Thursday, September 13, 2012

සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි!


මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! 

පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි  නොයන තැනට වැඩේ සිද්ධ උනා.  පෙරේදා හවස ධාතු බලන්න ගිය කට්ටිය ආවේ ඊයේ හවස තුනට. ධාතු බලාගන්නත් බැරි උනාලු. එතකොට මේ දවස් ටිකේ ඔය ධාතු පෙන්නපු හරියෙන් වැඩ ඇරිලා යන කට්ටිය පට්ට දුකක් වින්දලු. මට මේ ධාතු පස්සේ මිනිස්සු යන දැක්කාම හිතෙන්නේ ඇත්තටම මේ අය මොකක්ද මේ කරන්නේ කියලා! 

මේ දවස් ටිකේම සැරෙන් සැරේට ටීවී චැනල් වලත් පෙන්නුවේ ඔය ධාතු ටිකමනේ. මං බලාහෙන ආච්චිලා සීයලාට කැමරාව අල්ලලා අදහස් අහනවා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" කියලා. මුලින්ම ඒක ඇහුවාම මට බකස් ගාලා හිනා ගියා. තව තව අය ඒ කතාවම කියනවා ඇහුවාම මම පට්ට අප්සට් ගියා. වැරදිලාවත් ඒ අයට ඇත්තටම බුදු හාමුදුරුවන්ව මුණගැහුනොත් අනිවාර්යයෙන් කියාවි "අනේ යන්න මෙයා යන්න ඔයා එනවා අපිට කොලොප්පම් කරන්න" කියලා. 

සහෝදර මුස්ලිම් බ්ලොග් ලියන්නෙක් අපි කට්ටියක්ගෙන් ඇහුවා "මොකක්ද මචං ඇත්තට ඔය සර්වඥ ධාතූන් කියන්නේ" කියලා. ඒකට තවත් සහෝදර බ්ලොග් ලියන්නෙක් දීපු උත්තරෙන් කොටසක් තමයි මේ. "ධාතු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙ නොදැවුනු කොටස්. හැගීම් දැනීම් තියෙන්න විදියක් නැහැ. ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැහැ. නමුත් ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරිර කොටස් නිසා එතුමන්ගේ ගුණයන් සිහිකරන්න මිනිස්සු අදටත් ඒවාට වැඳුම් පිදුම් කරනවා."  

දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සර්වඥ ධාතූන් බලන්න ගිය මහා ජනකායෙන් කී දෙනෙක් අපේ සහෝදර බ්ලොග් කරුවා පැහැදිලි කරලා තියෙනවා වගේ, ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැති බව දැනගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරීර කොටස් නිසා එතුමාගේ ගුණ සිහිකරන අදහසින් පමණක් ඔතනට ගියාද කියලා. මම නං හිතන්නේ නෑ ඒ ගිය පිරිසෙන් 2%ක් වත් එහෙම හිතාගෙන යන්න ඇති කියලා. මොකද එතැනට ගිය අය කියනවා ඇහුනේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් ගැන! ඇත්තටම ආගම කියලා මිනිස්සු මේ මොනවද කරන්නේ?

ඊළඟට මහා වීරයෝ සෙට් එකක් බිලි පූජාවක් කරන එක කල් දාගත්තලු. කකුල් හතරේ සත්තු සෙට් එකක් බේරගත්තයි කියලා සමහරු කතා වෙන්නේ රෑ සෙට් වෙලා තටු ගැහුවත් පියාඹගන්න බැරි කුරුල්ලෙක්ගේ කටු සූප්පු කර කර! 

බිලි පූජාව කියන්නේ හින්දු ආගමිකයින්ගේ යම් විශ්වාසයක් නිසා කරන දෙයක්. හරියට අපේ බෞද්ධයෝ ලෙඩකදි දුකකදි බෝධි පූජා තියෙන්වා වගේ! ඔන්න දැන් වැරදියට තේරුම් ගන්න එපා. මං මේ කතා කරන්නේ එක එක ආගම් අදහන අයගේ විශ්වාස ගැන මිසක් සත්තු මැරීම පව්ද පින්ද කියන එක ගැන නෙමෙයි!  බෝධි පූජාව කියන්නේ ගහකට වැඳිමක්, ඒක හෙන ගෝත්‍රික හැසිරීමක් ඒක තහනම් කරන්නැයි කියලා වෙන ආගමක සෙට් එකක් අධිකරණයකට ගියොත් අපේ බෞද්ධ උපාසක ඇත්තන්ට කොයි වගේ සිතුවිලි පහල වෙයිද? ඒ හා සමානම සිතුවිලි හින්දු ආගමිකයින්ට මේ වෙනකොට ඇති වෙලා නොතිබ්බොත් තමයි පුදුමේ!

කොහොමහරි පහුගිය දවසක අධිකරණෙන් කියලා තිබ්බා බිලි පූජාව නවත්වන්න නියෝග දෙන්න අධිකරණෙට බලයක් නැහැයි කියලා. මටනම් සතුටුයි. බෞද්ධයින්ටත් විශ්වාස ඇදහීම් තියෙනවානම්, අනික් ආගම් වල ඒවා නැති කරන්නැයි කියලා පෙළපාලි යන එක පිස්සුවක්! ඒකත් හරියට නිකං "ඔයා ඔහොම කමෙන්ට් කරනකොට කැතයි. අපි ඕකම මෙහෙම කියනවා. ඒවා ලස්සනයි" කියනවා වගේ! කෝකත් එකයි නම් ඇයි එකකට එහෙම කියන්නේ?

මේ කාටවත් යමක් තේරුම් කරන්නවත්, කාගෙවත් ඔළුවට යමක් බලෙන් දාන්නවත් ලියපු ලියවිල්ලක් නෙමෙයි. මගේ ඔළුවේ කැකෑරි කැකෑරි තිබ්බ වචන ටිකක් විතරයි! කොහොම හරි මේ දේවල් මේ විදිහට දිගින් දිගටම සිද්ධ උනොත් අපිට "අනේ යුද්ධේ තිබ්බනං හොඳයි" කියලා කියන්න වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි! මොකද යුද්ධයකට වඩා ආගමික උමතුව සෑහෙන්න දරුණුයි!


ප.ලි : මේ ලිපියටම දේශපාලනේ ගැනත් යමක් ලියන්න උවමනාව තිබ්බත් මට ඒ ගැන කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මොකද කෑගහගෙන, කුණුහරුප කියාගෙන, ගහගෙන, මරාගෙන, අපහාස කරගෙන මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ බලයට එන්න හදන්නේ අපේ රට සෞභාග්‍යමත් කරලා අපි වගේ සාමාන්‍ය ජනතාවට යහපතක් කරන්නනේ කියලා මතක් වෙනකොට මගේ පපුව රිදෙන්න ගන්නවා!


[ පිතූරෙ - http://www.rudyh.org/rudyh-images/religion-heaven.jpg ]

Friday, September 7, 2012

අහම්බය...


ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන ඇසෙද්දීම සිතෙන්නේ එය කිසියම් අද්භූත බලවේගයක් නිසා සිදුවන බවයි. අද්භූත බලවේග විශ්වාස නොකරන මම, මාගේ ශබ්ධකෝශයෙන් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන කටුගා දමා ඒ වෙනුවට අහම්බය යන තනි වචනය භාවිත කරමි.

ඇය මා හමුවීමද අහම්බයකි.

එතරම් සෙනඟ නොමැති බස් ර‍ථයේ පිටුපසට වන්නට තනි ආසනයක මා වාඩිවී සිටිමි. ඇය ඉදිරිපස දොරටුවෙන් බසයට ගොඩ වූවාය. එක එල්ලේම මදෙස බැලූ ඇය, ඇස් ඉවතට නොගෙනම මදෙසට පිය නඟයි. ඇඟේ පැහැපත් මුහුණේ පැහැදිලි හැඟීමක් කියවීමට මා අපොහොසත් වූ අතර ඇය මට ඉදිරියෙන් වූ අසුනේ හිඳ ගත්තාය. බස් නැවතුම් කීපයක් පසු විය. අසුනෙන් නැඟී සිටි ඈ කුඩා කොල කැබැල්ලක් මා අත තබා ඊළඟ නැවතුමෙන් බැස ගියාය. එහි ඇත්තේ ඇගේ දුරකතන අංකයයි. 

කෙටි පණිවිඩ කිහිපයක් පමණක් වැයකොට පසු දින මුණ ගැසී විනාඩි කීපයක කතාවකින් අනතුරුව කුලියට ගත් කාමරයක පැයක් ගතකොට  පටන්ගත් අපේ සම්බන්ධයට නමක් නොතිබිණි. අපේ සම්බන්ධයට ආදරය යන නම යොදා අපවම රවටා ගැන්මට ඇයටත් මටත් උවමනාවක් නැත. ඇයට මගේ නමද මට ඇගේ නමද හැරුණු කොට අන්කිසිවක් දැනගැන්මටද උවමනාවක් නැත.

පාළු මං මාවත් වල, බොහෝ කලබල මුහුදු වෙරළ වල, චිත්‍රපට ශාලා වල, පැයකට වෙන් කරගත් කාමර වල දින සති ගෙවී යයි.
පැයක කාලය අවසන් වීමට තව විනාඩි පහළොවක් ඉතිරිය. මාද ඇයද ඇඳේ වැතිර සිටිමු. සිවිලිමේ එල්ලා ඇති හෙමින් කැරකෙන විදුලි පංකාවේ 'කරස්' 'කරස්' ශබ්ධය ඇසෙන තැන සෙවීමට මගේ දෑස් වෙහෙසෙන අතරතු....

"ඔයාට කෙල්ලෙක් ඉන්නවද?"  ඇය අසයි

"නෑ"

"වෙන්න බෑ..."

"ඇයි?"

"ඔයාගේ තොල් ලස්සනයි"

"එහෙනං ඔයාට කොල්ලෙක් ඉන්නවද?"

"නෑ... මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑනේ.."

"ඒ උනාට ඔයාගේ ෆිගර් එක ලස්සනයි"

"මං කිව්වේ මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑ කියලා"

"ඒ උනාට..........." වාක්‍යය නිමා කිරීමට ඇගෙ තොල් මගේ තොල් වලට අවසර නොදෙයි.

***********************

ආදරය යනු හිස් වචනය පමණක් බවට ඈ කරන තර්ක බිඳ දැමීමට මට නොහැකිය.

"ආදරේ කියලා දෙයක් නෑ. ඒක බොරුවක්"

"එතකොට අර පොඩි ළමයගේ අම්මාගෙයි තාත්තාගෙයි අතර තියෙන බැඳීම මොකක්ද?" තම සිඟිති දියණිය සමඟ මුහුදු වෙරළේ සෙල්ලම් කරනා තරුණ දෙමාපියන් දෙසට ඇඟිල්ල දික් කරමි. 

"ඒ ආසාව සහ බලාපොරොත්තුව"

"විකාර!"

"ඔව් එක විදිහක විකාරයක් තමා.... ඔයයි මමයි කාමරේකට යන්න තියෙන ආසාවම එයාලා ළඟත් ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාලගේ බලාපොරොත්තුව තියෙන්නේ අර හයක් හතරක් නොතේරෙන පොඩි ළමයා ගාව."

"ඒ කිව්වේ?"

"ඒ කිව්වේ ඒ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා තමන්ට තනියම යමක් කරන්න බැරි කාලෙට ඒ ළමයා ඒ අයව බලා ගනී කියලා"

"ආත්මාර්ථකාමී නේ!"

"ඉතිං හැමෝම එහෙම තමයි. ඔයයි මමයි උනත්"
මම නිශ්ශබ්ධ වීමි.

***********************

රෑ එළිවෙන තුරු කරන දුරකතන සංවාද අප අතර නැත. යළිත් මුණ ගැසෙන තැනක වෙලාවක් ස්ථිර කරගැනීමට දින කිහිපයකට වරක් කෙරෙන මිනිත්තු තුන හතරක සංවාදයක්, කෙටි පණිවිඩ දෙක තුනක් පමණි. නමුත් ඇය මා මුණ ගැසුන විට අපි ගැන අඩුවෙන්මද තව බොහෝ දෑ ගැන ද සාකච්ඡා කරමු.

"දන්නවද වැඩක්?" මම අසමි.

"නෑ"

"අද මගේ උපන්දිනේ"

"මොන අවුරුද්දෙද?"

"අසූ නමයේ"

"අපෝ පොඩි එකෙක්නේ!"

"ඇයි ඔයා කීයෙද?"

"අසූ හයේ"

"නාකි ගෑණියෙක්!"

***********************

අපේ නිර්ණාමික බැඳීමේ පුද්ගලික තොරතුරු හුවමාරුව අල්ප වීම මත අප අතර විඳවීම් ඇත්තේම නැත. ඇත්තේ විඳීම් පමණි. නමුත් මහා ලේඛකයන් කියන පරිදි ආදරය යන බැඳීම ශක්තිමත් වන්නේ ප්‍රශ්න ගැටළු ඇති විටය.  ප්‍රශ්න ගැටළු නැති අපේ නිර්ණාමික බැඳීම ශක්තිමද්ද නැද්ද යන්න අපි නොදනිමු. එය දැනගැන්මට අපට උවමනාවක්ද නැත.  ශක්තිමත් වූ බැඳීම් යනු හිතට වේදනාවක් පමණකි.

කාමරයක ගතකළ පැයක් අවසානයේ අප නිවෙස් බලා යන මොහොත පැමිණ ඇත.

"අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා"

"ඔයා කැමතිද?"

"ඔව්! ඒ හින්දා මට ආයේ එන්න වෙන්නේ නෑ. මම නොම්මරෙත් මාරු කරන්න හිතාගෙන ඉන්නේ"

"නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"

"ඒ ඔයානේ..."
කිසිඳු හැඟීමකින් තොරව ඈ යන්නට යයි.

"මේ දන්නවද?" පියවර කීපයක් ගිය ඈ ආපසු හැරී කතා කරයි.

"නෑ"

"එයාගෙත් තොල් ලස්සනයි!"
සියුම් සිනහවක් ඇගේ මුවේ ඇඳිනි. නැවත ගමන පටන්ගත් ඈ යන්නටම ගියාය.

ඇය මා හමුවීම මට යහපතක් හෝ අයහපතක් නොවූ තැන, ඒ හමුවීම නිකම්ම නිකම් අහම්බයක් පමණකි. නමුත් අපූරු අහම්බයකි!





Related Posts Plugin for WordPress, Blogger...