Monday, April 30, 2012

බල්ලා!


බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.

බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන විශේෂ වර්ගයක බල්ලෙක් නොවූ ටිබියා නිකම්ම නිකම් බල්ලෙකි. ඌ අප පවුලේ සැමට බොහෝ සේ ඇලුම් කළේය. පවුලේ දෙදෙනෙකු බොරුවට රණ්ඩු වන ආකාරය රඟ දක්වන විට ටිබියා බුරාගෙන විත් එක අයෙකුගේ ඇඟට පනී. පසුව උගේ එම හැසිරීම අපි සෙල්ලමකට ගතිමු. නමුත් සෑම බල්ලෙකුම ටිබියා මෙන් හැසිරෙනු ඇතැයි මට සිතිය නොහැකිය.

ටිබියාගේ ප්‍රියතම ආහාරය වූයේ බිස්කට්ය. එයින්ද මාරි බිස්කට් වලට ඌ මහත් ප්‍රිය කළේය. බිස්කට් පැකැට්ටුවක් කැඩීමේදී නැගෙන හඩ හෝ ඊට සමාන හඩක් හෝ ඇසෙන දුරකින් ටිබියා සිටියහොත් කන්දෙක ඔසවාගෙන විත් ඇස් ලොකු කර ඔළුව කරකවමින් අප දෙස බලන බැල්ම සමහර දාක ඌට බිස්කට් පැකැට්ටුවෙන් භාගයක් පමණ ලබා දීමට සමත්ය.  

ටිබියා ගෙදර තනිව දමා අප කොහේ හෝ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථමයෙන් ඌට මාරි පැකැට්ටුවක් කඩා දී යාම පුරුද්දක් බවට පත් වුවත් අදාල ගමන් ගොස් පැමිණෙන අපට දැකගත හැකි වන්නේ බිස්කට් දෙක තුනක් පමණක් ඌ ආහාරයට ගෙන ඇති බවකි. අප සැම නිවසින් පිටව ගියපසු ඌ පැයක් දෙකක් නොකඩවාම හැඩූ බව අසල්වැසියන් පවසද්දී අප සිත්තුල දුකක් ඇති නොවුනා යැයි කිව හොත් එක අමූලික බොරුවක්ය. එක් දිනක් අප සැම නිවසින් පිට වෙද්දී ටිබියා හැකිතාක් වේගයෙන් අප ගමන් ගත් වාහනය නොපෙනී යන තෙක්ම අපව ලුහුබැඳ පැමිනෙන දර්ශණය මා වාහනයේ පැති කණ්ණාඩියෙන් දුටු අයුරු සිහිවන විට මේ ලියමන ලියන මොහොතේ පවා මා සිත වේදනාවට පත් කරයි. 

ටිබියා අප නිවසට රැගෙන ආවේ මැයි පළමුවන දාකය. ගෙනා දින පටන්ම ඌ නීරෝගිමත් සතෙක් නොවිනි. ඌව බොහෝ අවස්‍ථාවල පශු වෛද්‍ය වරයා වෙත රැගෙන යන්නට විය. ඌ දෙතුන් වරක්ම මරණාසන්න ලෙස රෝගාතුර වූ නමුත් කෙසේ හෝ බේරාගැනීමට හැකි විය. පිටින් පෙනන කිසිදු ලක්ෂණයක් නොමැති වුවත් ඌට ඇවිදින්න අපහසු විය. කෙසේ හෝ වසර පහකට පමණ පසුව තදබල ලෙස අසනීප වූ ටිබියා එන්න එන්නම දුර්වල වී ඇවිද ගැනීමට නොහැකි තැනටම පත්විය. එසේ තිබියදී මා තනිවම ඌව පශු වෛද්‍ය වරයා ළඟට රැගෙන ගිය නමුදු කිසිත් නොකියාම ඌට බෙහෙත් කළ වෛද්‍ය වරයා අදාල ගාස්තුව පමණක් මට පැවසීය. තත්වය එසේ තිබියදී අපට බොහොම සමීප ඥාතියෙකුගේ මලගෙදරකට සහභාගී වන්නට සිදුවිය. අදාල නිවසට පැමිණ පැයක් ඉක්ම යන්නට මත්තෙන් අසල්වැසි නිවසකින් ඇමතුමක් ආවේ බෝහෝ වේලා කෑ ගසමින් සිටි ටිබියා මියැදී ඇති බවයි. 

වෙන විකල්පයන් නොවූයෙන් අවසානයේ මා තනිවම මගේ නිවසට පැමිණ වත්ත අයිනේ වලක් හාරා ඌව වල දැම්මෙමි.  

ටිබියා ලෙඩ වූ සෑම අවස්‍ථාවකදීම අපි බොහෝ කණගාටු වූයෙමු. කොටින්ම මා මගේ මිතුරෙකුට නෑයෙකුට අසනීපයක් වූ විට කණගාටු වනවාට වඩා බොහෝ සෙයින් ටිබියා අසනීප වූ විට කණගාටුවිය. මනුෂ්‍යයෙකුට අසනීපයක් වූ විට ඔහුට ඒ වේදනාව අන් අයට පැවසිය හැකිය නමුත් වෙනත් සත්වයෙක්ට එසේ කිරීමට නොහැකිය. බල්ලන් මිනිස්සුන්ට උවමනාවට වඩා ලං වෙයි. එය අදාල සත්වයා අසනීප වෙද්දී හිතට මහත් පීඩාවක්ය. ටිබියාගේ මතකය යළිත් බල්ලෙකු ඇති කිරීමට මා සිත තුල පවතින ආශාව මැඩපැවැත්වීමට සමත්ය.

ඉහත ඡායාරූපයේ සිටින්නේ කුකීයාය. ඈ ඇති දැඩි කරන්නේ අප යාබද නිවසේ සිටින මාගේ බාප්පා ඇතුලු ඔහුගේ පවුලේ අය විසිනි. නමුත් ඔවුන්ගේ පවුලේ සෑම දෙනාම උදෑසන 8ට නිවසින් පිටවන අතර නැවත් එන්නේ සවස 5ත් 7ත් අතරය. ඒ අතර කාලය තුල කුකියා සිටින්නේ අප නිවසේය. ඌ දැන් තමාගේ නිවසේ අයට වැඩියෙන් අප නිවසට සමීප වී ඇත. ටිබියාගේ මතකය මා කුකියාගෙන් ඈත්කර තබයි. ඕනෑම සත්වෙක්ට උවමනාවට වඩා ලංවීම සැබවින්ම වේදනාවක්මය. නමුත් අප යම් යම් අයට ලං වීම නිසගයෙන්ම සිදුවෙයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුකීයා ගේට්ටුව අතරින් තම නිවැසියන් පැමිණෙන තුරු බලා සිටින අයුරුයි. සවස 5ට පමණ ගේට්ටුව අසලට ගොස් රූපයේ අයුරින් ඈ නිවැසියන් එනතුරු රෑ 8 වනතුරු පවා ඇතැම් දවසක බලා සිටියි.
 

කුමන හෝ අමන වැඩක් කළ ගැහැණියකට පිරිමියෙකුට බැණ වැදීමට සුලභව යොදා ගන්නේ "බැල්ලී/බල්ලා" යන වචනයයි. නමුත් කෙනෙකුට බැණ වැදීමට ඒ වචනය කෙතරම් නම් උචිතද? කුමන හෝ නොමනා ක්‍රියාවක් කරන බල්ලෙකුට බැණීමට "මිනිහා" යන වචනය යොදා ගන්නට බැරිද?



ප.ලි : මගේ මතකය ඇවිස්සුවේ වෙනී අයියායි!

66 comments:

  1. බල්ලා කියන්නේ අපිට ගොඩක් සමීප කෙනෙක්. ඇත්තටම මමත් බල්ලන්ට ගොඩක් ආදරෙයි. අපේ ගෙදර ලකී, මිකී, රෝසි කියලා බල්ලන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ අත්දැකීම මටත් පොදුයි.

    ReplyDelete
    Replies
    1. එකෙක් නිසා මෙහෙම උනානම් තුනක් ගැන හිතන්න ඕනත් නෑ මට!

      Delete
  2. මමත් පූසන්ට වඩා බල්ලන්ට ආදරෙයි. එයාලා මිනිස්සුන්ට වඩා හොඳයි තමා. බැන්නට බනිනෙත් නෑ. එයාලගේ ආදරේ කවදාවත්ම නැතිවෙන්නෙත් නෑ.:D

    ReplyDelete
    Replies
    1. ආදරේ කවදාවත්ම නැති නොවෙන්නේ කතා කරන්න බැරි නිසාම වෙන්න ඕනේ! නැත්තං ඉතිං රණ්ඩු තමයි!

      Delete
  3. පුසෙක්ගෙන් බල්ලෙකු ගැන සංවේදී ලිපියක්...

    ReplyDelete
    Replies
    1. මම කියන්න හදපුඑක ලිව්වෙ මොකෝ?

      Delete
    2. Observer : ඔබා මාමා ගාවත් ඉන්නවා නෙවෙද දඩෝරියෙක්!

      රාජ් : දැන් ඉතිං මොනා කරන්නද!

      Delete
  4. එකිනෙකට වෙනස් උනත් ඔය හැසිරීම් ඔහොමම තියෙන බල්ලො 4ක් ඉන්න අයිතිකාරයෙක්ගෙ ඇනෙක්ස් එකක ඉන්න මට..කවදා හරි වෙන තැනකට යනකොට දාලා යන්න බැරි මේ හතර දෙනාව කියලනම් නොසෑහෙන්න සුවර්..අපි කොහෙ හරි ගිහිල්ලා ආපහු එනකොට අපිව පිලි ගන්න ඒගොල්ලන්ගෙ සතුට පෙන්නන හැටි...හරිම සංවේදීයි..

    ReplyDelete
    Replies
    1. මූණට හිනාවෙලා හොරෙන් හතුරුකම් කරන සමහර මිනිස්සුන්ට වඩා උන් සෑහෙන ඉස්සරහින් ඉන්නවා!

      Delete
  5. අඩේ ඉතින් පූසො ගැනත් හොද ලිපියක් ලියපන්කෝ... මම නම් ඉතින් පූසන්ට තමා කැමති.. බල්ලොන්ට අකමැත්තක් නෑ.. ඒ උනාට බල්ලොන්ට මාව ඇලජික් නෙ.. හේතුව මම නොදනිම්. පාරෙ කූල් එකේ නිදාගෙන ඉන්න බල්ලෙක් උනත් මාව දැක්කම ගොරවන්න ගන්නවනෙ

    ReplyDelete
    Replies
    1. සමහර අයට එහෙම වෙනවා. මාත් හේතුව දන්නේ නෑ ඒත් අපේ පැත්තේ ඉන්න අංකල් කෙනෙක්ටත් ඔහොම්මමයි. එයාව දැක්ක හැටියේ බල්ලෝ ඇවිස්සෙනවා.
      පූසෝ ගැන මේ විදියට ලියවෙන්නේ නෑ. අපේ ගෙදරත් පූසෙක් හිටියා. ඕන සතෙක් අසනීප වෙනකොට හිතට දුකයි. ඒත් බල්ලෝ තරම් පූසෝ ගෙදර අයට ලං වෙන්නේ නෑ....

      Delete
  6. මාරි බිස්කට් වලට මම වගේම අපේ ටෙඩියාත් මාර ආසයි. හොඳ වෙලාවට අපේ පූසා මාරි බිස්කට වලට ආස නෑ.

    ප.ලි - බල්ලෙකුට උගෙ ගෙදර අය තමයි උගෙ රංචුව. ගොඩක් වෙලාවට උන් ගෙදර තාත්තා හරි අම්මා හරි ‍රැළේ නායකයා විදියට පිළිගන්නවා. එතකොට ගෙදර ළමයි සහ අනිත් උදවිය සාමාජිකයෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න ඇති හැබැයි බල්ලාට වැඩියෙන් ආදරය කරන කෙනාට තමයි ඌ වැඩියෙන් ලෙන්ගතු!

      Delete
  7. මගෙ ඔලුවට ආපු පලවෙනි අදහස ඔබා අය්යා ඒ විදියටම කියලා. 'පූසෙක් බල්ලෙක් ගැන ලියූ සංවේදී ලිපියක්!"

    පුදුමයකට වගෙ පොඩි කුමාරිහාමිත් මට එකඟ වෙන්න පුලුවන් දෙයක් කියලා. නමුත් ඒ පොඩ්ඩි 'පිරිමින්ට' කියන එක වෙනුවට වැරදීමකින් 'මිනිස්සුන්ට' කියලා ලියලා නෙවෙයි නම්. :D (පොඩ්ඩිත් එක්ක කොක්කක් ඇද නොගත්තොත් මගෙ දවස සම්පූර්න නෑ වගෙ! :D)

    මිනිසුන්ගේ රන්ඩු වලදී බල්ලාගේ නම ඈඳාගෙන බල්ලන්ට අපහාස කිරීමට මගේ බලවත් විරෝධය!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කියලා එතන ලිව්වට අනිවාර්යයෙන්ම හිතේ තියෙන්න ඇත්තේ පිරිමි කියලා! :D

      Delete
  8. හ්ම්..බල්ලෙක් ගැන පූසෙක්ගේ මතක..

    සමහර වෙලාවට අපේ සුරතල්ලුන්ගෙ තියන මතක හැකියාව අපිව පුදුම කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර වෙලාවට අවුරුදු කීපයකට පස්සේ දැක්කත් තමන්ට ආදරේ කරපු කෙනෙක්ව ඒ සතාට ක්ෂණිකව මතක් වෙනවා!

      Delete
  9. [නමුත් කෙනෙකුට බැණ වැදීමට ඒ වචනය කෙතරම් නම් උචිතද? ] සම්පූරණ අැත්ත!

    ReplyDelete
    Replies
    1. බොහෝ අවස්ථා වල තිරිසන් සත්වයින් මනු සත්වයින්ට වඩා සෑහෙන්න හොඳයි!

      Delete
  10. පූසා වැඩක් නෑ.. බල්ලෝ සෝයි.....

    ReplyDelete
    Replies
    1. මූණටම ඔහොම කියනවද? :D

      Delete
  11. ඇත්ත මචො..ඔය වැඩේනම් මමත් අනුමත කරන්නැ..කාගේ හරි අමන වැඩකට බල්ලා හො බැල්ලි යනුවෙන් ඇමතිම අර කී සත්වයාට කරන නිගාවකි...මා සිතන පරිදි මිනිසාට ඉතාමත් සමීපතම සත්වයා බල්ලාය...ඔබගේ පුවත කියවා මසිත ද සසළ විය.

    ReplyDelete
    Replies
    1. සිත් සලල වෙන් සුළුය සතුන් ඇති නොකිරීම සිත් සසල වීම අඩු කරගත හැකිය!

      Delete
  12. බල්ලො ගැන සංවේදී සටහනක් .
    …//කුමන හෝ අමන වැඩක් කළ ගැහැණියකට පිරිමියෙකුට බැණ වැදීමට සුලභව යොදා ගන්නේ "බැල්ලී/බල්ලා" යන වචනයයි// මෙයනම් මටත් ප්‍රශ්නයක් . කවදා කොහොම මෙය ඇති උනාද කියා .

    ReplyDelete
    Replies
    1. පහළ වෙනී අයියා පැහැදිලි කරලා තියෙනවා!

      Delete
  13. මම නම් බල්ලො ගෙවල් වල ඇතිකරනවට කැමතිම නැහැ (අනිත් සත්තු ඇතිකරනවට කැමතිත් නැහැ) එත් සමහර මිනිස්සුන්ට වඩා බල්ලො හොඳයි

    ReplyDelete
    Replies
    1. බල්ලොත් අනිත් සත්තු වගේම ඉස්සර කැලේ ඉන්න ඇති. ඒත් දැන් උන්ට මිනිස්සු නැතිව ජීවත් වෙන්න බෑ!

      Delete
  14. බල්ලෙක් ගැන පූසෙක් කතා කරනවා..හික්ස්ස්..:D අපේ ගෙදර අයත්, මමත් බල්ලොන්ට හරිම ආදරෙයි.. ඒත් මමනම් ටිකක් බයයි ඇඟට පනිනවට, කකුල් හපනවට මම අඅස නෑ..:( කොහ්ම උනත් බල්ලෙක්ව ආදරෙන් හැදුවොත් ඌ ගෙදරටම හරිම ලැදි ව්එනවා..කළ ගුන දන්නවා.. තරහට මිනිසුන්ට එහෙම බල්ලා කියලා බනින එක වැරදියි කියලයි මට හිතෙන්නෙ..:/

    කුකියා ශෝයි!!!

    ReplyDelete
    Replies
    1. කුකියා කිව්වා ස්තූතියි කියන්න කියලා! :D

      Delete
  15. බලු වැඩ කියලා අඳුන්වන්නෙ බල්ලො රැලේ වැටෙන කාලෙට ලිංගිකව සක්‍රීය වන කාල සීමාව තුල..උන් එකතු වීම අපේ මිනිස්සු දකින විදියට තමයි බලු වැඩ කියලා පොදුවේ මිනිස්සු කරන නරක වැඩ සේරටම යෙදිලා තියෙන්නෙ කියලයි මට නම් හිතෙන්නෙ..අද කාලෙ නිදහසේ උපරිමය ගැන ෆයිට් කර කර ඕකම කරන මිනිස්සු වන අපිට ඔය වැඩේටම විතරක් බලු වැඩ කියලා කියන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී අයියේ පැහැදිලි කිරීමට!

      Delete
  16. වැරදි කරන මිනිස්සුන්ට බල්ලා කියලා සම්මාන දෙන එකට නම් මමත් විරුද්දයි.. ඒ මොකද මමත් හැම සතෙකුටම වඩා බල්ලට ආදරේ නිසයි.. මගේ අන්තිම බල්ලා අත්හැර දමා මම අභිනිෂ්ක්රමනයක් කල දා අසරණයා හැඬු හැටි මට අදත් මතකයි.. නැවත මා නොදකින බව ඒ අහිංසකයා දැන ගත්තේ කොහොමද ? මා ළඟ අද බල්ලෙක් නැත්තේ මේ තට්ටු නිවාසවල එයට අවසරයක් නැති නිසයි.. නැත්නම් කොච්චර දුකක් බලාපොරොත්තුවෙන් හරි තවත් මිතුරෙකුට නිවහනක් දෙන්න මම බොහොම කැමතියි..

    ReplyDelete
    Replies
    1. අපි ගෙදරින් යන විදිහට උන් දන්නවා අපි යන්නේ දුර ගමනක්ද නැද්ද කියලා. උන්ගේ එ හැකියාව ඇත්තටම හරිම පුදුමාකාරයි!

      Delete
  17. මටත් ඉන්නව මගේ පස්සෙන් ඉඳිකට්ටයි නූලයි වගේ එන සුදු මැණිකක්.....^_^

    ReplyDelete
    Replies
    1. එහෙනම් කවදා හරි දුක තමයි!

      Delete
  18. බල්ලා නම් කොහොමත් ස්වාමියාට කීකරු ..... කරදර අඩු සතෙක්.... ඒකට පූසෝ පොඩ්ඩ බැරි උනාම හොරෙන් කන ජරා ජාතියක්....

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙම නැති පූසෝත් ඉන්නවයි කියලා කට්ටිය කියනවා මට ඇහිලා තියෙනවා

      Delete
  19. ඇත්ත.. බල්ලා කියන සත්වයා ගැන කියන්න දේවල් නම් ගොඩයි.. අපේ ගෙදරත් ඔය වගේම කෙනෙක් හිටියා අවුරුදු 11ක්ම..

    ReplyDelete
    Replies
    1. බල්ලා! මහ පුදුම සතෙක්!

      Delete
  20. සත්තුන්ට ආදරේ නම් හොඳම දේ උන් ව හදාගන්නට නො ගැනීමයි.., ඒ උගේ අසනීප බව හෝ මියෑදීම හිතෙන් මැකිය නොහැකි තරම් දුකක් වේදනාවක් උත්පාද කරන්නාවූ බැවිනි. ප්‍රේමය මනුසතුන්ට වඩා එකතු වන තැනක් නම් මේ වැනි තිරස්චීන ආදරවන්තයන් දක්වන්නා වූ නිහඬ සෙනෙහසයි. එය කවදාවත් නොසන්සිඳෙන නිකලැල් සෙනහසකි..
    නිරන්තරයෙන් අපේ ආරක්ෂාවට ලඟ සිටිනා මේ අද්විතීය ආරක්ෂකයා ලබාදෙන නිහඬ සේවය නිසා අප නොදැන සිටියාට අපව කීවතාවක් අතුරු ආන්තරාවලින් බේරන්නට ඇතිද?
    කොමෙන්ටුව ලියන මොහොත වෙන විටත් බැල්කනියේ සිට පහතින යන වාහන වලට බුරන මේ සුන්දර ආරක්ෂකයා පිළිබඳ වූ ස්නේහය නුඹේ සටහන නිසා තවත් වැඩිවිය..!
    ස්තූතියි පූසා.

    ReplyDelete
    Replies
    1. "සත්තුන්ට ආදරේ නම් හොඳම දේ උන් ව හදාගන්නට නො ගැනීමයි"
      අනිවාර්යයෙන්ම!
      "ප්‍රේමය මනුසතුන්ට වඩා එකතු වන තැනක් නම් මේ වැනි තිරස්චීන ආදරවන්තයන් දක්වන්නා වූ නිහඬ සෙනෙහසයි"
      නිහඩ එහෙමත් නැත්තං අපිට එයාලා කියන දේ නොතේරෙන නිසාම වෙන්න ඇති එයාලට අපි ගොඩක් ලං වෙන්නේ!

      Delete
  21. ඒ කලින් හිටි බල්ලන් මතක් වෙත්දි මටත් එන්නෙ ආයෙත් කවදාවත් බල්ලෙක් ඇතිකරන්නෙ නැහැ කියන හැගීමමයි.අපේ ගෙදරත් බල්ලන් දෙන්නෙක් හිටිය.දෙන්නම මිකී.මම ඉපදෙන්නටත් කලින් ගෙනත් මට අවුරුදු දොලහක් වෙනකම් හිටිය පලවෙනි මිකී මැරුනු දවසත් මට මතකයි.2005 ජනවාරි විසිහතර. ඊට පස්සෙ ආයෙත් බල්ලො ඇතිකරන්නෙ නැහැ කියල හිතුවත් අයෙත් දෙවෙනි මිකීත් හිටිය.එයත් දැන් නැහැ.

    පුංචිකාලෙ අම්ම තාත්ත බනිද්දි එලියට වෙලා ඌඑක්ක කතාකරකර හිටි ෆුට්බෝලෙන් ටෙනිස්බොලෙන් සෙල්ලම් කරපු ඌව තරහගස්සල හිනාවුනු සුන්දර මතකයන් මටත් බල්ලො එක්ක තියනව.උබ කියනව වගේ බල්ල කිව්වොත් ඇත්තම විදියට නම් අපි සතුටු වෙන්න ඕනෙනෙ බැලුවම.මේක හරි මරු බලු පෝස්ට් එකක් පූසා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේක බලු පෝස්ට් එකක් කීවාට!

      Delete
  22. බල්ලෝ තුන් ද්නේක්ගේ සුන්දර මතක මගේ හිතේ තවමත් තියෙනවා. ඒ වගේම ලොකු දුකකුත්..

    දැන් ඇති කරන බල්ලා ට මම ඒ සමානව ආදරෙයි. කවදාහරි එයාත් අපිව දමා යයි කියා දන්නවා. එත් ඒ ආදරේ මොහොතකටවත් අඩු වෙන්නේ නැහැ. මිනිසෙක්ට දක්වන ආදරේකට වඩා ආදරයක් මම බල්ලා ට දක්වනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට ලෙඩක් දුකක් හැදුනාම එයාලට කියන්න පුළුවං එයාලගේ වේදනාව ගැන. ඒත් සත්තුන්ට ලෙඩ උනාම කෙඳිරි ගානවා විතරයි. අපිට හිතාගන්න බෑ ඒ ඇයි කියලා. එත්කොට අපිට දැනෙන දුක වැඩියි මං හිතන්නේ!

      Delete
    2. අනිවාර්යෙන් :(

      Delete
  23. සෝක් බලු කතාවක් උඩින ්පල්ලෙන් කියවල ඇරල දැම්ම...

    ReplyDelete
    Replies
    1. බල්ලොත් එක්ක වැඩි ආශ්‍රයක් නෑ වගේ!

      Delete
  24. අයියට ඕක ගැන දැනෙන එක පුදුමයක් නෙමේ....මගේ හුරතලා විදියට හිටපු බලු පැටියා මේ අවුරුද්දේ මැරුණා...ඌ මැරෙද්දී අවුරුදු 14ක් වයසයි...ඇත්තටම කිව්වොත් ඌව මේ ගෙදරට ගෙනාවේ මම මෙහෙට එන්න අවුරුද්දකට කලින්...එතකොට මගේ වයස අවුරුදු 10යි..එදා ඉඳලා අද වෙනකම් ඕන ගේමකට මාත් එක්ක පස්සෙන් ආපු හොඳම යාළුවා මගේ බලු පැටියා...ඌට ඌ කියන එකත් අගෞරවයක්...ඒ තරමට හොඳ ආරක්ෂකයෙක්...හොඳටම දන්න මනුස්සයෙකුට වුනත් බල්ල‍ගේ ඕ.කේ එක නැතුව ගේට්ටුව පනිනවා බොරු... ඒත ඉතින් ඌ වයසට ගිහින් අබල දුබල වෙන්නේ නැතුව මැරුණා... ඒ ගැන මම සතුටු වෙනවා...කොහොම වුනත් අයියගේ අර අවසාන කීම සෑහෙන්න වටිනවා...."කුමන හෝ නොමනා ක්‍රියාවක් කරන බල්ලෙකුට බැණීමට "මිනිහා" යන වචනය යොදා ගන්නට බැරිද?"

    ReplyDelete
    Replies
    1. බල්ලා ගැන නෙමෙයි මේකේ තියෙන ඉලක්කං ටිකෙං උඹේ වයස ගලපගත්තාම මම කල්පනා කළේ උඹ මට "අයියා" කිව්වේ ඇයි කියලා! :D

      Delete
  25. කාට හරි බනින්න බල්ලා හෝ බැල්ලි යන වචනේ පාවිච්චි කරන කලින් කීප පාරක් හිතන්න වෙනවා. අද කාලේ මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ කෙලෙහිගුණ තියනවා.

    ReplyDelete
    Replies
    1. අද කාලේ නෙම්යි කොයි කාලෙත් බල්ලා මිනිහට වඩා හොඳයි. වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඒක නොපෙනෙන එක.

      Delete
  26. හ්ම්ම් වෙනි අයියාගේ ඒ ලිපිය කිඑය්ව්වම මටත් ඔය වගේම මගේ බල්ලවත් මතක් වුනා උගේ නම ශීබා මං දවස් දෙකක් අසනීප වෙ‍ා රෝහලේ හිටියා ඒ දවස් දෙකට මූ මොනවත් නොකා ඔහේ වැටිලා ඉදලා කූඩුවේ .ඒකත් මැරුණා කාලකන්නි මිනිස්සු වගයක් තැබූ වස අනුබව කරලා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මං කියන්නේ බල්ලන්ට වඩා මිනිස්සු සෑහෙන්න පහල තැනක ඉන්නේ කියලා!

      Delete
  27. මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය සත්තු මිය ගියාම හෝ අපව හැර ගියාම අපිට දැනෙන අසීමිත දුක. ඉස්සර මාස ගණන් ඇඬුවට දැන් එහෙම කරන්නත් බෑ නේ.
    මගේ බව්වෝ හීනේ ආපහු අර වතුරේ දාපු රබර් බෝලේ වගේ උඩ එනවා. ඒ වුනාට මම ගොඩාක් වෙලාවට උදේට ගෙදරින් ගියාම ආයේ එන්නේ රෑ වෙලා. එහෙම නැත්නම් මම නිවාඩුවට දුර ගමන් ගියාම එයාව ඩෝග් සිටර් කෙනෙකුට බලා ගන්න දෙන්න වෙනවා. එහෙම බව්වගේ පැත්තෙන් හිතලා මම මගේම කියලා බව්වෙක් ගන්න අදහස අථ් හැරලා ඉන්නේ. ඒ උනාට මට හවුල් බව්වෝ ඉන්නවා. ඒ කියන්නේ මට නිවාඩු දවසට මගේ යාළුවන්ගේ බව්වන්ව එක්ක පාක් යන්න එයාලා එක්ක සෙල්ලම් කරන්න වගේ.

    ReplyDelete
    Replies
    1. "බව්වගේ පැත්තෙන් හිතලා මම මගේම කියලා බව්වෙක් ගන්න අදහස අථ් හැරලා ඉන්නේ"
      ඒකනම් හොඳ දෙයක් අක්කේ. අනික අක්කා මේ රටට එනකොට බල්ලාව දාලා එන්න වෙනවනේ. ඒක පස්සේ අක්කාටයි බල්ලාටයි දෙන්නාටම දුකක් වෙනවා!

      Delete
  28. මම කුකියාව හොඳට දන්නවා බං .. අනේ හරි හුරතල් දඩෝරියා .. මට මතකයි එදා උඹලගේ ගෙදෙට්ට වතුර බිල් කාරයා ආපුවාම ඒකව මඩවාපු මැඩවිල්ලා .. ගෙදර උදවිය එනතුරු උඹලගේ ගෙදෙට්ට වෙලා ඉන්න ඔය අහිංසක දඩෝරියාව මම ආදරෙන් මතක් කල බව කියහන් මචං ..

    අපේ දිහැත් බලු නාම්බෝ දෙන්නෙක්ම උන්නා උන් ඉතින් මලාට පස්සේ ආයේ සත්තු ඇතිකරන්නේ නැතෙයි කියලා මම හිතා ගත්තා ..

    කාට හර් බනිද්දී බල්ලා ලෙස නොකියා ..ලබ්බා යනුවෙන් බැනීම හොඳ බව මාගේ අදහසයි ..

    ReplyDelete
  29. අපේ ගෙදර බල්ලත් මේ වගේ !!
    මොනා කරන්නද ටිබියා පවු

    ReplyDelete
  30. අපේ කට්ටිය බලු කියන වචනේ භාවිත කරල බාන්නට එක සැහෙන්න හොඳ වචනයක්,ක්‍රියාවක් කරන කෙනා "කරු" වෙනව වගේ,බලන කෙනා "බලු" වෙනව :)

    ReplyDelete
  31. අපේ ගෙදරත් බල්ලො 3 දෙනෙක් උන්නා..මොන හේතුවද මංදා උං මැරුනා.. අතුරුදහන් උනා..

    ReplyDelete
  32. පූසෙක් විසින් බල්ලෙක් ගැන ලියයි,, මිනිස්සු කරන නරක වැඩ වලට බලු වැඩ කියන එක නම් සම්පූර්නයෙන්ම වැරදී,,බල්ලා කවදාවත් ඒ වගේ නරක වැඩ නොකරන නිසා

    ReplyDelete
  33. සංවේදී කතාවක්.....

    ReplyDelete
  34. මිනිස්සු කරන හැම කැත වැඩේදිම බල්ලන්ව ගාවගන්න එකනං මාර අවුලක් තමයි. හැබැයි "අඩෝ බල්ලා" කිව්වම එන ගතිය වෙන එකකින් එන්නෙත් නෑ... ඒ නිසා බල්ලන්ට බල්ලො නොකිය වෙන නමක් කිව්වොත්... ;-)

    ReplyDelete
  35. අද තමා මේ ලිපිය කියෙව්වේ. මේ සත්තු කොච්චර හිඅපිට හිතවත්ද කියලා පූසා කියල තියෙන කතාව ඇත්ත. අපේ ගෙදර ඉන්න අයත් මේ විදියම තමා. බල්ලො කියන්නේ කවමදාවත් කෙලෙහිගුණ අමතක කරන සතෙක් නෙමෙයි.

    ReplyDelete
  36. ගොඩාක් හිතට දැනුනු ලිපියක්.. අපෙත් එක්කෙනෙක් ඉන්නවා.. එයත් ටිබියා වගේ.. හැබැයි එයගේ ප්‍රියතම බිස්කට් තමයි ක්‍රීම් ක්‍රැකර්.. එයා කරලා තියෙන වැඩ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. මේ ඉන්නේ එයා.. :)

    http://i50.tinypic.com/2198o7a.jpg

    ReplyDelete
  37. පමණක් වෙලාවට අපි සත්තු ගැන ගොඩක් සංවේදී විදියට කථා කරනකොට සමහර උන් අපිට හිනා වෙනවා.. මිනිස්සුන්ට වඩා සත්තුන්ට සංවේදී වෙන එක විහිළුවක් නෙමෙයි. ඒ ඇත්තටම මට මගේ ජීවිතේ හම්බෙලා තියෙන මිනිස්සුන්ට වඩා සත්තු මගේ ජීවිතේ වෙනසක් කරලා තියෙන නිසා. ආදරෙන් හදපු බල්ලෙක්ගේ අහිමි වීම වචන වලින් විස්තර කරන්න බෑ. බල්ලෝ ගැන තියෙන සංවේදී කථා අදටත් මට කියවන්න බෑ අඩන්නෙ නැතුව. ඒ තරමට මං මගේ ජීවිතේට ළං වෙලා මගෙන් ඈත් වෙලා ගියපු මගේ ආදරණීය සුරතල්ලු ගැන අදටත් දුක් වෙනවා..ඒ මතකයයි වේදනාවයි කවදාවත්ම නැති වෙන එකක් නෑ..

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...