ඔන්න සිත්සත්වේ එකෙම හමාර කරලා අලුත් ඉස්කෝලෙකට ගියා කියමුකෝ. හය වසරෙදී කොල්ලෝ වැඩිය කෙල්ලොත් එක්ක කතා නෑ. ඒ කාලේ කෙල්ලෝ තමයි අපේ ලොකුම හතුරෝ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් කෙල්ලොත් එක්ක වලි තමයි. මට මතක විදිහට ඒ කාලේ මම පන්තියේ කෙල්ලෝ තුන් හතර දෙනෙක් එක්ක හැරෙන්න අනිත් අයත් එක්ක වචන දෙක තුනක්වත් කතා කරලා තිබ්බේ නෑ. හත වසරට එනකොට තත්වය පොඩ්ඩක් විතර වෙනස් වුනා. හය වසරෙදි තරම් වලි තිබ්බේ නෑ. ඔය කාලේ පන්තියේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් ලොකු අයියලත් එක්ක යාළු වෙලත් හිටියා. ඉතින් කොල්ලන්ගේ වැඩේ තමයි අර කෙල්ලෝ යාළුවෙලා ඉන්න අයියලාගේ නම් හොයාගෙන ඒ කෙල්ලන්ට විහිළු කරන එක. අපිටනම් ඒ දවස් වල ඔය කෙල්ලොත් එක්ක යාළුවෙන මානසිකතවයක් තිබ්බේ නෑ. අපිට ඕනේ සෙල්ලම් කරන්නම තමයි.
අප්පේ ඒ දවස් වල ඉස්කෝලේ පටන් ගන්නේ 7.30 ට වුනාට පන්තියේ කොල්ලෝ 6.30 වෙනකොට ඉස්කෝලේ. උදේ පාන්දරින්ම පිට්ටනියට බැහැලා ඔන්න පටන් ගන්නවා සම්බෝල කොටන්න. පළවෙනි පීරියඩ් එකේ පන්තියේ ඉන්නේ දාඩිය පෙරාගෙන ඇඳුම් විනාස කරගෙන. සමහර උන්ගේ බෝල පාරවලුත් පිටේ.
හය වසරේ ඉඳන් නමය වසර වෙනකම් අපේ පන්ති කඩන්නේ නෑ. 10 වසරෙදි තමයි අපි ඔක්කොම වෙන වෙන පන්ති වලට වැටෙන්නේ. ඉතින් අපි 8 වසරට යනකොට අපේ පන්ති භාර ගුරුතුමිය හැම ළමයෙක් ගැනම හොඳට දන්නවා. ඒ වගේම ඒ වෙනකොට පන්තියේ කොල්ලෝ කෙල්ලොත් එක එක්කෙනාව දන්නවා. ඔන්න ඔය කාලෙදි තමයි මට මේ භයානක සිද්ධියට මුහුණ දෙන්න වෙන්නේ.
8 වසරේදි අවුරුද්දේ මැද හරියෙදී අපේ පන්ති භාර ගුරුතුමියට තමයි මේ අති භයානක අදහස ඇවිත් තිබ්බේ. එයාට හිතලා පන්තියේ ළමයි ඉන්න තැන් මාරු කරන්න. ඔන්න ඉතින් එයා පන්තියේ ඔක්කොම ළමයින් එයාට ඕන තැන් වලින් වාඩි කෙරෙව්වා. දන්නවද මාව දැම්මේ කොයි වගේ තැනකටද කියලා? මාව දැම්මේ ඒ දවස් වල පන්තියේ හිටපු විසේකාරම කෙල්ලෝ දන්නෙක් මැද්දට. ඒ අභාග්‍ය සම්පන්න තත්තවය මට හැරෙන්න තව කොල්ලො දෙන්නෙක්ට විඳින්න වෙලා තිබ්බ නිසා මට පොඩි සහනයක් දැනුනා.
මොනවා කරන්නද ගෙදර ඇවිත් කියන්න කියලද බෑනේ අනේ මට ලැජ්ජයි. ඒ මදිවට පන්තිය ගාවින් සමහර ගුරුවරු යනකොට බලලා නෝන්ඩි හිනාවක් දාලත් යනවා. ඒ හැරත් උගන්නන අනිත් ගුරුවරුත් බලලා අර විදිහටම නෝන්ඩි හිනාවක් දානවා. විලි ලැජ්ජාවයි. තව ලොකු අයියලා ආව වෙලාවල් වලට උන් පුදුම වෙලා බලනවා. දවසක් එකෙක් ඇවිත් මගෙන් අහනවා
"මොකද මල්ලි කෙල්ලෝ දෙන්නෙක් මැද්දට වෙලා ඉන්නේ" කියලා
මම කිව්වා "අපේ මිස් තමයි දැම්මේ" කියලා
මේකා ඌත් එක්ක ආව අනිත් එකාට කියනවා "අඩෝ බලපන්කෝ බං අපිටත් මේ පන්තියේ ඉන්න තිබ්බේ" කියලා
ඉතින් මම හිතනවා 'මුන් දෙන්නට පිස්සුද මන්දා මට මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා මුන් ඉඳන් මඟුලක් කතාකරනවා'
මුල් දවස් වල අප්සට් එකේ හිටියට පස්සේ පස්සේ අර කෙල්ලෝ දෙන්නත් එක්ක ෆිට් වෙනකොට වැඩේ හොඳයි කියලා හිතුනා. ඒ දවස්වල අපිට සමාජ අධ්‍යයනය උගන්නපු මිස් වස කම්මැලියි තට්ටු තුනක් උඩට නැඟලා අපේ පන්තියට එන්න. ඉතින් එයා කරන්නේ අලී නෝට් එකක් අපේ පන්තියේ එකෙක් අතේ එවනවා ඌට කියවන්න කියලා. එතකොට අපි ඒක ලියන්න ඕනේ. කොල්ලෙක් හැටියට කරන්න පුළුවන් වැඩක්ද ඕක. ඉතින් මම කරන්නේ මුළු පීරියඩ් එකේම පිස්සු කෙළ කෙළ ඉඳලා අන්තිමට මම ගාව ඉන්න කෙල්ලෙක්ට පොත දෙනවා ගෙදර ගිහින් ලියලා ගෙනත් දෙන්න කියලා. අනේ ඉතින් මම හොඳ ළමයනේ ඒ දෙන්නා ලේසියට මට බෑ කියන්නේ නෑ. අප්පේ බලන්න එපෑයැ ඒ අකුරු වල ලස්සන මම මේ ටයිප් කරන අකුරු වගේ. ඒ මදිවට පාට පාට පෑන්වලින් ලියලා දැක්ක ගමන් කියවන්න හිතෙනවා. කොහෙද මම ලිව්වනම්. එහෙනම් එකම පාට පෑනයි. ජීවිතේට රූලක් තියලා ඉරක් ගහන්නේ නෑ. (තාමත් එහෙමයි)
අන්තිමේ මාව කෙල්ලෝ දෙන්නෙක් මැද්දට දාපු එකත් නරක නෑ කියලා හිතුනා. කොහොම හරි 8 වසරෙන් 9 වසරට යන දවසත් ආවා. ඉතින් මම ටිකක් සතුටු වුනා දැන් ආයේ කෙල්ලෝ දෙන්නෙක් මැද්දට යන්න ඕනේ නෑනේ කියලා. මොකද කෙල්ලෝ දෙන්නෙක් මැද ඉඳන් කොල්ලො කරන සමහර වැඩ කරන්න බෑනේ. ඒත් වුනේ මම හිතපු දේ නෙමෙයි. පන්ති භාර ගුරුතුමිය මාව දැම්මේ නැතෑ වෙන කෙල්ලො දෙන්නෙක්ගේ මැද්දට. හැබැයි ඒ දෙන්නා පන්තියේ හිටපු අහිංසක කෙල්ලෝ දෙන්නෙක්. අපේ සෙක්ෂන් එකේ ලස්සනම කළු කෙල්ල(මම දකින විදිහට) ඒ මගේ දෙපැත්තේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්.
බොහෝම ටික කාලයක් යනකොට ඒ දෙන්නත් එක්ක මම 8 වසරෙදී මගේ දෙපැත්තේ හිටපු කෙල්ලෝ දෙන්නටත් වඩා ෆිට් වුනා. ඒ වෙනකොට කෙල්ලෝ දෙන්නෙක් මැද්දට වැටිලා හිටියේ මම හැරුනාම තව එකෙක් විතරයි. මට ඉතින් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඇයි මාව මෙහෙම දාන්නේ කියලා. හැබැයි එක දවසක් මට ඒක දැනගන්න පුළුවන් වුනා. දවසක් මගෙන් අර එක්කෙනක් අහනවා
"ඔයා දන්නවද ඇයි මිස් ඔයාව අපි මැද්දට දැම්මේ කියලා"
මම : නෑ
"මිස් කිව්වා ඔයා ගෑණු ළමයි එක්ක කතා කරනකොට 'ඕයි' කියනවා කියලා. ඉතින් අපිට කිව්වා ඔයා ඒක කියන එක නවත්තන්න කියලා."
ඔන්න එතකොට තමයි මට වැඩේ මීටර් වුනේ. ඇත්තටම මම ඒ දවස් වල ගෑණු ළමයි එක්ක කතා කරන කොට ඒ වචනේ වැඩියෙන් දානවා නේන්නම් කියලා මට හිතුනා. පස්සේ මම ඒක හදා ගත්තා. ඒක හදා ගන්න අර දෙන්නත් මට සෑහෙන්න උදව් වුනා. මට වැරදිලා හරි 'ඕයි' කියවුනොත් උන් දෙන්නගෙන් බැනුම් කෝටියයි. හැබැයි 9 වසරේ ඒ දෙන්නගේ මැද්දේ වැඩි කාලටක් ඉන්න වුනේ නෑ. මගේ වචන භාවිතය යහපත් කියලා අර දෙන්නා මිස්ට වාර්ථා කළාට පස්සේ මාව වෙන තැනකට මාරු කළා.
දැන්නම් මම කිසිම විදිහකින් කෙල්ලෝත් එක්ක කතා කරනකොට 'ඕයි' කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. ඒ වගේම 'උඹ' 'බං' වගේ වචන වුනත් කෙල්ලෙක් එක්ක කතා කරනකොට මම පාවිච්චි කරනවනම් කරන්නේ ඒ කෙල්ලත් ඒ වචන භාවිතා කරනවනම් විතරයි.
මට කෙල්ලෝත් එක්ක පැණි හලන්න කතාකරන්න පුරුදු කරපු ඒ ගුරුතුමියට අනේක වාරයක් ස්තූතියි!
මට පස්සේ කාලෙක තේරුම් ගියා ඇයි අර අයියලා අපේ පන්තියට ඇවිත් අර විදිහට කිව්වේ කියලා. චැහ් දැන්නම් මටත් හිතෙනවා ආයේ ඒ වගේ පන්තියක ඉන්න තිබ්බනම් කියලා.
ප.ලි: මේ මගේ 50 වෙනි පෝස්ට් එක. මොකද කියන්න දන්නේ නෑ. බොරු කියන්න ඕනත් නෑ. සිරාවටම මට මේ මගේ 50 වෙනි පෝස්ට් එක කියලා ඒක ගැන මහා ලොකු සතුටක් නෑ. හැබැයි මට ගොඩාක්ම සතුටු කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් දැම්මාම, ෆලෝ කරන කෙනෙක් වැඩි වුනාම. ඒක නිසාමයි 50 වෙනි පෝස්ට් එක ගැන වෙනම ලිපියක් නොලිව්වේ. හැබැයි 100 වෙනි පෝස්ට් එකට නම් වෙනම ලිපියක් ලියනවා මම බ්ලොග් කරන්න ආව හේතුව සහ තවත් දේවල් ගැන ලියලා.
මට මේ බ්ලොග් එක එක දිගට කරගෙන යන්න හිතුනේ මේක කියවන, කමෙන්ට් එකක් දාන ඔයාලා නිසා.
ඉතින් ඔයාලට ගොඩාක් ස්තූතියි..............