Monday, November 29, 2010

ගැහැණියට ගරු කරපන්.........


ගැහැණියට
ගරු කරපන්
පාරේ තොටේ යන එනකොට
කරදරයක් වෙලා තිබුනොත්
උදව් කරපන්
අහක බලන් යන්න එපා
අනවශ්‍ය විහිළු තහලු
කරන්න එපා
කිසි කෙනෙක් ඉස්සරහා
අවමානයට ලක්කරන්න එපා
කිසිම දවසක 
අතක් උස්සන්න එපා
ඒක පිරිමි කමට නින්දාවක්
මොනම දෙයක් නිසාවත්
අපහසුතාවයකට පත්වෙන විදිහට
හැසිරෙන්න එපා

මොකද ඒ ගැහැණිය
උඹේ පෙම්වතිය නොවුනට
වෙන කාගේ හරි පෙම්වතියක්
උඹේ නංගී නොවුනට
වෙන කාගේ හරි නංගියෙක්
උඹේ අක්කා නොවුනට 
වෙන කාගේ හරි අක්කා කෙනෙක්
උඹේ අම්මා නොවුනට
වෙන කාගේ හරි අම්මා කෙනෙක්
වෙන්න පුළුවන් නිසා....

Friday, November 26, 2010

අම්මේ තාත්තේ ඔබට ආදරෙයි සැමදා..

දුකින් සිටින විටදි මා
මගේ දුකට සැබවින්ම දුක් වූයේ
ඔබ පමණි සැමදා
තුටින් සිටින විටදි මා
මගේ සතුටට  සැබවින්ම සතුටු වූයේ
ඔබ පමණි සැමදා
අසනීපයෙන් සිටී නම් මා
මගේ වේදනාවට සැබෑ කඳුලක් වැටුනේ
ඔබේ නෙතින් පමණි සැමදා
දිවි ඇති තෙක් මා
ඔබේ පිහිටට ඔබ වෙනුවෙන් සිටිනවා අම්මේ
ඔබට ආදරෙයි සැමදා

දුකින් සිටින විටදි මා
පිටට නොපෙන්නුවත් ඔබත් දුකෙන් බව
දනිමි මා සැමදා
තුටින් සිටින විටදි මා
පොඩි හිනාව ඔබේ ලොකු සතුටකට බව
දනිමි මා සැමදා
අසනීපයෙන් සිටී නම් මා
කඳුලු නැතත් දෙනෙතේ, හඩන බව සිතින්
දනිමි මා සැමදා
දිවි ඇති තෙක් මා
ඔබේ පිහිටට ඔබ වෙනුවෙන් සිටිනවා තාත්තේ
ඔබට ආදරෙයි සැමදා

Tuesday, November 23, 2010

මුදල් ඇති එකා ළඟ පහ හය හත අටය...


ඉවසන  දනා  රුපු  යුදයට  ජය   කොඩිය
මෙය  කිව්   එකාගේ  කට  කෑවත්   මදිය
ඉක්මන් වුනු එකා ළඟ පහ හය හත අටය
එකෙකුදු නැතුව මම තාමත් කොට උඩය

මම අහලා තියන විදිහට මේක ඉස්සර සරසවි කුරුටු ගීයක්. අද ඔය තත්වය ටිකක් වෙනස් වෙලා කියලයි මටනම් හිතෙන්නේ. අද මුදල් පස්සේ දුවන ලෝකේ හැම දෙයක්ම මුදලට යට වෙලා. හැම දේම කිව්වට ඉතින් හැම දේම නෙවෙයි. කොහොම හරි ඉතින් ඔන්න මට හිතුනා අර ඉස්සෙල්ලා තිබ්බ කවිය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. 

මේ තියෙන්නේ මගේ අලුත් කවිය

ආලය මිලට කිසි දිනකදි ගත නොහැකිය
මෙය  කිව්  එකාගේ  කට  කෑවත්   මදිය
මුදල් ඇති එකා ළඟ පහ  හය  හත  අටය
එකෙකුදු නැතුව මම තාමත් කොට උඩය

දැන් අහන්න එපා කව්ද ආදරේ සල්ලි වලට ගන්න බෑ කිව්වේ කියලා :P මට ඇහිලා තියනවා ගොඩක් අය කියනවා ;)

මම මේ කියලා තියෙන්නේ අද දවසේ බොහෝ දුරට වෙන දේ. මම තාමත් විශ්වාස කරනවා ඔය මුදලට තියා කිසිම දේකට යට වෙන්නේ නැති සත්‍ය ප්‍රේමය(True Love) කියන එක ලෝකේ තාමත් වැඩිය නැතත් ලාවට හරි තියනවා කියලා.(මට කවදාවත් හම්බවෙලා නැතත් මම විශ්වාස කරනවා) කොහොම වුනත් අද පාරේ තොටේ ඇවිදගෙන යනකොට එහෙම සමහර වෙලාවට ඔය ආදරේ මුදලට ගත්තු උදවිය ඔයාලටත් දකින්න ලැබිලා ඇති.


සමහර අයටනම් මෙහෙමත් හිතෙන්න බැරි නෑ

ආදර     ලෝකය     බොහෝම     සුන්දරය
මෙය   කිව් එකාගේ   කට   කෑවත්     මදිය
තනිකඩ කාලේ මම නම් ෆුල් ජොලියෙන්ය
එකෙකුත් වැඩිය මම නම් දැන් කොට උඩය

ඔයාලටත් මේ කවිය තවත් වෙනස් විදිහට ලියන්න හිතෙනවා නම් හැමෝට පේන්නත් එක්ක ලියන්නකෝ පහලින්.

Sunday, November 21, 2010

ආදරේ නැතත් දැන් පෞද්ගලික තොරතුරු ඔබේ නොපවසමි කිසිවෙකුට



නැතත් දැන් ආදරය
සොඳුරු මතක ඇත තවම
ඒත් මම කිසිම විට
ඔබේ පෞද්ගලිකත්වයට
හානිවන කිසිම දෙයක්
නොපවසමි කිසිවෙකුට

කල්පනාවෙන් සිටින්න
බොරු පෙම්වතුන්
හතරවට
ඩැහැගන්න බලා සිටී
ඔබ වැනි යුවතියන්

මගේම පෙර මිතුරෙකු විත්
උගේ මිතුරෙකුට යැයි
විමසුවා ඔබේ නොම්මරය
බිය නොවන් කිසිම විට
ඔබේ එක තොරතුරක්
මගේ හොඳම මිතුරාට වුව
නොදෙමි මම කිසිම දින
වෙනදා මෙන් නැතත් දැන්
ඔබට මම ආදරය...

Friday, November 19, 2010

ඔබව අතැර ගිය මා ලඟම ඇයි කඳුලු තවම?


සිහිල් පවන් රොදක් යැයි සිතා ආදරේ කළ නමුත්
චණ්ඩ මාරුතයක් යැයි දැනී අතැර ගියමුත්
සිහිල් පවනට ආදරේ කළ කාලය සිහිවෙයි තවත්
ඔබව අතැර ගියේ මා වුවද
ඇයි කඳුලැල් ඉතිරි වී මගේ දෑසේ තවත්

පරිගණකය දකිද්දී මැවෙන්නේ ඔබේ රුවයි
දුරකතනය වදිද්දී ඇසෙන්නේ ඔබේ හඩයි
ඔබව අතැර ගිය මා ලඟම ඇයි කඳුලු තවම
එදවස සොඳුරු මතකයන් නිසාද ඒ
චණ්ඩ මාරුත්යක් වී ඔබ
මගේ විශ්වාසයට කරපු විනාශය
අනේ ඔබ සැමදා සිහිල් පවන් රොදක් වී උන්නානම්........

Wednesday, November 17, 2010

මුස්ලිම් කෙල්ලෙක්ට පෙම් කරමි...


මුහුණ සළුවකින් දවටා නොසිටි              නිසා
සැකයක් තිබුනමුත් සිතුවෙමි සිහල         කියා
විමසුවේ මිතුරියකගෙන් සැක හරිනු        නියා
පැවසුවේ ඇය ඔබ මුස්ලිම්ය                  කියා

හිනැහෙන විට ඔබේ මුහුණ පුන්සඳ       වාගේ
ඇස අහකට ගන්න බෑ මුහුණෙන්        ඔබගේ
සිංහල නවකතා කියවන                    ඔබගේ
අත ගන්නට ඇත්නම් පෙර පිනකි         මාගේ

පවසන්නේ කෙලසද ආදරෙයි             කියාලා
අසාවි ඔබ ඔයාට පිස්සුදැයි                 කියාලා
ආදරේ හදවතේ සිරකොටම                 තබාලා
සඟවා සිටිනු කෙලස ඔබ දිහා              බලාලා

හදවතේ ඇති ආදරේ ඔබට            පැවසුවොත්
නැතිවිය හැක ඔබ මිතුරියක              ලෙසවත්
සිටිමි සඟවාගෙනම ආදරේ                  හටගත්
යාවි දිනෙක ඔබ සැඟවී නොදැන        මෙපවත්

Sunday, November 14, 2010

අපේ රටේ දේශපාලනය...(මට හිතෙන හැටියට)


ඔන්න මුලින්ම කියන්නම් මට මේක ලියන්න හිතුනේ ටැබූ අය්යාගේ පොඩි එකාගෙ ලියුම -  අඩම්බොරුකාර තාත්තා ලිපියයි ඒකේ තියන අදහස් දැක්වීම් ටිකයි කියෙව්වට පස්සේ. ඔන්න මුලින්ම කියන්නම් මම දේශපාලනේට වැඩි කැමැත්තකුත් නෑ වැඩි අකමැත්තකුත් නෑ. ඒවගේම එක පක්ෂයකට කියලා එල්ලිලත් නෑ. මම රටට වැඩක් කරන ඕනෙම පක්ෂයකට සපෝට්. ඔන්න දැන් මේක කියවලා කට්ටිය මාත් එක්ක වලියට නම් එන්න එපා. මම බයයි. ඒ වගේම මේක මගෙ නිකන් අදහසක් විතරයි කවුත් රණ්ඩුවෙන්නත් එන්න එපා. හරි කොහොමහරි ඔන්න මම කතාව පටන් ගන්නවා.

දැන් ඇස් වහගන්න.......... දැන් මේ විදිහට හිතන්න. "ඔයා තමයි මේ රටේ ජනාධිපතිතුමා. ඒ වගේම ඔයාලා පැවත එන්නේ මතක ඇති කාලේ ඉදන් දේශපාලනේ කරන පවුලකින්. ඔයාට සහොදරයෝ සෙට් එකකුත් ඉන්නවා එයාලත් දේශපාලනේමයි කරන්නේ" හරි මට කියන්න බලන්න එයාලට ඔයා සලකන්නේ නැද්ද? එක කුස උපන් සහොදරයන්ට සලකන්නේ නැතුව වෙන කාට සලකන්නද? හරි බලන්නකෝ ඉස්සෙල්ලා හිටිය මැඩම් එයත් මල්ලි එයා ළඟට ආව වෙලේ සැලකුවේ නැද්ද? කවුරු ජනාධිපති උනත් අපි ඔක්කොම ලංකාවේ මනුස්සයෝනේ සහෝදර කැක්කුම උපරිමෙන්ම තියනවා. මම කියන්නේ මේකයි මොන කෙනා බලයට ආවත් අපේකම් වෙනස් වෙන්නේ නෑ. එහෙමනම් අපේකම ගෑවෙලාවත් නැති කෙනෙක් පත් කරගන්න වෙනවා.

හිතන්න බලන්න අද ජනාධිපති මේ ඉන්න කෙනා නෙමෙයි ඔයා සපෝට් කරන කෙනා කියලා. එහෙනම්?? අද ඔය රස්සා නෑ කියලා කෑ ගහන කට්ටිය නැති වෙයි කියලා කියන්න පුලුවන්ද? එහෙනම් රස්සා නැති කට්ටියව තවත් දේශපාලන පක්ෂයක් අල්ලගෙන එකතු වෙලා කෑ ගහන්න පටන් ගනීවි. ඇත්ත ඒක නෙවෙයිද? මම දැක්කා ටැබූගේ කතාවට wath අක්කා හොඳ උත්තරයක් දීලා තියනවා. තව සෝමවංස කියල හාදයෙකුත් ටිකක් තරහෙන් වගේ ලියලා තිබ්බා. හැබැයි මම හිතන්නේ නෑ ටැබූ අයියා ඒක ලිව්වේ ඉරිසියාවට කියලා. ඒ එයා හිතන හැටි. අපි ඔක්කොම එක එක විදිහට හිතන නිසා තමයි අපේ රටේ එක එක පක්ෂ ගොඩක් තියෙන්නේ. ඒ හැටි. 

ඊටපස්සේ හොරාගන්න ඒවා. ඒක ගැන ඉතිං කතා කරලා වැඩක් නෑ. අපේ රටේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම හැම රටකම වගේ තියන ප්‍රශ්නයක්. ඉතින් ඒක මොන පක්ෂයක් බලයට ආවත් වෙනස් වෙයි කියලනම් මම හිතන්නේ නෑ. කොහොම හරි කීයක් හොරකම් කළා වුනත් අද අපේ රටේ ඇහැට පේන්න ගුවන් පාලම් ටිකක් හරි තියනවා නේද? කඩන් වැටි වැටී හරි මොන පාලමක් හරි හදනවනේ ;) මොන මොනවා හරි සංවර්ධන කටයුතු ඇහැට පේන්න වෙනවා නේද? මටනම් ප්‍රශනයක් නෑ මොන පක්ෂේ හරි මීට වඩා වැඩක් කරයි කියලා හිතුනොත් මම ඒ පක්ෂයට ඡන්දේ දෙනවා.


දැන් මම කියන්න යන්නේ අපේ රජයේ විශ්වවිද්‍යාල වලට යන අයියලාව දේශපාලන පක්ෂ වලින් උසි ගන්නලා එයාලා කෑ ගහනවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න එපාලු. ඒකටනම් මම තදින්ම විරුද්දයි. මේකයි හේතුව. උසස් පෙළ ලියන්න  ආසන්නව 350,000ක් වාඩි වෙනවා, ඒකන් පාස් වෙන්නේ 180,000ක් විතර ඒකෙනුත් රජයේ විශ්වවිද්‍යාල වලට ගන්නේ 20,000ක් විතර. එතකොට ඉතිරි 160,000ට මොකද වෙන්නේ. එතන ඉන්න සමහර අය Z ලකුණ දශම ගානක් මදි වුන අය. ඉතිං හිතලා බලන්න එයාලට යන්න පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බාම මොකද වෙන්නේ. ඒ කෑ ගහන්නේ ඉරිසියාව හින්දද කියන්න මම දන්නේ නෑ. කොහොම වුනත් අද ලෝකේ ඉල්ලුම තියෙන්නේ දක්ෂයන්ට ඉතින් කවුරුත් මොකටද බය වෙන්නේ. තමන්ගේ උපරිමෙන් වැඩ කරනවා මිසක්.

මේ ලිපිය ලිව්වේ ටැබූ අයියා ලිව්ව එකින් එක අරන් විවේචනය කරන්නනම් නෙමේ. කියෙව්වම ඕන කෙනෙක්ට තේරෙනවනේ එයා කිව්ව හැමදේම මෙතන නෑ. මේ මගේ අදහස් ටිකක් විතරයි.  හැබැයි මේක ලියන්න හිතුනෙනම් ටැබූ අයියගේ ලිපිය කියෙව්වම. කොහොම උනත් දැන් මේ බලයේ ඉන්න අය කරන සාධාරණීකරනය  කරන්න බැරි වැරදි ඕන තරම් තියනවා. මොන පක්ෂේ ආවත් එච්චරයි. ලෝකේ කොහේ හරි වැරදි මුකුත්ම නැති පක්ෂයක් බලයේ තියනවද?

කවදා හරි දවසක ඇත්තටම අපේ රට ගැන හිතන, ආණ්ඩු පක්ෂයේ වුනත් විපක්ෂයේ වුනත් හොඳ දෙයක් කරන පක්ෂයක් ඇතිවුනොත් ආයේ කතා දෙකක් නෑ මම ඒ පක්ෂයේ.

අනේ ඉතිං මේක කියවලා ඔන්න මාත් එක්ක තරහා වෙන්නවත් රණ්ඩු වෙන්නවත් එපා. කඩේ ගියා වුනාට කඩේ ගියා කියන්නත් එපා ;)

නොදන්න දේශපාලනයක් ගැන කතා කරන්න ගිහින් මට කෙළවෙයිද මන්දා.... බයත් හිතෙනවා

Saturday, November 13, 2010

අද කාලේ නාටක.....( ගොන් දෙපැය )



ඊයෙ මට හොඳටම උණ ගැනිලා හරිම අමාරුවෙන් හිටියේ. බෙහෙත් එහෙම අරන් ඇවිත් ඔහේ වාඩි වෙලා හිටියා. වැඩක් කරන්නත් බෑ ඇඟට අමාරුයි. ඔන්න  වෙලාව 8.00 යි. 

ඉතිං අපේ ගෙදර කට්ටිය ප්‍රවෘත්ති බලන්න ගත්තා. බලන්නේ ශ්‍රිලාංකීය අභිමානය චැනල් එකේ. ඒක නම් මමත් හැමදාම වගේ බලනවා. ඒකෙත් ගියේ පරණ දේවල්මයි. විපක්ෂේ ආණ්ඩුවට මඩ ගහනවා. ආණ්ඩුව විපක්ෂෙට මඩ ගහනවා. සමහර වෙලාවට ඒක බලන එක කොමඩි ෆිල්ම් එකක් බලනවාටත් වඩා හිනා යන දෙයක්.ඔන්න ඒවා ඉවර වෙලා පිටරට වල වෙන දේවල් පෙන්නනවා. යකෝ එහෙ කියලාත් වෙනසක් නෑ මෙහේ වගේ මයි. වලිම තමයි. කීඩෑ පුවත් එහෙමත් ඉවර වෙලා පටන් ගත්තා ගොන් දෙපැය  බලන්න.(මම මෙතන "ගොන් දෙපැය" විදිහට හැදින්නුවේ එක නාලිකාවක් ඉලක්ක කරන් නෙමෙයි ඔන්න. ඉස්සර ඔය සංකල්පේ එක නාලිකාවක විතරක් තිබුණට අද ගොඩක් ඒවායේ තියනවානේ.)

ඔය නාට්ටිවල නම් කියන්නනම් මට මතක නෑ. කොහොම හරි බලන්නේ ස්වාදීනේ.කොහොම හරි කට්ටිය නාට්ටි බලන්න පටන් ගත්තේ 7.30ට. මම ටීවී එක ලඟට ගියේ නම් 8.00ට. ඉතිං 8.30 වුන ගමන්ම පටන්ගත්තා. මමත් ඔහේ බලන් ඉන්නවා. මෙන්න නාට්ටියේ දන්න කියන කෙනෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමෙයි අර රෙදි හොරකම් කරපු කෙනා. ඒ කතාවත් ඉතිං අනිත් ඒවා වගේමයි. කෙල්ලයි කොල්ලයි දුෂ්ඨයයි. බලන් ඉන්න කම්මැලියි වගේ. අමාරුවෙන් නැගිටලා ගියා බ්ලොග් එකක්වත් කියවන්න කියලා.

පැය බාගයක් විතර බ්ලොග් ටිකක් කියව කියවා හිටියා. ඇඟට පට්ට අමාරුයි. එක තැනක ඉන්නත් බෑ වගේ. ආයෙත් ගියා සාලේ පැත්තට. කට්ටිය තාමත් නාට්ටි බලනවා. ඉස්සෙල්ලා එකමද කොහෙද තාමත් යන්නේ. මම ගිහින් වාඩි වුනා. මාර වැඩේ ඉස්සෙල්ලා ආදරවන්තයගේ තාත්තා මේ පොඩ්ඩට දුෂ්ඨයාගේ තාත්තා වෙලා. දුෂ්ඨයාගේ යාලුවෝ සෙට් එකත් වෙනස් වෙලා. මොකක් හරි අවුලක් තියනවා. මම වෙලාව බැලුවා. 9.15 නේ මේ වෙන නාට්ටියක්නේ. ඔල්මාදේ හැදෙනවා මෙවා බලන්න ගියාම.

අද කාලේ රූපවාහිනි නාලිකා වලට ආවේනික නළු නිළියො ඇති වෙලා. ඉතින් එක නාලිකාවක යන ඔක්කොම නාට්ටිවල ඉන්නෙ එකම නළු නිළි සෙට් එක. ඉතිං කවුරු හරි එකම නාලිකාවක නාට්ටි විතරනම් බලන්නේ නාට්ටි ඔක්කොම පැටවෙලනවා ෂුවර්. ඒක නිසා නාට්ටි බලන උදවියට මම අනුමත කරන්නේ එකම චැනල් එකේ නාට්ටි බලන්නේ නතුව එක එක චැනල් වල නාට්ටි බලන්න. නැත්තම් කාලයක් යනකොට එකම කට්ටිය දැකල දැකලා එපා වෙන්න බැරි නෑ. 

ප.ලි : කාලයක් අපේ ගෙදර උදවිය බැලුවේ අර මළගෙදර(මහ ගෙදර ) කියන එක. ඒක බලන එක නැවතුනේ කට්ටියට එපා වුන නිසානේ. ඒ කතාවනම් තාමත් යනවද මන්දා. ඒකනම් බලන්න ගියාම එපා වෙනවා එකේ කොල්ලො කෙල්ලො අඩනවට වඩා දෙයක් නෑ.

Friday, November 12, 2010

පුදුම වෙන්න එපා.....


පැතුවේ සිටින්නයි දිවිය පුරා
සෙව්වේ බැලුවේ ඔබ ගැනමයි
ඉඩ ලැබෙන හැම මොහොතක් පුරා
ගානක් නැති වූවා ඔබට ඒ කිසිවක්
වටී ඔබට මූණු පොත් මිතුරු කැල මට වඩා
බලා සිටියෙමි සැමදා රාත්‍රිය එළබෙන තුරා
දොඩන්නට ඔබ සමඟින් 
තුටින් හිනැහෙමින් රාත්‍රිය පුරා
ගානක් නැත ඔබට ඒ කිසිවක්
මාළු හුරතල් කරයි අදහස් දක්වයි මූණු පොත පුරා
හැම දිනයකම මගේ අරමුණ වූයේ
සතුටින් තබන්නයි ඔබ දිනය පුරා
ඒත් ඔබ දුකෙන්ය සැමදා
වෙනත් උන් පිළිබඳව සිතා
නැත කිසිදින ඔබ හට මුසාවක් කියා
ඇයි බොරු කලේ ඔබ මට නොසිතූයුරා
වරක් දෙවරක් නොව තෙවරක්ම
මම ඔබට සමාව දුන්නා
සිව්වන වර ඔබ කලේ බොරුවක් පමණක් නොවේ
සෙල්ලම් කිරීමයි මගේ ආදරේ පරදුවට තබා
දැනගත් දා එපුවත් බිඳුනු හදවත මගේ
හදනු බෑ යලිත් කුමක් කළත්, කීවත් ඔයා
තවමත් මතකයි ඒ දිනය පුරා
හැඩුවා මම කුඩා කලවත් නැත් එතරම් හඩා
තද හිතක් ඇති පිරිමියෙක් වුවත් මෙමා
කුමක් කරන්නද හැඩෙනවා නම් හඩනු විනා
දැන් ඔබ කවි ලීවත් බ්ලොග් පිටු පුරා
යලි අපි අපේ නොවේ මෙන් පෙරදින එදා
ඔබ තුට්ටුවකටවත් මායිම් නොකළ මගේ ඒ ආදරේ
රැදී නැත එදා මෙන් මගේ හදවත් පුරා
එදා මා පෑ ආදරේ සිහියේ තබා
අද වන දේ ගැන ඔබ පුදුම වන්නට එපා

Thursday, November 11, 2010

ලංකාවේ ප්‍රථම පෙම් උයන හා මම...



ෂා නියමයි........ කියලා වැඩක් නෑ
පෙම් උයනක් හදන්න යනවලු
දැන් ඉතිං කිසි කරදරයක් නෑ
පාඩුවේ පෙම් කරන්න පුලුවන්
කොහෙද ඉතිං 
බලන්නකෝ අදටත්
ආදරේ කරන දෙන්නෙක්ට
කතා කර කර ඉන්නවත්
තැනක් තියනවද රටේ
උයන හැදුවමනම් 
ඒ ප්‍රශ්නේ ඉවරයි
ඒත් ඉතිං
ලොකුම ප්‍රශ්නේ මේකයි
උයන් කීයක් හැදුවත්
ඒවයේ ඇවිදින්න යන්න
කෝ මට පෙම්වතියක්? :((((

Monday, November 8, 2010

අපි දෙන්නා තනියම රාත්‍රියක.............



මම කවදාවත් හිතුවේ නෑ මට මෙච්චර ලස්සන කෙල්ලෙක් ලැබෙයි කියලා. ඊටත් වඩා එයත් එක්ක මුහුදු වෙරළ අයිනේ රෑක තනියම එයයි මමයි විතරක්.. හරිම පුදුමයි මට හිතා ගන්නවත් බෑ අපි දෙන්නා කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ දවසක් මෙච්චර ඉක්මනට උදාවෙයි කියලා. කොහොම වෙතත් අද ඒ දවස උදා වෙලා......අපි දෙන්නා විතරයි වෙරළේ. ළඟින් තුරුල් වෙලා ඈත මුහුද දිහා බලාගෙන වචනයක්වත් කතා නොකර අපි ගොඩාක් වෙලා හිටියා. 

මම හැරිලා එයාගේ මූණ දිහා බැලුවා. පුංචි කෙස් රොදක් මූණට වැටිලා. මම හිමීට කෙස් රොද එයාගේ කන අයිනෙන් පිටිපස්සට කළා. එයා හැරිලා මගේ දිහා ආදරෙන් බලන් හිටියා. ඒ ලස්සන ඇස් දෙක.... හඳ එළිය වැටිලා දිළිසෙනවා දියමන්තියක් වගේ. ටික මා දිහා බලන් ඉඳලා මගේ පපුවට තුරුල් උනා. අපි තුරුල් වෙලා පැයක් විතර හිටියා. එයා ආයෙත් හැරිලා මා දිහා බැලුවා මගේ මූණට හිමීට හිමීට ළං වුණා. 

"පුතා! පුතා! මේකා කාලා කාලා දැන් දවල්ටත් නිදියන්න පුරුදු වෙලා... නැඟිටිනවා වතුර බාල්දියක් හලන්න කලින්"

අම්මගේ කෑගැහිල්ලට මම උඩ ගිහින් ඇහැරුනා.....
කෙල්ලෙක්වත් නැති මටත් පේන දවල් හීන මටම හිනා ගියා.
සාලෙට ගිහින් මගේ කැමතිම සිංදුව දාගෙන ඇහුවා... ඔයාලත් අහලා බලන්න........



Shayne Ward - Gotta Be Somebody ( Official Music Video HD )


















Shayne Ward – Gotta Be Somebody Lyrics
This time I wonder what it feels like
To find the one in this life
The one we all dream of
But dreams just aren’t enough
So I´ll be waiting for the real thing.
I’ll know it by the feeling.
The moment when we´re meeting
Will play out like a scene straight off the silver screen
So I`ll be holdin’ my own breath
Right up to the end
Until that moment when
I find the one that I’ll spend forever with

`Cause nobody wants to be the last one there.
‘Cause everyone wants to feel like someone cares.
Someone to love with my life in their hands.
There`s gotta be somebody for me like that.

`Cause nobody wants to do it on their own
And everyone wants to know they´re not alone.
There’s somebody else that feels the same somewhere.
There`s gotta be somebody for me out there.

Tonight, out on the street out in the moonlight
And dammit this feels too right
It´s just like Déjà Vu
Me standin’ here with you
So I´ll be holdin`my own breath
Could this be the end?
Is it that moment when
I find the one that I’ll spend forever with?

Sunday, November 7, 2010

ආදරේ සුපෝඛබෝගී සතුන්ට විතරද?



ඇගේ ලඟ ඇත 
නෙක නෙක විසිතුරු බලු රැලක්
ලොම් දිග පූසන් දුසිමක්
ඇයි මෙච්චර සත්තු
විමසුවොත් කිසිවෙක්
මම සත්තුන්ට ගොඩාක් ආදරෙයි
පවසයි ඇය ආඩම්බරෙන්
ලක්ෂපති තරුණිය දිනක්
බසින විට කාරයෙන්
ලොම් හැලුනු නකුටු බැල්ලක
ආවේ වලිගය වනමින්
සිතමින් කුස පුරාවාගන්නට
ලැබේ යැයි බත් ඇටයක්
"චීයා" මරහඩ නගමින් ඇය
"මේ ජරා සතාව එළවපන්"
ඩ්‍රයිවර තැනට කෑ ගැසුවේ
ඇගේ ආදරේ ලැබෙන්නේ
ලස්සන සුපෝඛබෝගී සතුන්ට
පමණක් නිසාද?
ලොම් හැලුනු අසරණ බැල්ල
සතෙක් නොවේද?

Friday, November 5, 2010

හදවතක් නොමිලේ දීමට තිබේ.............


උස අඩි 5 අඟල් 8 ට නොවැඩි, දුටුවන් පයිත්තියන් වන තරමට නැතත් තරමක් පියකරු, අවංකව ආදරේ කළ හැකි, කිසිම විටෙක මා හට මුසාවක් නොකියන (ආදරේට පුංචි එකක් කීවාට කම් නැත ), යහපත් ගති ගුණ වලින් හෙබි, වයස අවුරුදු 21 ට නොවැඩි අවංක තරුණියකට මගේ හදවත නොමිලේ දීමට තිබේ.


ප.ලි : ජාති-ආගම්, කුල-මල, මුදල්-හදල්, යාන-වාහන, වතු-පිටි, ඉඩ-කඩම් කිසිවක් සලකනු නොලැබේ.

Thursday, November 4, 2010

සයිබර් සබඳකම්...........


දුරින් ඉන්න නිසා බොරු කියන්න පුලුවන්
දුරින් ඉන්න නිසා බොරු කරන්න පුලුවන්
දුරින් ඉන්න නිසා ඒ දේවල් හොයන්න බැරි
බොරු කරන්න කියාපු සබඳකම
සයිබර් සබඳකම

පොටෝ සාප්පුව පිහිටෙන් ලස්සන පින්තූර හදලා
ලෝකෙ නැති දේවල් කියලා කාවහරි රවටගෙන
XOXOXO , <3 , :* , 831 වගේ දේවල් යවලා
බොරුවට ආදරේ කරන්න කියාපු සබඳකම
සයිබර් සබඳකම

ඉස්සර ආදරේ තොරතුරු හොයන්න
බොරු නමකින් ගිණුමක් හදාගෙන
කොහොමහරි එයාව add කරගෙන
පරණ කුණු අවුස්සන්න කියාපු සබඳකම
සයිබර් සබඳකම

කවුරුහරි තරහ කාරයෙක් ඉන්නවනම්
එයාගෙ නමින් බොරු ගිනුමක් හදලා
ඒ කෙනාව පුලුවන් තරම් අමාරුවේ දාන්න
පළිගන්නවනම් කියාපු සබඳකම
සයිබර් සබඳකම

(සැ.යු: මෙම ලිපිය ලිව්වේ මෙවන් වූ අසික්කිත වැඩ කිරීමට දිරිගැන්වීමක් වශයෙන් නොව, මෙවන් වූ ක්‍රියා සිදුකරන පහත් පෙලේ පුද්ගලයන් සිටින බවත්, එවන් අයගෙන් ප්‍රවෙශම් වන ලෙසටත් ඔබව දැනුවත් කිරීමටයි. තවද කිසිම දිනෙක මෙවන් වූ පහත් ක්‍රියා නොකරන ලෙසටත් ඔබෙන් ඉල්ලා සිටිනවා)
Related Posts Plugin for WordPress, Blogger...