Friday, December 31, 2010

දුක සතුට මැද 2010 අවසාන විය.....


2010 අවසානයි
ලද දේවල් ගොඩාරියයි
නොලද ඒවා ගොඩාරියයි
2011 ට අරගෙන යන
සිතුම් පැතුම් ගොඩාරියයි
දුක් වුන තැන් ගොඩාරියයි
සතුටු වූ තැන් බොහොම ටිකයි

ගොඩක් තිබ්බේ දුකම වුනත්
විඳෙව්වේ නෑ හිතට අරන්
සුසුම් හෙලා කඳුලු සලා
දුක අරගෙන දියකර මම
හැරියෙමි එය පා කරලා

ටිකක් තිබ්බ සතුට අරන්
වින්දෙමි මම ගොඩාරියක්
සතුට යලිත් සිහිකරමින්
සතුටු වුනෙමි තවත් වරක්
නව වසරෙත් එහෙම වේවි
සැලෙන්නෙ නෑ කිසිවිටෙකත්

මේ වසරෙදි වුන දේවල්
සෙමින් හැරී හොරෙන් බලා
ලබන වසර වෙත යන්නෙමි
දෙනෙත් හැරා
හොඳින් බලා
  
ලබන්නා වූ 2011 නව වසර ඔබගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!!

Thursday, December 30, 2010

එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්......


මූණුපොතෙන් හමුවී දොඩා
ඇය 'බොරුව' නම් ලැංවේජයෙන්
'ආදරය' නැමැති වෛරසය සාදා
මගේ 'හදවත' නැමති හාඩ් ඩිස්කයට
ඇතුලු කළාය
අපි ස්කයිපයෙන් මල් කැඩුවෙමු
එකල ප්‍රේමය ඔන්ලයින්ය
මූණුපොතෙන්ම ලද විශ්වාස කටයුතු
ආරංචි නිසා
'මම' නැමති සිස්ටමයට
'අවිශ්වාසය' නැමති ස්පයිවෙයාරයද ඇතුලුවී
'මම' නැමති සිස්ටම් එක අවුල් කළේය
"හැමදේම වෙන්නේ හොඳටයි" නැමැති
වෛරස් ගාඩය යෙදූ මම
වෛරසය ඉවත් කළෙමි
දැන් 'ආදරය' නැමති වෛරසය නැත
'අවිශ්වාසය' නැමති ස්පයිවෙයාරයද නැත
නමුත්
වෛරසය මැකී යාමේදී
'හදවත' නැමති හාඩ් ඩිස්කය
පළුදු වී ඇත
ඒවා කෙමෙන් කෙමෙන්
යථා තත්වයට පත් වෙමින් පවතියි
ඒ ප්‍රේම කතාව දැන් සදහටම ඕෆ්ලයින්ය


ප.ලි: ඇය හමුවූ දා සිට මා ඇයට අවසා ඊමේලය යවන දිනය දක්වාම 'ආදරය' නැමති වෛරසය මෙන්ම තව දුක, සතුට, තරහව ආදී තව නොයෙක් නොයෙක් කුඩා ප්‍රෝග්‍රෑම සෑදීම සඳහා භාවිතා කර තිබුණේද 'බොරුව' නැමති ලැංවේජයයි. 

Monday, December 27, 2010

පොෂ් (පුස්) කට්ටිය (සත්‍ය කතා කීපයක්)


අපි ඒ ලෙවල් ඉවර වෙලා උසස් අධ්‍යාපනේ විශ්වවිද්‍යාලෙකින් හරි වෙනයම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් හරි ලබාගන්න යනවනේ. එතකොට බොහෝමයක් වෙලාවට අපිට ඒ දේවල් කරන්න වෙන්නේ කඩ්ඩෙන්. විශ්වවිද්‍යාල වල කෙසේ වෙතත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට එනවා පොඩිකාලේ ඉඳන්ම කඩ්ඩෙන් ඉගෙන ගත්තු කට්ටිය. සමහර අය හරි අමාරුවෙන් සිංහල කතා  කරන්නේ. තවත් කට්ටිය බොරුවට පේන්න සිංහල බෑ වගේ කතා කරනවා. කොහොම හරි මේ තියෙන්නේ ඒ වගේ සමහර අයගේ ගැන ඇත්තම ඇත්ත සිද්ධීන් කීපයක්.

ඔන්න ඉතිං ඉන්නවා එක කොල්ලෙක්. මිනිහා හරිම පොෂ් හරි අමාරුවෙන් සිංහල කතාකරන්නේ. හැබැයි මිනිහා සිංහල බෞද්ධ. සිංහල ලියන්න පොඩ්ඩක්වත් බෑ කියවන්නත් බෑ. මිනිහගෙන් අහුවාම මිනිහා සිංහල ලියන්න කියවන්න බෑ කියන්නේ බොහෝම ආඩම්බරෙන්. හැබැයි මම හොඳටම දන්න දෙයක් මිනිහගේ දෙමව්පියෝ මිනිහත් එක්ක සිංහලෙන් කතාකරනවා. අපි එයාට මෙනැන් ඉඳන් සුපුන් කියමුකෝ.

දවසක් මමයි මගේ යලුවෙකුයි අවසන් වරට වෙනස් වූ අය වැය ගැන සාකච්චාවක්. සුපුන් ළඟින් ඉන්නවා එයාගේ මාමා ඇමෙරිකාවෙන් එවපු ලැප්ටොප් එක ඔබ ඔබා.

සුපුන්: මොකක්ද බං අය වැය කියන්නේ?

මම: (කතාකරමින් සිටි යාලුවාට) මූට ඉතිං සිංහල බෑනේ. කඩ්ඩෙන් කිව්වම තේරෙයි. (සුපුන්ට)අය වැයට කඩ්ඩෙන් කියන්නේ බජට් එක කියලා. දැන් උඹට තේරුනා නේද මොකක්ද අය වැය කියන්නේ කියලා.

සුපුන්: ආහ් හරි හරි.

ආයෙත් මමයි යාලුවයි කතාව පටන් අරන් ටිකක් වෙලා යනකොට

සුපුන්: මේ...... මොකක්ද බං බජට් එකෙන් වෙන්නේ?
මගේ කටට ආවා හොඳ වචන දෙක තුනක් අමාරුවෙන් ඒවා නවත්තගෙන සුපුන්ට සරලව පැහැදිලි කළා මොකක්ද බජට් එක කියන්නේ කියලා. කියපුවා තේරුනාද දන්නේ නෑ.
------------------------------------------------------------------------------
මේ කතාවත් සුපුන් ගැනමයි.


සුපුන්ගේ තියෙන්නේ හරි ලොකු කතා. කතා කලොත් කතා කරන්නේ කෝටි ගණන් වලින්. ඒත් කිව්වම මොකෝ හදිස්සියකට සුපුන්ට කෝල් එකක් දෙන්න ගියාම අපිට පිස්සු හැදෙනවා මොකද අද කාලේ මොන්ටිසෝරි ළමයි ළඟ උනත් තියන ජංගම දුරකතනයක් සුපුන්ගාව නැති නිසා. තව දවසක්

මම: මචං ෆෝන් එකක් ගනිංකෝ බං හදිස්සියකට උඹට කෝල් එකක්වත් දෙන්න විදිහක් නෑනේ.

සුපුන්: එකක තිබ්බා බං

මම: කොහේද ඇමෙරිකාවේ මාමා ගාවද?

සුපුන්: නෑ බං මා ගාව තිබ්බා N95 එකක්.

මම: නෑ....... කෝ ඉතිං ඒක?

සුපුන්: ඒක නැති උනානේ බං.

මම: අපරාදේ කවුරුහරි හොරකම් කරලද?

සුපුන්: නෑ බං.

මම: එහෙනම්

සුපුන්: මගේ කාමරේ මචං ඇඳවල් දෙකක් තියනවා. එකක් ලැප්ටොප් එක තියාගෙන වැඩ කරන්න. අනික නිදාගන්න. ඔය ලැප්ටොප් එක තියන ඇඳ ටිකක් හැඩිවෙලා තියෙන්නේ. ඒකේ උඩ ෆෝන් එක දැම්මා දැන් ඒක නෑ බං.

සුපුන් මට ඔය කතාව කියලා දැන් මාස 6කට කිට්ටුයි. හැබැයි මිනිහට තාම ෆෝන් එක හම්බවෙලා නෑ. අනේ උගේ N95 ........
------------------------------------------------------------------------------ 

මේ කතාවට සම්බන්ධ කෙනාගේ නම අපි තරුෂි කියලා ගමුකෝ.
ඔන්න දවසක් මම යාලුවෙක් එක්ක ළමයි පොඩි කාලේ ඉඳන්ම ඉනර්නැෂනල් ඉස්කෝල වලට යැවුවාම එයාලට අපේ සංස්කෘතිය, අතීතය ගැන දැනුමක් නැති තරම් කියලා කතාවෙනවා.

මම: බලපන් දැන් අපේ සුපුන් මිනිහට සිංහලත් බෑ. ආයේ උගෙන් අතීතේ ගැන මුකුත් අහන්න පුළුවන්ද?

සුපුන්: (ආඩම්බරෙන්)අනේ අනේ මේ මගෙන් නම් ඕවා අහන්න එපා. මම ඕවා දන්නේ නෑ.

මම: බලපන් දැක්කනේ... තරුෂිත් ඔයවගේම තමයි.

තරුෂි: අනේ මේ ඉන්නවා... මට සිංහල ලියන්න කියවන්න පුලුවන් ඉන්ටර්නැෂනල් ගියාට මම අපේ රටේ සංස්කෘතිය අතීතෙ දන්නවා.

මම: හරි එහෙනම් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

තරුෂි: හා අහන්න ඕන එකක්.

මම: හ්ම්ම්ම්ම්ම් හරි කියන්න බලන්න කවුද විජය කුමාරයා කියන්නේ කියලා.

තරුෂි: අයියෝ ඕකද ප්‍රශ්නේ..... ඕක සිම්පල් නේ.

මම: හරි ඉතිං සිම්පල් නම් උත්තරේ දෙන්නකෝ.

තරුෂි: විජය කියන්නේ............. චන්ද්‍රිකාගේ හස්බන්ඩ්නේ අනේ.

චන්ද්‍රිකාගේ හස්බන්ඩ්????  o_O මොකටද මගේ කට...........

ඔන්න පොෂ් කට්ටිය. පොෂ් ද පුස් ද?
සමහරු හිතන් ඉන්නේ සිංහල බැරි කම තමයි පොෂ් කියන්නේ කියලා. පොෂ්????? මොකක්ද හැබෑට ඔය පොෂ් කියන්නේ......

Friday, December 24, 2010

ගණිකාව............



වලත්තකම නිසාද බං ඕවා කරන්නේ

නෑ බං ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසානේ

ඉතිං ඒ වලත්තකම තමයි යකෝ

උඹට පිස්සු ඉගෙන ගත්තේ නැති ඒ ගෑණිට ඔය තරම් සල්ලි හොයන්න පුලුවන් වෙන රස්සාවක් කියපං පුලුවන්නම්

කුඩු බිස්නස්

උඹ හිතුවද කුඩු ගෙදර හදනවා කියලා ඊට වඩා ඕක ලේසිනේ බං

ලේසි... ලේසි නෙමේ උන්ට කියන්නේ *සි

කව්ද දන්නේ බං උන්ගේ ගෙවල් වල මොන මොන විදිහේ ප්‍රශ්න තියනවාද කියලා. උන් ඕක කරලා හොයන ගානෙන් කීදෙනක්ව ජීවත්කරනවද කව්ද දන්නේ

ඒ වුනාට හොඳ ගෑනියෙක්ගෙන් අහපන් නොකා නොබී මැරිලා ගියත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලයි කියන්නේ

කෑම බීම ප්‍රශ්නද බං ඊට වඩා ප්‍රශ්න තියන මිනිස්සු නැද්ද ලෝකේ

උඹ මොකද උන්ව සාධාරණීකරනය කරන්නේ

නෑ බං මම කියන්නේ මේකයි වලත්ත කමට ඕවා කරන උනුත් අති සමහර විට වෙන කරන්නම දෙයක් නැති තැන ඕවා කරන උනුත් ඇති බං

උඹට පිස්සු *සි *සිමයි

උඹ ඕන එකක් හිතා ගනින්.....

Tuesday, December 21, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට පැමිණි චාටර් බුවාලා


Taboo subjects හි "කාලිංග අයියා බ්ලොග්කරුවන්ට දුන් සාඩම්බර එළවළු බත් දන්සැල" නමින් ලිපියකි. ඒ ලිපියට සබඳියක් ලබා දුන්නේ නැත්තම් මේ ලිපිය කියවන ඒත් ඒ ලිපිය නොකියවූ අයට කරන අසාධාණයක් නේ. ඔන්න ඒ නිසා සබඳියක් දැම්මා. කොහොමින් කොහොම හරි ටැබූ ලියලා තියෙන්නේ එයා දාපු ලිපිය එයාට කව්දෝ පාඨකයෙක් එව්වා කියලා. මම නම් ඉතිං කියන්න දන්නේ නෑ ඒ ඇත්තද බොරුද කියලා. ටැබූ කියන නිසා ඔන්න මම ඒක පිළිගන්නවා. ඉතිං මට පුදුම ඒක ලියපු කෙනා ඒක එයාගේ බ්ලොග් එකේ දාන්නේ නැතුව ටැබූට දුන්නේ ඇයි කියලා. සමහර විට ඒක ලියපු කෙනා කෙලින් කතා කරන්න බය කෙනෙක් වෙන්න ඇති. මටත් මොකක් හරි අසාධාරණයක් දැක්කාම කට පියාගෙන ඉන්න බැරි නිසා වගේම හැංගි හැංගි ලිපි ලියලා අනිත් උන්ට බාර දෙන්න අකමැති නිසා ඔන්න ඕන දෙයක් වෙච්චදෙන් කියලා මේක මගේ බ්ලොග් එකේම ලියනවා.

ඒ ලිපියට අදහස් තොගයක්ම වැටිලා. වැඩේ කියන්නේ එකම නමින් එක එක අය අදහස් දක්වලා. එක්කෙනෙක් එකක් කිව්වමා ඒ නමින්ම තව කෙනෙක් ඇවිත් කියනවා ඒ මම නෙමෙයි කියලා. මට පිස්සු වගේ ඇත්ත එකා හොයන්නත් බෑ බොරු එකා හොයන්නත් බෑ. කවුරු හරි අනුන්ගේ නමකින් අදහස් දක්වන්නේ. වෙන මොකක්ද ඉතින් බියගුලු ගතියනේ. ඒ ලිපිය ලියපු කෙනාගේ බ්ලොග් එක කාලිංග අයියලාගේ සින්ඩියේ නෑ මම හිතන්නේ. ඒ තරහටත් එක්ක තමයි ලියලා ඇත්තේ. මොනවා කරන්නද ඒ එයාගේ අදහස්නේ මේ මගේ ඒවා ඕං.

ඒ ලිපිය ලියූ  අහිංසකයා මුලින්ම සිංහල යුනිකේත විවේචනය කරලා. ඒත් වැඩේ කියන්නේ ඒ ලිපිය ලියලා පල කරලා තියෙන්නෙත් සිංහල යුනිකේත භාවිතා කරලමයි. ඊළඟ ඡේදෙන් කියලා තියෙන්නේ එතන හිටපු සමහර අයගේ බ්ලොග් අඩවි එයා කලින් අහලා නැතිලු. එයා ඒක කියන්නේ හරියට සින්ඩි ඔක්කෝගෙම තියන බ්ලොග් අඩවිටික එයාට කට පාඩමෙන් කියන්න පුළුවන් වගේ. බොරු බයිලා ඕනේ නෑ මම දන්නේ නැති බ්ලොග් අඩවිත් එතන ඕන තරම් තිබ්බා. ඇරත් මගේ බ්ලොග් අඩවිය උනත් වැඩි දෙනෙක් දන්නේ නෑ. ඒවා දැන ගන්න එක්ක තමයි සුහද හමුවක් තිබ්බේ. කමෙන්ට් මොඩරේට් කරන්නේ ඔය අනුන්ගේ නම් වලින් ඇවිත් කුණුහරුප දාන අයගෙන් වගේම නමක් ගමක් නැති කමෙන්ට් දාන අයගෙන් තමන්ගේ අඩවිය ආරක්සා කරගන්නනේ. නැත්තම් ඔල්මොරොන්දං උන් ඇවිත් ගොං කමෙන්ට්ස් දානවනේ. ලිපි ලිය ලියා අනුන්ට දීලා පලකරගන්න අයට ඔය ප්‍රශ්න තේරෙන්නේ නෑ.

කාලිංග අයියලා සුහද හමුවක් සංවිධානය නොකරන්න අපිට බ්ලොග් ලියන කියවන අයව හමු වෙන්නේ නෑනේ. මොකද ඔය පොර ටෝක්ස් දෙන කට්ටියට පුළුවන්ද ඒ වගේ දෙයක්වත් කරන්න. ඒක ලියපු කෙනා කියන විදිහට ඕං මාලිංග ගේ නම හැදිලා තියෙන්නේ මේ විදිහට වෙන්න ඇති. මහා+ලිංග= මාලිංග (සමාවෙන්න මේ තියරිය මගේ නෙමෙයි ඒ ලිපිය ලියපු කෙනාගෙමයි.)
ඒ ලිපිය ලියලා තිබ්බ ඔක්කොම ඒවා අරන් පහදන්න මට උවමනාවක් නෑ. ඒත් මම මෙහෙම කියන්නම් ඒ ලිපියේ තියන කිසිම දේකට මම එකඟ නෑ.

ඒ ලිපියේ තියන කමෙන්ට් ගොඩේ මාරයා කියලා දාපු කමෙන්ට් එකක් තිබ්බා. ඇත්තටම මාරයා අයියා දැම්මද නැද්ද කියලනම් දන්නේ නෑ. ඒකේ ඇත්තක් තියනවා "කාලිංග කරන දේ කාලිංග ගෙනියයි.
ඔබලා කරන දේ ඔබලා ගෙනියයි. කාලිංග අඩුම ගානේ එහෙමවත් කරනවා
" ඉතිං ඔය මඩ ගහන එක පැත්තකින් තියලා වැඩකට ඇති වැඩක් කළානම් කොච්චර හොඳද. 
මට ගොඩාක් දුක හිතුනා ඒ ලිපිය ලියපු කෙනා කාලිංග අයියලා සල්ලි වියදම් කරලා හදලා අපිට නිකං දීපු බත් එක කාලා ගිහිල්ලා ලියලා තියන ලිපිය ගැන. මට ඉතිං ලියනවනම් ලියන්න තිබ්බා මීට වඩා දරුණු වචන වලින්. එහෙම ලියවෙයි කියලා තමයි ටැබූගේ ලිපිය දැකලත් පැය කීපයකට පස්සේ මේක ලියන්න ගත්තේ.

මගේ අදහස මේකයි ඒ ලිපිය කවුරු ලිව්වා උනත් ඒ කරලා තියෙන්නේ බොහෝම පහත් වැඩක්. මොකද එදා දවස පුරාම තිබ්බ දේවල් එකින් එකට අරන් ඒවා විවේචනය කරලා. ඒ කියන්නේ සුහද හමුව පිළිබඳ ඒ ලිපිය ලියපු පුද්ගලයට ලොකු ඊරිසියාවක් තිබිලා නැත්තම් මොකක් හරි වෛරයක් තිබිලා. නැත්තම් වෙච්ච හැමදේම වැරදියට දකින්නේ කොහොමද? කොහොමත් හොඳ වැඩක් කරන මිනිස්සුන්ට මඩ ගහන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. ඒ හැටි.

මට ඒ ලිපිය දැකලත් ඕනෙනම් කටපියන් ඉන්න තිබ්බා දැක්කේ නෑ වගේ. ඒත් කරුමේ කියන්නේ මට අසාධාරණේකදී එහෙම ඉන්න බෑ. 

කාට හරි මට බැනලා කමෙට් කරන්න ඕනෙනම් බයනැතුව ඒ අයගේ ඇත්ත ගිණුම් වලින් ලොග් වෙලා මට බැනලා යන්න. කලින්ම කියන්නම් මම කමෙට් මොඩරේෂන් දාලා තියෙන්නේ. හොඳක් කිව්වත් නරකක් කිව්වත්
Anonymous කමෙට්ස් පබ්ලිෂ් කරන්නේ නෑ.
හැමදේම විවේචනය කරන්න නෙමයි හොඳ දේ හොඳ විදිහටත් නරක දේ නරක විදිහට දකින්නත් පුරුදු වෙයල්ලා.

Sunday, December 19, 2010

බ්ලොග් කරුවන්ගේ හමුවේ වතගොත.....




ඔන්න ඉතිං මම උදේ පාන්දරින් මගේ යාලු අන්තිමයාත් එක්ක ගමන යන්න සෙට් උනා.  මිනිහා මට පැයක කට්ටක් සෙට් කළා නොවැ. කොහොමින් කොහොමින් හරි පාර හොයාගෙන ගොඩ උනා. 8.30 ට එන්ට කීවාට මොකෝ 9.30 පොඩ්ඩ්ඩක් පහු වෙලා වැඩේ පටන් ගත්තා. කාලිංග අයියා කිව්වේ එයාලා ප්ලෑන් කරල තිබ්බේ වැඩේ 9.30 ට පටන් ගන්නලු. 8.30 ට එන්න කිව්වේ කට්ටියගේ හැටි දන්න නිසා වෙන්න ඕනේ. මිනිහා මොළ කාරයා නිසා හොඳයි.
 
ඔන්න එතනට ගිය ගමන්ම පූසාට වත් අක්කාව මුණගැහුනා අප්පේ මාර සතුටුයි. බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ චරිතයක් ඒ වගේම මම ආසාවෙන් කියවන බ්ලොග් එකක අයිතිකාරි. වැඩේ පටන් අරන් ඉතින් එක් එක් කෙනාව ඒ අය විසින් හඳුන්වා දුන්නා. පූසාත් කලින් කට්ටිය ඉස්සරහා ම්යික් කටුවකින් කතා කරලා තිබ්බේ නෑ ගැහි ගැහී හඳුන්වලා දුන්නා එයා ගැනම.

කාලිංග අයියා ඇතුලු පිරිසගේ කැපවීම ගැන විශේෂයෙන් සඳහන් කරන්න නම් ඕනෙමෙයි. නැත්තම් ඒක ලොකු අසාධාරනේකටත් වඩා ලොකු පවක්. මම ඒ අයියා කියනකම් දැනගෙන හිටියේ නෑ එයාලගේ සින්ඩිය වගේම මේ හමුව ඇතුලු නොයෙක් නොයෙක් වැඩ කටයුතු එයාලගේ අතින් වියදම් කරගෙන කරනවා කියලා. ඔයාලත් දැනගෙන හිටියේ නෑ නේද?

තව සුහද හමුව පවත්වන්න අනුග්‍රහය දක්වපු මයික්‍රොසොෆ්ට් ආයතනයටත් ස්තූති කරන්න ඕනේ. ඒකට සහාය දීලා තිබ්බේ අපේ කාලිංග අයියගේ යාලුවෙක් නේ. එයාටත් බොහෝම ස්තූතියි ඕං. අද ගොඩාක් කතා වුනේ තාක්ෂණික පැත්ත ගැන නිසා ඒ පිළිබඳ වැඩි දැනීමක් නැති උදවියටනම් ටිකක් කම්මැලි වුනා වගේ දැනුනා ඒ වෙලාව.

ඒ සේරම ඉවර වෙලා තමයි මට මාරයා අයියාවයි, මුචලින්දවයි සෙට් වුනේ. (මම කලින් පෝස්ට් එකේදී කිව්වනේ මුචලින්ද නිසා තමයි මම බ්ලොග් ලියන්න ආවේ කියලා) ඉතිං ඒ වගේ පුද්ගලයෙක් හම්බ වුනාම කොච්චර සතුටුයිද. පස්සේ ආව ඔක්කෝමලා සමූහ ඡායාරූපෙකටත් පෙනී හිටියා. තව අපිට දිවා ආහාර වේලකුත් ලෑස්ති කරලා තිබ්බානේ.

පස්සේ කාලා බීලා කට්ටියත් එක්ක චැට් එකක් දාලා පොටෝ ටිකක් එහෙම ගත්ත. ඔය වෙලාවේ තමයි අපේ මාරයා අයියා දකින දකින කැමරාව ඉස්සරහා හිටගන්න පටන් ගත්තේ. හරි අමාරු උනා මිනිහාව නවත්තන්න.

ඇත්තටම බොහෝම සතුටුයි බ්ලග් ලියන ගොඩාක් අයව හම්බ වෙලා කතා කරන්න පුලුවන් උනා. හම්බ උන ඔක්කෝගෙ නම් ලියන්න නම් අමාරුයි. කොහොමහරි මේක සංවිධානය කරපු අනුග්‍රහය දක්වපු හැමෝටම තව පාරක් ස්තූතියි.

ප.ලි: මේ පොටෝ ටික හොරකම් කලේ රෝස වලාකුළු ලියන නෙරංජිගෙන්.
ආ කියන්න අමතක උනා බ්ලොග් කියවන අයත් ආවා.

Saturday, December 18, 2010

සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවේදී හමුවෙමු....


ගියපාර හමුවටත් යන්න බැරි වුන නිසා ඔන්න හෙටනම් මම අනිවා යනවා. මම දකින්න ආසා බ්ලොග් කාරයෝ කාරියෝ ගොඩාක් ඉන්නවා එයාලා ඔක්කොම එයිද කියන්න දන්නේ නෑ.


විශේෂයෙන් නම් සඳහන් කරනවානම්
මුචලින්ද,කතන්දර අයියා, මාරයා අයියා, වත් අක්කා,දුකා,දුමී,පලාමල්ල ලියන පිස්සා, මරණය, හසියා, හිස් අහස ලියන සඳරු, නිකමට වගේ ලියන සඳුන්, ළමයා,හැක්‍රිෂ්...... හපෝයි තව කොච්චර කට්ටිය ඉන්නවද...........


ඒත් මම නම් ලිව්ව නොලිව්ව ගොඩාක් අයට එන්න වෙන්නේ නෑ මම හිතන්නේ. මම දැක්කා සඳරු කලින්ම කියලා තියනවා එන්න වෙන්නේ නෑ කියලා. ඒ වගේම ගොඩාක් සිංහල බ්ලොග් ලියන අය පිට රටවල් වල ඉන්නේ. (මාරයා අයියත් මේදවස් වල පොඩි මඩ කේස් එකක නිසා එයිද දන්නේ නෑ ;) )


මම සිංහල බ්ලොග් එකක් කියලා මුලින්ම උවමනාවෙන් කියෙව්ව බ්ලොග් එක මුචලින්දගේ ටොපිය. මටත් බ්ලොග් එකක් ලියන්න හිතුනේ ඒක දැක්කාම. මුලින්ම ටොපිය දැක්කේ 2009 දී ඒක දැක්ක ගමන්ම බ්ලොගර් ගිණුමක් හදාගත්තාට මොකද ගේ බ්ලොග් එක පටන් ගත්තේ නම් මේ ළඟදී(ඔය මගේ ප්‍රෝෆයිලේ තියෙන්නේ 2009 ඉඳන් ඉන්නවා කියලා)


මේ හමුවට ඉතින් බ්ලොග් කියවන අයටත් එන්න පුලුවන්නේ. ඒකනම් හොඳ වැඩක්. අපේ බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ අයට කොච්චරනම් ප්‍රේක්ෂක  පිරිසක් ඇද්ද. එයාලත් ආසයිනේ තමන් ආසාවෙන් බලන බ්ලොග් එකේ අයිති කාරයාත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න. මමත් ආසයි.

එහෙනම් හෙට හම්බවෙමු................

Monday, December 13, 2010

බීපං............

බීපං
හතුරෝ ඇතිකරගන්න නෙමෙයි
මිතුරෝ වැඩි කරගන්න

බීපං
පොඩි වෙලාවකට දුක අමතක කරන්න නෙමෙයි
බොන වෙලාවට සතුටින් ඉන්න

බීපං
බීලා රණ්ඩු වෙන්න නෙමෙයි
සින්දුවක් කියලා සොමියක් දාන්න

බීපං
දුක හිතෙන වෙලාවට නෙමෙයි
සතුටින් ඉන්න වෙලාවට

බීපං
ප්‍රශ්න වැඩි වෙලාවට නෙමෙයි
ප්‍රශ්න නැති වෙලාවට

බීපං
අනුන්ට ණය වෙලා නෙමෙයි
තමන්ගේ අතේ සල්ලි තියන වෙලාවට


පූසාගේ අවවාදය බීම දුක නැතිකර ගැනීම සඳහා හෝ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සුදුසු ප්‍රතිකර්මයක් නොවන බවයි

Friday, December 3, 2010

දෙදෙනෙක්ට එකවර ආදරේ කිරීම.......



ඔන්න මුලින්ම කියන්නම් මම මේ ලිපියෙන් කතාකරන්නේ කෙල්ලෙක් එකවර කොල්ලෝ දෙන්නෙක්ට ආදරේ කිරීම ගැනයි. හැබැයි එකවර කෙල්ලෝ දෙදෙනකුට ආදරේ කරන කොල්ලොත් ඉන්නවා. ඒක ගැන ලිපියක් ලියන්න මට තේරෙන්නේ නෑ. ඔන්න අපේ ගැහැණු පාර්ශවයට බාරයි ඒ ගැන ලියන්න.

ඔන්න මුලින්ම කියන්නම් මේකත් ඉස්සෙලා ලිපියට (මූණු පොතෙන් ආදරය සොයා යාම) ටිකක් සම්බන්ධයි. මොකද මේ සිදුවීමත් වැඩිපුරම සිද්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ නිසා වගේම මේ සිදුවීමේත් මූලික පදනම වෙන්නේ "බොරුව" කියන එක නිසා.

මේ සිදුවීම සම්බන්ධයෙන් මම පොඩි අධ්‍යයනයක් කළා ඉතින් මම ඒ දේවල්. මාතෘකා යටතේ කරුණු වශයෙන් දක්වන්නම්.

කෙල්ලෙක් එකවර කොල්ලන් දෙදෙනෙකුට ආදරය කිරීම සම්බන්ධව කළ අධ්‍යයනයට කරුණු සපයා ගත් ආකාරය. 

  • මාගේ අත්දැකීම්.
  • මගේ මිතුරන් විසින් පැවසූ ඔවුන්ගේ මිතුරන්ට සිදුවූ සිදුවීම්.

කෙල්ලෙක් එකවර කොල්ලන් දෙදෙනකුට ආරය කිරීමට පෙළඹීමට හේතු.
  • කොල්ලන් දෙදෙනෙකුට එකවර ආදරය කරමින් කාලයක් සිටිමින් ඔවුන් දෙදෙනාගෙන් වඩාත් හොඳ පුද්ගලයා තෝරා ගැනීමට. 
  • වෙනත් රටක සිටින කෙල්ලෙක්නම් බොහෝවිට ඇයගේ පාලුව නිවාගැනීමට( කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉන්නේ මේකයි කොල්ලෝ දෙන්නට වෙලාවක් දෙකක් දීලා තියනවා එක්කෙනෙක් එක්ක කතාව ඉවර වුනාම අනිත් කෙනාත් එක්ක. එතකොට කෙල්ලට කම්මැලි නෑනේ. ගොඩාක්වෙලා ඔහේ කියව කියවා ඉන්න පුළුවන්නේ)
  • දෙදෙනක් සමඟ යාලු වී සිටින විට ඔවුන්ගෙන් ලැබෙන තෑගි ආදිය නිසා.(එක්කෙනෙක් එක්ක ඉන්නකොට වගේ නමෙයිනේ දෙන්නෙක් එක්ක ඉන්නකොට )
(තවද මෙම ලිපියේ සභ්‍යත්වය ආරක්ෂා කළ යුතු බැවින් සඳහන් කළ කොහැකි හේතූන් කිහිපයක්ද ඇත.)


පිටරට සිටින කෙල්ලන්, දෙදෙනෙකුට එකවර ආදරය කිරීම සඳහා එරට කෙනෙක් සොයා නොගෙන ලංකාවේ කොල්ලන්වම අල්ලා ගන්නේ ඇයි?
  • එරට සිටින ලංකාවේ කොල්ලන් දෙදෙනෙක් අල්ලා ගත්තද වැඩේ මාට්ටු වුන දවසට දෙදෙනාගෙන්ම රිටර්න් එක ලැබේ යැයි ඇති බිය.
  • ලංකාවේ කෙල්ලන්ට සුද්දෙක්ව දැලේ දාගැනීම පහසු නොවීම.
  • අමාරුවෙන් හෝ සුද්දන් දෙදෙනකු දැලේ දාගෙන සිටින විට උන්ට මාට්ටු වුනොත් උන්ගෙන් ලැබෙන රිටර්න් එක පිළිබඳව සිතා ගැනීමටවත් නොහැකිවීම.
  • කෙල්ල  වෙනත් රටක සිටින නිසා එරට රැදී සිටින ලංකාවේ කොල්ලන්ට බොරු කියනවාට වඩා ලංකාවේ සිටින කොල්ලන්ට බොරු කීම පහසු වීම.(බොරුව පවසන්නේ කිසියම් වෙබ් අඩවියක් හෝ වෙන යම් මාධ්‍යයක් හරහා නිසා බොරුව අල්ලා ගැනීමට ඇති නොහැකියාව බොරු කීම පහසු වීමට ඇති හේතුවයි. )
  • වැඩේ මාට්ටු වුනොත් පහසුවෙන් මුණු පොත් ගිණුම අක්‍රීය කිරීම හෝ දුරකතන අංකය වෙනස් කිරීම මඟින් සියලු සබඳතා පහසුවෙන් නවතා දැමිය හැකි වීම.
  • එසේ සිදුකල විට පහසුවෙන් නැවත වෙනත් නමකින් මුණු පොත් ගිණුමක් හා අලුත් දුරකතන අංකයක් ලබා ගැනීමේ පහසුව.
ඔන්න ඕවා තමයි මගේ අධ්‍යයනයේදී මට තේරුම් ගිය කරුණු. මෙතන ලියවිලා නැති ඔයාලා දන්න තව කරුණු තියනවානම් සඳහන් කරන්න.

මේක කියවලා අපේ ගැහැණු උදවිය කලබල වෙන්න ඕනේ නෑ. හැම කෙල්ලෙක්ම මේ වගේ නෑ. මේ ජාතියේ කෙල්ලෝ ටික දෙනායි ඉන්නේ. හැබැයි ටිකදෙනා කරන හානිය නම් පොඩි නෑ.මොකද මේවට ගොඩක් වෙලාවට අහුවෙන්නෙත් අහිංසක කොල්ලෝ (මමයි මගේ යාළුවයි වගේ :D ) උන් එහේ ඉඳන් පාලුව මකාගන්න ආදරේ කරනවා. අපි මෙහේ ඉඳන් ඇත්තටම ආදරේ කරන්න ගිහින් පුක බිම ඇනගෙන උඩ බලන් ඉන්නවා. 
ආයෙත් කියනවා මේ දේවල් අදාල වෙන්නේ ඒ වගේ වැඩ කරන කෙල්ලන්ට විතරයි.
ආ තව දෙයක් එක පාර දෙන්නෙක්ට ආදරේ කරන්න සමහර කෙල්ලන්ගේ මානසිකත්වය වෙනස් කරන්න ඔය මම උඩින්ම දාලා තියන පින්තූරේ කට්ටිය ඉන්න චිත්‍රපටි මාලාව(twilight movie series) බෙහෙවින් දායක වුනා කියන එක මම සෑහෙන්න විශ්වාස කරනවා.

ප.ලි: මෙවන් ලිපියක් බ්ලොගයේ ලිවීමට මා හට අදහස පහල කළ උදිත් සහෝදරයාට මාගේ ස්තූතිය පිරිනමනවා.

Wednesday, December 1, 2010

මූණු පොතෙන් ආදරය සොයා යාම...



ඔන්න මුලින්ම කියන්නම් මේක ලියන මම(පූසා) මූණු පොතෙන් ආදරේ හොයාගෙන හොඳ පාඩමක් ඉගනගෙන ඉන්නේ.කොහොමින් කොහොම හරි මේ ලිපිය පූසා ලියන්නේ අත්දැකීම් සහිතවයි. වැඩි පුරසාරම් ඕනේ නෑ මම කෙලින්ම කතාවට බහින්නම්.මෙතනදී මම කතා කරන්නේ රටවල් දෙකක ඉන්න දෙන්නෙක් මූණු පොත හරහා ආදරය සොයා ගැනීම ගැන.

මුලින්ම කියන්නම් මූණු පොතෙන් ආදරවන්තයෙක්/වන්තියක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ ආදරය විවාහය දක්වාම ගෙනියන්නත් පුළුවන්. දැන් කට්ටිය බලනවා ඇති නේද් මූ කොහොමද එහෙම කියන්නේ කියලා. මේකයි ඒකට හේතු තියනවා. මම ඉගනගන්න ආයතනයේ අපිට උගන්නන ගුරුවරයෙක් කිව්වා එයාහේ හොඳම යාලුවෙක් පෙම්වතිය හොයාගත්තේ මූණු පොතෙන්ය දැන් ඒ දෙන්නා විවාහ වෙලා තාම බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා. ඒක ලංකාවේ කතාවක්නේ. ලංකාවේ ඔය වගේ කතා බොහෝම අල්ප වුනාට ඇමෙරිකාව වගේ රටක් ගත්තොත් මූණු පොතෙන් අඳුරගෙන ආදරේ කරලා විවාහ වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලාලු දැන්  ඒ රටේ. හැබැයි ඉතින් ඒ විවාහ වල කල්පැවැත්ම ගැන කියන්න නම් පූසා දන්නේ නෑ. එහේ මොන ජාතියේ විවාහයක් වුනත් ඒකේ කල්පැවත්ම ගැන ඉතින් මොකට කතා කරනවද නේද?? ;)

මම විශ්වාස කරන විදිහට ආදරය කියන දේ රඳා පවතින ප්‍රධාන සාධකය වෙන්නේ විශ්වාසය.විශ්වාසය නැති වුන දවසට  ආදරේ රඳා පැවතුනත් ඒක බොහොම දුර්වල එකක්.දෙන්නෙක්ගේ විශ්වාසය ඇතිවෙන්නේ අදහස් හුවමාරු කරගැනීමෙන්. ඉතින් මූණු පොත කියන්නේ අදහස් හුවමාරු කරගන්න කියාපු තැනක්. මූණට මූණ මුණගැහිලා කතා කරනවා වගේ නෙමෙයි කිසිම චකිතයක් නැතිව කතා කරන්න පුළුවන්. ඒත් තියන ප්‍රශ්නේ මේකයි. හුවමාරු වෙන අදහස් වල අන්තර්ගතය ඇත්තද බොරුද කියලා දැන ගන්නේ කොහොමද?? ලොකු ප්‍රශ්නයක් නේද? ඔන්න දෙන්නෙක් එකිනෙකාව මුණගැහිලා කතා කරනකොට කතා කරන විදිහ අනූව මූණේ හැඟිම් ප්‍රකාශ වෙන විදිහ අනූව අපිට හිතා ගන්න පුළුවන් මේ කියනවා ඇත්තේ ඇත්තමද බොරුද කියලා. ඒත් මූණු පොතේ ඒ සෙල්ලම් බෑ. ඉස්සර මගේ සම්බන්ධයට මගේ හොඳම යාලුවා කිව්වේ LDR  කියලා. ඒ කිව්වේ Light Dependent Resistor කියන එකනම් නෙමේ ඔන්න. මිනිහාගේ අර්ථ දැක්වීමට අනූව ඒකේ තේරුම Long Distance Relationship කියන එකනේ. LDR එකේ තියන ප්‍රශ්නේ මේකයි අදාල කෙනා මූණු පොත හරහා කියන දේවල් ඇත්තමද බොරුද කියලා දැන ගන්න විදිහක් නැති එකයි.

හරි කොහොමින් කොහොමහරි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා කියමුකෝ. ඒ ආදරේ රැක ගන්න දෙන්නටම කටයුතු කරන්න වෙනවා මොකද  LDR එකක් නිසා පුංචි වැරැද්දක් වුනොත් ඒක අනිත් කෙනා බොහෝම තදින් දැනෙනවා. වෙන මුකුත් නිසා නෙමෙයි ළඟින් නැති නිසා. හිතන්න වුන වැරැද්ද අනිත් කෙනා ඔයාට බොරුවක් කිව්ව එක කියලා. ඔයා ඒක කොහොම හරි දැනගත්තා කියලා. එදාට ඔයාට හිතෙනවා මෙයා මට මේ වගේ බොරුවක් කළා. මෙයා ඉන්නෙත් ගොඩාක් දුරින් මට තව කොච්චර බොරු කියලා ඇද්ද කියලා. (මටනම් ඔය මම කිව්ව දේ හිතුනේ එයා මට හතර වෙනිපාරටත් බොරුවක් කළාට පස්සේ.) 

තව දෙයක් මූණු පොත හරහා ආදරේ කරන අයගේ විශ්වාසයේ සලකුණ වෙලා තියෙන්නේ මූණු පොතේ මුර පදය. (මීට ටික කාලෙකට කලින් මම දැක්කා පෙම්වතියගේ මූණුපොතේ මුරපදය යනු? කියන මාතෘකාව යටතේ පුදුම ලස්සන කවියක් ලියලා තිබ්බා "මට හිතෙන හැටියට" බ්ලොග් එකේ මේ තියෙන්නේ ගිහින් බලන්නකෝ) ඉතින් මම අත්දැකීමෙන් දන්න දෙයක් කියන්නම්. ඔයා ආදරේ කරන කෙනා ඔයාට මුර පදේ දෙනවනම් කිසිම හොරයක් නෑ හැබැයි ඔයා ඉල්ලුවත් මුර පදේ දෙන්නේ නැත්තම් එතන මොකක් හරි අවුලක් තියනවා. අමාරුවෙන් ඉල්ලන් පාවිච්චි කරන්න නම් එපා මට පිස්සු නොහැදී බේරුනේ නූලෙන්.

අවසාන වශයෙන් මම කියන්නේ මේකයි. ඔයාලා මූණු පොත හරහා දැන හඳුනගෙන ආදරේ කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. මට එහෙම කියන්න අයිතියකුත් නෑ. මම කියන්නේ කරන දෙයක් බොහොම කල්පනාවෙන් කරන්න කියලා. මොකද ඇඟේ තුවාලයක් වෙන්වා වගේ නෙමෙයි හිතේ තුවාලයක් වුනොත්.


ප.ලි: මේ ලිපිය ජොලියට ආදරේ කරන අයට අදාල වෙන්නේ නෑ. එයාලා අනිත් කෙනා මොනව කලත් ගනන් ගන්නේ නෑනේ. 
මේ ලිපිය ලියලා ටිකක් කල්. පල කරනවද නැද්ද කියලා හිත හිතා හිටියේ. ඒ අතරේ ගොඩ කාලෙකට පස්සෙ මගේ හොඳම යාලුවෙක් එක්ක සෙට් වුනා. නෑ මම කිව්වේ හොඳම යාලුවෙක් මීට් වුනා. බලනකොට එයාටත් මට වුන සන්තෑසියමයි වෙලා තියෙන්නේ. 


Facebook Chick Love  Song- Rukshan Mark feat  Iraj Krishan Bk & Bertram

ඒ අස්සේ මේකටම ගැලපෙන සිංදුවකුත් ගොඩ කාලෙකට පස්සේ ආයේ මතක් වුනා. කොහේද මේ හාදයෝ මේ සිංදුව කළේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ දවස් වල මේ සිද්ධි ලංකාවේ වුනේ බොහෝම අඩුවෙන්. මේ සිංදුව අද වගේ කාලෙක හැදුවනම් ආයේ නෑ ප්‍රසිද්ධ වෙයි නිකන්ම. මට මතක විදිහට මේ සිංදුව ඒ දවස් වල එච්චර ප්‍රසිද්ධ වුනේ නෑ.

Related Posts Plugin for WordPress, Blogger...