Tuesday, July 26, 2011

අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා)


තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි.  "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.

ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර පංතියේ ළමුන්ට මා නියමිත කර තිබූයේ තමාගේ අනාගතයේ තමන් පිළිබඳව කතාවකට සූදානම්වී පැමිණෙන ලෙසයි. ඒ අනූව එදින ළමෝ එකිනෙකා තමාගේ කතාවන් පැවැත්වූහ. අප කුඩා කල අපෙන් කිසිවෙකු අපේ අනාගත බලපොරොත්තුව විමසුවොත් අප සැම දෙනාටම පාහේ කීමට තිබූයේ කාරණා කිහිපයක් පමණි. එකල දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රටට වැඩදායි පුරවැසියෙක් යන අවස්ථා තුන හැරුනුකොට වෙනත් දෙයක් පැවසු ළමයෙක් නැති තරම්ය. නමුත් අද මේ දරුවනට ඇති අනාගත බලාපොරොත්තු බොහෝමය. අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ආකිටෙක්ට් කෙනෙක්වෙන්න කියයි තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි. ඒ අතරේ ඊළඟ කතාව කිරීමට තිබුයේ අයිර්ලියා දැරියටයි.

පංතියේ ඉදිරියට පැමිණි ඈ කතාව ආරම්භ කළාය.

"සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ අනාගත බලාපොරොත්තුව පිළිබඳව වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි"
"මගේ අනාගත බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න"

මට මාගේ දෙසවන් ඇදහිය නොහැකි විය.
"මොකක්ද අයිර්ලියා කිව්වේ?"
මම ඇගෙන් නැවත් විමසීමි.

"සර් මම කිව්වේ මගේ අනාගත් බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න කියලා"

"මොනවා!" මම මවිත වීමි
කුඩා දැරිවියව ගුරු මේසය අසලට කැඳවා ගත් මා ඇගෙන් ටෙලි නාට්‍ය පිළිබඳව දැනගත් අයුරු විමසන්නට විය.

"දුව ටෙලි නාට්ටි බලලා තියනවද?"
"ඔව් සර් මම ගෙදරදි බලනවා"
"ගෙදර ටෙලි නාට්ටි පෙන්නන චැනල් අහුවෙනවද?"
"සාලේ ටීවී එකේ නෑ සර් ඒත් අම්මලාගේ කාමරේ ටීවී එකේ තියනවා. අම්මලා එනකොට හවස් වෙනවනේ සර්, ඉතිං අම්මලා එනකම් මම නාට්ටි බලනවා"

මට කාරණය වැටහුනි. වහාම ඇගේ පියාට ඇමතූ මම හැකිනම් එදිනම හෝ පසු දින පාසලට පැමිණෙන මෙන් දැන්වූයෙමි. නමුත් මාතර පිහිටි තම සේවා ස්ථානයේ සිට කොළඹ පිහිටි පාසලට විනාඩි 20කටත් නොඅඩු කාලයකදී පැමිණීමට ඔහුට අධිවේගී මාර්ගය නිසා හැකි විය.

මම ඔහුට සිදුවූ දෑ පැවසුවෙමි. අවසානයේ මෙසේ විමසීමි
"දැන් බලන්න වෙලා තියන දේ දෙමව්පියෝ විදිහට ඔයාල මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ නේද? පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට නාට්ටි පෙන්නන චැනල් ටික සල්ලි දීලා ගන්න තරම් ඔයාලා මෝඩද?" මම තරහෙන් පැවසුවෙමි.

"මට වැරැද්ද තේරෙනවා සර්. මම දැන්ම ගිහින් ඒ චැනල් ටික අයින් කරනවා" එසේ පවසන විට පියාගේ වත රත් පැහැ ගැන්වුනේ ලැජ්ජාවටද, දුකටද, තරහටදැයි මම නොදත්තෙමි.

"චැනල් ටික අයින් කරලා විතරක් හරියන්නේ නෑ. මේ දරුවට සමාජයේ හොඳ නරක කියලා දෙන්න"
ඔහුට අවවාද රාශියක් දී පිටත් කළ මා ඒ දැරිවියටත් ඇගේ බලාපොරොත්තුවේ ඇති නරක පැත්ත පිළිබඳව හැකිතාක් දුරට තේරුම් කර දීමට උත්සාහ ගතිමි. නමුත් ඒ පුංචි දැරිවියට ඒ දේවල් වැටහුනාද යන්න සැක සහිතය.

මේ පුවත් පත් දැන්වීම එසේ පසුගිය සතියේ සිදු වූ ඒ සිදුවීම මට නැවත සිහිපත් කිරීමට සමත් විය. මම නැවත දැන්වීම කියවාගෙන ගියෙමි. පොල්ගෙඩි අකුරින් මෙසේ සඳහන් වී තිබිණි.
'අලුත් මෙගා ටෙලි නාට්‍යයකට ප්‍රධාන චරිතයට සහ සෙසු චරිත වලට නිළියන් වුවමනාකර තිබේ' 
තවත් බොහෝ තොරතුරු වලින් පසුව ඉතා කුඩා අකුරුන් මෙසේ සදහන් වී තිබිණි 
'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'


ප.ලි: පසුගිය දින වල පුවත් පත්වල දුටු පුවත් අනූව ඒ සිදුවීම් තවත් දිගින් දිගටම සිදුවීගෙන ගියහොත් මේ මා සඳහන් කළ කතාව සත්‍යයක් වනු දැකීමට අපට 2041 වන තෙක් බලා සිටිය යුතු නොවනු ඇත.


[පින්තූරෙ-http://1.bp.blogspot.com/-4ijI7Eyz0mA/TZu9jwSwQnI/AAAAAAAAABs/s_jXTOu-QXY/s1600/imagesCASCL53C.jpg]

Friday, July 22, 2011

මිරිඟුවකට පෙම් කළ කාලේ.......


මිරිඟුවකට පෙම්කරයි
හදවත යළිත්
පෙනි පෙනී
හැරයන්නත්
බෑ
ලං වෙලා
නැතිකරගන්නත්
බෑ


ප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........

[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg]

Monday, July 18, 2011

නූතන පංච කල්‍යාණියේ සිරි............


මුහුණ සුදට
ඇඟ කළුවට
ඡවි කළණේ

ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ

දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ

නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
 
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ

පංච කල්‍යාණියේ
සිරි වෙනස්ය
 මේ කාලේ

෴෴෴

...:::විශේෂ ස්තූතිය:::...
මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......


[පින්තූරෙ-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFEzdPgU0XQnSXa0ARjF_gdg4X0xzfLKKrjDiK-PPPwilN3iAacY_roHKZO-VSYiItrzWgQyFwShpz2JGCWmhF5t54QU_3n9CngjfmYJdnBfP9MMTPs5niw3Q1V8KNDEu7_gXbdgBO0pQ/s400/muthu-imesha.jpg]

Monday, July 11, 2011

පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ.........


ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?

නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.
මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා බං අපරාදේ එහෙම ටිකක් කල්හරි හිටියේ කියලා. දැන් බලපන් දැන් ගෙදර එනකොට කෑම ටික හදලා තියෙනවා කිසි කරදරයක් නෑ. අපි දෙන්නත් හොඳට සතුටින් ඉන්නවා.

ඕක තමා හොඳම වැඩේ. ආයේ ලොකු පාටි තියලා බොරු වියදම් කරන්න ඕනෙත් නෑනේ. මුකුත් නොකියා ඉන්න බැටිකමට මමත් කිව්වා.

ඔව් බං....... මමත් උඹලට කියන්නේ කරන දෙයක් පුළුවන් තරම් ඉක්මනට කරගෙනිං, නිකං නාකි වෙනකම් ඉන්න එපා.

කොහෙද අයියේ අපිට ඔහොම තියා කොහොම හරි එක්කං එන්නවත් කවුරුත් නෑනේ.

ඒකනේ බං උඹලත් අනේ මන්දා........ උඹලා ඉතිං කොළඹ උංනේ... උඹලා ඉතිං කොළඹ ලොකු ලොකු සල්ලි කාරයින්ගේ කෙල්ලෝ අල්ලගන්න බලාගෙන ඇති. මම ඉතිං ගොඩේ එකානේ. මට හිතුනා මම එක්කං ආවා. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා.

පිස්සුද බං අයියේ.....උඹ වයස 23න් එක්කං ආවා. සල්ලි කාරයින්ගේ කෙල්ලෝ කොහේ අල්ලන්නද? ඒවා බලං හිටියොත් අපිට 40 පැන්නත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙනවා. මොනවා හරි කියන්න ඕන කමට මමත් කිව්වා.

මල්ලී අපිට පුළුවං කාලෙදී ඒ ඒ දේවල් කරගන්න ඕනේ. මට සල්ලි තියනකොට මම වියදම් කරනවා. අම්මලා අක්කලාට සලකනවා ඈ........ බලපං මම නිතරම කිරි අම්මාව බලන්න යනවා. ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකාලේ ඕවා කරනවා මිසක් නැති වුනාම ගිහින් බලලා ඇවිත් වැඩක් තියනවද බං?
මම මචං පන්සලුත් යනවා හවසට පහනත් තියනවා. ඕවා බං වයසට යනකම් ඉඳලා කරන්න ඕන වැඩ නෙමෙයි. පුළුවං කාලේ කරන්න ඕනේ බං.
මට හිතුනා මම එක්කං ආවා. උඹ දන්නවනේ මං ගැන? කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ.... දැන් අපි සතුටින් ඉන්නවා.............

පලි: මම කලින් කිව්ව සුන්දර ගම්මානේ ඉන්න අයියා කෙනෙක් තමන්ගේ ආදරවන්තියව බිරිඳ කරන් එක්කං ඇවිත්. හැබැයි අයියගේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි මේක දැනගත්තේ පස්සේ. එහෙම එක්කං ඇවිත් තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් ටිකක් අකමැති වුන නිසාම නෙමෙයි. කෙල්ලගේ තාත්තා තව අවුරුදු කීපයක් ඉන්න කිව්ව නිසාලු.
දැන් මාස කීපයකට ඉහතදී මේ අයියට රජයේ රැකියාවක් ලැබුණා ඉන්න තැනකුත් එක්ක. තරමක වැටුපකුත් ලැබනවා. තනියම උයා පිහා ගන්න එකත් අමාරු නිසාලු එක්කං ආවේ. මේ සිද්ධිය තාම නෑදෑ පිරිවර දන්නෙත් නෑ. දැනගත්තාම තමයි මිනිහට ලෝකේ නැති කතා අහන්න වෙන්නේ!


[පින්තූරෙ-http://mariagabrielap.files.wordpress.com/2009/10/boyandgirl2.jpg?w=294&h=284]

Thursday, July 7, 2011

මදුරුවෝ මොන රහද දන්නවද???



දිනක් මහා රාත්‍රියේ
මැච් එකක් බැලුවනේ
පරදින ලකුණු දිස්වුනේ
නිදිමතකි මට පැමිණුනේ

හිඳි තැනින් නැඟිටුනේ
අත් දෙපසට විහිදුනේ
කටත් හැකිතාක් අරිමිනේ
හොඳ හුස්මක් ගත්තනේ

ඕං ඔය වෙලාවේ
මහා විපතකි සිදුවුනේ
මදුරුවෙකි පැමිණුනේ
ඌට බ්‍රේක් නොතිබුණේ

මදුරුවා උගුරේ හිරවුනේ
හිස්ම මඟ නැවතුනේ
දෙතුන් වරක් කැස්සනේ
නෑනේ ඌ පැමිණුනේ

දන්න ශිල්ප දැම්මනේ
හැකිතාක් කැස්සනේ
කාරලත් බැලුවනේ
යළි කටින් නොඑන්නේ

මළ කෙලියකි සිදුවුනේ
මොකද දැන් කරන්නේ
මම මදක් සිතුවනේ
අදහසක් ආවානේ

කුමට මම තැවෙන්නේ
කටින් උගුරට ගියානේ
තවත් ඇතුලට ගියාවේ
බඩට නොවැ වැටෙන්නේ

කුස්සියට මම දිව්වනේ
කෝප්පයක් වතුර බිව්වනේ
මදුරුවා බඩට වැටුනනේ
දැන් කිසිත් නැත දැන්නේ



[පින්තූරෙ-http://www.istockphoto.com/file_thumbview_approve/15926201/2/istockphoto_15926201-cartoon-mosquito.jpg]

Tuesday, July 5, 2011

සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද".......


මට මුලින්ම නින්ද නොයන ලෙඩේ එන්නේ උපෙ කරන්න මාස 7කට විතර කලින් කෙනෙක් හින්දා. අන්තිමේදී මට එයාව ලැබුනෙත් නෑ නින්ද ලැබුනෙත් නෑ. උපෙ ලං වෙන්න ලං වෙන්න හිතේ තිබ්බ බයටද කොහෙද රෑට නින්ද ගියේම නෑ. උපෙ ඉවර වෙලා තවත් අවුරුද්දක්ම ඔය ලෙඩේ අල්ලලා හිටියේ දෙවෙනි පාරටත් උපෙ කරපු නිසා. හැබැයි දෙවෙනි පාර උපෙ කරන කොට මාව මහා නරක පුරුද්දකට ඇබ්බැහි වුනා. ඒ තමයි බස් වල යනකොට නින්ද යන එක. රෑට නින්ද යන්නෙත් නෑ ඇඳේ පෙරලි පෙරලි රෑ 1 විතර වෙනකම් ඉඳලා තමයි නින්ද යන්නේ. ආයේ උදේ 4ට නැඟිටලා රිවිසන් පන්ති යනවා. පාන්දර 5.30 විතර පිළියන්දලින් බස් එකේ නැඟලා ඉඳගත්ත ගමන් අප්පේ නින්ද යන අපූරුව. ජනේලේ අයිනේ හුළං වැහි වැදී හරි අපූරුවට නින්ද යනවා. කොහුවලදී යාළුවෝ ඇහැරවන නිසා බයත් නෑ. (ඔය පන්ති යාමත් හරි අපූරු කතාවක් ඒකත් වෙන දවසක කියන්නම්කෝ)

කොහොමින් කොහොම හරි රෑට නින්ද නොයන ලෙඩේ හොඳ වෙන්නේ දෙවෙනි පාරට උපෙ කරලා ඉවර වුනාට පස්සේ. මොකද මම තදින්ම හිතාගෙන හිටියේ දෙවෙනි පාරටත් උපෙ ඇනගත්තත් ආයේනම් ඒ කරුම විභාගේ කරන්නේ නෑමයි කියලා. ඇත්තමයි උපෙ ඉවර වුනාට පස්සේ මගේ ඔළුවේ තිබ්බ ලොකූ බරක් නැති වුනා වගේ තමයි මට දැනුනේ. ඒක නිසාම වෙන්න ඕනේ මට ආයෙත් යස අපූරුවට රෑට නින්ද යන්න ගත්තා. ඇඳට යනවා විතරයි මතක. 

එහෙම ගිහින් ආයෙත් මාස හය හතකට පස්සේ ඔන්න ආයෙත් මම ගිලිනවා බොරුව කියන මී පැණි තවරපු ආදරේ කියන හක්ක පටස් එකක්! ඔන්න ආයෙත් රෑට නින්ද නෑ. හැබැයි ඒ නම් රෑට මල් කඩපු නිසා. ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පිපුරුවා. ඒකෙනුත් අන්තිම මාසෙම විතර පුපුරන බව දැන දැනම ඔහේ හැපුවා. ඒ අන්තිම මාසේ ඕක පිපුරුවාම වෙන දේ ගැන හිත හිතා ඉඳලම එපාම වුනු නිසා වෙන්න ඇති පුපුරලා සතියක් විතර යනකොට ඔන්න ආයෙමත් යස අපූරුවට රෑට නිදාගන්න පුළුවන් වුනා.

දැන් තත්වය කියනවනම් බොහොම භයානක තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. මොකද කියනවනම් මට දැන් ඇඳට යන ඕනෙම වෙලාවක විනාඩි කීපයක් ඇතුලත බොහොම හොඳට නින්ද යනවා. ඒ විතරක් නම් මදෑ මට ඇඳේ නිදා ගන්නවට වඩා හොඳට බස් වල නින්ද යනවනේ. උදේ, දවල්, හවස ඕන වෙලාවක බස් එකේ වාඩි වෙන්න විතරයි ඕනේ.... විනාඩි පහෙන් මම නිදි. වැඩේ කියන්නේ ගිනි ගහන අව්වේ දවල් දොළහට දාඩිය පෙරාගෙනත් මම නිදි. එක දවසක් කෙල්ලෝ ගොඩක් හිනාවෙනවා හීනෙන් වගේ ඇහෙනකොට මම ඇහැ ඇරලා බැලුවා. මේං කෙල්ලෝ සෙට් එකක් මං දාඩිය පෙරාගෙන නිදා ඉන්න දිහා බලං හිනාවෙනවා. එදානම් මට ඊට පස්සේ උන් බහිනකම්ම නින්ද ගියේ නෑ. එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එකකගේම හිනාවට ලක්වුනු පළවෙනි වතාව. 

ප.ලි: කොච්චර බස් එකේ නින්ද ගියත් මට නින්ද නිසා බස් එකෙන් බහින තැන පහුවුනේ තාම එකම එක පාරක් විතරයි! 


උපෙ යනු උසස් පෙළ යන්නයි. 



[පින්තූරෙ - http://www.petmonologues.com/pet022207/wp-content/uploads/2007/10/cat-sleep1.jpg]
Related Posts Plugin for WordPress, Blogger...