Tuesday, February 14, 2012

මගේ පස්වන වැලන්ටයින් සැමරුම!


වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්‍ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්‍ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ඇයටත් මටත් ප්‍රශ්නයක් නොවේ. වැලන්ටයින් දිනය පොහොසත් වන වෙළෙන්දාට වඩා අපේ ආදරේ වැඩියෙන් පොහොසත් වන බව අපි හොඳාකාරවම දනිමු.

වැලන්ටයින් යනුවෙන් පෙම්වතුන්ට වෙනම දිනයක් උවමනා නැති බවට ඇතැම් නාකි පත්තරකාරයින් තර්ක කරයි. උන්ට උඩගෙඩි දෙන තරණ තරුණියන්ද නැත්තේම නැත. නමුත් බොහෝ වේලාවට ඒ තරුණ තරුණියන්ද පෙරදාක මහත් ආසාවෙන් වැලන්ටයින් සැමරූ පසුව පෙම්වතා පෙම්වතිය විසින් බූට් එක තබනු ලැබූ ඇත්තන්ය. මටද ඇයටද ඔවුන් ගැන තරහක් නැත. ඇත්තේ අනුකම්පාවක් පමණකි. පෙම්වතුන්ගේ දිනය වැඩක් නැතැයි පත්තරවල පිටු පුරවන ඇත්තෝම පසුව වැඩිහිටි දිනයේ, ගුරු දිනයේ ඇති වැදගත්කම් ගැන මහා ලොකුවට පිටු පුරා ලියයි. මගේ තර්කයනම් පෙම්වතුන්ට විශේෂයෙන් දිනයක් අවශ්‍යය නැතිනම් අනෙක් විශේෂ දිනයන්ද අවශ්‍යය නොවන බවයි. නමුත් සමහරවිට ආලයෙන් අන්ධ වී සිටන මගේ තර්ක බොළඳ විය හැකිය. කෙසේ නමුත් මොනයම්ම හේතුවකින් හෝ මගේ ආදරේ මට අහිමි වුනත් වැලන්ටයින් කුහකයෙකු බවට පත්වී පත්තර පිටු බ්ලොග් පිටු පුරවන්නේ නැති බව මම දිනක් ඇයටද පැවසීමි. "ආ.... දැන් ඉතිං මගෙන් බේරිලා යන්න හිතුවා මදි" හුරතල් හඩින් මීට වසර කීපයකට ඉහතදී ඈ දුන් පිළිතුර මට තාමත් මතකය.

වැලන්ටයින් දිනයේ තෑග්ගක් ගැනීමට තමන් වැයකළ මුදල, ඒ තෑග්ග නිසා ඇය ලබන සතුටට අනුලෝමව සමානුපාතික නොවන බව මට වැටහුනේ මීට වසර කීපයකට ඉහතදීය. ඒ සඳහා අවශ්‍යය වන්නේ ඇගේ ආශාවන් හොඳින් හඳුනා ගැනීම පමණකි. ඇය ටෙඩි බෙයන්ට බොහෝ ආසා කරන බව මා දැනගත්තේ මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයට ආසන්න දවසකදීය. ටෙඩි බෙයන් යනු සාම්ප්‍රදායික වැලන්ටයින් තෑග්ගක්යැයි සිතාගෙන සිටි නිසාමදෝ මා ඇයට ඊට කලින් ටෙඩි බෙයෙකු තෑගි දී තුබුණේ නැත. ඒ ටෙඩි බෙයාර් ගැනීමට වැයවූ මුදලට වඩා වැයෙන් වියදම් කොට ඇයට විවිධ තෑගි මා ලබාදී ඇති නමුත් මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයේ මා ඇයට තෑගිදුන් තරමක් විශාල ටෙඩි බෙයාර්ව ඇය සලකන්නේ එදා මෙදා තුර ඇයට ලැබුණු හොඳම වැලන්ටයින් තෑග්ග ලෙසය.

වැලන්ටයින් දිනට ඇයට තෑග්ගක් දී ඇගේ මුහුණේ ඇදෙනා දහසක් සිතුවම් අතරේ අතරමං වීම තරම් මා ප්‍රිය කරනා වෙනත් යමක් මෙලොව ඇත්දැයි මම නොදනිමි. ඉතිං පස්වන වතාවටද එසේ අතරමං වීමට මට අද අවස්ථාව ලැබෙනු ඇත. හමුවීමට කතා කරගත් තැන පේන්නට තරමක් දුරින් හිඳ ෆෝන් එක ඕෆ්කර දමා ඇයට හොරෙන් ඇය දෙස බලා හිදිමි. ඇස් රතුවී මුහුණ කළු වී ආහසු හැරී යන විට පසුපසින් ගොස් ඇයට කතා කරමි. ආදරේට පුංචි විහිළුවක් කළාට වරදක් නැත. මක්නිසාද යත් ඇගේ මුහූණේ පෙර නුදුටු සිතුවම් රාශියක් මතුකරගැන්මට හැකිවන නිසාය. විටෙක එය ආත්මාර්ථකාමී සිතුවිල්ලක් ලෙස ඔබට පෙනෙනු ඇත. ඊට කමක් නැත ආදරවන්තයෝ කොහොමත් ආත්මාර්ථකාමීය.
ඔබ සැමට සුභ වැලන්ටයින් දිනයක්!



ප.ලි : නිර්මාණය සහ නිර්මාණකරුවා යනු දෙදෙනෙකි!



[පින්තූරෙ-http://www.4to40.com/images/egreetings/Valentine_Day/What_is_LOVE-Valentine_Day-507_big.gif]

Wednesday, February 1, 2012

අනිත්‍යය..‍. (අමුතු කවි)

කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න.
Related Posts Plugin for WordPress, Blogger...