Thursday, March 21, 2013

ඇගේ කතාව.....


මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් බයෙන් වගේ බලං හිටපු හැටි. "ඔයා මොකද කියන්නේ?" කියලා මගෙන් අහපු හැටි. ඒ හැම දෙයක්ම මට හොඳට මතකයි. මම එවෙලේ කිව්වා තව ටිකක් හිතලා කියන්නම් කියලා. ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ හිත ගියපු කොල්ලෙක් තමන් පස්සෙන් එන ප්‍රීතිය විඳින්න අකමැති කෙල්ලෝ මේ ලෝකේ නැතුව ඇති. ඊට දවස් දෙකකට පස්සේ මම එයාට කැමති උනා. එයා පස්සේ දවසක කිව්වා එදා අත් දෙක සාක්කුවට දාගෙන හිටියේ අත් සීතල වෙලා තිබ්බ නිසා කියලා. ආදරේට කෝඩු කාරයෝ එහෙමයි කියලා මම පස්සේ කාලෙක දැන ගත්තා. 

ඒ කාලේ හරිම සුන්දරයි. මට හරිම පහසුයි. මගේ යාළුවෝ බස් වල හිර වෙලා දාඩිය පෙරාගෙන යනකොට මම හුළං වැදි වැදී ශෝක් එකට ත්‍රීවීල් එකේ පන්ති ඇරිලා ආවා. මම ගිය හැම ගමනක්ම ගියේ ත්‍රී වීල් එකේ. ගෙදරින් මඟ වියදමට දෙන සල්ලි වලින් මම එයාට පොඩි පොඩි තෑගි අරන් දුන්නා. ශොපින් ගියෙත් ත්‍රීවීල් එකේ. ඇත්තටම ගෙදරින් එළියට බහින ඕන වෙලාවක මට එයාගේ ත්‍රීවීල් එක තිබුණා. හැම දේම වෙනස් උනේ අපේ ගෙදරින් අපි දෙන්නගේ සම්බන්ධේ දැනගත්තු දවසේ. හැමෝම මට බැන්නා "තොට පිස්සුද රස්තියාදුකාරයෝ එක්ක යාළු වෙන්න" කියලා. අක්කා බැන්නා "උඹට ත්‍රීවීල් කාරයෙක් ඇරෙන්න වෙන යාළු වෙන්න එකෙක් හිටියෙම නැද්ද?" කියලා. ඉතිං මම එදාම තීරණය කළා ඒ සම්බන්ධේ නවත්තන්න.

ඉස්කෝලෙන් අස් උනාට පස්සේ මම පොඩි ජොබ් එකක් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම සති අන්තේ කෝර්ස් එකක් කළා. සතියේ දවස් වලට උදේට වැඩට යන වෙලාව, හවසට වැඩ ඇරිලා එන වෙලාව කියන්නේ බස් වලට ඇඟිල්ලක් ගහන්න බැරි වෙලාවල් දෙකක්. ඒ අස්සේ වෙන වෙන තැන් වලට ඇඟිලි ගහන්න එන වලත්තයෝ! ඒ කාලේ උදේට බස් එකට නඟින්න හෝල්ට් එකේ ඉන්නකොට වැඩට යන බයික් කාරයෙක් මට බැල්ම දාන්න පටන් ගත්තා.

මම එයාට කැමති උනා. මුල්ම සති දෙක විතර මම බොරුවට එයාගේ බයික් එකේ වැඩට යන්න අදි මදි කළා. කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕනේ. එතකොටයි අගේ. පස්සේ හයියෙන් බ්‍රේක් ගහන්න බෑ කියන කොන්දේසිය උඩ මම එයත් එක්ක බයික් එකේ යන්න කැමති උනා. උදේ වැඩට යන එක, වීක් එන්ඩ් එකේ ක්ලාස් යන එක ඊට පස්සේ මට කිසිම කරදරක් උනේ නෑ. එයා මහ ලොකු ජොබ් එකක් කරපු කෙනෙක් නෙමෙයි. ඒත් බයික් එකක් තිබ්බ එකම කොච්චර දෙයක්ද.

කාලයක් යනකොට මම වෙන තැනක ටිකක් හොඳ ජොබ් එකකට ගියා. එතන වැඩකරන කෙනෙක් මං ගැන උනන්දුයි කියලා මට දැනුනා. ඒ කාලෙදිමයි මට දූවිලි නිසා නිතර නිතර හෙම්බිරිස්සාව හැදෙන්න පටන් ගත්තෙත්. බයික් එකේ නහය වහගෙන යන එකත් එපා වෙන වැඩක්. අලුත් තැන මං ගැන උනන්දුවක් දක්වපු කෙනාට පොඩි මරූටියකුත් තිබ්බා. මට බයික් එකේ යෑම එපා උනා. ඒ නිසා මම ඒ සම්බන්ධේ නැවැත්තුවා. මාසෙකට විතර පස්සේ මරූටියක් තිබ්බ කෙනාට මම කැමැත්ත දුන්නා.

කාලය කියන්නේ හරි පුදුම දෙයක්. මේ සේරම සිද්ධි ඉවර වෙලත් දැන් අවුරුදු තුනක් විතර උනා. හරියට අද ඊයේ වගේ මතකයි. අද මං ඉන්න තැන ගැන මට කිසිම දුකක් නෑ. මුලින්ම ත්‍රීවීල් කාරයෙක් එක්ක යාළු උන මම, අද වාහන දෙකක අයිති කාරයෙක්ගේ බිරිඳක්. හැරත් එක වාහනයක් මගේ නමට. මං අන්තිම යාළු වෙලා හිටපු මරූටියක් තිබ්බ කෙනා හරි හොඳ මනුස්සයා. ඒත් එයා ධර්මෙට ඕනෑවට වඩා නැඹුරුයි. එහෙම ජීවත් වෙන එක මට අමාරුයි. ඒ නිසයි මම ඒ සම්බන්ධේ නැවැත්තුවේ. කෝසල තමයි මට හරියටම හරියනවයි කියලා හිතුන කෙනා. ඒකයි මම කෝසලව බඳින්න කැමති උනේ. ජීවිත ගමන කියන්නේ ලේසි මහසු ගමනක් නෙමෙයි. ඒ ඒ වෙලාවට හරියන තීරණ ගන්න වෙනවා.

බීඊ...................ප්.............බීඊ.............ප්

ගේට්ටුව දෙසින් ඇසුණු වාහනයක නළා ශබ්ධය ඇගේ සිතුවිලි දැහැන බිද දැමීය. ඈ හනික හිඳ ගෙන සිටි තැනින් නැඟිට ගේට්ටුව දෙසට දිව ගියේ තම පෙම්බර සැමියා පිළිගන්නටයි.




[පින්තූරෙ - http://funny-pictures-blog.com/wp-content/uploads/funny-pictures/Funny-Pictures---Men-vs-Women-Quotes.jpg ]
Related Posts Plugin for WordPress, Blogger...