Tuesday, May 22, 2012

ඇබ්බැහි වීම සහ හමුවීම.....


ජීවිතේ විවිධ කාලයන්හිදී විවිධාකාර පුරුදු වලට ඇබ්බැහි වීම ම ජීවිතේට විවිධත්වයක් එක් කරයි. ලොව සියලුම මිනිසුන් පාහේ 'ජීවත් වීම' නම් පුරුද්දට දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. එම ඇබ්බැහි වීමෙන් නොගැලවෙනු වස් සත්වයා තව තව ඇබ්බැහි වීම් වලට පෙළඹේ. ආදරය යනු ජීවත් වීම නම් පුරුද්ද කෙරෙහි මිනිසාව තදින් අලවන හෝ එහෙම් පිටින්ම ගලවා දමනට හැකි ප්‍රබල ඇබ්බැහි වීමකි.
සතියට එක් වරක් හෝ මුහුදු වෙරළට යාමට මා ඇබ්බැහි වී ඇත.

හැන්දෑවට මුහුදු වෙරළ යනු වෙනමම මායාකාර ලෝකයකි. එය විටෙක ජීවත් වීම නම් පුරුද්දෙන් මා මුදවාලීමේ ආසන්නතම ස්ථානයට මගේ සිතිවිලි මෙහෙය වීමට සමත් වෙයි.

සුනාමි අනතුරු ඇඟවූ දිනයකදී හැරෙන්නට ගල්කිස්ස මුහුදු වෙරළ සතියේ ඕනෑම දිනෙක ජනාකීර්ණ ය. කුඩා දරුවෙකු සමඟ සතුටු වන තරුණ දෙමාපියන්, ආසාවෙන් මුහුදු රැල්ලට පනින බූල් දිග බල්ලන්, පෙම්වතුන්ට බලෙන් කඩල විකුණන වෙළෙන්දන්, කුඩයක් අස්සේ ලෝකයක් මවන පෙම්වතුන් සියලොලෝම ජීවත් වීමට තදින්ම ඇබ්බැහි වී ඇති සැටියකි.

ගල් බංකුවක් මත තනිව සිටිනා තරුණියෙකි.
"කොල්ලා එනකං වෙන්නැති" මම සිතමි.
සිතුවිලි එසේ වුවත් පැය කාලක් පමණ මා නෙතු මටත් හොරා ඈ පිළිබඳ ඔත්තු බලමින් සිටියි.

ඇගේ මුහුණේ සිනහවක්ද නැත, දුකක සේයාවක්ද නැත. ඈ ඈත ක්ෂිතිජය දෙසට නෙත් යොමා බලාගත් අතම බලාගෙන සිටියි. ඈ ද මා මෙන්ම මුහුදු වෙරළේ මායාකාරී බව විඳිනවා විය හැක. නමුත් ඇගේ වතෙහිද මායාකාරී බවක් දිස් වෙයි. මා දෙපා ඉබේටම මෙන් ඈ කරා පියනගයි. මා ඈ අසල සිට ගනිමි.
ඕනෑවට එපාවට මෙන් ඈ සෙමින් හිස හරවා මා දෙස බලයි.

"මම විකිණෙන්න නෙමෙයි"
ඈ වචන වලින් මා ඔසවා පොළොවේ ගැසීය.

"මං ආවේ මිලදී ගන්නත් නෙමෙයි"

"එහෙනං? සල්ලි නැතුවම ගෙනියන්න පුළුවන්ද බලන්නද?"

"නෑ මං ආවේ එහෙම දේකට නෙමෙයි"

"එහෙනං කොහොම දේකටද?"
ඈ ක්ෂිතිජය දෙස බලාගෙනම වදන් වලින් කනට ගසන්නීය.

"නිකං තනියම ඉන්නවා දැකලා ආවේ"

"හ්ම්ම්"

ලියන්නට යමක් නැති මගේ සිතුවිලි වේලී ඉරිතලා ඇත. මෙය අලුත් කතාවකට මුල පිරීමක් විය හැකිය. මම අනවසරයෙන්ම බංකුවේ අනෙක් කොන අසුන් ගනිමි.

"කවුරු හරි එනකං ඉන්නවද?"

"ඔව්! කෙනෙක්ව හම්බවෙනකං ඉන්නවා"

"කාවද?"

"මාවම"

"මමත්" මගේ ඒ පිළිතුර මුවින් පිට නොවිනි. සිතින් පිට විනි.

අලුත් කතාවක් හමුවේයැයි සිතා කතාව ඇරඹුවද ඇය කතාවක් නොව ප්‍රෙහේලිකාවකි.

ඇයත් ක්ෂිතිජය දෙස බලාගෙනය.
මමත් ක්ෂිතිජය දෙස බලාගෙනය.

"මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි"
මදෙස නොබලාම පවසන ඇගේ හඩ පැහැදිලිය වදන් තියුණුය.

"හ්ම්ම්ම්"

මිනිත්තු කීපයක නිහැඩියාවෙන් පසු ඇය නැඟී සිටියි.
"මං යනවා"

"මාත් දැන් යන්න ඕනේ. ගාලු පාරටද යන්නේ?"

"හ්ම්ම්ම්"

"මාත් යන්නේ ගාලු පාරට. මාත් එක්ක යන්න අකමැතිද?"

"ම්ම්ම්..... නෑ"
ඇගේ පිළිතුරේ අවිනිශ්චිත බවක් කැටිවී ඇතැයි මට සිතේ.

"එහෙනම් යං"

ඇය මන්තර කාරියකගේ බන්ධනයකට හසුවූ හැඟීම් දැනීම් නොමැති තරුණියක් මෙන් වචනයකුදු නොදොඩා පාර දෙස බලාගෙනම ගමන් කරයි. ගමන වේගවත්ද නැත. මන්දගාමීද නැත.

මම ඈ දෙස බලමි. ඇය කැතයැයි කීමට මට නොහැකිය. මා ඊට වඩා කැත කෙල්ලන් අනන්තවත් දැක ඇත. මට ඇය ලස්සනයි කීමටද නොහැකිය. මා ඊට වඩා ලස්සන කෙල්ලන්ද අනන්තවත් දැක ඇත. තළෙලු පැහැ ඈ ප්‍රියමනාප බවනම් මට නිසැකවම කිව හැක.

"ඔයාගේ නම මොකක්ද?"
ඇගේ නිහඩ බව බිඳීමට මම අසාර්ථක උත්සායක් ගනිමි.

"මං කිව්වේ.... මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා"
ඒ හඩේ තරහවක්ද නැත. සතුටක්ද නැත. දුකක්ද නැත.

ඈ තනිකරම ප්‍රෙහේලිකාවක්මය. නිහඩවම ප්‍රෙහේලිකාව සමඟින් ගමන් ගත් මා ගල්කිස්ස උසාවිය අසලින් ගාලු පාරට පැමිණ සිටිමි.

"ඔයා කොයි පැත්තටද යන්නේ?"
මුලු දෙබස් පුරාවටම දෙවන වරට මදෙස බැලූ ඈ මේ ප්‍රශ්න කරන්නේ මගෙන් ගැලවීමටයැයි මට සිතෙයි.

"ගල්කිස්ස පැත්තට"

"මං යන්නේ දෙහිවල පැත්තට. එහෙනම් මං යනවා"

"ලංකාව පොඩියි. අපි ආයේ මුණ ගැහෙයි."

"ජීවිතේ කෙටියි. සමහරවිට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ"
ඇගේ වචන වෙඩි උණ්ඩ වගේය. ඇගේ මුවේ සිනහවක්ද නැත. වත ශෝකාකූලද නැත. ඇත්තේ ශූන්‍ය බවකි.

ඇය ආපසු හැරී දෙහිවල දෙසට ගමන් කරයි. මම ගල්කිස්ස දෙසට අඩි කීපයක් ගමන් කර නැවතත් හැරී ඈ දෙස බලමි. හැඟීම් දැනීම් නැති ප්‍රෙහේලිකාවක් දෙහිවල දෙසට ගමන් කරයි. ඒ ගමන වේගවත්ද නැත. මන්ද ගාමීද නැත.
ඈ ජිවත්වීම නම් ඇබ්බැහි වීම ප්‍රහීණ කළ කෙල්ලෙක්ද?




[පිතූරෙ-http://www.zepaltaswines.com/files/imagecache/photo-page/files/beach-man.jpg]
Related Posts Plugin for WordPress, Blogger...