Friday, September 7, 2012

අහම්බය...


ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන ඇසෙද්දීම සිතෙන්නේ එය කිසියම් අද්භූත බලවේගයක් නිසා සිදුවන බවයි. අද්භූත බලවේග විශ්වාස නොකරන මම, මාගේ ශබ්ධකෝශයෙන් 'වාසනාව' හා 'අවාසනාව' යන වචන කටුගා දමා ඒ වෙනුවට අහම්බය යන තනි වචනය භාවිත කරමි.

ඇය මා හමුවීමද අහම්බයකි.

එතරම් සෙනඟ නොමැති බස් ර‍ථයේ පිටුපසට වන්නට තනි ආසනයක මා වාඩිවී සිටිමි. ඇය ඉදිරිපස දොරටුවෙන් බසයට ගොඩ වූවාය. එක එල්ලේම මදෙස බැලූ ඇය, ඇස් ඉවතට නොගෙනම මදෙසට පිය නඟයි. ඇඟේ පැහැපත් මුහුණේ පැහැදිලි හැඟීමක් කියවීමට මා අපොහොසත් වූ අතර ඇය මට ඉදිරියෙන් වූ අසුනේ හිඳ ගත්තාය. බස් නැවතුම් කීපයක් පසු විය. අසුනෙන් නැඟී සිටි ඈ කුඩා කොල කැබැල්ලක් මා අත තබා ඊළඟ නැවතුමෙන් බැස ගියාය. එහි ඇත්තේ ඇගේ දුරකතන අංකයයි. 

කෙටි පණිවිඩ කිහිපයක් පමණක් වැයකොට පසු දින මුණ ගැසී විනාඩි කීපයක කතාවකින් අනතුරුව කුලියට ගත් කාමරයක පැයක් ගතකොට  පටන්ගත් අපේ සම්බන්ධයට නමක් නොතිබිණි. අපේ සම්බන්ධයට ආදරය යන නම යොදා අපවම රවටා ගැන්මට ඇයටත් මටත් උවමනාවක් නැත. ඇයට මගේ නමද මට ඇගේ නමද හැරුණු කොට අන්කිසිවක් දැනගැන්මටද උවමනාවක් නැත.

පාළු මං මාවත් වල, බොහෝ කලබල මුහුදු වෙරළ වල, චිත්‍රපට ශාලා වල, පැයකට වෙන් කරගත් කාමර වල දින සති ගෙවී යයි.
පැයක කාලය අවසන් වීමට තව විනාඩි පහළොවක් ඉතිරිය. මාද ඇයද ඇඳේ වැතිර සිටිමු. සිවිලිමේ එල්ලා ඇති හෙමින් කැරකෙන විදුලි පංකාවේ 'කරස්' 'කරස්' ශබ්ධය ඇසෙන තැන සෙවීමට මගේ දෑස් වෙහෙසෙන අතරතු....

"ඔයාට කෙල්ලෙක් ඉන්නවද?"  ඇය අසයි

"නෑ"

"වෙන්න බෑ..."

"ඇයි?"

"ඔයාගේ තොල් ලස්සනයි"

"එහෙනං ඔයාට කොල්ලෙක් ඉන්නවද?"

"නෑ... මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑනේ.."

"ඒ උනාට ඔයාගේ ෆිගර් එක ලස්සනයි"

"මං කිව්වේ මගේ තොල් ඔයාගේ තරම් ලස්සන නෑ කියලා"

"ඒ උනාට..........." වාක්‍යය නිමා කිරීමට ඇගෙ තොල් මගේ තොල් වලට අවසර නොදෙයි.

***********************

ආදරය යනු හිස් වචනය පමණක් බවට ඈ කරන තර්ක බිඳ දැමීමට මට නොහැකිය.

"ආදරේ කියලා දෙයක් නෑ. ඒක බොරුවක්"

"එතකොට අර පොඩි ළමයගේ අම්මාගෙයි තාත්තාගෙයි අතර තියෙන බැඳීම මොකක්ද?" තම සිඟිති දියණිය සමඟ මුහුදු වෙරළේ සෙල්ලම් කරනා තරුණ දෙමාපියන් දෙසට ඇඟිල්ල දික් කරමි. 

"ඒ ආසාව සහ බලාපොරොත්තුව"

"විකාර!"

"ඔව් එක විදිහක විකාරයක් තමා.... ඔයයි මමයි කාමරේකට යන්න තියෙන ආසාවම එයාලා ළඟත් ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාලගේ බලාපොරොත්තුව තියෙන්නේ අර හයක් හතරක් නොතේරෙන පොඩි ළමයා ගාව."

"ඒ කිව්වේ?"

"ඒ කිව්වේ ඒ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා තමන්ට තනියම යමක් කරන්න බැරි කාලෙට ඒ ළමයා ඒ අයව බලා ගනී කියලා"

"ආත්මාර්ථකාමී නේ!"

"ඉතිං හැමෝම එහෙම තමයි. ඔයයි මමයි උනත්"
මම නිශ්ශබ්ධ වීමි.

***********************

රෑ එළිවෙන තුරු කරන දුරකතන සංවාද අප අතර නැත. යළිත් මුණ ගැසෙන තැනක වෙලාවක් ස්ථිර කරගැනීමට දින කිහිපයකට වරක් කෙරෙන මිනිත්තු තුන හතරක සංවාදයක්, කෙටි පණිවිඩ දෙක තුනක් පමණි. නමුත් ඇය මා මුණ ගැසුන විට අපි ගැන අඩුවෙන්මද තව බොහෝ දෑ ගැන ද සාකච්ඡා කරමු.

"දන්නවද වැඩක්?" මම අසමි.

"නෑ"

"අද මගේ උපන්දිනේ"

"මොන අවුරුද්දෙද?"

"අසූ නමයේ"

"අපෝ පොඩි එකෙක්නේ!"

"ඇයි ඔයා කීයෙද?"

"අසූ හයේ"

"නාකි ගෑණියෙක්!"

***********************

අපේ නිර්ණාමික බැඳීමේ පුද්ගලික තොරතුරු හුවමාරුව අල්ප වීම මත අප අතර විඳවීම් ඇත්තේම නැත. ඇත්තේ විඳීම් පමණි. නමුත් මහා ලේඛකයන් කියන පරිදි ආදරය යන බැඳීම ශක්තිමත් වන්නේ ප්‍රශ්න ගැටළු ඇති විටය.  ප්‍රශ්න ගැටළු නැති අපේ නිර්ණාමික බැඳීම ශක්තිමද්ද නැද්ද යන්න අපි නොදනිමු. එය දැනගැන්මට අපට උවමනාවක්ද නැත.  ශක්තිමත් වූ බැඳීම් යනු හිතට වේදනාවක් පමණකි.

කාමරයක ගතකළ පැයක් අවසානයේ අප නිවෙස් බලා යන මොහොත පැමිණ ඇත.

"අපේ ගෙදරින් මට මනමාලයෙක් හොයලා"

"ඔයා කැමතිද?"

"ඔව්! ඒ හින්දා මට ආයේ එන්න වෙන්නේ නෑ. මම නොම්මරෙත් මාරු කරන්න හිතාගෙන ඉන්නේ"

"නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"

"ඒ ඔයානේ..."
කිසිඳු හැඟීමකින් තොරව ඈ යන්නට යයි.

"මේ දන්නවද?" පියවර කීපයක් ගිය ඈ ආපසු හැරී කතා කරයි.

"නෑ"

"එයාගෙත් තොල් ලස්සනයි!"
සියුම් සිනහවක් ඇගේ මුවේ ඇඳිනි. නැවත ගමන පටන්ගත් ඈ යන්නටම ගියාය.

ඇය මා හමුවීම මට යහපතක් හෝ අයහපතක් නොවූ තැන, ඒ හමුවීම නිකම්ම නිකම් අහම්බයක් පමණකි. නමුත් අපූරු අහම්බයකි!





55 comments:

  1. ෂා! මාරයි....
    බුදු දහමටත් එකඟයිද මන්ද...ඒ වගේ දැනුන...බැඳීමක් නැහැනෙ..
    දුකකුත් නෑ...විඳින මොහොතෙ පමනයි
    ජය!

    ReplyDelete
    Replies
    1. හැමදේම ආගමෙන් පහදන්න යන්න එපා!

      Delete
  2. අහම්බයත් නරකම නෑ එහෙනම් !

    ReplyDelete
    Replies
    1. අහම්බය නරක නෑ අයියේ.. අහම්බෙන් එකක් සෙට් වුනොත් නරකද??

      Delete
    2. හොඳ, නරක සාපේක්ෂයි!

      Delete
  3. විවාදාත්මක විදියටනෙ පලවෙනි ඡේදයම පටන් අරන් තියෙන්නෙ. ඉස්සර සිංහල විවාද මතක් වුනා.
    තොල් යනු පෙම්වතෙකු හෝ පෙම්වතියක සොයාගැනීමට අත්‍යාවශ සාධකයකි!!

    නියමයි පූස්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි අයියේ!

      Delete
  4. මාර අහම්බයක්....නියාම පොස්ට් එක පුස්...:)

    ReplyDelete
  5. අහඹු හමුවීමක් . ලස්සන නිමාණයක් . ඒත් ඇත්තටමත් මෙහෙම දෙවල් වෙනව ඇති .

    ReplyDelete
    Replies
    1. "ඇත්තටමත් මෙහෙම දෙවල් වෙනව ඇති"
      අනිවාර්යයෙන්ම!

      Delete
  6. ""පැයක කාලය අවසන් වීමට තව විනාඩි පහළොවක් ඉතිරිය. මාද ඇයද ඇඳේ වැතිර සිටිමු"" ශික් 45mnt වලින් වැඩේ ඉවරද???

    ReplyDelete
    Replies
    1. මම කියවපු පොතක තිබුන විනාඩි 11ක් විතරයි යන්නෙ කියල. අනේ මම නම් දන්නෙ නෑ ඔව්ව

      Delete
    2. ඔය කියන්නේ “මිනිත්තු එකොළහ“ පොත වෙන්නැති.

      Delete
    3. රුචා කියන විදිහට ගත්තොත් වැඩේ හතර පාරක් කරලා මහන්සි හරිනවද දන්නෑනේ!

      Delete
  7. පුංචි කම්පණයක් :) ජීවිතේ ඇත්තටම ආදර කියන හැඟීම නොලද අය තුළ ඉතිරි වෙලා තියෙන්නේ ආශාව විතරද ? මට පුදුමයි ඒ කෙල්ල ගැන ආදරයක් නැතිව කා එක්කවත් නිදි වදින්න පුඵුවන් කොහොමද ? පිරිමින්ට නම් ඒවාට මේ සමාජය තුළින්ම නිදහස දීලා තියෙනවානේ ඒවාගේම පුරුෂ පාර්ෂවයේ ශාරීරික අවශ්යතාවයන් ස්ත්‍රීන්ට වඩා ගොඩක් වෙනස්නේ...
    මේ අහම්බය තුළ වේදනාව නැති එක ගැන නම් මං කැමතියි :)

    ReplyDelete
    Replies
    1. "මට පුදුමයි ඒ කෙල්ල ගැන ආදරයක් නැතිව කා එක්කවත් නිදි වදින්න පුඵුවන් කොහොමද ? පිරිමින්ට නම් ඒවාට මේ සමාජය තුළින්ම නිදහස දීලා තියෙනවානේ"

      පිරිමින්ට ඇති ගැහැණුන්ට නැති ඒ නිදහස මොකක්ද? අපේ රටේ ගැහැණුන්ගේ ඔළුවට ඔය අදහස ඔබ්බවන්නේ කවුද මන්දා....සංස්කෘතියද? ගැහැණු පිරිමි බේදයක් නැතිව ආශාවල් සහ හැඟීම් ඇති වෙනවනම් ඇයි එක කට්ටියකට විශේෂයක්?

      Delete
  8. සුපිරි.

    "නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"
    "ඒ ඔයානේ..."

    ReplyDelete
  9. ෂා නියම ලිපියක් මම දැක්ක

    ReplyDelete
  10. හෙම්...ජිවන ගඟේ තවත් වක්කලමක්....

    ReplyDelete
  11. "ආදරේ කියලා දෙයක් නෑ. ඒක බොරුවක්" පට්ට පල් ඇත්ත පූසො.... ලිවිල්ල නියමයි...

    ReplyDelete
    Replies
    1. ඔය අපිට සාපේක්ෂවනේ මචං. තව කෙනෙක්ට ඔයිට එහෙම්පිටින්ම විරුද්ධ මතයක් තියෙන්න පුළුවන්! :)
      ස්තූතියි!

      Delete
  12. සමහර දේවල් වෙද්දි හෙණ අාතල් වගේ හිතුනට වෙලා ඉවරඋනාට පස්සෙ වෙච්ච දෙයක් නෑ!

    ReplyDelete
    Replies
    1. තවත් සමහර වෙලාවට ඇති දෙයක් නෑ වගේ උනාට ඇතුලේ සෑහෙන්න දෙයක් තියෙන්න පුළුවන්! :)

      Delete
  13. මොකද බොල බොට යහපතක් උනේ නෑ කියන්නේ? වියදම අතින් බැලුවත් කීයක් නම් කියලා ඉතුරු උනාද?

    ReplyDelete
    Replies
    1. සබ්ජෙක්ට් එකේ ඉන්න උනුත් දන්නෑ වගේ රඟපාන එකයි අවුල! ආ... සමහරවිට උඹ නිතරම යන නිසා දැන් රූම් එකට ගාන ගන්නැතිව ඇති නේ? :D :D

      Delete
  14. හැම අහම්බයක්ම මේ විදියනම්.. අහම්බයට මම පට්ට ලයික්

    ReplyDelete
    Replies
    1. හැම අහම්බයක්ම එකමවගේ උනොත් ඒකත් පුදුම අහම්බයක්!

      Delete
  15. නියම ලියවිල්ල පූසා :)

    ReplyDelete
  16. "නොම්මරේ මාරු කරන්න ඔන්නෑ. මං කෝල් කරන්නෑ"
    "ඒ ඔයානේ..."

    උබට ඒ සිදුවීම අහබුවක් උනාට කෙල්ලට නම් එහෙම වෙලා නැති පාටයි

    ReplyDelete
    Replies
    1. අහඹු, හමුවීම පමණයි!

      Delete
  17. සරලයි
    දුක අඩුයි එක්කොත් දුකක් ඇත්තෙම නැහැ.
    ඒත්
    ලංකාවේ ගැහැණු පිරිමි වැඩි හරිය සම්බන්ධයක් පටන් ගන්නෙම අයිතියක් කියාපාමින්.
    “මගේ “

    ආදරයෙන් පටන් ගත්තත් ආදරය නැතිව පටන් ගත්තත් අවසානයේ වෙන්නෙ එකම දේ නේද කියල කෙනෙක් ට හිතුනත්...

    ආදරය .... ශෙහ් අනෙ මන්දා පූස්.........

    ReplyDelete
    Replies
    1. ඔව්! ලංකාවේ ගැහැණු! :)

      Delete
  18. කාලෙකට ඉහතදී ඔහොම අහම්බයක් මගේ කරෙත් වැටුනා. හැබැයි පහුවෙද්දියි මං දැන ගත්තේ හ්ක මට අහම්බයක් උනාට එයාට ඒක තවත් එක ප්ලෑනක් විතරයි කියලා.. හැබැයි මූලික අරමුණින් පිට නොපැනපු හින්දා මං අහම්බය අහම්බයක් විදියටම නිමා කරගන්න සමත් උනා...

    "ඇස් ඉවතට නොගෙනම මදෙසට පිට නඟයි."

    ???

    ReplyDelete
    Replies
    1. "ඇස් ඉවතට නොගෙනම මදෙසට පිය් නඟයි."
      අඩේ මාරයියා ඕක එදාම දාලත් මං මේ දැන් තමයි වැරැද්ද දැක්කේ!

      Delete
  19. ආදරේ කියල දෙයක් තියෙනව. ඒත් මේ මිනිස්සු ගාව තියෙවයි කියන එක නෙවෙයි. මිනිස්සු ආදරේ කියන්නෙ ආත්මාර්ථයට, එකිනෙකා මත යැපීමට මිසක් වෙන මොකක්වත් නෙවෙයි.

    හැබැයි පූසො උඹ ඔය කියන තරම් සැහැල්ලුවෙන් මිනිස්සු අතර ගණුදෙනු සිද්ධ වෙන්නෙ නෑ හැබෑවට. මොකද මනුෂ්‍යයෝ වුණාම මනුෂ්‍ය ගති තියෙනව. විශේෂයෙන්ම බැඳීම් වලදි. එකිනෙකාගෙ ඇසුර නැතිව ඉන්න බැරිකම, නැවත නැවත එම ඇසුරට ආශා කිරීම, එම ප්‍රිය ඇසුර අයිතිවාසිකමක් කර ගැනීමේ ආශාව වගේ දේවල්. ඒත් මම කැමැතියි වෙනස් විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුඵවන්නම් හැඟීම් වලට ඉහළින්. ගල් විදියට නෙවෙයි මල් විදියට.

    ReplyDelete
    Replies
    1. එතකොට අපිට කොහොමද ඒක කියන්න වෙන්නේ? "තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු ආදරය දන්නේ නෑ" කියලද? ;)

      ඇත්ත! මං පිළිගන්නවා බහුතරය ගත්තොත් ඔහොම නැහැයි කියලා. අපිට හිතන්න බැරිද ඉතාමත්ම කලාතුරකින් ඔයවගේ අයත් ඉන්නවය කියලා? සාමාන්‍ය මනුෂ්‍යය ගති වලින් පොඩ්ඩක් විතර අපගමනය වෙච්ච කතා වලට මම හරි ආසයි. ඒ වගේ ෆිල්ම් බලන්නත් මං ආසයි. ඒ හන්දම වෙන්න ඇති ඒවගේ කතා ලියවෙන්නෙත්! :)

      Delete
  20. අපූරු නිර්මාණයක් පූසා...

    ආසාව සහ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ... මට නම් මේ ලෝකේ තියෙන හොඳම දේවල් වලින් දෙකක් තමයි ආසාව සහ බලාපොරොත්තු... :)

    ReplyDelete
    Replies
    1. ආසා නම් අපි හැමෝ ගාවම තියෙනවනේ.... හැබැයි මේ ළඟක් වෙනකම්ම මං හිතාගෙන හිටියේ බලාපොරොත්තු අවම උනාම හිතට පහසුවක් කියලා. ඒත් බලාපොරොත්තුවක තියෙන වටිනාකම මට කියලා දුන්නේ The Shawshank Redemption ෆිල්ම් එකයි කිව්වොත් බීටලයියා විශ්වාස කරනවද? :)

      Delete
    2. ඔවු...බලාපොරොත්තු හිතට බරක්.ජීවිතේට කරදරයක්.

      ජීවිතය සංකීර්ණ කරනව බලාපොරොත්තු.

      නමුත් Andy Dufresne වගේ නොකළ වරදකට ජීවිතේටම හිරේ ගියපු.තමන්ගේ දැනුම සොරා ගන්නට ලක්වෙච්චි. කරන්න කිසිම දෙයක් නැති කාල බීලා මතකයන් එක්ක විතරක් හිරේ ජීවත් වෙන මනුස්සයෙක්ට බලාපොරොත්තුවක් කියන්නේ මහ මෙරක්.කොටින්ම එයාලව ජීවත් කරනවා.

      හිරෙන් එළියට ගියපු අය සියදිවිනසා ගත්තේ ඒ අයට බලාපොරොත්තුවක් තිබ්බෙ නැති නිසා.

      පූසා හරි........මාත් ජීවිතයට බලාපොරොත්තුවක් එකතු කර ගන්න ඕනි.

      Red: Let me tell you something my friend. Hope is a dangerous thing. Hope can drive a man insane.

      Andy Dufresne: [in letter to Red] Remember Red, hope is a good thing, maybe the best of things, and no good thing ever dies.

      Delete
    3. ඇන්ඩි නොහිටින්න රෙඩ් උනත් සියදිවි නසාගන්න තිබ්බා! රෙඩ් ජීවත් වෙන්නෙත් ඇන්ඩි දීපු බලාපොරොත්තුවක් නිසා කියලයි මට හිතෙන්නේ :)

      Delete
  21. විභාග , පාඩම් කිරිලි ඔක්කොම අස්සෙ අහම්බෙන් වගේ බ්ලොග් පැත්තෙ කරක්ගහපු මට පූසා අයියාගෙ පෝස්ට් එකක් නොකියවා යන්න බැරිවුනා අයියාගෙ කෙටි කතා වලට මම කවදත් කැමතියිනෙ.. ඒවා මට "අමුතුයි".. :D හැබැයි කතාව කියෙව්වාට පස්සෙ කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නෙ නෑ...

    කෙටියෙන්ම කියනවානම්, සුපිරියි!!! ඊටත් වඩා වර්ණනා අනවශ්‍යයි!!!
    //ශක්තිමත් වූ බැඳීම් යනු හිතට වේදනාවක් පමණකි.// මේක ඇත්තක් කියලා මටත් හිතෙනවා!!! බුදු දහමට අනුවත් ඇත්තක්නෙ!!!

    - හිතුවක්කාරී(හිතූ) -

    ReplyDelete
    Replies
    1. විභාගේ තමයි අපේ අභාගේ! :D
      මාර වැඩේ කියන්නේ මේක කියෙව්ව දෙන්නෙක්ටම ආගම මතක් වෙලා! ලංකාව ධර්මද්වීපයක් වේගෙන වේගෙන යනවා වගෙයි! ප්‍රීතී! ප්‍රීතී! :D

      ස්තූතියි විභාග අස්සෙත් ඇවිත් මේ විකාර කියෝලා කමෙන්ට් කරනවට! :)

      Delete
  22. කොටුවක් පනිමුද හිතූ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි! ඔක්කොටම කලින් බ්ලොග් වල ලියනවනේ! ;) :D

      Delete
  23. මාරම අහම්බයක් තමා පූසෝ.. හැමෝටම එහෙම අහඹු සිදුවීම් වෙන්නෙත් නෑ.. ඒත් ආදරේ කියලා දෙයක් මේ ලෝකේ තියනවා බන්.. කවුරු මොනවා කිවුවත් ඇත්ත ඒකයි.. සමාජයේ වෙන ගොඩක් වෙනස්කම් නිසා සමහරු ආදරේ අඳුනන්නෑ වගේ ඉන්නවා.. ඒත් එහෙම කියලා එක එක අයගේ විශ්වාස වලට මුකුත් කියන්නත් අපිට බෑනේ.. නැද්ද මචං??

    ReplyDelete
    Replies
    1. ආදරේ ගැන කොච්චර පොත්, චිත්‍රපටි, ලිපි තියෙනවද? මම හිතන්නේ ඒකට හේතුව ආදරයේ පැහැදිලි කිරීම ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂ නිසා කියලයි! මට ආදරේ විදිහට පේන දේ නෙමෙයි තව කෙනෙක්ට ආදරේ කියන්නේ! :)

      Delete
    2. අනිවා ඒක නම් ඇත්ත තමයි මචං..

      Delete
  24. මරුය... කලකට පස්සෙ දාන මුල් කමෙන්ටුවය! පරිකල්පනය අකුරු වී ඇති මරු අවස්ථාවකි!

    ReplyDelete
  25. අදමයි ආවේ මේ පැත්තට. හරිම ලස්සන අඩවියක්. දැන් හැමදාම එන්නම්කෝ. ඔන්න රෝලටත් දාගත්තා.
    මම සමකය වටේ samakayawate දුවන එකා

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...