Tuesday, January 1, 2013

100, 2 සහ ඌ...


ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් ඇදගන්න සුළු ගතිය ඒකට හේතු වෙන්න ඇති. එදා ඉඳං ඌ ඒ බ්ලොග් එකේ(ඔය බ්ලොග් එක ළඟක් වෙනකම් ඔතන තිබ්බා) වැටෙන ලිපි පස්සේ පන්නන එකෙක් උනා. අන්තර්ජාලේ අකුරු කුරුටු ගාන එකත් මාර ආතල් වැඩක් කියලා හිතුනා. ටික කාලෙකින් ඌත් බ්ලොග් එකක් අටවා ගත්තා ඒ හරියටම 2009 නොවැම්බර් මාසේ. එකම එක පෝස්ට් එකකුත් දැම්මා. ඒකට ටොපියේ අයිතිකාරයත් කමෙන්ට් එකක් දැම්මා. ඒත් ඒ එක පෝස්‍ට් එකෙන්ම උගේ බ්ලොග් ලිවිල්ල නතර උනා. ඌට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුණු හන්දා. ඒත් ඌ කියවිල්ල අතෑරියේ නෑ. ඌ තව තව බ්ලොග් හොය හොයා කියවන්න ගත්තා.

කාලය ගෙවිලා ගියා. ඌ ආදර දැලේ පැටලුනා. ඒ හින්දම ඌ ආයෙත් බ්ලොග් එකක් පටං ගත්තා. අලුත් බ්ලොග් එකේ ඌ උගේ පළවෙනි පෝස්ට් එක දානවා 2010 සැප්තැම්බරේ. එදා ඉදං ඒ ආදර දැලෙන් ගැලවෙනකම්ම ඌ කවි ලිව්වා. කතා ලිව්වා. අන්න ඒ නිසයි ඌ තාමත් කියන්නේ, ආදරේ කියන්නේ ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු දෙයක් කියලා. ආදර දැලෙන් ගැලවුණු ඌට ඉතිරි උනේ වැඩකට නැති කවි කතා ටිකක් එක්ක බ්ලොග් එකක්. ඌ පරණ පෝස්ට් ගලවලා දාන්නත් කල්පනා කළා. අතීතයේ අසුන්දර සිද්ධිවල මතකයන් සුන්දරයි. ඌ පරණ පෝස්ට් නොගලවන්න තීරණය කළා.

ඌ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි සුහද හමුවේ ඉඳන් සෑම සුහද හමුවකටම වගේ සහභාගී උනා. ඒ දේවල් නිසාම මේ අඟල් කීපයක පුංචි කොටුව ඇතුලේ හිර වෙච්චි අදහස් වලින් මිතුරුන් වෙලා හිටි උදවියව හැබෑ ලෝකේ මිතුරන් බවට පත් උනා. තමන් දරණ අදහස් වලට තරමක් හෝ සමාන අදහස් දරණ මිතුරු මිතුරියන් ඌට හමුවුණා, තමන්ගේ අදහස් වලට හාත්පසින්ම විරුද්ධ අදහස් දරණ මිතුරු මිතුරියනුත් හමුවුණා. මේ බ්ලොග් ලිවිල්ලට ඌ තාමත් ආස ඒ විවිධත්වය නිසා වෙන්න ඇති. ඔය අස්සේ "ඔහෙම ලියන්න එපා කැතයි. ඕකම මෙහෙම ලිව්වැකි. එතකොට ලස්සනයි" වගේ ගොං ආතල් දෙන්න ආපු ඈයොත් හිටියා. පොඩි වෙනසකටත් එක්ක උනුත් ඉන්න ඕනේ. නැත්තම් එකම විදිහට හැමදාම ගියාමත් කම්මැලි හිතෙන්න පුළුවං. ඌ හිතා ගත්තා.

එදා ඌ බ්ලොග් එක පටං ගනිද්දී ලියුපු දේවල් සහ අද ඌ ලියන දේවල් ගත්තාම පැහැදිලි වෙනසක් ඌටම දැනෙනවා. වෙලාවට ඉස්සර ලියපු ලිපි කියෙව්වම ඌටම ලැජ්ජා හිතෙනවා. මේ ඌ ලියපුවාමද කියලා හිතෙනවා. ඒ අතරේ උගේ ඉස්සර ලිපි කියවලා කමෙන්ට් කරපු සමහර අය, අද පැත්ත පලාතේ නොඑන බවත් ඌ දන්නවා. ඒ එදා සහ අද වෙලා තියෙන වෙනස නිසා වෙන්න ඇති. කියෙව්වාම කොච්ච්ර ලැජ්ජා හිතුනත් පරණ ලිපි නොගලවා ඉන්න ඌට ලොකු හේතුවක් පෙනුනා. එදා සහ අද ගත්තාම උගේ අදහස් කොච්චර නම් පරිණාමය වෙලාද කියලා ඌට පෙනුනේ ඌ ලියපු බ්ලොග් ලිපි වලින්. ඒ දිහා බලන කෙනෙක්ට ඒ වෙනස හොඳයි කියන්නත් පුළුවං නරකයි කියන්නත් පුළුවං. කවුරු මොනවා කිව්වත් උගේ දැන් විදිට ඌට හොඳයි කියලා හිතුනා.

අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අකුරු කෙටුව ඌ දැන් අකුරු කරමින් ඉන්නේ උගේ සියවෙනි පෝස්ට් එකයි. සියය කියන්නේ මහාලොකු ඉලක්කමක් නෙමෙයි අවුරුදු දෙකක් කියන්නේ මහාලොකු කාලයකුත් නෙමෙයි. නමුත් අවුරුදු දෙකක් සහ ලිපි සියයක් කියන්නේ ඌට වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක්! ඒ ඌට සාපේක්ෂව. ඌ ලිවීමට (හෝ මැලවීමට) කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් දැන් ඌ කතන්දර එක බ්ලොග් එකකත්, කවි(ද මන්දා) වෙන බ්ලොග් එකකත් ලියන අතරෙම ඌ කියවන පොත්වල හිත ඇදිලා ගිය කොටසක් එහෙමත් නැත්තම් පොත ගැන අදහසක් වෙන බ්ලොග් එකකත් ලියනවා. ඒ එක්කම ඌ සියයටත් කතා සෑහෙන ප්‍රමාණයක් ලියලා.

විශේෂම දේ නම්, ඌ ලියන ඉලව් කියවන පිරිසක් සහ ඒ කියවන පිරිස අතරින් අදහසක් දාලා යන කීප දෙනෙක් සිටීමයි. ඒ දෙපිරිස නොහිටින්න ඌ මේ කරුමාන්තේ මෙච්චර කල් කරගෙන නොයන විත්තිය ඌ දන්නවා. ඒකයි ඌ ඒ කට්ටියට කියන්නේ "උඹලට ස්තූතියි!" කියලා. බ්ලොග් එක පටන් ගත්තු අලුත කාලයක් තිබ්බා හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝවර්ස්ලා වැඩි වෙනකොට උගේ හිතට සතුටක් දැනුනු. ඒත් දැන්නම් එහෙම කියන්න තරම් මහා සතුටක් ඌට දැනෙන්නේ නෑ. හැබැයි උගේ නිර්මාණයක් ගැන විවේචනයක් දකින්න ඌ කැමතියි. 

මේ බ්ලොග් ලිවිල්ලට ඌ ආසයි. බ්ලොග් ලිවිල්ලෙං මුණගැහුනු අපූරු යහළු යෙහෙළියන්ට ඌ කැමතියි. මේ බ්ලොග් ලිවිල්ල නිසාම මුණ ගැහිච්ච සමහර උන් දැන් උගේ හොඳම යාළුවෝ වෙලා. ශොට් එකක් දාලා කරට අත දාගෙන සින්දුවක් කියන්න තරමටම ලං වෙච්චි යාළුවෝ වෙලා.  ඌ පුළුවන් තරම් කාලයක් බ්ලොග් ලියන්න තීරණය කරලා ඉවරයි. පුළුවන් තරම් කාලය කියන එක හෙට උනත් ඉවර වෙන්න පුළුවන්. හරියට ඌට බ්ලොග් ලියන්න සිතුවිල්ලක් පහල වෙන්න හේතු වෙච්චි ටොපිය බ්ලොග් එකේ අයිතිකාරයා ඒක වහලා දැම්මා වගේ. බ්ලොග් වහන්නත් වැහෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අද ඇති වෙන්නත් පුළුවං හෙට ඇති වෙන්නත් පුළුවං. හෙට ගොඩාක් දුර වෙන්නත් පුළුවං. අවසානයේ මේ බ්ලොග් කරුමාන්තේ පටං ගන්න යන කවුරු හරි ඉන්නවනං ඌට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි..... "පරිස්සමෙන්! ඇබ්බැහි වෙයි!"


ප.ලි :
හැමෝටම සුභ නව වසරක් වේවා!!!!!




Related Posts Plugin for WordPress, Blogger...