Thursday, March 21, 2013

ඇගේ කතාව.....


මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් බයෙන් වගේ බලං හිටපු හැටි. "ඔයා මොකද කියන්නේ?" කියලා මගෙන් අහපු හැටි. ඒ හැම දෙයක්ම මට හොඳට මතකයි. මම එවෙලේ කිව්වා තව ටිකක් හිතලා කියන්නම් කියලා. ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ හිත ගියපු කොල්ලෙක් තමන් පස්සෙන් එන ප්‍රීතිය විඳින්න අකමැති කෙල්ලෝ මේ ලෝකේ නැතුව ඇති. ඊට දවස් දෙකකට පස්සේ මම එයාට කැමති උනා. එයා පස්සේ දවසක කිව්වා එදා අත් දෙක සාක්කුවට දාගෙන හිටියේ අත් සීතල වෙලා තිබ්බ නිසා කියලා. ආදරේට කෝඩු කාරයෝ එහෙමයි කියලා මම පස්සේ කාලෙක දැන ගත්තා. 

ඒ කාලේ හරිම සුන්දරයි. මට හරිම පහසුයි. මගේ යාළුවෝ බස් වල හිර වෙලා දාඩිය පෙරාගෙන යනකොට මම හුළං වැදි වැදී ශෝක් එකට ත්‍රීවීල් එකේ පන්ති ඇරිලා ආවා. මම ගිය හැම ගමනක්ම ගියේ ත්‍රී වීල් එකේ. ගෙදරින් මඟ වියදමට දෙන සල්ලි වලින් මම එයාට පොඩි පොඩි තෑගි අරන් දුන්නා. ශොපින් ගියෙත් ත්‍රීවීල් එකේ. ඇත්තටම ගෙදරින් එළියට බහින ඕන වෙලාවක මට එයාගේ ත්‍රීවීල් එක තිබුණා. හැම දේම වෙනස් උනේ අපේ ගෙදරින් අපි දෙන්නගේ සම්බන්ධේ දැනගත්තු දවසේ. හැමෝම මට බැන්නා "තොට පිස්සුද රස්තියාදුකාරයෝ එක්ක යාළු වෙන්න" කියලා. අක්කා බැන්නා "උඹට ත්‍රීවීල් කාරයෙක් ඇරෙන්න වෙන යාළු වෙන්න එකෙක් හිටියෙම නැද්ද?" කියලා. ඉතිං මම එදාම තීරණය කළා ඒ සම්බන්ධේ නවත්තන්න.

ඉස්කෝලෙන් අස් උනාට පස්සේ මම පොඩි ජොබ් එකක් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම සති අන්තේ කෝර්ස් එකක් කළා. සතියේ දවස් වලට උදේට වැඩට යන වෙලාව, හවසට වැඩ ඇරිලා එන වෙලාව කියන්නේ බස් වලට ඇඟිල්ලක් ගහන්න බැරි වෙලාවල් දෙකක්. ඒ අස්සේ වෙන වෙන තැන් වලට ඇඟිලි ගහන්න එන වලත්තයෝ! ඒ කාලේ උදේට බස් එකට නඟින්න හෝල්ට් එකේ ඉන්නකොට වැඩට යන බයික් කාරයෙක් මට බැල්ම දාන්න පටන් ගත්තා.

මම එයාට කැමති උනා. මුල්ම සති දෙක විතර මම බොරුවට එයාගේ බයික් එකේ වැඩට යන්න අදි මදි කළා. කෙල්ලෙක් උනාම එහෙම වෙන්න ඕනේ. එතකොටයි අගේ. පස්සේ හයියෙන් බ්‍රේක් ගහන්න බෑ කියන කොන්දේසිය උඩ මම එයත් එක්ක බයික් එකේ යන්න කැමති උනා. උදේ වැඩට යන එක, වීක් එන්ඩ් එකේ ක්ලාස් යන එක ඊට පස්සේ මට කිසිම කරදරක් උනේ නෑ. එයා මහ ලොකු ජොබ් එකක් කරපු කෙනෙක් නෙමෙයි. ඒත් බයික් එකක් තිබ්බ එකම කොච්චර දෙයක්ද.

කාලයක් යනකොට මම වෙන තැනක ටිකක් හොඳ ජොබ් එකකට ගියා. එතන වැඩකරන කෙනෙක් මං ගැන උනන්දුයි කියලා මට දැනුනා. ඒ කාලෙදිමයි මට දූවිලි නිසා නිතර නිතර හෙම්බිරිස්සාව හැදෙන්න පටන් ගත්තෙත්. බයික් එකේ නහය වහගෙන යන එකත් එපා වෙන වැඩක්. අලුත් තැන මං ගැන උනන්දුවක් දක්වපු කෙනාට පොඩි මරූටියකුත් තිබ්බා. මට බයික් එකේ යෑම එපා උනා. ඒ නිසා මම ඒ සම්බන්ධේ නැවැත්තුවා. මාසෙකට විතර පස්සේ මරූටියක් තිබ්බ කෙනාට මම කැමැත්ත දුන්නා.

කාලය කියන්නේ හරි පුදුම දෙයක්. මේ සේරම සිද්ධි ඉවර වෙලත් දැන් අවුරුදු තුනක් විතර උනා. හරියට අද ඊයේ වගේ මතකයි. අද මං ඉන්න තැන ගැන මට කිසිම දුකක් නෑ. මුලින්ම ත්‍රීවීල් කාරයෙක් එක්ක යාළු උන මම, අද වාහන දෙකක අයිති කාරයෙක්ගේ බිරිඳක්. හැරත් එක වාහනයක් මගේ නමට. මං අන්තිම යාළු වෙලා හිටපු මරූටියක් තිබ්බ කෙනා හරි හොඳ මනුස්සයා. ඒත් එයා ධර්මෙට ඕනෑවට වඩා නැඹුරුයි. එහෙම ජීවත් වෙන එක මට අමාරුයි. ඒ නිසයි මම ඒ සම්බන්ධේ නැවැත්තුවේ. කෝසල තමයි මට හරියටම හරියනවයි කියලා හිතුන කෙනා. ඒකයි මම කෝසලව බඳින්න කැමති උනේ. ජීවිත ගමන කියන්නේ ලේසි මහසු ගමනක් නෙමෙයි. ඒ ඒ වෙලාවට හරියන තීරණ ගන්න වෙනවා.

බීඊ...................ප්.............බීඊ.............ප්

ගේට්ටුව දෙසින් ඇසුණු වාහනයක නළා ශබ්ධය ඇගේ සිතුවිලි දැහැන බිද දැමීය. ඈ හනික හිඳ ගෙන සිටි තැනින් නැඟිට ගේට්ටුව දෙසට දිව ගියේ තම පෙම්බර සැමියා පිළිගන්නටයි.




[පින්තූරෙ - http://funny-pictures-blog.com/wp-content/uploads/funny-pictures/Funny-Pictures---Men-vs-Women-Quotes.jpg ]

45 comments:

  1. සමහර මිනිස්සු ගෙදර එක්කෙනාට වැඩිය වාහනේට ආදරෙයි කියන එක මට හොඳින්ම තේරුනේ මේක කියෙව්වාම..ජීවන ගමන යන්න රෝද හතරේ වාහනයක් තියන එක කොච්චර ලොකු දෙයක්ද!!

    ReplyDelete
    Replies
    1. රෝද හතරේ වර්ගය තීරණය වෙන්නේ තියෙන වත් පොහොසත් කම් අනූව :)

      Delete
  2. පිස්සු හැදෙනවා යකෝ . . . මේක කියවලා මට කියනන් හිතුනු දේවල් ටික බ්ලොග් පෝස්ට් එකක් තරම් දිගයි. . .
    නිවාඩුවක් හම්බ උනු ගමන් කෙටි කරලා හරි ඒ ටික කියන්නම් . ..
    දැනට මෙහෙම කියන්නම් . . . සුපිරි . . !

    ReplyDelete
    Replies
    1. කියන්න හිතුන දේවල් ටිකත් වෙලාවක කියලා දාමු! ස්තූතියි අයියේ!

      Delete
  3. Dude:
    මේක සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් පූෂ් ලොක්කා. මේක ඉංගිරිස් වලින් නම් defies all logic. ඇයි යකෝ හරිනම් මෙහෙමනෙ වෙන්න ඕනෙ.

    එක රෝදෙ
    රෝද දෙක
    රෝද තුන
    රෝද හතර
    රෝද පහ
    රෝද හය රෝද දහය
    රෝද දහ අට.

    එතකොට

    එක රෝදෙ - වීල් බැරෝව
    රෝද දෙක - පා පැදිය
    රෝද දෙක - මෝටර් සයිකලය
    රෝද තුන - ත්‍රී වීලය
    රෝද හතර - කාරය
    රෝද හතර - වෑන් රථය
    රෝද හය - ලොරිය
    රෝද හය - බස් රථය
    රෝද දහය - බර වාහන
    රෝද දහ අට - බර වාහන
    දැං ඔය පිළිවෙලට එපායැ වැදගත් කම තියෙන්නෙ නේද?
    බලපං ඒ සිස්ටම් එක අප්සෙට් වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් මේ කතාවට හෙන්රි අයියා දැම්ම කමෙන්ට් එකනම් අපිට ගන්න පුළුවං defies all logic කියලා! :D
      මොකද මං රෝද ගාණ ගැන කියලා ඇත්තටම කතා කළේ ඒ අදාල රෝද ගාණ ගන්න පුද්ගලයා සතු වත් පොහොසත් කම් ගැනයි! හෙන්රි අයියා කතා කර්ලා තියෙන්නේ රෝද ගාන ගැනයි! :D

      Delete
  4. අම්බානක දුක හිතුනා..

    ReplyDelete
    Replies
    1. මේක තම ගොඩක් උන්ගේ කතාව මොකෝ උඹට දුක හිතුනේ? he he he

      Delete
    2. දුක හිතුනද? හි..හි..

      Delete
    3. ඇත්තටම මේ කතාවේ දුක හිතෙන තැනක් තියෙන්නේ කොතනද කියලා මටත් හිතාගන්න බෑ. හැබැයි සමහර සිද්ධි සමහර පුද්ගලයන්ගේ ජීවිත කතා එක්ක සමපාත උනාම නම් අදාල පුදගලයන්ට දුක හිතෙන්න බැරි කමකුත් නෑ! :)

      Delete
  5. ප්ලේන් දෙක තුනකුයි හෙලිකොප්පරයකුයි තියන කෙනෙක් හම්බුනොත් බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. ඒ කෙනා කෙල්ලෙක්ට කැමති උනොත් ඒ කෙල්ල අකමැති වේවි කියලා මට හිතෙන්නෙ නෑ! :)

      Delete
  6. දැන් ඉතිං කරුමෙටවත් ඒ මිනිහට වාහන ටික නැතිවුනොත් කසාදේ ඉවරයිනේ බං... :O

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නෑ මචං. මොකද ලංකාවේ කසාදේ කියන්නේ තාමත් බැඳගත්තු බෙරේ හැසිය යුතුමයි කියන තැන තියෙන දෙයක් නිසා.

      Delete
  7. හුටා මට නම් පුට් සයිකලයක්වත් නැහැ :/

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් මේ හැමෝම ගැන නෙමෙයි ලියලා තියෙන්නේ

      Delete
  8. වාහන 10ක් විතර අයිති එකෙක්ව හෙට මුනගැහුනොත්?...

    ReplyDelete
    Replies
    1. බැඳලා නිසා අවුලක් වෙන එකක් නෑ. මාළුවාට දැම්ම රිප්ලයි එකම තමා මෙතනටත් දාන්න තියෙන්නේ :)

      Delete
  9. හෆ්ෆා................. මොකක්ද කියන්න වෙන්නෙ?? අනේමංදා. තමයි... ඒත් මෙහෙම එව්වා ඉතින් අනන්ත අප්‍රමාණ වෙනවානෙ..

    ReplyDelete
    Replies
    1. මුකුත් කියාගන්න බැරි උනා වගේද? :D

      Delete
  10. මරු මචං. ‍සුපිරි ලිවීමක්! ඉස්සර එක්ස් එකේ සඟරා වලට මෙහෙම ලිව්වා ෂ්‍යාම් කියල එකෙක්. මේක සිම්පල් කතාවක් වුණාට ඌ මේකෙන් මරෙ පැති ගොඩක් පෙන්නුවා. මෙතන මොනවද තියෙන්නේ? ඒක කෙල්ලන්ගෙ හැටි කියල විතරක් නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය කෙල්ල ජීවත් වෙන්න ඕන විධිය අඳුණගත්තු අද කාලෙට හරියන කෙල්ලක්. තමන්ගෙ අතීතය ගැන කිසිම වරදකාරී හැඟීමක් නැති වීමෙන්ම ඒක පැහැදිලි වෙනවා. තව තව ඒව හිතුණත් මම ඒ තරම් විශ්ලේෂකයෙක් නෙවෙයි.

    මොනව වුණත් සුපිරි!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය එක්ස් ගැන අහලා තිබ්බට මම නම් කියවලා නෑ. හොයාගන්න පුළුවන්නම්!
      මේක ලියවෙන්න හේතුවක් තියෙනවා. මම දැක්ක දෙයක්. හරේ අයියේ උඹ මගේ බ්ලොග් එකට එන හොඳම විශ්ලේෂකයෙක්.
      ඔය හරේ අයියා කියලා තියෙන දේවලට අමතරව මට තව දේවල් කීයපයක් පෙන්නන්න ඕන උනා. එකක් මෙයා නරක ගෑණු කෙනෙක් නෙමෙයි. නරක කියන එක සාපේක්ෂයිනේ. ඒක නිසා කියමු මෙයාට උවමනා උනේ ලිංගික ආශ්වාදයක්/සතුටක් ලබන්න නෙමෙයි. අනික මෙයා එක පිරිමියෙක් එක්ක යාළු වෙන්නේ එයාව අතහරින්න බලාගෙනත් නෙමෙයි. එයාව අත හරින්නේ ඊට වඩා ලොකු අත්තක් ලැබෙන නිසා. තමන් අද ඉන්න තැනින් ඉහලට යන්න තියෙන උවමනාව නිසා. ඇත්තම කතාව අද නාගරික පරිසරයේ ආදරේ පිටින් දාලා ඔය විදිහට කරන්නේ ගෑණු විතරක් නෙමෙයි! :)

      Delete
  11. හප්පුචිචියේ... ඉක්මණට රෝද හතරේ වාහනයක්ම ගන්න ඕන.. නැත්තං කෙල්ලෙක් දිහා බලනවා බොරු,,,,!

    ReplyDelete
    Replies
    1. මට ලියන්න උවමනා උනේ ලංකාවේ නාගරික පරිසරයේ ජීවත් වෙන එක කෙල්ලෙක් ගැන. හැමෝම එක වගේ නෙමෙයි! :)

      Delete
  12. Replies
    1. කීයක්වත් අතේ නැති උනොත් පරණ ලොරියක් වගේ එකක්නම් සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ! :D

      Delete
  13. මේ ලිපිය ගැහැණියකගෙ ඇහෙන් කියවීම ට ගියොත් සාධාරණය කරන්න දාහක් දේ කියවේවි. .. ඒ නිසාම පිරිමියෙකු ගේ ඇහෙන් කියවීමට කැමැත්තෙමි. අවසන මට කිව හැක්කේ, මෙය අති සුපිරි ලියවිල්ලක් බවයි. සරල වචන ටිකකින්, ගැහැණු මනසක් අපූරුවට කියවලා තියෙනවා. පෘතග්ජන ලෝකෙ අපූරුව ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. සුපිරි කියවීමක්

    සතුට සහ ජය
    හොඳම ලිපි ලියවේවා!!!

    ReplyDelete
  14. වාසි පැත්තට හෝයියා තමා ඉතින් කවුරු කවුරුත්.
    ඒ වුනාට ජීවිත එක්ක සෙල්ලම් කරන එක නම් වැරදි..

    ReplyDelete
    Replies
    1. පොඩි දෙයක්! මෙතන ඇත්තටම ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් නෑ. හැමෝම හදන්නේ මොන විදිහකින් හරි තමන්ගේ ජීවන තත්වය උසස් කරගන්නයි. මගේ කතා නායිකාව කරන්නේ තමන්ට ජීවිතේ ලැබෙන වටිනා අවස්ථා මඟ නොහැරීමයි. මටනම් මෙතන හරි වැරැද්ද නිවැරදිව පෙන්නන්න අමාරු තැනක්!

      Delete
  15. Replies
    1. මේක ඇත්ත. නමුත් හැමෝගෙම ඇත්ත නෙමෙයි! :)
      ස්තූතියි!

      Delete
  16. මේ කතාවේ එන ජීවිත මං අනන්ත දැකලා තියෙනවා.. හැබැයි ඒ අයට ඒ ත්‍රීවීල්, බයික් ,කාර් රයිඩ් හම්බුනේ නිකම්ම නෙවෙයි. ඒ වෙනුවෙන් ඒ අය අතර එක එක ඩීල් තිබ්බා! ගොඩක් දුරට ගෙවීම් කලේ කායිකව. ඒ නිසා අන්තිමට වෙන්වුනාම ඒක ඒ දෙන්නගෙන් කාටවත් ලොකු ප්‍රශ්ණයක් උනේ නෑ. මොකද තව ඩීල් එකකට යන නිසා. පලවෙනි පාර තරම් කොහොමත් අමාරුවක් නැහැනේ ඊට පස්සෙ.. ඒ අස්සෙ ඉඳලා හිටලා අතින් කයිට් වෙන අසරණයොත් නැතිවා නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ සමාජේ තවත් පැත්තක් මචං. මට මේකේ පෙන්නන්න උවමනා උනේ වෙන දෙයක්. මේ කතා නායිකාවගේ මූලික අරමුණ කායික අවශ්‍යතා සපුරා ගැනීම නෙමෙයි. උඩ හරේ ගේ කමෙන්ට් එක බලපන්! :)

      Delete
  17. පූසෝ... ලිවිල්ල නම් සුපර්.ඒත් .... මේ ගැහැණියක් ලොව දකින විදිහ නෙමෙයි. ගැහැණියක් ලොව දකින්නෙ මෙහෙමමයි කියලා පිරිමියෙක් දකින විදිහ.

    ඇත්ත කතාව. ගැහැණු කෙනෙක්ට ආදරය සම්බන්ධව මූලික කරුණු වෙලා තියෙන්නේ ආරක්ෂාව.ඉතින් මුදල් හදල් තියෙන කෙනා ළඟ ආරක්ෂාව ඇති කියල හිත කියනවා.අනිත් කාරණේ සැප පහසුව.මේකේ නම් තනිකරම බලල තියෙන්නේ සැප පහසුව.

    හැබැයි ඔය මොන දේ කරත්, අන්තිමට හරි ආදරය ඕනි වෙනවා. එතකොට තමා ආරංචි වෙන්නේ ,අහවල් පෝසතාගේ අහවල් ලස්සන බිරිඳ ගෙදර ඩ්‍රැයිවර් එක්ක පැනල ගිහින් , වත්තෙ වැඩ කරන කෙනා එක්ක යාළුයි.අනම් ද මනම් ද. ඒත් දැන් ඒවත් නවීකරණය වෙලා.

    ලොග් වෙන්න කම්මැලි නිසා ඇනෝ ආපු හඳුනන ඇනී...

    ReplyDelete
    Replies
    1. මුලින්ම..... මම මේ කතාවෙන් සියළු කාන්තාවන් නිරූපණය කරන්න හැදුවේ නෑ. එක චරිතයකින් එහෙම කරන්නත් බෑ කියලයි මට හිතෙන්නේ. මං මේ ලිව්වේ පහල මධ්‍යම පාන්තික නාගරික තරුණියක් ගැන. මේක මම දකින/දැකපු සිද්ධි ගණනාවක එකතුව වෙන්න පුළුවන්.

      "හැබැයි ඔය මොන දේ කරත්, අන්තිමට හරි ආදරය ඕනි වෙනවා. එතකොට තමා ආරංචි වෙන්නේ ,අහවල් පෝසතාගේ අහවල් ලස්සන බිරිඳ ගෙදර ඩ්‍රැයිවර් එක්ක පැනල ගිහින් , වත්තෙ වැඩ කරන කෙනා එක්ක යාළුයි.අනම් ද මනම් ද. ඒත් දැන් ඒවත් නවීකරණය වෙලා."

      ඔව් ඒවා නවීකරණය වෙලා. මං ඉන්න නාගරික පරිසරයේ දැන් ඔහොම කතා නෑහෙන තරම්. හැබැයි පොඩි පොඩි ලිංගික ආශ්වාදයන් ගැන කතානම් ඕන තරම්! :)

      මම ඇනෝලා/ඇනීලා සමඟ කිසිඳු අමනාපයක් නැත! :)

      Delete
  18. hmmmm lady chattery's lover mathak una comment ekata..."katha akuren liyapu lassana liyumen" eya samaharawita adare dakinnath athi...(sorry sinhala type karanna be)

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි නවකතා පොත් කියවන එක තාමත් හරියකට කරගන්න පුළුවන් වෙච්චි වැඩක් නෙමෙයි මට. කොහොම හරි පටන් ගන්න ඕනේ :)
      ඔයා කිව්ව පොතේ දිවෙන කතාව ගැන මං පොඩ්ඩක් කියවලයි මේ ආවේ.ඒකනම් හොයාගෙන කියවන්න වටින පොතක් වගේ! ඊ බුක් එකක් හොයාගන්න පුලුවන්ද බලන්න ඕනේ. හැබැයි මේ කතාව ඒ කතාවට වඩා වෙනස්. මෙතන කතා නායිකාවගේ මූලික අරමුණ ලිංගික තෘප්තියක් ලැබීම නෙමෙයි. මෙතන තියෙන්නේ තමාගේ ජීවන තත්වය උසස් කරගැනීමේ අරමුණක්. lady chatterley's lover පොත මම කියවලා නොතිබ්බට මොකෝ පහුගිය වැලන්ටයින් දිනේ දාන්නයි කියලා මං ලියන්න ගත්තේ ඊට පෝඩ්ඩක් සමාන කතාවක්. ඒත තාමත් පොඩ්ඩ පොඩ්ඩ ලියනවා. ඒ අස්සෙයි මේක ලියවුනේ. බලමු ඊළඟට ඒ කතාව දාන්න පුළුවන් වෙයි.
      සිංහල ඕන්නෑ! ඔය මොන විදිහකින් හරි කියෝගන්න පුළුවන්නම් එච්චරයි! :)

      Delete
    2. neeeeeeee man kiwwe anon comment eka gana ...

      Delete
    3. ඉතිං බං ඒකට රිප්ලයි කරන්න එපෑ! :D
      කමක් නෑ කොහොම හරි අපූරු පොතක් ගැන ඔත්තුවක් ලැබුණනේ! :)

      Delete
    4. අහ්! තව පොඩ්ඩෙං කියන්න අමතක වෙනවා මං ඊ බුක් එකක් හොයා ගත්තා :)

      Delete
  19. පූස් යාලුවා,
    මෙහෙම කතාවක් තියෙනවා,
    කොල්ලො පොඩි කාලේ කැමති කාර්වලට ලු, කොලේලො කැමති බෝනික්කන්ටලු,
    නමුත්,
    කොල්ලෝ ලොකු උනාම කැමති බෝනික්කන්ටත්, කෙල්ලෝ කාර්වලටත් කියලා වෙනස් වෙනවාලු.
    අනේ මන්දා. මේකනම් කතාවක් විතරයි.

    ReplyDelete
  20. ගෑණු කවදාවත් සතුටු කරන්න බෑ කියන්නෙ ඕකනේ

    ReplyDelete
  21. මේකේ comment කරලා තියෙන ගොඩක් කෙල්ලො සල්ලි තියෙන අහිංසක පාට කොල්ලෙක් අහූනොත් නිකං ඉන්න එකක් නෑ මං හිතන්නෙ...

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...