ආයේ අහම්බෙන් අපි හමු වුණා. හමු වුණු හැම අවස්ථාවකදිම අපිටත් නොදැනී අපි ආදරෙන් උමතු වුණේ ඇයි කියන්න මට තාමන් තේරෙන්නේ නෑ. අපි ආයෙත් ජීවිතේ මං සන්ධියකට ඇවිත් එකිනෙකට විරුද්ධ මාවත් දෙකක් වෙන වෙනම ගමන් කරන්න පටන් අරං. අපි ආයෙත් අහම්බෙන් ජීවිත ගමනේ දී මුණ ගැහෙන එකක් නැද්ද? මගේ හිත නිශ්චිත අවිනිශ්චිත තාවකින් බර වෙලා.

වාහනේ ඇතුලේ අපි දෙන්නම සීතල වෙලා හිටියේ ඒසී එකටම නෙමෙයි කියලා මං දන්නවා. හරිම වේගෙන් ඔයාගේ හදවත ගැහුන සද්දේ මට තාමත් දැනෙනවා. ඒ වෙව්ලන දෙතොල් මට තාමත් දැනෙනවා. සීතලට ගල්වෙලා තිබ්බ අත්වලින් ඇඟිලි තුඩු මිරිකෙන තරම් තදින් අපි අල්ලගෙන හිටියේ. ඔයාට දැනුන ද?






[පින්තූරෙ - http://wallpaperhdfree.com/wp-content/uploads/2013/03/When-Love-is-Not-Madness-it-is-not-Love.jpg]

Thursday, May 16, 2013

හිඟන්නාගේ අවුරුදු තෑග්ග


හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස් පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස් විවර කරන්නට විය. නැවත නැවතත් ගුහාවෙන් හිස ඔබා යලි ගුහාවටම වන්නට විය. එක් මොහොතක හිඟන්නාගේ ඇස් පියන් එකිනෙක තද විණි. යලි මොහොතකින් ඇස් හැරි ඔහු හිස් අහස දෙස බැලුවේ ය. අලුත් අවුරුදු දිනය නොවන්නට, රුපියල් දස දහසක් අතැති හිඟන්නාට හෙට දිනය සුභ දිනයක් වන්නට තිබුණි. හිඟන්නා තමා පසෙක සිටි බැල්ලගේ හිස අත ගෑවේ ය.
* * * * * * * * * * * * * * * * * *

"ඉක්මනට නඟින්න"
එක්වරම හිඟන්නා අසල නැවතූ ත්‍රීරෝද රථය තුල සිටි තරුණිය හිඟන්නාට කතා කළාය. ත්‍රීරෝද රථයේ රියදුරු මහත් විමතියෙන් හිඟන්නා දෙසත් තරුණිය දෙසත් දෙතුන් වරක් බැලීය. ඇය, විමලා සමඟ සිටි තරුණියන් අතරින් තරුණියක බව හිඟන්නා හැඳින ගත්තේ ය.

"විමලා ද කිව්වේ?"
හිඟන්නා ඇසුවේ කම්මැලි ස්වරයකිනි.

"ඔව්.. එනවා ඉන්මනට. වැඩි වෙලා කියවන්න බෑ මිනිස්සුන්ට පේනවා"
තරුණිය නොයිවසිල්ලෙන් වටපිට බලන්නට විය. හිඟන්නා කිසිත් නොදොඩා ත්‍රීරෝද රථයට ගොඩ විය. හිඟන්නා අසල වැතිර සිටි බැල්ල හිස ඔසවා හිඟන්නා දෙස බැලුවා ය.

ත්‍රීරෝද රථය අතුරු පාරවල් දිගේ ඇදී යන්නට විය. හිඟන්නා කිසිත් නොදොඩුවේ ය. තරුණිය ද කිසිත් නොදෙඩුවා ය. ත්‍රීරෝද රථයේ රියදුරු වරෙන් වර පැති කණ්නාඩියෙහ් හිඟන්නා දෙස බලනු හිඟන්නා දුටුවේ ය. ත්‍රීරෝද රථය කුඩා ප්‍රමාණයේ හෝටලයක් තුලට හැරවීය. "සුරම්‍ය හෝටලය" එය හිඟන්නා නොදන්නා හෝටලයක් නොවීය.

* * * * * * * * * * * * * * * * * *

"මේ හෝටලේට තමයි ඒ මහත්තයා මාව එක්කගෙන එන්නේ." විමලා තරමක නිවසක් වෙත අත දික්කළාය.

"සු...ර...ම හෝ...ටලය" හිඟන්නා ගේට්ටුව උඩින් රතුපාට අකුරු එකිනෙක හෙමින් ගලපන්නට විය.

"සුරම්‍ය හෝටලය!" විමලා නැවත නම නිවැරදිව කියවීය.

"මං දන්නෑ බං අර ඇදවෙලා ගිය අන්තිම අකුර"

"ඒ මහත්තයා කිව්වා මට එයා එක්ක එන්නැයි කියලා."

"උඹ මොකද කිව්වේ?"

"මං මුකුත් කිව්වේ නෑ"

"ඉතිං උඹ කැමතිද ඌත් එක්ක යන්න?"

"මං දන්නෑ"

සංවාදයෙන් දින කිහිපයකට පසුව විමලා අතුරුදන් විය. හිඟන්නා හැඩුවේ නැත. එක්කෝ හිඟන්නා හඩන්නට දැන සිටියේ නැත. හිඟන්නා නිදි වර්ජිත රාත්‍රී ගණනාවක් පසු කළේය.


* * * * * * * * * * * * * * * * * *

"සල්ලි මැඩම් දෙයි" තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුට කීවා ය.

තරුණියත් හිඟන්නාත් හෝටලයට ඇතුළු විය. ඇතුල්වන විටම ඇති සැප පුටුවක තරුණන් දෙදෙනෙක් දුම් වැටියක් උරමින් සිටියේ ය. ඔවුන් හිඟන්නා දෙස නොරිස්සුම් බැලුම් හෙලන්නට විය.

"මේ මොකෙක්ද ඕයි මේ? තමුසෙටත් දැන් ඉන්නේ මාර කස්ටමර්ස්ලනේ" එක් තරුණයෙක්, තරුණියට අවඥාවෙන් පැවසීය.

"මැඩම්ගේ ඕඩරයක් බං. මොන කාමරේද හිස්?" තරුණිය ඒ තරුණයන්ව හොඳින්ම හඳුනතැයි හිඟන්නාට පැහැදිලි විය.

"දකුණු පැත්තේ දෙවෙනි එක. ඔය මේස උඩ ඇති යතුර"

හිඟන්නාත් තරුණියත් තරප්පු පෙළ නඟින්නට විය. ඉහල මහලේ වූයේ පටු කොරිඩෝවකි. දෙපසම කාමර වල දොරවල් පෙනුනි. තරුණිය එක කාමරයක දොර විවෘත කළාය. හිඟන්නාත් තරුණියත් කාමරයේ තනි විය. තරුණිය දොරේ අඟුල කරකැවීය.

හිඟන්නාට කිසිඳු හැඟීමක් ඇති වූයේ නැත. ඔහු ට භීතියක්, කුතුහලයක්, ආශාවක් හෝ වෙනයම් කිසිඳු හැඟීමක් හෝ දැනුනේ නැත. හිඟන්නාගේ මනසේ ඇත්තේ එක් පැණයකි.

"කෝ විමලා?"

"මැඩම් මට බාර දුන්නු වැඩෙයි මම කරන්නේ. ඕන්නැති ප්‍රශ්න වැඩක් නෑ. අතන නාන කාමරේ. මෙන්න තුවාය ගිහින් නාගෙන එනවා. ඔහේ ගාව මහ බලු ගඳයි. නාලා මේ අලුත් ඇඳුම් ඇඳගන්නවා" තරුණිය හිඟන්නා අත අලුත් සරමක් සහ බැනියමක් තැබුවා ය.

හිඟන්නා නාන කාමරයට වැදී දොර බාගෙට වසාගත්තේය. හිසට වැටෙන වතුර පාර සහ මතක පොදිය ඔහුව බිම වාඩි කරවීය.

* * * * * * * * * * * * * * * * * *

පදිකවේදිකාවේ හිඳගෙන, හැඟිම් විරහිත දෙනෙතින්, සුවිසල් නිමි ඇඳුම් සාප්පුව දෙසට නෙත් යොමා සිටින්නේ හිඟන්නා ය. පෝලිමේ හිඳ තෙරපෙමින්. දහඩිය මුගුරු වපුරමින්, පොර කමින්, හොර කමින් සාප්පුව තුලට රිංගා ගත් බොහෝ දෙනෙකු ආපසු සාප්පුවෙන් පිටව යන්නේ ද හිඟන්නාව පසුකරගෙන ය. හෙට අලුත් අවුරුදු දිනයයි. හිඟන්නාගේ අත මිටද යම් තරමකට සරු ය.

විමලා ගිඟන්නාව හැර ගොස් දැනට අවුරුදු හතකට වැඩි විය හැකිය. විමලා හිඟන්නාට වඩා බොහෝ සෙයින් ලාබාල විය යුතුයැයි හිඟන්නාත් විමලාත් දිනක් කතා වූ සැටි හිඟන්නාට මතකය. ඔවුන් දෙදෙනාටම උපන්දින තිබිණි. එහෙත් දෙදෙනාටම එය අමතකව ගොස් තිබිණි. එසේත් නැත්තම් ඔවුන් උපන්දිනය දැන සිටියේම නැත.

වීදියේ ඉපදී වීදියේම හැදී වැඩුනු හිඟන්නා නිදි වැදූ එකම ගැහැණිය විමලා නොවේ. නමුත් හිඟන්නා නැවත නැතවත් නිදි වැදීමට කැමති වූ එකම ගැහැණිය විමලා ය. හිඟන්නා සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූ එකම ගැහැණිය ද විමලා විය හැකිය. සමහරක් විට ඈ ඕනෑම පිරිමියෙක් සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූවා විය හැකිය.

විමලා හිඟන්නා සමඟ සිටි කාලය හිඟන්නාට සරු කාලයක් විය. කොටින්ම එය හිඟන්නා ශක්තිමත්ව සිටියදී නාට්ටාමි කම් කළ කාලයටත් වඩා සරු කාලයකි.

නාට්ටාමි කම් කළ කාලයේ කරුමක්කාර පපුවේ අමාරුව නොසෑදෙන්නට, ගිඟන්නා මේ වන විට හිඟන්නෙක් නොවන්නට ද තිබූ බව ගිඟන්නා දැඩිව විශ්වාස කරයි. එකල ගිඟන්නාට රෑට නිදන්නට කුලියට ගත් ලැයිම් කාරමයක් පවා විය. නිතර කසිප්පු බොන හිඟන්නාට ඉඳ හිට අරක්කු බොන්නට ද එකල හැකි විය. එකල මැදිවිය පාමුල සිටි හිඟන්නාගේ සිහින සියල්ල සුන්නත් දූලි කර දැමූයේ පපුවේ අමාරුවයි. සති කීපයක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ගෙවා දැමූ හිඟන්නාට බර වැඩ නොකරන්නට අණ දුන්නේ දොස්තර මහතෙකි. දොස්තර මහත්තයාට බම්බු ගසා ගන්නට යැයි කියා ගිඟන්නා සති කීපයකට පසු සුපුරුදු රස්සාවට ගියත් ඔහුට පෙර පරිදි වැඩ කළ නොහැකි විය. කිලෝ විස්සක් ඔසවාගෙන අඩි දෙකක් යන විට අධික මහන්සියක් දැනෙන්නට විය. හිඟන්නාට නැවත සතියක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලඟින්නට ද සිදුවිය. හිඟන්නා යලිත් හිඟන්නෙක් විය. එතැන් සිට හිඟන්නා හිඟමනෙන් පමණක්ම දිවි ගැටගසා ගත්තේ ය.

මීට අවුරුදු ගණනකට පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. පාර අයියේ කළු පැහැති සෙලවෙන විශාල පොදියක් අසලට හිඟන්නා සෙමෙන් සෙමෙන් ලං විය. ඒ වැරහැලි වූ ඇඳුම් ලා ගත්, පිස්සියක මෙන් හිස කෙස් අවුල් වූ තරුණියකි. හිඟන්නා ඉක්මනින් තම මල්ලෙන් තැලී පොඩි වූ ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන තරුණියගේ මුහුණ තෙත් කළේ ය. ඇඟේ අත් සහ කලවා සීරී තිබෙනු හිඟන්නා යන්තම් දුටුවේ ය. හිඟන්නා ඈ වත්තම් කරගෙන කඩපිලක් අයිනට පැමිණියේ ය.

"ගෑණියෙක් එක්ක බුදියන්න දන්නෙ නැති වනචර හැත්ත"
තරුණියව වත්තම් කරගෙන යන අතරතුර හිඟන්නා මිමිණුවේ ය.

ඈ යාන්තමට ඇස් හැර හිඟන්නා දෙස බැලුවා ය. ඈ වචනයකුදු නොදෙඩුවා ය. හිඟන්නා ද වචනයකුදු නොදෙඩුවේ ය. ඔවුන් කඩපිල අයිනේම නිදන්නට විය. හිඟන්නා මල්ලෙන් කිළිටි රෙදි කැබැල්ලක් ගෙන තරුණියට පෙරෙව්වේ ය.

අළුයම හිඟන්නා අවදිවන විට ඈ ද අවදි වී සිටියා ය. බිත්තියට හේත්තු වී ඈ බලාගත්වනම බලාගෙන සිටියා ය.

"මොකක්ද උඹේ නම?"

"විමලා!"

"උඹ වරෙන් මාත් එක්ක"

කිසිත් නොකියාම විමලා හිඟන්නා පසුපස පැමිණියා ය. එදා සිට හිඟන්නා සමඟින්ම උන්නා ය. හිඟන්නාගේ සියළුම ඕනෑ එපා කම් ඈ පිරිමැසුවා ය. පෙර දා ඈ පාර අයිනේ සිටියදී හිඟන්නා කළ උදව්වට කළ හැකි හොඳම ප්‍රතිඋපකාරය එය යැයි ඇය සිතුවා ය.

හෙට එළඹෙන අලුත් අවුරුදු දින වාගේම දිනෙක හිඟන්නා ඇයට බෝරිච්චි අත් දැමූ මල් ගවුමක් තෑගි දුන්නේ ය. එදා එසේ නොකළානම් හොඳ යැයි හිඟන්නාට පසුව අනේක වාරය සිතී ඇත. එදා ඇය ඒ ලා නිල් රෙද්දේ සුදු මල් වැටුනු ගවුම හැඳ, තනි කරලට කොණ්ඩය ගොතා හිඟන්නා ඉදිරියට ආ හැටි හිඟන්නාට තාම මතකය. ඇගේ රූ සපුව හිඟන්නාගේ හද මොහොතකට නතර කරවීය. ඇය එතරම් හැඩැති එකියකැයි හිඟන්නාට ඉන් පෙර කිසිම විටෙක සිතී නැත.

මල් ගවුම සියල්ල වෙනස් කරවීය. විමලා මල් ගවුම හැඳගෙන පාරේ ගිය විටෙක කාර් එකක පැමිණි මහත්තයෙක් විමලාව රැගෙන ගොස් තිබුණේ ය. විමලාද කැමැත්තෙන්ම මහත්තයා සමඟ ගොස් නිදි වැද තිබිණි. එදා විමලා නැවත පැමිණ තිබුණේ රුපියල් දහසක්ද අතැතිවය. විමලා විස්තරය හිඟන්නාට නොවලහා පැවසීය. හිඟන්නා හැඟීම් විරහිතව සියල්ල අසාගෙන සිටියේ ය. විමලා රුපියල් දහස හිඟන්නාට දෙන්නට තැන් කළාය.

"උඹ හම්බකරගත්ත එක උඹ තියාගනින්. මට ඕන උනොත් මම උඹෙන් ඉල්ලන්නම්"

කල් යත්ම විමලා තව බොහෝ මහත්වරුන් සමඟ නිදි වැදුනා ය. ඒ අතරින් සමහර මහත්වරුන් විමලාව සොයාගෙන නැවත නැවත පැමිණුනේ ය. එසේම කල් යත්ම හිඟන්නා විමලාගෙන් මුදල් ඉල්ලා ගැනීමටද පුරුදු වූවේය.

අලුත් ඇඳුම් රැගෙන එන තරුණියන් හිඟන්නාට විමලාව සහ ඉහත සිද්ධී දාමය නැවත නැවත සිහිපත් කරයි.

* * * * * * * * * * * * * * * * * *

හිඟන්නා අලුත් ඇඳුම් හැඳගෙන කාමරයට පැමිණියේ ය. තරුණිය යට ඇඳුමින් පමණක් විළි වසාගෙන ඇද මත හිඳගෙන උන්නා ය.

"කෝ විමලා" හිඟන්නා ඇසුවේ නෝක්කාඩු සවරයෙනි.

"මැඩම් කිව්ව නිසා තමයි මං ආවේ. නැතුව තමුසෙත් එක්ක බුදියෙන්න මට පිස්සු කියලා හිතුවද?"

හිඟන්නා කිසිත් නොදොඩා තරුණිය දෙස එක එල්ලේ මොහොතක් බලාගෙන සිට ක්ෂණිකව යක්ෂයෙක් ආවේශ වූ ආතුරයෙකු පරිද්දෙන් තරුණිය වෙත පැන්නේ ය. තරුණිය විළි වසාගෙන සිටි යට ඇඳුම් ඇඳ පුරා සී සී කඩ විසිරුනේ ය. උස් වෙමින්, පහත් වෙමින්, ඉස්සෙමින්, පෙරළෙමින්, විවිධ ඉරියව් වලින්, විවිධ හඩවල් වලින්, බොහෝ කාලයක් හිඟන්නා තුල නිධන්ගතව තිබූ රාග විශ නහර හරහා වේගයෙන් ඇදී එන්නට විය. හිඟන්නාගේ දෑස් පියන් එකිනෙක් තද විය.

"කෝ යකෝ විමලා...! කෝ ඒකි?"

හිඟන්නා ඇඳ මත වැතිරුනා නොව ඇඳ මතට ඇද වැටුනි. තරුණියත් පසෙක ඇඳ මත වැතිර සිටියා ය.

"මං දන්නෑ තමුසේ මැඩම්ගේ කවුද කියලා. මැඩම් මට කිව්ව වැඩේ මම කළා. මං දන්නෙ නෑ එතනින් එහාට දෙයක්" තරුණිය පහත් ස්වරයකින් කීවාය.

හිඟන්නා දහඩියෙන් තෙත් වී සිටියේ ය. ඔහුට නැවත නාගන්නට උවමනා විය. හිඟන්නා කිසිත් නොදොඩා යළිත් නාන කාමරයට ඇතුල් විය. දොර නොවසාම කරාමය හැර ගත්තේ ය.

යළි කාමරයට එන විය තරුණිය මුලින් දුටු අයුරින්ම සැරසී සිටියා ය. ඇය ලස්සන කෙල්ලකැයි හිඟන්නාට සිතුනි. නමුත් ඇගේ අඟ පසඟ විමලාට සමාන නැතැයි ද හිඟන්නාට සිතුනි.

"යමු ත්‍රීවීල් එක ඇවිත්" තරුණිය හිසකෙස් සකසමින් කීවාය.

"එතකොට විමලා එන්නෙ නෑ?" හිඟන්නා බලාපොරොත්තු සුන් වූ හඩකින් ඇසුවේය.

"මැඩම් එහෙම දෙයක් මට කිව්වේ නෑ. මං දැන් කී පාරක් කිව්වද"

හිඟන්නා කරබාගත්තේ ය. පෙර ත්‍රීරෝද රථය ම නැවත පැමිණ තිබුණේ ය. තරුණියත් හිඟන්නාත් කිසිත් නොදොඩාම හිඟන්නා කලින් සිටි තැනටම ත්‍රී රෝද රථයෙන් පැමිණියේ ය.

"ආ මේක මැඩම් දෙන්න කිව්වා" තරුණිය ලියුම් කවරයක් හිඟන්නා අත තබා ක්ෂණිකව ත්‍රීරෝද රථයේ නැඟී නික්ම ගියා ය.

ලියුම් කවරයේ මුදල් හැර වෙන කිසිවක් නොවීය.

* * * * * * * * * * * * * * * * * *

හෙට උත්සව දිනයට ලහි ලහියේ එහෙ මෙහෙ දුවන බොහෝ මිනිස්සු හිඟන්නා ඉදිරියෙන් තබා ඇති කාඩ් බෝඩ් කැබැල්ලට කාසියක් දෙකක් දමා යයි. සෑම උත්සව කාලයකටම හිඟන්නාට මෙය හුරු දෙයකි. හිඟන්නා ඉදිරියේ තබා ඇති කාඩ්බෝඩ් කැබැල්ලට රුපියක් සියයේ නෝට්ටුවක් වැටුනි. හිඟන්නා ස්තූතිය පල කිරීමට හිස ඔසවා මුදල් දැමූ තැනැත්තා දෙස බැලුවේ ය. හිඟන්නා මොහොතකට ගල් ගැසුනි. මුදල් දැමූ නැනැත්තා ද මොහොතකට ගල් ගැසුනි.

"විමලා!!!" හිඟන්නාගෙන් පිට වූ එකම වචනය එය විය.

ගැහැණිය ක්ෂණිකව හැරී කඩිමුඩියෙන් ආපසු යන්නට විය. හිඟන්නාට සිහි එලවා ගැන්මට මොහොතක් ගත විය. ඔහු එක්වරම නැඟී සිට ගැහැණිය පසුපස යන්නට පටන් ගත්තේය. ගැහැණිය තරමක් ඉදිරියෙන් වෑන් රථයක් අසල සිටි තරුණියන් කීප දෙනෙක් ළඟ නැවතුනා ය.

"නංගිලා නැගපල්ලා බං ඉක්මනට. පරක්කු වෙනවා යන්න" ගැහැණිය වෑන් රථයේ ඉදිරිපසට ගොඩ වූ අතර තරුණියන් පසුපසට ගොඩ විය.

හිඟන්නා ලං වන්නට ප්‍රථම වෑන් රථය පිටත් විය. ඔහු තවත් මොහොතක් ඈත යන වෑන්‍ රථය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය.

"ඒකි මහත් වෙලා" හිඟන්නා තමාටම මුමුණා ගත්තේ ය.

* * * * * * * * * * * * * * * * * *

මීට අවුරුදු දෙකකට පමණ පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. හිඟන්නාට මින් පෙරත් දිනෙක එවන් වූ කෙඳිරියක් ඇසුනු බැව් සිහි විය. හිඟන්නාට කෙඳිරිය නොඇසුනු ලෙස ඉවත්ව යන්නට ද සිත් විය. නමුත් ඔහුගේ දෙපා, සිතට එකඟ නොවිනි. එයද පෙර දිනෙක පරිදිම නමුත් කුඩා කළු පෑ පොදියක් මෙන් දිස් විය. එයින් නැඟුනේ මනුෂ්‍ය කෙඳිරිල්ලක් නොවන බැව් හිඟන්නාට ඉක්මනින්ම අවබෝධ විය. එතැන සිටියේ කළු පෑ බලු පැටවෙක්ය. හිඟන්නා තම මල්ලට අත දමා වංගුවේ කඩයෙන් දුන් පාන් කාලෙන් කැබැල්ලක් ඌට දී ආපසු හැරුනේ ය. බලු පැටවා පාන් කැබැල්ල මුව රඳවාගෙනම,  අවසරයකින් තොරවම හිඟන්නා පසු පස එන්නට විය. එදා සිට ඒ බැල්ල හිඟන්නා ළඟ නතර වූ වාය. ඈ හමුවීම හිඟන්නාට සිහිපත් කළේ එකම එක හමුවීමකි. එකම එක නමකි. හිඟන්නා බැල්ලට ඒ නම තැබුවේ ය.

ආදරේ කරන්නට, කෝලම් කරන්නට, හුරතල් කරන්නට, තමාගේ දුක් ගැනවිලි පවසන්නට, විහිළුවක් කර හිනැහෙන්නට, තමන්ට සිටින හොඳම මිතුරිය, එකම මිතුරිය, හිඟන්නා පසෙකින් බිම දිගා වී සිටින්නී ය. දුකේ දී ත් සැපේ දී ත් හිඟන්නා අතැර නොයන්නී, ඉඳ හිට කෝලම් කර හිඟන්නාගේ මුහුණ ලෙවන්නී, හිස අතගාද්දී වල්ගය වනන්නී, විමලා ය.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




[පින්තූරෙ - http://1.bp.blogspot.com/-4FPQr5YRJy8/UTEQqmT3rUI/AAAAAAAAHmQ/MFzhBUl9x5g/s640/beggar+2.jpg]

Thursday, March 21, 2013

ඇගේ කතාව.....


මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් බයෙන් වගේ බලං හිටපු හැටි. "ඔයා මොකද කියන්නේ?" කියලා මගෙන් අහපු හැටි. ඒ හැම දෙයක්ම මට හොඳට මතකයි. මම එවෙලේ කිව්වා තව ටිකක් හිතලා කියන්නම් කියලා. ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ හිත ගියපු කොල්ලෙක් තමන් පස්සෙන් එන ප්‍රීතිය විඳින්න අකමැති කෙල්ලෝ මේ ලෝකේ නැතුව ඇති. ඊට දවස් දෙකකට පස්සේ මම එයාට කැමති උනා. එයා පස්සේ දවසක කිව්වා එදා අත් දෙක සාක්කුවට දාගෙන හිටියේ අත් සීතල වෙලා තිබ්බ නිසා කියලා. ආදරේට කෝඩු කාරයෝ එහෙමයි කියලා මම පස්සේ කාලෙක දැන ගත්තා. 

ඒ කාලේ හරිම සුන්දරයි. මට හරිම පහසුයි. මගේ යාළුවෝ බස් වල හිර වෙලා දාඩිය පෙරාගෙන යනකොට මම හුළං වැදි වැදී ශෝක් එකට ත්‍රීවීල් එකේ පන්ති ඇරිලා ආවා. මම ගිය හැම ගමනක්ම ගියේ ත්‍රී වීල් එකේ. ගෙදරින් මඟ වියදමට දෙන සල්ලි වලින් මම එයාට පොඩි පොඩි තෑගි අරන් දුන්නා. ශොපින් ගියෙත් ත්‍රීවීල් එකේ. ඇත්තටම ගෙදරින් එළියට බහින ඕන වෙලාවක මට එයාගේ ත්‍රීවීල් එක තිබුණා. හැම දේම වෙනස් උනේ අපේ ගෙදරින් අපි දෙන්නගේ සම්බන්ධේ දැනගත්තු දවසේ. හැමෝම මට බැන්නා "තොට පිස්සුද රස්තියාදුකාරයෝ එක්ක යාළු වෙන්න" කියලා. අක්කා බැන්නා "උඹට ත්‍රීවීල් කාරයෙක් ඇරෙන්න වෙන යාළු වෙන්න එකෙක් හිටියෙම නැද්ද?" කියලා. ඉතිං මම එදාම තීරණය කළා ඒ සම්බන්ධේ නවත්තන්න.

ඉස්කෝලෙන් අස් උනාට පස්සේ මම පොඩි ජොබ් එකක් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම සති අන්තේ කෝර්ස් එකක් කළා. සතියේ දවස් වලට උදේට වැඩට යන වෙලාව, හවසට වැඩ ඇරිලා එන වෙලාව කියන්නේ බස් වලට ඇඟිල්ලක් ගහන්න බැරි වෙලාවල් දෙකක්. ඒ අස්සේ වෙන වෙන තැන් වලට ඇඟිලි ගහන්න එන වලත්තයෝ! ඒ කාලේ උදේට බස් එකට නඟින්න හෝල්ට් එකේ ඉන්නකොට වැඩට යන බයික් කාරයෙක් මට බැල්ම දාන්න පටන් ගත්තා.

මම එයාට කැමති උනා. මුල්ම සති දෙක විතර මම බොරුවට එයාගේ බයික් එකේ වැඩට යන්න අදි මදි කළා. කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕනේ. එතකොටයි අගේ. පස්සේ හයියෙන් බ්‍රේක් ගහන්න බෑ කියන කොන්දේසිය උඩ මම එයත් එක්ක බයික් එකේ යන්න කැමති උනා. උදේ වැඩට යන එක, වීක් එන්ඩ් එකේ ක්ලාස් යන එක ඊට පස්සේ මට කිසිම කරදරක් උනේ නෑ. එයා මහ ලොකු ජොබ් එකක් කරපු කෙනෙක් නෙමෙයි. ඒත් බයික් එකක් තිබ්බ එකම කොච්චර දෙයක්ද.

කාලයක් යනකොට මම වෙන තැනක ටිකක් හොඳ ජොබ් එකකට ගියා. එතන වැඩකරන කෙනෙක් මං ගැන උනන්දුයි කියලා මට දැනුනා. ඒ කාලෙදිමයි මට දූවිලි නිසා නිතර නිතර හෙම්බිරිස්සාව හැදෙන්න පටන් ගත්තෙත්. බයික් එකේ නහය වහගෙන යන එකත් එපා වෙන වැඩක්. අලුත් තැන මං ගැන උනන්දුවක් දක්වපු කෙනාට පොඩි මරූටියකුත් තිබ්බා. මට බයික් එකේ යෑම එපා උනා. ඒ නිසා මම ඒ සම්බන්ධේ නැවැත්තුවා. මාසෙකට විතර පස්සේ මරූටියක් තිබ්බ කෙනාට මම කැමැත්ත දුන්නා.

කාලය කියන්නේ හරි පුදුම දෙයක්. මේ සේරම සිද්ධි ඉවර වෙලත් දැන් අවුරුදු තුනක් විතර උනා. හරියට අද ඊයේ වගේ මතකයි. අද මං ඉන්න තැන ගැන මට කිසිම දුකක් නෑ. මුලින්ම ත්‍රීවීල් කාරයෙක් එක්ක යාළු උන මම, අද වාහන දෙකක අයිති කාරයෙක්ගේ බිරිඳක්. හැරත් එක වාහනයක් මගේ නමට. මං අන්තිම යාළු වෙලා හිටපු මරූටියක් තිබ්බ කෙනා හරි හොඳ මනුස්සයා. ඒත් එයා ධර්මෙට ඕනෑවට වඩා නැඹුරුයි. එහෙම ජීවත් වෙන එක මට අමාරුයි. ඒ නිසයි මම ඒ සම්බන්ධේ නැවැත්තුවේ. කෝසල තමයි මට හරියටම හරියනවයි කියලා හිතුන කෙනා. ඒකයි මම කෝසලව බඳින්න කැමති උනේ. ජීවිත ගමන කියන්නේ ලේසි මහසු ගමනක් නෙමෙයි. ඒ ඒ වෙලාවට හරියන තීරණ ගන්න වෙනවා.

බීඊ...................ප්.............බීඊ.............ප්

ගේට්ටුව දෙසින් ඇසුණු වාහනයක නළා ශබ්ධය ඇගේ සිතුවිලි දැහැන බිද දැමීය. ඈ හනික හිඳ ගෙන සිටි තැනින් නැඟිට ගේට්ටුව දෙසට දිව ගියේ තම පෙම්බර සැමියා පිළිගන්නටයි.




[පින්තූරෙ - http://funny-pictures-blog.com/wp-content/uploads/funny-pictures/Funny-Pictures---Men-vs-Women-Quotes.jpg ]

Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි !!!

අනික් උන්ව එළියේ දාලා
අපි සේරම ඇතුලෙ දාලා
පිස්සන් කොටුව නම තැබුවේ
මොන පිස්සද ඕයි?
පිස්සෝ සැවොම එළියේ ඉඳන්
පිස්සු කෙලියි ඕයි!

සයිමන්ගේ බෝට්ටුවේ
ගුජු ගුජු ගා දුමත් දාං
ඇඳක් වටේ පැද්දි පැද්දි
බෝට්ටුවේ රවුං යන්න
පුළුවන් වෙන තවත් තැනක්
ලොවෙත් නෑනේ ඕයි!

කෝසලයගේ කෝච්චියේ
කුචු කුචු ගා මහ සද්දෙට
සුදුම සුදුම  නර්ස් නෝනා
වටේ වටේ පැද්දි පැද්දි
කෝච්චියේ රවුං යන්න
පුළුවන් වෙන තැනක් ආයේ
ලොවෙත් කොහෙද ඕයි?

ඕන දෙයක් ඕන විටෙක
නෑයි බෑයි කියන්නෙ නැති
ඕනයියා ඔතාගෙනම
හනික ඇවිල්ලා,
මේං බොලේ හඳට යන්න කතා කරනවා

අප්පේ දුර වැඩියි වගේ
හඳට මෙහා වංගුවවේදී
මූන් ලයිට් හෝටලේ ළඟ
මම බහිනවා ඕයි!
මාත් එක්ක පාවෙන්නට
උඹ එනවද ඕයි?

අපි දෙන්නා එකතු වෙලා
හේලිගේ වල්ගා තරුවේ
වල්ගහෙට ගිණි අවුලාලා
හිනා වෙවී දුරට වෙලා
බලා හිඳිමු ඕයි!


පුංචි පුංචි තරුකැට ගෙන
දිව උස්සා යටින් තබා
තරු සේරම නිවා දමා
කිසිම දෙයක් නොවුනා වගේ
මාරු වෙමුද ඕයි?

මහ දවාලේ ගිණි අව්වේ
සෙනසුරාට කවර් වෙලා
අල්ලේ සීනි දිවෙන් අරං
හෙමි හෙමීට ප්ලේන්ටියක්
සූස් සූස් මහ සද්දෙට
උරා බොමුකො ඕයි!

මහ විශාල උල්කාශ්ම
සුළඟිල්ලෙන් තල්ලු කරලා
වෙනස් නොවෙන ප්‍රවේගෙයෙන්
අනන්තයට යන දිහාව
ඇස් හතරම පුංචි කරං
බලං ඉඳිමු ඕයි!

මටනං දැන් පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!

**********

මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝසෝඩා ගුණේ | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජුපිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

Monday, February 4, 2013

මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද?


මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නටම නිදහස නැතුව යනවා.

මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන තැන. එතන සුමිත් අයියා දැන් අපිව අඳුරනවා. සුමිත් අයියගෙන් පුටුවක් ඉල්ලගෙන මම මුහුද පේන හරියෙන් වාඩි වෙලා වැඩේ පටං ගත්තා. මගේ නිදහස මගේ අත්ල මත රෝල් වෙන්න පටං ගත්තා.

මගේ ඉස්සරහා මේසේ ඉන්න සෙට් එක ශීෂා ගහන්න ලෑස්ති වෙනවා. මේ මගේ නිදහස වගේ ඒ උන්ගේ නිදහස වෙන්න ඇති. ඒත් උන් හූකඃ එකට වතුර දාලා වැඩියි. මම මගේ නිදහස විඳින ගමන්ම උන්ට උන්ගේ නිදිහස විඳ ගන්න සපෝට් එකක් දෙන එක හොඳ වැඩක්.

"මචං ඕකේ වතුර වැඩියි" මම උන්ට කිව්වා.
උන් උන්ගෙම සෙට් එකේ එක එකාට විහිළුවට බැණ බැණ වතුර අඩු කළා. උන්ට ලැජ්ජා හිතුනද දන්නෑ. මම උන්ගේ නිදහසට බාධා කළාද කියලත් හිතුණා.

මගේ නිදහස ලෑස්තියි. මම නිදහස පත්තු කළා. අරුං ශීෂා ගහන්නත් පටන් අරං. සමහර උන් ජීවිතේ පළවෙනි වතාවටද කොහෙද ශීෂා ගහලා තියෙන්නේ. මටත් මතකයි මාත් පළවෙනියටම ශීෂා ගහපු දවස. මත් වෙන්නෙත් නැති, කිසිම තේරුමක් නැති දුම් ගොඩක් මගේ ඇස් ඉස්සරහා නිදහසේ රටා මැව්වා. ශීෂා දුමයි මගේ නිදහසේ දුමයි අතරේ කිසිම වෙනසක් නෑ. ඒ දෙකම එකම තරමට නිදහස්. සීමාවක් නැතුව ඔහේ පාවෙන්න දුමට පුළුවන්. ඔහේ පාවෙන දුම් අතරින් මම දැක්කා විශේෂ දෙයක්. ඒ සෙට් එකේ එකෙක් බෙල්ලේ ධර්ම චක්‍රයක්  දාගෙන. අතේ වොඩ්කා වීදුරුවක්.

ඒත් එක්කම මට මතක් උනා එන ගමන් බස් එකේ පිටි පස්සේ සීට් එකේ හිටපු කොල්ලෝ දෙන්නා කතා උනු මාතෘකාව. හලාල්!. හිනහත් යනවා මේවා මතක් වෙනකොට. මේ ලෝකේ මිනිස්සු විසින් දෙවියන්ව මැව්වා, මිනිස්සු විසින්ම ආගම් ඇති කළා. ආයෙමෙත් මිනිසුන් විසින් මවපු දෙයියන්ට කියලා මිනිස්සුන්වම මැවෙව්වා. ඒකම මාරම විකාර වැඩක්. ආගම් හදාගත්තු මිනිස්සු ඒ ආගම කියන කූඩුව ඇතුලේ හිර වෙච්චි රිලා මොටෙක් වගේ වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ රිලව් තමන්ගේ කූඩුවට වෙලා පාඩුවේ නොඉඳ අනික් කූඩු වල ඉන්න රිලවුන්ට විරිත්තන්නත් පටන් අරං. අනික් කූඩු වල ඉන්න උන්ට කූඩු වෙලාවත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. ආගම කියන කූඩුවේම මිනිසාගේ හිතීමේ නිදහසත් කූඩු වෙලා නේද?.

සුද්දා අපිව හිර කරගෙන හිටියා. පස්සේ ඌටම එපා වෙලා අපිව නිදහස් කළා. ඌ, අපිව නිදහස් කරපු වෙලේ ඉඳන් අපි හැසිරිලා තියෙන්නේ පිස්සු බල්ලෙක්ව කූඩුවෙන් නිදහස් කළා වගේ නේද කියලා අතීත, වර්තමාන සිද්ධි දිහා බලනකොට හිතෙනවා. අතීතයේ ඉදන් තාමත් දේශපාලකයෝ තමන්ට අහුවෙන අහුවෙන දේ විනාස කරගෙන කරගෙන යන්නේ පුදුම නිදහසකින්. ඔවුන්ගේ නිදහසට බාධා කරන්න සමතෙක් අපේ රටේ නෑ. මිනිස්සු හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව. එහෙම ඉන්න ගමනුත් මේ මිනිස්සු තමන් හිර වෙලා ඉන්න කූඩුවේ තියෙන පුංචිම නිදහසත් නැති කරගන්න හදනවා ආගමයි, ජාතියයි තව මොන මොනවදෝ ටිකකුයි පටලවගෙන. ඒක හරිම විකාරයක්. ඇත්තටම මේ වගේ මිනිස්සුන්ව සුද්දට එපා උනු එක ආයේ පුදුමයකුත් නෙමෙයි. තමන්ගේ නිදහස තමන් විසින්ම නැති කරගන්න උත්සහ කරන මිනිස්සුම ආයේ තමන්ගේ නිදහනුන්ගෙන් ඉල්ලලා කෑ ගහනවා. ඒකත් පුදුම හිතෙන විකාර වැඩක්.

මම දල්වපු නිදහස නිවිලා ගියා. නිදහස දැල්වෙනකම්ම මගේ සිතුවිලිත් නිදහසේ පාවෙලා ගියා. මගේ හිතට පුදුම නිදහසක් දැනෙනවා. දැන් මට දැනෙනවා මමත් නිදහස් වේගෙන යනවා............ ගුරුත්වයෙන්!








[පින්තූරෙ - http://24.media.tumblr.com/tumblr_l3utughdRr1qahlbyo1_500.png ]

Tuesday, January 1, 2013

100, 2 සහ ඌ...


ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් ඇදගන්න සුළු ගතිය ඒකට හේතු වෙන්න ඇති. එදා ඉඳං ඌ ඒ බ්ලොග් එකේ(ඔය බ්ලොග් එක ළඟක් වෙනකම් ඔතන තිබ්බා) වැටෙන ලිපි පස්සේ පන්නන එකෙක් උනා. අන්තර්ජාලේ අකුරු කුරුටු ගාන එකත් මාර ආතල් වැඩක් කියලා හිතුනා. ටික කාලෙකින් ඌත් බ්ලොග් එකක් අටවා ගත්තා ඒ හරියටම 2009 නොවැම්බර් මාසේ. එකම එක පෝස්ට් එකකුත් දැම්මා. ඒකට ටොපියේ අයිතිකාරයත් කමෙන්ට් එකක් දැම්මා. ඒත් ඒ එක පෝස්‍ට් එකෙන්ම උගේ බ්ලොග් ලිවිල්ල නතර උනා. ඌට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුණු හන්දා. ඒත් ඌ කියවිල්ල අතෑරියේ නෑ. ඌ තව තව බ්ලොග් හොය හොයා කියවන්න ගත්තා.

කාලය ගෙවිලා ගියා. ඌ ආදර දැලේ පැටලුනා. ඒ හින්දම ඌ ආයෙත් බ්ලොග් එකක් පටං ගත්තා. අලුත් බ්ලොග් එකේ ඌ උගේ පළවෙනි පෝස්ට් එක දානවා 2010 සැප්තැම්බරේ. එදා ඉදං ඒ ආදර දැලෙන් ගැලවෙනකම්ම ඌ කවි ලිව්වා. කතා ලිව්වා. අන්න ඒ නිසයි ඌ තාමත් කියන්නේ, ආදරේ කියන්නේ ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු දෙයක් කියලා. ආදර දැලෙන් ගැලවුණු ඌට ඉතිරි උනේ වැඩකට නැති කවි කතා ටිකක් එක්ක බ්ලොග් එකක්. ඌ පරණ පෝස්ට් ගලවලා දාන්නත් කල්පනා කළා. අතීතයේ අසුන්දර සිද්ධිවල මතකයන් සුන්දරයි. ඌ පරණ පෝස්ට් නොගලවන්න තීරණය කළා.

ඌ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි සුහද හමුවේ ඉඳන් සෑම සුහද හමුවකටම වගේ සහභාගී උනා. ඒ දේවල් නිසාම මේ අඟල් කීපයක පුංචි කොටුව ඇතුලේ හිර වෙච්චි අදහස් වලින් මිතුරුන් වෙලා හිටි උදවියව හැබෑ ලෝකේ මිතුරන් බවට පත් උනා. තමන් දරණ අදහස් වලට තරමක් හෝ සමාන අදහස් දරණ මිතුරු මිතුරියන් ඌට හමුවුණා, තමන්ගේ අදහස් වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දරණ මිතුරු මිතුරියනුත් හමුවුණා. මේ බ්ලොග් ලිවිල්ලට ඌ තාමත් ආස ඒ විවිධත්වය නිසා වෙන්න ඇති. ඔය අස්සේ "ඔහෙම ලියන්න එපා කැතයි. ඕකම මෙහෙම ලිව්වැකි. එතකොට ලස්සනයි" වගේ ගොං ආතල් දෙන්න ආපු ඈයොත් හිටියා. පොඩි වෙනසකටත් එක්ක උනුත් ඉන්න ඕනේ. නැත්තම් එකම විදිහට හැමදාම ගියාමත් කම්මැලි හිතෙන්න පුළුවං. ඌ හිතා ගත්තා.

එදා ඌ බ්ලොග් එක පටං ගනිද්දී ලියුපු දේවල් සහ අද ඌ ලියන දේවල් ගත්තාම පැහැදිලි වෙනසක් ඌටම දැනෙනවා. වෙලාවට ඉස්සර ලියපු ලිපි කියෙව්වම ඌටම ලැජ්ජා හිතෙනවා. මේ ඌ ලියපුවාමද කියලා හිතෙනවා. ඒ අතරේ උගේ ඉස්සර ලිපි කියවලා කමෙන්ට් කරපු සමහර අය, අද පැත්ත පලාතේ නොඑන බවත් ඌ දන්නවා. ඒ එදා සහ අද වෙලා තියෙන වෙනස නිසා වෙන්න ඇති. කියෙව්වාම කොච්ච්ර ලැජ්ජා හිතුනත් පරණ ලිපි නොගලවා ඉන්න ඌට ලොකු හේතුවක් පෙනුනා. එදා සහ අද ගත්තාම උගේ අදහස් කොච්චර නම් පරිණාමය වෙලාද කියලා ඌට පෙනුනේ ඌ ලියපු බ්ලොග් ලිපි වලින්. ඒ දිහා බලන කෙනෙක්ට ඒ වෙනස හොඳයි කියන්නත් පුළුවං නරකයි කියන්නත් පුළුවං. කවුරු මොනවා කිව්වත් උගේ දැන් විදිට ඌට හොඳයි කියලා හිතුනා.

අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අකුරු කෙටුව ඌ දැන් අකුරු කරමින් ඉන්නේ උගේ සියවෙනි පෝස්ට් එකයි. සියය කියන්නේ මහාලොකු ඉලක්කමක් නෙමෙයි අවුරුදු දෙකක් කියන්නේ මහාලොකු කාලයකුත් නෙමෙයි. නමුත් අවුරුදු දෙකක් සහ ලිපි සියයක් කියන්නේ ඌට වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක්! ඒ ඌට සාපේක්ෂව. ඌ ලිවීමට (හෝ මැලවීමට) කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් දැන් ඌ කතන්දර එක බ්ලොග් එකකත්, කවි(ද මන්දා) වෙන බ්ලොග් එකකත් ලියන අතරෙම ඌ කියවන පොත්වල හිත ඇදිලා ගිය කොටසක් එහෙමත් නැත්තම් පොත ගැන අදහසක් වෙන බ්ලොග් එකකත් ලියනවා. ඒ එක්කම ඌ සියයටත් කතා සෑහෙන ප්‍රමාණයක් ලියලා.

විශේෂම දේ නම්, ඌ ලියන ඉලව් කියවන පිරිසක් සහ ඒ කියවන පිරිස අතරින් අදහසක් දාලා යන කීප දෙනෙක් සිටීමයි. ඒ දෙපිරිස නොහිටින්න ඌ මේ කරුමාන්තේ මෙච්චර කල් කරගෙන නොයන විත්තිය ඌ දන්නවා. ඒකයි ඌ ඒ කට්ටියට කියන්නේ "උඹලට ස්තූතියි!" කියලා. බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු. ඒත් දැන්නම් එහෙම කියන්න තරම් මහා සතුටක් ඌට දැනෙන්නේ නෑ. හැබැයි උගේ නිර්මාණයක් ගැන විවේචනයක් දකින්න ඌ කැමතියි. 

මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා.  ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"


ප.ලි :
හැමෝටම සුභ නව වසරක් වේවා!!!!!




Thursday, December 27, 2012

හීන දුරයි ඒරොප්පෙට...


"අපි දෙන්නා බැන්දයින් පස්සේ දරු පැටියෙකුත් හදාගෙන ඔය තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙමු කුමුදුනී"

විවාහ උත්සවයට මාස තුනක් තිබියදී එක හැන්දෑවක වැව් බැම්මට වී කුමුදුනී එක්ක අනාගතේ ගැන මැව්ව හීන අජිත්ට අද ඊයේ වගේ මතකය. ඉතා සරලව පෙනුනු එම හීන යතාර්ථයක් කර ගැන්ම මෙතරම් වේදනාකාරී හැඟීම් ජනිත කරවාවි යැයි එදා ඔහුට නිකමටවත් නොසිතුනි. ගමේ ‍තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් චාම් විවාහ උත්සවයකින් කුමුදුනීව නිවසට කැන්දාගෙන විත් ලබන මසට දෙවසරක් සපිරෙයි.

"අවුරුදු දෙකක්... අද ඊයේ වගේ..... මේ අවුරුදු දෙකත් ඒ වගේම ගෙවිලා යාවි"  තට්ටු තුනේ ඇඳේ ඉහලටම වී අජිත් තමාවම රවටා ගැන්මට වෙහෙසෙයි.

අජිත්ගේ විවාහයෙන් පසු දස මසක පමණ කාලය අජිත්ගේත් කුමුදුනීගේත් ජීවිත වල ප්‍රීතිමත්ම කාලය බවට පත්විය. ඉඳ හිට ඇති වූ බහින් බස් වීම් පවා ඔවුන් අතර බැඳීම ශක්තිමත් කිරීම් පමණක්ම විය. ඒ ඔවුනොවුන් දුටු හීන හැබෑවෙමින් යනවා යැයි ඔවුන්ට හැඟුනු කාලයයි. පවුලට එක්වීමට යන නව සාමාජිකයා පිළිබඳ ආරංචිය ඔවුන්ගේ සතුට තවත් තීව්‍ර කරවීය.

"මම නම් ආස කෙල්ලෙක්ට"

"මටනම් කවුරු උනත් එකයි. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපි දෙන්නගෙනේ"  
අජිත්ගේ උරහිස මත හිස තබා එදා කුමුදුනී ඒ කී වදන් යලිත් කන අසලින්ම කොඳුරන්නාක් මෙන් ඇසුනු බැවින් අජිත් ඇඳ මත නිදා සිටි ඉරියව්ව වෙනස් කර භාවනාවකට මෙන් ඇඳ මත වාඩි විය.

තමාත් කුමුදුනීත් දුටු හීන කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් යන්නට පටගත් බවක් අජිත්ට දැනෙන්නට පටන් ගත්තේ දරුවා ලැබෙන්නට ලංවත්මය. කුමුදුනී ගාමන්ට් රස්සාවට සමුදී තිබිණි. වෛද්‍යවරුන්ගේ නියමය පරිදි කුමුදුනීට පෝෂදායි ආහාර පාන ලබා දිය යුතු විය. ඇයව ක්ලීනික් එක්කන් යන්නට සිදුවිය. කෙමෙන් කෙමෙන් වියහියදම් වැඩි වන්නට විය. අජිත් රියදුරෙකු වශයෙන් උපයන රුපියල් දහ අට දහසක මුදල ඔවුන් දුටු ලස්සන හීනය වෙත පාර කපා දෙන්නට මද බව කෙමෙක් කෙමෙක් අජිත්ට වැටහෙමින් තිබිණි.

අජිත් බලාපොරොත්තු වූ පරිදිම කුමුදුනීට දුවක් ලැබුණි.

"ඔයා වගේම ලස්සන දුවෙක්"

"ඇස් දෙකනම් තාත්තගේ"

පුංචි දියණියගේ සිනාවන් හවසට වැඩ නිමවී ගෙදර එන අජිත්ගේ ගතේ විඩා නිවා දමන්නට සමත් වුවද කෙමෙන් කෙමෙන් හිස ඔසවන අඟ හිඟ කම් නිසා ඇතිවන චිත්ත පීඩා මකා දමන්නට සමත් නොවිනි. දියණියගේ කිරිපිටි, ඇඳුම් පැළදුම්, බේත් හේත් ආදියට අජිත්ගේ වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනාගතය ගැන අජිත්ට බියක් දැනෙන්නට පටන්ගෙන තිබිණි.

"කුමූ... මං මේ කල්පනා කළේ අපේ රට ඉන්න කොළඹ මාමාට කියලා රට රස්සාවක්වත් හොයාගන්න කියලා. මෙහෙම කරන්න අමාරුයි. අපිටනම් ඔය මොනා හරි. ඒත් අපේ දුව ගැන බලන්න එපායැ."
දියණිය ඉපදී මසක් යන්නට මත්තෙන් තමන් ගත් තීරණ ගැන කුමුදුනීට පළමුවරට අජිත් පැවසුවේ එසේය.

"අනේ ඔයත් නැතුව මේ කෙල්ලෙක් එක්ක මම තනියම කොහොම කරන්නද?"

"මේ සොච්චං පඩියට මම මෙහේ හිටියොත් තව ඉස්සරහට රටටම ණය වෙන එක විතරයි කුමුදු. අනික බලන්න මේ ළමයා ලොකු වෙන කොට ඉස්කෝලෙකට දාන්න, පොත් පත් අරන් දෙන්න කෝ ඕවට සල්ලි? අනික ඔයාට උදව්වට අපේ අම්මලත් ඉන්නවනේ"

එදා සිට රට යන ගමන ගැන කුමුදු, අජිත් සහ අජිත්ගේ පවුලේ අය අතර ඇතිවුණු සාකච්ඡා වාර ගණන මෙපමණකැයි කිව නොහැකි තරම්ය. සාකච්ඡා අතරතුරම මැදපෙරදිග සිටින මාමාට ඇමතුම් ගණනාවක් දී රට රස්සාවක් සොයා ගැන්මට අජිත්ට හැකි විය. ඒ රස්සාව ලැබී පළමු මාස හතර ඇතුලට මාමාට රුපියල් අසූ දාහක මුදලක් ලබා දීමේ පොරොන්දුව මතයි.

"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"

රට රස්සාව පිළිබඳ සහ අනාගතය බලාපොරොත්තු රාශියක් හිතේ කැටි කොට ගෙන සිටි අජිත් ගමනට අවශ්‍ය ගුවන් ටිකට් පත සහ තවත් බඩු බාහිරාදිය මිලට ගත්තේ තම මිත්‍රයන් කීප දෙනෙකුගෙන් මුදල් ණයට ගැනීමෙනි.

රට යන දිනෙය කෙමෙන් කෙමෙන් ලං වත්ම අජිත්ගේ හිතේ ඔහුටත් තේරුම් ගත නොහැකි අන්දමේ චකිතයක් සහ ශෝකයක් මුසු හැඟීමක් වැඩෙන්න විය. එම හැඟීම උපරිමයට ලඟා වූයේ ගුවන් තොටුපලේදී කුමුදුනීගෙන්, තම දියණියගෙන් සහ පවුලේ උදවියගෙන් සමු ගන්නා මොහොතේදීය. කුමුදුනීගේ දෑසට ඉනූ කඳුළු තව දුරටත් රඳවා තබා ගන්නට නොහැකි වී තිබිණි. කුමුදුනීගේ නලලත සිප දියණියගේ නලියන දෑස් දෙස බලා ඇයවද සිපගත් අජිත් වචනයකුදු කතා කරගන්නට නොහැකිව ගොලු විය. රට යාම නවතා ගෙදර යන්නටද සිත් විය.

"මම යන්නම්"
ඔහුට කියාගත හැකි වූයේ එපමණකි. යළිත් පසු නොබලාම ගුවන් තොටුපලින් ඇතුලට ගිය ඔහු ඉකිගසනා හඩ ඇසී ඔහු සිටි පෝලිමේ ඉදිරියෙන් උන් තරුණයා ඔහු දෙස හැරී බැලීය.

"මල්ලි මේ කටාර් යන ප්ලේන් එකට නේද?" ගමන් මළු ගුවන් යානයට දැමීමට බාර ගන්නා ස්‍ථානයේ ඔහු දෙස බැලූ තරුණයාගෙන් අජිත් විමසුවේ කඳුලු පිසින ගමන්මය.

"ඔව් අයියේ. අයියා මේ පළවෙනි පාරටද යන්නේ"

"ඔව්. දුවට තාම මාස හතරයි මල්ලි" අජිත්ට යලික් ඉකි ගැසෙන්නට විය.

"අයියා කොහෙද ගම?"

"පොළොන්නරුවේ. මගේ නෑ කෙනෙක් ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කළා"

අජිත්ට මේ සිදුවීම් සිහිනයක් මෙන් මතයකය. අජිත්ට මුණ ගැසුනු මල්ලි යලි ඔහු ගුවන් යානයට නගින තෙක්ම ඔහුත් සමග දොඩමලු වීම නිසා අජිත්ට කුමුදුනීව සහ දරුවාව මතක් කරමින් දුක් වන්නට වැඩි අවස්ථාවක් නොවීය. මල්ලී ඔහු සමග දොඩමලු වූයේ උවමනාවෙන්ම යැයි දැන් ඔහුට සිතෙන්නට විය. මල්ලිගේ දුරකතන අංකය කටාර් ගුවන් තොටුපලේදී ඉල්ලා ගත්තත් පසුගිය දිනෙක මතක් වී සෙවූවද එය ඔහුට හමුවූයේ නැත. ඔහුට ඒ පිළිබඳ කණගාටුවක් ඇති විනි. ගුවන්යානයට ඇතුල් වීමට රැදී සිටින ටික වේලාවේදී මල්ලී අජිත්ට තමාගේ දුරකතනය ලබා දී ගෙදර අයට ඇමතුමක්ද ලබා ගන්නට දුන් හැටි ඔහුට මතකය. එවේලේ කුමුදුනීගේ ජංගම දුරකතනයට ඇමතුම ලබා දුන්නද කුමුදුනී ඉකි ගසන හඩ නිසා යළි අජිත්ට හැඩුම් ආ බැවින් ඔහු කතාව ඉක්මනින් අවසන් කළේය.

පැය හතර හමාරක් වූ ගුවන් ගමනේදී ඔහුට කීප වරක්ම නිවස සිහි වී හැඩුම් ආවේය. මල්ලි ඔහුට ටිකක් ඈතින් වාඩි වී සිටිනවා ඔහුට පෙනුනි. ඔහු ළඟ සිටියානම් හොඳ යැයි අජිත්ට සිතිණි. ගුවන් යානයෙන් එළියට බසිද්දී ඔහුට නැවත් මල්ලිව මුණ ගැසෙන්නට හැකි විය. එවෙලේ නොදන්නා රටක සිටින තමන් දන්නා අදුනන එකම පුද්ගලයා ඒ මල්ලි යැයි ඔහුට සිතෙන්නට විය. ගුවන් යානයෙන් එළියට බසිනවාත් සමඟම හමා ආ සුළඟින් තම ගත පිච්චී යන්නාක් මෙන් අජිත්ට දැනුනි. එවන් රත් වූ සුළඟක් ඔහු මින් පෙර විඳ තිබුණේ නැත. ඔහුට ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගත්තේ එතැනදීය. ඒ ආගන්තුක බව අජිත්ට තාමත් දැනෙයි. දැන් වුවද මග තොට ඇවිදින විට නොදන්නා භාෂාවන් දොඩන මිනිස්සුන් මැද අජිත්ට ආගන්තුක බවක් දැනෙයි.

කටාර් ගුවන්තොටුපලේදී මල්ලිව රැගෙන යාමට පැමිණි යාළුවෙක්ගේ දුරකතනයෙන් අජිත් මාමාට ඇමතුමක් ලබාදුන් අතර  ටික වේලාවකින් මාමා අජිත් සිටි තැනට පැමිණියේය. ලංකාවේ බොහෝ අත් දැකීම් තිබූ අජිත්ට එරට වාහන ධාවනයට බලපත්‍ර ලබා ගැනීම එතරම්ම අපහසු නොවිනි.

අජිත් ඉදහිට නිවසට දුරකතනයෙන් අමතයි. සති කීපයකට සැරයක් ලියුමක්ද යවයි. දියණියගේ සිනාවන් අජිත්ට නිතරම මැවී පෙනෙයි. රට ආ දිනේ පටන් තවමත් අජිත්ට හරියාකාරව නින්ද නොයයි. නිදි යහනේදී කුමුදුනීව දරුවාව සිහිවෙයි. තවම එක සතයකුදු ඔවුන්ට යවන්න අජිත්ට.නොහැකි විය. මාමාගේ කතාව ඔහුට යලි යලිත් ඇසෙයි.

"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"

අරාබිකරයට පැමිණ මාස දෙකක් පමණ ගෙවී ඇතත් අජිත්ට රස්සාව ලැබී තවම එක් මාසයක් පමණි. ඒ මාසයේ වැටුප රට ඒමෙන් පසුව මාමාගෙන් ඉල්ලාගත් ණය මුදල් පියවීමට, කාමර කුලී සහ වෙනත් අවශ්‍යයතාවන්ට වියදම් වී ඇත. රට ඒමට සූදානම් වීමට සහ ගුවන් ටිකට්පත් වලට ගමේ මිතුරන්ගෙන් ගත් ණයද රුපියල් ලක්ෂයක් පමණ තව ගෙවීමටද ඉතුරු බව මතක් වනවිට අජිත්ගේ හිසට මහා බරක් දැනෙයි.

අජිත් ඇඳේ ඒ මේ අත පෙරලෙයි. නින්ද අහලකටවත් නොඑයි. හිත ඒ මේ අත දුවයි. කුමුදුනී සහ දරුවා සිහිවී දෑසේ කඳුලු පිරෙයි.

"අජියා මොන හු***ද බං කරන්නේ ඔය ඇඳේ පෙරලි පෙරලි. වද නොදී නිදා ගනිංකෝ"තට්ටු තුනේ ඇඳේ දෙවෙනි තට්ටුවෙ සිටින තම සගයා ගෝරණාඩු කරයි.

"කමක් නෑ කුමුදුනී තව අවුරුදු දෙකයිනේ. ඊට පස්සේ හැමදේම හරියයි"
ඊයේ හවස ඇමතුමක් දුන් වෙලේ කුමුදුනීට කී වදන් අජිත්ට යලිත් සිහි විය.

"ඇත්තටම හැම දේම හරියාවිද?" අජිත්ට දැන් සැකයක් ඇතිවෙයි.

෴෴



[පින්තූරෙ - http://fabquote.co/wp-content/uploads/My-dreams.jpg ]
Related Posts Plugin for WordPress, Blogger...