Thursday, July 31, 2014

ආදරය යනු කුණුහරුපයක් වූ රටක......



අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් තමන්ට පොදු සතුරෙක් සිටින බව පසක් කරගන්නා විට සියල්ල සිදු වී හමාර ය. 

සතුරා, පෙම්වතුන්ගේ දූපත දෙස ක්‍රෝධයෙන් රත් පැහැ ගැන් වූ දෙනෙත් යොමාගෙන සිටියේ ය. ඔහු මුළු ජීවිත කාලය පුරාවටම පාහේ සතුටක් ලැබූ සාධකය වන යුද්ධය නැති වී ගොස් තිබිණි. තව දුරටත් ඔහුට සතුටු වන්නට යමක් නොතිබිණි. ඔහුට ජීවිත කාලය පුරාවටම ආදරය ලැබී තිබුණේ නැත. ඔහු ආදරය ඉගනගෙන තිබුණේ නැත. ඔහුගේ කාමරය පුරා විසිරී තිබෙන හින්දු, බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ත අතරේ ආදරය ගැන ලියවී තිබුණේ නැත. එකී පොත්පත් වල ආදරය නමින් අසමාන තාවය, මමත්වය සහ වෛරය උගන්වා තිබිණි. පෙම්වතුන් අතර හුවමාරු වන ප්‍රේමනීය හාදුවක රසය පිළිබද එකී පොත්පත් වල කිසිඳු සටහනක් නොවීය.

පෙම්වතුන්ගේ දූපතේ හුවමාරු වන හාදු දෙස බලාසිටි සතුරාට තමන් නොලැබූ දෙයක් ලබන තාරුණ්‍යය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති විය. තම කාමරයේ ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් නොවෙන යමක් සිදුකරන මිනිසුන් කෙරෙහි ක්‍රෝධයක් ඇති විය. ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය අතර අතරමං වූ සතුරා කිරි කිරි හඩින් දත්මිටි කන්නට විය. 

කාලය ගතවන්නට විය සතුරා තමාට සතුටක් ලබත හැකි කිසිවක් ගැන කල්පනා කරමින් කල් ගත කරන්නට විය. එක්තරා මොහොතක දී ක්‍රෝධයෙන් රත් පෑ ගැන් වූ දෙනෙතින් සතුරා කාමරය පුරා විසිරී ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ දෙස බලා කට කොණකින් සිනා සෙන්නට විය. 

කෙමෙන් කෙමෙන් සතුරාට සතුටු විය හැකි කාලයක් උදා වන ලකුණු පහළ වන්නට විය. සතුරාගේ කාමරය පුරා විසිරී තිබුණු දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ පිළිවෙලට අසුරා තිබුණි. එක එක ආගම සඳහා වෙන වෙනම අල්මාරි සාදා තිබිණි. අදාල ධර්ම ග්‍රන්ථ අදාල ආගමික අල්මාරියේ පමණක් තැන්පත් කර තිබිණි. අල්මාරි එකිනෙකට ලං වුව හොත් ධර්ම ග්‍රන්ථ එකිනෙකා ගැන අවබෝධයක් ලබාවි යැයි බියෙන් මෙන් සතුරා අල්මාරි හැකිතාක් එකිනෙකට දුරින් තබා තිබිණි.

වැඩි කලක් යන්නට මත්තෙන් සතුරාට යලිත් සතුටු විය හැකි කාලයක් උදා විය. ධර්ගා නගරයෙන්, අලුත්ගමින් කලු දුමාරයන් අහසට නඟින දෙස බලා සතුරා මහා හඬින් සිනා සෙන්නට විය. ඔහුගේ ගොරහැඬි හඩින් අල්මාරි වල වීදුරු දෙදරන්නට විය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් උපයාගත් ගේ දොර, යාන වාහන පිලිස්සී යන දෙස බලා සතුරා සතුටින් ඉපිලෙන්නට විය. සතුටින් ඉපිලෙන අතරම සතුරාගේ දෑස් අවිඥාණිකවම පෙම්වතුන්ගේ දූපත දෙසට යොමු විය.

සතුරාගේ සතුට ක්ෂණිකව අතුරුදන් විය. පෙම්වතුන්ගේ දූපත පුරා ආදරය ඉතිරී යමින් තිබිණි. පෙම්වතාගේ අතේ එල්ලී යන ෆර්දාවෙන් මූණ වසාගත් තරුණියක් තවත් පෙම්වතෙකුගේ අතේ එල්ලී යන ධර්ම චක්‍ර සංකේතයක් කරේ එල්ලා ගත් තරුණියක හා ලෙංගතුව සිනාසෙන අයුරු සතුරාට නෙත ගැටිනි. තවත් එවැනිම පෙම්වත් යුගල් දෙකක් එකම බංකුව බෙදාගෙන අසුන්ගෙන සිටියේ ය. සතුරා ක්‍රෝධයෙන් ගැහෙන්නට විය. සතුරාගේ සතුට නසන එකම සාධයක ආදරය බව සතුරාට එවෙලේ පසක් විය. ඉහවහා ගිය ක්‍රෝධයෙන් දැවෙමින්, ගැහෙන දෙඅතින් සතුරා තමාගේ දුරකතනය ගත්තේ ය. 1.....1..............9 ඔහුට ඇමතීමට අවශ්‍ය වූ අංකය එයයි.

පැය බාගයක් ගතවීමටත් මත්තෙන් පොලිස් රොබෝවන් පෙම්වතුන්ගේ දූපත ආක්‍රමණය කළේ ය. ඔවුන් රොබෝවරුන් බැවින් දැන සිටියේ අණ ක්‍රියාත්මක කිරීමට පමණකි. කුඩ ඉහලාගෙන සිටින සියලුම පෙම්වතුන්ට කුඩ අකුලන්නට අණ ලැබිණි. නමුත් සතුරා ඉන් සෑහීමකට පත් නොවිනි. ඔහු නැවතත් සුපුරුදු අංකයම අමතන්නට විය. ඔහුට අවැසි වූයේ පෙම්වතුන්ගේ දූපතින් ආදරය අතුගා දැමීමටයි. ඒ මොහොත වන විටත් ආදර සාධයක ඇති වන සියලුම ස්ථාන විනාශ කිරීමට සතුරා තදින් අදිටන් කරගෙන සිටියේ ය. පොලිස් රොබෝවරු යළිත් පෙම්වතුන්ගේ දූපත් ආක්‍රමණය කළේය. මෙවර පෙම්වතුන්ට තරමක් දුරින් වාඩි වී සිටීමට අණ ලැබිණි. නමුත් සතුරා සෑහීමකට පත් නොවීය.  ඔහු දිගින් දිගටම ඇමතුම් ගන්නට විය. අවසානයේ සියලුම පෙම්වතුන් දූපතින් පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කොට තිබිණි. ඉන් පසුව පෙම්වතුන් රැස්වන සෑම දිනයකම පාහේ සතුරා සුපුරුදු අංකයම අමතන්නට විය.

අවසානයේ පෙම්වතුන්ගේ දූපතින් පෙම්වතුන් සදාකාලිකව පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කළේ ය. දැන් පෙම්වතුන්ගේ දූපත යනු පෙම්වතුන් මුක්ත කලාපයකි. හිස් වූ දූපත දෙස බලන සතුරාට දැන් සියුම් සතුටක් දැනෙයි. මේ මොහොත වන විටත් සතුරා ජයගෙන සිටියි. පෙම්වතුන්ගේ දූපත ආදරය සොයන අතර රට අතරමං වී ඇත.

(මෙය මනඃකල්පිත කතාවක් නොවේ)
෴෴


පින්තූරෙ - http://www.ilovegenerator.com/large/stop-love-love-131548869878.png
Related Posts Plugin for WordPress, Blogger...