Tuesday, July 26, 2011

අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා)


තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි.  "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.

ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර පංතියේ ළමුන්ට මා නියමිත කර තිබූයේ තමාගේ අනාගතයේ තමන් පිළිබඳව කතාවකට සූදානම්වී පැමිණෙන ලෙසයි. ඒ අනූව එදින ළමෝ එකිනෙකා තමාගේ කතාවන් පැවැත්වූහ. අප කුඩා කල අපෙන් කිසිවෙකු අපේ අනාගත බලපොරොත්තුව විමසුවොත් අප සැම දෙනාටම පාහේ කීමට තිබූයේ කාරණා කිහිපයක් පමණි. එකල දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රටට වැඩදායි පුරවැසියෙක් යන අවස්ථා තුන හැරුනුකොට වෙනත් දෙයක් පැවසු ළමයෙක් නැති තරම්ය. නමුත් අද මේ දරුවනට ඇති අනාගත බලාපොරොත්තු බොහෝමය. අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ආකිටෙක්ට් කෙනෙක්වෙන්න කියයි තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි. ඒ අතරේ ඊළඟ කතාව කිරීමට තිබුයේ අයිර්ලියා දැරියටයි.

පංතියේ ඉදිරියට පැමිණි ඈ කතාව ආරම්භ කළාය.

"සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ අනාගත බලාපොරොත්තුව පිළිබඳව වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි"
"මගේ අනාගත බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න"

මට මාගේ දෙසවන් ඇදහිය නොහැකි විය.
"මොකක්ද අයිර්ලියා කිව්වේ?"
මම ඇගෙන් නැවත් විමසීමි.

"සර් මම කිව්වේ මගේ අනාගත් බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න කියලා"

"මොනවා!" මම මවිත වීමි
කුඩා දැරිවියව ගුරු මේසය අසලට කැඳවා ගත් මා ඇගෙන් ටෙලි නාට්‍ය පිළිබඳව දැනගත් අයුරු විමසන්නට විය.

"දුව ටෙලි නාට්ටි බලලා තියනවද?"
"ඔව් සර් මම ගෙදරදි බලනවා"
"ගෙදර ටෙලි නාට්ටි පෙන්නන චැනල් අහුවෙනවද?"
"සාලේ ටීවී එකේ නෑ සර් ඒත් අම්මලාගේ කාමරේ ටීවී එකේ තියනවා. අම්මලා එනකොට හවස් වෙනවනේ සර්, ඉතිං අම්මලා එනකම් මම නාට්ටි බලනවා"

මට කාරණය වැටහුනි. වහාම ඇගේ පියාට ඇමතූ මම හැකිනම් එදිනම හෝ පසු දින පාසලට පැමිණෙන මෙන් දැන්වූයෙමි. නමුත් මාතර පිහිටි තම සේවා ස්ථානයේ සිට කොළඹ පිහිටි පාසලට විනාඩි 20කටත් නොඅඩු කාලයකදී පැමිණීමට ඔහුට අධිවේගී මාර්ගය නිසා හැකි විය.

මම ඔහුට සිදුවූ දෑ පැවසුවෙමි. අවසානයේ මෙසේ විමසීමි
"දැන් බලන්න වෙලා තියන දේ දෙමව්පියෝ විදිහට ඔයාල මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ නේද? පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට නාට්ටි පෙන්නන චැනල් ටික සල්ලි දීලා ගන්න තරම් ඔයාලා මෝඩද?" මම තරහෙන් පැවසුවෙමි.

"මට වැරැද්ද තේරෙනවා සර්. මම දැන්ම ගිහින් ඒ චැනල් ටික අයින් කරනවා" එසේ පවසන විට පියාගේ වත රත් පැහැ ගැන්වුනේ ලැජ්ජාවටද, දුකටද, තරහටදැයි මම නොදත්තෙමි.

"චැනල් ටික අයින් කරලා විතරක් හරියන්නේ නෑ. මේ දරුවට සමාජයේ හොඳ නරක කියලා දෙන්න"
ඔහුට අවවාද රාශියක් දී පිටත් කළ මා ඒ දැරිවියටත් ඇගේ බලාපොරොත්තුවේ ඇති නරක පැත්ත පිළිබඳව හැකිතාක් දුරට තේරුම් කර දීමට උත්සාහ ගතිමි. නමුත් ඒ පුංචි දැරිවියට ඒ දේවල් වැටහුනාද යන්න සැක සහිතය.

මේ පුවත් පත් දැන්වීම එසේ පසුගිය සතියේ සිදු වූ ඒ සිදුවීම මට නැවත සිහිපත් කිරීමට සමත් විය. මම නැවත දැන්වීම කියවාගෙන ගියෙමි. පොල්ගෙඩි අකුරින් මෙසේ සඳහන් වී තිබිණි.
'අලුත් මෙගා ටෙලි නාට්‍යයකට ප්‍රධාන චරිතයට සහ සෙසු චරිත වලට නිළියන් වුවමනාකර තිබේ' 
තවත් බොහෝ තොරතුරු වලින් පසුව ඉතා කුඩා අකුරුන් මෙසේ සදහන් වී තිබිණි 
'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'


ප.ලි: පසුගිය දින වල පුවත් පත්වල දුටු පුවත් අනූව ඒ සිදුවීම් තවත් දිගින් දිගටම සිදුවීගෙන ගියහොත් මේ මා සඳහන් කළ කතාව සත්‍යයක් වනු දැකීමට අපට 2041 වන තෙක් බලා සිටිය යුතු නොවනු ඇත.


[පින්තූරෙ-http://1.bp.blogspot.com/-4ijI7Eyz0mA/TZu9jwSwQnI/AAAAAAAAABs/s_jXTOu-QXY/s1600/imagesCASCL53C.jpg]

Friday, July 22, 2011

මිරිඟුවකට පෙම් කළ කාලේ.......


මිරිඟුවකට පෙම්කරයි
හදවත යළිත්
පෙනි පෙනී
හැරයන්නත්
බෑ
ලං වෙලා
නැතිකරගන්නත්
බෑ


ප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........

[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg]

Monday, July 18, 2011

නූතන පංච කල්‍යාණියේ සිරි............


මුහුණ සුදට
ඇඟ කළුවට
ඡවි කළණේ

ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ

දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ

නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
 
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ

පංච කල්‍යාණියේ
සිරි වෙනස්ය
 මේ කාලේ

෴෴෴

...:::විශේෂ ස්තූතිය:::...
මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......


[පින්තූරෙ-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFEzdPgU0XQnSXa0ARjF_gdg4X0xzfLKKrjDiK-PPPwilN3iAacY_roHKZO-VSYiItrzWgQyFwShpz2JGCWmhF5t54QU_3n9CngjfmYJdnBfP9MMTPs5niw3Q1V8KNDEu7_gXbdgBO0pQ/s400/muthu-imesha.jpg]

Monday, July 11, 2011

පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ.........


ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?

නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.
මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා බං අපරාදේ එහෙම ටිකක් කල්හරි හිටියේ කියලා. දැන් බලපන් දැන් ගෙදර එනකොට කෑම ටික හදලා තියෙනවා කිසි කරදරයක් නෑ. අපි දෙන්නත් හොඳට සතුටින් ඉන්නවා.

ඕක තමා හොඳම වැඩේ. ආයේ ලොකු පාටි තියලා බොරු වියදම් කරන්න ඕනෙත් නෑනේ. මුකුත් නොකියා ඉන්න බැටිකමට මමත් කිව්වා.

ඔව් බං....... මමත් උඹලට කියන්නේ කරන දෙයක් පුළුවන් තරම් ඉක්මනට කරගෙනිං, නිකං නාකි වෙනකම් ඉන්න එපා.

කොහෙද අයියේ අපිට ඔහොම තියා කොහොම හරි එක්කං එන්නවත් කවුරුත් නෑනේ.

ඒකනේ බං උඹලත් අනේ මන්දා........ උඹලා ඉතිං කොළඹ උංනේ... උඹලා ඉතිං කොළඹ ලොකු ලොකු සල්ලි කාරයින්ගේ කෙල්ලෝ අල්ලගන්න බලාගෙන ඇති. මම ඉතිං ගොඩේ එකානේ. මට හිතුනා මම එක්කං ආවා. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා.

පිස්සුද බං අයියේ.....උඹ වයස 23න් එක්කං ආවා. සල්ලි කාරයින්ගේ කෙල්ලෝ කොහේ අල්ලන්නද? ඒවා බලං හිටියොත් අපිට 40 පැන්නත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙනවා. මොනවා හරි කියන්න ඕන කමට මමත් කිව්වා.

මල්ලී අපිට පුළුවං කාලෙදී ඒ ඒ දේවල් කරගන්න ඕනේ. මට සල්ලි තියනකොට මම වියදම් කරනවා. අම්මලා අක්කලාට සලකනවා ඈ........ බලපං මම නිතරම කිරි අම්මාව බලන්න යනවා. ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකාලේ ඕවා කරනවා මිසක් නැති වුනාම ගිහින් බලලා ඇවිත් වැඩක් තියනවද බං?
මම මචං පන්සලුත් යනවා හවසට පහනත් තියනවා. ඕවා බං වයසට යනකම් ඉඳලා කරන්න ඕන වැඩ නෙමෙයි. පුළුවං කාලේ කරන්න ඕනේ බං.
මට හිතුනා මම එක්කං ආවා. උඹ දන්නවනේ මං ගැන? කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ.... දැන් අපි සතුටින් ඉන්නවා.............

පලි: මම කලින් කිව්ව සුන්දර ගම්මානේ ඉන්න අයියා කෙනෙක් තමන්ගේ ආදරවන්තියව බිරිඳ කරන් එක්කං ඇවිත්. හැබැයි අයියගේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි මේක දැනගත්තේ පස්සේ. එහෙම එක්කං ඇවිත් තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් ටිකක් අකමැති වුන නිසාම නෙමෙයි. කෙල්ලගේ තාත්තා තව අවුරුදු කීපයක් ඉන්න කිව්ව නිසාලු.
දැන් මාස කීපයකට ඉහතදී මේ අයියට රජයේ රැකියාවක් ලැබුණා ඉන්න තැනකුත් එක්ක. තරමක වැටුපකුත් ලැබනවා. තනියම උයා පිහා ගන්න එකත් අමාරු නිසාලු එක්කං ආවේ. මේ සිද්ධිය තාම නෑදෑ පිරිවර දන්නෙත් නෑ. දැනගත්තාම තමයි මිනිහට ලෝකේ නැති කතා අහන්න වෙන්නේ!


[පින්තූරෙ-http://mariagabrielap.files.wordpress.com/2009/10/boyandgirl2.jpg?w=294&h=284]

Thursday, July 7, 2011

මදුරුවෝ මොන රහද දන්නවද???



දිනක් මහා රාත්‍රියේ
මැච් එකක් බැලුවනේ
පරදින ලකුණු දිස්වුනේ
නිදිමතකි මට පැමිණුනේ

හිඳි තැනින් නැඟිටුනේ
අත් දෙපසට විහිදුනේ
කටත් හැකිතාක් අරිමිනේ
හොඳ හුස්මක් ගත්තනේ

ඕං ඔය වෙලාවේ
මහා විපතකි සිදුවුනේ
මදුරුවෙකි පැමිණුනේ
ඌට බ්‍රේක් නොතිබුණේ

මදුරුවා උගුරේ හිරවුනේ
හිස්ම මඟ නැවතුනේ
දෙතුන් වරක් කැස්සනේ
නෑනේ ඌ පැමිණුනේ

දන්න ශිල්ප දැම්මනේ
හැකිතාක් කැස්සනේ
කාරලත් බැලුවනේ
යළි කටින් නොඑන්නේ

මළ කෙලියකි සිදුවුනේ
මොකද දැන් කරන්නේ
මම මදක් සිතුවනේ
අදහසක් ආවානේ

කුමට මම තැවෙන්නේ
කටින් උගුරට ගියානේ
තවත් ඇතුලට ගියාවේ
බඩට නොවැ වැටෙන්නේ

කුස්සියට මම දිව්වනේ
කෝප්පයක් වතුර බිව්වනේ
මදුරුවා බඩට වැටුනනේ
දැන් කිසිත් නැත දැන්නේ



[පින්තූරෙ-http://www.istockphoto.com/file_thumbview_approve/15926201/2/istockphoto_15926201-cartoon-mosquito.jpg]

Tuesday, July 5, 2011

සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද".......


මට මුලින්ම නින්ද නොයන ලෙඩේ එන්නේ උපෙ කරන්න මාස 7කට විතර කලින් කෙනෙක් හින්දා. අන්තිමේදී මට එයාව ලැබුනෙත් නෑ නින්ද ලැබුනෙත් නෑ. උපෙ ලං වෙන්න ලං වෙන්න හිතේ තිබ්බ බයටද කොහෙද රෑට නින්ද ගියේම නෑ. උපෙ ඉවර වෙලා තවත් අවුරුද්දක්ම ඔය ලෙඩේ අල්ලලා හිටියේ දෙවෙනි පාරටත් උපෙ කරපු නිසා. හැබැයි දෙවෙනි පාර උපෙ කරන කොට මාව මහා නරක පුරුද්දකට ඇබ්බැහි වුනා. ඒ තමයි බස් වල යනකොට නින්ද යන එක. රෑට නින්ද යන්නෙත් නෑ ඇඳේ පෙරලි පෙරලි රෑ 1 විතර වෙනකම් ඉඳලා තමයි නින්ද යන්නේ. ආයේ උදේ 4ට නැඟිටලා රිවිසන් පන්ති යනවා. පාන්දර 5.30 විතර පිළියන්දලින් බස් එකේ නැඟලා ඉඳගත්ත ගමන් අප්පේ නින්ද යන අපූරුව. ජනේලේ අයිනේ හුළං වැහි වැදී හරි අපූරුවට නින්ද යනවා. කොහුවලදී යාළුවෝ ඇහැරවන නිසා බයත් නෑ. (ඔය පන්ති යාමත් හරි අපූරු කතාවක් ඒකත් වෙන දවසක කියන්නම්කෝ)

කොහොමින් කොහොම හරි රෑට නින්ද නොයන ලෙඩේ හොඳ වෙන්නේ දෙවෙනි පාරට උපෙ කරලා ඉවර වුනාට පස්සේ. මොකද මම තදින්ම හිතාගෙන හිටියේ දෙවෙනි පාරටත් උපෙ ඇනගත්තත් ආයේනම් ඒ කරුම විභාගේ කරන්නේ නෑමයි කියලා. ඇත්තමයි උපෙ ඉවර වුනාට පස්සේ මගේ ඔළුවේ තිබ්බ ලොකූ බරක් නැති වුනා වගේ තමයි මට දැනුනේ. ඒක නිසාම වෙන්න ඕනේ මට ආයෙත් යස අපූරුවට රෑට නින්ද යන්න ගත්තා. ඇඳට යනවා විතරයි මතක. 

එහෙම ගිහින් ආයෙත් මාස හය හතකට පස්සේ ඔන්න ආයෙත් මම ගිලිනවා බොරුව කියන මී පැණි තවරපු ආදරේ කියන හක්ක පටස් එකක්! ඔන්න ආයෙත් රෑට නින්ද නෑ. හැබැයි ඒ නම් රෑට මල් කඩපු නිසා. ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පිපුරුවා. ඒකෙනුත් අන්තිම මාසෙම විතර පුපුරන බව දැන දැනම ඔහේ හැපුවා. ඒ අන්තිම මාසේ ඕක පිපුරුවාම වෙන දේ ගැන හිත හිතා ඉඳලම එපාම වුනු නිසා වෙන්න ඇති පුපුරලා සතියක් විතර යනකොට ඔන්න ආයෙමත් යස අපූරුවට රෑට නිදාගන්න පුළුවන් වුනා.

දැන් තත්වය කියනවනම් බොහොම භයානක තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. මොකද කියනවනම් මට දැන් ඇඳට යන ඕනෙම වෙලාවක විනාඩි කීපයක් ඇතුලත බොහොම හොඳට නින්ද යනවා. ඒ විතරක් නම් මදෑ මට ඇඳේ නිදා ගන්නවට වඩා හොඳට බස් වල නින්ද යනවනේ. උදේ, දවල්, හවස ඕන වෙලාවක බස් එකේ වාඩි වෙන්න විතරයි ඕනේ.... විනාඩි පහෙන් මම නිදි. වැඩේ කියන්නේ ගිනි ගහන අව්වේ දවල් දොළහට දාඩිය පෙරාගෙනත් මම නිදි. එක දවසක් කෙල්ලෝ ගොඩක් හිනාවෙනවා හීනෙන් වගේ ඇහෙනකොට මම ඇහැ ඇරලා බැලුවා. මේං කෙල්ලෝ සෙට් එකක් මං දාඩිය පෙරාගෙන නිදා ඉන්න දිහා බලං හිනාවෙනවා. එදානම් මට ඊට පස්සේ උන් බහිනකම්ම නින්ද ගියේ නෑ. එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එකකගේම හිනාවට ලක්වුනු පළවෙනි වතාව. 

ප.ලි: කොච්චර බස් එකේ නින්ද ගියත් මට නින්ද නිසා බස් එකෙන් බහින තැන පහුවුනේ තාම එකම එක පාරක් විතරයි! 


උපෙ යනු උසස් පෙළ යන්නයි. 



[පින්තූරෙ - http://www.petmonologues.com/pet022207/wp-content/uploads/2007/10/cat-sleep1.jpg]

Monday, June 27, 2011

අදෘෂ්‍යමාන බලවේගය සහ කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නා ගැනීම.............


එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ සිතේ ඇති වුනු ඒවාය. ඇය අවසන් පඩිය නැඟ බසයට ගොඩවත්ම ඇය වෙත ලෙංගතු සිනහවක් පෑවේ මගේ උවමනාවින් නොව එය කිරීමට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් මාව පොළඹවන්නට ඇත. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය පිළිබඳව සිතීමට මට අවස්ථාවන් නොලැබිණි. ඇය මාවෙත හෙලූ හසරැල්ල මා සුළු මොහොතකට දැහැන් ගත කිරීමට සමත් විය. 

බසයේ ඉදිරිපසටම වන්නට සිටි මා පසුකර ගිය ඇය මට වම්පසින් සිට ගෙන සිටියි. මම නැවතත් ඒ මුහුණ දෙස බැලීමි. ඇය මගේ දෑස් දෙස එක එල්ලේම බැලුවාය.  ඒ බැල්මද මා නැවත වරක් දැහැන් ගත් කිරීමට සමත් විය. මට තරමක් අසලින් වූ අසුන ඇයට හිමිකරමින් කරුමක්කාර බසය ඊළඟ බස් නැවතුමේ නැවතිනි. මගේ ඇස ඇය සිටි අසුනේ සිටි අනෙක් පුද්ගලයා වෙතට යොමු අතර ඔහු තරමක් මැදි වියේ පුද්ගලයෙකි.  ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන ඔහු බැසිය යුතු බස් නැවතුම තහවුරු කර ගැනීමට වෙහෙසෙයි. 

"වැඩේ හරි! මිනිහා බහින්නයි හදන්නේ මට දැන් එයා ළඟින්ම වාඩි වෙන්න පුළුවන්
මම නැවතත් ඇය දෙස බැලීමි. ඇයත් මා දෙස බලාගෙන සිටියි. ඇය අතේ ෆයිල් කවරයකි. මා මීට කලකට ඉහතදී පාඨමාලාවක් හැදෑරූ පෞද්ගලික අධ්‍යාපන ආයතනක නම එහි සඳහන්ය. මම කල්පනා කරන්නට වීමි.

"දැන් එයා ළඟින් වාඩි උනාම එක පාරටම නම අහන්න හොඳ නෑ. එහෙම වුනොත් කෙල්ල බයවෙයි. මොකාද වගේ පැනපු ගමන් නම අහලා හරියන්නේ නෑනේ. මමත් ටිකක් දන්න එකේ අර ඉන්ස්ටිටියුට් එකේද කියලා අහන්න ඕනේ. ඔව් එහෙම කතාව පටන් ගන්නවා........"

සිතුවිලි අතරේ තවත් බස් නැවතුමක් පසුවිය. මැදි වයසේ පුද්ගලයා තාමත් පෙරසේම කලබලෙන් හාත්පස බලයි. මම නැවතත් ඇය දෙස බැලීමි. ඇය නැවතත් සිනාසෙයි සිනාසී අහක බලාගනියි. මම නැවතත් කල්පනා සයුරේ කිමිදන්නට වීමි.

"ඔන්න පුතේ උඹනම් මෙදා සැරේ ගොඩම තමයි. දෙන දෙයියෝ  බස් එකටම ගෙනත් දීලයි තියෙන්නේ. මෙයානම් මට බස් එකේදිම කැමැත්ත දෙයි වගේ. අහ් අමතක නොකර ෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕනේ. නැත්තම් ආයේ කොහෙන් හොයන්නද. මෙයා හිනාවෙන හැටියටනම් මට ඉල්ලන්න කලින්ම නම්බර් එකයි එඩ්‍රස් එකයි දෙකම දෙයි වගේ. බලගෙන යනකොට අපි වගේ මෙලෝ රහක් නැති කොල්ලන්ටත් කැමති ලස්සන කෙල්ලෝ ඉන්නවනේ. බලමුකෝ ඒකෙත් හැටි................."

සිතුවිලි කෝටියකි. කල්පනාව අතර බසය ඊළඟ නැවතුමේද නවතා දැන් සෙමෙන් සෙමෙන් වේගය වැඩි කරමින් ගමන් කරයි. අංකල් කාරයා බැස්සද දන්නෙත් නෑ. මම අසුන දෙස බැලීමි. අංකල් පෙර සේම ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන බසය නවතවා ගත යුතු ස්ථානය සොයයි. 

අහ් කෝ එයා! 
ඇය ඒ අසුනේ නැත. මම ක්ෂණිකව බසයේ පිටුපස සීට් පේළියට ඉහළින් ඇති වීදුරුවෙන් පිටත බැලීමි. ඈත බස් නැවතුමේ ඇය ඔරවාගෙන බසය දෙස බලා සිටියි. දැන් බසය පිඹගෙන යයි. අදෘෂ්‍යමාන බලවේගය නැවත්ත් මා මෙහෙය වීය. එය මා සෙමෙන් කැඳවාගෙන ගොස් ඇය නොමැතිව හිස් වූ ආසනයෙන් වාඩිකරවූයේය. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය ගැන සිතීමට වෙලාවක් නැත. මට නැවතත් කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නෑමට අවශ්‍ය විය.



ප.ලි : 
මෙය හුදෙක් නිර්මාණයක් පමණක්මය. අත් දැකීමක් නොවේ!




[පින්තූරෙ - http://www.flickr.com/photos/rstromberg/2936463705/sizes/z/in/photostream/]

Monday, June 20, 2011

අප්පටබොල හිඟන්නා!


යනවිට දිනක් හරහා අපි මරදානේ
රතු දැල්වී වාහනේ නැවතුනානේ
දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ
නොකර කතා සැම ඉවසා සිටින්නේ

වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ
දෙකට නැමී යාචකයෙකි මේ ආවේ
"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"
පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ

රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්
දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්
සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල්
එය යාචකයා හට දුනි පාමින් හසරැල්

රුපියක් පහ අතට ගත්තා යාචකයා
දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා
රුපියක් පහක්! මොන හු***ද කියමින්නා
පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා

පහත් අරං බැණ බැණ කුණු හරුපෙන්
මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින්
බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින්
මට එන්න හිතයි පහත් අරං හනිකෙන්

කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ
වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ 
ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ
එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ



[පින්තූරෙ - http://images.travelpod.com/users/redheadgrrl/1.1234919700.traffic-beggar.jpg]

Monday, June 13, 2011

ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ.......

පහුගිය මාසේ අපේ අහල පහල උදවියත් එක්ක අපි ලංකාව වටේම එක එක තැන් වලට ගියා. අර මම කිව්වේ මං දැකපු සුන්දර ගම්මානයක් ගැන එහෙම. එතකොට අර මුහුදු මහාවිහාරය ගැන එහෙමත් කිව්වේ. ඒ අපි ඇවිදපු තැන් වලින් දෙකක්. ට්‍රිප් යනකොට ඉතිං අංකල්ලා කට්ටිය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ වෙලාවට එයාලා දන්න පරණ කතා, ඉස්සර වෙච්ච රසවත් සිදුවීම් එහෙම එළියට එනවා. මේකත් ඒ වගේ වෙලාවක එළියට ආව කතාවක්.

ඔන්න ට්‍රිප් එකක් ගිය වෙලාවක අපි ගියා අපි දන්න අඳුරන කෙනෙක් අලුතින් ගත්තයි කිව්ව පොල්වත්තක් බලන්න කියලා කුරුණෑගල පැත්තේ. ඒ වත්තේ අපිට කොළඹදී ලේසියට හොයාගන්න බැරි බොහොම ගුණදායක කොළ වර්ග පිරිලා තිබුණා. ඔන්න ඉතින් ගැහැණු උදවිය ඔක්කොමලා කැඳ හදන්න කියලා එක එක ජාතියේ කොළ එකතු කරනවා.

එක ඇන්ටි කෙනෙක් වැල්පෙනෙල මිටියක් අරගෙන ආවා වෑන් එකට දාන්න කියලා. මේ වෙලාවේ පිරිමි කට්ටිය ලාවට අරගෙන හිටියේ. අර ඇන්ටි වැල්පෙනෙල මිටිය අරන් එනව දැකපු එක අංකල් කෙනෙක් එතන එහාපැත්තේ හිටපු ඇන්ටිගේ මහත්තයට මෙහෙම කියලා හිනා වෙනවා.

ආ මෙන්න මෙයා උඹට වැල් පෙනෙල හදලා දෙන්න යන්නේ.

එතකොට ඇන්ටි කිව්වා
ආ ඉතිං නරක දෙයක්යැ. වැල්පෙනෙල කොච්චර ගුණද

ආයේ අර අංකල් කියලනවා
ඔව් ඔව් ඕවා මාර ගුණයි ඒක නිසා ඕවා මහත්තයට හදලා දෙනකොට පරිස්සමෙන්

ඇන්ටි: ඉතිං ගුණනම් මොකටද පරිස්සමෙන් කියන්නේ?

අංකල්: ඕව කොච්චර ගුණද කියලා ඔයාල දන්නේ නෑ. පරණ කතාවක් තියනවා වැල්පෙනෙල ගැන ඔයාලා දන්නේ නෑනේ.


ඔන්න කට්ටියගේ දැඩි ඉල්ලීම මත අංකල් මෙහෙම කතාව කිව්වා.

දවසක් එක ගොවියෙක්ට තිබුණලු පතෝල මැස්සක්. ඉතිං පතෝලවැල් මැස්ස උඩින් යනකොට බිම තියන ඉඩත් ප්‍රයෝජනයට ගන්න ඕනේ කියලා හිතපු ගොවියා වැල්පෙනෙල ඇට ටිකක් පතෝල මැස්ස යටින් ඉස්සලු. පස්සේ වැල්පෙනෙල ටිකත් හොඳට හැදිලා තියනකොට පතෝල කරල් හැදෙන්න පටන් ගත්තලු. වැල්පෙනල වල ගුණේ කොච්චරද කියනවනම් සාමාන්‍යයෙන් පහලට වැටෙන පතෝල කරල් උඩ අතට යන්න ගත්තලු.


ඉතිං ඔය කතාවෙයි, "මහත්තයට වැල් පෙනෙල හදලා දෙනකොට පරිස්සමෙන්" කිව්ව කතාවෙයි සම්බන්ධය පිරිමි කට්ටියටනම් ඉක්මනට මීටර් වුනාට ගැහැණු කට්ටියට ඒක මීටර් වෙන්න ටිකක් වෙලා ගියා.

ප.ලි :කතාව කලින් අහලා තියනවනම් ඔන්න කරන්න දෙයක් නෑ.

Tuesday, June 7, 2011

මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල)

මුහුදු මහා විහාරය


මා කලින් ලිපියේ සඳහන් කළ සුන්දර ගම්මානයේ සිට කිලෝමීටර් සීයකටත් වඩා දුරින් පිහිටි පෞරාණික සිද්ධස්ථානයකි පොතුවිල්හි පිහිටි මුහුදු මහාවිහාරය. දැන් දැන් පිරිස් තරමක් මේ සිද්ධස්ථානය නැරඹීමට පැමිණීයද සාමාන්‍ය සතියේ දවසකට එය බොහෝවිට වන්දනා නඩ දෙක තුන වඩා වැඩි නොවිය හැකියි. අනුරාධපුරයට පොළොන්නරුවට ඕනෑම දවසක යන ඔබට ඒ ස්ථාන දැක බලාගැනීමට පැමිණි බොහෝ පිරිස් දැක ගැනීමට හැකියි. නමුත් අප මුහුදු මහාවිහාරයට ගිය අවස්ථාවේ සහ එහි සැරිසැරූ පැය කිහිපයක කාලය තුළ ඒ ස්ථානයට පැමිණියේ එකම එක වන්දනා නඩයක් පමණකි.
මුහුදු මහා විහාරයේ පිහිටීම මෙම සිතියමේ බලන්න


මෙහි 'A' අකුරින් මුහුදු මහාවිහාරයත් 'B' අකුරින් මඟුල්මහා විහාරයත් දැක්වේ. ඔබ කොළඹ අවට පදිංචි වී සිටින අයෙක් නම් මුහුදු මහා විහාරය නැරඹීමට ලංකාවේ මෙහා කොනේ සිට එහා කොනටම යාමට සිදිවෙනු ඇත
මේ සිතියමත් බලන්න


මුහුදු මහාවිහාරය ලකුණු කර ඇති ස්ථානයට තරමක් පහලින් බලන්න. ඔබ මුහුදු මහාවිහාරය ගැන නොදන්නවා වුවත් ඔබ හොඳින් දන්නා ස්ථානටක් දිස්වේවි. ඔව් ඒ ආරුගම් බොක්ක සහ ආරුගම් කලපුව ආශ්‍රිත ප්‍රදේශයයි.

විහාරමහා දේවිය ගොඩ බැස්සේ ලංකාවේ කිනම් ප්‍රදේශයටද? කිසිවෙක් ඔබෙන් ප්‍රශ්න කළොත් බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ 'කිරින්ද වෙරළට' යන්නයි. නමුත් සත්‍ය වශයෙන්ම විහාර මහාදේවිය ගොඩ බැස්සේ මේ මුහුදු මහාවිහාරය ආශ්‍රිත ප්‍රදේශයට බව පුරාතන සෙල්ලිපි වල සඳහන් කරුණු මඟින් දැන් අනාවරණය වී ඇත. මා මේ සඳහන් කළේ පොත පතින් සොයා ගත් කරුණු නොව. මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ වදාළ කරුණුය.

තවදුරටත් උන්වහන්සේ වදාළ පරිදි මේ අවට ගම් වලට නම් ලැබී ඇති අයුරුද පුදුමාකාරය. මගේ මතකයේ ඇති පරිදි ඒ කතා කිහිපයක් දක්වන්නම්.

කැළණිතිස්ස රජු රාජ්‍ය කරන කාලයේ මුහුද ගොඩගැලූ කතාව සියලු දෙනාම පාහේ දන්නවා ඇති. එදා ඒ ව්‍යසනයෙන් ගැලවෙන්න කැළණිතිස්ස රජ තුමාගේ දූ කුමරිය වුනු විහාරමහා දේවිය මුහුදේ පා කරලා හැරියා. ඒ ආරංචිය ලැබුණූ රුහුණේ රජ කරපු කාවන්තිස්ස රජු පිරිවර යොදලා විශාල අට්ටාල ගහලා කුමාරිය රැගත් නැව වෙරලට ගොඩ ගසයිද බලන්න පිරිස යොදවලා තිබුණලු. ඉතිං ඒ අට්ටාල ගහලා තිබ්බ ගම පස්සේ කාලෙට "අට්ටාලගාම" විදිහට තිබිලා පස්සේ දෙමළ ජනයා ඒ ප්‍රදේශයේ බහුල වීමත් සමඟම අද මේ වෙනකොට ඒ ගම හදුන්වන්නේ "අඩ්ඩාලච්චේනෙයි" කියලලු. 

ඊට පස්සේ කුමරිය රැහත් නෞකාව වෙරලට ගොඩ ගැසූ විට ඒ බව පැවසීමට පැමිණි පුද්ගලයා රජුට විස්තර පැවසීමෙන් පසු රජු ඒ පුද්ගලයාගෙන් "කෝ කුමාරිය" යැයි විමසුවාලු. එසේ විමසූ ප්‍රදේශය අද හඳූන්වන්නේ "කෝමාරිය" නමිනි.

රජු "කෝ කුමාරිය" යැයි විමසූ විට එයට පිළිතුරු වශයෙන් පණිවිඩය රැගෙන ආ පුද්ගලයා අත දිගු කොට පෙන්වමින් "අර ගමේ" යැයි පැවසුවාලු. ඔහු එසේ "අර ගමේ" යැයි පෙන්වූ ප්‍රදේශය අද "ආරුගම" නම් වෙයි.

මේ විස්තර සියල්ලක්ම පැවසුවේ මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසිනි. ඔබ ලංකා සිතියමක් රැගෙන නිරීක්ෂණය කළොත් මේ සියළුම ගම්මාන එකිනෙකට ආසන්නව පිහිටා ඇති අයුරු දැක ගත හැකියි.




මේ ඡායාරූපයෙන් දිස්වන්නේ මුහුදු මහාවිහාර භූමියේ තිබෙන නටබුන් වී ගිය ගොඩනැඟිල්ලක කොටසකි. මේ ප්‍රතිමා වලින් කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, රහතන් වහන්සේ නමක් ඉදිරියේ සිටින අයුරු පෙන්නුම් කෙරෙන බව විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ අපිට පැවසුවා.



මේ තවත් නටඹුන්...........
මෙවන් නටඹුන් විහාර භූමියේ තැනින් තැන දැක ගත හැකියි.

තරමක් දුරට ඇවිද ගිය පසු මුහුදු වෙරළ හමුවේ. ඒ ප්‍රදේශයද අයිති විහාර භූමියටමය. එහිද තැනින් තැන නටඹුන් දැකිය හැකියි.




මේ විහාරයට අක්කර දෙසීයත් තුන්සීයත් අතර භූමි ප්‍රමාණයක් අයතව තිබුණත් අද ඉතිරි වී තිබෙන්නේ අක්කර කිහිපයක් පමණයි. අනෙක් සියළුම භූමි ප්‍රදේශ අන්‍යාගමික ජනයා විසින් අත් කරගෙන ඇති බවයි ස්වාමීන් වහන්සේ සඳහන් කළ සිටියේ. තව ඒ ජනයා අතින් සිදුවෙන බවට පැවසූ අකටයුතුකම්ද බොහෝමය. ඇත්ත වශයෙන්ම පන්සල අවට ප්‍රදේශයේ එකදු සිංහල ගෙයක්වත් තිබේදැයි සැක සහිතය. (කරුණාකර ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වද්දී අන්‍යාගමික ජනතාව පිළිබඳව අදහස් දැක්වීමෙන් වලකින්න. මක්නිසාදයත් සිංහල ගම්මාන රාශියක් මැද වෙනත් ආගම සිද්ධස්ථානයක් තිබූණද තත්වය මෙයම විය හැකි බැවිණි.)




මේ ඡායාරූපයේ සිටින්නේ මා ඉහත සඳහන් කළ සියළුම තොරතුරු දේශනා කළ, පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේයි.


මඟුල් මහාවිහාරය



පෙර රජ දවස අප සමාජයේ සියළුම සුභ කටයුතු පන්සල ආශ්‍රිතව සිදුකෙරිනි. එකල විවාහ කටයුතු පවා සිදු කෙරුනේ පන්සල ආශ්‍රිතවය. මඟුල් මහා විහාරය අපට වැදගත් වන්නේ එම විහාරස්ථානය කාවන්තිස්ස රජු විසින් විහාරමහා දේවියව සරණපාවා ගත් ස්ථානය වීම නිසායි.

මෙම පන්සල් භූමියේ සැරි සැරූ කාලය තුල නම් එකඳු වන්දනා නඩයක්වත් එහි පැමිණියේ නැත. නමුත් පන්සලට ඇතුල් වන ස්ථානයේ දෙපස කුඩා කඩවල් තිබිමෙන් කියා පාන්නේ මේ ස්ථානයට සාමාන්‍යයෙන් පිරිස් පැමිණෙන බවයි.

මේ විහාර භූමියේ ඉපැරණි ගොඩනැඟිලි වල ඉතිරව ඇති නටඹුන් රාශියකි. 

මේ විහාරයේ තවත් සුවිශේෂ දෙයක් තිබෙනවා. එනම් ඇතා පිට නැඟි ඇත් ගොව්වාගේ කැටයම රැගත් ලංකාවේ ඇති එකම සඳකඩ පහන හමුවන්නේ මේ ස්ථානයේදී වීමයි.

මේ තිබෙන්නේ එම සඳකඩ පහනයි.


පහළ ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇතා පිට නැඟි ඇත්ගොව්වා කැටයම දිස්වන ආකාරයයි.



මේ විහාරය බොහොම සුන්දර වට පිටාවකින් හෙබි පරිසරයක පිහිටා තිබේ. අති විශාල නෙළුම් මල් සහිත විශාල පොකුණක් පන්සල් භූමියට පැමිණෙන මාර්ගයේදී හමුවිය. එතරම් විශාල නෙළුම් මල් මම ඊට පෙර දැක නොතිබ්බෙමි.

මේ ඡායාරූපයේ සිටින්නේ මඟුල් මහාවිහාරයේ වැඩ සිටි, අපට විහාරයේ අතීතය පිළිබඳව විස්තර පැවසූ ස්වාමීන් වහන්සේයි.


ප.ලි: මම මේ ලිපිය ලියන්න හිටියේ කලින් ලිපිය ලිව්වට පස්සේ සතියේ ඒත් එක එක වැඩ යෙදුනු නිසා මේ ලිපිය ලියන්න වුනේ නෑ. ඒ පිළිබඳව සමාවෙන්න. 

මඟුල් මහාවිහාරය ගැන බොහෝ දෙනක් දන්නවා වුනත් මුහුදු මහා විහාරය ගැන වැඩි දෙනෙක් දන්නේ නෑ. ත්‍රස්ථවාදී උවදුරු එහෙම ඉවර වුන නිසා දැන් දැන් ගොඩ දෙනෙක් මේ ඓතිහාසික සිද්ධස්‍ථාන වලට යන්න පටන් අරන්. 

පොඩි ප්‍රශ්නයක් අහන්නද? සල්ලි තියන අපේ සමහර මිනිස්සු පිටරටවල් වලට යනවා ඒ රටවල් වල තියන දේවල් නරඹලා එන්න කියලා. එයාලා අපේ රටේ තියන සේරම තැන් බලලා ඉවරද?
Related Posts Plugin for WordPress, Blogger...