පහුගිය දවසක අපේ ගෙවල් ළඟ පවුල් හතර පහක් එක්කහු වෙලා අපි ගියා ට්‍රිප් එකක් පොළොන්නරුව පැත්තේ. ඔය එක ගෙදරක කුළියට නැවතිලා රස්සාවට ගිය අයියා කෙනෙක් හිටියා. මිනිහත් පොළොන්නරුවේ. හැබැයි දැන් අවුරුදු ගානක ඉඳන් මෙහේ ජොබ් එක කරන නිසා අර ගෙදරම අවුරුදු කීපයක් ඉඳලම මිනිහා දැන් අපිත් එක්කත් ෆිට්. මිනිහගේ නම තමයි රංග. ඉතිං රංගයා කිය කියාමයි හිටියේ මිනිහා ඉන්නේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට පයින් යන දුරින් කියලා. ඇයි තව කියනවා "අපි ඔය පැළයක් හිටවන්න වලක් කපන කොටත් සෙල්ලිපි කෑලි මතු වෙනවා බං" කියලා එහෙම. ඔන්න ඒ හින්දම මිනිහව අපේ නඩේ ගුරා කරගත්තා.
හැබැයි රංගයා කිව්වා වගේම මිනිහාගේ ගෙවල් තිබ්බේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට හරිම කිට්ටුවෙන්. මිනිහාගේ ගෙදර පොඩි පොකුණක් හදලත් තිබ්බා. ඒකේ හරි මැද්දෙක් ලස්සනට කපපු කොටු කළු ගලක් තිබ්බ නිසා මාත් පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. අප්පට සිරි ඒකත් සෙල්ලිපියක්! ඉතිං කොහොම හරි මිනිහා ඒ කිට්ටුවෙන්ම අපිට නවතින්නත් හොඳ තැනක් සෙට් කරලා දුන්නා.
ඔන්න පළවෙනි දවසේ පොළොන්නරුවට එන ගමන් අතර මඟ සිද්ධස්ථාන වැද පුදාගෙන නවතින තැනට එනකොට රෑ 7.30 ට විතර ඇති. ඇඟටත් මාර තෙහෙට්ටුයි. තාත්තලා නම් පොඩි වොෂ් එකක් දාන් තෙහෙට්ටුව නිවා ගන්න හිතාගෙන බයිට් එක හදනවා. අපේ සෙට් එකත් තෙහෙට්ටු නිවන අරිෂ්ඨ ගෙනිහින් තිබ්බේ. ඒත් මඟ දිහටම ඇළවල් එහෙමත් පහු කරගෙන ආව නිසාම වෙන්න ඇති "මේ පැත්තේ ඇළක්වත් නැද්ද බං පනින්න" කියලා අපේ එකෙක් රංගගෙන් ඇහුවේ.
"අයියෝ බං දෙකේ ඇළ ඔය පොඩ්ඩක් ඉස්සරහින් යන්නේ. යමං ඕන්නම් නාගෙන එන්න" රංගයත් කිව්වා.
ඌ කිව්වට කරුවලේ නාන්න අපිට පොඩි බයකුත් තිබ්බා. අපේ එකෙක්ටවත් හරියට පීන ගන්නත් බෑ. ඇරත් අම්මලා සුවර් එකටම දෙන්නේ නෑ රෑ ඇළේ බහින්න.
අපේ සෙට් එකේ ප්‍රදීපයා නොදන්න තැන් වල කළුවලේ නෑම වගේ ත්‍රාසජනක වැඩ වලට යන්න බයයි. ඒක නිසාමයි ඌ රංගයාගෙන් ඇහුවේ.
"යකෝ මේ කරුවෙලේ උඹනම් පීනයි මාළුවා වගේ අපිට පීනන්නත් බෑ මොනවා හරි උනොත්. ඕක කොච්චර විතර ගැඹුරුද?" කියලා.
"අයියෝ චූට්ටයි ගැඹුරු. මගේ පපුව ගානට වතුර බං. බය වෙන්න දෙයක් නෑ" රංගයත් කිව්වා.
පස්සේ කොහොම හරි කට්ටියම කතා වෙලා අම්මලාට නොකියා අපි තාත්තලාට කියලා යමු කියලා කතා වුනා. අපි රංගයාටම කිව්වා තාත්තලාට කියපං කියලා. මිනිහා කිව්වාම ඉතිං තාත්තලාට විස්වාසයිනේ. ඇයි මේ මිනිහාගේ ගමනේ.
"අයියෝ බයවෙන්න දෙයක් නෑ මේං මෙතෙන්ට වතුර" තාත්තල ඇළ කොච්චර ගැඹුරුද ඇහුවාම රංගයා කිව්වේ බුරිය හරියට අත තියලා පෙන්නලා.
ඇළ ගාවට යන ගමන් ප්‍රදීපයා කිය කියා ගියේ "මූ කිව්වාට මම මුලින්ම ඇළට බැහැලා බලන්නම් ඒක ගැඹුරුද කියලා"
අපිට කොහොමත් ප්‍රදීපයාව සුවර්. ඌ බොහොම පරිස්සමට පිළිවෙලට වැඩ කරන එකා. ඒ මොනවා කිය කිය ගියත් ප්‍රදීපයා හිමීට ඇඳුම් ගලවලා නවලා පැත්තකින් ලස්සනට තියන අතරේ චම්පකයා ඇළේ පඩි දිගේ බහින්න ගත්තා. මිනිහා තුන් වෙනි පඩියට බැහැලා හතර වෙනි පඩියට බහින්න බැලුවා.
"යකෝ මේකේ හතර වෙනි පඩියක් නෑ. තුන්වෙනි එකත් කැඩිලා එකෙක්ට විතරයි හිටගන්න පුළුවන්" කියලා ගොඩට ආවා. ප්‍රදීපයා තාමත් ඇඳුම් නමනවා.
"අපෝ උඹලා ගෑනු වගේනේ" කියලා රංගයා පැන්නා ඇළට ජබෝස් ගාලා. ඌට මොකද ඌ පීනනවා ඇළේ ඒ කොනේ ඉඳන් මේ කොනට.
ප්‍රදීපයා පරක්කු නිසා මම ගියා ඇළේ ගැඹුර බලන්න.
පළවෙනි පඩියට බැස්සා. කකුළේ විලුම්බෙන් පොඩ්ඩක් උඩට වතුර. දෙවෙනි එකට බැස්සා. දණිස්ස ගාවට වතුර. තුන් වෙනි එකට බහින්න බැළුවා. අප්පා ඒක කැඩිලා ගිහින් අඩි 2ක් වත් දිහ නැති කෑල්ලක් විතරයි. ඒකටත් බැස්සා. බුරිය ගාවට වතුර. හතර වෙනි පඩියට අඩිය තියන්න බැළුවා හුටා! එහෙම එකක් නෑ. ඇළේ පතුලවත් අහුවෙයිද බැළුවා ඒත් නෑ. මමත් ගොඩට ආවා. රංගයානම් අපිට හිනා වෙවී පීනනවා.
"මේ උඹ ඔය ඉන්න හරිය කොච්චර ගැඹුටද" අපිට වඩා මීටරයක් විතර එහායින් හිටපු රංගයාගෙන් ප්‍රදීපයා ඇහුවා.
"ඕං බලාගනින්!" රංගයා එක අතක් උස්සන් වතුර යටට ගියා. අපිට උගේ අතින් පෙනුනේ අල්ල විතරයි.
"අන්න එච්චරයි ගැඹූරු" රංගයා වතුරෙන් මතුවෙලා වැඩ කාරයා වගේ කිව්වා.
"ඈ යකෝ තෝ කිව්වා නේද පපුව හරියට වතුර තියෙන්නේ කියලා?" දර්ශනයට නම් තරහා ගිහින්ද මන්දා.
කොහොම හරි ප්‍රදීපයා දෙවෙනි පඩියේ ඉදන් ලාවට ඇඟ තෙමා ගත්තා. මමයි අනිත් උන් දෙන්නයි සැරෙන් සැරේට තුන් වෙනි පඩියට බැහැලා ලාවට ඇඟ තෙමා ගත්තා. රංගයානම් පීන පීන අපිට විහිළු කර කර ඉන්නවා. ඒ ගමන් මූ අපි නාන තැනට පොඩ්ඩක් එගා ඉවුර අයින පෙන්නලා කියනවා
"අන්න අතන තමයි බං ගිය මාසේ ට්‍රිප් එකක් ආව පොඩි කෙල්ලෙක් මේක් ගිලිලා මැරිලා හිටියේ"
ඒක ඇහුව වෙලේ ඉඳන් ප්‍රදිපයා "යං යං" ගගා කෑ ගහන්න ගත්තු නිසා අපි ගොඩට ආවා(කොහොමත් ගොඩ තමයි හිටියේ). එන ගමන් ඉතිං රංගයාට බැනුම් ගොඩයි. ඒ අස්සේ රංගයා කියනවා.
"නෑ බං මමත් මේ මෙතනට නාන්න ආවේ අවුරුදු 15කින් විතර බං. නැත්තම් මම යන්නේ අපේ ආච්චිලාගේ ගේ ගාව තැනට. එතන රෑට පට්ට කළුවරයි. ඒකයි මම උඹලව මෙතන්ට එක්කං ආවේ. හරි අපි හෙට රෑට එතනට යමු"
"එතන කොච්චරද බං ගැඹුරු මෙතනට වඩා චූට්ටක් ගැඹූරුද?" මං ඇහුවා.
"යකෝ උඹ දැන්ද කියන්නේ අවුරුදු 15 කින් එතන නාලා නෑ කියලා? අපේ එකෙක් එහෙම ගියානම්" ප්‍රදීපයාට ඒ පාරනම් සිරාවටම කේන්ති ගිහින්.
"උඹලගෙන් එකෙක් ගියානම් මම කියනවැයි මම මෙතන අවුරුදු 15 කින් නෑවේ නෑ කියලා. ඇරත් ගොඩ නාන උන් කොකොමද ඇළේ ගහගෙන යන්නේ" රංගයා කිව්වා.
ප.ලි :
මට ඔය වැඩේම මගේ නෑ වෙන මල්ලි කෙනෙකුත් කළා අර සුන්දර ගම්මානෙට ගිය වෙලේ. රෑ ගියා නාන්න ගේ ඉස්සරහින්ම යන ඇළට. ඒකට බහින්න පඩි තිබ්බෙ නෑ. බැස්ස ගමන් මගේ බෙල්ල ගාවට වතුර. ඒකනම් අවුලක් නෑ. වැඩේ කියන්නේ ඒකේ මාර වේගෙන් වතුර එනවා. මම පැත්තට හිටගෙන නෑවේ. වතුරට ලම්භකව(මෙතෙනට දාන්න සාමාන්‍ය වචනයක් හොයාගන්න බැරි උනා) හිටගන්න බෑ ගහගෙන යනවා. පස්සේ නාලා ගොඩට එනකොට අරූ මම නෑව තැනව මීටර් තුන හරක් ඈත තැනක් පෙන්නලා මට කියනවා "ආං අර හරිය ඔයා වගේ දෙකක් විතර ගැඹූරුයි" කියලා. අන්න එවෙලෙනම් මට &$%$#^&@##.
කොහොම උනත් කියන්න ඕනෙම දෙයක් තියනවා. තෙහෙට්ටු වෙලාවක ඇළකට බැහැලා නෑවාම තියන සනීපේ අපිට කවදාවත් ෂවර් එකකට ඔළුව අල්ලලා ලබාගන්න බෑ!
මෙහි එන නම් ගම් සහ කතාව ඇතුළු සියල්ල සත්‍ය වේ!
[පින්තූරෙ - http://www.turnbacktogod.com/wp-content/uploads/2008/07/sacred-jordan-river-0106.jpg]