Tuesday, July 5, 2011

සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද".......


මට මුලින්ම නින්ද නොයන ලෙඩේ එන්නේ උපෙ කරන්න මාස 7කට විතර කලින් කෙනෙක් හින්දා. අන්තිමේදී මට එයාව ලැබුනෙත් නෑ නින්ද ලැබුනෙත් නෑ. උපෙ ලං වෙන්න ලං වෙන්න හිතේ තිබ්බ බයටද කොහෙද රෑට නින්ද ගියේම නෑ. උපෙ ඉවර වෙලා තවත් අවුරුද්දක්ම ඔය ලෙඩේ අල්ලලා හිටියේ දෙවෙනි පාරටත් උපෙ කරපු නිසා. හැබැයි දෙවෙනි පාර උපෙ කරන කොට මාව මහා නරක පුරුද්දකට ඇබ්බැහි වුනා. ඒ තමයි බස් වල යනකොට නින්ද යන එක. රෑට නින්ද යන්නෙත් නෑ ඇඳේ පෙරලි පෙරලි රෑ 1 විතර වෙනකම් ඉඳලා තමයි නින්ද යන්නේ. ආයේ උදේ 4ට නැඟිටලා රිවිසන් පන්ති යනවා. පාන්දර 5.30 විතර පිළියන්දලින් බස් එකේ නැඟලා ඉඳගත්ත ගමන් අප්පේ නින්ද යන අපූරුව. ජනේලේ අයිනේ හුළං වැහි වැදී හරි අපූරුවට නින්ද යනවා. කොහුවලදී යාළුවෝ ඇහැරවන නිසා බයත් නෑ. (ඔය පන්ති යාමත් හරි අපූරු කතාවක් ඒකත් වෙන දවසක කියන්නම්කෝ)

කොහොමින් කොහොම හරි රෑට නින්ද නොයන ලෙඩේ හොඳ වෙන්නේ දෙවෙනි පාරට උපෙ කරලා ඉවර වුනාට පස්සේ. මොකද මම තදින්ම හිතාගෙන හිටියේ දෙවෙනි පාරටත් උපෙ ඇනගත්තත් ආයේනම් ඒ කරුම විභාගේ කරන්නේ නෑමයි කියලා. ඇත්තමයි උපෙ ඉවර වුනාට පස්සේ මගේ ඔළුවේ තිබ්බ ලොකූ බරක් නැති වුනා වගේ තමයි මට දැනුනේ. ඒක නිසාම වෙන්න ඕනේ මට ආයෙත් යස අපූරුවට රෑට නින්ද යන්න ගත්තා. ඇඳට යනවා විතරයි මතක. 

එහෙම ගිහින් ආයෙත් මාස හය හතකට පස්සේ ඔන්න ආයෙත් මම ගිලිනවා බොරුව කියන මී පැණි තවරපු ආදරේ කියන හක්ක පටස් එකක්! ඔන්න ආයෙත් රෑට නින්ද නෑ. හැබැයි ඒ නම් රෑට මල් කඩපු නිසා. ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පිපුරුවා. ඒකෙනුත් අන්තිම මාසෙම විතර පුපුරන බව දැන දැනම ඔහේ හැපුවා. ඒ අන්තිම මාසේ ඕක පිපුරුවාම වෙන දේ ගැන හිත හිතා ඉඳලම එපාම වුනු නිසා වෙන්න ඇති පුපුරලා සතියක් විතර යනකොට ඔන්න ආයෙමත් යස අපූරුවට රෑට නිදාගන්න පුළුවන් වුනා.

දැන් තත්වය කියනවනම් බොහොම භයානක තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. මොකද කියනවනම් මට දැන් ඇඳට යන ඕනෙම වෙලාවක විනාඩි කීපයක් ඇතුලත බොහොම හොඳට නින්ද යනවා. ඒ විතරක් නම් මදෑ මට ඇඳේ නිදා ගන්නවට වඩා හොඳට බස් වල නින්ද යනවනේ. උදේ, දවල්, හවස ඕන වෙලාවක බස් එකේ වාඩි වෙන්න විතරයි ඕනේ.... විනාඩි පහෙන් මම නිදි. වැඩේ කියන්නේ ගිනි ගහන අව්වේ දවල් දොළහට දාඩිය පෙරාගෙනත් මම නිදි. එක දවසක් කෙල්ලෝ ගොඩක් හිනාවෙනවා හීනෙන් වගේ ඇහෙනකොට මම ඇහැ ඇරලා බැලුවා. මේං කෙල්ලෝ සෙට් එකක් මං දාඩිය පෙරාගෙන නිදා ඉන්න දිහා බලං හිනාවෙනවා. එදානම් මට ඊට පස්සේ උන් බහිනකම්ම නින්ද ගියේ නෑ. එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එකකගේම හිනාවට ලක්වුනු පළවෙනි වතාව. 

ප.ලි: කොච්චර බස් එකේ නින්ද ගියත් මට නින්ද නිසා බස් එකෙන් බහින තැන පහුවුනේ තාම එකම එක පාරක් විතරයි! 


උපෙ යනු උසස් පෙළ යන්නයි. 



[පින්තූරෙ - http://www.petmonologues.com/pet022207/wp-content/uploads/2007/10/cat-sleep1.jpg]

31 comments:

  1. බස්වල නින්ද යන එක ගැන නම් ආයෙ කතා කරල වැඩක් නෑ... ඕන වෙලාවක වාඩි වුන සැනින් නින්ද යනව... මම හිතන්නෙ ඕක ජොබ් කරනකොට හැදෙන ලෙඩක්... එහෙම නැත්තන් ලොකු ටෙන්ෂන් එකක් එක්ක ජීවත් වෙනකොට වෙන දෙයක්... (කම්පුයුටර් ෆීල්ඩ් එකේ අයට වැඩීද මන්ද?...)

    ReplyDelete
  2. හා හා මෙන්න මගේ යාලුවෙක් . කොට්ටාවේ සිට ටවුන් හෝල් දක්වා ට්‍රැෆික් එකටත් එක්ක ගාතෙන පැය එකහමාරක විතර කාලය සුවසේ නිදා ගත් කෙනෙක් මන් .[ ජැක්සන් කෙනෙක් ළඟ හිටියොත් හැර .]

    ReplyDelete
  3. මම නම් කොහොමත් රෑ 1-2 වෙනව නිදාගනිද්දි. උදේ 7.30 තමයි නැගිටින වෙලාව. වැඩට ගිහින් ඇවිත් හවසත් පැයක විතර නින්දක් දානව සමහර විට. ඒවට අමතරව දවසක්ම නිදාගන්න වෙලාවලුත් නැතිව නෙවෙයි. ඒ වෙලාවට වැඩ ගැන හිතන්නෙ නෑ. ෆෝන් එකත් පැත්තක... කොහොම නිදාගත්තත් අවට ලෝකෙන් ටිකක් ගැලවිලා ඉන්න තියෙන නින්ද කියන එක තරම් වටින දෙයක් ලේසියෙන් හොයාගන්න අමාරුයි!

    ReplyDelete
  4. නිදිපෙති ටිකක් බීලා දාන්න...

    ReplyDelete
  5. Gimhani
    බස්වල නිදා ගත්තට කමක් නෑ එත් ගෑනු ලමයින්ගේ කරට
    එහෙම හේත්තු දානව හෙම නෙවේ ඔන්න

    ReplyDelete
  6. මෙයා නම් මේ නින්ද ගැන නෙමේ කියල තියෙන්නෙ, මෙයා ආයෙම වේකන්ට් කියල, කැමති අයට අප්ලඊ කරන්න වෙකන්සියක් තියනවා කියල ...;-) hikiz

    ReplyDelete
  7. මේක මාරම සීන් එකක් නේ. ඔය උසස් පෙළ කරන කාලේ මටත් ඔහොම නින්ද ගියේ නෑ. විභාගේ ලං උනාම ඒක ගොඩක්ම වැඩි උනා.
    බස්වල නිදාගන්නවා කිව්වම පොඩි කතාවක් මතක් උනා.
    එක මනුස්සයෙක් කොළඹ ඉදලා කුරුනෑගල යනවලු වැඩට. දවසක් අපේ යාලුවෙක් ලඟ ඒ මනුස්සයා වාඩි වෙලා මේකාට කියනවලු "මාව කුරුනෑගල හරියෙන් නැගිට්ට වන්න" කියලා. මගේ යාලුවත් හා කියලා කිව්වා ලු. ඊට ටික වෙලාවකට පස්සේ ආයෙමත් කියනවලු කුරුනෑගලදි නැගිට්ටවන්න කියලා.
    අපේ යාලුවත් හා කිව්වලු. ටික වෙලාවකට පස්සේ ආයෙමත් අර ප්‍රශ්නේ අහනවලු. මේකට තද වෙලා ඇහුවලු "අයියා අදමද කුරුනෑගල යන්නේ " කියලා.

    අර අයියත් කියනවලු "මල්ලි මම හැමදාම කුරුනෑගල යනවා. ඒත් මගදි බස් එකේ නින්ද ගිහින් ඇහැරෙන්නේ ගල්ගමුව හරියෙන් !!!! ආයෙමත් කොළබ බස් එකෙන් එනකොට පොල්ගහවෙල හරියෙන් තමා ඇහැරෙන්නේ !!!!" කියලා කිව්වලු.

    ReplyDelete
  8. සාතන් : අපි ඔක්කොම එක බෝට්ටුවේ එහෙනම් ඈ :))

    ----------------------------------------------------------------------------------------------------------

    Bindi : ජැක්සන්ලා! =))

    ----------------------------------------------------------------------------------------------------------

    hare :-) : සහතික ඇත්ත බං! :)

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : ඇ බං නිදි පෙති නොබී මෙහෙමත් නින්ද යන එකේ තව නිදි පෙති බිව්වනම් කොහෙද :))

    ----------------------------------------------------------------------------------------------------------

    Gimhani : නෑ නෑ එහෙම කරන නරක ළමයි හෙම නොවේ අපි :D

    ----------------------------------------------------------------------------------------------------------

    Ano : අන්න බලන්න ඔයාට වගේ දැනුමක් මේවා කියවන හැමෝටම නෑ. ඇත්තනම මයා වගේ බුද්ධිමත් එක්කෙනෙක් හරි මගේ බ්ලොග් එක කියවන එක ගැන මට මාරම සතුටක් දැනුනේ :)
    ඉතිං එහෙනම් දන්න කියන අයට කියන්න ඇප්ලයි කරන්න කියලා හොඳේ
    ඒත් ඉතිං ඕක කියන්න ඇනෝ ආවේ ඇයි? ඇත්තම නමින් ඇවිත් කිව්වනම් කොච්චර ලස්සනද? :D

    ReplyDelete
  9. නින්ද, හ්ම් මේ ගැන කතා කලොත් මට නම් නින්ද පිළිබඳ එච්චර ගැටලුවක් නැහැ.. හොඳට නින්ද යනවා ..ඔය කියන උපෙළ කාලේ උනත් මම උපරිම හිටියේ 12 වෙනකල් ..... ඒ කාලේ විදුලිබලය එහෙමත් කපන කාලයක් :DD

    මට නින්ද පිළීබඳ ගැටලුව එන්නේ පිට තැනක ගිහින් නිදාගන්න හැදුවොත් ..නින්ද යන්නෙම නැහැ. පුරුදු වෙච්ච තැන නැතුව නිදිය ගන්වා කියන්නේ මහා අමාරු දෙයක් ..

    ආ තව දෙයක් නෙට් එක දාලා තියෙන්න ඕනේ/ පොරවන සීට් එක තියෙන්න ඕනේ අනිවා - හැබැයි නෙට් එකෙ අතුලේ මදුරුවෝ හිටියාට අවුලක් නැහැ ...ඒ වගේම සීට් එක පොරවන්නෙත් නැහැ කවදාවත් :DDD


    බස් වල නින්ද ගැන කතා කලොත් ..මටත් බස් එකේ නින්ද යනවා හැබැයි කලෙන් කාලේට ..ඔන්න මේ කාලේ කොටුවේ ඉඳලා නවලෝකේ ලඟට එන ටික දුරටත් මම දොයි ....

    සමාන්‍යෙයන් මම 11 වෙන කොට දොයි :DD

    ReplyDelete
  10. ඔය මොනවත් ඕනෙ නැ,ඇදට ගිහින් පොතක්,පත්තරයක් කියවන්න ගත්ත නම් විනාඩි 5න් නින්ද යනව.

    ReplyDelete
  11. නින්ද..හප්පා..මගේ ජවිතේ අමිහිරිම වචනයක් ඔය...

    දැන් උනත් දවසකට පැය 4යි නිදියන්නේ... අනිත් ටික ඇහැරිලා..ඒ පැය හතරත් කෑලි දෙකකට තුනකට කඩලා නිදා ගන්න දවසුත් තියෙනවා..ඒත් ඉදලා හිටලා කොහොම හරි පැය 6ක් විතර නිදියන දවසුත් තියේ...

    වැඩේ තියෙන්නේ කලින් නිදා ගත්තොත් ඒ කියන්නේ 10 ට විතර නිදා ගත්තොත් අනිවාර්ය යෙන් රෑ 2න් පස්සේ ඇහැරිලා.. ඒ හින්දා කොහොම හරි 12-1 වෙනකල්වත් ඉදලා තමි හැමදාම නිදා ගන්නේ..
    බස්වල යනකොට නිදා ගන්න එක කොයි තරං සෝක්ද අප්පා... ඉස්සර මං හිච්චි එකා සංදියේ නිදියන තරමක් නිදියන්නේ එහෙමනේ..එක දවසක්නං මට කෙල උනා..ඒත් බස් හෝල්ට් 4ක් විතර තමා..

    @වැප්.. 11ට.. ඒ කියන්නේ පැය බාගෙකින් ජාතිය ගොඩ දැමීම කල් දාලද..?

    ReplyDelete
  12. //ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පිපුරුවා. ඒකෙනුත් අන්තිම මාසෙම විතර පුපුරන බව දැන දැනම ඔහේ හැපුවා.//පූසා මල්ලිගේ භාෂා විලාසය නම් අපරාදේ කියන්ට බෑ එන්ට, එන්ටම ලස්සන වෙනවා.

    විහිලුවට නෙමේ ඇත්තම ඇත්තයි.

    ඉතින් මීට පස්සේ ඔය "බොරුව කියන මී පැණි තවරපු ආදරේ කියන හක්ක පටස් එකක" පැටෙලෙන්නේ නැතුව ඉන්ටකෝ...:)කොහොමටත් 2012 වෙනක් හොඳ නෑ කියලා කවුරු හරි රිෂිවරයෙකුත් කියලා තිබුනා නේ...:)

    ReplyDelete
  13. /එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එකකගේම හිනාවට ලක්වුනු පළවෙනි වතාව./
    කෙල්ලො හිනා උනා කියලා දැක්ක පළවෙනි වතාව. අනිත් වෙලාවලදි මෙයා කෙල බේරගෙන කට ඇරගෙන නිදිනෙ. කෙල්ලො හිනා උනා නෙමෙයි බස් එකෙන් ඇදල දම්මත් දන්නවයැ. මටත් බස් වල නිදාගෙන පුරුදු වෙලා බස් එක ස්ටෑන්ඩ් එකෙන් අද්දනකොටම මම නිදි.

    ReplyDelete
  14. 10.30 ඔෆ්ලයින් ගියාට ....... :DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD 11 වෙනකල් ඉන්නවා

    ReplyDelete
  15. මටනම් බස් වල නින්ද යන්නේ නෑ.... අනික පිට තැනකට ගියාම නින්ද යන්නේ නෑ කොහොමටවත්ම... එක එක බහුබූත හිතෙනවා.. හොල්මන් හෙවනැලි පේනවා.... හිකිස්‌... අනික මට දොයියනකොට තුරුළු කරගන්න පුංචි කොට්ටයක් තියෙනවා එක නැතුව නින්ද යන්නේ නෑ... :D මොන නිදිමත තිබ්බත් පොතක් අරන් ඇඳට ගියොත් නිදිමත යනවා.... හැබැයි පැයකට විතර පස්සේ දන්නෙම නැතිව නින්ද ගිහින්... ;)

    ReplyDelete
  16. (:| (:| (:| (:| (:| (:| (:| (:|
    අහා.. ඔය නිදා ගත්ත කථා කියනකොටත් මටත් ටිකක් නින්ද යනවා..
    (:| (:| (:| (:| (:| (:| (:| (:|

    ReplyDelete
  17. ආහ්.. නින්ද මගේ හොඳම විනෝදාංශය.. බස්වල නින්දනම් අප්පිරිය වෙන්නේ නම් බ්‍රේක් ගහන ගහන සැරේට ඔළුව අරෙහෙ මෙහෙ වදින හින්දා... නැත්තම් ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..

    ReplyDelete
  18. හයියෝ මම උපෙ කරන කාලෙ තමා වැඩියෙන්ම නිනද ගිය කාලෙ.අම්මා කොනිත්තලා ඇහැරවන්නෙ පාඩම් කරපං කියලා. :D

    ReplyDelete
  19. දන් නම් බස් එකේ නිදාගන්න පුරුද්දනම් මට බොහොම දරුණුවට තියෙනවා.. ක්ලස් ඇරිලා නුවර ඉදලා මම බහින තැනට බස් එකේ එන්න විනාඩි විස්සක් විතර.. බස්එකට නැගලා නුවරින් බස් එක පිටත් වෙන්න කලින් මම නිදි.. :)) :))

    හැබැයි තාම එක පාරක්වත් බහින තැන නම් පහුවුනේ නෑ. මොකද මම සාමාන්‍යයෙන් ඉඳගන්නේ දොර ළඟම ෂීට් එකේ.. කොන්දා මහතා වැඩියෙන් කෑගහනවානේ ඉතින් පේරාදෙණියේදී දොරේ එල්ලිලා.. ඒ කෑගැහිල්ලට අනිවා මං ඇහැරෙනවා.. :D :D

    ReplyDelete
  20. අඩේ බස් වල නින්ද යන සීන් එක මටත් තියනවා.මොනවා උනත් අපි දැන් බස් පදින්න අරන් හැමදාම නිදාගන්නේ 12.00 ට 1.00 ට.මහා රෑ නිදි මරණ එකත් ආතල්.උදේට නැගිටින්න තමයි අමාරුව..එළාම් එක වදිද්දී ආයේ බැටරි ගලෝල නිදාගන්නවා.හැමදාම හවසට ගෙදර ඇවිත් හයි කරනවා.ඉස්සර ඉස්කෝලේ යද්දී බස් එකේ පොඩ්ඩක් නිදාගන්න නෑ ඇන්ටිලා, ආච්චිලා ඇහැරවනවා.පුතේ කොහෙන්ද බහින්නේ.ඇයි දෙයියනේ නැග්ග විතරයි බස් එකට පොඩ්ඩක් නිදාගන්න දෙන්නෙ නෑ..මං කියනවා තව දුර කියල..

    ReplyDelete
  21. මටත් ඔය රැට නිනද යන්නේ නැති අප්සට් එකනම් තියෙනවා.. උදේට ඉතින් නැගිටින්න ගියාම තමයි එපාවෙන්නේ රෑ වෙනකන් ඇහැරන් ඉදලා.. හැබැයි දෙයියනේ කියලා මට වාහන වල යද්දී නම් නින්ද යනවා අඩුයි..

    ReplyDelete
  22. ඕක ලෙඩක් නෙවෙයි පූසා..ඕක සියලු ලෙඩ නැසීමේ මග...හොඳට නින්දයනව කියන්නෙ සිත සැහැල්ලුයි...සිත සැහැල්ලුයි කියන්නෙ ලෙඩ අඩුයි...

    ReplyDelete
  23. දෙයියනේ කියලා මටනම් හොඳට නින්ද යනවා ඒත් මට අවේලාවේ නම් නින්ද යන්නේ නෑ ඒකීවේ මහ දවාලේ . උදේට හැන්දෑවට එහෙම නින්දය යනවා හොරයි . කෙටියෙන්ම කීවොත් මට නින්ද යනවා අඩුයි . මම කොහොමත් නිදාගන්නේ මහ රෑ 12 පහු වෙලා .

    ඒකට හේතුවක් තියනවා මගේ පලාතට ඉස්සර සිග්නල් අඩුයි . ඉතින් මම ජාල ගතවුනේ . පරන ඩයල් අප් එකකින් ඒකේ වේගය තියෙන්නේ රෑ 11 පැන්නට පස්සේ ඉතින් ජාලය නිසා මම නිසාචරයෙක් වුණා !

    ReplyDelete
  24. මධුරංග : උපෙ කාලේ නින්ද නොගියේ ටෙන්ශන් එක නිසා වෙන්න ඇති බං.
    ඈ එතකොට අර අංකල් අදාල තැනට යන්නේ කීයටද දන්නේ නෑ :D

    ----------------------------------------------------------------------------------------------------------

    වැප් : මටනම් ඉන්න තැනේ අවුලක් නෑ සොක් එකට නින්ද යනවා. පොරවන්නෙ නැත්තම් අහවල් එකටද බං රෙද්දක්!

    ----------------------------------------------------------------------------------------------------------

    නදී : පොතක් පත්තරයක් නෙමෙයි අක්කේ මටනම් අතට ගන්න ඕනේ පාඩම් පොතක්! අන්න නිදිමත එනවා පොත අතට ගන්නකොටම :))

    ----------------------------------------------------------------------------------------------------------

    මාරයාගේ හෝරාව : ඈ එච්චර අඩුවෙන් නිදා ගන්න කෙනා මක්කටද අර ඇඳක් එහෙම දාලා ලෑස්ති වුනේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami : බොහෝම ස්තූතියි අක්කේ වර්ණනාවට :)
    අනේ 2012 නම් කමක් නෑ. 2012 නෙමෙයි 2015 :-?

    ----------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : හිහී අන්න අක්කට පොඩ්ඩක් තේරුනා මම ලියපු කතාවේ හරිම තේරුම :D අනික කෙල්ලෝ සෙට් එකකට නොවුනට තනි කෙල්ලන්ගේ හිනාවට මම ඕනතරම් ලක්වෙලා තියනවා ඔය නින්ද නිසා ;;-)

    ReplyDelete
  25. හසී : ඕං බලමු එක එක අයට නිදා ගන්න ගියාම එක එක ප්‍රශ්න :))

    ----------------------------------------------------------------------------------------------------------

    චතුමිතු : ආ එහෙමනම් නිදිමත එන්නේ නැති වෙලාවට මේක කියවන්න :P

    ----------------------------------------------------------------------------------------------------------

    පුතා : එතකොට අර මල් පූජාවක් එහෙම තිබ්බාම හොඳට නින්ද යනවද බං

    ----------------------------------------------------------------------------------------------------------

    සීතල අයියා : ඒ කියන්නේ උඹලා උපෙට පොඩ්ඩක්වත් බය වෙලා නෑනේ......

    ----------------------------------------------------------------------------------------------------------

    චතුවා (ළමයා) : කොන්දා ගාවට වෙලා කොහොමද බං නිදා ගන්න ටික හරි නිදා ගත්තේ? :D

    ReplyDelete
  26. සිහින : උඹ ගිය බස් වල මාර හොඳ මිනිස්සුනේ ඉඳලා තියෙන්නේ. ඒකට අපි යන ඒවයේ... පිටකොටුවෙන් නවත්තලා ආයේ ආවත් කවුරුවත් ඇහැරවයිද මන්දා :D

    ----------------------------------------------------------------------------------------------------------

    Dinesh : රෑට නින්ද නොයන්නේ හිත කලබල නිසා. අත්දැකීමෙන් කියන්නේ!

    ----------------------------------------------------------------------------------------------------------

    kaviunda : ආයේ ඉතිං උඹ කියනවානම් පිළීගන්නම එපායැ :)

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස : ඕං බලපල්ලකෝ උඹලට නින්ද නියන්නේ වෙන හේතු නිසා. පේනවනේ මේ පැත්තේ කට්ටියට තියන ලෙඩ :))

    ReplyDelete
  27. මටනම් බස්වල නින්ද යන්නෙ නෑ. පූසොනම් ඉතින් ඕනෙ තැනක ඕනෙ වෙලාවක නිදියන්න හපන්නුනෙ.

    ReplyDelete
  28. මටත් තදටම තිබ්බ ලෙඩක් ඕක...ගිනි දවාලෙ බස් වල හෝ ගාල කිරා වැටෙනව, සෙනග පිරිච්ච 138 බස් එකක ඔහොම වෙනකොට ඉතින් විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැහැ...හැබැයි මොන තරම් ලැජ්ජ හිතුනත් ඊලඟ විනාඩියෙ ආපහු නිදි...:D

    මේ රටට ආවත් හරි බස් එකේ යන්නෙ නැති නිසා ඔය තත්වෙට නම් මුහුන දෙන්නෙ නැහැ...හැබැයි ලෙඩේ තාම එහෙමමයි, නැත්නම් ඊටත් දරුනුයි....දැන් කාර් එක ට්‍රැ‍ෆික් ලයිට් එකක නවත්තගෙන ඉන්න සමහර වෙලාවට තත්පර 30-45 නින්ද ගිහින් ගැස්සිල ඇහැරෙනව...

    ReplyDelete
  29. අනේ ඉතින් අපට ඇත්ත නම් නැහෙනෙ... බ්ලොග් කියවනවා එත් ලියන්නේ නෑ..කොමෙන්ට් කරන්න ඕන උනාම ඇනෝ වෙනවා. ;-)

    ඇත්ත නමින් ලියන්න කියල කියපු නිසා කිව්වේ ඔං..

    ReplyDelete
  30. නින්ද කියන්නේ මචං මහ අරුම පුදුම දෙයක්....අපිට නිදන්න ඕන නැති වෙලාවට(ඔය විභාග රස්නේ වැදුන වෙලාවට හිහි...අපි ඉතින් මාස ගණන් පාඩම් කොරන ළමයි නොවැ) ඕනවටත් වඩා හොඳින් නින්ද යනවා......නිදන්න ඕන වෙලාවට නින්ද අහලකටවත් එන්නේ නෑ.

    ReplyDelete
  31. නලිනි චන්දිමා : අක්කා බස් වල යනවද? :D

    ----------------------------------------------------------------------------------------------------------

    දිනිත් : අප්පොච්චියේ..... උඹට දැන් තියන ලෙඩේ නම් සෑ හෙන්න දරුණුයි. ඕක හොඳ වෙන්නේ දඩ කොලයක් ලියා ගත්තු දවසට තමයි :))

    ----------------------------------------------------------------------------------------------------------

    Ano : අයියෝ බ්ලොග් නොලීවට මොකද මේවයේ කමෙන්ට් කරන්න බ්ලොගර් එකවුන්ට් එකක් අටව ගන්ට. අද කාලේ ඇනෝ කමෙන්ට් දිහා කට්ටිය වපර ඇහින් බලන්නේ. මොකද හිටපු ගමන් ඇනෝ ඇවිත් කුණුහබ්බ කියනවනේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    මකුළුවා : ඒක නේන්නම් බං. මම ඔය මාතෘකාවෙනුත් කියලා තියෙන්නේ ඒක නොවැ :D

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...