Thursday, December 22, 2011

අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං!


මමත් කොල්ලෙක් මචං.

මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං.


ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං. 

ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං.

ඒත් උඹ? 

මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං?

උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ කියලද මචං?

මගේ යාළුවා දන්නවා ඌගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ ඌට කෝල් කරන්නේ උඹ කියලා මචං. 

උඹ ඌට පළවෙනිම පාරට කෝල් එක ගත්තු වෙලේ මම හිටියේ මගේ යාළුවත් එක්ක පාර්ටි එකක මචං.

මගේ යාළුවා උඹේ කෝල් එක ගැන සැක හිතුන නිසයි උගේ කෙල්ලට, ඒ කියන්නේ උඹ කැමැත්තෙන් ඉන්න කෙල්ලට උඹේ නම්බර් එක දීලා දන්න එකක්ද කියලා අහලා තියෙන්නේ මචං. 

ඒ වෙලාවේ තමයි මචං ඒ කෙල්ල කියලා තියෙන්නේ ඒ නම්බර් එක, එයාගේ ඔෆිස් එකේ වැඩ කරන, එයාට හැමතිස්සෙම කෝල් කර කර කරදර කරන උඹේ කියලා මචං.

ඔය ගැන මගේ යාළුවාට ඒ කෙල්ල කලිනුත් කියලා තිබ්බලු මචං.

ඔෆිස් එකේදී උඹ එයාගේ ෆෝන් එක උදුරගෙන මගේ යාළුවා එවන මැසේජ් කියවනවලු නේද මචං?


සිරාවටම උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මචං?


උඹ එහෙම කරලා මගේ යාළුවාගේ නම්බර් එක අරගෙන මගේ යාළුවාට, උගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ කෝල් කරා නේද මචං?

උඹ එහෙම කරලා දවස ගානේ කෝල් කර කර මගේ යාළුවත් එක්ක ෆිට් වෙලා උගේ වැරදි හෙව්වා නේද මචං?


ඒවා හොයලා ගිහින් අර කෙල්ලට කිව්වා නේද "ඔයාගේ කොල්ලා මෙන්න මේ වගේ කෙනෙක්" කියලා මචං.


අපෝ මචං උඹ කරපු වැඩේ අහනකොටත් කොල්ලෙක් හැටියට
මට අම්බානකට ලැජ්ජා හිතෙනවා මචං.

උඹ දන්නේ නෑ නේද මගේ යාළුවා උඹට කිව්ව තරමක් කිව්වේ බොරුයි කියලා මචං?


ඌ කිව්වා නේද තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම යාළුයි කියලා මචං? 


ඌ කිව්වා නේද ඌ එක එක ඩ්‍රග්ස් වර්ග ගන්නවයි කියලා මචං?


ඌ කිව්වා නේද එක එක කෙල්ලොන්ව අරං රූම්ස් වලට යනවයි කියලා මචං?


ඒත් උඹ දන්නවද ඒ සේරම බොරුයි කියලා මචං?


ඒ වගේම මගේ යාළුවා උඹව අන්දපු හැටි උඹේ කෝල් කට් කරන සැනින්ම උගේ කෙල්ලට කියන බව උඹ දන්නේ නෑ නේද මචං?


උඹ මගේ යාළුවා කියන සේරම අහං ඉඳලා උගේ කෙල්ලට ගිහින් කියනවා නේද "ඔයා යාළු වෙලා ඉන්න එකා හොඳ එකෙක් නෙමෙයි" කියලා මචං.


උඹ හිතන්නේ ඒ කෙල්ල උඹ කියන ඒවා අහලා උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි උනා කියලද මචං?


නෑ.... එහෙම නෙමෙයි උනේ මචං.


ඒ කෙල්ල මගේ යාළුවාට කියලා තිබ්බා උඹ කරන වැඩ නිසා දැන් උඹේ මූණ බලන්නත් අප්පිරියයි කියලා මචං.


උඹ හිතාගෙන හිටියේ උඹ ඔහොම කේලම් කියලා ඒ කෙල්ලව මගේ යාළුවාගෙන් තරහා කළාම ඒ කෙල්ල උඹත් එක්ක යාළු වෙයි කියලද මචං?


උඹ හෙන මෝඩයි මචං.


මගේ යාළුවා කිව්වා ඒ කෙල්ලට උඹ කෝල් කර කර කරදර කරන නිසා තව දුරටත් උඹව අන්දන්නේ නෑ කියලා මචං.


ඊළඟ සැරේ උඹ කෝල් කරාම උඹට යහපත් ලෙස තේරුම් කරලා දෙනවා කිව්වා මචං.


බය වෙන්න එපා මචං.

උඹේ දත් දෙකක් බඩට යවන්න ඌට උවමනාව තිබ්බත් ඌ එහෙම කරන්නේ නෑ කිව්වා මචං.


මොකද මගේ යාළුවාගේ කෙල්ල වැඩ කරන්නෙත් උඹ වැඩ කරන ඔෆිස් එකේම නිසා මචං.


ඒ කෙල්ලගේ ජොබ් එක ගැන හිතලා මචං.


මට අන්තිමට උඹෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මචං.


සිරාවටම අහන්නේ....... උඹ පිරිමියෙක්ද බං?




ප.ලි : මෙම ලිපියෙන් දැක්වෙන්නේ මගේ මිත්‍රයෙක්ගේ පෙම්වතිය සමඟ යාළු වීමට උත්සහ කරන, ඇය සේවය කරන ආයතනයේම සේවය කරන එකෙක්ගේ පිළිකුල් සහගත ක්‍රියාව පිළිබඳව, ඒකා වැරදීමකින් හෝ මුණ ගැහුනොත් විමසන ආකාරයයි.




[පින්තූරෙ - http://www.queerty.com/wp/docs/2010/04/boyintu39230.jpg]

Monday, December 19, 2011

එදා වැලන්ටයින් දිනයයි!


//මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.//

වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර සිටම දැනෙන්නට පටන්ගෙන තිබිණි. ඒ හාත්පස වූ කඩ සාප්පු රක්ත වර්ණයෙන් හැඩ ගැන්වීමට පටන්ගෙන තිබූ නිසා නොවේ. මාගේ සමහර මිතුරන් මා කැටුව, ඔවුන්ගේ පෙම්වතියන්ට දීමට තෑඟි සෙවීමට කකුල් කඩිත්තුව හැදෙන තුරු ඔවුන් සමඟ කඩ සාප්පු ගානේ ඇවිදීමට වූ නිසාවෙනි. තාමත් ඉගෙනීමේ යෙදන මා මිතුරන් රුපියල් දාහ දෙදාහා පමණක් නොව සමහරුන් රුපියක් පන්දහස පවා ඉක්මවූ තෑගි මිලදී ගැනීම මට අරුමයක් නොවන්නේ දැන් වසර කිහිපයක සිටම ඔවුන් සමඟ වසරකට දෙවතාවක්වත් මේ අයුරුන්ම සාප්පු ගානේ රස්තියාදු ගැසීමට සිදුවන බැවිනි.


ප්‍රමෝදමත් ගතියෙන් දිස්වූ බොහෝ තරුණ තරුණියෝ නෙත ගැටුනු නිසාදෝ, මෙදින වෙනදාට වඩා බොහොම ප්‍රසන්න දිනයක් යැයි මට සිතේ. දෑත් පටලන් සිනාමුසු මුහුණින් ගමන් කරන පෙම්වතුන් වෙනදාට වඩා වැඩි දැයි මම මගෙන්ම ප්‍රශ්න කරගතිමි. බස් රථයේ පවා තුරුල් වී ගමන් කරන පෙම්වතුන් කීප දෙනෙකුම මගේ නෙත ගැටුනි. පෙම්වතුන්ගේ දිනය වූ නිසාවෙන් ඔවුන්ට මගේ අවධානයට යොමු වන්නේදැයි මම නොදනිමි.

උදෑසනටත් වසා සවස් කාලයේ පෙම්වතුන් ඇස ගැටෙන්නේ යැයි මට සිතේ. ඔවුන්ගේ අත්වල තෑගි බෝගය. හැමගේ මුහුණු සිනාවෙන් ආලෝකමත් වී ඇත. බාග වෙලාවට වැලන්ටයින් දිනය නිසාවෙන් ඔවුන්ගේ මුහුණු වල අමුතු සතුටක් මට දිස්වනවාදැයි සැක සිතුනි.


බස් රථයේ එතරම් සෙනඟ නැත. තැනින් තැන හිස් ආසන තිබූ බසය දෙහිවල හන්දියේ නැවතිනි. එතැනින් බසයට ගොඩවූයේ පාසල් යන වයසේයැයි සිතිය හැකි තරුණ යුවලකි. ඔවුන්ගේ අතේ මලු දෙකකි. ඒවායේ ඇත්තේ තෑගියැයි මම අනුමාන කළෙමි. එක ළඟ හිස් ආසන දෙකක් නොවූ බසයේ ඔවුන් හිටගෙන සිටින්නට විය. 


"ඔයා ඔතනින් ඉඳගන්න"
පෙම්වතා පෙම්වතිය පැවසීය.



"නෑ කමක් නෑ"
ඒ පෙම්වතියගේ පිළිතුරයි.

"එන්න නංගි මෙතනින් වාඩි වෙන්න"
ඔවුන් අසලම ආසනයේ හිඳගෙන සිටි අක්කා කෙනෙක් ඔවුන්ට එම ආසනය පිරිනමා ඈ වෙන තැනකින් හිඳ ගත්තාය.



ආදරවන්තයින්ගේ දිනේ දවසේ මිනිස්සුන්ගේ හිත ආදරණීය වෙලා. මේ මිනිස්සුන්ගේ හිත් හැම දවසකම ආදරවන්තයින්ගේ දවස වගේ වෙනවානම් කොච්චර හොඳදැයි මට සිතුනි. බසයේ ජනේලය අසල අසුන්ගෙන සිටි මා හට පාරේ දිස් වන්නේත් සතුටින් ගමන් කරන පෙම්වතුන්මය. අද දවසේ ලෝකෙම ලස්සන වෙලා වගෙයි.....

"බස් වල යනවානම් සල්ලි ගන්නවා මේවායේ පිනට එක්කං යන්න බෑනේ!"
කොන්දොස්තර මහතාගේ ගෙරවුම් හඩින් මගේ සිතුවිලි දැහැන බිඳී ගියේය.

"මං සල්ලි දුන්නා"
ආසන තිබියදීත් ඩ්‍රයිවර් අසල හිටගෙන සිටින, තරමක් වැරහැලි වූ ඇඳුමකින් සැරසී සිටි මැදි වියේ කාන්තාවක් තරහින් පවසයි.

"කොහෙද සල්ලි දුන්නේ? සල්ලි දුන්නානම් මට මතකනේ. රුපියල් නමයක් දෙන්න නැත්තං බස් එකෙන් බහින්න"



"ඒ මොකටද මං බහින්නේ. මං සල්ලි දුන්නානේ"


කොන්දොස්තර බණිමින් බස් ර‍ථය පිටුපසට පැමිණියේය.


"ඔය ගෑණු ඔහොම්මමයි"
කොන්දොස්තර පිටුපස ආසනයක වූ අයෙක් සමඟ මොන මොනවාද දොඩවමින් ඇයට බණිනු ඇසෙයි. කාන්තාවට ගානක්වත් නැති සැටියකි. ඇය හිස් බසයේ හිටගෙන ගමන් කරයි.


රුපියල් නමයක්!
එක්කෝ මේ ගෑණි ඇත්ත කියනවානම්, අර කොන්දාගේ අමතක වීම නිසා රුපියල් නමයකට මේ අහිංසක ගෑණිට කොන්දා නිකරුනේ දොස් කිව්වා. බාග වෙලාවට මේ ගෑණිට සල්ලි දුන්නා වගේ මතකේ තිබ්බාට ඇත්තටම සල්ලි දීලා නැද්ද දන්නෙත් නෑ. හැබැයි මේ ගෑණි බොරු කියනවානම් සමහර විට රුපියල් නමයක් අතේ නැතුව ඇති බස් එකේ යන්න. නැත්තම් බොරු කියලා බැණුම් අහලා හරි රුපියල් නමය ඉතුරු කරගන්න එක ඒ ගෑණිට වටිනවා ඇති.



ඔය කොහොම උනත් රුපියක් නමයයිනේ! අදවගේ ආදරණීය දවසකත් මේ මිනිස්සු රුපියල් නමයකට රණ්ඩු කරගන්න හැටි....
එක්කෝ ඒ මිනිස්සුන්ට රුපියල් නමය ඒ තරමටම වටිනවා ඇති.




[පින්තූරෙ - http://api.ning.com/files/OJv4SY0Y6H4fcLCLCx*9LXIPptJiShh-1T-fhUxoc384f-NBjGNsdIAx7SjcJZJyF2*mPZxtjOQjYr8LEfqqN8E38*Yur--M/file.jpg]

Monday, December 5, 2011

මිත්‍යා ෂුයි!


හිල් කාසියක් කටේ රන්දා
කාසි ගොඩක් උඩ ඉන්නා
තඩි හැල ගෙම්බා
චීනෙන් මෙහාට පැන්නා

කවුදෝ එකෙක් එන්නා
"ගෙම්බා වාසි ගේනා"
ටීවී එකෙන් කියනා
මිත්‍යාව වපුරන ගෙම්බා!

වාසි ගේන හන්දා
අපේ උන් පැන්නා
ගෙම්බාව දෝතින් ගත්තා
ගේ ඉස්සරහා තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
ගෙම්බාට වැන්දා
අනේ ගොං ගෙම්බා!



තවත් කෙනෙක් ඉන්නා
අලි කටත් බලියා
සුද්දා පොට්ට හන්දා
එයාට නමක් දැම්මා
"ලාෆින් බුද්ධා"


සුද්දා කිව්ව හන්දා
හිස් මුදුනින් පිළිගත්තා
අනේ ලාෆින් බුද්ධා!
පුංචි මැදුරක් තනවා
ගේ මැද්දෙන් තිබ්බා
දොහොත් මුදුනේ රන්දා
එයාටත් වැන්දා
අනේ ගොං ගෙම්බා!

සටහන  
ගෙම්බෙකුට තබා මේ ලෝකයේ තිබෙන කිසිම පිළිමයකට තමන්ගේ ආදායම් තත්වය හෝ තමාගේ ජීවන තත්වය උසස් කිරීමට නොහැකි බව සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත ගැකි සත්‍යයක් වුවද, මෙවැනි දෑ විශ්වාස කරන උසස් වෘත්තිකයක් පවා දැකගත හැකි වීමෙන් පැහැදිලි වන්නේ බොහෝ මිනිසුන්ගේ දැනුම පරයා මිත්‍යා විශ්වාස ඉදිරියට පැමිණ ඇති බවය. මෙවන් දෑ විශ්වාස කිරීමෙන් තමන්ට ලැබෙන ලාභ/වාසි කෙසේ වෙතත් මෙවන් මිත්‍යාවන් පතුරවන අයටනම් මේවායින් බොහෝ ලාභ ලැබෙන බවනම් නොඅනුමානය.



[පින්තූර-http://www.glogster.com/media/5/29/28/7/29280721.jpg, http://lorettaecogirl.files.wordpress.com/2011/06/fengshuitoad.jpg]

Thursday, November 24, 2011

වෙනස


අප ගමන් ගත්
පාර දෙපසම
තිබුණු ගහ කොළ
තවම දළුලන

පුරුදු ලෙසටම
පිපෙන කුසුමන්
සුවඳ කරමින්
පාර සරසන

එදා උන් ඒ
සියොත් කැළ තව
අතු අතර හිඳ
ගීත ගයමින

දෑත් පටලන්
සිනාසෙන අර
මහළු ජෝඩුව
තවම යන එන

වෙනස් වී නැත
එදා මෙන්මයි
සොඳුරු මාවත
අප ගමන් කළ

එකම වෙනසයි
අද තනිව යන
මගේ හදවත
කීරි ගස්සන






[පින්තූරෙ - http://farm7.static.flickr.com/6228/6340908255_3195818aae.jpg]

Monday, November 7, 2011

බෞද්ධ දර්ශණයෙන් අපගමනය වූ සමහරුන්ගේ බෞද්ධ "ආගම"...

බ්ලොග් කරනය නම් හිතට සැනසුමක්මය. මේ තරමට කෝප වූ මොහොතක කිසිවෙක්ට බණින්නටත් කිසිවෙක් හා තර්ක කිරීමටත් නොහැකි මොහොතක හිතේ ඇති කෝපය හිඳෙනා තුරු අකුරු වලට ගලපා සයිබරයට මුදාහැරිය හැකිය. එවන් වූ මොහොතක මා මේ ලියන්නට සැරසෙන්නේ අපේ සමහරුන්ගේ බුද්ධාගම ගැනය.

සමහරුන්ගේ බුද්ධාගම බුදුරජාණන් වහන්සේ දේශණා කළ බෞද්ධ දර්ශණයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ අය සිතා සිටින්නේ ලෝකයට පේන්න දාන මාන දීමෙන් නිවන් ලැබෙන බවය. ලෝකයට පෙනෙන්නට දානය දුන්නත් නොදුන්නත් දානය නැමති පුණ්‍ය කර්මයට මූලික වන්නේ සිතේ ඇති සිතුවිලිය. මේ බව අපේ බොහෝ උපාසක ඇත්තෝ නොදනිති. බොහෝ අය දාන මාන පින් කම් සිද්ධ කරන්නේ තමන්ගේ යහපත් බව රටට ලෝකටය ප්‍රදර්ශණය කිරීමටය. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ ලොකුම බිස්නස් ස්වාමීන් වහන්සේයි. එමනිසා උන්වහන්සේ පොඩි පොඩි දාන මාන ආදියට නොවඩියි. ඒ හන්දා කෙසේ හෝ උන්වහන්සේව නිවසට වඩම්මවාගෙන බණ ඇසීම, අපේ උපාසක උපාසිකාවන්ට නිවන් ලැබුවාටත් වඩා සතුටු විය හැකි කාරණයකි. එමෙන්ම නිවසට වැඩමවූ ලොකු හාමුදුරුවන්ට බැදපු තෝර පෙති ලබා දීම යනු මහා බල මහානිසංශ ලැබෙන පුණ්‍ය කර්මයක් සේ අපේ අසරණ උපාසක උපාසිකාවෝ සිතති.

බොහෝ නිවෙස් වල උපාසක උපාසිකාවන් දිනපතාම උදේ 8 සිට 9 වනතුරුම රේඩියෝවෙන් ධර්මය ස්‍රවණය කරයි. තවත් සමහර උපාසක උපාසිකාවන් රාත්‍රී 8 සිට 9 දක්වා ධර්ම දේශණයද කිසි ලෙසකින් මඟ නොහරියි. නමුත් අවාසනාවකට බොහෝ අය සිදුකරන්නේ දර්ම දේශණ වලට සවන් දීම පමණක්මය. ඔවුහු එම දේශණ වල හරය සිත්හි තබා ගැන්මට කිසිසේත් වෙහෙස නොවෙති. එම දේශණා වලට සවන් දෙන බොහෝ පින්වතුන් පින්වතියන් පවසන්නේ "අප්පේ අද බණ ටිකනම් අරූටම/අරකිටම කියනවා වගේ. මේවා ටේප් කරලා ගිහින් දෙන්න වටිනවා" යනුවෙනි. ඒ ඔවුන් ධර්ම දේශණයට සවන් දීමෙන් ලබාත් දේශණයේ හරයයි. එසේ ධර්ම දේශණ සවන්දෙන පිංවතුන්ගෙන් පැය කිහිපයකට පසුව අදාල ධර්ම දේශණයේ කියවුනු කරුණු මොනවාදැයි විමසීම නොහොබිනාය. ඒ හුදෙක් අපේ පිංවතුන්ට දේශණය අමතක වී ගොස් ඇති නිසා නොව ධර්මය ඇසූ කෙනෙක්ගෙන් එසේ විමසන්නේ අධාර්මික ඇත්තන් බැවිණි.

"බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි බුද්ධාගම කියන්නේ දර්ශණයක්" දිනක් උදෑසන ධර්ම දේශණාවකදී ස්වාමීන් වහන්සේ නමක් වදාළ සේක. අපේ පිංවත් ආච්චිලා සීයලාට ඔය කතාව විස්තර කිරීමට ගිය හොත්, කැති පොලු උස්සාන ස්වාමීන් වහන්සේ පිටුපස පන්නාගෙන ගොස් උන්වහන්සේ බුද්ධාගම නැති කිරීමට සිවුරු පොරවා පැමිණි අබෞද්ධයෙකු ලෙස හංවඩු ගසනු ඇතැයි ඇති වූ බිය නිසාමදෝ "මම ඒ සම්බන්ධව මෙතන විස්තර කරන්න යන්නේ නෑ" යනුවෙන් වදාළ උන්වහන්සේ කතාව වෙනතකට හැරවීය.

මේ ලිපියක කියවන ඔබද වැඩිහිටියෙකුට "බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශණයක්" යැයි කිසි විටෙක නොපැවසිය යුතුය. මක් නිසාද යත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය "අප්පේ මේ දැන් හැදෙන උන් කියන කතා. උඹලා වගේ උන් නිසා තමයි මේ ආගම පිරිහෙන්නේ. අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් අපි ඉගෙනගෙන තිබ්බේ මේ ලෝකේ තියන හොඳම ආගම බුද්ධාගම කියලා. ඔය වගේ කට කැඩිච්චි කතා කියලා බුදු දහමට අපහාස කරන්න එපා. ඕවා මහා පව් කතා. ඔය කතා මීට පස්සේ කියන්න එපා. ඕවායේ විපාක මේ ආත්මෙම ඵල දෙනවා!" යන්නට වෙනස් වන්නේ ඉතාම කලාතුරකින්ය. ඒ හැරෙන්නට වැඩිහිටියන් විසින් ඔබව අධර්මිෂ්ඨ පුද්ගලයෙකු ලෙසටද හංවඩු ගැසෙනු ඇත.

ලිපිය ලියන්නට පටන්ගත්තේ කෝපයෙන් වුවද ලිපිය අවසාන වන විට කෝපය සිඳී ගොසින්ය. මාසයක් තිස්සේම අනුන්ගේ ඕප දූප සොයමින්, කෙනෙක් නැති තැන ඔවුන්ට බණිමින්, අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, අනුන්ට වල කපමින් සිට මසකට වරක් පෝයට සිල් සමාදන් වීමෙන් හෝ පන්සල් යෑමෙන් නිවන් අවබෝධ වේ යැයි සිතා සිටින බොහෝ වැඩිහිටි පිංවතුන් පිළිබඳව දැන්නම් මා සිතේ ඇති වන්නේ කණගාටුව මිශ්‍රිත අනුකම්පාවක්ය.

Tuesday, November 1, 2011

කුමක් කරම්දෝ මා?

 
පෙරදා උත්සවයකි
ඇරයුම් කළේ මගේ සකි
ඔහුගේ නෑයෝ රාශියකි
පුංචි සෙට් වීමකි

මධු බඳුන් හිස් විනි
සමහරුන් වැනි වැනී
ගිටාර නාදයෙනි
කවි ගීත කියවිනි

පුංචි සුරඟනක් වැනි
රුවක් මට දිස් විණි
ඇගේ එක බැල්මෙනි
මගේ හද නැවතුනි

විටෙක නෙත් කොනින් බලා
නැවතත් හැරී  බලා
සිනා කැළුම් සලා
ඒවි  මතකයට ගලා

උත්සවය නිම වුනා
පිරිස විසිරුනා
ඇයත් නික්මුනා
මතකයේ නැවතුනා

පසුව දා එළි වුනා
 
රුව සිතේ මැවෙනා
අමුතු හැඟුමකිනා
සිත පිරී ඉතිරෙනා

මිතුරාට කියම්දෝ
ඔහු මොනා කියයිදෝ
ප්‍රශ්නයක් වේදෝ
මා කුමක් කරම්දෝ

හිතාගන්නට බැරුව
කියා ගන්නට බැරුව
අමුතු හැඟීමක් මතුව
හදේ ඇත සිරව
 


 [පින්තූරෙ - http://thumbs.dreamstime.com/thumb_309/1220919805U6p9oE.jpg]

Monday, October 24, 2011

කොල්ලෝ හෙන මෝඩයි බං........

ඊයේ මුළු රෑම වෙලාවකට අඬ අඬා, ආයෙත් වෙලාවකට හිත හිතා ඉඳලා දන්නෙම නැතිව ඉර එළියත් වැටිලයි කියලා චමත්ට තේරුම් ගියේ එහා ගෙදර මාෂි නංගිව ඉස්කෝලේ ගෙනියන්න එන වෑන් එකේ අංකල් කන පැලෙන සයිස් එකට ගහන හෝන් සද්දේ නිසා. ඊයේ හැන්දෑවේ අරුණගෙන් කෝල් එක ඇවිත් විස්තර දැනගත්තු වෙලේ ඉඳන් හිතට දැනුනු, දුකක්ද තරහක්ද කියලා හිතාගන්න බැරි මහා පාළු, මූසල හැඟීම තාමත් චමත්ගේ හිතේ එහෙම්මමයි.


චමත් රුචිනිත් එක්ක යාළු වෙලා දැනට අවුරුද්දකටත් වැඩියි. චමත් වගේ නිවිච්ච ගති පැවතුම් තියන කොල්ලෙක් රුචිනි වගේ විසේ කාර කෙල්ලෙක් එක්ක යාළු උනේ මොන හේතුවකටද කියලා චමත්ගේ යළුවන්ටත් හිතා ගන්න බැරිවුනා.


"මචං ආදරයක් ඇති කරගන්න කොට තමන් ගාව තියන ගති පැවතුම් වලට වඩා වෙනස් ගති පැවතුම් තියන පාර්ට්නර් කෙනෙක් හොයාගන්න මිනිස්සුන්ගේ හිත් ගොඩක් වෙලාවට පෙළබෙනවලු. අන්න ඒ හින්දා තමයි බං හෙන රස්ති කොල්ලන්ට බෝ පැළ වගේ කෙල්ලෝ සෙට් වෙන්නෙත් චමත් වගේ කොල්ලෝ රුචිනිලා වගේ කෙල්ලොන්ව සෙට් කරගන්නෙත්"
ඔය වගේ කතා චමත්ගේ කනට නොවැටුනාමත් නෙමෙයි. පුංචි හිනාවක් දාලා නිකා ඉන්නවා මිසක් කවදාවත් යාළුවොත් එක්ක ඒ දේවල් ගැන තර්ක කරන පුරුද්දක් චමත්ට තිබුණේ නෑ.


අම්මා කහට වැඩියෙන් දාලා හදන කිරි තේක චමත් හැමදාම බ්ව්වේ භාවනාවක් කරනවා වගේ. කිරි තේකෙන් උගුරක් බිව්වාම ඒ කිරි තේ උගුර බඩට වැටෙනකම්ම කිරි තේ උගුරේ රසය උපරිමෙන් විඳින එක චමත්ගේ පුරුද්දක්. පළවෙනි තේ උගුර ඇස් දෙක පියාගෙන උගුරෙන් පහළට දාගන්න වෙලාවලුත් ඕන තරම්. ඒ වගේ වෙලාවක ඒක අම්මාගේ ඇහැට අහු උනොත් හිනා වෙන ගමන් "ළමයෝ හැබෑටම උඹට පිස්සුද?" කියලා අහන්නේ, අම්මා හදන කිරි තේකට චමත් කොච්චර ආසද කියලා අම්මාත් දන්න නිසයි.


ඒත් කඳුලින් පිරුණු කල්පනා සාගරයක ගිලිලා හුස්ම හිරවෙලා උන්නු චමත්ට අද අම්මාගේ කිරි තේකෙන් ආවේ මහා පල් රහක්. "හිතේ තියන මෙලෝ රහක් නැති හැඟීම් තේකට කලවම් වෙලා මහා පල් රහක් එනවා" චමත්ට හිතුනා. චමත් අම්මාට නොපෙනෙන්න තේක මල්පෝච්චියකට හලලා වතුර වීදුරුවක් බ්ව්වා. ඇඳුම් නොඇද පාරේ යන්න බැරි කමට වගේ පොඩි පට්ටං වෙච්චි කමිසයක් ඇඳගත්තු චමත් පන්ති යන්න බෑග් එකත් එල්ලං පාරට බැස්සේ පන්ති යන මුවාවෙන් අවසාන වතාවට රුචිනිව මුණ ගැහෙන්න හිතාගෙන.


මෙච්චර කාලයක් තිස්සේ රුචිනිත් එක්ක කතා වුනු දේවල්, කිසි කෙනෙක්ට නොකිව්ව රහස් රුචිනිත් එක්ක බෙදා ගත්තු හැටි, හිනා වෙවී අත් වැල් පටලන් පාරවල් වල ඔහේ රස්තියාදු ගැහුව හැටි, බීච් එක අයිනේ තුරුල් වෙලා හිටපු හැටි... ඊයේ අරුණට කෝල් එක ආව මොහොත වෙනකම්ම මේ හැම දෙයක් ගැනම හිතෙන වාරයක් පාසා චමත්ටත් නොදැනීම චමත්ගේ මුවඟට හිනාවක් මතු වුනා. ඒත් මේ හැම දෙයක් ගැනම හිතෙනකොට දැන් චමත්ගේ ඇස් අඟින් කඳුලක් එන්නේ චමත්ටත් නොදැනීමයි. ඊටත් වඩා තමන් එක්ක මේ කරපු කියපු හැම දෙයක්ම රුචිනි, චමත් එක්ක යාළු වෙලා ඉන්න ගමන්ම තවත් කොල්ලෙක් එක්කත් කළයි කියලා මතක් වෙද්දී චමත්ට දැනුනේ තමන්ගේ ඔළුවටයි හදවතටයි කවුරුහරි උල් පිහියක් දාලා හාරනවා වගේ හැඟීමක්.


ඔහේ කල්පනා කර කර බස් එක ළඟට ගිය චමත්ට හැමදාම මඟදී මුණ ගැහිලා හිනාවෙන සේපාල අංකල් චමත්ගේ මූණ දිහා පුදුමෙන් බලාගෙන හිටි බවක් චමත්ට දැනුනෙවත් නෑ. එදා චමත් ඇවිදන් ගියෙත් බස් එකේ ගියෙත් ගන්ධබ්බ අවධියක ඉන්න එකෙක් වගේ.


ඊයේ රෑ රුචිනිට කෝල් කරලා තරහින් කිව්වේ බීච් එකේ වෙනදා මුණ ගැහෙන තැනටම එන්න කියලා විතරයි. හැමදාම වගේම අදත් රුචිනි පරක්කුයි. වෙනදා රුචිනි එනකම් වෙරළේ ඉඳගෙන ඈත මුහුට දිහා බලං ඉන්නකොට මුහුදෙන් එන හෝ හඩ චමත්ට දැනුනේ චමත්ටයි රුචිනිටයි ආශිර්වාද කරන්නාක් වගේ හඩක්. ඒත් අද චමත්ට දැනුනේ රුචිනිගේ බොරු ආදරේට රැවටුනු තමන්ට මුහුද හූ කියනවා වගේ හඩක්. ඒ හඩ අමතක කරන්න මනස වෙනතකට යොමු කරන්න හිතුන නිසා චමත් ඈත පේන මාළු අල්ලන් ගොඩට ආව ඔරුවක් දිහා බැලුවා. ගොඩට දාපු මාළු දැලේ පැටළුනු මාළු ටික දෙනෙක් තාමත් ඉන්නවා.
"මමත් පැටළුනා රුචිනිගේ දැලේ, මගේ ආදරෙත් අර මාළුවෙක් වගේ පණ අදිනවා" චමත්ට හිතුනා.


අරුණ කෝල් කරලා කියපු දේවල් තාමත් චමත්ගේ ඔළුවේ දෝං කාර දෙනවා වගේ..


"හෙලෝ මේ චමත් ද?"


"ඔව් චමත් තමයි. කවුද මේ කතාකරන්නේ?"


"මචං මගේ නම අරුණ. මම මේ පොඩි කාරනයක් දැන ගන්න කතා කළේ..."


"ඔව් කියන්න. ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක ලැබුණේ"


"නම්බර් එකනම් රුචිනිගේ ෆෝන් එකෙන් ගත්තේ. මචං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා. උඹගෙයි රුචිනිගෙයි අතරේ මොකක් හරි එෆෙයාර් එකක් තියනවද?"


"හ්ම්ම්ම් ඔව් අපි දැන් යාළු වෙලා අවුරුද්දක් විතර. කවුද ඔය කතා කරන්නේ ඔයාට මොකටද මේ දේවල්?"


"ඒකි මාත් එක්කත් දැන් අවුරුදු එක හමාරක් තිස්සේ ඉඳන් යාළුයි බං. ඒකිගේ ෆෝන් එක බලනකොට මේ නම්බර් එක ගැන සැක හිතිලායි කෝල් කළේ. මට පේන්නේ ඒකි අපි දෙන්නවම රවට්ටලා මචං"


"නෑ නෑ ඒක වෙන්න බෑ. මම කොහොමද ඔයා කියන ඒවා විශ්වාස කරන්නේ...."


"මචං මම මේ ඇත්තමයි කියන්නේ. උඹට මං කියන ඒවා සැකනම් උඹ හොයලා බලපන් මචං. මට නම් තව මේකිත් එක්ක යාළු වෙලා ඉන්න කිසිම උවමනාවක් නෑ. හැබැයි මචං මම නැති උනත් ඔය වගේ කෙල්ලෝ කවදාවත් හැදෙයි කියලානම් මට හිතෙන්නේ නෑ"


"හරි මම හොයලා බලන්නම්කෝ..." කිව්ව චමත් කෝල් එක කට් කළා.


ඊට පස්සේ තමයි පරණ සිද්ධී එකින් එක චමත්ගෙ ඔළුවට එන්න ගත්තේ. තමන් එක්ක ඉන්න සමහර වෙලාවට රුචිනිට එන කෝල් වලට චමත්ට නෑහෙන තැනකට ගිහින් මුකුළු කර කර කතා කරන හැටි. චමත් කෝල් කරන සමහර වෙලාවල් වලදී කෝල් එක කට් කරලා පස්සේ එක එක හේතු කියන හැටි. දවසක් කෝල් කළාම මුහුදේ රැල්ල ගහන සද්දේ ආව නිසා බීච් එකේද ඉන්නේ ඇහුවාම නෑ කිව්ව හැටි. එදා මේ හැම දෙයක් ගැනම අඹමල් රේනුවක තරම්වත් සැක නොකළ චමත්ට මේ වෙලාවේ ඒ හැම දෙයක් ගැනම ආවේ ලොකු සැකයක්. ඒ වගේම තරහක්.


පැය බාගෙකට විතර පස්සේ  රුචිනි, හර්ෂිනි එක්ක ඈත එනවා පෙනුනා. රුචිනිගේ මූණ මළානිකවෙලා.
ඒ මූණ දැක්ක චමත්ට, රුචිනිට බනින්න කියලා හිතාගෙන ආව වචන සේරම අමතක වෙලා ගොළු උනා.


"මම දන්නවා ඇයි ඔයාට තරහා ගිහින් තියෙන්නේ කියලා. ඔයාට අරුණ කෝල් කළා නේද?"


"කෝල් කළා විතරක් නෙමෙයි මට හැම දෙයක්ම කිව්වා. ඇයි ඔයා මට මේ වගේ බොරුවක් කළේ? ඔයා මටත් කළින් අරුණත් එක්ක යාළුවෙලා ඉන්නැද්දි ඇයි මාත් එක්ක යාළු උනේ."


"නෑ නෑ නෑ..... ඒක බොරුවක් චමත්! ඔයත් එක්ක යාළු වෙන්න කලින් එයත් එක්ක යාළු වෙලා හිටපු එක ඇත්ත. ඒත් ඔයත් එක්ක යාළු වෙනකොට ඒ එෆෙයාර් එක තිබ්බේ නෑ. දැන් ඒකා ආයේ මගේ පස්සෙන් එනවා. ඔයාට කෝල් කරලා බොරු කියලා අපි දෙන්නව තරහා කරන්නයි ඌ හදන්නේ..."

"එහෙනම් ඇයි ඔයා මට කලින් මේ දේවක් නොකීවේ?" 

"ඔයා මේවා අහලා කලබල වෙලා අරුණත් එක්ක පැටලෙයි කියලා හිතුනා"
රුචිනි හෝ ගාලා අඩන්න ගත්තා. රුචිනිගේ කඳුළු..... ඔව් රුචිනිගේ කඳුලු තමයි චමත් මේ ලෝකේ තියෙනෙ දේවල් වලින් දකින්න අකමැතිම දේ. චමත්ගේ හිතට මහා වේදනාවක් දැනුනා. හදවත හිස් වෙලා ඇකිලිලා යනවා වගේ දැනුනා.


චමත් රුචිනිව තුරුළු කරගත්තා.
"මට සමාවෙන්න රත්තරං. මම මහා මෝඩයෙක්. මම කොහෙවත් යන එකෙක් කිව්ව දෙයක් අහලා ඔයාව සැක කළා. ඔයා අඩන්න එපා ඔයා මට සමාව දෙනවා නේද?" චමත්, රුචිනිගේ කම්මුල් දිගේ ගලන කඳුළු බොහෝම සියුම් මූර්තියක් අඹන මූර්ති ශිල්පියෙක් වගේ හෙමිහිට පිහිදැම්මා.


"මං සමාව දෙනවා මගේ මෝඩයාට. හැබැයි දැන් පන්ති යන්න ඕනේ අපි හවසට හම්බවෙමු" රුචිනි කිව්වේ චමත්ගේ පපුවට තුරුළු වෙලා කඳූලු අතරින් හුරතලේට හිනා වෙන ගමන්.


රුචිනිත් එක්ක තව ටික වෙලාවක් කතා කර කර හිටිය චමත් පන්තියට පරක්කු වෙලා හරි යන්න පිටත් උනේ හිතේ පුදුම සැහැල්ලුවක් එක්ක. චමත් වෙරළ දිගේ ඈතට යන දිහා රුචිනියි හර්ෂිනියි බලාගෙන හිටියා.


"ඇයි බං රුචී උඹ මේ කොල්ලෝ දෙන්නාට මෙහෙම කරන්නේ. උඹට පව් කියලා හිතෙන්නේ නැද්ද?"


"හර්ෂි මේ උඹ පණ්ඩිතයා නොවී කට පියන් හිටපන්. මට උන් දෙන්නම ඕනේ. චමත්ට මොළේ තියනවා. මට පාඩම් අහගන්න ඌ ඕනේ. අරුණයට සල්ලි තියෙනවා. සල්ලි තියන එකෙක් කොහොමත් ඕනේ"


"අනේ මංදා රුචී කොහොම උනත් උඹ බොරුවට අඩන්නනම් මාර දක්ෂයි"


"මගෙන් ඉගෙන ගනිං ඔව්වා. කොල්ලෝ හෙන මෝඩයි බං. කඳුළු තමයි කෙල්ලෝ අපි ගාව තියන භයානකම ආයුධේ. ඒකට පුළුවන් දියමන්ති වලටත් වඩා ගණකම හිතක් උනත්, රත් වෙච්චි තාච්චියකට දැම්ම බටර් තලියක් වගේ උණු කරලා දාන්න. ඒ විතරක් නෙමෙයි කොල්ලන්ට නොදැනෙන්න උන්ගේ නහය විදලා නාස් ලණුවත් දාන්න පුළුවන්" රුචිනි කිව්වේ චමත්ගේ ඡායාව වෙරළේ ඈත නොපෙනී යනවා බලන් ඉන්න ගමන්.




[පින්තූරෙ - http://fc06.deviantart.net/fs39/i/2009/001/f/b/FAKE_LOVE_White_by_fakestencils.jpg]

Monday, October 17, 2011

ජීවිතය යනු? (අමුතු කවි)

 


ප.ලි : දැනට වැටිලා තියෙන කමෙන්ට් ටික කියෙව්වාම "මේක කවියක්ද?" කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කියලා හිතුනා. ඒකට උත්තරේ මම මීට කලින් ලිව්ව අමුතු කවියේ කමෙන්ට්ස් ටික කියෙව්වානම් හොයාගන්න පුළුවන්. මේ බ්ලොග් අවකාශේ 'දක්ෂයන්' විදිහට මම සලකන අයගෙන් බොහෝ දෙනෙක් එතන කමෙන්ට් කරපු එකත් මට ලොකු සතුටක්! 

Wednesday, October 12, 2011

අයියෝ දේශපාලනය!


පාට පාට මාරු කරන්
එහෙට මෙහෙට පනින
කටුස්සෝ....

පාට පාට වාහන වලින්
අරහෙ මෙහෙ යන
තෝරු...

පාට පාට කණ්නාඩි වලින්
ඔය විකාර බලන
ගොන්නු?



[පින්තූරෙ - http://www.whataretheywaitingfor.com/wp-content/uploads/2010/02/Liberal-Politics.jpg]

Monday, October 3, 2011

චූට්ටක් ගැඹුරු රංගයාගේ දෙකේ ඇළ......


පහුගිය දවසක අපේ ගෙවල් ළඟ පවුල් හතර පහක් එක්කහු වෙලා අපි ගියා ට්‍රිප් එකක් පොළොන්නරුව පැත්තේ. ඔය එක ගෙදරක කුළියට නැවතිලා රස්සාවට ගිය අයියා කෙනෙක් හිටියා. මිනිහත් පොළොන්නරුවේ. හැබැයි දැන් අවුරුදු ගානක ඉඳන් මෙහේ ජොබ් එක කරන නිසා අර ගෙදරම අවුරුදු කීපයක් ඉඳලම මිනිහා දැන් අපිත් එක්කත් ෆිට්. මිනිහගේ නම තමයි රංග. ඉතිං රංගයා කිය කියාමයි හිටියේ මිනිහා ඉන්නේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට පයින් යන දුරින් කියලා. ඇයි තව කියනවා "අපි ඔය පැළයක් හිටවන්න වලක් කපන කොටත් සෙල්ලිපි කෑලි මතු වෙනවා බං" කියලා එහෙම. ඔන්න ඒ හින්දම මිනිහව අපේ නඩේ ගුරා කරගත්තා.

හැබැයි රංගයා කිව්වා වගේම මිනිහාගේ ගෙවල් තිබ්බේ පොළොන්නරුවේ නටඹුන් තියන හරියට හරිම කිට්ටුවෙන්. මිනිහාගේ ගෙදර පොඩි පොකුණක් හදලත් තිබ්බා. ඒකේ හරි මැද්දෙක් ලස්සනට කපපු කොටු කළු ගලක් තිබ්බ නිසා මාත් පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. අප්පට සිරි ඒකත් සෙල්ලිපියක්! ඉතිං කොහොම හරි මිනිහා ඒ කිට්ටුවෙන්ම අපිට නවතින්නත් හොඳ තැනක් සෙට් කරලා දුන්නා. 

ඔන්න පළවෙනි දවසේ පොළොන්නරුවට එන ගමන් අතර මඟ සිද්ධස්ථාන වැද පුදාගෙන නවතින තැනට එනකොට රෑ 7.30 ට විතර ඇති. ඇඟටත් මාර තෙහෙට්ටුයි. තාත්තලා නම් පොඩි වොෂ් එකක් දාන් තෙහෙට්ටුව නිවා ගන්න හිතාගෙන බයිට් එක හදනවා. අපේ සෙට් එකත් තෙහෙට්ටු නිවන අරිෂ්ඨ ගෙනිහින් තිබ්බේ. ඒත් මඟ දිහටම ඇළවල් එහෙමත් පහු කරගෙන ආව නිසාම වෙන්න ඇති "මේ පැත්තේ ඇළක්වත් නැද්ද බං පනින්න" කියලා අපේ එකෙක් රංගගෙන් ඇහුවේ. 
"අයියෝ බං දෙකේ ඇළ ඔය පොඩ්ඩක් ඉස්සරහින් යන්නේ. යමං ඕන්නම් නාගෙන එන්න" රංගයත් කිව්වා.

ඌ කිව්වට කරුවලේ නාන්න අපිට පොඩි බයකුත් තිබ්බා. අපේ එකෙක්ටවත් හරියට පීන ගන්නත් බෑ. ඇරත් අම්මලා සුවර් එකටම දෙන්නේ නෑ රෑ ඇළේ බහින්න. 
අපේ සෙට් එකේ ප්‍රදීපයා නොදන්න තැන් වල කළුවලේ නෑම වගේ ත්‍රාසජනක වැඩ වලට යන්න බයයි. ඒක නිසාමයි ඌ රංගයාගෙන් ඇහුවේ. 
"යකෝ මේ කරුවෙලේ උඹනම් පීනයි මාළුවා වගේ අපිට පීනන්නත් බෑ මොනවා හරි උනොත්. ඕක කොච්චර විතර ගැඹුරුද?" කියලා.
"අයියෝ චූට්ටයි ගැඹුරු. මගේ පපුව ගානට වතුර බං. බය වෙන්න දෙයක් නෑ" රංගයත් කිව්වා.
පස්සේ කොහොම හරි කට්ටියම කතා වෙලා අම්මලාට නොකියා අපි තාත්තලාට කියලා යමු කියලා කතා වුනා. අපි රංගයාටම කිව්වා තාත්තලාට කියපං කියලා. මිනිහා කිව්වාම ඉතිං තාත්තලාට විස්වාසයිනේ. ඇයි මේ මිනිහාගේ ගමනේ.
"අයියෝ බයවෙන්න දෙයක් නෑ මේං මෙතෙන්ට වතුර" තාත්තල ඇළ කොච්චර ගැඹුරුද ඇහුවාම රංගයා කිව්වේ බුරිය හරියට අත තියලා පෙන්නලා.

ඇළ ගාවට යන ගමන් ප්‍රදීපයා කිය කියා ගියේ "මූ කිව්වාට මම මුලින්ම ඇළට බැහැලා බලන්නම් ඒක ගැඹුරුද කියලා"
අපිට කොහොමත් ප්‍රදීපයාව සුවර්. ඌ බොහොම පරිස්සමට පිළිවෙලට වැඩ කරන එකා. ඒ මොනවා කිය කිය ගියත් ප්‍රදීපයා හිමීට ඇඳුම් ගලවලා නවලා පැත්තකින් ලස්සනට තියන අතරේ චම්පකයා ඇළේ පඩි දිගේ බහින්න ගත්තා. මිනිහා තුන් වෙනි පඩියට බැහැලා හතර වෙනි පඩියට බහින්න බැලුවා.
"යකෝ මේකේ හතර වෙනි පඩියක් නෑ. තුන්වෙනි එකත් කැඩිලා එකෙක්ට විතරයි හිටගන්න පුළුවන්" කියලා ගොඩට ආවා. ප්‍රදීපයා තාමත් ඇඳුම් නමනවා. 

"අපෝ උඹලා ගෑනු වගේනේ" කියලා රංගයා පැන්නා ඇළට ජබෝස් ගාලා. ඌට මොකද ඌ පීනනවා ඇළේ ඒ කොනේ ඉඳන් මේ කොනට. 

ප්‍රදීපයා පරක්කු නිසා මම ගියා ඇළේ ගැඹුර බලන්න.

පළවෙනි පඩියට බැස්සා. කකුළේ විලුම්බෙන් පොඩ්ඩක් උඩට වතුර. දෙවෙනි එකට බැස්සා. දණිස්ස ගාවට වතුර. තුන් වෙනි එකට බහින්න බැළුවා. අප්පා ඒක කැඩිලා ගිහින් අඩි 2ක් වත් දිහ නැති කෑල්ලක් විතරයි. ඒකටත් බැස්සා. බුරිය ගාවට වතුර. හතර වෙනි පඩියට අඩිය තියන්න බැළුවා හුටා! එහෙම එකක් නෑ. ඇළේ පතුලවත් අහුවෙයිද බැළුවා ඒත් නෑ. මමත් ගොඩට ආවා. රංගයානම් අපිට හිනා වෙවී පීනනවා.

"මේ උඹ ඔය ඉන්න හරිය කොච්චර ගැඹුටද" අපිට වඩා මීටරයක් විතර එහායින් හිටපු රංගයාගෙන් ප්‍රදීපයා ඇහුවා. 
"ඕං බලාගනින්!" රංගයා එක අතක් උස්සන් වතුර යටට ගියා. අපිට උගේ අතින් පෙනුනේ අල්ල විතරයි. 
"අන්න එච්චරයි ගැඹූරු" රංගයා වතුරෙන් මතුවෙලා වැඩ කාරයා වගේ කිව්වා.

"ඈ යකෝ තෝ කිව්වා නේද පපුව හරියට වතුර තියෙන්නේ කියලා?" දර්ශනයට නම් තරහා ගිහින්ද මන්දා. 
කොහොම හරි ප්‍රදීපයා දෙවෙනි පඩියේ ඉදන් ලාවට ඇඟ තෙමා ගත්තා. මමයි අනිත් උන් දෙන්නයි සැරෙන් සැරේට තුන් වෙනි පඩියට බැහැලා ලාවට ඇඟ තෙමා ගත්තා. රංගයානම් පීන පීන අපිට විහිළු කර කර ඉන්නවා. ඒ ගමන් මූ අපි නාන තැනට පොඩ්ඩක් එගා ඉවුර අයින පෙන්නලා කියනවා

"අන්න අතන තමයි බං ගිය මාසේ ට්‍රිප් එකක් ආව පොඩි කෙල්ලෙක් මේක් ගිලිලා මැරිලා හිටියේ" 

ඒක ඇහුව වෙලේ ඉඳන්  ප්‍රදිපයා "යං යං" ගගා කෑ ගහන්න ගත්තු නිසා අපි ගොඩට ආවා(කොහොමත් ගොඩ තමයි හිටියේ). එන ගමන් ඉතිං රංගයාට බැනුම් ගොඩයි. ඒ අස්සේ රංගයා කියනවා.
"නෑ බං මමත් මේ මෙතනට නාන්න ආවේ අවුරුදු 15කින් විතර බං. නැත්තම් මම යන්නේ අපේ ආච්චිලාගේ ගේ ගාව තැනට. එතන රෑට පට්ට කළුවරයි. ඒකයි මම උඹලව මෙතන්ට එක්කං ආවේ. හරි අපි හෙට රෑට එතනට යමු"
"එතන කොච්චරද බං ගැඹුරු මෙතනට වඩා චූට්ටක් ගැඹූරුද?" මං ඇහුවා.
"යකෝ උඹ දැන්ද කියන්නේ අවුරුදු 15 කින් එතන නාලා නෑ කියලා? අපේ එකෙක් එහෙම ගියානම්" ප්‍රදීපයාට ඒ පාරනම් සිරාවටම කේන්ති ගිහින්.

"උඹලගෙන් එකෙක් ගියානම් මම කියනවැයි මම මෙතන අවුරුදු 15 කින් නෑවේ නෑ කියලා. ඇරත් ගොඩ නාන උන් කොකොමද ඇළේ ගහගෙන යන්නේ" රංගයා කිව්වා.

ප.ලි : 
මට ඔය වැඩේම මගේ නෑ වෙන මල්ලි කෙනෙකුත් කළා අර සුන්දර ගම්මානෙට ගිය වෙලේ. රෑ ගියා නාන්න ගේ ඉස්සරහින්ම යන ඇළට. ඒකට බහින්න පඩි තිබ්බෙ නෑ. බැස්ස ගමන් මගේ බෙල්ල ගාවට වතුර. ඒකනම් අවුලක් නෑ. වැඩේ කියන්නේ ඒකේ මාර වේගෙන් වතුර එනවා. මම පැත්තට හිටගෙන නෑවේ. වතුරට ලම්භකව(මෙතෙනට දාන්න සාමාන්‍ය වචනයක් හොයාගන්න බැරි උනා) හිටගන්න බෑ ගහගෙන යනවා. පස්සේ නාලා ගොඩට එනකොට අරූ මම නෑව තැනව මීටර් තුන හරක් ඈත තැනක් පෙන්නලා මට කියනවා 
"ආං අර හරිය ඔයා වගේ දෙකක් විතර ගැඹූරුයි" කියලා. අන්න එවෙලෙනම් මට &$%$#^&@##.

කොහොම උනත් කියන්න ඕනෙම දෙයක් තියනවා. තෙහෙට්ටු වෙලාවක ඇළකට බැහැලා නෑවාම තියන සනීපේ අපිට කවදාවත් ෂවර් එකකට ඔළුව අල්ලලා ලබාගන්න බෑ!


මෙහි එන නම් ගම් සහ කතාව ඇතුළු සියල්ල  සත්‍ය වේ!


[පින්තූරෙ - http://www.turnbacktogod.com/wp-content/uploads/2008/07/sacred-jordan-river-0106.jpg]

Monday, September 12, 2011

ආදරේ විකිණීමට තිබේ!

අතේ සතේ
නැති එදා
තිබූ සතෙත්
බසයටම පුදා
ඇගේ පස්සෙන්
ගියේ
සැරසිලා
කැරකිලා

ආදරෙයි මා
සදා
කියූ විට
එදා
ගියේ වෙනතක්
බලා
ගස්සලා
ඔරවලා

අතේ සතේ
නැති නිසා
ගියෙමි
පිටරට බලා
මාළිගා තනන්නට
හීන
බල බලා
හිත හිතා

දෙවසරක් ගෙවා
ආවේ මා
මෙදා
රත්‍රං
මාල
මුදු
පළඳලා
සැරසිලා

හැරී මා දෙස
බලා
කෙල්ලෝ
දොඩමලු වෙනා
ෂඃ බලන්නකෝ
ඔයා
තර වෙලා
සුදු වෙලා

ළඟදී දවසක්
එයා
ඇගේ හැප්පුනා
බොරු තරහක්
මවා
ගියානේ එයා
හිනැහිලා
බිම බලා

එදා වගේද
මෙදා
ආදරේ ඉල්ලයි
එයා
මා දෑත බදා
බොරු
ගොත ගොතා
හඬ හඬා
 
ප/ලි : මටත් නොදැනිම මගේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දාලා අද වෙනකොට අවුරුද්දකටත් වඩා ගතවෙලා.....
මෙච්චර කාලයක් මාත් එක්ක හිටපු අදටත් ඉන්න හැමෝටම ස්තූතියි.....
(පින්තූරෙ - http://goo.gl/8GQb1)

Monday, September 5, 2011

මගේ වරදින් මා හැරදා ගිය ඈ එනතුරා.............


ළඟ සිටි කළ නොදැනුනි මට ඔබේ         අගේ
ළඟ නැති විට දැනුනයි මට ඔබේ           අගේ
නිවාඩුවට පාළු වූ පාසලක්                   වගේ
දරන්න බෑ පාළුයි මුළු සිතම                මගේ

මටත් හොරා මගෙ සිත පෙම් බැන්ද         වග
පසක් උනේ නැතිවිට ඔබ මගේ               ළඟ
ගුලි වී වකුටු වී මම දැන් ඇඳේ               අග
ඔබ එනතුරා නෙතු නොපියා බලමි           මඟ

නොගැලපෙනා පෙම්වතියක් උනත්           එදා
මුණගස්සා දුන් පාඩම් මෙමට               බෙදා
ඒ පාඩම් පවතියි තව සිතේ                   රඳා
එකලත් මා සුවපත් කළ ඔබයි              වෙදා

බ්ලොග් ලියන්න මඟ සැදුවෙත් ඔබම      තමයි
නව මිතුරන් හමු වූයෙත් ඔබ               හින්දයි
දැන් ඒ කිසිත් නැත්තේ ඔබ නැති          හින්දයි
තව ඉවසන්න බෑ ඔබවම හද               ඉල්ලයි

අලුත් සිංදු නෑ ඔබ ළඟ නැති              හන්දා
අලුත් ෆිල්ම් නැත්තෙත් ඔබ නැති          හන්දා
යලි කවදා බ්ලොග් කියවන්නද            මන්දා
බෙල්ල රිදෙයි උඩ බලාන උන්            හන්දා

මෙය කියවා ඔබසැම යන්නට                     යාවී
තව සමහරුන් අදහස් දක්වා                      යාවී
ඒ  අය  හට  මගේ පිළිතුරු නැති                වේවී
"ඇය නොමැතිවද කමෙන්ට්ස් නැත්තේ"   විමසාවී

කුමක් නිසාදැයි මා හට ඇය නැති          වූයේ
පැනයක් නොවෙද ඔබහට දැන් ඇති       වූයේ
ලං වී සවන් දෙනු මෙලෙසයි සිදු           වූයේ
ඔබහට කියන්නත් ලැජ්ජයි සිදු වූ             දේ

සිත්තර තරඟයක් පෙරදා               පැවතූයේ
එම තරඟෙන් මා පළවෙනියා                වූයේ
එම සතුටටයි මොඩමය උඩ විසි            වූයේ
ගිලිහුනු නිසයි සියතින්, එය කුඩු             වූයේ

මා මෙන් කිසිදා ඔබ නම් කරනු                  එපා
සතුට නිසා මොඩමය උඩ දමනු                 එපා
රවුටර් උනත් කිසිදා උඩ දමනු                  එපා
හතුරෙකුටවත් මෙලෙසින් නම් වෙන්න         එපා

මේ කවි පෙල දමා යන්න මේ            පැත්තේ
ලොකු මුදලක්ය මා අද වැය කර         ගත්තේ
යලි කවදා ඈ හමුවේද නොම            දත්තේ
ඇය කවුදැයි ඔබ හට පැහැදිලි          ඇත්තේ

Monday, August 22, 2011

ඔබ නොදන්න තවත් එක් ආදර කතාවක්....


පොළව,
අහසට ආදරේ කළා
..........
තමන්ගේ මුළු ගතම
තෙත් කරපු
වැහි කඳුලට
පොළව ආදරේ කළා
පුර පෝයට
අහසේ ඉන්න
සඳ ලපයට
පොළව ආදරේ කළා
තරු පායපු රෑ
අහස් කුසේ
තරු මාලෙට
පොළව ආදරේ කළා

පොළව....
ඒ ආදරේ
හිතේ තියාන උන්නා

අහස
ක්ෂිතිජයේදී
මුණ ගැහුනාම
ඒ ආදරේ
කියනවාමයි කියලා
හිතාන උන්නා
...................
...............
ඒ ආදරේ
හිතේ තියාන
පොළව තාමත් ඉන්නවා

අහස
ක්ෂිතිජයේදී 
මුණ ගැහෙනකම්......

Thursday, August 18, 2011

ලෝකයේ දියුණුවෙන් මිනිසාට සිදුවන්නේ යහපතක්මද?


ජීවය මිහිපිට ආරම්භ වුණු දවසේ ඉඳන් අද වෙනකොට මිනිසා කියන සත්වයා කොච්චරනම් දියුණු වෙලාද? ඒත් හදිස්සිය්න් වගේ මගේ හිතට ආව ප්‍රශ්නයක් තමයි මිනිසාගේ මේ දියුණුව නිසා ඇත්තටම මිනිසාට යහපතක් වෙනවාමද කියන එක. 

අපි හිතලා බලමු වාහන කියන දේ හොයාගන්න කලින් මිනිස්සු බොහෝවිට ගමන් කරන්න ඇත්තේ පයින්මයි. ඉතිං ඒකාලේ මිනිස්සුන්ට අධික තරබාරුකම නිසා ඇතිවෙන ලෙඩරෝග බොහෝම අඩු වෙන්න ඇති. ඒත් මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න නිපදවපු වාහන නිසා මොකද වෙලාතියන්නේ? මිනිස්සු ඔක්කොම කම්මැලි වෙලා. එක බස් හෝල්ට් එකක ඉඳන් මීටර් ගානක් එහායින් තියන තව හෝල්ට් එකකට යන්නෙත් බස් එකේ. සල්ලි තියන උදවිය තමන්ගෙම වාහන වලින් යනවා. මේ ළඟකදි මම දැක්කා එක අංකල් කෙනෙක් කාර් එකේ වාඩිවෙලා හිටියා. එයා කොච්චර මහතද කියනවනම් සුක්කානම බඩේ වදිනවා.

බොහෝම ඉස්සර ඉස්කෝල නැති කාලේ ළමයි ගෙදර ඉන්නකොට එයාලගේ අම්මාගෙන් තාත්තාගෙන් සමාජය ගැන රටේ ලෝකේ ගැන ගොවිතැන ගැන ආදිය දැනගන්න ඇති. තව එයාලගේම අත්දැකීම් වලින් යම් යම් දේවල් ඉගෙන ගන්න ඇති. ඒත් අද අධ්‍යාපන ක්‍රමය සෑහෙන්න දියුණුවෙලා. කාලෙන් කාලෙට විෂය නිර්දේශ වෙනස් වෙනවා. මේ ළඟදි මට කැම්පස් ගිහින් අවසන් වුණු කෙනෙක්, උසස්පෙළ විෂය නිර්දේශය දැකලා කියනවා ඇහුනා එයාලට කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ උගන්නපු දේවල් මේ නව නිර්දශයේ තියනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැනුම දියුණු වෙනවා. ඒත් මේ නිසා ඉගෙනීම සංකීරණ වෙලා. තරඟකාරීත්වය වැඩි වෙලා. උසස්පෙළ කරන ළමයින්ගෙන් කීයෙන් කී දෙනයිද අතිරේක වැඩ කටයුතුවල යෙදෙන්නේ? උසස්පෙළ කරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "අනේ ඕවට කෝ වෙලාවක්" කියලා. ගොඩක් වෙලාවට ගෙවල් වලින් උනත් කැමැත්තක් නෑ තමන්ගේ ළමයා උසස් පෙළ කරන ගමන් අමතර දෙයක යෙදෙනවාට.  අධ්‍යාපනය මහා තරඟයක් වෙලා. මේ නිසා අපේ ජීවිත සංකීර්ණ වෙලා.

මුදල් කියලා දෙයක් නොතිබුණු කාලේ මිනුස්සු කෑවේ බිව්වේ නැති වෙන්න බෑ. ඒ කාලේත් මිනිස්සු කාලා ඇඳලා ජීවත්වෙන්න ඇති. හැබැයි කාලයත් එක්ක දියුණු වෙලා අද මුදල් කියලා දෙයක් තියනවා. ඉතිං අපි හැමෝම මේ උත්සාහ කරන්නේ වැඩි වැඩියෙන් මුදල් කියන දේ එකතු කරන්නයි. කිසි කෙනෙක්ට කියන්න බෑ මම නම් මේ රස්සාව කරන්නේ මුදල් හොයන්න නෙමෙයි කියලා. මුදල් නැතුව අද කිසිම කෙනෙක්ට කාලා ඇඳලා ජීවත් වෙන්න බෑ. සමහරු හොරකම් කරන්නෙත් සමහරු මිනී මරන්නත් මුදල් නිසාමයි. කොහොම හරි කරලා වැඩියෙන් උපයාගන්න දඟලන අද කාලේ මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා.

අද මේ තියන පහසු කම්, මිල මුදල්, යාන වාහන කිසිම දෙයක් නැති කාලෙත් මිනිස්සු ජීවත්වෙලා අන්තිමේ මැරිලා ගියා. අද කාලේ මිනිස්සු පහසු කම්, මිල මුදල්, යාන වාහන සහ තව නොයෙකුත් දේවල් ලබාගන්න මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා අන්තිමට මැරිලා යනවා. අන්තිමට කොහොමත් අපි මැරිලා යන එකමයි වෙන්නේ. ඒත් එහෙමවුනත් අද ලෝකේ යන අතටම අපිටත් යන්න වෙනවා. අපායට වුනත් දිව්‍යලෝකෙට වුනත් හැමෝම යන පස්සේ අපිටත් යන්න වෙනවා......
මිනිස්සු දියුණු වෙලා ජීවිත සංකීර්ණ වෙලා............

ප.ලි : ගණන් ගන්න එපා මේ දවස්වල ඔයවගේ විකාර මට නිතරම හිතෙනවා.


[පින්තූරෙ-http://www.supercoloring.com/wp-content/main/2009_07/So-tired-after-shopping-coloring-page.jpg]

Monday, August 8, 2011

ලස්සන වෙන්න මෙන්න තෛයිලේ.......

කළු අයව
සුදු කරන්න
මහත අයව
කෙට්ටු කරන්න
මූණේ කුරුලෑ
නැති කරන්න
ලප කැළැල්
මකා ගන්න
සති ගණන්
යන්නේ නෑ
වැඩ දන්නවනම්
එක පැයයි
.............
පොටෝෂොප් තෛයිලේ
අත්දුටුවයි
ප්‍රත්‍යක්ෂයි!

Tuesday, July 26, 2011

අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා)


තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි.  "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.

ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර පංතියේ ළමුන්ට මා නියමිත කර තිබූයේ තමාගේ අනාගතයේ තමන් පිළිබඳව කතාවකට සූදානම්වී පැමිණෙන ලෙසයි. ඒ අනූව එදින ළමෝ එකිනෙකා තමාගේ කතාවන් පැවැත්වූහ. අප කුඩා කල අපෙන් කිසිවෙකු අපේ අනාගත බලපොරොත්තුව විමසුවොත් අප සැම දෙනාටම පාහේ කීමට තිබූයේ කාරණා කිහිපයක් පමණි. එකල දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රටට වැඩදායි පුරවැසියෙක් යන අවස්ථා තුන හැරුනුකොට වෙනත් දෙයක් පැවසු ළමයෙක් නැති තරම්ය. නමුත් අද මේ දරුවනට ඇති අනාගත බලාපොරොත්තු බොහෝමය. අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ආකිටෙක්ට් කෙනෙක්වෙන්න කියයි තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි. ඒ අතරේ ඊළඟ කතාව කිරීමට තිබුයේ අයිර්ලියා දැරියටයි.

පංතියේ ඉදිරියට පැමිණි ඈ කතාව ආරම්භ කළාය.

"සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මගේ අනාගත බලාපොරොත්තුව පිළිබඳව වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි"
"මගේ අනාගත බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න"

මට මාගේ දෙසවන් ඇදහිය නොහැකි විය.
"මොකක්ද අයිර්ලියා කිව්වේ?"
මම ඇගෙන් නැවත් විමසීමි.

"සර් මම කිව්වේ මගේ අනාගත් බලාපොරොත්තුව ටෙලි නාට්‍ය නිළියක් වෙන්න කියලා"

"මොනවා!" මම මවිත වීමි
කුඩා දැරිවියව ගුරු මේසය අසලට කැඳවා ගත් මා ඇගෙන් ටෙලි නාට්‍ය පිළිබඳව දැනගත් අයුරු විමසන්නට විය.

"දුව ටෙලි නාට්ටි බලලා තියනවද?"
"ඔව් සර් මම ගෙදරදි බලනවා"
"ගෙදර ටෙලි නාට්ටි පෙන්නන චැනල් අහුවෙනවද?"
"සාලේ ටීවී එකේ නෑ සර් ඒත් අම්මලාගේ කාමරේ ටීවී එකේ තියනවා. අම්මලා එනකොට හවස් වෙනවනේ සර්, ඉතිං අම්මලා එනකම් මම නාට්ටි බලනවා"

මට කාරණය වැටහුනි. වහාම ඇගේ පියාට ඇමතූ මම හැකිනම් එදිනම හෝ පසු දින පාසලට පැමිණෙන මෙන් දැන්වූයෙමි. නමුත් මාතර පිහිටි තම සේවා ස්ථානයේ සිට කොළඹ පිහිටි පාසලට විනාඩි 20කටත් නොඅඩු කාලයකදී පැමිණීමට ඔහුට අධිවේගී මාර්ගය නිසා හැකි විය.

මම ඔහුට සිදුවූ දෑ පැවසුවෙමි. අවසානයේ මෙසේ විමසීමි
"දැන් බලන්න වෙලා තියන දේ දෙමව්පියෝ විදිහට ඔයාල මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ නේද? පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට නාට්ටි පෙන්නන චැනල් ටික සල්ලි දීලා ගන්න තරම් ඔයාලා මෝඩද?" මම තරහෙන් පැවසුවෙමි.

"මට වැරැද්ද තේරෙනවා සර්. මම දැන්ම ගිහින් ඒ චැනල් ටික අයින් කරනවා" එසේ පවසන විට පියාගේ වත රත් පැහැ ගැන්වුනේ ලැජ්ජාවටද, දුකටද, තරහටදැයි මම නොදත්තෙමි.

"චැනල් ටික අයින් කරලා විතරක් හරියන්නේ නෑ. මේ දරුවට සමාජයේ හොඳ නරක කියලා දෙන්න"
ඔහුට අවවාද රාශියක් දී පිටත් කළ මා ඒ දැරිවියටත් ඇගේ බලාපොරොත්තුවේ ඇති නරක පැත්ත පිළිබඳව හැකිතාක් දුරට තේරුම් කර දීමට උත්සාහ ගතිමි. නමුත් ඒ පුංචි දැරිවියට ඒ දේවල් වැටහුනාද යන්න සැක සහිතය.

මේ පුවත් පත් දැන්වීම එසේ පසුගිය සතියේ සිදු වූ ඒ සිදුවීම මට නැවත සිහිපත් කිරීමට සමත් විය. මම නැවත දැන්වීම කියවාගෙන ගියෙමි. පොල්ගෙඩි අකුරින් මෙසේ සඳහන් වී තිබිණි.
'අලුත් මෙගා ටෙලි නාට්‍යයකට ප්‍රධාන චරිතයට සහ සෙසු චරිත වලට නිළියන් වුවමනාකර තිබේ' 
තවත් බොහෝ තොරතුරු වලින් පසුව ඉතා කුඩා අකුරුන් මෙසේ සදහන් වී තිබිණි 
'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'


ප.ලි: පසුගිය දින වල පුවත් පත්වල දුටු පුවත් අනූව ඒ සිදුවීම් තවත් දිගින් දිගටම සිදුවීගෙන ගියහොත් මේ මා සඳහන් කළ කතාව සත්‍යයක් වනු දැකීමට අපට 2041 වන තෙක් බලා සිටිය යුතු නොවනු ඇත.


[පින්තූරෙ-http://1.bp.blogspot.com/-4ijI7Eyz0mA/TZu9jwSwQnI/AAAAAAAAABs/s_jXTOu-QXY/s1600/imagesCASCL53C.jpg]

Friday, July 22, 2011

මිරිඟුවකට පෙම් කළ කාලේ.......


මිරිඟුවකට පෙම්කරයි
හදවත යළිත්
පෙනි පෙනී
හැරයන්නත්
බෑ
ලං වෙලා
නැතිකරගන්නත්
බෑ


ප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........

[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg]

Monday, July 18, 2011

නූතන පංච කල්‍යාණියේ සිරි............


මුහුණ සුදට
ඇඟ කළුවට
ඡවි කළණේ

ස්ට්‍රේට් කරලා
ටින්ට් කරපු
කෙස් කළඹේ

දත් දොස්තර
යළි සැකසූ
දත් මුතු සේ

නෙක පැහැයන්
තදට තැවරු
තොල් සඟලේ
 
දිගට වවා
සිතුවම් ඇඳි
නිය දිලිසේ

පංච කල්‍යාණියේ
සිරි වෙනස්ය
 මේ කාලේ

෴෴෴

...:::විශේෂ ස්තූතිය:::...
මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......


[පින්තූරෙ-https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFEzdPgU0XQnSXa0ARjF_gdg4X0xzfLKKrjDiK-PPPwilN3iAacY_roHKZO-VSYiItrzWgQyFwShpz2JGCWmhF5t54QU_3n9CngjfmYJdnBfP9MMTPs5niw3Q1V8KNDEu7_gXbdgBO0pQ/s400/muthu-imesha.jpg]

Monday, July 11, 2011

පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ.........


ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?

නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.
මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා බං අපරාදේ එහෙම ටිකක් කල්හරි හිටියේ කියලා. දැන් බලපන් දැන් ගෙදර එනකොට කෑම ටික හදලා තියෙනවා කිසි කරදරයක් නෑ. අපි දෙන්නත් හොඳට සතුටින් ඉන්නවා.

ඕක තමා හොඳම වැඩේ. ආයේ ලොකු පාටි තියලා බොරු වියදම් කරන්න ඕනෙත් නෑනේ. මුකුත් නොකියා ඉන්න බැටිකමට මමත් කිව්වා.

ඔව් බං....... මමත් උඹලට කියන්නේ කරන දෙයක් පුළුවන් තරම් ඉක්මනට කරගෙනිං, නිකං නාකි වෙනකම් ඉන්න එපා.

කොහෙද අයියේ අපිට ඔහොම තියා කොහොම හරි එක්කං එන්නවත් කවුරුත් නෑනේ.

ඒකනේ බං උඹලත් අනේ මන්දා........ උඹලා ඉතිං කොළඹ උංනේ... උඹලා ඉතිං කොළඹ ලොකු ලොකු සල්ලි කාරයින්ගේ කෙල්ලෝ අල්ලගන්න බලාගෙන ඇති. මම ඉතිං ගොඩේ එකානේ. මට හිතුනා මම එක්කං ආවා. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා.

පිස්සුද බං අයියේ.....උඹ වයස 23න් එක්කං ආවා. සල්ලි කාරයින්ගේ කෙල්ලෝ කොහේ අල්ලන්නද? ඒවා බලං හිටියොත් අපිට 40 පැන්නත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙනවා. මොනවා හරි කියන්න ඕන කමට මමත් කිව්වා.

මල්ලී අපිට පුළුවං කාලෙදී ඒ ඒ දේවල් කරගන්න ඕනේ. මට සල්ලි තියනකොට මම වියදම් කරනවා. අම්මලා අක්කලාට සලකනවා ඈ........ බලපං මම නිතරම කිරි අම්මාව බලන්න යනවා. ඒ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකාලේ ඕවා කරනවා මිසක් නැති වුනාම ගිහින් බලලා ඇවිත් වැඩක් තියනවද බං?
මම මචං පන්සලුත් යනවා හවසට පහනත් තියනවා. ඕවා බං වයසට යනකම් ඉඳලා කරන්න ඕන වැඩ නෙමෙයි. පුළුවං කාලේ කරන්න ඕනේ බං.
මට හිතුනා මම එක්කං ආවා. උඹ දන්නවනේ මං ගැන? කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ.... දැන් අපි සතුටින් ඉන්නවා.............

පලි: මම කලින් කිව්ව සුන්දර ගම්මානේ ඉන්න අයියා කෙනෙක් තමන්ගේ ආදරවන්තියව බිරිඳ කරන් එක්කං ඇවිත්. හැබැයි අයියගේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි මේක දැනගත්තේ පස්සේ. එහෙම එක්කං ඇවිත් තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් ටිකක් අකමැති වුන නිසාම නෙමෙයි. කෙල්ලගේ තාත්තා තව අවුරුදු කීපයක් ඉන්න කිව්ව නිසාලු.
දැන් මාස කීපයකට ඉහතදී මේ අයියට රජයේ රැකියාවක් ලැබුණා ඉන්න තැනකුත් එක්ක. තරමක වැටුපකුත් ලැබනවා. තනියම උයා පිහා ගන්න එකත් අමාරු නිසාලු එක්කං ආවේ. මේ සිද්ධිය තාම නෑදෑ පිරිවර දන්නෙත් නෑ. දැනගත්තාම තමයි මිනිහට ලෝකේ නැති කතා අහන්න වෙන්නේ!


[පින්තූරෙ-http://mariagabrielap.files.wordpress.com/2009/10/boyandgirl2.jpg?w=294&h=284]

Thursday, July 7, 2011

මදුරුවෝ මොන රහද දන්නවද???



දිනක් මහා රාත්‍රියේ
මැච් එකක් බැලුවනේ
පරදින ලකුණු දිස්වුනේ
නිදිමතකි මට පැමිණුනේ

හිඳි තැනින් නැඟිටුනේ
අත් දෙපසට විහිදුනේ
කටත් හැකිතාක් අරිමිනේ
හොඳ හුස්මක් ගත්තනේ

ඕං ඔය වෙලාවේ
මහා විපතකි සිදුවුනේ
මදුරුවෙකි පැමිණුනේ
ඌට බ්‍රේක් නොතිබුණේ

මදුරුවා උගුරේ හිරවුනේ
හිස්ම මඟ නැවතුනේ
දෙතුන් වරක් කැස්සනේ
නෑනේ ඌ පැමිණුනේ

දන්න ශිල්ප දැම්මනේ
හැකිතාක් කැස්සනේ
කාරලත් බැලුවනේ
යළි කටින් නොඑන්නේ

මළ කෙලියකි සිදුවුනේ
මොකද දැන් කරන්නේ
මම මදක් සිතුවනේ
අදහසක් ආවානේ

කුමට මම තැවෙන්නේ
කටින් උගුරට ගියානේ
තවත් ඇතුලට ගියාවේ
බඩට නොවැ වැටෙන්නේ

කුස්සියට මම දිව්වනේ
කෝප්පයක් වතුර බිව්වනේ
මදුරුවා බඩට වැටුනනේ
දැන් කිසිත් නැත දැන්නේ



[පින්තූරෙ-http://www.istockphoto.com/file_thumbview_approve/15926201/2/istockphoto_15926201-cartoon-mosquito.jpg]

Tuesday, July 5, 2011

සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද".......


මට මුලින්ම නින්ද නොයන ලෙඩේ එන්නේ උපෙ කරන්න මාස 7කට විතර කලින් කෙනෙක් හින්දා. අන්තිමේදී මට එයාව ලැබුනෙත් නෑ නින්ද ලැබුනෙත් නෑ. උපෙ ලං වෙන්න ලං වෙන්න හිතේ තිබ්බ බයටද කොහෙද රෑට නින්ද ගියේම නෑ. උපෙ ඉවර වෙලා තවත් අවුරුද්දක්ම ඔය ලෙඩේ අල්ලලා හිටියේ දෙවෙනි පාරටත් උපෙ කරපු නිසා. හැබැයි දෙවෙනි පාර උපෙ කරන කොට මාව මහා නරක පුරුද්දකට ඇබ්බැහි වුනා. ඒ තමයි බස් වල යනකොට නින්ද යන එක. රෑට නින්ද යන්නෙත් නෑ ඇඳේ පෙරලි පෙරලි රෑ 1 විතර වෙනකම් ඉඳලා තමයි නින්ද යන්නේ. ආයේ උදේ 4ට නැඟිටලා රිවිසන් පන්ති යනවා. පාන්දර 5.30 විතර පිළියන්දලින් බස් එකේ නැඟලා ඉඳගත්ත ගමන් අප්පේ නින්ද යන අපූරුව. ජනේලේ අයිනේ හුළං වැහි වැදී හරි අපූරුවට නින්ද යනවා. කොහුවලදී යාළුවෝ ඇහැරවන නිසා බයත් නෑ. (ඔය පන්ති යාමත් හරි අපූරු කතාවක් ඒකත් වෙන දවසක කියන්නම්කෝ)

කොහොමින් කොහොම හරි රෑට නින්ද නොයන ලෙඩේ හොඳ වෙන්නේ දෙවෙනි පාරට උපෙ කරලා ඉවර වුනාට පස්සේ. මොකද මම තදින්ම හිතාගෙන හිටියේ දෙවෙනි පාරටත් උපෙ ඇනගත්තත් ආයේනම් ඒ කරුම විභාගේ කරන්නේ නෑමයි කියලා. ඇත්තමයි උපෙ ඉවර වුනාට පස්සේ මගේ ඔළුවේ තිබ්බ ලොකූ බරක් නැති වුනා වගේ තමයි මට දැනුනේ. ඒක නිසාම වෙන්න ඕනේ මට ආයෙත් යස අපූරුවට රෑට නින්ද යන්න ගත්තා. ඇඳට යනවා විතරයි මතක. 

එහෙම ගිහින් ආයෙත් මාස හය හතකට පස්සේ ඔන්න ආයෙත් මම ගිලිනවා බොරුව කියන මී පැණි තවරපු ආදරේ කියන හක්ක පටස් එකක්! ඔන්න ආයෙත් රෑට නින්ද නෑ. හැබැයි ඒ නම් රෑට මල් කඩපු නිසා. ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පිපුරුවා. ඒකෙනුත් අන්තිම මාසෙම විතර පුපුරන බව දැන දැනම ඔහේ හැපුවා. ඒ අන්තිම මාසේ ඕක පිපුරුවාම වෙන දේ ගැන හිත හිතා ඉඳලම එපාම වුනු නිසා වෙන්න ඇති පුපුරලා සතියක් විතර යනකොට ඔන්න ආයෙමත් යස අපූරුවට රෑට නිදාගන්න පුළුවන් වුනා.

දැන් තත්වය කියනවනම් බොහොම භයානක තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. මොකද කියනවනම් මට දැන් ඇඳට යන ඕනෙම වෙලාවක විනාඩි කීපයක් ඇතුලත බොහොම හොඳට නින්ද යනවා. ඒ විතරක් නම් මදෑ මට ඇඳේ නිදා ගන්නවට වඩා හොඳට බස් වල නින්ද යනවනේ. උදේ, දවල්, හවස ඕන වෙලාවක බස් එකේ වාඩි වෙන්න විතරයි ඕනේ.... විනාඩි පහෙන් මම නිදි. වැඩේ කියන්නේ ගිනි ගහන අව්වේ දවල් දොළහට දාඩිය පෙරාගෙනත් මම නිදි. එක දවසක් කෙල්ලෝ ගොඩක් හිනාවෙනවා හීනෙන් වගේ ඇහෙනකොට මම ඇහැ ඇරලා බැලුවා. මේං කෙල්ලෝ සෙට් එකක් මං දාඩිය පෙරාගෙන නිදා ඉන්න දිහා බලං හිනාවෙනවා. එදානම් මට ඊට පස්සේ උන් බහිනකම්ම නින්ද ගියේ නෑ. එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එකකගේම හිනාවට ලක්වුනු පළවෙනි වතාව. 

ප.ලි: කොච්චර බස් එකේ නින්ද ගියත් මට නින්ද නිසා බස් එකෙන් බහින තැන පහුවුනේ තාම එකම එක පාරක් විතරයි! 


උපෙ යනු උසස් පෙළ යන්නයි. 



[පින්තූරෙ - http://www.petmonologues.com/pet022207/wp-content/uploads/2007/10/cat-sleep1.jpg]

Monday, June 27, 2011

අදෘෂ්‍යමාන බලවේගය සහ කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නා ගැනීම.............


එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ සිතේ ඇති වුනු ඒවාය. ඇය අවසන් පඩිය නැඟ බසයට ගොඩවත්ම ඇය වෙත ලෙංගතු සිනහවක් පෑවේ මගේ උවමනාවින් නොව එය කිරීමට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් මාව පොළඹවන්නට ඇත. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය පිළිබඳව සිතීමට මට අවස්ථාවන් නොලැබිණි. ඇය මාවෙත හෙලූ හසරැල්ල මා සුළු මොහොතකට දැහැන් ගත කිරීමට සමත් විය. 

බසයේ ඉදිරිපසටම වන්නට සිටි මා පසුකර ගිය ඇය මට වම්පසින් සිට ගෙන සිටියි. මම නැවතත් ඒ මුහුණ දෙස බැලීමි. ඇය මගේ දෑස් දෙස එක එල්ලේම බැලුවාය.  ඒ බැල්මද මා නැවත වරක් දැහැන් ගත් කිරීමට සමත් විය. මට තරමක් අසලින් වූ අසුන ඇයට හිමිකරමින් කරුමක්කාර බසය ඊළඟ බස් නැවතුමේ නැවතිනි. මගේ ඇස ඇය සිටි අසුනේ සිටි අනෙක් පුද්ගලයා වෙතට යොමු අතර ඔහු තරමක් මැදි වියේ පුද්ගලයෙකි.  ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන ඔහු බැසිය යුතු බස් නැවතුම තහවුරු කර ගැනීමට වෙහෙසෙයි. 

"වැඩේ හරි! මිනිහා බහින්නයි හදන්නේ මට දැන් එයා ළඟින්ම වාඩි වෙන්න පුළුවන්
මම නැවතත් ඇය දෙස බැලීමි. ඇයත් මා දෙස බලාගෙන සිටියි. ඇය අතේ ෆයිල් කවරයකි. මා මීට කලකට ඉහතදී පාඨමාලාවක් හැදෑරූ පෞද්ගලික අධ්‍යාපන ආයතනක නම එහි සඳහන්ය. මම කල්පනා කරන්නට වීමි.

"දැන් එයා ළඟින් වාඩි උනාම එක පාරටම නම අහන්න හොඳ නෑ. එහෙම වුනොත් කෙල්ල බයවෙයි. මොකාද වගේ පැනපු ගමන් නම අහලා හරියන්නේ නෑනේ. මමත් ටිකක් දන්න එකේ අර ඉන්ස්ටිටියුට් එකේද කියලා අහන්න ඕනේ. ඔව් එහෙම කතාව පටන් ගන්නවා........"

සිතුවිලි අතරේ තවත් බස් නැවතුමක් පසුවිය. මැදි වයසේ පුද්ගලයා තාමත් පෙරසේම කලබලෙන් හාත්පස බලයි. මම නැවතත් ඇය දෙස බැලීමි. ඇය නැවතත් සිනාසෙයි සිනාසී අහක බලාගනියි. මම නැවතත් කල්පනා සයුරේ කිමිදන්නට වීමි.

"ඔන්න පුතේ උඹනම් මෙදා සැරේ ගොඩම තමයි. දෙන දෙයියෝ  බස් එකටම ගෙනත් දීලයි තියෙන්නේ. මෙයානම් මට බස් එකේදිම කැමැත්ත දෙයි වගේ. අහ් අමතක නොකර ෆෝන් නම්බර් එක ඉල්ලගන්න ඕනේ. නැත්තම් ආයේ කොහෙන් හොයන්නද. මෙයා හිනාවෙන හැටියටනම් මට ඉල්ලන්න කලින්ම නම්බර් එකයි එඩ්‍රස් එකයි දෙකම දෙයි වගේ. බලගෙන යනකොට අපි වගේ මෙලෝ රහක් නැති කොල්ලන්ටත් කැමති ලස්සන කෙල්ලෝ ඉන්නවනේ. බලමුකෝ ඒකෙත් හැටි................."

සිතුවිලි කෝටියකි. කල්පනාව අතර බසය ඊළඟ නැවතුමේද නවතා දැන් සෙමෙන් සෙමෙන් වේගය වැඩි කරමින් ගමන් කරයි. අංකල් කාරයා බැස්සද දන්නෙත් නෑ. මම අසුන දෙස බැලීමි. අංකල් පෙර සේම ජනේලයෙන් එළියට ඔළුව දමාගෙන බසය නවතවා ගත යුතු ස්ථානය සොයයි. 

අහ් කෝ එයා! 
ඇය ඒ අසුනේ නැත. මම ක්ෂණිකව බසයේ පිටුපස සීට් පේළියට ඉහළින් ඇති වීදුරුවෙන් පිටත බැලීමි. ඈත බස් නැවතුමේ ඇය ඔරවාගෙන බසය දෙස බලා සිටියි. දැන් බසය පිඹගෙන යයි. අදෘෂ්‍යමාන බලවේගය නැවත්ත් මා මෙහෙය වීය. එය මා සෙමෙන් කැඳවාගෙන ගොස් ඇය නොමැතිව හිස් වූ ආසනයෙන් වාඩිකරවූයේය. නමුත් ඒ අදෘෂ්‍යමාන බලවේගය ගැන සිතීමට වෙලාවක් නැත. මට නැවතත් කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නෑමට අවශ්‍ය විය.



ප.ලි : 
මෙය හුදෙක් නිර්මාණයක් පමණක්මය. අත් දැකීමක් නොවේ!




[පින්තූරෙ - http://www.flickr.com/photos/rstromberg/2936463705/sizes/z/in/photostream/]

Monday, June 20, 2011

අප්පටබොල හිඟන්නා!


යනවිට දිනක් හරහා අපි මරදානේ
රතු දැල්වී වාහනේ නැවතුනානේ
දිස්වන තුරු බල්බය කොළ පාටින්නේ
නොකර කතා සැම ඉවසා සිටින්නේ

වාහනේ නවතා සිටිනා මේ වෙලාවේ
දෙකට නැමී යාචකයෙකි මේ ආවේ
"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"
පැවසුවේ ඌ දමමින් අපි මුලාවේ

රියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්
දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්
සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල්
එය යාචකයා හට දුනි පාමින් හසරැල්

රුපියක් පහ අතට ගත්තා යාචකයා
දෙකට නැමී තිබුණු කොන්ද කෙලින් වුනා
රුපියක් පහක්! මොන හු***ද කියමින්නා
පහත් අරං බැණ බැණ දැන් මූ යන්නා

පහත් අරං බැණ බැණ කුණු හරුපෙන්
මූ යයි දැන් අපේ වාහෙනේ පසුකරමින්
බැහැලා ගිහින් උගේ හොම්බට අනිමින්
මට එන්න හිතයි පහත් අරං හනිකෙන්

කොළ පැහැයත් දැල්වුනේ මේ වෙලාවේ
වාහනේ සිටි සැම තීරණේකට එලබුණානේ 
ට්‍රැෆික් ලයිට් වලට වාහන නැවතුනාවේ
එන එකෙකුටවත් රුපියලකුදු දෙන්නෑනේ



[පින්තූරෙ - http://images.travelpod.com/users/redheadgrrl/1.1234919700.traffic-beggar.jpg]
Related Posts Plugin for WordPress, Blogger...