Thursday, May 16, 2013

හිඟන්නාගේ අවුරුදු තෑග්ග


හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස් පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස් විවර කරන්නට විය. නැවත නැවතත් ගුහාවෙන් හිස ඔබා යලි ගුහාවටම වන්නට විය. එක් මොහොතක හිඟන්නාගේ ඇස් පියන් එකිනෙක තද විණි. යලි මොහොතකින් ඇස් හැරි ඔහු හිස් අහස දෙස බැලුවේ ය. අලුත් අවුරුදු දිනය නොවන්නට, රුපියල් දස දහසක් අතැති හිඟන්නාට හෙට දිනය සුභ දිනයක් වන්නට තිබුණි. හිඟන්නා තමා පසෙක සිටි බැල්ලගේ හිස අත ගෑවේ ය.
* * * * * * * * * * * * * * * * * *

"ඉක්මනට නඟින්න"
එක්වරම හිඟන්නා අසල නැවතූ ත්‍රීරෝද රථය තුල සිටි තරුණිය හිඟන්නාට කතා කළාය. ත්‍රීරෝද රථයේ රියදුරු මහත් විමතියෙන් හිඟන්නා දෙසත් තරුණිය දෙසත් දෙතුන් වරක් බැලීය. ඇය, විමලා සමඟ සිටි තරුණියන් අතරින් තරුණියක බව හිඟන්නා හැඳින ගත්තේ ය.

"විමලා ද කිව්වේ?"
හිඟන්නා ඇසුවේ කම්මැලි ස්වරයකිනි.

"ඔව්.. එනවා ඉන්මනට. වැඩි වෙලා කියවන්න බෑ මිනිස්සුන්ට පේනවා"
තරුණිය නොයිවසිල්ලෙන් වටපිට බලන්නට විය. හිඟන්නා කිසිත් නොදොඩා ත්‍රීරෝද රථයට ගොඩ විය. හිඟන්නා අසල වැතිර සිටි බැල්ල හිස ඔසවා හිඟන්නා දෙස බැලුවා ය.

ත්‍රීරෝද රථය අතුරු පාරවල් දිගේ ඇදී යන්නට විය. හිඟන්නා කිසිත් නොදොඩුවේ ය. තරුණිය ද කිසිත් නොදෙඩුවා ය. ත්‍රීරෝද රථයේ රියදුරු වරෙන් වර පැති කණ්නාඩියෙහ් හිඟන්නා දෙස බලනු හිඟන්නා දුටුවේ ය. ත්‍රීරෝද රථය කුඩා ප්‍රමාණයේ හෝටලයක් තුලට හැරවීය. "සුරම්‍ය හෝටලය" එය හිඟන්නා නොදන්නා හෝටලයක් නොවීය.

* * * * * * * * * * * * * * * * * *

"මේ හෝටලේට තමයි ඒ මහත්තයා මාව එක්කගෙන එන්නේ." විමලා තරමක නිවසක් වෙත අත දික්කළාය.

"සු...ර...ම හෝ...ටලය" හිඟන්නා ගේට්ටුව උඩින් රතුපාට අකුරු එකිනෙක හෙමින් ගලපන්නට විය.

"සුරම්‍ය හෝටලය!" විමලා නැවත නම නිවැරදිව කියවීය.

"මං දන්නෑ බං අර ඇදවෙලා ගිය අන්තිම අකුර"

"ඒ මහත්තයා කිව්වා මට එයා එක්ක එන්නැයි කියලා."

"උඹ මොකද කිව්වේ?"

"මං මුකුත් කිව්වේ නෑ"

"ඉතිං උඹ කැමතිද ඌත් එක්ක යන්න?"

"මං දන්නෑ"

සංවාදයෙන් දින කිහිපයකට පසුව විමලා අතුරුදන් විය. හිඟන්නා හැඩුවේ නැත. එක්කෝ හිඟන්නා හඩන්නට දැන සිටියේ නැත. හිඟන්නා නිදි වර්ජිත රාත්‍රී ගණනාවක් පසු කළේය.


* * * * * * * * * * * * * * * * * *

"සල්ලි මැඩම් දෙයි" තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුට කීවා ය.

තරුණියත් හිඟන්නාත් හෝටලයට ඇතුළු විය. ඇතුල්වන විටම ඇති සැප පුටුවක තරුණන් දෙදෙනෙක් දුම් වැටියක් උරමින් සිටියේ ය. ඔවුන් හිඟන්නා දෙස නොරිස්සුම් බැලුම් හෙලන්නට විය.

"මේ මොකෙක්ද ඕයි මේ? තමුසෙටත් දැන් ඉන්නේ මාර කස්ටමර්ස්ලනේ" එක් තරුණයෙක්, තරුණියට අවඥාවෙන් පැවසීය.

"මැඩම්ගේ ඕඩරයක් බං. මොන කාමරේද හිස්?" තරුණිය ඒ තරුණයන්ව හොඳින්ම හඳුනතැයි හිඟන්නාට පැහැදිලි විය.

"දකුණු පැත්තේ දෙවෙනි එක. ඔය මේස උඩ ඇති යතුර"

හිඟන්නාත් තරුණියත් තරප්පු පෙළ නඟින්නට විය. ඉහල මහලේ වූයේ පටු කොරිඩෝවකි. දෙපසම කාමර වල දොරවල් පෙනුනි. තරුණිය එක කාමරයක දොර විවෘත කළාය. හිඟන්නාත් තරුණියත් කාමරයේ තනි විය. තරුණිය දොරේ අඟුල කරකැවීය.

හිඟන්නාට කිසිඳු හැඟීමක් ඇති වූයේ නැත. ඔහු ට භීතියක්, කුතුහලයක්, ආශාවක් හෝ වෙනයම් කිසිඳු හැඟීමක් හෝ දැනුනේ නැත. හිඟන්නාගේ මනසේ ඇත්තේ එක් පැණයකි.

"කෝ විමලා?"

"මැඩම් මට බාර දුන්නු වැඩෙයි මම කරන්නේ. ඕන්නැති ප්‍රශ්න වැඩක් නෑ. අතන නාන කාමරේ. මෙන්න තුවාය ගිහින් නාගෙන එනවා. ඔහේ ගාව මහ බලු ගඳයි. නාලා මේ අලුත් ඇඳුම් ඇඳගන්නවා" තරුණිය හිඟන්නා අත අලුත් සරමක් සහ බැනියමක් තැබුවා ය.

හිඟන්නා නාන කාමරයට වැදී දොර බාගෙට වසාගත්තේය. හිසට වැටෙන වතුර පාර සහ මතක පොදිය ඔහුව බිම වාඩි කරවීය.

* * * * * * * * * * * * * * * * * *

පදිකවේදිකාවේ හිඳගෙන, හැඟිම් විරහිත දෙනෙතින්, සුවිසල් නිමි ඇඳුම් සාප්පුව දෙසට නෙත් යොමා සිටින්නේ හිඟන්නා ය. පෝලිමේ හිඳ තෙරපෙමින්. දහඩිය මුගුරු වපුරමින්, පොර කමින්, හොර කමින් සාප්පුව තුලට රිංගා ගත් බොහෝ දෙනෙකු ආපසු සාප්පුවෙන් පිටව යන්නේ ද හිඟන්නාව පසුකරගෙන ය. හෙට අලුත් අවුරුදු දිනයයි. හිඟන්නාගේ අත මිටද යම් තරමකට සරු ය.

විමලා ගිඟන්නාව හැර ගොස් දැනට අවුරුදු හතකට වැඩි විය හැකිය. විමලා හිඟන්නාට වඩා බොහෝ සෙයින් ලාබාල විය යුතුයැයි හිඟන්නාත් විමලාත් දිනක් කතා වූ සැටි හිඟන්නාට මතකය. ඔවුන් දෙදෙනාටම උපන්දින තිබිණි. එහෙත් දෙදෙනාටම එය අමතකව ගොස් තිබිණි. එසේත් නැත්තම් ඔවුන් උපන්දිනය දැන සිටියේම නැත.

වීදියේ ඉපදී වීදියේම හැදී වැඩුනු හිඟන්නා නිදි වැදූ එකම ගැහැණිය විමලා නොවේ. නමුත් හිඟන්නා නැවත නැතවත් නිදි වැදීමට කැමති වූ එකම ගැහැණිය විමලා ය. හිඟන්නා සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූ එකම ගැහැණිය ද විමලා විය හැකිය. සමහරක් විට ඈ ඕනෑම පිරිමියෙක් සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූවා විය හැකිය.

විමලා හිඟන්නා සමඟ සිටි කාලය හිඟන්නාට සරු කාලයක් විය. කොටින්ම එය හිඟන්නා ශක්තිමත්ව සිටියදී නාට්ටාමි කම් කළ කාලයටත් වඩා සරු කාලයකි.

නාට්ටාමි කම් කළ කාලයේ කරුමක්කාර පපුවේ අමාරුව නොසෑදෙන්නට, ගිඟන්නා මේ වන විට හිඟන්නෙක් නොවන්නට ද තිබූ බව ගිඟන්නා දැඩිව විශ්වාස කරයි. එකල ගිඟන්නාට රෑට නිදන්නට කුලියට ගත් ලැයිම් කාරමයක් පවා විය. නිතර කසිප්පු බොන හිඟන්නාට ඉඳ හිට අරක්කු බොන්නට ද එකල හැකි විය. එකල මැදිවිය පාමුල සිටි හිඟන්නාගේ සිහින සියල්ල සුන්නත් දූලි කර දැමූයේ පපුවේ අමාරුවයි. සති කීපයක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ගෙවා දැමූ හිඟන්නාට බර වැඩ නොකරන්නට අණ දුන්නේ දොස්තර මහතෙකි. දොස්තර මහත්තයාට බම්බු ගසා ගන්නට යැයි කියා ගිඟන්නා සති කීපයකට පසු සුපුරුදු රස්සාවට ගියත් ඔහුට පෙර පරිදි වැඩ කළ නොහැකි විය. කිලෝ විස්සක් ඔසවාගෙන අඩි දෙකක් යන විට අධික මහන්සියක් දැනෙන්නට විය. හිඟන්නාට නැවත සතියක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලඟින්නට ද සිදුවිය. හිඟන්නා යලිත් හිඟන්නෙක් විය. එතැන් සිට හිඟන්නා හිඟමනෙන් පමණක්ම දිවි ගැටගසා ගත්තේ ය.

මීට අවුරුදු ගණනකට පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. පාර අයියේ කළු පැහැති සෙලවෙන විශාල පොදියක් අසලට හිඟන්නා සෙමෙන් සෙමෙන් ලං විය. ඒ වැරහැලි වූ ඇඳුම් ලා ගත්, පිස්සියක මෙන් හිස කෙස් අවුල් වූ තරුණියකි. හිඟන්නා ඉක්මනින් තම මල්ලෙන් තැලී පොඩි වූ ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන තරුණියගේ මුහුණ තෙත් කළේ ය. ඇඟේ අත් සහ කලවා සීරී තිබෙනු හිඟන්නා යන්තම් දුටුවේ ය. හිඟන්නා ඈ වත්තම් කරගෙන කඩපිලක් අයිනට පැමිණියේ ය.

"ගෑණියෙක් එක්ක බුදියන්න දන්නෙ නැති වනචර හැත්ත"
තරුණියව වත්තම් කරගෙන යන අතරතුර හිඟන්නා මිමිණුවේ ය.

ඈ යාන්තමට ඇස් හැර හිඟන්නා දෙස බැලුවා ය. ඈ වචනයකුදු නොදෙඩුවා ය. හිඟන්නා ද වචනයකුදු නොදෙඩුවේ ය. ඔවුන් කඩපිල අයිනේම නිදන්නට විය. හිඟන්නා මල්ලෙන් කිළිටි රෙදි කැබැල්ලක් ගෙන තරුණියට පෙරෙව්වේ ය.

අළුයම හිඟන්නා අවදිවන විට ඈ ද අවදි වී සිටියා ය. බිත්තියට හේත්තු වී ඈ බලාගත්වනම බලාගෙන සිටියා ය.

"මොකක්ද උඹේ නම?"

"විමලා!"

"උඹ වරෙන් මාත් එක්ක"

කිසිත් නොකියාම විමලා හිඟන්නා පසුපස පැමිණියා ය. එදා සිට හිඟන්නා සමඟින්ම උන්නා ය. හිඟන්නාගේ සියළුම ඕනෑ එපා කම් ඈ පිරිමැසුවා ය. පෙර දා ඈ පාර අයිනේ සිටියදී හිඟන්නා කළ උදව්වට කළ හැකි හොඳම ප්‍රතිඋපකාරය එය යැයි ඇය සිතුවා ය.

හෙට එළඹෙන අලුත් අවුරුදු දින වාගේම දිනෙක හිඟන්නා ඇයට බෝරිච්චි අත් දැමූ මල් ගවුමක් තෑගි දුන්නේ ය. එදා එසේ නොකළානම් හොඳ යැයි හිඟන්නාට පසුව අනේක වාරය සිතී ඇත. එදා ඇය ඒ ලා නිල් රෙද්දේ සුදු මල් වැටුනු ගවුම හැඳ, තනි කරලට කොණ්ඩය ගොතා හිඟන්නා ඉදිරියට ආ හැටි හිඟන්නාට තාම මතකය. ඇගේ රූ සපුව හිඟන්නාගේ හද මොහොතකට නතර කරවීය. ඇය එතරම් හැඩැති එකියකැයි හිඟන්නාට ඉන් පෙර කිසිම විටෙක සිතී නැත.

මල් ගවුම සියල්ල වෙනස් කරවීය. විමලා මල් ගවුම හැඳගෙන පාරේ ගිය විටෙක කාර් එකක පැමිණි මහත්තයෙක් විමලාව රැගෙන ගොස් තිබුණේ ය. විමලාද කැමැත්තෙන්ම මහත්තයා සමඟ ගොස් නිදි වැද තිබිණි. එදා විමලා නැවත පැමිණ තිබුණේ රුපියල් දහසක්ද අතැතිවය. විමලා විස්තරය හිඟන්නාට නොවලහා පැවසීය. හිඟන්නා හැඟීම් විරහිතව සියල්ල අසාගෙන සිටියේ ය. විමලා රුපියල් දහස හිඟන්නාට දෙන්නට තැන් කළාය.

"උඹ හම්බකරගත්ත එක උඹ තියාගනින්. මට ඕන උනොත් මම උඹෙන් ඉල්ලන්නම්"

කල් යත්ම විමලා තව බොහෝ මහත්වරුන් සමඟ නිදි වැදුනා ය. ඒ අතරින් සමහර මහත්වරුන් විමලාව සොයාගෙන නැවත නැවත පැමිණුනේ ය. එසේම කල් යත්ම හිඟන්නා විමලාගෙන් මුදල් ඉල්ලා ගැනීමටද පුරුදු වූවේය.

අලුත් ඇඳුම් රැගෙන එන තරුණියන් හිඟන්නාට විමලාව සහ ඉහත සිද්ධී දාමය නැවත නැවත සිහිපත් කරයි.

* * * * * * * * * * * * * * * * * *

හිඟන්නා අලුත් ඇඳුම් හැඳගෙන කාමරයට පැමිණියේ ය. තරුණිය යට ඇඳුමින් පමණක් විළි වසාගෙන ඇද මත හිඳගෙන උන්නා ය.

"කෝ විමලා" හිඟන්නා ඇසුවේ නෝක්කාඩු සවරයෙනි.

"මැඩම් කිව්ව නිසා තමයි මං ආවේ. නැතුව තමුසෙත් එක්ක බුදියෙන්න මට පිස්සු කියලා හිතුවද?"

හිඟන්නා කිසිත් නොදොඩා තරුණිය දෙස එක එල්ලේ මොහොතක් බලාගෙන සිට ක්ෂණිකව යක්ෂයෙක් ආවේශ වූ ආතුරයෙකු පරිද්දෙන් තරුණිය වෙත පැන්නේ ය. තරුණිය විළි වසාගෙන සිටි යට ඇඳුම් ඇඳ පුරා සී සී කඩ විසිරුනේ ය. උස් වෙමින්, පහත් වෙමින්, ඉස්සෙමින්, පෙරළෙමින්, විවිධ ඉරියව් වලින්, විවිධ හඩවල් වලින්, බොහෝ කාලයක් හිඟන්නා තුල නිධන්ගතව තිබූ රාග විශ නහර හරහා වේගයෙන් ඇදී එන්නට විය. හිඟන්නාගේ දෑස් පියන් එකිනෙක් තද විය.

"කෝ යකෝ විමලා...! කෝ ඒකි?"

හිඟන්නා ඇඳ මත වැතිරුනා නොව ඇඳ මතට ඇද වැටුනි. තරුණියත් පසෙක ඇඳ මත වැතිර සිටියා ය.

"මං දන්නෑ තමුසේ මැඩම්ගේ කවුද කියලා. මැඩම් මට කිව්ව වැඩේ මම කළා. මං දන්නෙ නෑ එතනින් එහාට දෙයක්" තරුණිය පහත් ස්වරයකින් කීවාය.

හිඟන්නා දහඩියෙන් තෙත් වී සිටියේ ය. ඔහුට නැවත නාගන්නට උවමනා විය. හිඟන්නා කිසිත් නොදොඩා යළිත් නාන කාමරයට ඇතුල් විය. දොර නොවසාම කරාමය හැර ගත්තේ ය.

යළි කාමරයට එන විය තරුණිය මුලින් දුටු අයුරින්ම සැරසී සිටියා ය. ඇය ලස්සන කෙල්ලකැයි හිඟන්නාට සිතුනි. නමුත් ඇගේ අඟ පසඟ විමලාට සමාන නැතැයි ද හිඟන්නාට සිතුනි.

"යමු ත්‍රීවීල් එක ඇවිත්" තරුණිය හිසකෙස් සකසමින් කීවාය.

"එතකොට විමලා එන්නෙ නෑ?" හිඟන්නා බලාපොරොත්තු සුන් වූ හඩකින් ඇසුවේය.

"මැඩම් එහෙම දෙයක් මට කිව්වේ නෑ. මං දැන් කී පාරක් කිව්වද"

හිඟන්නා කරබාගත්තේ ය. පෙර ත්‍රීරෝද රථය ම නැවත පැමිණ තිබුණේ ය. තරුණියත් හිඟන්නාත් කිසිත් නොදොඩාම හිඟන්නා කලින් සිටි තැනටම ත්‍රී රෝද රථයෙන් පැමිණියේ ය.

"ආ මේක මැඩම් දෙන්න කිව්වා" තරුණිය ලියුම් කවරයක් හිඟන්නා අත තබා ක්ෂණිකව ත්‍රීරෝද රථයේ නැඟී නික්ම ගියා ය.

ලියුම් කවරයේ මුදල් හැර වෙන කිසිවක් නොවීය.

* * * * * * * * * * * * * * * * * *

හෙට උත්සව දිනයට ලහි ලහියේ එහෙ මෙහෙ දුවන බොහෝ මිනිස්සු හිඟන්නා ඉදිරියෙන් තබා ඇති කාඩ් බෝඩ් කැබැල්ලට කාසියක් දෙකක් දමා යයි. සෑම උත්සව කාලයකටම හිඟන්නාට මෙය හුරු දෙයකි. හිඟන්නා ඉදිරියේ තබා ඇති කාඩ්බෝඩ් කැබැල්ලට රුපියක් සියයේ නෝට්ටුවක් වැටුනි. හිඟන්නා ස්තූතිය පල කිරීමට හිස ඔසවා මුදල් දැමූ තැනැත්තා දෙස බැලුවේ ය. හිඟන්නා මොහොතකට ගල් ගැසුනි. මුදල් දැමූ නැනැත්තා ද මොහොතකට ගල් ගැසුනි.

"විමලා!!!" හිඟන්නාගෙන් පිට වූ එකම වචනය එය විය.

ගැහැණිය ක්ෂණිකව හැරී කඩිමුඩියෙන් ආපසු යන්නට විය. හිඟන්නාට සිහි එලවා ගැන්මට මොහොතක් ගත විය. ඔහු එක්වරම නැඟී සිට ගැහැණිය පසුපස යන්නට පටන් ගත්තේය. ගැහැණිය තරමක් ඉදිරියෙන් වෑන් රථයක් අසල සිටි තරුණියන් කීප දෙනෙක් ළඟ නැවතුනා ය.

"නංගිලා නැගපල්ලා බං ඉක්මනට. පරක්කු වෙනවා යන්න" ගැහැණිය වෑන් රථයේ ඉදිරිපසට ගොඩ වූ අතර තරුණියන් පසුපසට ගොඩ විය.

හිඟන්නා ලං වන්නට ප්‍රථම වෑන් රථය පිටත් විය. ඔහු තවත් මොහොතක් ඈත යන වෑන්‍ රථය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය.

"ඒකි මහත් වෙලා" හිඟන්නා තමාටම මුමුණා ගත්තේ ය.

* * * * * * * * * * * * * * * * * *

මීට අවුරුදු දෙකකට පමණ පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. හිඟන්නාට මින් පෙරත් දිනෙක එවන් වූ කෙඳිරියක් ඇසුනු බැව් සිහි විය. හිඟන්නාට කෙඳිරිය නොඇසුනු ලෙස ඉවත්ව යන්නට ද සිත් විය. නමුත් ඔහුගේ දෙපා, සිතට එකඟ නොවිනි. එයද පෙර දිනෙක පරිදිම නමුත් කුඩා කළු පෑ පොදියක් මෙන් දිස් විය. එයින් නැඟුනේ මනුෂ්‍ය කෙඳිරිල්ලක් නොවන බැව් හිඟන්නාට ඉක්මනින්ම අවබෝධ විය. එතැන සිටියේ කළු පෑ බලු පැටවෙක්ය. හිඟන්නා තම මල්ලට අත දමා වංගුවේ කඩයෙන් දුන් පාන් කාලෙන් කැබැල්ලක් ඌට දී ආපසු හැරුනේ ය. බලු පැටවා පාන් කැබැල්ල මුව රඳවාගෙනම,  අවසරයකින් තොරවම හිඟන්නා පසු පස එන්නට විය. එදා සිට ඒ බැල්ල හිඟන්නා ළඟ නතර වූ වාය. ඈ හමුවීම හිඟන්නාට සිහිපත් කළේ එකම එක හමුවීමකි. එකම එක නමකි. හිඟන්නා බැල්ලට ඒ නම තැබුවේ ය.

ආදරේ කරන්නට, කෝලම් කරන්නට, හුරතල් කරන්නට, තමාගේ දුක් ගැනවිලි පවසන්නට, විහිළුවක් කර හිනැහෙන්නට, තමන්ට සිටින හොඳම මිතුරිය, එකම මිතුරිය, හිඟන්නා පසෙකින් බිම දිගා වී සිටින්නී ය. දුකේ දී ත් සැපේ දී ත් හිඟන්නා අතැර නොයන්නී, ඉඳ හිට කෝලම් කර හිඟන්නාගේ මුහුණ ලෙවන්නී, හිස අතගාද්දී වල්ගය වනන්නී, විමලා ය.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




[පින්තූරෙ - http://1.bp.blogspot.com/-4FPQr5YRJy8/UTEQqmT3rUI/AAAAAAAAHmQ/MFzhBUl9x5g/s640/beggar+2.jpg]

Thursday, March 21, 2013

ඇගේ කතාව.....


මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් බයෙන් වගේ බලං හිටපු හැටි. "ඔයා මොකද කියන්නේ?" කියලා මගෙන් අහපු හැටි. ඒ හැම දෙයක්ම මට හොඳට මතකයි. මම එවෙලේ කිව්වා තව ටිකක් හිතලා කියන්නම් කියලා. ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ හිත ගියපු කොල්ලෙක් තමන් පස්සෙන් එන ප්‍රීතිය විඳින්න අකමැති කෙල්ලෝ මේ ලෝකේ නැතුව ඇති. ඊට දවස් දෙකකට පස්සේ මම එයාට කැමති උනා. එයා පස්සේ දවසක කිව්වා එදා අත් දෙක සාක්කුවට දාගෙන හිටියේ අත් සීතල වෙලා තිබ්බ නිසා කියලා. ආදරේට කෝඩු කාරයෝ එහෙමයි කියලා මම පස්සේ කාලෙක දැන ගත්තා. 

ඒ කාලේ හරිම සුන්දරයි. මට හරිම පහසුයි. මගේ යාළුවෝ බස් වල හිර වෙලා දාඩිය පෙරාගෙන යනකොට මම හුළං වැදි වැදී ශෝක් එකට ත්‍රීවීල් එකේ පන්ති ඇරිලා ආවා. මම ගිය හැම ගමනක්ම ගියේ ත්‍රී වීල් එකේ. ගෙදරින් මඟ වියදමට දෙන සල්ලි වලින් මම එයාට පොඩි පොඩි තෑගි අරන් දුන්නා. ශොපින් ගියෙත් ත්‍රීවීල් එකේ. ඇත්තටම ගෙදරින් එළියට බහින ඕන වෙලාවක මට එයාගේ ත්‍රීවීල් එක තිබුණා. හැම දේම වෙනස් උනේ අපේ ගෙදරින් අපි දෙන්නගේ සම්බන්ධේ දැනගත්තු දවසේ. හැමෝම මට බැන්නා "තොට පිස්සුද රස්තියාදුකාරයෝ එක්ක යාළු වෙන්න" කියලා. අක්කා බැන්නා "උඹට ත්‍රීවීල් කාරයෙක් ඇරෙන්න වෙන යාළු වෙන්න එකෙක් හිටියෙම නැද්ද?" කියලා. ඉතිං මම එදාම තීරණය කළා ඒ සම්බන්ධේ නවත්තන්න.

ඉස්කෝලෙන් අස් උනාට පස්සේ මම පොඩි ජොබ් එකක් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම සති අන්තේ කෝර්ස් එකක් කළා. සතියේ දවස් වලට උදේට වැඩට යන වෙලාව, හවසට වැඩ ඇරිලා එන වෙලාව කියන්නේ බස් වලට ඇඟිල්ලක් ගහන්න බැරි වෙලාවල් දෙකක්. ඒ අස්සේ වෙන වෙන තැන් වලට ඇඟිලි ගහන්න එන වලත්තයෝ! ඒ කාලේ උදේට බස් එකට නඟින්න හෝල්ට් එකේ ඉන්නකොට වැඩට යන බයික් කාරයෙක් මට බැල්ම දාන්න පටන් ගත්තා.

මම එයාට කැමති උනා. මුල්ම සති දෙක විතර මම බොරුවට එයාගේ බයික් එකේ වැඩට යන්න අදි මදි කළා. කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕනේ. එතකොටයි අගේ. පස්සේ හයියෙන් බ්‍රේක් ගහන්න බෑ කියන කොන්දේසිය උඩ මම එයත් එක්ක බයික් එකේ යන්න කැමති උනා. උදේ වැඩට යන එක, වීක් එන්ඩ් එකේ ක්ලාස් යන එක ඊට පස්සේ මට කිසිම කරදරක් උනේ නෑ. එයා මහ ලොකු ජොබ් එකක් කරපු කෙනෙක් නෙමෙයි. ඒත් බයික් එකක් තිබ්බ එකම කොච්චර දෙයක්ද.

කාලයක් යනකොට මම වෙන තැනක ටිකක් හොඳ ජොබ් එකකට ගියා. එතන වැඩකරන කෙනෙක් මං ගැන උනන්දුයි කියලා මට දැනුනා. ඒ කාලෙදිමයි මට දූවිලි නිසා නිතර නිතර හෙම්බිරිස්සාව හැදෙන්න පටන් ගත්තෙත්. බයික් එකේ නහය වහගෙන යන එකත් එපා වෙන වැඩක්. අලුත් තැන මං ගැන උනන්දුවක් දක්වපු කෙනාට පොඩි මරූටියකුත් තිබ්බා. මට බයික් එකේ යෑම එපා උනා. ඒ නිසා මම ඒ සම්බන්ධේ නැවැත්තුවා. මාසෙකට විතර පස්සේ මරූටියක් තිබ්බ කෙනාට මම කැමැත්ත දුන්නා.

කාලය කියන්නේ හරි පුදුම දෙයක්. මේ සේරම සිද්ධි ඉවර වෙලත් දැන් අවුරුදු තුනක් විතර උනා. හරියට අද ඊයේ වගේ මතකයි. අද මං ඉන්න තැන ගැන මට කිසිම දුකක් නෑ. මුලින්ම ත්‍රීවීල් කාරයෙක් එක්ක යාළු උන මම, අද වාහන දෙකක අයිති කාරයෙක්ගේ බිරිඳක්. හැරත් එක වාහනයක් මගේ නමට. මං අන්තිම යාළු වෙලා හිටපු මරූටියක් තිබ්බ කෙනා හරි හොඳ මනුස්සයා. ඒත් එයා ධර්මෙට ඕනෑවට වඩා නැඹුරුයි. එහෙම ජීවත් වෙන එක මට අමාරුයි. ඒ නිසයි මම ඒ සම්බන්ධේ නැවැත්තුවේ. කෝසල තමයි මට හරියටම හරියනවයි කියලා හිතුන කෙනා. ඒකයි මම කෝසලව බඳින්න කැමති උනේ. ජීවිත ගමන කියන්නේ ලේසි මහසු ගමනක් නෙමෙයි. ඒ ඒ වෙලාවට හරියන තීරණ ගන්න වෙනවා.

බීඊ...................ප්.............බීඊ.............ප්

ගේට්ටුව දෙසින් ඇසුණු වාහනයක නළා ශබ්ධය ඇගේ සිතුවිලි දැහැන බිද දැමීය. ඈ හනික හිඳ ගෙන සිටි තැනින් නැඟිට ගේට්ටුව දෙසට දිව ගියේ තම පෙම්බර සැමියා පිළිගන්නටයි.




[පින්තූරෙ - http://funny-pictures-blog.com/wp-content/uploads/funny-pictures/Funny-Pictures---Men-vs-Women-Quotes.jpg ]

Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි !!!

අනික් උන්ව එළියේ දාලා
අපි සේරම ඇතුලෙ දාලා
පිස්සන් කොටුව නම තැබුවේ
මොන පිස්සද ඕයි?
පිස්සෝ සැවොම එළියේ ඉඳන්
පිස්සු කෙලියි ඕයි!

සයිමන්ගේ බෝට්ටුවේ
ගුජු ගුජු ගා දුමත් දාං
ඇඳක් වටේ පැද්දි පැද්දි
බෝට්ටුවේ රවුං යන්න
පුළුවන් වෙන තවත් තැනක්
ලොවෙත් නෑනේ ඕයි!

කෝසලයගේ කෝච්චියේ
කුචු කුචු ගා මහ සද්දෙට
සුදුම සුදුම  නර්ස් නෝනා
වටේ වටේ පැද්දි පැද්දි
කෝච්චියේ රවුං යන්න
පුළුවන් වෙන තැනක් ආයේ
ලොවෙත් කොහෙද ඕයි?

ඕන දෙයක් ඕන විටෙක
නෑයි බෑයි කියන්නෙ නැති
ඕනයියා ඔතාගෙනම
හනික ඇවිල්ලා,
මේං බොලේ හඳට යන්න කතා කරනවා

අප්පේ දුර වැඩියි වගේ
හඳට මෙහා වංගුවවේදී
මූන් ලයිට් හෝටලේ ළඟ
මම බහිනවා ඕයි!
මාත් එක්ක පාවෙන්නට
උඹ එනවද ඕයි?

අපි දෙන්නා එකතු වෙලා
හේලිගේ වල්ගා තරුවේ
වල්ගහෙට ගිණි අවුලාලා
හිනා වෙවී දුරට වෙලා
බලා හිඳිමු ඕයි!


පුංචි පුංචි තරුකැට ගෙන
දිව උස්සා යටින් තබා
තරු සේරම නිවා දමා
කිසිම දෙයක් නොවුනා වගේ
මාරු වෙමුද ඕයි?

මහ දවාලේ ගිණි අව්වේ
සෙනසුරාට කවර් වෙලා
අල්ලේ සීනි දිවෙන් අරං
හෙමි හෙමීට ප්ලේන්ටියක්
සූස් සූස් මහ සද්දෙට
උරා බොමුකො ඕයි!

මහ විශාල උල්කාශ්ම
සුළඟිල්ලෙන් තල්ලු කරලා
වෙනස් නොවෙන ප්‍රවේගෙයෙන්
අනන්තයට යන දිහාව
ඇස් හතරම පුංචි කරං
බලං ඉඳිමු ඕයි!

මටනං දැන් පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!

**********

මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝසෝඩා ගුණේ | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජුපිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

Monday, February 4, 2013

මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද?


මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නටම නිදහස නැතුව යනවා.

මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන තැන. එතන සුමිත් අයියා දැන් අපිව අඳුරනවා. සුමිත් අයියගෙන් පුටුවක් ඉල්ලගෙන මම මුහුද පේන හරියෙන් වාඩි වෙලා වැඩේ පටං ගත්තා. මගේ නිදහස මගේ අත්ල මත රෝල් වෙන්න පටං ගත්තා.

මගේ ඉස්සරහා මේසේ ඉන්න සෙට් එක ශීෂා ගහන්න ලෑස්ති වෙනවා. මේ මගේ නිදහස වගේ ඒ උන්ගේ නිදහස වෙන්න ඇති. ඒත් උන් හූකඃ එකට වතුර දාලා වැඩියි. මම මගේ නිදහස විඳින ගමන්ම උන්ට උන්ගේ නිදිහස විඳ ගන්න සපෝට් එකක් දෙන එක හොඳ වැඩක්.

"මචං ඕකේ වතුර වැඩියි" මම උන්ට කිව්වා.
උන් උන්ගෙම සෙට් එකේ එක එකාට විහිළුවට බැණ බැණ වතුර අඩු කළා. උන්ට ලැජ්ජා හිතුනද දන්නෑ. මම උන්ගේ නිදහසට බාධා කළාද කියලත් හිතුණා.

මගේ නිදහස ලෑස්තියි. මම නිදහස පත්තු කළා. අරුං ශීෂා ගහන්නත් පටන් අරං. සමහර උන් ජීවිතේ පළවෙනි වතාවටද කොහෙද ශීෂා ගහලා තියෙන්නේ. මටත් මතකයි මාත් පළවෙනියටම ශීෂා ගහපු දවස. මත් වෙන්නෙත් නැති, කිසිම තේරුමක් නැති දුම් ගොඩක් මගේ ඇස් ඉස්සරහා නිදහසේ රටා මැව්වා. ශීෂා දුමයි මගේ නිදහසේ දුමයි අතරේ කිසිම වෙනසක් නෑ. ඒ දෙකම එකම තරමට නිදහස්. සීමාවක් නැතුව ඔහේ පාවෙන්න දුමට පුළුවන්. ඔහේ පාවෙන දුම් අතරින් මම දැක්කා විශේෂ දෙයක්. ඒ සෙට් එකේ එකෙක් බෙල්ලේ ධර්ම චක්‍රයක්  දාගෙන. අතේ වොඩ්කා වීදුරුවක්.

ඒත් එක්කම මට මතක් උනා එන ගමන් බස් එකේ පිටි පස්සේ සීට් එකේ හිටපු කොල්ලෝ දෙන්නා කතා උනු මාතෘකාව. හලාල්!. හිනහත් යනවා මේවා මතක් වෙනකොට. මේ ලෝකේ මිනිස්සු විසින් දෙවියන්ව මැව්වා, මිනිස්සු විසින්ම ආගම් ඇති කළා. ආයෙමෙත් මිනිසුන් විසින් මවපු දෙයියන්ට කියලා මිනිස්සුන්වම මැවෙව්වා. ඒකම මාරම විකාර වැඩක්. ආගම් හදාගත්තු මිනිස්සු ඒ ආගම කියන කූඩුව ඇතුලේ හිර වෙච්චි රිලා මොටෙක් වගේ වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ රිලව් තමන්ගේ කූඩුවට වෙලා පාඩුවේ නොඉඳ අනික් කූඩු වල ඉන්න රිලවුන්ට විරිත්තන්නත් පටන් අරං. අනික් කූඩු වල ඉන්න උන්ට කූඩු වෙලාවත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. ආගම කියන කූඩුවේම මිනිසාගේ හිතීමේ නිදහසත් කූඩු වෙලා නේද?.

සුද්දා අපිව හිර කරගෙන හිටියා. පස්සේ ඌටම එපා වෙලා අපිව නිදහස් කළා. ඌ, අපිව නිදහස් කරපු වෙලේ ඉඳන් අපි හැසිරිලා තියෙන්නේ පිස්සු බල්ලෙක්ව කූඩුවෙන් නිදහස් කළා වගේ නේද කියලා අතීත, වර්තමාන සිද්ධි දිහා බලනකොට හිතෙනවා. අතීතයේ ඉදන් තාමත් දේශපාලකයෝ තමන්ට අහුවෙන අහුවෙන දේ විනාස කරගෙන කරගෙන යන්නේ පුදුම නිදහසකින්. ඔවුන්ගේ නිදහසට බාධා කරන්න සමතෙක් අපේ රටේ නෑ. මිනිස්සු හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව. එහෙම ඉන්න ගමනුත් මේ මිනිස්සු තමන් හිර වෙලා ඉන්න කූඩුවේ තියෙන පුංචිම නිදහසත් නැති කරගන්න හදනවා ආගමයි, ජාතියයි තව මොන මොනවදෝ ටිකකුයි පටලවගෙන. ඒක හරිම විකාරයක්. ඇත්තටම මේ වගේ මිනිස්සුන්ව සුද්දට එපා උනු එක ආයේ පුදුමයකුත් නෙමෙයි. තමන්ගේ නිදහස තමන් විසින්ම නැති කරගන්න උත්සහ කරන මිනිස්සුම ආයේ තමන්ගේ නිදහනුන්ගෙන් ඉල්ලලා කෑ ගහනවා. ඒකත් පුදුම හිතෙන විකාර වැඩක්.

මම දල්වපු නිදහස නිවිලා ගියා. නිදහස දැල්වෙනකම්ම මගේ සිතුවිලිත් නිදහසේ පාවෙලා ගියා. මගේ හිතට පුදුම නිදහසක් දැනෙනවා. දැන් මට දැනෙනවා මමත් නිදහස් වේගෙන යනවා............ ගුරුත්වයෙන්!








[පින්තූරෙ - http://24.media.tumblr.com/tumblr_l3utughdRr1qahlbyo1_500.png ]

Tuesday, January 1, 2013

100, 2 සහ ඌ...


ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් ඇදගන්න සුළු ගතිය ඒකට හේතු වෙන්න ඇති. එදා ඉඳං ඌ ඒ බ්ලොග් එකේ(ඔය බ්ලොග් එක ළඟක් වෙනකම් ඔතන තිබ්බා) වැටෙන ලිපි පස්සේ පන්නන එකෙක් උනා. අන්තර්ජාලේ අකුරු කුරුටු ගාන එකත් මාර ආතල් වැඩක් කියලා හිතුනා. ටික කාලෙකින් ඌත් බ්ලොග් එකක් අටවා ගත්තා ඒ හරියටම 2009 නොවැම්බර් මාසේ. එකම එක පෝස්ට් එකකුත් දැම්මා. ඒකට ටොපියේ අයිතිකාරයත් කමෙන්ට් එකක් දැම්මා. ඒත් ඒ එක පෝස්‍ට් එකෙන්ම උගේ බ්ලොග් ලිවිල්ල නතර උනා. ඌට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුණු හන්දා. ඒත් ඌ කියවිල්ල අතෑරියේ නෑ. ඌ තව තව බ්ලොග් හොය හොයා කියවන්න ගත්තා.

කාලය ගෙවිලා ගියා. ඌ ආදර දැලේ පැටලුනා. ඒ හින්දම ඌ ආයෙත් බ්ලොග් එකක් පටං ගත්තා. අලුත් බ්ලොග් එකේ ඌ උගේ පළවෙනි පෝස්ට් එක දානවා 2010 සැප්තැම්බරේ. එදා ඉදං ඒ ආදර දැලෙන් ගැලවෙනකම්ම ඌ කවි ලිව්වා. කතා ලිව්වා. අන්න ඒ නිසයි ඌ තාමත් කියන්නේ, ආදරේ කියන්නේ ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු දෙයක් කියලා. ආදර දැලෙන් ගැලවුණු ඌට ඉතිරි උනේ වැඩකට නැති කවි කතා ටිකක් එක්ක බ්ලොග් එකක්. ඌ පරණ පෝස්ට් ගලවලා දාන්නත් කල්පනා කළා. අතීතයේ අසුන්දර සිද්ධිවල මතකයන් සුන්දරයි. ඌ පරණ පෝස්ට් නොගලවන්න තීරණය කළා.

ඌ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි සුහද හමුවේ ඉඳන් සෑම සුහද හමුවකටම වගේ සහභාගී උනා. ඒ දේවල් නිසාම මේ අඟල් කීපයක පුංචි කොටුව ඇතුලේ හිර වෙච්චි අදහස් වලින් මිතුරුන් වෙලා හිටි උදවියව හැබෑ ලෝකේ මිතුරන් බවට පත් උනා. තමන් දරණ අදහස් වලට තරමක් හෝ සමාන අදහස් දරණ මිතුරු මිතුරියන් ඌට හමුවුණා, තමන්ගේ අදහස් වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දරණ මිතුරු මිතුරියනුත් හමුවුණා. මේ බ්ලොග් ලිවිල්ලට ඌ තාමත් ආස ඒ විවිධත්වය නිසා වෙන්න ඇති. ඔය අස්සේ "ඔහෙම ලියන්න එපා කැතයි. ඕකම මෙහෙම ලිව්වැකි. එතකොට ලස්සනයි" වගේ ගොං ආතල් දෙන්න ආපු ඈයොත් හිටියා. පොඩි වෙනසකටත් එක්ක උනුත් ඉන්න ඕනේ. නැත්තම් එකම විදිහට හැමදාම ගියාමත් කම්මැලි හිතෙන්න පුළුවං. ඌ හිතා ගත්තා.

එදා ඌ බ්ලොග් එක පටං ගනිද්දී ලියුපු දේවල් සහ අද ඌ ලියන දේවල් ගත්තාම පැහැදිලි වෙනසක් ඌටම දැනෙනවා. වෙලාවට ඉස්සර ලියපු ලිපි කියෙව්වම ඌටම ලැජ්ජා හිතෙනවා. මේ ඌ ලියපුවාමද කියලා හිතෙනවා. ඒ අතරේ උගේ ඉස්සර ලිපි කියවලා කමෙන්ට් කරපු සමහර අය, අද පැත්ත පලාතේ නොඑන බවත් ඌ දන්නවා. ඒ එදා සහ අද වෙලා තියෙන වෙනස නිසා වෙන්න ඇති. කියෙව්වාම කොච්ච්ර ලැජ්ජා හිතුනත් පරණ ලිපි නොගලවා ඉන්න ඌට ලොකු හේතුවක් පෙනුනා. එදා සහ අද ගත්තාම උගේ අදහස් කොච්චර නම් පරිණාමය වෙලාද කියලා ඌට පෙනුනේ ඌ ලියපු බ්ලොග් ලිපි වලින්. ඒ දිහා බලන කෙනෙක්ට ඒ වෙනස හොඳයි කියන්නත් පුළුවං නරකයි කියන්නත් පුළුවං. කවුරු මොනවා කිව්වත් උගේ දැන් විදිට ඌට හොඳයි කියලා හිතුනා.

අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අකුරු කෙටුව ඌ දැන් අකුරු කරමින් ඉන්නේ උගේ සියවෙනි පෝස්ට් එකයි. සියය කියන්නේ මහාලොකු ඉලක්කමක් නෙමෙයි අවුරුදු දෙකක් කියන්නේ මහාලොකු කාලයකුත් නෙමෙයි. නමුත් අවුරුදු දෙකක් සහ ලිපි සියයක් කියන්නේ ඌට වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක්! ඒ ඌට සාපේක්ෂව. ඌ ලිවීමට (හෝ මැලවීමට) කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් දැන් ඌ කතන්දර එක බ්ලොග් එකකත්, කවි(ද මන්දා) වෙන බ්ලොග් එකකත් ලියන අතරෙම ඌ කියවන පොත්වල හිත ඇදිලා ගිය කොටසක් එහෙමත් නැත්තම් පොත ගැන අදහසක් වෙන බ්ලොග් එකකත් ලියනවා. ඒ එක්කම ඌ සියයටත් කතා සෑහෙන ප්‍රමාණයක් ලියලා.

විශේෂම දේ නම්, ඌ ලියන ඉලව් කියවන පිරිසක් සහ ඒ කියවන පිරිස අතරින් අදහසක් දාලා යන කීප දෙනෙක් සිටීමයි. ඒ දෙපිරිස නොහිටින්න ඌ මේ කරුමාන්තේ මෙච්චර කල් කරගෙන නොයන විත්තිය ඌ දන්නවා. ඒකයි ඌ ඒ කට්ටියට කියන්නේ "උඹලට ස්තූතියි!" කියලා. බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු. ඒත් දැන්නම් එහෙම කියන්න තරම් මහා සතුටක් ඌට දැනෙන්නේ නෑ. හැබැයි උගේ නිර්මාණයක් ගැන විවේචනයක් දකින්න ඌ කැමතියි. 

මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා.  ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"


ප.ලි :
හැමෝටම සුභ නව වසරක් වේවා!!!!!




Thursday, December 27, 2012

හීන දුරයි ඒරොප්පෙට...


"අපි දෙන්නා බැන්දයින් පස්සේ දරු පැටියෙකුත් හදාගෙන ඔය තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙමු කුමුදුනී"

විවාහ උත්සවයට මාස තුනක් තිබියදී එක හැන්දෑවක වැව් බැම්මට වී කුමුදුනී එක්ක අනාගතේ ගැන මැව්ව හීන අජිත්ට අද ඊයේ වගේ මතකය. ඉතා සරලව පෙනුනු එම හීන යතාර්ථයක් කර ගැන්ම මෙතරම් වේදනාකාරී හැඟීම් ජනිත කරවාවි යැයි එදා ඔහුට නිකමටවත් නොසිතුනි. ගමේ ‍තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් චාම් විවාහ උත්සවයකින් කුමුදුනීව නිවසට කැන්දාගෙන විත් ලබන මසට දෙවසරක් සපිරෙයි.

"අවුරුදු දෙකක්... අද ඊයේ වගේ..... මේ අවුරුදු දෙකත් ඒ වගේම ගෙවිලා යාවි"  තට්ටු තුනේ ඇඳේ ඉහලටම වී අජිත් තමාවම රවටා ගැන්මට වෙහෙසෙයි.

අජිත්ගේ විවාහයෙන් පසු දස මසක පමණ කාලය අජිත්ගේත් කුමුදුනීගේත් ජීවිත වල ප්‍රීතිමත්ම කාලය බවට පත්විය. ඉඳ හිට ඇති වූ බහින් බස් වීම් පවා ඔවුන් අතර බැඳීම ශක්තිමත් කිරීම් පමණක්ම විය. ඒ ඔවුනොවුන් දුටු හීන හැබෑවෙමින් යනවා යැයි ඔවුන්ට හැඟුනු කාලයයි. පවුලට එක්වීමට යන නව සාමාජිකයා පිළිබඳ ආරංචිය ඔවුන්ගේ සතුට තවත් තීව්‍ර කරවීය.

"මම නම් ආස කෙල්ලෙක්ට"

"මටනම් කවුරු උනත් එකයි. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපි දෙන්නගෙනේ"  
අජිත්ගේ උරහිස මත හිස තබා එදා කුමුදුනී ඒ කී වදන් යලිත් කන අසලින්ම කොඳුරන්නාක් මෙන් ඇසුනු බැවින් අජිත් ඇඳ මත නිදා සිටි ඉරියව්ව වෙනස් කර භාවනාවකට මෙන් ඇඳ මත වාඩි විය.

තමාත් කුමුදුනීත් දුටු හීන කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් යන්නට පටගත් බවක් අජිත්ට දැනෙන්නට පටන් ගත්තේ දරුවා ලැබෙන්නට ලංවත්මය. කුමුදුනී ගාමන්ට් රස්සාවට සමුදී තිබිණි. වෛද්‍යවරුන්ගේ නියමය පරිදි කුමුදුනීට පෝෂදායි ආහාර පාන ලබා දිය යුතු විය. ඇයව ක්ලීනික් එක්කන් යන්නට සිදුවිය. කෙමෙන් කෙමෙන් වියහියදම් වැඩි වන්නට විය. අජිත් රියදුරෙකු වශයෙන් උපයන රුපියල් දහ අට දහසක මුදල ඔවුන් දුටු ලස්සන හීනය වෙත පාර කපා දෙන්නට මද බව කෙමෙක් කෙමෙක් අජිත්ට වැටහෙමින් තිබිණි.

අජිත් බලාපොරොත්තු වූ පරිදිම කුමුදුනීට දුවක් ලැබුණි.

"ඔයා වගේම ලස්සන දුවෙක්"

"ඇස් දෙකනම් තාත්තගේ"

පුංචි දියණියගේ සිනාවන් හවසට වැඩ නිමවී ගෙදර එන අජිත්ගේ ගතේ විඩා නිවා දමන්නට සමත් වුවද කෙමෙන් කෙමෙන් හිස ඔසවන අඟ හිඟ කම් නිසා ඇතිවන චිත්ත පීඩා මකා දමන්නට සමත් නොවිනි. දියණියගේ කිරිපිටි, ඇඳුම් පැළදුම්, බේත් හේත් ආදියට අජිත්ගේ වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනාගතය ගැන අජිත්ට බියක් දැනෙන්නට පටන්ගෙන තිබිණි.

"කුමූ... මං මේ කල්පනා කළේ අපේ රට ඉන්න කොළඹ මාමාට කියලා රට රස්සාවක්වත් හොයාගන්න කියලා. මෙහෙම කරන්න අමාරුයි. අපිටනම් ඔය මොනා හරි. ඒත් අපේ දුව ගැන බලන්න එපායැ."
දියණිය ඉපදී මසක් යන්නට මත්තෙන් තමන් ගත් තීරණ ගැන කුමුදුනීට පළමුවරට අජිත් පැවසුවේ එසේය.

"අනේ ඔයත් නැතුව මේ කෙල්ලෙක් එක්ක මම තනියම කොහොම කරන්නද?"

"මේ සොච්චං පඩියට මම මෙහේ හිටියොත් තව ඉස්සරහට රටටම ණය වෙන එක විතරයි කුමුදු. අනික බලන්න මේ ළමයා ලොකු වෙන කොට ඉස්කෝලෙකට දාන්න, පොත් පත් අරන් දෙන්න කෝ ඕවට සල්ලි? අනික ඔයාට උදව්වට අපේ අම්මලත් ඉන්නවනේ"

එදා සිට රට යන ගමන ගැන කුමුදු, අජිත් සහ අජිත්ගේ පවුලේ අය අතර ඇතිවුණු සාකච්ඡා වාර ගණන මෙපමණකැයි කිව නොහැකි තරම්ය. සාකච්ඡා අතරතුරම මැදපෙරදිග සිටින මාමාට ඇමතුම් ගණනාවක් දී රට රස්සාවක් සොයා ගැන්මට අජිත්ට හැකි විය. ඒ රස්සාව ලැබී පළමු මාස හතර ඇතුලට මාමාට රුපියල් අසූ දාහක මුදලක් ලබා දීමේ පොරොන්දුව මතයි.

"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"

රට රස්සාව පිළිබඳ සහ අනාගතය බලාපොරොත්තු රාශියක් හිතේ කැටි කොට ගෙන සිටි අජිත් ගමනට අවශ්‍ය ගුවන් ටිකට් පත සහ තවත් බඩු බාහිරාදිය මිලට ගත්තේ තම මිත්‍රයන් කීප දෙනෙකුගෙන් මුදල් ණයට ගැනීමෙනි.

රට යන දිනෙය කෙමෙන් කෙමෙන් ලං වත්ම අජිත්ගේ හිතේ ඔහුටත් තේරුම් ගත නොහැකි අන්දමේ චකිතයක් සහ ශෝකයක් මුසු හැඟීමක් වැඩෙන්න විය. එම හැඟීම උපරිමයට ලඟා වූයේ ගුවන් තොටුපලේදී කුමුදුනීගෙන්, තම දියණියගෙන් සහ පවුලේ උදවියගෙන් සමු ගන්නා මොහොතේදීය. කුමුදුනීගේ දෑසට ඉනූ කඳුළු තව දුරටත් රඳවා තබා ගන්නට නොහැකි වී තිබිණි. කුමුදුනීගේ නලලත සිප දියණියගේ නලියන දෑස් දෙස බලා ඇයවද සිපගත් අජිත් වචනයකුදු කතා කරගන්නට නොහැකිව ගොලු විය. රට යාම නවතා ගෙදර යන්නටද සිත් විය.

"මම යන්නම්"
ඔහුට කියාගත හැකි වූයේ එපමණකි. යළිත් පසු නොබලාම ගුවන් තොටුපලින් ඇතුලට ගිය ඔහු ඉකිගසනා හඩ ඇසී ඔහු සිටි පෝලිමේ ඉදිරියෙන් උන් තරුණයා ඔහු දෙස හැරී බැලීය.

"මල්ලි මේ කටාර් යන ප්ලේන් එකට නේද?" ගමන් මළු ගුවන් යානයට දැමීමට බාර ගන්නා ස්‍ථානයේ ඔහු දෙස බැලූ තරුණයාගෙන් අජිත් විමසුවේ කඳුලු පිසින ගමන්මය.

"ඔව් අයියේ. අයියා මේ පළවෙනි පාරටද යන්නේ"

"ඔව්. දුවට තාම මාස හතරයි මල්ලි" අජිත්ට යලික් ඉකි ගැසෙන්නට විය.

"අයියා කොහෙද ගම?"

"පොළොන්නරුවේ. මගේ නෑ කෙනෙක් ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කළා"

අජිත්ට මේ සිදුවීම් සිහිනයක් මෙන් මතයකය. අජිත්ට මුණ ගැසුනු මල්ලි යලි ඔහු ගුවන් යානයට නගින තෙක්ම ඔහුත් සමග දොඩමලු වීම නිසා අජිත්ට කුමුදුනීව සහ දරුවාව මතක් කරමින් දුක් වන්නට වැඩි අවස්ථාවක් නොවීය. මල්ලී ඔහු සමග දොඩමලු වූයේ උවමනාවෙන්ම යැයි දැන් ඔහුට සිතෙන්නට විය. මල්ලිගේ දුරකතන අංකය කටාර් ගුවන් තොටුපලේදී ඉල්ලා ගත්තත් පසුගිය දිනෙක මතක් වී සෙවූවද එය ඔහුට හමුවූයේ නැත. ඔහුට ඒ පිළිබඳ කණගාටුවක් ඇති විනි. ගුවන්යානයට ඇතුල් වීමට රැදී සිටින ටික වේලාවේදී මල්ලී අජිත්ට තමාගේ දුරකතනය ලබා දී ගෙදර අයට ඇමතුමක්ද ලබා ගන්නට දුන් හැටි ඔහුට මතකය. එවේලේ කුමුදුනීගේ ජංගම දුරකතනයට ඇමතුම ලබා දුන්නද කුමුදුනී ඉකි ගසන හඩ නිසා යළි අජිත්ට හැඩුම් ආ බැවින් ඔහු කතාව ඉක්මනින් අවසන් කළේය.

පැය හතර හමාරක් වූ ගුවන් ගමනේදී ඔහුට කීප වරක්ම නිවස සිහි වී හැඩුම් ආවේය. මල්ලි ඔහුට ටිකක් ඈතින් වාඩි වී සිටිනවා ඔහුට පෙනුනි. ඔහු ළඟ සිටියානම් හොඳ යැයි අජිත්ට සිතිණි. ගුවන් යානයෙන් එළියට බසිද්දී ඔහුට නැවත් මල්ලිව මුණ ගැසෙන්නට හැකි විය. එවෙලේ නොදන්නා රටක සිටින තමන් දන්නා අදුනන එකම පුද්ගලයා ඒ මල්ලි යැයි ඔහුට සිතෙන්නට විය. ගුවන් යානයෙන් එළියට බසිනවාත් සමඟම හමා ආ සුළඟින් තම ගත පිච්චී යන්නාක් මෙන් අජිත්ට දැනුනි. එවන් රත් වූ සුළඟක් ඔහු මින් පෙර විඳ තිබුණේ නැත. ඔහුට ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගත්තේ එතැනදීය. ඒ ආගන්තුක බව අජිත්ට තාමත් දැනෙයි. දැන් වුවද මග තොට ඇවිදින විට නොදන්නා භාෂාවන් දොඩන මිනිස්සුන් මැද අජිත්ට ආගන්තුක බවක් දැනෙයි.

කටාර් ගුවන්තොටුපලේදී මල්ලිව රැගෙන යාමට පැමිණි යාළුවෙක්ගේ දුරකතනයෙන් අජිත් මාමාට ඇමතුමක් ලබාදුන් අතර  ටික වේලාවකින් මාමා අජිත් සිටි තැනට පැමිණියේය. ලංකාවේ බොහෝ අත් දැකීම් තිබූ අජිත්ට එරට වාහන ධාවනයට බලපත්‍ර ලබා ගැනීම එතරම්ම අපහසු නොවිනි.

අජිත් ඉදහිට නිවසට දුරකතනයෙන් අමතයි. සති කීපයකට සැරයක් ලියුමක්ද යවයි. දියණියගේ සිනාවන් අජිත්ට නිතරම මැවී පෙනෙයි. රට ආ දිනේ පටන් තවමත් අජිත්ට හරියාකාරව නින්ද නොයයි. නිදි යහනේදී කුමුදුනීව දරුවාව සිහිවෙයි. තවම එක සතයකුදු ඔවුන්ට යවන්න අජිත්ට.නොහැකි විය. මාමාගේ කතාව ඔහුට යලි යලිත් ඇසෙයි.

"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"

අරාබිකරයට පැමිණ මාස දෙකක් පමණ ගෙවී ඇතත් අජිත්ට රස්සාව ලැබී තවම එක් මාසයක් පමණි. ඒ මාසයේ වැටුප රට ඒමෙන් පසුව මාමාගෙන් ඉල්ලාගත් ණය මුදල් පියවීමට, කාමර කුලී සහ වෙනත් අවශ්‍යයතාවන්ට වියදම් වී ඇත. රට ඒමට සූදානම් වීමට සහ ගුවන් ටිකට්පත් වලට ගමේ මිතුරන්ගෙන් ගත් ණයද රුපියල් ලක්ෂයක් පමණ තව ගෙවීමටද ඉතුරු බව මතක් වනවිට අජිත්ගේ හිසට මහා බරක් දැනෙයි.

අජිත් ඇඳේ ඒ මේ අත පෙරලෙයි. නින්ද අහලකටවත් නොඑයි. හිත ඒ මේ අත දුවයි. කුමුදුනී සහ දරුවා සිහිවී දෑසේ කඳුලු පිරෙයි.

"අජියා මොන හු***ද බං කරන්නේ ඔය ඇඳේ පෙරලි පෙරලි. වද නොදී නිදා ගනිංකෝ"තට්ටු තුනේ ඇඳේ දෙවෙනි තට්ටුවෙ සිටින තම සගයා ගෝරණාඩු කරයි.

"කමක් නෑ කුමුදුනී තව අවුරුදු දෙකයිනේ. ඊට පස්සේ හැමදේම හරියයි"
ඊයේ හවස ඇමතුමක් දුන් වෙලේ කුමුදුනීට කී වදන් අජිත්ට යලිත් සිහි විය.

"ඇත්තටම හැම දේම හරියාවිද?" අජිත්ට දැන් සැකයක් ඇතිවෙයි.

෴෴



[පින්තූරෙ - http://fabquote.co/wp-content/uploads/My-dreams.jpg ]

Thursday, October 18, 2012

ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය...



"ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"

මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ඕනෑ විදිහට ය. උන් මහත් පරිශ්‍රමයකින් සමාජ සම්මතයන් තමන්ගේ ජීවිත තුලට ඔබ්බවාගෙන දුක් විඳියි. තම ආශාවන් විඳිම් යටපත් කර දමයි. විටෙක මට උන් ගැන කණගාටුය. උන්ගේ බියගුලු කම් ගැන තරහා ය. 

"මගේ අත් ගොරෝසු ඔයාගේ අත් සිනිඳු නිසා"

"ඒ උනාට මේ වගේ අත් තියෙන්නේ කොල්ලන්ට"

"කොල්ලෝ ගොඩකගේ අත් අල්ලලා තියෙනවා වගෙයි?"

"නෑ දෙන්නෙක්ගේ විතරයි"

"ඉතිං ඇයි ඒ අත් අතෑරියේ?"
ඈ ඇඳට මදක් ඔබ්බෙන් වූ ජනේලයෙන් පිටත බලා ගත්තාය. මොහොතක් නිහඩව සිටි ඈ නැවත් මදෙසට හැරුණාය.


"ඒ අත් වලින් මට කිසිම හැඟීමක් දැනුනේ නෑ, මේ අත් වලින් වගේ"
මගේ අත ඈ ලයට තුරුලු කර ගත්තාය.


ඈ මෙන්ම මාද එක් වරක් එවන් වූ හැඟීම් විරහිත බැඳීමකින් පීඩා විඳ ඇත්තෙමි. මිතුරු මිතුරියන්ගේ බල කිරීමට ජීවිතේ පළමු වතාවට ඇති කර ගත් ඒ බැඳීම සිහි කිරීම පවා මට අපුලකි. ඔහු හා දෑත් පටලා ඇවිදීම මට මහත් කරදරයක් පමණක්ම විය. ඔහුගේ හාදු මාගේ දෙකොපුල්, දෙතොල් කිලිටි කරන බව හැරෙන්නට වෙන කිසිදු හැඟීමක් මා හට ගෙන නොදීය. ආදරය යැයි කියාගෙන ඔහු කළ කී දෑ මට මහත් හිසරදයක් පමණක්ම වූ තැන මම ඒ බැඳිම නවතා දැමීමට තීරණය කළෙමි. යලිත් කිසිම දිනෙක එවන් වූ බැඳීම් ඇති නොකර ගැනීමට එදා මා තදින්ම සිතට ගතිමි.

මා එවන් වූ හැඟීම් විරහිත බැඳිමකින් පීඩා වින්දේ එක් වරක් පමණකි. නමුත් මෑ දෙවරක්ම එවන් වූ බැඳීම් වලින් පීඩා විද ඇත. මට ඈ ගැණ කණගාටුවක් ඇති විණි. ඈ තවමත් මා අත තුරුළු කරගෙනය. මම අනෙක් අතින් ඇගේ හිස පිරිමදින්නට ගතිමි. මගේ අතැඟිලි අතරින් බේරෙන ඇගේ සිනිඳු කෙස් ඇති කරනා හැඟීමට මම ආසා කරමි.

"ඔයාලගේ ගෙදරින් වගේම අපේ ගෙදරිනුත් බඳින්න කෙනෙක් හොයන්න පටං අරං"
ඇගේ හඩ දුක්මුසුය.

මම කිසිත් නොකියාම ඇගේ හිස පිරිමදිමි. හිතට සියුම් වේදනාවක්ද දැනෙයි. මෙය මා බලාපොරොත්තු වූවකි. මසක පමණ සිට මා නිවැසියන්ද පුවත්පත් වල මංගල යෝජනා තීරු පිරික්සන්නට පටන් ගෙන ඇත. මගේ සිතුවිලි වේගයෙන් එහා මෙහා යයි. සංස්කෘතිය.......... සමාජය........... සභ්‍යත්වය........ ලබ්බ! සියල්ලක්ම පිළිබඳව මට ඇති වන්නේ වෛරයකි. වෛරය........... මගේ ආශාවන් මගෙන් උදුර ගන්නා වූ සංස්කෘතියට ඇති වෛරය, මගේ බලාපොරොත්තු මගෙන් උදුර ගන්නා වූ සමාජයට ඇති වෛරය.... සියළු වෛරයන් එක් වී අවසානයේ මේ රට පිළිබඳව ඇති වන්නා වූ වෛරය හමුවේ මම දත් මිටි කමි.

අත් වැල් පටලන් යන පෙම්වතුන් පිළිබඳව විටෙක ඇති වන්නේ ඊර්ෂ්‍යයා සහගත හැඟීමකි. ඔවුන්ට ඇති ඒ නිදහස තබා, අසම්මත පෙම්වතුන් යන කිළිටි ලේබලයකුදු අපට හිමි නැත. ඉතින් එවන් වූ සමාජයක්, රටක් ගැන මගෙ හිතේ ඇති වන වෛරය අතිශය සාධාරණය. ලොව ජීවත්වන සියළුම සත්වයින් ආත්මාර්ථකාමීය. නමුත් මනසින් උසස් යැයි කියා ගන්නා මනු සතා අනෙක් සියළුම සත්වයින්ට වඩා ආත්මාර්ථකාමී කුහක සත්වයෙකි. ඌ බහුතරයකගේ කැමැත්ත, ආශාව වර්ණනා කරන අතර සුළුතරයකගේ කැමැත්ත, ආශාව විවෙචනය කරයි. 

සිතේ නොසන්සුන් ගතිය මා සිතුවිලි අතර අතරමං කරවයි. එය ගැටළුවට විසඳුමක් වෙනුවට මා සිත අවුලෙන් අවුලට පත් කරයි. මම ඇඳෙන් නැඟිට ජනේලය අසලට ගොස් දුම් වැටියක් දල්වා ගතිමි. කඩයකට ගොස් සිගරට්ටුවක් මිලට ගැනීමේදී පවා මේ සමාජයේ අසාධාරණත්වය මොනවට පෙන්නුම් කරන්නකි.

දුම් උගුරු කීපයක් යනු හිතට යම් අස්වැසිල්ලකි. ජනේලයට ඔබ්බෙන් පෙනෙන නොනවත්වා ගමන් කරන වාහන දෙස බලාන මම දුම් වැටිය උරමි. නැවත් හැරී ඈ දෙස බැලීමි. ඇය කොට්ටයක් තුරුළු කරගෙන දෙනෙත් පියාගෙන සිටියි. සිගරට් නොබොන ඈ දෙස බලාගෙනම අවසාන දුම් උගුරද ගිලගත් මා ෆිල්ටර් කොටය ජනේලයෙන් පිටතට වීසි කළෙමි.

"අපි බඳිමු"
මම පැහැදිලි හඩින් කීමි.

"අපි?"
දෙනෙත් හැරි ඈ, සාමාන්‍ය පමණට වඩා වටකුරු දෙනෙතින් බලාගෙන මා වෙත පිය නැඟීය. ඇගේ මුහුණ දුක සතුට විශ්මය කැටි ප්‍රශ්නාර්ථයක් මෙන් මට දිස් වෙයි.

"ඔව්! අපි බඳිමු............... අම්මලා හොයලා දෙන කාව හරි"

"එතකොට?"
ඇගේ මුහුණ අඳුරු විය.

"එතකොටත් අපි මේ වගේම හොඳම යාළුවෝ විදිහට ඉමු"

මම ඇගේ මුහුණ දෙස බැලීමි. ඇගේ හිතේ ඇතිවන හැඟීම් මුහුණෙන් කියවීමට මම කවදත් ප්‍රිය කරමි. ඒ මුහුණේ අඳුර අඩු වූ අතර දෙතොලේ පුංචි සිනා රැල්ලක් සටහන් විය. ටික වේලාවක් ඈ දෙස බලා සිටි මා ඇගේ කොපුල සිප ගතිමි. ඈ මගේ බඳ වටා අත් දමා මා ඈ වෙතට කරගත්තාය. මාද ඇයට තුරුලු වී ඇගේ ගෙල සිප ගතිමි. ඇගේ පියොයුරු වලට මගේ පියොයුරු තද වන විට දැනෙනා මේ හැඟීමට මම ආසා කරමි.


෴෴



[පින්තූරෙ - http://theaveragegirlnextdoor.files.wordpress.com/2010/09/girl_looking_out_window-28993534_std.jpg]

Thursday, September 13, 2012

සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි!


මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! 

පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි  නොයන තැනට වැඩේ සිද්ධ උනා.  පෙරේදා හවස ධාතු බලන්න ගිය කට්ටිය ආවේ ඊයේ හවස තුනට. ධාතු බලාගන්නත් බැරි උනාලු. එතකොට මේ දවස් ටිකේ ඔය ධාතු පෙන්නපු හරියෙන් වැඩ ඇරිලා යන කට්ටිය පට්ට දුකක් වින්දලු. මට මේ ධාතු පස්සේ මිනිස්සු යන දැක්කාම හිතෙන්නේ ඇත්තටම මේ අය මොකක්ද මේ කරන්නේ කියලා! 

මේ දවස් ටිකේම සැරෙන් සැරේට ටීවී චැනල් වලත් පෙන්නුවේ ඔය ධාතු ටිකමනේ. මං බලාහෙන ආච්චිලා සීයලාට කැමරාව අල්ලලා අදහස් අහනවා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" කියලා. මුලින්ම ඒක ඇහුවාම මට බකස් ගාලා හිනා ගියා. තව තව අය ඒ කතාවම කියනවා ඇහුවාම මම පට්ට අප්සට් ගියා. වැරදිලාවත් ඒ අයට ඇත්තටම බුදු හාමුදුරුවන්ව මුණගැහුනොත් අනිවාර්යයෙන් කියාවි "අනේ යන්න මෙයා යන්න ඔයා එනවා අපිට කොලොප්පම් කරන්න" කියලා. 

සහෝදර මුස්ලිම් බ්ලොග් ලියන්නෙක් අපි කට්ටියක්ගෙන් ඇහුවා "මොකක්ද මචං ඇත්තට ඔය සර්වඥ ධාතූන් කියන්නේ" කියලා. ඒකට තවත් සහෝදර බ්ලොග් ලියන්නෙක් දීපු උත්තරෙන් කොටසක් තමයි මේ. "ධාතු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙ නොදැවුනු කොටස්. හැගීම් දැනීම් තියෙන්න විදියක් නැහැ. ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැහැ. නමුත් ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරිර කොටස් නිසා එතුමන්ගේ ගුණයන් සිහිකරන්න මිනිස්සු අදටත් ඒවාට වැඳුම් පිදුම් කරනවා."  

දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සර්වඥ ධාතූන් බලන්න ගිය මහා ජනකායෙන් කී දෙනෙක් අපේ සහෝදර බ්ලොග් කරුවා පැහැදිලි කරලා තියෙනවා වගේ, ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැති බව දැනගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරීර කොටස් නිසා එතුමාගේ ගුණ සිහිකරන අදහසින් පමණක් ඔතනට ගියාද කියලා. මම නං හිතන්නේ නෑ ඒ ගිය පිරිසෙන් 2%ක් වත් එහෙම හිතාගෙන යන්න ඇති කියලා. මොකද එතැනට ගිය අය කියනවා ඇහුනේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් ගැන! ඇත්තටම ආගම කියලා මිනිස්සු මේ මොනවද කරන්නේ?

ඊළඟට මහා වීරයෝ සෙට් එකක් බිලි පූජාවක් කරන එක කල් දාගත්තලු. කකුල් හතරේ සත්තු සෙට් එකක් බේරගත්තයි කියලා සමහරු කතා වෙන්නේ රෑ සෙට් වෙලා තටු ගැහුවත් පියාඹගන්න බැරි කුරුල්ලෙක්ගේ කටු සූප්පු කර කර! 

බිලි පූජාව කියන්නේ හින්දු ආගමිකයින්ගේ යම් විශ්වාසයක් නිසා කරන දෙයක්. හරියට අපේ බෞද්ධයෝ ලෙඩකදි දුකකදි බෝධි පූජා තියෙන්වා වගේ! ඔන්න දැන් වැරදියට තේරුම් ගන්න එපා. මං මේ කතා කරන්නේ එක එක ආගම් අදහන අයගේ විශ්වාස ගැන මිසක් සත්තු මැරීම පව්ද පින්ද කියන එක ගැන නෙමෙයි!  බෝධි පූජාව කියන්නේ ගහකට වැඳිමක්, ඒක හෙන ගෝත්‍රික හැසිරීමක් ඒක තහනම් කරන්නැයි කියලා වෙන ආගමක සෙට් එකක් අධිකරණයකට ගියොත් අපේ බෞද්ධ උපාසක ඇත්තන්ට කොයි වගේ සිතුවිලි පහල වෙයිද? ඒ හා සමානම සිතුවිලි හින්දු ආගමිකයින්ට මේ වෙනකොට ඇති වෙලා නොතිබ්බොත් තමයි පුදුමේ!

කොහොමහරි පහුගිය දවසක අධිකරණෙන් කියලා තිබ්බා බිලි පූජාව නවත්වන්න නියෝග දෙන්න අධිකරණෙට බලයක් නැහැයි කියලා. මටනම් සතුටුයි. බෞද්ධයින්ටත් විශ්වාස ඇදහීම් තියෙනවානම්, අනික් ආගම් වල ඒවා නැති කරන්නැයි කියලා පෙළපාලි යන එක පිස්සුවක්! ඒකත් හරියට නිකං "ඔයා ඔහොම කමෙන්ට් කරනකොට කැතයි. අපි ඕකම මෙහෙම කියනවා. ඒවා ලස්සනයි" කියනවා වගේ! කෝකත් එකයි නම් ඇයි එකකට එහෙම කියන්නේ?

මේ කාටවත් යමක් තේරුම් කරන්නවත්, කාගෙවත් ඔළුවට යමක් බලෙන් දාන්නවත් ලියපු ලියවිල්ලක් නෙමෙයි. මගේ ඔළුවේ කැකෑරි කැකෑරි තිබ්බ වචන ටිකක් විතරයි! කොහොම හරි මේ දේවල් මේ විදිහට දිගින් දිගටම සිද්ධ උනොත් අපිට "අනේ යුද්ධේ තිබ්බනං හොඳයි" කියලා කියන්න වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි! මොකද යුද්ධයකට වඩා ආගමික උමතුව සෑහෙන්න දරුණුයි!


ප.ලි : මේ ලිපියටම දේශපාලනේ ගැනත් යමක් ලියන්න උවමනාව තිබ්බත් මට ඒ ගැන කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මොකද කෑගහගෙන, කුණුහරුප කියාගෙන, ගහගෙන, මරාගෙන, අපහාස කරගෙන මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ බලයට එන්න හදන්නේ අපේ රට සෞභාග්‍යමත් කරලා අපි වගේ සාමාන්‍ය ජනතාවට යහපතක් කරන්නනේ කියලා මතක් වෙනකොට මගේ පපුව රිදෙන්න ගන්නවා!


[ පිතූරෙ - http://www.rudyh.org/rudyh-images/religion-heaven.jpg ]

Friday, September 7, 2012

අහම්බය...


ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන ඇසෙද්දීම සිතෙන්නේ එය කිසියම් අද්භූත බලවේගයක් නිසා සිදුවන බවයි. අද්භූත බලවේග විශ්වාස නොකරන මම, මාගේ ශබ්ධකෝශයෙන් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන කටුගා දමා ඒ වෙනුවට අහම්බය යන තනි වචනය භාවිත කරමි.

ඇය මා හමුවීමද අහම්බයකි.

එතරම් සෙනඟ නොමැති බස් ර‍ථයේ පිටුපසට වන්නට තනි ආසනයක මා වාඩිවී සිටිමි. ඇය ඉදිරිපස දොරටුවෙන් බසයට ගොඩ වූවාය. එක එල්ලේම මදෙස බැලූ ඇය, ඇස් ඉවතට නොගෙනම මදෙසට පිය නඟයි. ඇඟේ පැහැපත් මුහුණේ පැහැදිලි හැඟීමක් කියවීමට මා අපොහොසත් වූ අතර ඇය මට ඉදිරියෙන් වූ අසුනේ හිඳ ගත්තාය. බස් නැවතුම් කීපයක් පසු විය. අසුනෙන් නැඟී සිටි ඈ කුඩා කොල කැබැල්ලක් මා අත තබා ඊළඟ නැවතුමෙන් බැස ගියාය. එහි ඇත්තේ ඇගේ දුරකතන අංකයයි. 

කෙටි පණිවිඩ කිහිපයක් පමණක් වැයකොට පසු දින මුණ ගැසී විනාඩි කීපයක කතාවකින් අනතුරුව කුලියට ගත් කාමරයක පැයක් ගතකොට  පටන්ගත් අපේ සම්බන්ධයට නමක් නොතිබිණි. අපේ සම්බන්ධයට ආදරය යන නම යොදා අපවම රවටා ගැන්මට ඇයටත් මටත් උවමනාවක් නැත. ඇයට මගේ නමද මට ඇගේ නමද හැරුණු කොට අන්කිසිවක් දැනගැන්මටද උවමනාවක් නැත.

පාළු මං මාවත් වල, බොහෝ කලබල මුහුදු වෙරළ වල, චිත්‍රපට ශාලා වල, පැයකට වෙන් කරගත් කාමර වල දින සති ගෙවී යයි.
පැයක කාලය අවසන් වීමට තව විනාඩි පහළොවක් ඉතිරිය. මාද ඇයද ඇඳේ වැතිර සිටිමු. සිවිලිමේ එල්ලා ඇති හෙමින් කැරකෙන විදුලි පංකාවේ 'කරස්' 'කරස්' ශබ්ධය ඇසෙන තැන සෙවීමට මගේ දෑස් වෙහෙසෙන අතරතු....

"ඔයාට කෙල්ලෙක් ඉන්නවද?"  ඇය අසයි

"නෑ"

"වෙන්න බෑ..."

"ඇයි?"

"ඔයාගේ තොල් ලස්සනයි"

"එහෙනං ඔයාට කොල්ලෙක් ඉන්නවද?"

"නෑ... මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑනේ.."

"ඒ උනාට ඔයාගේ ෆිගර් එක ලස්සනයි"

"මං කිව්වේ මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑ කියලා"

"ඒ උනාට..........." වාක්‍යය නිමා කිරීමට ඇගෙ තොල් මගේ තොල් වලට අවසර නොදෙයි.

***********************

ආදරය යනු හිස් වචනය පමණක් බවට ඈ කරන තර්ක බිඳ දැමීමට මට නොහැකිය.

"ආදරේ කියලා දෙයක් නෑ. ඒක බොරුවක්"

"එතකොට අර පොඩි ළමයගේ අම්මාගෙයි තාත්තාගෙයි අතර තියෙන බැඳීම මොකක්ද?" තම සිඟිති දියණිය සමඟ මුහුදු වෙරළේ සෙල්ලම් කරනා තරුණ දෙමාපියන් දෙසට ඇඟිල්ල දික් කරමි. 

"ඒ ආසාව සහ බලාපොරොත්තුව"

"විකාර!"

"ඔව් එක විදිහක විකාරයක් තමා.... ඔයයි මමයි කාමරේකට යන්න තියෙන ආසාවම එයාලා ළඟත් ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාලගේ බලාපොරොත්තුව තියෙන්නේ අර හයක් හතරක් නොතේරෙන පොඩි ළමයා ගාව."

"ඒ කිව්වේ?"

"ඒ කිව්වේ ඒ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා තමන්ට තනියම යමක් කරන්න බැරි කාලෙට ඒ ළමයා ඒ අයව බලා ගනී කියලා"

"ආත්මාර්ථකාමී නේ!"

"ඉතිං හැමෝම එහෙම තමයි. ඔයයි මමයි උනත්"
මම නිශ්ශබ්ධ වීමි.

***********************

රෑ එළිවෙන තුරු කරන දුරකතන සංවාද අප අතර නැත. යළිත් මුණ ගැසෙන තැනක වෙලාවක් ස්ථිර කරගැනීමට දින කිහිපයකට වරක් කෙරෙන මිනිත්තු තුන හතරක සංවාදයක්, කෙටි පණිවිඩ දෙක තුනක් පමණි. නමුත් ඇය මා මුණ ගැසුන විට අපි ගැන අඩුවෙන්මද තව බොහෝ දෑ ගැන ද සාකච්ඡා කරමු.

"දන්නවද වැඩක්?" මම අසමි.

"නෑ"

"අද මගේ උපන්දිනේ"

"මොන අවුරුද්දෙද?"

"අසූ නමයේ"

"අපෝ පොඩි එකෙක්නේ!"

"ඇයි ඔයා කීයෙද?"

"අසූ හයේ"

"නාකි ගෑණියෙක්!"

***********************

අපේ නිර්ණාමික බැඳීමේ පුද්ගලික තොරතුරු හුවමාරුව අල්ප වීම මත අප අතර විඳවීම් ඇත්තේම නැත. ඇත්තේ විඳීම් පමණි. නමුත් මහා ලේඛකයන් කියන පරිදි ආදරය යන බැඳීම ශක්තිමත් වන්නේ ප්‍රශ්න ගැටළු ඇති විටය.  ප්‍රශ්න ගැටළු නැති අපේ නිර්ණාමික බැඳීම ශක්තිමද්ද නැද්ද යන්න අපි නොදනිමු. එය දැනගැන්මට අපට උවමනාවක්ද නැත.  ශක්තිමත් වූ බැඳීම් යනු හිතට වේදනාවක් පමණකි.

කාමරයක ගතකළ පැයක් අවසානයේ අප නිවෙස් බලා යන මොහොත පැමිණ ඇත.

"අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා"

"ඔයා කැමතිද?"

"ඔව්! ඒ හින්දා මට ආයේ එන්න වෙන්නේ නෑ. මම නොම්මරෙත් මාරු කරන්න හිතාගෙන ඉන්නේ"

"නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"

"ඒ ඔයානේ..."
කිසිඳු හැඟීමකින් තොරව ඈ යන්නට යයි.

"මේ දන්නවද?" පියවර කීපයක් ගිය ඈ ආපසු හැරී කතා කරයි.

"නෑ"

"එයාගෙත් තොල් ලස්සනයි!"
සියුම් සිනහවක් ඇගේ මුවේ ඇඳිනි. නැවත ගමන පටන්ගත් ඈ යන්නටම ගියාය.

ඇය මා හමුවීම මට යහපතක් හෝ අයහපතක් නොවූ තැන, ඒ හමුවීම නිකම්ම නිකම් අහම්බයක් පමණකි. නමුත් අපූරු අහම්බයකි!





Wednesday, July 25, 2012

එහෙමනං එහෙමයි!




http://media.photobucket.com/image/funny%20owl/profsword/buWoti.gif?o=16

"සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා" 

කියලා කියන අමරදේවගේ සිංදුව දැං අහන සමහර උං හිතාගෙන ඉන්නේ අමරදේව සිංදුව කියන කාලේ මේක හෙන සුරපුරය කියලා. රෙද්ද තමයි. ඒ කාලෙත් ලිංගික අසහන කාරයෝ හිටියා. කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ හිටියා, විප්ලව කාරයෝ, සමනලයෝ, දේසපාලුවෝ හිටියා ගින්න නිවෙනකං නැට්ට පුකේ ගහං ඉඳලා පස්සේ හින්ට් ගහන බල්ලොත් හිටියා. උං දැනුත් ඉන්නවා. ඒකාලේ මිනිස්සු නොදන්න දැන් හැම එකාම දන්න අලුත් දේ තමයි ඉන්ටර්නෙට්! "ඉස්සර ලංකාව හරී සෝයි දැන් තමයි කක්කි" කියලා හිතාගෙන ඉන්නවනං එක්කෝ උංට මොංගල්. නැත්තං සීත රටවල සෑහෙන කාලයක් ඉඳලා මොංගල් වේගෙන යනවා.

සමහර උං ඒසී කාමරේක පුටුවකට වෙලා එහෙට මෙහෙට කැරකි කරකි ඉන්ටර්නෙට් එකෙං සිංහල අකුරු ටිකක් කියවලා ලංකාවේ සමාජේ ගැන *රි ටෝක්(ලොරි ටෝක්) දෙනවා. ඔය ෆේස්බුක් එකේවත් බ්ලොග් වලවත් මවා පාන අහිංසක, ජාති හිතෛෂි, ජාති මාමක ලාමක ටිංටිං චරිත නෙමෙයි උන් හැබෑ ජීවිතේදී. ෆේස්බුක් වල බ්ලොග් වල හෙන සමාජශීලී චරිත මවං ඉන්න උන් හැබෑවටම මිනිහෙක් එක්ක කතා කරන්නෙ නැති පට්ට ලැජ්ජාශීලී උන් කියලා මං ඇස් දෙකටම දැක්කා. කියන්න තියෙන දේ කෙලින් කියලා තියෙන කමෙන්ට් එකක් දැක්කාම උඹලට මාර මැජික් නේද? සංයමයක් ඇතිව කියන්නැයි අරකයි මේකයි හෙන *රි ටෝක්(ලොරි ටෝක්). දැන් සීත රටක ඉඳං චෙරීස් බෙරීස් කකා ඉස්සර ලංකාව සෝයි දැං කක්කි කියන උඹලා ඉස්සර ලංකාවේ හිටපු කාලෙකවත් සමාජේ විවිධ ස්ථරවල විවිධ පුද්ගලයන්ව ආස්‍රය කරලා නැතුව ඇති. ඒ නිසයි ඔහොම බොලඳ කතා කියන්නේ. ටයි කෝට් දාගෙන මිනී මරන, බඩු ගහන ලෝකෙට හොඳ මූණ පෙන්නං ඉන්න ලොකු ලොක්කන්ට වඩා බඩු කාරයෝ, පාතාලේ උන් කියලා හංවඩු ගහලා තියෙන සමහර උන්ට ලේසියෙන් මිනිහෙක් ගාව දකින්න නැති හොඳ ගතිගුණ තියෙනවා මං දැකලා තියෙනවා. සමහර උං මහා ලොකුවට උඩදාං ඉන්න ආගම් මුඩුක්කුවල විකිණෙන්නේ රුපියල් පන්සීයට. ඒ ගාණට උං ඕන ආගමකට හැරෙනවා. ඒ මිනිස්සු එහෙම කරන්නේ එදාවේල හොයාගන්න මිසක් අනේ "දැං ලංකාව කක්කි මං යනවා වෙන රටකට" කියලා නෙමෙයි.

ඇලිස්ගේ විශ්මලන්තය කියන්නේ ෆැන්ටසි එකක් කියලා උංට හොඳටම තේරෙනවා.(තේ රෙනවා නෙමෙයි!) ඒක කවදාවත් රියැලටි එකක් වෙන්නේ නෑ කියලත් උංට තේරෙනවා. ඒත් උං ඒක දැන දැනම ෆැන්ටසි එකම බලාපොරොත්තු වෙනවා. පිස්සු නේ? ඔය ඉන්න තැන් වලින් පහලට බැහැලා පොළවේ පය ගහලා ජීවත් වෙයං. සමාජේ කක්කි ඒ උනාට අපි බ්ලොග් අවකාසේ සුරපුරයක් කරමු වගේ *රි ටෝක්(ලොරි ටෝක්) එපා. ඒ කක්කි සමාජේ උන්ම තමයි බ්ලොග් ලියන්න එන්නෙත්. එතකොට බ්ලොග් අවකාසේ කින්නෙත් කක්කි ගොඩක් විතරයි. උඹලා එක්කෝ ඕක දන්නෑ. නැත්තං දන්නෑ වගේ රඟපානවා. ඉන්ටර්නෙට් එකේ සිංහල අකුරු ටිකක් කියවලා "දැන් සමාජේ කක්කි වෙලා. අනේ මට ලංකාවට එන්න බය හිතෙනවා" වගේ බබා **කුං(බබා උක්කුං) දානවට වඩා උඹලා ඔය ඉන්න තූත්තුකුඩියකම ඉන්න එක හොඳයි. කල්ප කාලාන්තරේකට සැරයක් ලංකාවට පය තියලා ලංකාවේ සමාජේ ගැන *රි ටෝක්(ලොරි ටෝක්) දෙන පියරු බබීලටනං උඹලගේ ඔය කතා මාර ලොකු ඇති. අපිටනං ඕවා ළඳරු ටෝක්!
මට මතක් උනේ දන්න කියන බ්ලොග් කාරයෙක් ලිව්ව කවි පෙලක කවියක්.
අන්තර්ජාලේ තියෙන දේවල් වෙන දේවල් උඹලා කැමති කැමති විදිහකට වෙනස් කරන්න බෑ. බ්ලොග් කියන්නෙත් අන්තර්ජාලෙම තියෙන පුංචි කෑල්ලක්. උඹලා කැමති විදිහට අනික් උන් ලියන්නේ නෑ. බ්ලොග් අවකාසේ මෙහෙම ලස්සන කරමු වගේ *රි ටෝක්(ලොරි ටෝක්) දෙන්න එපා. උඹලා උඹලගේ කොටුවල ඉඳං අනික් උන්ටත් ඒ කොටුවට කතා කරන්න එපා. ඒවා ගොං ජෝක්!

ඇත්ත ඇනෝනිමස් හෝ සුඩෝනිමස් වීම අන්තර්ජාලේ භාවිතා කරන්නන්ගේ අයිතියක්. ඒක ගැන ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නෑ. බලපං උඹලට ඒකත් තේරෙනවා. ලිපිය මිසක් ලේඛකයාගේ අනන්‍යතාවයත් වැඩක් නෑයි කියන උඹලම අනික්පැත්තට අර ඇනෝ බ්ලොග් එක මෙයාගේ, අර ඇනො ලිපිය අරූගේ, අර ඇනෝ කමෙන්ට් එක අරකිගේ කියලා හතර අතට ඇඟිල්ල දික් කරනකොට මට හිනා බං. සිරාවට දෙපැත්තෙන්ම! අනික් උන්ට එපා කියලා උඹලා එහෙට මෙහෙට හින්ට් ගගහා "මහත්තුරුනි ඔබලා එහෙම කුහක කම් කරන්න එපා" කියනකොට මට ආයෙත් හිනා යනවා බං. සිරාවට දෙපැත්තෙන්ම!

හොඳවෙන තුවාල ආයේ ආයේ පහුරුගාන්න උඹලා ඔය පැත්තෙං පටං ගන්නවනං මාත් ඕනවෙලාවට ලෑස්තියි මේ පැත්තෙං පටං ගන්න. තුවාලේ කාගේ උනාම මොකද කාට රිදුනාම මොකද අපිට රිදෙන්නැත්තං! උඹලා ඔය පැත්තෙන් පහුරුගාපං මං මේ පැත්තෙං පහුරුගාන්නං. උඹලා ෆැන්ටසි ගැන ලියපං. මං රියැලිටි ගැන ලියන්නං. හැබැයි මේකත් මතක තියාගනිං "ඇත්ත තිත්තයි. සීනි පැණිරහයි!"

මුලින් පෝස්ට් එක දාලා පස්සේ හදිස්සියේ මතක්වෙලා හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියාගෙන දාන ඩිස්ක්ලේමර් අපි ළඟ නෑ. මේක ලිව්වේ උඹලටමයි. ඒ කිව්වේ පිටරට ඉන්න හැමෝටම නෙමෙයි. පිටරට ඉඳං ඉන්ටර්නෙට් එකේ සිංහල අකුරු ටිකක් කියෝලා "අනේ දැං ලංකාව හරී දරුණු වෙලා මට ලංකාවට එන්නත් බයයි" වගේ *රි ටෝක්(කීපාරක් කිව්වද බං ඕක ලොරි ටෝක්!) දෙන අයියීලා අක්කීලා කට්ටියකට.  උන් කමෙන්ට් කරන්න මෙහෙ එන්නෑ. ඒ නිසා කමෙන්ට් එපා!

http://snappedshot.com/uploads/captainfish/AngryCat-middlefinger.jpg
Related Posts Plugin for WordPress, Blogger...