Thursday, December 27, 2012

හීන දුරයි ඒරොප්පෙට...


"අපි දෙන්නා බැන්දයින් පස්සේ දරු පැටියෙකුත් හදාගෙන ඔය තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙමු කුමුදුනී"

විවාහ උත්සවයට මාස තුනක් තිබියදී එක හැන්දෑවක වැව් බැම්මට වී කුමුදුනී එක්ක අනාගතේ ගැන මැව්ව හීන අජිත්ට අද ඊයේ වගේ මතකය. ඉතා සරලව පෙනුනු එම හීන යතාර්ථයක් කර ගැන්ම මෙතරම් වේදනාකාරී හැඟීම් ජනිත කරවාවි යැයි එදා ඔහුට නිකමටවත් නොසිතුනි. ගමේ ‍තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් චාම් විවාහ උත්සවයකින් කුමුදුනීව නිවසට කැන්දාගෙන විත් ලබන මසට දෙවසරක් සපිරෙයි.

"අවුරුදු දෙකක්... අද ඊයේ වගේ..... මේ අවුරුදු දෙකත් ඒ වගේම ගෙවිලා යාවි"  තට්ටු තුනේ ඇඳේ ඉහලටම වී අජිත් තමාවම රවටා ගැන්මට වෙහෙසෙයි.

අජිත්ගේ විවාහයෙන් පසු දස මසක පමණ කාලය අජිත්ගේත් කුමුදුනීගේත් ජීවිත වල ප්‍රීතිමත්ම කාලය බවට පත්විය. ඉඳ හිට ඇති වූ බහින් බස් වීම් පවා ඔවුන් අතර බැඳීම ශක්තිමත් කිරීම් පමණක්ම විය. ඒ ඔවුනොවුන් දුටු හීන හැබෑවෙමින් යනවා යැයි ඔවුන්ට හැඟුනු කාලයයි. පවුලට එක්වීමට යන නව සාමාජිකයා පිළිබඳ ආරංචිය ඔවුන්ගේ සතුට තවත් තීව්‍ර කරවීය.

"මම නම් ආස කෙල්ලෙක්ට"

"මටනම් කවුරු උනත් එකයි. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපි දෙන්නගෙනේ"  
අජිත්ගේ උරහිස මත හිස තබා එදා කුමුදුනී ඒ කී වදන් යලිත් කන අසලින්ම කොඳුරන්නාක් මෙන් ඇසුනු බැවින් අජිත් ඇඳ මත නිදා සිටි ඉරියව්ව වෙනස් කර භාවනාවකට මෙන් ඇඳ මත වාඩි විය.

තමාත් කුමුදුනීත් දුටු හීන කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් යන්නට පටගත් බවක් අජිත්ට දැනෙන්නට පටන් ගත්තේ දරුවා ලැබෙන්නට ලංවත්මය. කුමුදුනී ගාමන්ට් රස්සාවට සමුදී තිබිණි. වෛද්‍යවරුන්ගේ නියමය පරිදි කුමුදුනීට පෝෂදායි ආහාර පාන ලබා දිය යුතු විය. ඇයව ක්ලීනික් එක්කන් යන්නට සිදුවිය. කෙමෙන් කෙමෙන් වියහියදම් වැඩි වන්නට විය. අජිත් රියදුරෙකු වශයෙන් උපයන රුපියල් දහ අට දහසක මුදල ඔවුන් දුටු ලස්සන හීනය වෙත පාර කපා දෙන්නට මද බව කෙමෙක් කෙමෙක් අජිත්ට වැටහෙමින් තිබිණි.

අජිත් බලාපොරොත්තු වූ පරිදිම කුමුදුනීට දුවක් ලැබුණි.

"ඔයා වගේම ලස්සන දුවෙක්"

"ඇස් දෙකනම් තාත්තගේ"

පුංචි දියණියගේ සිනාවන් හවසට වැඩ නිමවී ගෙදර එන අජිත්ගේ ගතේ විඩා නිවා දමන්නට සමත් වුවද කෙමෙන් කෙමෙන් හිස ඔසවන අඟ හිඟ කම් නිසා ඇතිවන චිත්ත පීඩා මකා දමන්නට සමත් නොවිනි. දියණියගේ කිරිපිටි, ඇඳුම් පැළදුම්, බේත් හේත් ආදියට අජිත්ගේ වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනාගතය ගැන අජිත්ට බියක් දැනෙන්නට පටන්ගෙන තිබිණි.

"කුමූ... මං මේ කල්පනා කළේ අපේ රට ඉන්න කොළඹ මාමාට කියලා රට රස්සාවක්වත් හොයාගන්න කියලා. මෙහෙම කරන්න අමාරුයි. අපිටනම් ඔය මොනා හරි. ඒත් අපේ දුව ගැන බලන්න එපායැ."
දියණිය ඉපදී මසක් යන්නට මත්තෙන් තමන් ගත් තීරණ ගැන කුමුදුනීට පළමුවරට අජිත් පැවසුවේ එසේය.

"අනේ ඔයත් නැතුව මේ කෙල්ලෙක් එක්ක මම තනියම කොහොම කරන්නද?"

"මේ සොච්චං පඩියට මම මෙහේ හිටියොත් තව ඉස්සරහට රටටම ණය වෙන එක විතරයි කුමුදු. අනික බලන්න මේ ළමයා ලොකු වෙන කොට ඉස්කෝලෙකට දාන්න, පොත් පත් අරන් දෙන්න කෝ ඕවට සල්ලි? අනික ඔයාට උදව්වට අපේ අම්මලත් ඉන්නවනේ"

එදා සිට රට යන ගමන ගැන කුමුදු, අජිත් සහ අජිත්ගේ පවුලේ අය අතර ඇතිවුණු සාකච්ඡා වාර ගණන මෙපමණකැයි කිව නොහැකි තරම්ය. සාකච්ඡා අතරතුරම මැදපෙරදිග සිටින මාමාට ඇමතුම් ගණනාවක් දී රට රස්සාවක් සොයා ගැන්මට අජිත්ට හැකි විය. ඒ රස්සාව ලැබී පළමු මාස හතර ඇතුලට මාමාට රුපියල් අසූ දාහක මුදලක් ලබා දීමේ පොරොන්දුව මතයි.

"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"

රට රස්සාව පිළිබඳ සහ අනාගතය බලාපොරොත්තු රාශියක් හිතේ කැටි කොට ගෙන සිටි අජිත් ගමනට අවශ්‍ය ගුවන් ටිකට් පත සහ තවත් බඩු බාහිරාදිය මිලට ගත්තේ තම මිත්‍රයන් කීප දෙනෙකුගෙන් මුදල් ණයට ගැනීමෙනි.

රට යන දිනෙය කෙමෙන් කෙමෙන් ලං වත්ම අජිත්ගේ හිතේ ඔහුටත් තේරුම් ගත නොහැකි අන්දමේ චකිතයක් සහ ශෝකයක් මුසු හැඟීමක් වැඩෙන්න විය. එම හැඟීම උපරිමයට ලඟා වූයේ ගුවන් තොටුපලේදී කුමුදුනීගෙන්, තම දියණියගෙන් සහ පවුලේ උදවියගෙන් සමු ගන්නා මොහොතේදීය. කුමුදුනීගේ දෑසට ඉනූ කඳුළු තව දුරටත් රඳවා තබා ගන්නට නොහැකි වී තිබිණි. කුමුදුනීගේ නලලත සිප දියණියගේ නලියන දෑස් දෙස බලා ඇයවද සිපගත් අජිත් වචනයකුදු කතා කරගන්නට නොහැකිව ගොලු විය. රට යාම නවතා ගෙදර යන්නටද සිත් විය.

"මම යන්නම්"
ඔහුට කියාගත හැකි වූයේ එපමණකි. යළිත් පසු නොබලාම ගුවන් තොටුපලින් ඇතුලට ගිය ඔහු ඉකිගසනා හඩ ඇසී ඔහු සිටි පෝලිමේ ඉදිරියෙන් උන් තරුණයා ඔහු දෙස හැරී බැලීය.

"මල්ලි මේ කටාර් යන ප්ලේන් එකට නේද?" ගමන් මළු ගුවන් යානයට දැමීමට බාර ගන්නා ස්‍ථානයේ ඔහු දෙස බැලූ තරුණයාගෙන් අජිත් විමසුවේ කඳුලු පිසින ගමන්මය.

"ඔව් අයියේ. අයියා මේ පළවෙනි පාරටද යන්නේ"

"ඔව්. දුවට තාම මාස හතරයි මල්ලි" අජිත්ට යලික් ඉකි ගැසෙන්නට විය.

"අයියා කොහෙද ගම?"

"පොළොන්නරුවේ. මගේ නෑ කෙනෙක් ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කළා"

අජිත්ට මේ සිදුවීම් සිහිනයක් මෙන් මතයකය. අජිත්ට මුණ ගැසුනු මල්ලි යලි ඔහු ගුවන් යානයට නගින තෙක්ම ඔහුත් සමග දොඩමලු වීම නිසා අජිත්ට කුමුදුනීව සහ දරුවාව මතක් කරමින් දුක් වන්නට වැඩි අවස්ථාවක් නොවීය. මල්ලී ඔහු සමග දොඩමලු වූයේ උවමනාවෙන්ම යැයි දැන් ඔහුට සිතෙන්නට විය. මල්ලිගේ දුරකතන අංකය කටාර් ගුවන් තොටුපලේදී ඉල්ලා ගත්තත් පසුගිය දිනෙක මතක් වී සෙවූවද එය ඔහුට හමුවූයේ නැත. ඔහුට ඒ පිළිබඳ කණගාටුවක් ඇති විනි. ගුවන්යානයට ඇතුල් වීමට රැදී සිටින ටික වේලාවේදී මල්ලී අජිත්ට තමාගේ දුරකතනය ලබා දී ගෙදර අයට ඇමතුමක්ද ලබා ගන්නට දුන් හැටි ඔහුට මතකය. එවේලේ කුමුදුනීගේ ජංගම දුරකතනයට ඇමතුම ලබා දුන්නද කුමුදුනී ඉකි ගසන හඩ නිසා යළි අජිත්ට හැඩුම් ආ බැවින් ඔහු කතාව ඉක්මනින් අවසන් කළේය.

පැය හතර හමාරක් වූ ගුවන් ගමනේදී ඔහුට කීප වරක්ම නිවස සිහි වී හැඩුම් ආවේය. මල්ලි ඔහුට ටිකක් ඈතින් වාඩි වී සිටිනවා ඔහුට පෙනුනි. ඔහු ළඟ සිටියානම් හොඳ යැයි අජිත්ට සිතිණි. ගුවන් යානයෙන් එළියට බසිද්දී ඔහුට නැවත් මල්ලිව මුණ ගැසෙන්නට හැකි විය. එවෙලේ නොදන්නා රටක සිටින තමන් දන්නා අදුනන එකම පුද්ගලයා ඒ මල්ලි යැයි ඔහුට සිතෙන්නට විය. ගුවන් යානයෙන් එළියට බසිනවාත් සමඟම හමා ආ සුළඟින් තම ගත පිච්චී යන්නාක් මෙන් අජිත්ට දැනුනි. එවන් රත් වූ සුළඟක් ඔහු මින් පෙර විඳ තිබුණේ නැත. ඔහුට ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගත්තේ එතැනදීය. ඒ ආගන්තුක බව අජිත්ට තාමත් දැනෙයි. දැන් වුවද මග තොට ඇවිදින විට නොදන්නා භාෂාවන් දොඩන මිනිස්සුන් මැද අජිත්ට ආගන්තුක බවක් දැනෙයි.

කටාර් ගුවන්තොටුපලේදී මල්ලිව රැගෙන යාමට පැමිණි යාළුවෙක්ගේ දුරකතනයෙන් අජිත් මාමාට ඇමතුමක් ලබාදුන් අතර  ටික වේලාවකින් මාමා අජිත් සිටි තැනට පැමිණියේය. ලංකාවේ බොහෝ අත් දැකීම් තිබූ අජිත්ට එරට වාහන ධාවනයට බලපත්‍ර ලබා ගැනීම එතරම්ම අපහසු නොවිනි.

අජිත් ඉදහිට නිවසට දුරකතනයෙන් අමතයි. සති කීපයකට සැරයක් ලියුමක්ද යවයි. දියණියගේ සිනාවන් අජිත්ට නිතරම මැවී පෙනෙයි. රට ආ දිනේ පටන් තවමත් අජිත්ට හරියාකාරව නින්ද නොයයි. නිදි යහනේදී කුමුදුනීව දරුවාව සිහිවෙයි. තවම එක සතයකුදු ඔවුන්ට යවන්න අජිත්ට.නොහැකි විය. මාමාගේ කතාව ඔහුට යලි යලිත් ඇසෙයි.

"දන්නැද්ද පුතා මෙහේ උන් නිකං රස්සා හොයලා දෙන්නෑනේ. ඔය මම කියලා කියලා අඩු කරලා තමයි ඔහොමවත් කර ගත්තේ. කොහොමත් ඉතිං රස්සාව හම්බවෙලා මාස හතරකින් ඔය ගාන ගෙවන එක මහ දෙයක් නෙමෙයිනේ"

අරාබිකරයට පැමිණ මාස දෙකක් පමණ ගෙවී ඇතත් අජිත්ට රස්සාව ලැබී තවම එක් මාසයක් පමණි. ඒ මාසයේ වැටුප රට ඒමෙන් පසුව මාමාගෙන් ඉල්ලාගත් ණය මුදල් පියවීමට, කාමර කුලී සහ වෙනත් අවශ්‍යයතාවන්ට වියදම් වී ඇත. රට ඒමට සූදානම් වීමට සහ ගුවන් ටිකට්පත් වලට ගමේ මිතුරන්ගෙන් ගත් ණයද රුපියල් ලක්ෂයක් පමණ තව ගෙවීමටද ඉතුරු බව මතක් වනවිට අජිත්ගේ හිසට මහා බරක් දැනෙයි.

අජිත් ඇඳේ ඒ මේ අත පෙරලෙයි. නින්ද අහලකටවත් නොඑයි. හිත ඒ මේ අත දුවයි. කුමුදුනී සහ දරුවා සිහිවී දෑසේ කඳුලු පිරෙයි.

"අජියා මොන හු***ද බං කරන්නේ ඔය ඇඳේ පෙරලි පෙරලි. වද නොදී නිදා ගනිංකෝ"තට්ටු තුනේ ඇඳේ දෙවෙනි තට්ටුවෙ සිටින තම සගයා ගෝරණාඩු කරයි.

"කමක් නෑ කුමුදුනී තව අවුරුදු දෙකයිනේ. ඊට පස්සේ හැමදේම හරියයි"
ඊයේ හවස ඇමතුමක් දුන් වෙලේ කුමුදුනීට කී වදන් අජිත්ට යලිත් සිහි විය.

"ඇත්තටම හැම දේම හරියාවිද?" අජිත්ට දැන් සැකයක් ඇතිවෙයි.

෴෴



[පින්තූරෙ - http://fabquote.co/wp-content/uploads/My-dreams.jpg ]

Thursday, October 18, 2012

ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය...



"ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"

මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ඕනෑ විදිහට ය. උන් මහත් පරිශ්‍රමයකින් සමාජ සම්මතයන් තමන්ගේ ජීවිත තුලට ඔබ්බවාගෙන දුක් විඳියි. තම ආශාවන් විඳිම් යටපත් කර දමයි. විටෙක මට උන් ගැන කණගාටුය. උන්ගේ බියගුලු කම් ගැන තරහා ය. 

"මගේ අත් ගොරෝසු ඔයාගේ අත් සිනිඳු නිසා"

"ඒ උනාට මේ වගේ අත් තියෙන්නේ කොල්ලන්ට"

"කොල්ලෝ ගොඩකගේ අත් අල්ලලා තියෙනවා වගෙයි?"

"නෑ දෙන්නෙක්ගේ විතරයි"

"ඉතිං ඇයි ඒ අත් අතෑරියේ?"
ඈ ඇඳට මදක් ඔබ්බෙන් වූ ජනේලයෙන් පිටත බලා ගත්තාය. මොහොතක් නිහඩව සිටි ඈ නැවත් මදෙසට හැරුණාය.


"ඒ අත් වලින් මට කිසිම හැඟීමක් දැනුනේ නෑ, මේ අත් වලින් වගේ"
මගේ අත ඈ ලයට තුරුලු කර ගත්තාය.


ඈ මෙන්ම මාද එක් වරක් එවන් වූ හැඟීම් විරහිත බැඳීමකින් පීඩා විඳ ඇත්තෙමි. මිතුරු මිතුරියන්ගේ බල කිරීමට ජීවිතේ පළමු වතාවට ඇති කර ගත් ඒ බැඳීම සිහි කිරීම පවා මට අපුලකි. ඔහු හා දෑත් පටලා ඇවිදීම මට මහත් කරදරයක් පමණක්ම විය. ඔහුගේ හාදු මාගේ දෙකොපුල්, දෙතොල් කිලිටි කරන බව හැරෙන්නට වෙන කිසිදු හැඟීමක් මා හට ගෙන නොදීය. ආදරය යැයි කියාගෙන ඔහු කළ කී දෑ මට මහත් හිසරදයක් පමණක්ම වූ තැන මම ඒ බැඳිම නවතා දැමීමට තීරණය කළෙමි. යලිත් කිසිම දිනෙක එවන් වූ බැඳීම් ඇති නොකර ගැනීමට එදා මා තදින්ම සිතට ගතිමි.

මා එවන් වූ හැඟීම් විරහිත බැඳිමකින් පීඩා වින්දේ එක් වරක් පමණකි. නමුත් මෑ දෙවරක්ම එවන් වූ බැඳීම් වලින් පීඩා විද ඇත. මට ඈ ගැණ කණගාටුවක් ඇති විණි. ඈ තවමත් මා අත තුරුළු කරගෙනය. මම අනෙක් අතින් ඇගේ හිස පිරිමදින්නට ගතිමි. මගේ අතැඟිලි අතරින් බේරෙන ඇගේ සිනිඳු කෙස් ඇති කරනා හැඟීමට මම ආසා කරමි.

"ඔයාලගේ ගෙදරින් වගේම අපේ ගෙදරිනුත් බඳින්න කෙනෙක් හොයන්න පටං අරං"
ඇගේ හඩ දුක්මුසුය.

මම කිසිත් නොකියාම ඇගේ හිස පිරිමදිමි. හිතට සියුම් වේදනාවක්ද දැනෙයි. මෙය මා බලාපොරොත්තු වූවකි. මසක පමණ සිට මා නිවැසියන්ද පුවත්පත් වල මංගල යෝජනා තීරු පිරික්සන්නට පටන් ගෙන ඇත. මගේ සිතුවිලි වේගයෙන් එහා මෙහා යයි. සංස්කෘතිය.......... සමාජය........... සභ්‍යත්වය........ ලබ්බ! සියල්ලක්ම පිළිබඳව මට ඇති වන්නේ වෛරයකි. වෛරය........... මගේ ආශාවන් මගෙන් උදුර ගන්නා වූ සංස්කෘතියට ඇති වෛරය, මගේ බලාපොරොත්තු මගෙන් උදුර ගන්නා වූ සමාජයට ඇති වෛරය.... සියළු වෛරයන් එක් වී අවසානයේ මේ රට පිළිබඳව ඇති වන්නා වූ වෛරය හමුවේ මම දත් මිටි කමි.

අත් වැල් පටලන් යන පෙම්වතුන් පිළිබඳව විටෙක ඇති වන්නේ ඊර්ෂ්‍යයා සහගත හැඟීමකි. ඔවුන්ට ඇති ඒ නිදහස තබා, අසම්මත පෙම්වතුන් යන කිළිටි ලේබලයකුදු අපට හිමි නැත. ඉතින් එවන් වූ සමාජයක්, රටක් ගැන මගෙ හිතේ ඇති වන වෛරය අතිශය සාධාරණය. ලොව ජීවත්වන සියළුම සත්වයින් ආත්මාර්ථකාමීය. නමුත් මනසින් උසස් යැයි කියා ගන්නා මනු සතා අනෙක් සියළුම සත්වයින්ට වඩා ආත්මාර්ථකාමී කුහක සත්වයෙකි. ඌ බහුතරයකගේ කැමැත්ත, ආශාව වර්ණනා කරන අතර සුළුතරයකගේ කැමැත්ත, ආශාව විවෙචනය කරයි. 

සිතේ නොසන්සුන් ගතිය මා සිතුවිලි අතර අතරමං කරවයි. එය ගැටළුවට විසඳුමක් වෙනුවට මා සිත අවුලෙන් අවුලට පත් කරයි. මම ඇඳෙන් නැඟිට ජනේලය අසලට ගොස් දුම් වැටියක් දල්වා ගතිමි. කඩයකට ගොස් සිගරට්ටුවක් මිලට ගැනීමේදී පවා මේ සමාජයේ අසාධාරණත්වය මොනවට පෙන්නුම් කරන්නකි.

දුම් උගුරු කීපයක් යනු හිතට යම් අස්වැසිල්ලකි. ජනේලයට ඔබ්බෙන් පෙනෙන නොනවත්වා ගමන් කරන වාහන දෙස බලාන මම දුම් වැටිය උරමි. නැවත් හැරී ඈ දෙස බැලීමි. ඇය කොට්ටයක් තුරුළු කරගෙන දෙනෙත් පියාගෙන සිටියි. සිගරට් නොබොන ඈ දෙස බලාගෙනම අවසාන දුම් උගුරද ගිලගත් මා ෆිල්ටර් කොටය ජනේලයෙන් පිටතට වීසි කළෙමි.

"අපි බඳිමු"
මම පැහැදිලි හඩින් කීමි.

"අපි?"
දෙනෙත් හැරි ඈ, සාමාන්‍ය පමණට වඩා වටකුරු දෙනෙතින් බලාගෙන මා වෙත පිය නැඟීය. ඇගේ මුහුණ දුක සතුට විශ්මය කැටි ප්‍රශ්නාර්ථයක් මෙන් මට දිස් වෙයි.

"ඔව්! අපි බඳිමු............... අම්මලා හොයලා දෙන කාව හරි"

"එතකොට?"
ඇගේ මුහුණ අඳුරු විය.

"එතකොටත් අපි මේ වගේම හොඳම යාළුවෝ විදිහට ඉමු"

මම ඇගේ මුහුණ දෙස බැලීමි. ඇගේ හිතේ ඇතිවන හැඟීම් මුහුණෙන් කියවීමට මම කවදත් ප්‍රිය කරමි. ඒ මුහුණේ අඳුර අඩු වූ අතර දෙතොලේ පුංචි සිනා රැල්ලක් සටහන් විය. ටික වේලාවක් ඈ දෙස බලා සිටි මා ඇගේ කොපුල සිප ගතිමි. ඈ මගේ බඳ වටා අත් දමා මා ඈ වෙතට කරගත්තාය. මාද ඇයට තුරුලු වී ඇගේ ගෙල සිප ගතිමි. ඇගේ පියොයුරු වලට මගේ පියොයුරු තද වන විට දැනෙනා මේ හැඟීමට මම ආසා කරමි.


෴෴



[පින්තූරෙ - http://theaveragegirlnextdoor.files.wordpress.com/2010/09/girl_looking_out_window-28993534_std.jpg]

Thursday, September 13, 2012

සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි!


මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක! 

පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි  නොයන තැනට වැඩේ සිද්ධ උනා.  පෙරේදා හවස ධාතු බලන්න ගිය කට්ටිය ආවේ ඊයේ හවස තුනට. ධාතු බලාගන්නත් බැරි උනාලු. එතකොට මේ දවස් ටිකේ ඔය ධාතු පෙන්නපු හරියෙන් වැඩ ඇරිලා යන කට්ටිය පට්ට දුකක් වින්දලු. මට මේ ධාතු පස්සේ මිනිස්සු යන දැක්කාම හිතෙන්නේ ඇත්තටම මේ අය මොකක්ද මේ කරන්නේ කියලා! 

මේ දවස් ටිකේම සැරෙන් සැරේට ටීවී චැනල් වලත් පෙන්නුවේ ඔය ධාතු ටිකමනේ. මං බලාහෙන ආච්චිලා සීයලාට කැමරාව අල්ලලා අදහස් අහනවා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ "අප්පේ ජීවමාන බුදුන් දැක්කා වගේ සතුටක් දැනුනා" කියලා. මුලින්ම ඒක ඇහුවාම මට බකස් ගාලා හිනා ගියා. තව තව අය ඒ කතාවම කියනවා ඇහුවාම මම පට්ට අප්සට් ගියා. වැරදිලාවත් ඒ අයට ඇත්තටම බුදු හාමුදුරුවන්ව මුණගැහුනොත් අනිවාර්යයෙන් කියාවි "අනේ යන්න මෙයා යන්න ඔයා එනවා අපිට කොලොප්පම් කරන්න" කියලා. 

සහෝදර මුස්ලිම් බ්ලොග් ලියන්නෙක් අපි කට්ටියක්ගෙන් ඇහුවා "මොකක්ද මචං ඇත්තට ඔය සර්වඥ ධාතූන් කියන්නේ" කියලා. ඒකට තවත් සහෝදර බ්ලොග් ලියන්නෙක් දීපු උත්තරෙන් කොටසක් තමයි මේ. "ධාතු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙ නොදැවුනු කොටස්. හැගීම් දැනීම් තියෙන්න විදියක් නැහැ. ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැහැ. නමුත් ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරිර කොටස් නිසා එතුමන්ගේ ගුණයන් සිහිකරන්න මිනිස්සු අදටත් ඒවාට වැඳුම් පිදුම් කරනවා."  

දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සර්වඥ ධාතූන් බලන්න ගිය මහා ජනකායෙන් කී දෙනෙක් අපේ සහෝදර බ්ලොග් කරුවා පැහැදිලි කරලා තියෙනවා වගේ, ප්‍රාතිහාර්ය පාන්න හැකියාවක් නැති බව දැනගෙන ශ්‍රේෂ්ඨ මිනිසෙක්ගේ ශරීර කොටස් නිසා එතුමාගේ ගුණ සිහිකරන අදහසින් පමණක් ඔතනට ගියාද කියලා. මම නං හිතන්නේ නෑ ඒ ගිය පිරිසෙන් 2%ක් වත් එහෙම හිතාගෙන යන්න ඇති කියලා. මොකද එතැනට ගිය අය කියනවා ඇහුනේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් ගැන! ඇත්තටම ආගම කියලා මිනිස්සු මේ මොනවද කරන්නේ?

ඊළඟට මහා වීරයෝ සෙට් එකක් බිලි පූජාවක් කරන එක කල් දාගත්තලු. කකුල් හතරේ සත්තු සෙට් එකක් බේරගත්තයි කියලා සමහරු කතා වෙන්නේ රෑ සෙට් වෙලා තටු ගැහුවත් පියාඹගන්න බැරි කුරුල්ලෙක්ගේ කටු සූප්පු කර කර! 

බිලි පූජාව කියන්නේ හින්දු ආගමිකයින්ගේ යම් විශ්වාසයක් නිසා කරන දෙයක්. හරියට අපේ බෞද්ධයෝ ලෙඩකදි දුකකදි බෝධි පූජා තියෙන්වා වගේ! ඔන්න දැන් වැරදියට තේරුම් ගන්න එපා. මං මේ කතා කරන්නේ එක එක ආගම් අදහන අයගේ විශ්වාස ගැන මිසක් සත්තු මැරීම පව්ද පින්ද කියන එක ගැන නෙමෙයි!  බෝධි පූජාව කියන්නේ ගහකට වැඳිමක්, ඒක හෙන ගෝත්‍රික හැසිරීමක් ඒක තහනම් කරන්නැයි කියලා වෙන ආගමක සෙට් එකක් අධිකරණයකට ගියොත් අපේ බෞද්ධ උපාසක ඇත්තන්ට කොයි වගේ සිතුවිලි පහල වෙයිද? ඒ හා සමානම සිතුවිලි හින්දු ආගමිකයින්ට මේ වෙනකොට ඇති වෙලා නොතිබ්බොත් තමයි පුදුමේ!

කොහොමහරි පහුගිය දවසක අධිකරණෙන් කියලා තිබ්බා බිලි පූජාව නවත්වන්න නියෝග දෙන්න අධිකරණෙට බලයක් නැහැයි කියලා. මටනම් සතුටුයි. බෞද්ධයින්ටත් විශ්වාස ඇදහීම් තියෙනවානම්, අනික් ආගම් වල ඒවා නැති කරන්නැයි කියලා පෙළපාලි යන එක පිස්සුවක්! ඒකත් හරියට නිකං "ඔයා ඔහොම කමෙන්ට් කරනකොට කැතයි. අපි ඕකම මෙහෙම කියනවා. ඒවා ලස්සනයි" කියනවා වගේ! කෝකත් එකයි නම් ඇයි එකකට එහෙම කියන්නේ?

මේ කාටවත් යමක් තේරුම් කරන්නවත්, කාගෙවත් ඔළුවට යමක් බලෙන් දාන්නවත් ලියපු ලියවිල්ලක් නෙමෙයි. මගේ ඔළුවේ කැකෑරි කැකෑරි තිබ්බ වචන ටිකක් විතරයි! කොහොම හරි මේ දේවල් මේ විදිහට දිගින් දිගටම සිද්ධ උනොත් අපිට "අනේ යුද්ධේ තිබ්බනං හොඳයි" කියලා කියන්න වෙන කාලේ වැඩි ඈතක නෙමෙයි! මොකද යුද්ධයකට වඩා ආගමික උමතුව සෑහෙන්න දරුණුයි!


ප.ලි : මේ ලිපියටම දේශපාලනේ ගැනත් යමක් ලියන්න උවමනාව තිබ්බත් මට ඒ ගැන කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මොකද කෑගහගෙන, කුණුහරුප කියාගෙන, ගහගෙන, මරාගෙන, අපහාස කරගෙන මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ බලයට එන්න හදන්නේ අපේ රට සෞභාග්‍යමත් කරලා අපි වගේ සාමාන්‍ය ජනතාවට යහපතක් කරන්නනේ කියලා මතක් වෙනකොට මගේ පපුව රිදෙන්න ගන්නවා!


[ පිතූරෙ - http://www.rudyh.org/rudyh-images/religion-heaven.jpg ]

Friday, September 7, 2012

අහම්බය...


ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන ඇසෙද්දීම සිතෙන්නේ එය කිසියම් අද්භූත බලවේගයක් නිසා සිදුවන බවයි. අද්භූත බලවේග විශ්වාස නොකරන මම, මාගේ ශබ්ධකෝශයෙන් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන කටුගා දමා ඒ වෙනුවට අහම්බය යන තනි වචනය භාවිත කරමි.

ඇය මා හමුවීමද අහම්බයකි.

එතරම් සෙනඟ නොමැති බස් ර‍ථයේ පිටුපසට වන්නට තනි ආසනයක මා වාඩිවී සිටිමි. ඇය ඉදිරිපස දොරටුවෙන් බසයට ගොඩ වූවාය. එක එල්ලේම මදෙස බැලූ ඇය, ඇස් ඉවතට නොගෙනම මදෙසට පිය නඟයි. ඇඟේ පැහැපත් මුහුණේ පැහැදිලි හැඟීමක් කියවීමට මා අපොහොසත් වූ අතර ඇය මට ඉදිරියෙන් වූ අසුනේ හිඳ ගත්තාය. බස් නැවතුම් කීපයක් පසු විය. අසුනෙන් නැඟී සිටි ඈ කුඩා කොල කැබැල්ලක් මා අත තබා ඊළඟ නැවතුමෙන් බැස ගියාය. එහි ඇත්තේ ඇගේ දුරකතන අංකයයි. 

කෙටි පණිවිඩ කිහිපයක් පමණක් වැයකොට පසු දින මුණ ගැසී විනාඩි කීපයක කතාවකින් අනතුරුව කුලියට ගත් කාමරයක පැයක් ගතකොට  පටන්ගත් අපේ සම්බන්ධයට නමක් නොතිබිණි. අපේ සම්බන්ධයට ආදරය යන නම යොදා අපවම රවටා ගැන්මට ඇයටත් මටත් උවමනාවක් නැත. ඇයට මගේ නමද මට ඇගේ නමද හැරුණු කොට අන්කිසිවක් දැනගැන්මටද උවමනාවක් නැත.

පාළු මං මාවත් වල, බොහෝ කලබල මුහුදු වෙරළ වල, චිත්‍රපට ශාලා වල, පැයකට වෙන් කරගත් කාමර වල දින සති ගෙවී යයි.
පැයක කාලය අවසන් වීමට තව විනාඩි පහළොවක් ඉතිරිය. මාද ඇයද ඇඳේ වැතිර සිටිමු. සිවිලිමේ එල්ලා ඇති හෙමින් කැරකෙන විදුලි පංකාවේ 'කරස්' 'කරස්' ශබ්ධය ඇසෙන තැන සෙවීමට මගේ දෑස් වෙහෙසෙන අතරතු....

"ඔයාට කෙල්ලෙක් ඉන්නවද?"  ඇය අසයි

"නෑ"

"වෙන්න බෑ..."

"ඇයි?"

"ඔයාගේ තොල් ලස්සනයි"

"එහෙනං ඔයාට කොල්ලෙක් ඉන්නවද?"

"නෑ... මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑනේ.."

"ඒ උනාට ඔයාගේ ෆිගර් එක ලස්සනයි"

"මං කිව්වේ මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑ කියලා"

"ඒ උනාට..........." වාක්‍යය නිමා කිරීමට ඇගෙ තොල් මගේ තොල් වලට අවසර නොදෙයි.

***********************

ආදරය යනු හිස් වචනය පමණක් බවට ඈ කරන තර්ක බිඳ දැමීමට මට නොහැකිය.

"ආදරේ කියලා දෙයක් නෑ. ඒක බොරුවක්"

"එතකොට අර පොඩි ළමයගේ අම්මාගෙයි තාත්තාගෙයි අතර තියෙන බැඳීම මොකක්ද?" තම සිඟිති දියණිය සමඟ මුහුදු වෙරළේ සෙල්ලම් කරනා තරුණ දෙමාපියන් දෙසට ඇඟිල්ල දික් කරමි. 

"ඒ ආසාව සහ බලාපොරොත්තුව"

"විකාර!"

"ඔව් එක විදිහක විකාරයක් තමා.... ඔයයි මමයි කාමරේකට යන්න තියෙන ආසාවම එයාලා ළඟත් ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාලගේ බලාපොරොත්තුව තියෙන්නේ අර හයක් හතරක් නොතේරෙන පොඩි ළමයා ගාව."

"ඒ කිව්වේ?"

"ඒ කිව්වේ ඒ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා තමන්ට තනියම යමක් කරන්න බැරි කාලෙට ඒ ළමයා ඒ අයව බලා ගනී කියලා"

"ආත්මාර්ථකාමී නේ!"

"ඉතිං හැමෝම එහෙම තමයි. ඔයයි මමයි උනත්"
මම නිශ්ශබ්ධ වීමි.

***********************

රෑ එළිවෙන තුරු කරන දුරකතන සංවාද අප අතර නැත. යළිත් මුණ ගැසෙන තැනක වෙලාවක් ස්ථිර කරගැනීමට දින කිහිපයකට වරක් කෙරෙන මිනිත්තු තුන හතරක සංවාදයක්, කෙටි පණිවිඩ දෙක තුනක් පමණි. නමුත් ඇය මා මුණ ගැසුන විට අපි ගැන අඩුවෙන්මද තව බොහෝ දෑ ගැන ද සාකච්ඡා කරමු.

"දන්නවද වැඩක්?" මම අසමි.

"නෑ"

"අද මගේ උපන්දිනේ"

"මොන අවුරුද්දෙද?"

"අසූ නමයේ"

"අපෝ පොඩි එකෙක්නේ!"

"ඇයි ඔයා කීයෙද?"

"අසූ හයේ"

"නාකි ගෑණියෙක්!"

***********************

අපේ නිර්ණාමික බැඳීමේ පුද්ගලික තොරතුරු හුවමාරුව අල්ප වීම මත අප අතර විඳවීම් ඇත්තේම නැත. ඇත්තේ විඳීම් පමණි. නමුත් මහා ලේඛකයන් කියන පරිදි ආදරය යන බැඳීම ශක්තිමත් වන්නේ ප්‍රශ්න ගැටළු ඇති විටය.  ප්‍රශ්න ගැටළු නැති අපේ නිර්ණාමික බැඳීම ශක්තිමද්ද නැද්ද යන්න අපි නොදනිමු. එය දැනගැන්මට අපට උවමනාවක්ද නැත.  ශක්තිමත් වූ බැඳීම් යනු හිතට වේදනාවක් පමණකි.

කාමරයක ගතකළ පැයක් අවසානයේ අප නිවෙස් බලා යන මොහොත පැමිණ ඇත.

"අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා"

"ඔයා කැමතිද?"

"ඔව්! ඒ හින්දා මට ආයේ එන්න වෙන්නේ නෑ. මම නොම්මරෙත් මාරු කරන්න හිතාගෙන ඉන්නේ"

"නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"

"ඒ ඔයානේ..."
කිසිඳු හැඟීමකින් තොරව ඈ යන්නට යයි.

"මේ දන්නවද?" පියවර කීපයක් ගිය ඈ ආපසු හැරී කතා කරයි.

"නෑ"

"එයාගෙත් තොල් ලස්සනයි!"
සියුම් සිනහවක් ඇගේ මුවේ ඇඳිනි. නැවත ගමන පටන්ගත් ඈ යන්නටම ගියාය.

ඇය මා හමුවීම මට යහපතක් හෝ අයහපතක් නොවූ තැන, ඒ හමුවීම නිකම්ම නිකම් අහම්බයක් පමණකි. නමුත් අපූරු අහම්බයකි!





Wednesday, July 25, 2012

එහෙමනං එහෙමයි!




http://media.photobucket.com/image/funny%20owl/profsword/buWoti.gif?o=16

"සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා" 

කියලා කියන අමරදේවගේ සිංදුව දැං අහන සමහර උං හිතාගෙන ඉන්නේ අමරදේව සිංදුව කියන කාලේ මේක හෙන සුරපුරය කියලා. රෙද්ද තමයි. ඒ කාලෙත් ලිංගික අසහන කාරයෝ හිටියා. කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ හිටියා, විප්ලව කාරයෝ, සමනලයෝ, දේසපාලුවෝ හිටියා ගින්න නිවෙනකං නැට්ට පුකේ ගහං ඉඳලා පස්සේ හින්ට් ගහන බල්ලොත් හිටියා. උං දැනුත් ඉන්නවා. ඒකාලේ මිනිස්සු නොදන්න දැන් හැම එකාම දන්න අලුත් දේ තමයි ඉන්ටර්නෙට්! "ඉස්සර ලංකාව හරී සෝයි දැන් තමයි කක්කි" කියලා හිතාගෙන ඉන්නවනං එක්කෝ උංට මොංගල්. නැත්තං සීත රටවල සෑහෙන කාලයක් ඉඳලා මොංගල් වේගෙන යනවා.

සමහර උං ඒසී කාමරේක පුටුවකට වෙලා එහෙට මෙහෙට කැරකි කරකි ඉන්ටර්නෙට් එකෙං සිංහල අකුරු ටිකක් කියවලා ලංකාවේ සමාජේ ගැන *රි ටෝක්(ලොරි ටෝක්) දෙනවා. ඔය ෆේස්බුක් එකේවත් බ්ලොග් වලවත් මවා පාන අහිංසක, ජාති හිතෛෂි, ජාති මාමක ලාමක ටිංටිං චරිත නෙමෙයි උන් හැබෑ ජීවිතේදී. ෆේස්බුක් වල බ්ලොග් වල හෙන සමාජශීලී චරිත මවං ඉන්න උන් හැබෑවටම මිනිහෙක් එක්ක කතා කරන්නෙ නැති පට්ට ලැජ්ජාශීලී උන් කියලා මං ඇස් දෙකටම දැක්කා. කියන්න තියෙන දේ කෙලින් කියලා තියෙන කමෙන්ට් එකක් දැක්කාම උඹලට මාර මැජික් නේද? සංයමයක් ඇතිව කියන්නැයි අරකයි මේකයි හෙන *රි ටෝක්(ලොරි ටෝක්). දැන් සීත රටක ඉඳං චෙරීස් බෙරීස් කකා ඉස්සර ලංකාව සෝයි දැං කක්කි කියන උඹලා ඉස්සර ලංකාවේ හිටපු කාලෙකවත් සමාජේ විවිධ ස්ථරවල විවිධ පුද්ගලයන්ව ආස්‍රය කරලා නැතුව ඇති. ඒ නිසයි ඔහොම බොලඳ කතා කියන්නේ. ටයි කෝට් දාගෙන මිනී මරන, බඩු ගහන ලෝකෙට හොඳ මූණ පෙන්නං ඉන්න ලොකු ලොක්කන්ට වඩා බඩු කාරයෝ, පාතාලේ උන් කියලා හංවඩු ගහලා තියෙන සමහර උන්ට ලේසියෙන් මිනිහෙක් ගාව දකින්න නැති හොඳ ගතිගුණ තියෙනවා මං දැකලා තියෙනවා. සමහර උං මහා ලොකුවට උඩදාං ඉන්න ආගම් මුඩුක්කුවල විකිණෙන්නේ රුපියල් පන්සීයට. ඒ ගාණට උං ඕන ආගමකට හැරෙනවා. ඒ මිනිස්සු එහෙම කරන්නේ එදාවේල හොයාගන්න මිසක් අනේ "දැං ලංකාව කක්කි මං යනවා වෙන රටකට" කියලා නෙමෙයි.

ඇලිස්ගේ විශ්මලන්තය කියන්නේ ෆැන්ටසි එකක් කියලා උංට හොඳටම තේරෙනවා.(තේ රෙනවා නෙමෙයි!) ඒක කවදාවත් රියැලටි එකක් වෙන්නේ නෑ කියලත් උංට තේරෙනවා. ඒත් උං ඒක දැන දැනම ෆැන්ටසි එකම බලාපොරොත්තු වෙනවා. පිස්සු නේ? ඔය ඉන්න තැන් වලින් පහලට බැහැලා පොළවේ පය ගහලා ජීවත් වෙයං. සමාජේ කක්කි ඒ උනාට අපි බ්ලොග් අවකාසේ සුරපුරයක් කරමු වගේ *රි ටෝක්(ලොරි ටෝක්) එපා. ඒ කක්කි සමාජේ උන්ම තමයි බ්ලොග් ලියන්න එන්නෙත්. එතකොට බ්ලොග් අවකාසේ කින්නෙත් කක්කි ගොඩක් විතරයි. උඹලා එක්කෝ ඕක දන්නෑ. නැත්තං දන්නෑ වගේ රඟපානවා. ඉන්ටර්නෙට් එකේ සිංහල අකුරු ටිකක් කියවලා "දැන් සමාජේ කක්කි වෙලා. අනේ මට ලංකාවට එන්න බය හිතෙනවා" වගේ බබා **කුං(බබා උක්කුං) දානවට වඩා උඹලා ඔය ඉන්න තූත්තුකුඩියකම ඉන්න එක හොඳයි. කල්ප කාලාන්තරේකට සැරයක් ලංකාවට පය තියලා ලංකාවේ සමාජේ ගැන *රි ටෝක්(ලොරි ටෝක්) දෙන පියරු බබීලටනං උඹලගේ ඔය කතා මාර ලොකු ඇති. අපිටනං ඕවා ළඳරු ටෝක්!
මට මතක් උනේ දන්න කියන බ්ලොග් කාරයෙක් ලිව්ව කවි පෙලක කවියක්.
අන්තර්ජාලේ තියෙන දේවල් වෙන දේවල් උඹලා කැමති කැමති විදිහකට වෙනස් කරන්න බෑ. බ්ලොග් කියන්නෙත් අන්තර්ජාලෙම තියෙන පුංචි කෑල්ලක්. උඹලා කැමති විදිහට අනික් උන් ලියන්නේ නෑ. බ්ලොග් අවකාසේ මෙහෙම ලස්සන කරමු වගේ *රි ටෝක්(ලොරි ටෝක්) දෙන්න එපා. උඹලා උඹලගේ කොටුවල ඉඳං අනික් උන්ටත් ඒ කොටුවට කතා කරන්න එපා. ඒවා ගොං ජෝක්!

ඇත්ත ඇනෝනිමස් හෝ සුඩෝනිමස් වීම අන්තර්ජාලේ භාවිතා කරන්නන්ගේ අයිතියක්. ඒක ගැන ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නෑ. බලපං උඹලට ඒකත් තේරෙනවා. ලිපිය මිසක් ලේඛකයාගේ අනන්‍යතාවයත් වැඩක් නෑයි කියන උඹලම අනික්පැත්තට අර ඇනෝ බ්ලොග් එක මෙයාගේ, අර ඇනො ලිපිය අරූගේ, අර ඇනෝ කමෙන්ට් එක අරකිගේ කියලා හතර අතට ඇඟිල්ල දික් කරනකොට මට හිනා බං. සිරාවට දෙපැත්තෙන්ම! අනික් උන්ට එපා කියලා උඹලා එහෙට මෙහෙට හින්ට් ගගහා "මහත්තුරුනි ඔබලා එහෙම කුහක කම් කරන්න එපා" කියනකොට මට ආයෙත් හිනා යනවා බං. සිරාවට දෙපැත්තෙන්ම!

හොඳවෙන තුවාල ආයේ ආයේ පහුරුගාන්න උඹලා ඔය පැත්තෙං පටං ගන්නවනං මාත් ඕනවෙලාවට ලෑස්තියි මේ පැත්තෙං පටං ගන්න. තුවාලේ කාගේ උනාම මොකද කාට රිදුනාම මොකද අපිට රිදෙන්නැත්තං! උඹලා ඔය පැත්තෙන් පහුරුගාපං මං මේ පැත්තෙං පහුරුගාන්නං. උඹලා ෆැන්ටසි ගැන ලියපං. මං රියැලිටි ගැන ලියන්නං. හැබැයි මේකත් මතක තියාගනිං "ඇත්ත තිත්තයි. සීනි පැණිරහයි!"

මුලින් පෝස්ට් එක දාලා පස්සේ හදිස්සියේ මතක්වෙලා හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියාගෙන දාන ඩිස්ක්ලේමර් අපි ළඟ නෑ. මේක ලිව්වේ උඹලටමයි. ඒ කිව්වේ පිටරට ඉන්න හැමෝටම නෙමෙයි. පිටරට ඉඳං ඉන්ටර්නෙට් එකේ සිංහල අකුරු ටිකක් කියෝලා "අනේ දැං ලංකාව හරී දරුණු වෙලා මට ලංකාවට එන්නත් බයයි" වගේ *රි ටෝක්(කීපාරක් කිව්වද බං ඕක ලොරි ටෝක්!) දෙන අයියීලා අක්කීලා කට්ටියකට.  උන් කමෙන්ට් කරන්න මෙහෙ එන්නෑ. ඒ නිසා කමෙන්ට් එපා!

http://snappedshot.com/uploads/captainfish/AngryCat-middlefinger.jpg

Thursday, July 19, 2012

උම්මන්තක සිතුවිලි...



මට ඕනේ උනා ලිපියක් ලියන්න. මොකක් හරි ලිපියක්. හරයක් නැතත් මදයක් ඇති ලිපියක්. මං ඔහේ කල්පනා කළා. මොනවා ගැනද මං ලියන්නේ කියලා. 
ආදරේ ගැන?
ඔව්... ආදරේ කියන්නේ අපූරු මාතෘකාවක්. ගොඩදෙනෙක් ලියන මාතෘකාවක්. ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු මාතෘකාවක්. සමහර මිනිස්සුන්ට ජීවත් වීමේ ආසාව ලබා දුන්නු මාතෘකාවක්. තවත් අයගේ ජීවිතේ නැති කරපු මාතෘකාවක්. ආදරේ... ඇත්තටම අපූරු මාතෘකාවක්. ඉතිං මං ලියන්න ගත්තා.... ආදරේ ගැන. ඒත්...... හරි පුදුම වැඩක්. ආදරේ ගැන ලියන්න ගත්තාම ලියවෙන්නේ ආසාව ගැන, ආරක්ෂාව ගැන, ආදායම ගැන. මං නැවත නැවතත් උත්සාහ කළා. ඒත් ප්‍රතිඵලය වෙනස් වුනේ නෑ. මං ලියපුවා කියවලා බැලුවා. ඒ ලිපියේ 'ආ' යන්නෙන් පටං ගන්න බොහෝ දේවල් ගැන ලියවිලා තිබුණා 'ආදරය' ගැන හැර. මට තරහා ගියා. ආදරේ ගැන ලිව්වාම 'ආ' යන්නෙන් පටං ගන්න මොන දේ ගැන ලිව්වත් වැඩක්ද ආදරේ ගැන නැතිව? මං ඉරලා දැම්මා. ලිපිය පොඩි පොඩි කෑලි වලටම ඉරලා දැම්මා.

මං හිතුවා ලියන්න දෙයක් හොයාගෙන ඇවිදන් යන්න. මං බස් එකට නැග්ගා. බස් එකේ සෙනඟ පිරිලා හිටියා. කළු මිනිස්සු, සුදු මිනිස්සු, තලෙළු මිනිස්සු. සුදු මිනිහෙක් කොන්දොස්තර දීපු බස් ටිකට් එක තමන් උන්නු තැනම බිම දාලා බස් එකෙං බැහැලා ගියා. අම්මාගේ උකුළේ උන්නු පොඩි එකෙක් අම්මාට පෙන්න පෙන්න ටොපි කොළේ ජනේලෙන් එළියට විසි කළා. පොඩි එකා හිනා වුණා. අම්මත් හිනා වුණා. අම්මා පොඩි එකාගේ ඔළුව අතගාලා "මගේ හොඳ පුතා" කිව්වා. මටත් හිනා ගියා. පොලිස්කාරයෙක් ෆුට් බෝර්ඩ් එකේ එල්ලුනා. වැරහැලි ඇදගත්තු ආච්චි කෙනෙක් රුපියලක් අඩුවෙන් දුන්නැයි කියලා කොන්දොස්තර බෙරිහන් දුන්නා. හෝල්ට් දෙක තුනක් ගිහින් පොලිස්කාරයා සල්ලි නොදීම බස් එකෙන් බැස්සා. මට ආයෙත් හිනා ගියා.

මං බස් එකෙන් බැස්සා. මෙරීන් ඩ්‍රයිව් පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා. බිම බලාගෙන ගියා. සිගරට් ෆිල්ටර් තැන් තැන් වල තිබ්බා. බියර් කෑන් පොඩි කරලා ගල් අස්සේ තිබ්බා. හිස් සිගරට් පෙට්ටි, කොන්ඩම් පැකට් කීපෙකුත් තැන් තැන් වල තිබ්බා. බයෙන් වගේ වටපිට බැලුව කපල් එකක් 'ROOMS' කියලා බෝඩ් එකක් ගහලා තිබ්බ තැනකින් ඇතුලට ගියා. මට හිනා ගියා. 

මං ගොඩාක් දුර ඇවිදන් ගියා....

මං හිටියේ කොල්ලුපිටිය මැක්ඩොනල්ස් එක ඉස්සරහා. පාරෙන් එහා පැත්තේ හම්පඩ ගැහිච්ච කලිසමකුයි, තැන තැන ඉරුණු ලොකු කමිසෙකුයි ඇඳගත්තු පොඩි එකෙක් ඇස් ලොකු කරං මැක්ඩොනල්ඩ්ස් එක දිහා බලාගෙන උන්නා. පොඩි එකා බලාගෙන හිටපු දිහා මාත් බැලුවා. වීදුරුව අයිනේ මේසෙක ලස්සන කපල් එකක් වාඩි වෙලා හිටියා. ඒ දෙන්නා ගාව උසම උස බර්ගර් දෙකක් තිබ්බා. ඒක දැක්කාම මටත් කෙල ගිලුනා. පොඩි එකා බලාගෙන හිටියේ ඒ බර්ගර් දෙක දිහා. කෙල්ල බර්ගර් එකක් කන්න ගත්තා. බර්ගර් එකක් කන හැටිත් බලං ඉන්න වටින දෙයක් මට හිතුනා. උස තට්ටු ගාන වැටෙන්නෙ නැති වෙන්න අත් දෙකෙන්ම අල්ලං පුළුවං තරං කට ඇරලා කෑල්ලක් කඩා ගන්නවා. මං පොඩි එකා දිහා බැලුවා. කෙල්ලගේ තරමටම නැතත් පොඩි එකාගේ කටත් කෙල්ලත් එක්කම ඇරුනා. මට හිනාගියා. ඒත් දුක හිතුනා.

මං හිතාගත්තා ලිපියක් ලියන්න. ලංකාවේ දුප්පත්කම ගැන. මං ගෙදර ආවා. මට හිතුනා යුරෝපා රටවලට සාපේක්ෂව ලංකාව කොච්චර දුප්පත්ද කියලා මගේ ලිපියෙන් උලුප්පලා පෙන්නන්න. යුරෝපා රටවල් ගැන හිතන්න ගත්තු මට මතකෙට ආවේ අර බර්ගර් එක කෑව ලස්සන කෙල්ලව. ලංකාව ගැන හිතන්න ගත්තාම මට මතක් වුනේ එළියේ වීදුරුවෙන් බර්ගර් කන කෙල්ල දිහා බලං උන්නු දුප්පත් පොඩි එකාව. මට හිනාගියා. ඒත් දුක හිතුනා.



[පින්තූරෙ - http://files.myopera.com/antiquecullen/blog/walking_alone.jpg ]

Friday, June 15, 2012

රැවටීම....


රුචී කියන්නේ ගමේ කොල්ලෝ කොයි කවුරුත් දන්න කියන, කොල්ලෝ සෙට් වෙච්චි වෙලාවල් වලදී ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන කෙල්ලෙක්. අපේම සෙට් එකේ කොල්ලෝ කීප දෙනක් එක්කම ගල්කිස්සේ රූම්ස් වලට ගිහිං තියෙන රුචී ගැන ගමේ කොල්ලෝ දහයක් ගත්තොත් අට දෙනෙක් විතර අනිවාර්යයෙන්ම දන්න බව රුචීවත් දන්නැතිව ඇති. අනික රුචී පුබුදුවාගේ බොක්ක. ඕන මහ රෑක රුචීට ගෙදරින් පැනගන්න පුළුවන්කම තිබ්බොත් පුබුදුවාගේ එක කෝල් එකෙං ලයිට් එක පිච්චුන ලයිට් කණුව ළඟට රුචී එනවා.

කොහොමත් බීපු වෙලාවක තමයි වැදගත් මාතෘකා සෑහෙන ගානක් කතා වෙන්නේ. ඕපදූපද දේශපාලනේද ලිංගිකත්වයද අරවද මෙව්වද හැමදේම එකම දවසක කතා වෙනවනං ඒ සෙට් වෙච්චි වෙලාවක තමයි!

"මචං දැං මොකක්ද ඔය ආදරේ කියන්නේ.....? ආදරේ කියන්නේ බං ගෑණියෙකුයි මිනිහෙකුයි අර අහවල් වැඩේ කරන්න තියෙන ආසාවයි තව මොනාදෝ ආධ්‍යාත්මික බැඳීම් කියලා ජාතියකුයි තව එව්වා මෙව්වා ටිකකුයි එකට දාලා පිටට ලස්සනට පේන්න ඔතලා තියෙන කොළේනේ බං.
ඉතිං රුචී කරන්නේ බං ඔය කොළෙයි, අර මොනවද බැඳීම් ටිකයි, එව්වා මෙව්වා ටිකයි අහක් කරලා ඒකිගේ ආසාව නිවාගන්න එක. ඒකෙං කොල්ලෙක්ගේ ආසාවකුත් නිවෙනවා. ඒව්වා පිංකම් යකෝ පිංකම්!
අනික එහෙම බැලුවාම බං බොරුවට ආදරේ කියාගෙන කොල්ලෙක් එක්ක රූම් එහෙකට යන කෙල්ලෙක්ගෙයි රුචීගෙයි තියෙන්නේ පොඩිම පොඩි වෙනසයි බං. ඒ කෙල්ලෝ ඉන්නේ එක කොල්ලෙක් එක්ක, රුචී යනවා එක එක කොල්ලොත් එක්ක. එච්ච්රයි වෙනස."
ඒ තමයි පුබුදුවා හිතන හැටි.

හැබැයි දැං සතියක හමාරක විතර ඉඳං රුචී ටිකක් වෙනස් වෙලාලු. පුබුදුවා එක්ක උනත් වැඩි කතාවක් නැතිලු. වෙනදා වගේ කොහෙවත් යන්න කතා කළාට එන්නෙත් නෑලු. අපේ උං කියන විදිහට ඒකට හේතුව නාලක අයියා. මොකද අපේ එකෙක් දැකලා තියෙනවා නාලක අයියා රුචී එක්ක දෙහිවල බීච් එක පැත්තේ ඉන්නවා.

නාලක අයියලා අපේ එහා ගෙදරට පදිංචියට ආවේ මීට මාසෙකට විතර උඩදී. ඒ උනාට තාමත් මට නාලක අයියාත් එක්ක වචන දෙක තුනකට වඩා කතා කරන්න ලැබිලා නෑ.


"අඩෝ පුබුදුවා.... අර තෝ කියන මොනවද අහවල් එව්වා දාලා ලස්සන කොළේක ඔතලා කරලා රුචී අරූට අමුවෙන්ම ගිල්ලලා වගේ!" ඒ කළණයාගේ හැකර කට.

"ඌ ඒක සිරාවට කරනවද දන්නෑ බං. උඹලෑ එහා ගෙදර ඉන්න එකානේ පුළුවන්නං ඌට ඒකි ගැන ශේප් එකේ කියලා දාපං. මොනා උනත් පව්නේ බං. නාලකයා අවුලක් නැති හොඳ කොල්ලෙක් වගේ පෙන්නෙනං" දිනේශයා මට කිව්වා.

"එක්කෝ හොඳ වැඩේ බං. හොයලා බලන්නැතිව පොත්තට රැවටිලා කෙල්ලො යාළු කරගන්නවට"
එහෙම කියන්නේ රුචී එක්ක දෙතුන් පාරක්ම රූම් වලට ගිය සචියා. සචියා වගේම රුචී එක්ක රූම් වලට ගිය අනික් දෙතුන් දෙනාටත් නාලක අයියා ගැන තියෙන්නේ අනුකම්පාවක් මිශ්‍ර පොඩි තරහක් කියලා උංගේ කතා වලින් මට හිතුනා.

ඊට සතියකට විතර පස්සේ නාලක අයියලාගේ ගෙදර රෑ කෑමකට අපේ පවුලේ උදවියට ආරාධනා කරලා තිබ්බා. එදා තමයි මට නාලක අයියා එක්ක හරියකට ටිකක් කතා කරන්න ලැබුණේ.

"මල්ලී බොනවද?"
සාලේ සෙට් වෙන්න ලෑස්ති වෙන තාත්තලටයි, ඕපදූප කතා කරන අම්මලටයි නෑහෙන්න ආලක අයියා ඇහුවා.
"ඔව්!"
"එහෙනං අපි මොකටද බං තාත්තලා බොන ඒවා දිහා බලං කෙල ගිල ගිල ඉන්නේ. වරෙං යන්න."

නාලක අයියයි මායි නාලක අයියාගේ කාමරේ සෙට් උනා. ඇඳ අස්සේ හංගලා තිබ්බ භාගේ බෝතලයක් එළියට ආවා. වල්පල් මැද්දේ බෝතලේ පොඩ්ඩ පොඩ්ඩ හිස් උනා. මං මාතෘකාවට බැස්සා.

"නාලක අයියා රුචී එක්ක බීච් එකේ ඉන්නවා අපේ එකෙක් දැකලා තිබ්බා"

"අපේ එකෙක් කිව්වේ? ගමේ සෙට් එකේ එකෙක්ද?"

"ඔව්!"

"උඹලගේ සෙට් එකත් එක්ක ශොට් එකක් දාන්න ඕනේ බං කට්ටියව අඳුනගන්නත් එක්ක. කොහෙද මේ දවස්වල වෙලාවක් නෑනේ.
ඉතිං.. ඉතිං... කට්ටිය මාව වෙන කෙල්ලෝ එක්ක ඉන්නවා දැකලා නෑ නේද?"
පුංචි හිනාවක් දාන ගමන් නාලක අයියා ඇහුවා.

"නෑ... නෑ..." මාත් හිනාවෙලාම උත්තර දුන්නා.

"මොනවද කට්ටිය ඒ ගැන කියන්නේ? මම ඒකිට රැවටිලයි කියනවද?"

"එහෙමත් කියනවා"

"අපි තේරුම් ගන්න ඕනේ මල්ලී කෙල්ලන්ට මොනවද හරියටම ඕනේ කියලා. එහෙම තේරුම් ගන්න කොල්ලෙක් ලේසියකට කෙල්ලෙක්ට රැවටෙන්නේ නෑ. රුචී වගේ සුළුතරයක් ඉන්නවා, උන්ට ඕනේ ඔය බහුතරයක් කෙල්ලෝ හොයන ආදරේ කියන පරම පිවිතුරු ඉටි ගෙඩිය නෙමෙයි. ඒ වගේ කෙල්ලන්ගෙන් කිසි කරදරයක් නෑ. මුණ ගැහුනා, ඕන වැඩේ කරගත්තා, ගියා... එච්චරයි!"

බෝතලේ අන්තිම පොඩ්ඩ වීදුරුවට දාං බෝතලේ හිස් කරන ගමං නාලක අයියා කිව්ව ඒ කතාවට මාත් වචන නැතිව හිස් වෙලා ගියා
"මූත් පුබුදුවාටමයි හරියන්නේ" මට හිතුනා.

"මට කෙල්ලෙක් ඉන්නවා මල්ලී. ඒත් ඉඳලා හිටලා සෙට් වෙන රුචී වගේ කෙල්ලන්ට රැවටෙන්නත් මං ආසයි බං!"
කට කොණකින් හිනාවෙන ගමන් නාලක අයියා වීදුරුවේ තිබුණු අන්තිම ෂොට් එක උගුරෙන් පහලට දාගත්තා.


෴෴


[පින්තූරෙ-http://goo.gl/cslWe]

Tuesday, May 22, 2012

ඇබ්බැහි වීම සහ හමුවීම.....


ජීවිතේ විවිධ කාලයන්හිදී විවිධාකාර පුරුදු වලට ඇබ්බැහි වීම ම ජීවිතේට විවිධත්වයක් එක් කරයි. ලොව සියලුම මිනිසුන් පාහේ 'ජීවත් වීම' නම් පුරුද්දට දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. එම ඇබ්බැහි වීමෙන් නොගැලවෙනු වස් සත්වයා තව තව ඇබ්බැහි වීම් වලට පෙළඹේ. ආදරය යනු ජීවත් වීම නම් පුරුද්ද කෙරෙහි මිනිසාව තදින් අලවන හෝ එහෙම් පිටින්ම ගලවා දමනට හැකි ප්‍රබල ඇබ්බැහි වීමකි.
සතියට එක් වරක් හෝ මුහුදු වෙරළට යාමට මා ඇබ්බැහි වී ඇත.

හැන්දෑවට මුහුදු වෙරළ යනු වෙනමම මායාකාර ලෝකයකි. එය විටෙක ජීවත් වීම නම් පුරුද්දෙන් මා මුදවාලීමේ ආසන්නතම ස්ථානයට මගේ සිතිවිලි මෙහෙය වීමට සමත් වෙයි.

සුනාමි අනතුරු ඇඟවූ දිනයකදී හැරෙන්නට ගල්කිස්ස මුහුදු වෙරළ සතියේ ඕනෑම දිනෙක ජනාකීර්ණ ය. කුඩා දරුවෙකු සමඟ සතුටු වන තරුණ දෙමාපියන්, ආසාවෙන් මුහුදු රැල්ලට පනින බූල් දිග බල්ලන්, පෙම්වතුන්ට බලෙන් කඩල විකුණන වෙළෙන්දන්, කුඩයක් අස්සේ ලෝකයක් මවන පෙම්වතුන් සියලොලෝම ජීවත් වීමට තදින්ම ඇබ්බැහි වී ඇති සැටියකි.

ගල් බංකුවක් මත තනිව සිටිනා තරුණියෙකි.
"කොල්ලා එනකං වෙන්නැති" මම සිතමි.
සිතුවිලි එසේ වුවත් පැය කාලක් පමණ මා නෙතු මටත් හොරා ඈ පිළිබඳ ඔත්තු බලමින් සිටියි.

ඇගේ මුහුණේ සිනහවක්ද නැත, දුකක සේයාවක්ද නැත. ඈ ඈත ක්ෂිතිජය දෙසට නෙත් යොමා බලාගත් අතම බලාගෙන සිටියි. ඈ ද මා මෙන්ම මුහුදු වෙරළේ මායාකාරී බව විඳිනවා විය හැක. නමුත් ඇගේ වතෙහිද මායාකාරී බවක් දිස් වෙයි. මා දෙපා ඉබේටම මෙන් ඈ කරා පියනගයි. මා ඈ අසල සිට ගනිමි.
ඕනෑවට එපාවට මෙන් ඈ සෙමින් හිස හරවා මා දෙස බලයි.

"මම විකිණෙන්න නෙමෙයි"
ඈ වචන වලින් මා ඔසවා පොළොවේ ගැසීය.

"මං ආවේ මිලදී ගන්නත් නෙමෙයි"

"එහෙනං? සල්ලි නැතුවම ගෙනියන්න පුළුවන්ද බලන්නද?"

"නෑ මං ආවේ එහෙම දේකට නෙමෙයි"

"එහෙනං කොහොම දේකටද?"
ඈ ක්ෂිතිජය දෙස බලාගෙනම වදන් වලින් කනට ගසන්නීය.

"නිකං තනියම ඉන්නවා දැකලා ආවේ"

"හ්ම්ම්"

ලියන්නට යමක් නැති මගේ සිතුවිලි වේලී ඉරිතලා ඇත. මෙය අලුත් කතාවකට මුල පිරීමක් විය හැකිය. මම අනවසරයෙන්ම බංකුවේ අනෙක් කොන අසුන් ගනිමි.

"කවුරු හරි එනකං ඉන්නවද?"

"ඔව්! කෙනෙක්ව හම්බවෙනකං ඉන්නවා"

"කාවද?"

"මාවම"

"මමත්" මගේ ඒ පිළිතුර මුවින් පිට නොවිනි. සිතින් පිට විනි.

අලුත් කතාවක් හමුවේයැයි සිතා කතාව ඇරඹුවද ඇය කතාවක් නොව ප්‍රෙහේලිකාවකි.

ඇයත් ක්ෂිතිජය දෙස බලාගෙනය.
මමත් ක්ෂිතිජය දෙස බලාගෙනය.

"මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා. පස්සේ දුකක් විතරයි"
මදෙස නොබලාම පවසන ඇගේ හඩ පැහැදිලිය වදන් තියුණුය.

"හ්ම්ම්ම්"

මිනිත්තු කීපයක නිහැඩියාවෙන් පසු ඇය නැඟී සිටියි.
"මං යනවා"

"මාත් දැන් යන්න ඕනේ. ගාලු පාරටද යන්නේ?"

"හ්ම්ම්ම්"

"මාත් යන්නේ ගාලු පාරට. මාත් එක්ක යන්න අකමැතිද?"

"ම්ම්ම්..... නෑ"
ඇගේ පිළිතුරේ අවිනිශ්චිත බවක් කැටිවී ඇතැයි මට සිතේ.

"එහෙනම් යං"

ඇය මන්තර කාරියකගේ බන්ධනයකට හසුවූ හැඟීම් දැනීම් නොමැති තරුණියක් මෙන් වචනයකුදු නොදොඩා පාර දෙස බලාගෙනම ගමන් කරයි. ගමන වේගවත්ද නැත. මන්දගාමීද නැත.

මම ඈ දෙස බලමි. ඇය කැතයැයි කීමට මට නොහැකිය. මා ඊට වඩා කැත කෙල්ලන් අනන්තවත් දැක ඇත. මට ඇය ලස්සනයි කීමටද නොහැකිය. මා ඊට වඩා ලස්සන කෙල්ලන්ද අනන්තවත් දැක ඇත. තළෙලු පැහැ ඈ ප්‍රියමනාප බවනම් මට නිසැකවම කිව හැක.

"ඔයාගේ නම මොකක්ද?"
ඇගේ නිහඩ බව බිඳීමට මම අසාර්ථක උත්සායක් ගනිමි.

"මං කිව්වේ.... මිනිස්සුන්ට බලෙන් ලං වෙන්න එපා"
ඒ හඩේ තරහවක්ද නැත. සතුටක්ද නැත. දුකක්ද නැත.

ඈ තනිකරම ප්‍රෙහේලිකාවක්මය. නිහඩවම ප්‍රෙහේලිකාව සමඟින් ගමන් ගත් මා ගල්කිස්ස උසාවිය අසලින් ගාලු පාරට පැමිණ සිටිමි.

"ඔයා කොයි පැත්තටද යන්නේ?"
මුලු දෙබස් පුරාවටම දෙවන වරට මදෙස බැලූ ඈ මේ ප්‍රශ්න කරන්නේ මගෙන් ගැලවීමටයැයි මට සිතෙයි.

"ගල්කිස්ස පැත්තට"

"මං යන්නේ දෙහිවල පැත්තට. එහෙනම් මං යනවා"

"ලංකාව පොඩියි. අපි ආයේ මුණ ගැහෙයි."

"ජීවිතේ කෙටියි. සමහරවිට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ"
ඇගේ වචන වෙඩි උණ්ඩ වගේය. ඇගේ මුවේ සිනහවක්ද නැත. වත ශෝකාකූලද නැත. ඇත්තේ ශූන්‍ය බවකි.

ඇය ආපසු හැරී දෙහිවල දෙසට ගමන් කරයි. මම ගල්කිස්ස දෙසට අඩි කීපයක් ගමන් කර නැවතත් හැරී ඈ දෙස බලමි. හැඟීම් දැනීම් නැති ප්‍රෙහේලිකාවක් දෙහිවල දෙසට ගමන් කරයි. ඒ ගමන වේගවත්ද නැත. මන්ද ගාමීද නැත.
ඈ ජිවත්වීම නම් ඇබ්බැහි වීම ප්‍රහීණ කළ කෙල්ලෙක්ද?




[පිතූරෙ-http://www.zepaltaswines.com/files/imagecache/photo-page/files/beach-man.jpg]

Monday, April 30, 2012

බල්ලා!


බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.

බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන විශේෂ වර්ගයක බල්ලෙක් නොවූ ටිබියා නිකම්ම නිකම් බල්ලෙකි. ඌ අප පවුලේ සැමට බොහෝ සේ ඇලුම් කළේය. පවුලේ දෙදෙනෙකු බොරුවට රණ්ඩු වන ආකාරය රඟ දක්වන විට ටිබියා බුරාගෙන විත් එක අයෙකුගේ ඇඟට පනී. පසුව උගේ එම හැසිරීම අපි සෙල්ලමකට ගතිමු. නමුත් සෑම බල්ලෙකුම ටිබියා මෙන් හැසිරෙනු ඇතැයි මට සිතිය නොහැකිය.

ටිබියාගේ ප්‍රියතම ආහාරය වූයේ බිස්කට්ය. එයින්ද මාරි බිස්කට් වලට ඌ මහත් ප්‍රිය කළේය. බිස්කට් පැකැට්ටුවක් කැඩීමේදී නැගෙන හඩ හෝ ඊට සමාන හඩක් හෝ ඇසෙන දුරකින් ටිබියා සිටියහොත් කන්දෙක ඔසවාගෙන විත් ඇස් ලොකු කර ඔළුව කරකවමින් අප දෙස බලන බැල්ම සමහර දාක ඌට බිස්කට් පැකැට්ටුවෙන් භාගයක් පමණ ලබා දීමට සමත්ය.  

ටිබියා ගෙදර තනිව දමා අප කොහේ හෝ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථමයෙන් ඌට මාරි පැකැට්ටුවක් කඩා දී යාම පුරුද්දක් බවට පත් වුවත් අදාල ගමන් ගොස් පැමිණෙන අපට දැකගත හැකි වන්නේ බිස්කට් දෙක තුනක් පමණක් ඌ ආහාරයට ගෙන ඇති බවකි. අප සැම නිවසින් පිටව ගියපසු ඌ පැයක් දෙකක් නොකඩවාම හැඩූ බව අසල්වැසියන් පවසද්දී අප සිත්තුල දුකක් ඇති නොවුනා යැයි කිව හොත් එක අමූලික බොරුවක්ය. එක් දිනක් අප සැම නිවසින් පිට වෙද්දී ටිබියා හැකිතාක් වේගයෙන් අප ගමන් ගත් වාහනය නොපෙනී යන තෙක්ම අපව ලුහුබැඳ පැමිනෙන දර්ශණය මා වාහනයේ පැති කණ්ණාඩියෙන් දුටු අයුරු සිහිවන විට මේ ලියමන ලියන මොහොතේ පවා මා සිත වේදනාවට පත් කරයි. 

ටිබියා අප නිවසට රැගෙන ආවේ මැයි පළමුවන දාකය. ගෙනා දින පටන්ම ඌ නීරෝගිමත් සතෙක් නොවිනි. ඌව බොහෝ අවස්‍ථාවල පශු වෛද්‍ය වරයා වෙත රැගෙන යන්නට විය. ඌ දෙතුන් වරක්ම මරණාසන්න ලෙස රෝගාතුර වූ නමුත් කෙසේ හෝ බේරාගැනීමට හැකි විය. පිටින් පෙනන කිසිදු ලක්ෂණයක් නොමැති වුවත් ඌට ඇවිදින්න අපහසු විය. කෙසේ හෝ වසර පහකට පමණ පසුව තදබල ලෙස අසනීප වූ ටිබියා එන්න එන්නම දුර්වල වී ඇවිද ගැනීමට නොහැකි තැනටම පත්විය. එසේ තිබියදී මා තනිවම ඌව පශු වෛද්‍ය වරයා ළඟට රැගෙන ගිය නමුදු කිසිත් නොකියාම ඌට බෙහෙත් කළ වෛද්‍ය වරයා අදාල ගාස්තුව පමණක් මට පැවසීය. තත්වය එසේ තිබියදී අපට බොහොම සමීප ඥාතියෙකුගේ මලගෙදරකට සහභාගී වන්නට සිදුවිය. අදාල නිවසට පැමිණ පැයක් ඉක්ම යන්නට මත්තෙන් අසල්වැසි නිවසකින් ඇමතුමක් ආවේ බෝහෝ වේලා කෑ ගසමින් සිටි ටිබියා මියැදී ඇති බවයි. 

වෙන විකල්පයන් නොවූයෙන් අවසානයේ මා තනිවම මගේ නිවසට පැමිණ වත්ත අයිනේ වලක් හාරා ඌව වල දැම්මෙමි.  

ටිබියා ලෙඩ වූ සෑම අවස්‍ථාවකදීම අපි බොහෝ කණගාටු වූයෙමු. කොටින්ම මා මගේ මිතුරෙකුට නෑයෙකුට අසනීපයක් වූ විට කණගාටු වනවාට වඩා බොහෝ සෙයින් ටිබියා අසනීප වූ විට කණගාටුවිය. මනුෂ්‍යයෙකුට අසනීපයක් වූ විට ඔහුට ඒ වේදනාව අන් අයට පැවසිය හැකිය නමුත් වෙනත් සත්වයෙක්ට එසේ කිරීමට නොහැකිය. බල්ලන් මිනිස්සුන්ට උවමනාවට වඩා ලං වෙයි. එය අදාල සත්වයා අසනීප වෙද්දී හිතට මහත් පීඩාවක්ය. ටිබියාගේ මතකය යළිත් බල්ලෙකු ඇති කිරීමට මා සිත තුල පවතින ආශාව මැඩපැවැත්වීමට සමත්ය.

ඉහත ඡායාරූපයේ සිටින්නේ කුකීයාය. ඈ ඇති දැඩි කරන්නේ අප යාබද නිවසේ සිටින මාගේ බාප්පා ඇතුලු ඔහුගේ පවුලේ අය විසිනි. නමුත් ඔවුන්ගේ පවුලේ සෑම දෙනාම උදෑසන 8ට නිවසින් පිටවන අතර නැවත් එන්නේ සවස 5ත් 7ත් අතරය. ඒ අතර කාලය තුල කුකියා සිටින්නේ අප නිවසේය. ඌ දැන් තමාගේ නිවසේ අයට වැඩියෙන් අප නිවසට සමීප වී ඇත. ටිබියාගේ මතකය මා කුකියාගෙන් ඈත්කර තබයි. ඕනෑම සත්වෙක්ට උවමනාවට වඩා ලංවීම සැබවින්ම වේදනාවක්මය. නමුත් අප යම් යම් අයට ලං වීම නිසගයෙන්ම සිදුවෙයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුකීයා ගේට්ටුව අතරින් තම නිවැසියන් පැමිණෙන තුරු බලා සිටින අයුරුයි. සවස 5ට පමණ ගේට්ටුව අසලට ගොස් රූපයේ අයුරින් ඈ නිවැසියන් එනතුරු රෑ 8 වනතුරු පවා ඇතැම් දවසක බලා සිටියි.
 

කුමන හෝ අමන වැඩක් කළ ගැහැණියකට පිරිමියෙකුට බැණ වැදීමට සුලභව යොදා ගන්නේ "බැල්ලී/බල්ලා" යන වචනයයි. නමුත් කෙනෙකුට බැණ වැදීමට ඒ වචනය කෙතරම් නම් උචිතද? කුමන හෝ නොමනා ක්‍රියාවක් කරන බල්ලෙකුට බැණීමට "මිනිහා" යන වචනය යොදා ගන්නට බැරිද?



ප.ලි : මගේ මතකය ඇවිස්සුවේ වෙනී අයියායි!

Tuesday, March 13, 2012

නිදිමත දෙවියා.......

ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා සක්‍ර දෙවියා කියලා නේද? ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සක්‍ර දෙවියා හිට පිළිඅරගෙන තිබ්බා දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා තමයි නිදිමත දෙවියා කියලා. සමහරුනම් කිව්වේ සක්‍ර දෙවියා නිදිමත දෙවියාව යාප්පුවෙන් තියාගන්න ඕනේ නිසා ඔහොම කියනවයි කියලා. කොහොම උනත් මේ නිදිමත දෙවියා තමයි මුළු විශ්වයේම සියළුම සත්වයන්ගේ නිදිමත පාලය කරන්නේ. ඒ කියන්නේ නිදිමත දෙවියා තමයි එක එක අයගේ ක්‍රියා වලට අනූව ඒ ඒ අයට නින්ද යන හැටි, නින්ද යන වෙලාව, නින්දෙදි පේන හීන, උදේට අවදි වෙන විදිහ වගේ දේවල් පාලනය කරන්නේ. 

තවත් පැහැදිලි වෙන්න මම ඔයාලට උදාහරණයක් දෙන්නම්කෝ. දැන් හිතන්නකෝ රෑ ගෙවල් වලට පනින හොරෙක් ගැන. ඒ හොරා කරන්නේ ගෙදර මිනිස්සු සේරම තද නින්දේ ඉන්නකොට හොරෙන් ගෙට ඇතුලු වෙලා ගෙදර තියෙන වටිනා බඩු භාණ්ඩ හොරකම් කරන එකනේ. ඉතිං ආන්න ඒ වගේ තවත් කෙනෙක්ගේ සුව නින්ද අයුතු විදිහට ප්‍රයෝජනයට අරං අනුන්ගේ දේවල් හොරකම් කරන අයට නිදිමත දෙවියා කළේ රෑට නින්ද නොයන්න සැලැස්සුව එකයි. නින්ද ගියත් එක පාරටම නපුරු හීන දැකලා භයවෙලා නැඟිටින්න සැලැස්සුව එකයි. මං කියන්නේ බොරුයි කියලා හිතෙනවානම් ඔයාලා හොරෙක්ගෙන් අහලා බලන්නකෝ විස්තරේ.

ඉතිං මම ඔය උදාහරණේ කිව්වා වගේ ඒ ඒ සිද්ධීන්ට අදාලව ඒ ඒ පුද්ගලයන්ගේ නින්ද පාලයට මේ දෙවියා දක්වපු දක්ෂතාවය අති විශිෂ්ඨයි. දිව්‍යලෝකේ මෙච්චර කාලෙකට මේ නිදිමත දෙවි තනතුර බාරගත්ත කිසිම දෙවි කෙනෙක් මේ නිදිමත දෙවියා තරම් හොඳට  මේ වැඩේ කරලා තිබ්බේ නෑ. අනික මේ නිදිමත දෙවියා ඔය සක්‍ර දෙවියා වගේ ලොකු ලොකු තනතුරු දරපු දෙවි වරුන්ට බොහොම සුව දායක නින්දක් ලැබෙන්න සලස්සවන්න අමතක කළෙත් නෑ. ඒ නිසාම ඔය ලොකු ලොකු දෙවි වරුන්ගෙන් මේ නිදිමත දෙවියා බොහොම ප්‍රශංසා ලැබුවා.

එහෙම ප්‍රශංසා ලබන්න ලබන්න මේ නිදිමත දෙවියා තව තව මහන්සි වෙලා වැඩ කළා. එයාට ඕනේ උනේ වසරේ හොඳම දෙවියාට හිමි සම්මානය කොහොම හරි ලබාගන්නයි. ඒ නිසාම මේ නිදිමත දෙවියා නිදි වරාගෙන බොහොම මහන්සියෙන් වැඩ කළා. හැබැයි ටිකෙන් ටික තරඟේ ලං වෙන්න ලං වෙන්න තමයි අපූරු වැඩක් වෙන්න පටං ගත්තේ. තරඟේ ලං වෙන්න ලං වෙන්න මේ නිදිමත දෙවියාට නින්ද යන එක අඩුවෙන්න ගත්තා. පස්සේ පස්සේ රෑට නිදාගන්න ගියාම නිදිමත අහලකටවත් ආවේ නෑ. එයාට එක එක ඒවා හිතෙනවා. තරඟේ ගැන හිතෙනවා, තෑග්ග වෙන කෙනෙක්ට ලැබෙයිද හිතෙනවා. තමන්ගේ මහන්සිය අපතේ යයිද හිතෙනවා. තරඟේ දිනන්න තව කරන්න ඕනේ දේවල් ගැන හිතනවා. ඔන්න ඔය වගේ දේවල් හිතේ ඇතුලේ පොර කනවා මිසක් පැය ගානක් ඇස් පියාගෙන හිටියත් නිදිමත නෙමෙයි නිදිමත දෙවියාගේ අහලකටවත් එන්නේ.

කොහොමින් කොහොම හරි මේ දේවල් නිසා අන්තිමට තරඟෙට සතියක් තියෙද්දී මේ නිදිමත දෙවියා හොඳටම අසනීප වුනා. කිසිම වැඩක් කරන්න ඇඟට පණක් තිබ්බේ නෑ. නින්ද යන්නෙත් නෑ. නිදිමත දෙවියාට තේරුණා මෙහෙම ගියොත් තමන්ට තරඟේ පරදින්න වෙන බව. ඒ නිසා නිදිමත දෙවියා පොඩි හොර වැඩක් කරන්න කල්පනා කළා. නිදිමත දෙවියාගේ අදහස උනේ මුළු විශ්වයෙන්ම හොඳම නිදිමත අයිති කෙනාගේ නිදිමත හොරකම් කරන එකයි. නිදිමත දෙවියා පොඩ්ඩක් ගණනය කිරීම් කරලා බැලුවාම වැඩිම ලකුණු අරං හොඳම නින්ද හිමි කෙනා බවට පත්වෙලා හිටියේ මනුෂ්‍ය ලෝකේ කෙනෙක්. ඒක ගැන තරමක පුදුමයක් දැනුනත්, ඒ වෙලාවේ නිදිමත දෙවියාට ඊට වඩා ලොකු සතුටක් ඇති උනේ දෙවියෙක්ගේ නින්දක් හොරකම් කරනවට වඩා මනුෂ්‍යයක්ගේ නින්දක් හොරකම් කරන එක ලේසි හන්දයි. ඉතිං දවසක් මහ රෑ මේ නිදිමත දෙවියා හොරන්ම මනුෂ්‍ය ලෝකෙට පිටත් වුනා විශ්වයේ හොඳම නින්ද හිමි කෙනාගේ නිදිමත හොරකම් කරන්න.

ඒත් විශ්වයේ හොඳම නින්ද තියෙන පුද්ගලයා ගාවට ගියාම නිදිමත දෙවියාට පුදුම හිතුනා. විශ්වයේ හොඳම නිදිමත තියෙන කෙනා ගොරෝසු රෙද්දක් පොරවගෙන නිදාගෙන හිටියේ කඩ පිළක් අයිනේ. ඔව් ඔයාලා හිතුවා හරි. එයා හිඟන්නෙක්. නිදිමත දෙවියන්ට හරිම පුදුමයි. නිදිමතට අධිපති දෙවියා වෙච්චි තමන්ටවත් හරි හමං නින්දක් නැතිකොට පාරේ නිදාගන්න හිඟන්නෙක්ට විශ්වයේ හොඳම නින්ද ලැබුණේ කොහොමද කියලා. ඔන්න ඔය වෙලා තමයි නිදිමත දෙවියා නිදිමත හොරකම් කරන එක පැත්තකින් තියලා තමන්ගේ දිව්‍යඥාණය පාවිච්චි කළේ. නිදිමත දෙවියා තමන්ගේ දිව්‍යඥාණයෙන් මේ මනුස්සයාගේ හිතට එබිකම් කරලා බැලුවා. එතකොට තමයි නිදිමත දෙවියාට මේ හැමදෙයක්ම පැහැදිලි උනේ.

මේ හිඟන්නා හැම වෙලේම ලද දෙයින් සතුටු උන කෙනෙක්. මෙයා ගාව විශ්වයේ අනිත් හැමෝටම වඩා තිබ්බ එකම වෙනස ඒකයි. මෙයා කවදාවත් අනිත් හිඟන්නෝ වහේ  සල්ලි කාරයෝ දිහා බලාගෙන "අනේ මට අර වගේ සල්ලි නෑනේ" කියලා හූල්ල හූල්ලා හිටියේ නෑ. තමන්ට ලැබෙන ගාණින් සතුටු උනා. තමන්ට තියෙන දේවල් ගැන සතුටු උනා. තමන්ට නැති දේවල් ගැන හිත හිතා අඩ අඩා දුක් උනේ නෑ. තමන්ට රුපියක් සීයක් දෙන කෙනාටත් සත පනහක් දෙන කෙනාටත් වෙනසක් නැතිව මුළු හදවතින්ම සතුටු වෙලා අව්‍යාජ හිනාවකින් ස්තූති කළා. ඒ හන්දම මෙයාට එක දවසක් සල්ලි දුන්න කෙනෙක් ඊළඟ දවසේ ඊට වඩා වැඩි ගාණක් දීලා යන්න අමතක කළෙත් නෑ. ඒ නිසාම මේ පුද්ගලයාට අනෙක් හිඟන්නන්ට සාපේක්ෂව වැඩියෙන් අත මිටේ සල්ලිත් තිබුණා. එහෙමයි කියලා මෙයා කවදාවත් ආඩම්බර උනෙත් නෑ. ලෝභ උනෙත් නෑ. තමන්ට ලැබෙන දෙයක් හැම තිස්සෙම තමන්ගේ යාළුවොත් එක්ක පුළුවන් විදිහට බෙදා ගත්තා. සල්ලි ටිකක් වැඩියෙන් ලැබුණු දවසට යාළුවොත් එක්ක සෙට් වෙලා සිංදුවක් කියලා විනෝද වෙන්න අමතක කළෙත් නෑ. නැති වෙන්න කියලා දේපල, තාන්න මාන්න, නම්බු නාම මේ හිඟන්නා ගාව තිබ්බේ නෑ. හැබැයි එයා ඒ දේවල් ගැන කිසිම වෙලාවක දුක් උනෙත් නෑ.

ඔන්න ඔය දේවල් තමන්ගේ දිව්‍යඥාණයෙන් දැක්ක වෙලේ තමයි නිදිමත දෙවියාට තේරුණේ මේ හිඟන්නාට වඩා කෝටි වාරයකටත් වඩා වැඩියෙන් භෞතික සම්පත් තමන්ට තිබුණට, මේ හිඟන්නාගේ හිතේ තියෙන සතුට සහ නිදහසින් ප්‍රකෝටි ගාණකින් එක් කොටසක තරම්වත් සතුටක්, නිදහසක් තමන්ගේ හිතේ නැති බව. නිදිමත හොරකම් කරන එක අමතක කරපු නිදිමත දෙවියා දිව්‍යලෝකෙට යන්න ආපහු හැරෙන ගමන් කල්පනා කළේ කොච්චර නම්බු නාම ලැබුණත් හිතේ සතුටක් නැති මේ පට්ටම් මොකටද කියලා.






[පින්තූරෙ - http://images.wikia.com/olympians/images/1/1f/Hypnos-God-of-Sleep-Study.jpg ]

Tuesday, February 14, 2012

මගේ පස්වන වැලන්ටයින් සැමරුම!


වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්‍ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්‍ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ඇයටත් මටත් ප්‍රශ්නයක් නොවේ. වැලන්ටයින් දිනය පොහොසත් වන වෙළෙන්දාට වඩා අපේ ආදරේ වැඩියෙන් පොහොසත් වන බව අපි හොඳාකාරවම දනිමු.

වැලන්ටයින් යනුවෙන් පෙම්වතුන්ට වෙනම දිනයක් උවමනා නැති බවට ඇතැම් නාකි පත්තරකාරයින් තර්ක කරයි. උන්ට උඩගෙඩි දෙන තරණ තරුණියන්ද නැත්තේම නැත. නමුත් බොහෝ වේලාවට ඒ තරුණ තරුණියන්ද පෙරදාක මහත් ආසාවෙන් වැලන්ටයින් සැමරූ පසුව පෙම්වතා පෙම්වතිය විසින් බූට් එක තබනු ලැබූ ඇත්තන්ය. මටද ඇයටද ඔවුන් ගැන තරහක් නැත. ඇත්තේ අනුකම්පාවක් පමණකි. පෙම්වතුන්ගේ දිනය වැඩක් නැතැයි පත්තරවල පිටු පුරවන ඇත්තෝම පසුව වැඩිහිටි දිනයේ, ගුරු දිනයේ ඇති වැදගත්කම් ගැන මහා ලොකුවට පිටු පුරා ලියයි. මගේ තර්කයනම් පෙම්වතුන්ට විශේෂයෙන් දිනයක් අවශ්‍යය නැතිනම් අනෙක් විශේෂ දිනයන්ද අවශ්‍යය නොවන බවයි. නමුත් සමහරවිට ආලයෙන් අන්ධ වී සිටන මගේ තර්ක බොළඳ විය හැකිය. කෙසේ නමුත් මොනයම්ම හේතුවකින් හෝ මගේ ආදරේ මට අහිමි වුනත් වැලන්ටයින් කුහකයෙකු බවට පත්වී පත්තර පිටු බ්ලොග් පිටු පුරවන්නේ නැති බව මම දිනක් ඇයටද පැවසීමි. "ආ.... දැන් ඉතිං මගෙන් බේරිලා යන්න හිතුවා මදි" හුරතල් හඩින් මීට වසර කීපයකට ඉහතදී ඈ දුන් පිළිතුර මට තාමත් මතකය.

වැලන්ටයින් දිනයේ තෑග්ගක් ගැනීමට තමන් වැයකළ මුදල, ඒ තෑග්ග නිසා ඇය ලබන සතුටට අනුලෝමව සමානුපාතික නොවන බව මට වැටහුනේ මීට වසර කීපයකට ඉහතදීය. ඒ සඳහා අවශ්‍යය වන්නේ ඇගේ ආශාවන් හොඳින් හඳුනා ගැනීම පමණකි. ඇය ටෙඩි බෙයන්ට බොහෝ ආසා කරන බව මා දැනගත්තේ මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයට ආසන්න දවසකදීය. ටෙඩි බෙයන් යනු සාම්ප්‍රදායික වැලන්ටයින් තෑග්ගක්යැයි සිතාගෙන සිටි නිසාමදෝ මා ඇයට ඊට කලින් ටෙඩි බෙයෙකු තෑගි දී තුබුණේ නැත. ඒ ටෙඩි බෙයාර් ගැනීමට වැයවූ මුදලට වඩා වැයෙන් වියදම් කොට ඇයට විවිධ තෑගි මා ලබාදී ඇති නමුත් මීට වසර දෙකකට පෙර වැලන්ටයින් දිනයේ මා ඇයට තෑගිදුන් තරමක් විශාල ටෙඩි බෙයාර්ව ඇය සලකන්නේ එදා මෙදා තුර ඇයට ලැබුණු හොඳම වැලන්ටයින් තෑග්ග ලෙසය.

වැලන්ටයින් දිනට ඇයට තෑග්ගක් දී ඇගේ මුහුණේ ඇදෙනා දහසක් සිතුවම් අතරේ අතරමං වීම තරම් මා ප්‍රිය කරනා වෙනත් යමක් මෙලොව ඇත්දැයි මම නොදනිමි. ඉතිං පස්වන වතාවටද එසේ අතරමං වීමට මට අද අවස්ථාව ලැබෙනු ඇත. හමුවීමට කතා කරගත් තැන පේන්නට තරමක් දුරින් හිඳ ෆෝන් එක ඕෆ්කර දමා ඇයට හොරෙන් ඇය දෙස බලා හිදිමි. ඇස් රතුවී මුහුණ කළු වී ආහසු හැරී යන විට පසුපසින් ගොස් ඇයට කතා කරමි. ආදරේට පුංචි විහිළුවක් කළාට වරදක් නැත. මක්නිසාද යත් ඇගේ මුහූණේ පෙර නුදුටු සිතුවම් රාශියක් මතුකරගැන්මට හැකිවන නිසාය. විටෙක එය ආත්මාර්ථකාමී සිතුවිල්ලක් ලෙස ඔබට පෙනෙනු ඇත. ඊට කමක් නැත ආදරවන්තයෝ කොහොමත් ආත්මාර්ථකාමීය.
ඔබ සැමට සුභ වැලන්ටයින් දිනයක්!



ප.ලි : නිර්මාණය සහ නිර්මාණකරුවා යනු දෙදෙනෙකි!



[පින්තූරෙ-http://www.4to40.com/images/egreetings/Valentine_Day/What_is_LOVE-Valentine_Day-507_big.gif]

Wednesday, February 1, 2012

අනිත්‍යය..‍. (අමුතු කවි)

කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න.

Friday, January 13, 2012

පෙම්වතුන් දෙකඩ කරනා යක්ෂයෙක් පිළිබඳ හෙළිදරව්ව!


වසර ගණන් එකතු කරපු
අනේක විධ පැතුම් පොදිය
පොඩි පට්ටම් කර විසිකොට
ආදරවන්තයින් හැඩවූ
යක්ෂයෙක්ය ඌ

විශ්වාසයේ ගඩොල් වලට
හාදු වලින් බදාම ලා
හැදූ සිහින මාළිඟ සැම
එක මොහොතින් පුපුරවා හැරි
යක්ෂයෙක්ය ඌ

සිහිකොට ගෙන සිනහ නඟපු
ඒ සුන්දර හැම මතකෙම
සිහිවන විට දෙනෙත් අඟින්
රුහිරු බිංදු කඩා හැලන
කටුක මතක බවට හැරවූ
යක්ෂයෙක්ය ඌ

තෝ හන්දා වෙන්වී ගිය
පෙම්වතුන්ගේ කඳුළු වලට
ඇවිදින්නට දොඩවන්නට
හැකි වූවානම්,
උන් සැම එක් වී දවසක
ලිප්ටන් වට රවුමට විත්
මහා හඩින් කෑ ගසාවි
මා ලියනා මේ දේවල්
සත්‍ය බව කියා

තවත් කුමට බලන් ඉන්නේ
තෝ හින්දා වෙන්වෙන අර
පෙම්වතුන්ගේ කඳුළු බිංදු
ඒ හන්දා තවත් නොයිඳ
හෙලිකරනෙමි උඹගේ නම!

පැතුම් පොදිය විසි කරාපු
සිහින මැදුරු කුඩු කරාපු
කටුක මතක ඉතිරි කරපු
ඌගේ නම
"කේන්දරය"

වසර ගණන් නොකැඩි තිබුණු
ඔබ දෙපලගේ විශ්වාසෙද?
සම්භාවිතාවේ බලෙන්
කණා ගහන කේන්දරෙද?
ඒ බව තීරණය කෙරුම
ඔබටම බාරයි!




[පින්තූරෙ-http://fc06.deviantart.net/fs71/i/2011/354/3/8/dont_know_by_love_struck_heart-d4jn3lf.jpg]

Sunday, January 1, 2012

ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012......


"මම මැරෙන්න භය නෑ"
2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ.

"මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං"
අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ.

ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන එකෙක්ගේ  හිතේ තියෙන මරණය පිළිබඳ හැඟීම්, මරණය කියන දේ පේන මානයකවත් නැතිව බීලා දොඩවන එකෙක්ට වඩා කොච්චර වෙනස්ද?

"ඇත්තටම මම මැරෙන්න භයයිද?"
මම ආයෙමත් හිතන්න උත්සාහ කළා.
"නෑ මං මැරෙන්න භය නෑ. මට මේ දැනෙන්නේ භය නෙමෙයි. මේ දැනෙන්නේ මැරෙන්න තියෙන නොයිවසිල්ල වෙන්න ඇති."
"අපේ උන් සෙල්ලම් කරන, දිනුමයි පැරදුමයි අතරේ දෝලයන වෙන මැච් එකක අන්තිම ඕවර් දෙක තුන බලනකොටත් මට දැනෙන්නේ මේ වගේම හැඟීමක්. ඒක භයත් නෙමෙයි. සතුටත් නෙමෙයි. ඔව් ඒක ඒ දෙක අතර හැඟීමක්."
"එක අතකින් බැලුවාම උඹ ඔය උඹටම ආත්ම වංචාවක් නේද කරගන්නේ? ආත්ම වංචාවක්.... ඔව් මිනිස්සු හැමදාමත් තමන්ට කරගත්තේ ආත්ම වංචාවමයි. ඉතිං මාත් මිනිහෙක්"

මැරෙනවා...... ඔව් තව ටික වෙලාවයි. මට ඒක ගැන සතුටුයි. හැමෝම මැරෙනවා. ලෝකේ විනාස වෙනවා. ඒත් ඒ ගැන සතුටක් දැනෙන්නේ කොහොමද? ඒක මහා කාලකණ්නි සතුටක්. ඒක අර මිනිස්සුන්ටත් නොදැනී මිනිස්සුන්ගේ හිතේ තිබ්බ කාලකණ්නි සතුටම වෙන්න ඇති.....අර හොඳක් වෙනවානම් මටම විතරක් වෙයං. මට නරකක් වෙනවානම් හැමෝටම වෙයං කියලා හිතපු මිනිස්සුන්ගේ හිතේ තිබ්බ කාලකණ්නි සතුට. මට හොඳක් උනා අනිත් උන්ට කෙලඋනා කියලා එහෙමත් නැත්තම් මට කෙලඋනා කමක් නෑ අනිත් උන්ටත් කෙලවෙලානේ කියලා වින්ද ඒ කාලකණ්නි සතුට.

ලෝක විනාසේ ඔව් තව ටික වෙලාවයි. හැම දේම විනාස වෙලා යනවා. මම හෝ මට විතරක් නෙමෙයි. මුළු ලෝකෙම.

කාලකණ්නි සතුටක්.....
ඔව් කාලකණ්නි සතුටක්!
කාලකණ්නි සතුට දැනෙන්නේ මිනිස්සුන්ට....
මිනිස්සු......
මාත් උන්ගෙන් එකක්!


ප.ලි :
හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!!!!



[පින්තූරෙ-http://dudelol.com/oldimgs/why-the-world-wont-end-in-2012.jpg]
Related Posts Plugin for WordPress, Blogger...