Monday, April 30, 2012

බල්ලා!


බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.

බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන විශේෂ වර්ගයක බල්ලෙක් නොවූ ටිබියා නිකම්ම නිකම් බල්ලෙකි. ඌ අප පවුලේ සැමට බොහෝ සේ ඇලුම් කළේය. පවුලේ දෙදෙනෙකු බොරුවට රණ්ඩු වන ආකාරය රඟ දක්වන විට ටිබියා බුරාගෙන විත් එක අයෙකුගේ ඇඟට පනී. පසුව උගේ එම හැසිරීම අපි සෙල්ලමකට ගතිමු. නමුත් සෑම බල්ලෙකුම ටිබියා මෙන් හැසිරෙනු ඇතැයි මට සිතිය නොහැකිය.

ටිබියාගේ ප්‍රියතම ආහාරය වූයේ බිස්කට්ය. එයින්ද මාරි බිස්කට් වලට ඌ මහත් ප්‍රිය කළේය. බිස්කට් පැකැට්ටුවක් කැඩීමේදී නැගෙන හඩ හෝ ඊට සමාන හඩක් හෝ ඇසෙන දුරකින් ටිබියා සිටියහොත් කන්දෙක ඔසවාගෙන විත් ඇස් ලොකු කර ඔළුව කරකවමින් අප දෙස බලන බැල්ම සමහර දාක ඌට බිස්කට් පැකැට්ටුවෙන් භාගයක් පමණ ලබා දීමට සමත්ය.  

ටිබියා ගෙදර තනිව දමා අප කොහේ හෝ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථමයෙන් ඌට මාරි පැකැට්ටුවක් කඩා දී යාම පුරුද්දක් බවට පත් වුවත් අදාල ගමන් ගොස් පැමිණෙන අපට දැකගත හැකි වන්නේ බිස්කට් දෙක තුනක් පමණක් ඌ ආහාරයට ගෙන ඇති බවකි. අප සැම නිවසින් පිටව ගියපසු ඌ පැයක් දෙකක් නොකඩවාම හැඩූ බව අසල්වැසියන් පවසද්දී අප සිත්තුල දුකක් ඇති නොවුනා යැයි කිව හොත් එක අමූලික බොරුවක්ය. එක් දිනක් අප සැම නිවසින් පිට වෙද්දී ටිබියා හැකිතාක් වේගයෙන් අප ගමන් ගත් වාහනය නොපෙනී යන තෙක්ම අපව ලුහුබැඳ පැමිනෙන දර්ශණය මා වාහනයේ පැති කණ්ණාඩියෙන් දුටු අයුරු සිහිවන විට මේ ලියමන ලියන මොහොතේ පවා මා සිත වේදනාවට පත් කරයි. 

ටිබියා අප නිවසට රැගෙන ආවේ මැයි පළමුවන දාකය. ගෙනා දින පටන්ම ඌ නීරෝගිමත් සතෙක් නොවිනි. ඌව බොහෝ අවස්‍ථාවල පශු වෛද්‍ය වරයා වෙත රැගෙන යන්නට විය. ඌ දෙතුන් වරක්ම මරණාසන්න ලෙස රෝගාතුර වූ නමුත් කෙසේ හෝ බේරාගැනීමට හැකි විය. පිටින් පෙනන කිසිදු ලක්ෂණයක් නොමැති වුවත් ඌට ඇවිදින්න අපහසු විය. කෙසේ හෝ වසර පහකට පමණ පසුව තදබල ලෙස අසනීප වූ ටිබියා එන්න එන්නම දුර්වල වී ඇවිද ගැනීමට නොහැකි තැනටම පත්විය. එසේ තිබියදී මා තනිවම ඌව පශු වෛද්‍ය වරයා ළඟට රැගෙන ගිය නමුදු කිසිත් නොකියාම ඌට බෙහෙත් කළ වෛද්‍ය වරයා අදාල ගාස්තුව පමණක් මට පැවසීය. තත්වය එසේ තිබියදී අපට බොහොම සමීප ඥාතියෙකුගේ මලගෙදරකට සහභාගී වන්නට සිදුවිය. අදාල නිවසට පැමිණ පැයක් ඉක්ම යන්නට මත්තෙන් අසල්වැසි නිවසකින් ඇමතුමක් ආවේ බෝහෝ වේලා කෑ ගසමින් සිටි ටිබියා මියැදී ඇති බවයි. 

වෙන විකල්පයන් නොවූයෙන් අවසානයේ මා තනිවම මගේ නිවසට පැමිණ වත්ත අයිනේ වලක් හාරා ඌව වල දැම්මෙමි.  

ටිබියා ලෙඩ වූ සෑම අවස්‍ථාවකදීම අපි බොහෝ කණගාටු වූයෙමු. කොටින්ම මා මගේ මිතුරෙකුට නෑයෙකුට අසනීපයක් වූ විට කණගාටු වනවාට වඩා බොහෝ සෙයින් ටිබියා අසනීප වූ විට කණගාටුවිය. මනුෂ්‍යයෙකුට අසනීපයක් වූ විට ඔහුට ඒ වේදනාව අන් අයට පැවසිය හැකිය නමුත් වෙනත් සත්වයෙක්ට එසේ කිරීමට නොහැකිය. බල්ලන් මිනිස්සුන්ට උවමනාවට වඩා ලං වෙයි. එය අදාල සත්වයා අසනීප වෙද්දී හිතට මහත් පීඩාවක්ය. ටිබියාගේ මතකය යළිත් බල්ලෙකු ඇති කිරීමට මා සිත තුල පවතින ආශාව මැඩපැවැත්වීමට සමත්ය.

ඉහත ඡායාරූපයේ සිටින්නේ කුකීයාය. ඈ ඇති දැඩි කරන්නේ අප යාබද නිවසේ සිටින මාගේ බාප්පා ඇතුලු ඔහුගේ පවුලේ අය විසිනි. නමුත් ඔවුන්ගේ පවුලේ සෑම දෙනාම උදෑසන 8ට නිවසින් පිටවන අතර නැවත් එන්නේ සවස 5ත් 7ත් අතරය. ඒ අතර කාලය තුල කුකියා සිටින්නේ අප නිවසේය. ඌ දැන් තමාගේ නිවසේ අයට වැඩියෙන් අප නිවසට සමීප වී ඇත. ටිබියාගේ මතකය මා කුකියාගෙන් ඈත්කර තබයි. ඕනෑම සත්වෙක්ට උවමනාවට වඩා ලංවීම සැබවින්ම වේදනාවක්මය. නමුත් අප යම් යම් අයට ලං වීම නිසගයෙන්ම සිදුවෙයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුකීයා ගේට්ටුව අතරින් තම නිවැසියන් පැමිණෙන තුරු බලා සිටින අයුරුයි. සවස 5ට පමණ ගේට්ටුව අසලට ගොස් රූපයේ අයුරින් ඈ නිවැසියන් එනතුරු රෑ 8 වනතුරු පවා ඇතැම් දවසක බලා සිටියි.
 

කුමන හෝ අමන වැඩක් කළ ගැහැණියකට පිරිමියෙකුට බැණ වැදීමට සුලභව යොදා ගන්නේ "බැල්ලී/බල්ලා" යන වචනයයි. නමුත් කෙනෙකුට බැණ වැදීමට ඒ වචනය කෙතරම් නම් උචිතද? කුමන හෝ නොමනා ක්‍රියාවක් කරන බල්ලෙකුට බැණීමට "මිනිහා" යන වචනය යොදා ගන්නට බැරිද?



ප.ලි : මගේ මතකය ඇවිස්සුවේ වෙනී අයියායි!

Tuesday, March 13, 2012

නිදිමත දෙවියා.......

ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා සක්‍ර දෙවියා කියලා නේද? ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සක්‍ර දෙවියා හිට පිළිඅරගෙන තිබ්බා දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා තමයි නිදිමත දෙවියා කියලා. සමහරුනම් කිව්වේ සක්‍ර දෙවියා නිදිමත දෙවියාව යාප්පුවෙන් තියාගන්න ඕනේ නිසා ඔහොම කියනවයි කියලා. කොහොම උනත් මේ නිදිමත දෙවියා තමයි මුළු විශ්වයේම සියළුම සත්වයන්ගේ නිදිමත පාලය කරන්නේ. ඒ කියන්නේ නිදිමත දෙවියා තමයි එක එක අයගේ ක්‍රියා වලට අනූව ඒ ඒ අයට නින්ද යන හැටි, නින්ද යන වෙලාව, නින්දෙදි පේන හීන, උදේට අවදි වෙන විදිහ වගේ දේවල් පාලනය කරන්නේ. 

තවත් පැහැදිලි වෙන්න මම ඔයාලට උදාහරණයක් දෙන්නම්කෝ. දැන් හිතන්නකෝ රෑ ගෙවල් වලට පනින හොරෙක් ගැන. ඒ හොරා කරන්නේ ගෙදර මිනිස්සු සේරම තද නින්දේ ඉන්නකොට හොරෙන් ගෙට ඇතුලු වෙලා ගෙදර තියෙන වටිනා බඩු භාණ්ඩ හොරකම් කරන එකනේ. ඉතිං ආන්න ඒ වගේ තවත් කෙනෙක්ගේ සුව නින්ද අයුතු විදිහට ප්‍රයෝජනයට අරං අනුන්ගේ දේවල් හොරකම් කරන අයට නිදිමත දෙවියා කළේ රෑට නින්ද නොයන්න සැලැස්සුව එකයි. නින්ද ගියත් එක පාරටම නපුරු හීන දැකලා භයවෙලා නැඟිටින්න සැලැස්සුව එකයි. මං කියන්නේ බොරුයි කියලා හිතෙනවානම් ඔයාලා හොරෙක්ගෙන් අහලා බලන්නකෝ විස්තරේ.

ඉතිං මම ඔය උදාහරණේ කිව්වා වගේ ඒ ඒ සිද්ධීන්ට අදාලව ඒ ඒ පුද්ගලයන්ගේ නින්ද පාලයට මේ දෙවියා දක්වපු දක්ෂතාවය අති විශිෂ්ඨයි. දිව්‍යලෝකේ මෙච්චර කාලෙකට මේ නිදිමත දෙවි තනතුර බාරගත්ත කිසිම දෙවි කෙනෙක් මේ නිදිමත දෙවියා තරම් හොඳට  මේ වැඩේ කරලා තිබ්බේ නෑ. අනික මේ නිදිමත දෙවියා ඔය සක්‍ර දෙවියා වගේ ලොකු ලොකු තනතුරු දරපු දෙවි වරුන්ට බොහොම සුව දායක නින්දක් ලැබෙන්න සලස්සවන්න අමතක කළෙත් නෑ. ඒ නිසාම ඔය ලොකු ලොකු දෙවි වරුන්ගෙන් මේ නිදිමත දෙවියා බොහොම ප්‍රශංසා ලැබුවා.

එහෙම ප්‍රශංසා ලබන්න ලබන්න මේ නිදිමත දෙවියා තව තව මහන්සි වෙලා වැඩ කළා. එයාට ඕනේ උනේ වසරේ හොඳම දෙවියාට හිමි සම්මානය කොහොම හරි ලබාගන්නයි. ඒ නිසාම මේ නිදිමත දෙවියා නිදි වරාගෙන බොහොම මහන්සියෙන් වැඩ කළා. හැබැයි ටිකෙන් ටික තරඟේ ලං වෙන්න ලං වෙන්න තමයි අපූරු වැඩක් වෙන්න පටං ගත්තේ. තරඟේ ලං වෙන්න ලං වෙන්න මේ නිදිමත දෙවියාට නින්ද යන එක අඩුවෙන්න ගත්තා. පස්සේ පස්සේ රෑට නිදාගන්න ගියාම නිදිමත අහලකටවත් ආවේ නෑ. එයාට එක එක ඒවා හිතෙනවා. තරඟේ ගැන හිතෙනවා, තෑග්ග වෙන කෙනෙක්ට ලැබෙයිද හිතෙනවා. තමන්ගේ මහන්සිය අපතේ යයිද හිතෙනවා. තරඟේ දිනන්න තව කරන්න ඕනේ දේවල් ගැන හිතනවා. ඔන්න ඔය වගේ දේවල් හිතේ ඇතුලේ පොර කනවා මිසක් පැය ගානක් ඇස් පියාගෙන හිටියත් නිදිමත නෙමෙයි නිදිමත දෙවියාගේ අහලකටවත් එන්නේ.

කොහොමින් කොහොම හරි මේ දේවල් නිසා අන්තිමට තරඟෙට සතියක් තියෙද්දී මේ නිදිමත දෙවියා හොඳටම අසනීප වුනා. කිසිම වැඩක් කරන්න ඇඟට පණක් තිබ්බේ නෑ. නින්ද යන්නෙත් නෑ. නිදිමත දෙවියාට තේරුණා මෙහෙම ගියොත් තමන්ට තරඟේ පරදින්න වෙන බව. ඒ නිසා නිදිමත දෙවියා පොඩි හොර වැඩක් කරන්න කල්පනා කළා. නිදිමත දෙවියාගේ අදහස උනේ මුළු විශ්වයෙන්ම හොඳම නිදිමත අයිති කෙනාගේ නිදිමත හොරකම් කරන එකයි. නිදිමත දෙවියා පොඩ්ඩක් ගණනය කිරීම් කරලා බැලුවාම වැඩිම ලකුණු අරං හොඳම නින්ද හිමි කෙනා බවට පත්වෙලා හිටියේ මනුෂ්‍ය ලෝකේ කෙනෙක්. ඒක ගැන තරමක පුදුමයක් දැනුනත්, ඒ වෙලාවේ නිදිමත දෙවියාට ඊට වඩා ලොකු සතුටක් ඇති උනේ දෙවියෙක්ගේ නින්දක් හොරකම් කරනවට වඩා මනුෂ්‍යයක්ගේ නින්දක් හොරකම් කරන එක ලේසි හන්දයි. ඉතිං දවසක් මහ රෑ මේ නිදිමත දෙවියා හොරන්ම මනුෂ්‍ය ලෝකෙට පිටත් වුනා විශ්වයේ හොඳම නින්ද හිමි කෙනාගේ නිදිමත හොරකම් කරන්න.

ඒත් විශ්වයේ හොඳම නින්ද තියෙන පුද්ගලයා ගාවට ගියාම නිදිමත දෙවියාට පුදුම හිතුනා. විශ්වයේ හොඳම නිදිමත තියෙන කෙනා ගොරෝසු රෙද්දක් පොරවගෙන නිදාගෙන හිටියේ කඩ පිළක් අයිනේ. ඔව් ඔයාලා හිතුවා හරි. එයා හිඟන්නෙක්. නිදිමත දෙවියන්ට හරිම පුදුමයි. නිදිමතට අධිපති දෙවියා වෙච්චි තමන්ටවත් හරි හමං නින්දක් නැතිකොට පාරේ නිදාගන්න හිඟන්නෙක්ට විශ්වයේ හොඳම නින්ද ලැබුණේ කොහොමද කියලා. ඔන්න ඔය වෙලා තමයි නිදිමත දෙවියා නිදිමත හොරකම් කරන එක පැත්තකින් තියලා තමන්ගේ දිව්‍යඥාණය පාවිච්චි කළේ. නිදිමත දෙවියා තමන්ගේ දිව්‍යඥාණයෙන් මේ මනුස්සයාගේ හිතට එබිකම් කරලා බැලුවා. එතකොට තමයි නිදිමත දෙවියාට මේ හැමදෙයක්ම පැහැදිලි උනේ.

මේ හිඟන්නා හැම වෙලේම ලද දෙයින් සතුටු උන කෙනෙක්. මෙයා ගාව විශ්වයේ අනිත් හැමෝටම වඩා තිබ්බ එකම වෙනස ඒකයි. මෙයා කවදාවත් අනිත් හිඟන්නෝ වහේ  සල්ලි කාරයෝ දිහා බලාගෙන "අනේ මට අර වගේ සල්ලි නෑනේ" කියලා හූල්ල හූල්ලා හිටියේ නෑ. තමන්ට ලැබෙන ගාණින් සතුටු උනා. තමන්ට තියෙන දේවල් ගැන සතුටු උනා. තමන්ට නැති දේවල් ගැන හිත හිතා අඩ අඩා දුක් උනේ නෑ. තමන්ට රුපියක් සීයක් දෙන කෙනාටත් සත පනහක් දෙන කෙනාටත් වෙනසක් නැතිව මුළු හදවතින්ම සතුටු වෙලා අව්‍යාජ හිනාවකින් ස්තූති කළා. ඒ හන්දම මෙයාට එක දවසක් සල්ලි දුන්න කෙනෙක් ඊළඟ දවසේ ඊට වඩා වැඩි ගාණක් දීලා යන්න අමතක කළෙත් නෑ. ඒ නිසාම මේ පුද්ගලයාට අනෙක් හිඟන්නන්ට සාපේක්ෂව වැඩියෙන් අත මිටේ සල්ලිත් තිබුණා. එහෙමයි කියලා මෙයා කවදාවත් ආඩම්බර උනෙත් නෑ. ලෝභ උනෙත් නෑ. තමන්ට ලැබෙන දෙයක් හැම තිස්සෙම තමන්ගේ යාළුවොත් එක්ක පුළුවන් විදිහට බෙදා ගත්තා. සල්ලි ටිකක් වැඩියෙන් ලැබුණු දවසට යාළුවොත් එක්ක සෙට් වෙලා සිංදුවක් කියලා විනෝද වෙන්න අමතක කළෙත් නෑ. නැති වෙන්න කියලා දේපල, තාන්න මාන්න, නම්බු නාම මේ හිඟන්නා ගාව තිබ්බේ නෑ. හැබැයි එයා ඒ දේවල් ගැන කිසිම වෙලාවක දුක් උනෙත් නෑ.

ඔන්න ඔය දේවල් තමන්ගේ දිව්‍යඥාණයෙන් දැක්ක වෙලේ තමයි නිදිමත දෙවියාට තේරුණේ මේ හිඟන්නාට වඩා කෝටි වාරයකටත් වඩා වැඩියෙන් භෞතික සම්පත් තමන්ට තිබුණට, මේ හිඟන්නාගේ හිතේ තියෙන සතුට සහ නිදහසින් ප්‍රකෝටි ගාණකින් එක් කොටසක තරම්වත් සතුටක්, නිදහසක් තමන්ගේ හිතේ නැති බව. නිදිමත හොරකම් කරන එක අමතක කරපු නිදිමත දෙවියා දිව්‍යලෝකෙට යන්න ආපහු හැරෙන ගමන් කල්පනා කළේ කොච්චර නම්බු නාම ලැබුණත් හිතේ සතුටක් නැති මේ පට්ටම් මොකටද කියලා.






[පින්තූරෙ - http://images.wikia.com/olympians/images/1/1f/Hypnos-God-of-Sleep-Study.jpg ]

Tuesday, February 14, 2012

මගේ පස්වන වැලන්ටයින් සැමරුම!


වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්‍ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්‍ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ඇයටත් මටත් ප්‍රශ්නයක් නොවේ. වැලන්ටයින් දිනය පොහොසත් වන වෙළෙන්දාට වඩා අපේ ආදරේ වැඩියෙන් පොහොසත් වන බව අපි හොඳාකාරවම දනිමු.

වැලන්ටයින් යනුවෙන් පෙම්වතුන්ට වෙනම දිනයක් උවමනා නැති බවට ඇතැම් නාකි පත්තරකාරයින් තර්ක කරයි. උන්ට උඩගෙඩි දෙන තරණ තරුණියන්ද නැත්තේම නැත. නමුත් බොහෝ වේලාවට ඒ තරුණ තරුණියන්ද පෙරදාක මහත් ආසාවෙන් වැලන්ටයින් සැමරූ පසුව පෙම්වතා පෙම්වතිය විසින් බූට් එක තබනු ලැබූ ඇත්තන්ය. මටද ඇයටද ඔවුන් ගැන තරහක් නැත. ඇත්තේ අනුකම්පාවක් පමණකි. පෙම්වතුන්ගේ දිනය වැඩක් නැතැයි පත්තරවල පිටු පුරවන ඇත්තෝම පසුව වැඩිහිටි දිනයේ, ගුරු දිනයේ ඇති වැදගත්කම් ගැන මහා ලොකුවට පිටු පුරා ලියයි. මගේ තර්කයනම් පෙම්වතුන්ට විශේෂයෙන් දිනයක් අවශ්‍යය නැතිනම් අනෙක් විශේෂ දිනයන්ද අවශ්‍යය නොවන බවයි. නමුත් සමහරවිට ආලයෙන් අන්ධ වී සිටන මගේ තර්ක බොළඳ විය හැකිය. කෙසේ නමුත් මොනයම්ම හේතුවකින් හෝ මගේ ආදරේ මට අහිමි වුනත් වැලන්ටයින් කුහකයෙකු බවට පත්වී පත්තර පිටු බ්ලොග් පිටු පුරවන්නේ නැති බව මම දිනක් ඇයටද පැවසීමි. "ආ.... දැන් ඉතිං මගෙන් බේරිලා යන්න හිතුවා මදි" හුරතල් හඩින් මීට වසර කීපයකට ඉහතදී ඈ දුන් පිළිතුර මට තාමත් මතකය.

වැලන්ටයින් දිනයේ තෑග්ගක් ගැනීමට තමන් වැයකළ මුදල, ඒ තෑග්ග නිසා ඇය ලබන සතුටට අනුලෝමව සමානුපාතික නොවන බව මට වැටහුනේ මීට වසර කීපයකට ඉහතදීය. ඒ සඳහා අවශ්‍යය වන්නේ ඇගේ ආශාවන් හොඳින් හඳුනා ගැනීම පමණකි. ඇය ටෙඩි බෙයන්ට බොහෝ ආසා කරන බව මා දැනගත්තේ මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයට ආසන්න දවසකදීය. ටෙඩි බෙයන් යනු සාම්ප්‍රදායික වැලන්ටයින් තෑග්ගක්යැයි සිතාගෙන සිටි නිසාමදෝ මා ඇයට ඊට කලින් ටෙඩි බෙයෙකු තෑගි දී තුබුණේ නැත. ඒ ටෙඩි බෙයාර් ගැනීමට වැයවූ මුදලට වඩා වැයෙන් වියදම් කොට ඇයට විවිධ තෑගි මා ලබාදී ඇති නමුත් මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයේ මා ඇයට තෑගිදුන් තරමක් විශාල ටෙඩි බෙයාර්ව ඇය සලකන්නේ එදා මෙදා තුර ඇයට ලැබුණු හොඳම වැලන්ටයින් තෑග්ග ලෙසය.

වැලන්ටයින් දිනට ඇයට තෑග්ගක් දී ඇගේ මුහුණේ ඇදෙනා දහසක් සිතුවම් අතරේ අතරමං වීම තරම් මා ප්‍රිය කරනා වෙනත් යමක් මෙලොව ඇත්දැයි මම නොදනිමි. ඉතිං පස්වන වතාවටද එසේ අතරමං වීමට මට අද අවස්ථාව ලැබෙනු ඇත. හමුවීමට කතා කරගත් තැන පේන්නට තරමක් දුරින් හිඳ ෆෝන් එක ඕෆ්කර දමා ඇයට හොරෙන් ඇය දෙස බලා හිදිමි. ඇස් රතුවී මුහුණ කළු වී ආහසු හැරී යන විට පසුපසින් ගොස් ඇයට කතා කරමි. ආදරේට පුංචි විහිළුවක් කළාට වරදක් නැත. මක්නිසාද යත් ඇගේ මුහූණේ පෙර නුදුටු සිතුවම් රාශියක් මතුකරගැන්මට හැකිවන නිසාය. විටෙක එය ආත්මාර්ථකාමී සිතුවිල්ලක් ලෙස ඔබට පෙනෙනු ඇත. ඊට කමක් නැත ආදරවන්තයෝ කොහොමත් ආත්මාර්ථකාමීය.
ඔබ සැමට සුභ වැලන්ටයින් දිනයක්!



ප.ලි : නිර්මාණය සහ නිර්මාණකරුවා යනු දෙදෙනෙකි!



[පින්තූරෙ-http://www.4to40.com/images/egreetings/Valentine_Day/What_is_LOVE-Valentine_Day-507_big.gif]

Wednesday, February 1, 2012

අනිත්‍යය..‍. (අමුතු කවි)

කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න.

Friday, January 13, 2012

පෙම්වතුන් දෙකඩ කරනා යක්ෂයෙක් පිළිබඳ හෙළිදරව්ව!


වසර ගණන් එකතු කරපු
අනේක විධ පැතුම් පොදිය
පොඩි පට්ටම් කර විසිකොට
ආදරවන්තයින් හැඩවූ
යක්ෂයෙක්ය ඌ

විශ්වාසයේ ගඩොල් වලට
හාදු වලින් බදාම ලා
හැදූ සිහින මාළිඟ සැම
එක මොහොතින් පුපුරවා හැරි
යක්ෂයෙක්ය ඌ

සිහිකොට ගෙන සිනහ නඟපු
ඒ සුන්දර හැම මතකෙම
සිහිවන විට දෙනෙත් අඟින්
රුහිරු බිංදු කඩා හැලන
කටුක මතක බවට හැරවූ
යක්ෂයෙක්ය ඌ

තෝ හන්දා වෙන්වී ගිය
පෙම්වතුන්ගේ කඳුළු වලට
ඇවිදින්නට දොඩවන්නට
හැකි වූවානම්,
උන් සැම එක් වී දවසක
ලිප්ටන් වට රවුමට විත්
මහා හඩින් කෑ ගසාවි
මා ලියනා මේ දේවල්
සත්‍ය බව කියා

තවත් කුමට බලන් ඉන්නේ
තෝ හින්දා වෙන්වෙන අර
පෙම්වතුන්ගේ කඳුළු බිංදු
ඒ හන්දා තවත් නොයිඳ
හෙලිකරනෙමි උඹගේ නම!

පැතුම් පොදිය විසි කරාපු
සිහින මැදුරු කුඩු කරාපු
කටුක මතක ඉතිරි කරපු
ඌගේ නම
"කේන්දරය"

වසර ගණන් නොකැඩි තිබුණු
ඔබ දෙපලගේ විශ්වාසෙද?
සම්භාවිතාවේ බලෙන්
කණා ගහන කේන්දරෙද?
ඒ බව තීරණය කෙරුම
ඔබටම බාරයි!




[පින්තූරෙ-http://fc06.deviantart.net/fs71/i/2011/354/3/8/dont_know_by_love_struck_heart-d4jn3lf.jpg]

Sunday, January 1, 2012

ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012......


"මම මැරෙන්න භය නෑ"
2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ.

"මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං"
අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ.

ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන එකෙක්ගේ  හිතේ තියෙන මරණය පිළිබඳ හැඟීම්, මරණය කියන දේ පේන මානයකවත් නැතිව බීලා දොඩවන එකෙක්ට වඩා කොච්චර වෙනස්ද?

"ඇත්තටම මම මැරෙන්න භයයිද?"
මම ආයෙමත් හිතන්න උත්සාහ කළා.
"නෑ මං මැරෙන්න භය නෑ. මට මේ දැනෙන්නේ භය නෙමෙයි. මේ දැනෙන්නේ මැරෙන්න තියෙන නොයිවසිල්ල වෙන්න ඇති."
"අපේ උන් සෙල්ලම් කරන, දිනුමයි පැරදුමයි අතරේ දෝලයන වෙන මැච් එකක අන්තිම ඕවර් දෙක තුන බලනකොටත් මට දැනෙන්නේ මේ වගේම හැඟීමක්. ඒක භයත් නෙමෙයි. සතුටත් නෙමෙයි. ඔව් ඒක ඒ දෙක අතර හැඟීමක්."
"එක අතකින් බැලුවාම උඹ ඔය උඹටම ආත්ම වංචාවක් නේද කරගන්නේ? ආත්ම වංචාවක්.... ඔව් මිනිස්සු හැමදාමත් තමන්ට කරගත්තේ ආත්ම වංචාවමයි. ඉතිං මාත් මිනිහෙක්"

මැරෙනවා...... ඔව් තව ටික වෙලාවයි. මට ඒක ගැන සතුටුයි. හැමෝම මැරෙනවා. ලෝකේ විනාස වෙනවා. ඒත් ඒ ගැන සතුටක් දැනෙන්නේ කොහොමද? ඒක මහා කාලකණ්නි සතුටක්. ඒක අර මිනිස්සුන්ටත් නොදැනී මිනිස්සුන්ගේ හිතේ තිබ්බ කාලකණ්නි සතුටම වෙන්න ඇති.....අර හොඳක් වෙනවානම් මටම විතරක් වෙයං. මට නරකක් වෙනවානම් හැමෝටම වෙයං කියලා හිතපු මිනිස්සුන්ගේ හිතේ තිබ්බ කාලකණ්නි සතුට. මට හොඳක් උනා අනිත් උන්ට කෙලඋනා කියලා එහෙමත් නැත්තම් මට කෙලඋනා කමක් නෑ අනිත් උන්ටත් කෙලවෙලානේ කියලා වින්ද ඒ කාලකණ්නි සතුට.

ලෝක විනාසේ ඔව් තව ටික වෙලාවයි. හැම දේම විනාස වෙලා යනවා. මම හෝ මට විතරක් නෙමෙයි. මුළු ලෝකෙම.

කාලකණ්නි සතුටක්.....
ඔව් කාලකණ්නි සතුටක්!
කාලකණ්නි සතුට දැනෙන්නේ මිනිස්සුන්ට....
මිනිස්සු......
මාත් උන්ගෙන් එකක්!


ප.ලි :
හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!!!!



[පින්තූරෙ-http://dudelol.com/oldimgs/why-the-world-wont-end-in-2012.jpg]

Thursday, December 22, 2011

අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං!


මමත් කොල්ලෙක් මචං.

මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං.


ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං. 

ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං.

ඒත් උඹ? 

මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං?

උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ කියලද මචං?

මගේ යාළුවා දන්නවා ඌගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ ඌට කෝල් කරන්නේ උඹ කියලා මචං. 

උඹ ඌට පළවෙනිම පාරට කෝල් එක ගත්තු වෙලේ මම හිටියේ මගේ යාළුවත් එක්ක පාර්ටි එකක මචං.

මගේ යාළුවා උඹේ කෝල් එක ගැන සැක හිතුන නිසයි උගේ කෙල්ලට, ඒ කියන්නේ උඹ කැමැත්තෙන් ඉන්න කෙල්ලට උඹේ නම්බර් එක දීලා දන්න එකක්ද කියලා අහලා තියෙන්නේ මචං. 

ඒ වෙලාවේ තමයි මචං ඒ කෙල්ල කියලා තියෙන්නේ ඒ නම්බර් එක, එයාගේ ඔෆිස් එකේ වැඩ කරන, එයාට හැමතිස්සෙම කෝල් කර කර කරදර කරන උඹේ කියලා මචං.

ඔය ගැන මගේ යාළුවාට ඒ කෙල්ල කලිනුත් කියලා තිබ්බලු මචං.

ඔෆිස් එකේදී උඹ එයාගේ ෆෝන් එක උදුරගෙන මගේ යාළුවා එවන මැසේජ් කියවනවලු නේද මචං?


සිරාවටම උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මචං?


උඹ එහෙම කරලා මගේ යාළුවාගේ නම්බර් එක අරගෙන මගේ යාළුවාට, උගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ කෝල් කරා නේද මචං?

උඹ එහෙම කරලා දවස ගානේ කෝල් කර කර මගේ යාළුවත් එක්ක ෆිට් වෙලා උගේ වැරදි හෙව්වා නේද මචං?


ඒවා හොයලා ගිහින් අර කෙල්ලට කිව්වා නේද "ඔයාගේ කොල්ලා මෙන්න මේ වගේ කෙනෙක්" කියලා මචං.


අපෝ මචං උඹ කරපු වැඩේ අහනකොටත් කොල්ලෙක් හැටියට
මට අම්බානකට ලැජ්ජා හිතෙනවා මචං.

උඹ දන්නේ නෑ නේද මගේ යාළුවා උඹට කිව්ව තරමක් කිව්වේ බොරුයි කියලා මචං?


ඌ කිව්වා නේද තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම යාළුයි කියලා මචං? 


ඌ කිව්වා නේද ඌ එක එක ඩ්‍රග්ස් වර්ග ගන්නවයි කියලා මචං?


ඌ කිව්වා නේද එක එක කෙල්ලොන්ව අරං රූම්ස් වලට යනවයි කියලා මචං?


ඒත් උඹ දන්නවද ඒ සේරම බොරුයි කියලා මචං?


ඒ වගේම මගේ යාළුවා උඹව අන්දපු හැටි උඹේ කෝල් කට් කරන සැනින්ම උගේ කෙල්ලට කියන බව උඹ දන්නේ නෑ නේද මචං?


උඹ මගේ යාළුවා කියන සේරම අහං ඉඳලා උගේ කෙල්ලට ගිහින් කියනවා නේද "ඔයා යාළු වෙලා ඉන්න එකා හොඳ එකෙක් නෙමෙයි" කියලා මචං.


උඹ හිතන්නේ ඒ කෙල්ල උඹ කියන ඒවා අහලා උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි උනා කියලද මචං?


නෑ.... එහෙම නෙමෙයි උනේ මචං.


ඒ කෙල්ල මගේ යාළුවාට කියලා තිබ්බා උඹ කරන වැඩ නිසා දැන් උඹේ මූණ බලන්නත් අප්පිරියයි කියලා මචං.


උඹ හිතාගෙන හිටියේ උඹ ඔහොම කේලම් කියලා ඒ කෙල්ලව මගේ යාළුවාගෙන් තරහා කළාම ඒ කෙල්ල උඹත් එක්ක යාළු වෙයි කියලද මචං?


උඹ හෙන මෝඩයි මචං.


මගේ යාළුවා කිව්වා ඒ කෙල්ලට උඹ කෝල් කර කර කරදර කරන නිසා තව දුරටත් උඹව අන්දන්නේ නෑ කියලා මචං.


ඊළඟ සැරේ උඹ කෝල් කරාම උඹට යහපත් ලෙස තේරුම් කරලා දෙනවා කිව්වා මචං.


බය වෙන්න එපා මචං.

උඹේ දත් දෙකක් බඩට යවන්න ඌට උවමනාව තිබ්බත් ඌ එහෙම කරන්නේ නෑ කිව්වා මචං.


මොකද මගේ යාළුවාගේ කෙල්ල වැඩ කරන්නෙත් උඹ වැඩ කරන ඔෆිස් එකේම නිසා මචං.


ඒ කෙල්ලගේ ජොබ් එක ගැන හිතලා මචං.


මට අන්තිමට උඹෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මචං.


සිරාවටම අහන්නේ....... උඹ පිරිමියෙක්ද බං?




ප.ලි : මෙම ලිපියෙන් දැක්වෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ පෙම්වතිය සමඟ යාළු වීමට උත්සහ කරන, ඇය සේවය කරන ආයතනයේම සේවය කරන එකෙක්ගේ පිළිකුල් සහගත ක්‍රියාව පිළිබඳව, ඒකා වැරදීමකින් හෝ මුණ ගැහුනොත් විමසන ආකාරයයි.




[පින්තූරෙ - http://www.queerty.com/wp/docs/2010/04/boyintu39230.jpg]

Monday, December 19, 2011

එදා වැලන්ටයින් දිනයයි!


//මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.//

වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර සිටම දැනෙන්නට පටන්ගෙන තිබිණි. ඒ හාත්පස වූ කඩ සාප්පු රක්ත වර්ණයෙන් හැඩ ගැන්වීමට පටන්ගෙන තිබූ නිසා නොවේ. මාගේ සමහර මිතුරන් මා කැටුව, ඔවුන්ගේ පෙම්වතියන්ට දීමට තෑඟි සෙවීමට කකුල් කඩිත්තුව හැදෙන තුරු ඔවුන් සමඟ කඩ සාප්පු ගානේ ඇවිදීමට වූ නිසාවෙනි. තාමත් ඉගෙනීමේ යෙදන මා මිතුරන් රුපියල් දාහ දෙදාහා පමණක් නොව සමහරුන් රුපියක් පන්දහස පවා ඉක්මවූ තෑගි මිලදී ගැනීම මට අරුමයක් නොවන්නේ දැන් වසර කිහිපයක සිටම ඔවුන් සමඟ වසරකට දෙවතාවක්වත් මේ අයුරුන්ම සාප්පු ගානේ රස්තියාදු ගැසීමට සිදුවන බැවිනි.


ප්‍රමෝදමත් ගතියෙන් දිස්වූ බොහෝ තරුණ තරුණියෝ නෙත ගැටුනු නිසාදෝ, මෙදින වෙනදාට වඩා බොහොම ප්‍රසන්න දිනයක් යැයි මට සිතේ. දෑත් පටලන් සිනාමුසු මුහුණින් ගමන් කරන පෙම්වතුන් වෙනදාට වඩා වැඩි දැයි මම මගෙන්ම ප්‍රශ්න කරගතිමි. බස් රථයේ පවා තුරුල් වී ගමන් කරන පෙම්වතුන් කීප දෙනෙකුම මගේ නෙත ගැටුනි. පෙම්වතුන්ගේ දිනය වූ නිසාවෙන් ඔවුන්ට මගේ අවධානයට යොමු වන්නේදැයි මම නොදනිමි.

උදෑසනටත් වසා සවස් කාලයේ පෙම්වතුන් ඇස ගැටෙන්නේ යැයි මට සිතේ. ඔවුන්ගේ අත්වල තෑගි බෝගය. හැමගේ මුහුණු සිනාවෙන් ආලෝකමත් වී ඇත. බාග වෙලාවට වැලන්ටයින් දිනය නිසාවෙන් ඔවුන්ගේ මුහුණු වල අමුතු සතුටක් මට දිස්වනවාදැයි සැක සිතුනි.


බස් රථයේ එතරම් සෙනඟ නැත. තැනින් තැන හිස් ආසන තිබූ බසය දෙහිවල හන්දියේ නැවතිනි. එතැනින් බසයට ගොඩවූයේ පාසල් යන වයසේයැයි සිතිය හැකි තරුණ යුවලකි. ඔවුන්ගේ අතේ මලු දෙකකි. ඒවායේ ඇත්තේ තෑගියැයි මම අනුමාන කළෙමි. එක ළඟ හිස් ආසන දෙකක් නොවූ බසයේ ඔවුන් හිටගෙන සිටින්නට විය. 


"ඔයා ඔතනින් ඉඳගන්න"
පෙම්වතා පෙම්වතිය පැවසීය.



"නෑ කමක් නෑ"
ඒ පෙම්වතියගේ පිළිතුරයි.

"එන්න නංගි මෙතනින් වාඩි වෙන්න"
ඔවුන් අසලම ආසනයේ හිඳගෙන සිටි අක්කා කෙනෙක් ඔවුන්ට එම ආසනය පිරිනමා ඈ වෙන තැනකින් හිඳ ගත්තාය.



ආදරවන්තයින්ගේ දිනේ දවසේ මිනිස්සුන්ගේ හිත ආදරණීය වෙලා. මේ මිනිස්සුන්ගේ හිත් හැම දවසකම ආදරවන්තයින්ගේ දවස වගේ වෙනවානම් කොච්චර හොඳදැයි මට සිතුනි. බසයේ ජනේලය අසල අසුන්ගෙන සිටි මා හට පාරේ දිස් වන්නේත් සතුටින් ගමන් කරන පෙම්වතුන්මය. අද දවසේ ලෝකෙම ලස්සන වෙලා වගෙයි.....

"බස් වල යනවානම් සල්ලි ගන්නවා මේවායේ පිනට එක්කං යන්න බෑනේ!"
කොන්දොස්තර මහතාගේ ගෙරවුම් හඩින් මගේ සිතුවිලි දැහැන බිඳී ගියේය.

"මං සල්ලි දුන්නා"
ආසන තිබියදීත් ඩ්‍රයිවර් අසල හිටගෙන සිටින, තරමක් වැරහැලි වූ ඇඳුමකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් තරහින් පවසයි.

"කොහෙද සල්ලි දුන්නේ? සල්ලි දුන්නානම් මට මතකනේ. රුපියල් නමයක් දෙන්න නැත්තං බස් එකෙන් බහින්න"



"ඒ මොකටද මං බහින්නේ. මං සල්ලි දුන්නානේ"


කොන්දොස්තර බණිමින් බස් ර‍ථය පිටුපසට පැමිණියේය.


"ඔය ගෑණු ඔහොම්මමයි"
කොන්දොස්තර පිටුපස ආසනයක වූ අයෙක් සමඟ මොන මොනවාද දොඩවමින් ඇයට බණිනු ඇසෙයි. කාන්තාවට ගානක්වත් නැති සැටියකි. ඇය හිස් බසයේ හිටගෙන ගමන් කරයි.


රුපියල් නමයක්!
එක්කෝ මේ ගෑණි ඇත්ත කියනවානම්, අර කොන්දාගේ අමතක වීම නිසා රුපියල් නමයකට මේ අහිංසක ගෑණිට කොන්දා නිකරුනේ දොස් කිව්වා. බාග වෙලාවට මේ ගෑණිට සල්ලි දුන්නා වගේ මතකේ තිබ්බාට ඇත්තටම සල්ලි දීලා නැද්ද දන්නෙත් නෑ. හැබැයි මේ ගෑණි බොරු කියනවානම් සමහර විට රුපියල් නමයක් අතේ නැතුව ඇති බස් එකේ යන්න. නැත්තම් බොරු කියලා බැණුම් අහලා හරි රුපියල් නමය ඉතුරු කරගන්න එක ඒ ගෑණිට වටිනවා ඇති.



ඔය කොහොම උනත් රුපියක් නමයයිනේ! අදවගේ ආදරණීය දවසකත් මේ මිනිස්සු රුපියල් නමයකට රණ්ඩු කරගන්න හැටි....
එක්කෝ ඒ මිනිස්සුන්ට රුපියල් නමය ඒ තරමටම වටිනවා ඇති.




[පින්තූරෙ - http://api.ning.com/files/OJv4SY0Y6H4fcLCLCx*9LXIPptJiShh-1T-fhUxoc384f-NBjGNsdIAx7SjcJZJyF2*mPZxtjOQjYr8LEfqqN8E38*Yur--M/file.jpg]

Monday, December 5, 2011

මිත්‍යා ෂුයි!


හිල් කාසියක් කටේ රන්දා
කාසි ගොඩක් උඩ ඉන්නා
තඩි හැල ගෙම්බා
චීනෙන් මෙහාට පැන්නා

කවුදෝ එකෙක් එන්නා
"ගෙම්බා වාසි ගේනා"
ටීවී එකෙන් කියනා
මිත්‍යාව වපුරන ගෙම්බා!

වාසි ගේන හන්දා
අපේ උන් පැන්නා
ගෙම්බාව දෝතින් ගත්තා
ගේ ඉස්සරහා තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
ගෙම්බාට වැන්දා
අනේ ගොං ගෙම්බා!



තවත් කෙනෙක් ඉන්නා
අලි කටත් බලියා
සුද්දා පොට්ට හන්දා
එයාට නමක් දැම්මා
"ලාෆින් බුද්ධා"


සුද්දා කිව්ව හන්දා
හිස් මුදුනින් පිළිගත්තා
අනේ ලාෆින් බුද්ධා!
පුංචි මැදුරක් තනවා
ගේ මැද්දෙන් තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
එයාටත් වැන්දා
අනේ ගොං ගෙම්බා!

සටහන  
ගෙම්බෙකුට තබා මේ ලෝකයේ තිබෙන කිසිම පිළිමයකට තමන්ගේ ආදායම් තත්වය හෝ තමාගේ ජීවන තත්වය උසස් කිරීමට නොහැකි බව සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත ගැකි සත්‍යයක් වුවද, මෙවැනි දෑ විශ්වාස කරන උසස් වෘත්තිකයක් පවා දැකගත හැකි වීමෙන් පැහැදිලි වන්නේ බොහෝ මිනිසුන්ගේ දැනුම පරයා මිත්‍යා විශ්වාස ඉදිරියට පැමිණ ඇති බවය. මෙවන් දෑ විශ්වාස කිරීමෙන් තමන්ට ලැබෙන ලාභ/වාසි කෙසේ වෙතත් මෙවන් මිත්‍යාවන් පතුරවන අයටනම් මේවායින් බොහෝ ලාභ ලැබෙන බවනම් නොඅනුමානය.



[පින්තූර-http://www.glogster.com/media/5/29/28/7/29280721.jpg, http://lorettaecogirl.files.wordpress.com/2011/06/fengshuitoad.jpg]

Thursday, November 24, 2011

වෙනස


අප ගමන් ගත්
පාර දෙපසම
තිබුණු ගහ කොළ
තවම දළුලන

පුරුදු ලෙසටම
පිපෙන කුසුමන්
සුවඳ කරමින්
පාර සරසන

එදා උන් ඒ
සියොත් කැළ තව
අතු අතර හිඳ
ගීත ගයමින

දෑත් පටලන්
සිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන

වෙනස් වී නැත
එදා මෙන්මයි
සොඳුරු මාවත
අප ගමන් කළ

එකම වෙනසයි
අද තනිව යන
මගේ හදවත
කීරි ගස්සන






[පින්තූරෙ - http://farm7.static.flickr.com/6228/6340908255_3195818aae.jpg]
Related Posts Plugin for WordPress, Blogger...