Tuesday, January 11, 2011

ඔබ කැමති මා අකමැති ඔබේ ආදරය.....


ඒ 2004 වර්ෂයයි.  අසනීප වී සිටි නිසාවෙන් පළමු පාසල් වාරය පටන්ගෙන දින කීපයක් පසුවී පාසලට පැමිණීමට සිදු විය. 6 වසරේ සිට 9 වසර දක්වා එකම පංතියේ සිටි අප සැම 10 වසරට වෙන වෙන පංති වලට දමා තිබිණි. අවාසනාවකි.... සිදු නොවේවායි මා ප්‍රාර්ථනා කළ දේම සිදුවී තිබිණි. මා වැටී තිබුණේ ශ්‍රේණියේ නපුරුම(යැයි සම්මත කරගෙන තිබූ) ගුරුතුමියගේ පංතියටයි.

මාගේ මේ කතාමාලාවෙදී ප්‍රධාන චරිත තුනක් හමුවේ. මා මේ ලියනා කතාවේ එන ප්‍රධාන චරිතය මම "සුමුදු" ලෙස හඳුන්වමි. අනිත් දෙදෙනාගෙන් එක් අයෙක් නම්
සුමුදු සේම මට කැමතිව සිටි මම අකමැති වූ "චාමියි". අනෙක් තැනැත්තිය නම් මම කැමතිව සිටි මට අකමැති වූ "උපේක්ෂායි".

මේ තිදෙනාම 6 වසරේ සිටම ඉහත කී ගුරුවරියගේ පංතියේ සිටි පුරුදු කාරියන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාව පළමු වරට හොඳින්ම හඳුනාගත් සිද්ධිය මෙසේයි.

ඒ වන විට අපව 10 ශ්‍රේණියට දමා ටික දිනකි. අප පාසලේ කිසියම් කටයුත්තක් සඳහා පංතිය අස් කිරීමට සිදුවී තිබිණි.තරමක් බරැති ඩෙස් එකක් වෙනත් ශ්‍රේණියකට ගෙන යාමට පැවරී තිබුණේ ඉහත කී කෙල්ලෙන් තිදෙනාටයි. වැඩ මඟහරිමින් දාඩිය දමන තුරු අයිස් ගසමින් සිටි මමත් මගේ මිත්‍රයාවත් අල්ලාගත් කෙල්ලන් තිදෙනා ඔවුන් සමඟ ඩෙස් එක උස්සාගෙන යාමට හවුල් කර ගත්තාය. දැනුත් කාගේවත් හිත නොරිදෙන ලෙස විහිළුවක් කර මිතුරන්ව හිනා ගැස්සීමට කැමති මම එකලද එසේමය. ඉතිං එදා ඔවුන් සමඟ විහිළු කරමින් ඩෙස් එක උසාගෙන සෑහෙන දුරක් යාමට සිදුවූ අතර මා විහිළු කරමින් පැමිණෙන අයුරු බලා සිටි අපේ නපුරු ගුරුතුමිය මට එරෙව්වාය. එදා හඳුනා ගත් ඔවුන් තිදෙනාදෙන් මා සිත ගත්තේ උපේක්ෂා වුවත් අනිත් දෙදෙනාගේ සිත මා වෙන ඇදී තිබූ බව මට පසු කාලයක දැනුනි.

කෙසේ හෝ පංතියේ ඔවුන් තිදෙනා සිටියේ මා සිටින පේළියට පිටුපස පේළියේය. උපේක්ෂා එතැන නිසා මම ඒ පිළිබඳව සතුටු වුනෙමි. කාලය ගත වෙත්ම ඔවුන්ව මට තව තවත් ළඟින් ආස්‍රය කිරීමට ලැබුණි. නමුත් සුමුදුගේ සිත මා වෙත යොමු වෙමින් පැවති බව මම නොදැන සිටියෙමි. එය මට නොදැනෙන්නට ඇත්තේ මගේ සිත උපේක්ෂා වෙත යොමු වී තිබූ නිසා විය හැක.

සුමුදු ගැන කියනවානම් ඇය තරමක් තරබාවු වුවත් පියකරුය. සිනා වෙන විට ඇය තවත් ලස්සනය. ලැජ්ජාවකදී ඇගේ සුදු මුහුණ රත් පැහැ ගැන්වෙයි. තරමක් සන්සුන් ගති පැවතුම් ඇත. තරමක කාලයක සිට පැවතෙන ඇගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා වූයේ අපේ ශ්‍රේණියේ චණ්ඩින්ගේ ලයිස්තුවේ සිටි අයෙකි. ඔවුන්ගේ පෙම් කතාව ශ්‍රේණියේ ගුරුවරුන්ට රහසක් වුවද ශ්‍රේණියේ කිසිඳු ළමයෙකුටනම් එය රහසක් නොවීය. නමුත් 10 වසරට පැමිණෙන විට ඔවුන් අතර කිසියම් ආරවුලක් පැන නැගී තිබිණි.

සුමුදු මා සමඟ වැඩියෙන් කාලය ගත කරන්නට තැත් කරන බව මට වැටහී තිබිණි. එදා පාසලේ විද්‍යා ප්‍රදර්ශණය දවසයි. මමත් කුමක් හෝ අටවාගෙන පීරියඩ් කට් කරමින් සිටියෙමි.
සුමුදුත් එතැනට පැමිණියාය. මම ඇයත් සමඟ කතා කරමින් සිටින විටදී කුමක් හෝ දෙයකට ඇයට විහිලුවක් කිරීමට මෙසේ පැවසුවෙමි.

ඔයාවත් අතේ දුරින් ආස්‍රය කරන්න ඕනේ. ඉස්සර පඬිවරු කියලා තියෙන්නේ යාළුවන්ව අතේ දුරින් ආස්‍රය කරන්න කියලා.

ඇගේ මුහුණ රතු විය. බිම බලාගෙන ටික වෙලාවකින් ඇගේ ඇස් වලින් කඳුළු වැටෙන්නට විය. මීට පෙරෙ කිසිම දිනෙට හඩන කෙල්ලෙකු සනසා නැති මම ලෝක අමාරුවක වැටුණි. 

ඔයාට මාව නිකන්ම නිකම් යාළුවෙක් විතරද?

ඇය තවත් හඩන්නට විය.
එදා මා ඇයට මොනවා පැවසුවාදැයි මට මතක නැත්තේ මා එතැන හොඳටම කලබල වූ නියා විය යුතුය. කෙසේ හෝ ඇයව සනසා පංතියට යැවූ මට වැඩේ දුර දිග යාමට පටන් ගෙන ඇති බව වැටහුනි. ඒ ඇරත් කොල්ලෙක් සිටින කෙල්ලකගේ මේ හැසිරීම ගැන මට තරහා ගියේය.ඒ කොල්ලාත් එසේ මෙසේ පොරක් නොවේ. තවත් වැඩේ දුර දිග යාමට නොදී නවතා ගත යුතුයැයි මම එදා සිතා ගතිමි.

දුර දිග යා නොදී නවතා ගැනීමට සිතූවත් ඇය පැමිණ මා හා කතා කරන විට කතා නොකර සිටීම කෙසේවත් කළ නොහැක්කි. ඇගේ පෙමවතා හා ඇය අතර ප්‍රශ්න වැඩි වෙමින් පැවති බව මට දැනුනි. දිනක් උදෑසන පාසල පටන් ගැන්මටත් පෙර මගේ යාළුවෙක් මා වෙත පැමිණියේය.

මචං පූසා උ
සුමුදුත් එක්ක ඕනාවට වැඩී කියලා අන්න අරූට මල පැනලාලු. උඹට ගුට්ටක් සෙට් වෙයි ටිකක් පරිස්සමෙන් හිටපන්.
ඔය කතාවනම් මට අසන්නට වෙන බව මම හොඳාකාරවම දැනගෙන සිටියෙමි. මා නිසා පවුලක් කැඩෙන්නද යන්නේ? මට ප්‍රශ්නයකි. මාගේ හොඳම මිතුරක් දෙදෙනකු සමඟ කතා කර අවසාන තීරණය ලෙස
සුමුදු සමඟ වැඩි කතාවකට නොයෑමට මම තීරනය කළෙමි.(පොඩි කාලේ මෝඩ වැඩ)

දින කීපයක් ගතවිය. උපේක්ෂා මගේ මිතුරෙකුගෙන් මම සුමුදු සමඟ කතා නොකරන්නට හේතුව විමසා ඇති අතර මගේ මිතුරාද ඇයට සියලුම හේතු පවසා ඇත. එදිනම විවේක කාලයේ සුමුදු ඇගේ පෙම්වතා සමඟ මුල්ලකට වී හඩමින් තරහෙන් කතා කරනු මම දුටුවෙමි. විවේකයෙන් පසු පාසල ඉවර වෙන තුරුම සුමුදු සිටියේ දුකෙන් මුහුණ රතු කරගෙනය. පසුවදා උදෑසනම සුමුදු ගේ කොල්ලා මා සොයාගෙන පැමිණියේය.

මචං උඹද පූසා කියන්නේ?
ඔව්
කවුරු හරි උඹට කිව්වද උඹ 
සුමුදුත් එක්ක ඕනාවට වඩා ඉන්න නිසා මම උඹට ගහන්න ඉන්නවා කියලා.
ඔව්
එහෙම එකක් නෑ බං ඒ කාගේ හරි බොරුවක්.


ඔහු කීවේ එපමණකි. කරුමයට එදා පළමු පීරියඩ් එක උගන්න ගුරුතුමිය පැමිණ නැත. සුමුදු පෙරදා සේම ටික වේලාවක් මුහුණ රතු කරගෙන සිට අඩන්නට පටන්ගත්තාය. ටික වෙලාවකින් උපේක්ෂා මා වෙත පැමිණ

පූසා බලන්න අර ළමයා ඔයා කතා කරන්නේ නෑ කියලා අඩනවා. පොඩ්ඩක් ගිහින් කතා කරන්න.

ඇය අඩනවා දුටු මට ගොඩක් දුක සිතුනි.(ගැහැණියක් හඩන සෑම විටෙකම වාගේ මට දුක සිතෙයි. එය මගේ දුර්වල කමක්ද?) මා ඇය ළඟට ගියවිට ඇය තවත් හඩන්නට පටන් ගත්තාය. ඇය ඉකි ගසමින් අඩයි. මගේ ඉදිරිපිට එදා සිට අද දක්වාම කිසිම කෙල්ලෙක් එතරම් අඩනවා මා දැක නැත. කිසිම දිනක යලිත් එසේ දකින්නට නොලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. කෙසේ හෝ එදිනද ඇයට මොන මොනවාද පවසා මා ඇයව සැනසුවමුත් එදායින් පසු ඇයත් සමඟ විහිළු කිරීමට හෝ වැඩි කතාවක
මා ගියේ නැත. 

පසුව මා ඇයට කැමැත්තක් නැති බව ඇයට හැඟෙන්නට ඇත. 11 වසරට යාමත් සමඟ ඇය මගේ යාළුවෙකුටත් වඩා ගොඩාක් ඈත් වී සිටියාය. මේ සියල්ල සිදුවද්දීත් මගේ සිතේ සිටියේ උපේක්ෂා පමණයි. නමුත් 11 වසරට යාමත් සමඟ සිතේ
උපේක්ෂා මගේ සිතේ සිටියත් චාමිගේ සිත මා වෙත යොමු වී තිබිණි.
ඒ කතාව පසුවට...................

ප.ලි: චණ්ඩි කොල්ලා ඇත්තටම හිත හොඳ කොල්ලෙක්ය. ඔහු චණ්ඩියෙක් වී තිබුණේ සාධාරණය වෙනුවෙන් හඩ නැඟීම නිසාය. ඌ අදටත් මගේ මිතුරෙකි. එදා මෙන්ම අදත් ඒකා අසාධාරණයකදී නැගීසිටියි. ඔහු කිසිම විටෙක හොරයක් බොරුවක් නොකරයි.

මා
සුමුදුට අකමැති වූයේ. මා බලාපොරොත්තු වන ගති ගුණ ඇය ළඟ නොතිබීම නිසා මෙන්ම මගේ හිතේ තිබුණේ උපේක්ෂා නිසායි. 

මේ විකාර සිද්ධීන් නිසා 10 වසරේදී මට උපේක්ෂාට එතරම් ලං වීමට නොහැකි විය. 11 වසරේදී චාමි නිසා නොහැකි විය. ඒ කතාව පසුවට.

12 comments:

  1. හයියෝ.. අපි ආදරේ අය අපිට ආදරේ නෑ. අපි ආදරේ නැති අය අපිට ආදරෙයි. ඈ.. එකමද මන්ද කියල තියෙන්නෙ. අපොයි.

    ReplyDelete
  2. නියමයි මචෝ!!! සුපිරි කතාව. හැබැයි උඹ අමුතු කෙල්ල, මහත කෙල්ල වගේ නම් දාන්නෙ නැතුව සාමාන්‍ය නම් දැම්මනං කතාවෙ කොලිටිය තවත් වැඩිවෙනවා කියලයි මටනං හිතෙන්නෙ.

    අඩන එක ගැනනං එච්චර හිතන්න යන්න එපා

    crying is the most lethel weapon that a woman posseses

    ReplyDelete
  3. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්නකො.

    ReplyDelete
  4. @පිණිබිඳු...: ඔව් එහෙම එකකුත් තියනවා තමයි :(

    ReplyDelete
  5. @blog gadol: ඔව් බං ඇත්ත කතාව :( බොහොම ස්තූතියි මට පෙන්නලා දුන්නාට :) ඔන්න මම ඒක හැදුවා. තව මොනවා හරි දැක්කොත් මට පෙන්නලා දෙන්න :)

    ReplyDelete
  6. @නදී: ලියන එක තමයි අනේ එපා වෙන්නේ. ඊයේ රෑ 2යි මේක ලියලා ඉවර වෙනකොට. කමක් නෑ තව කතා ටිකක් තියනවා. ඉක්මනට ලියන්නම්කෝ :)

    ReplyDelete
  7. මේක තමයි පූස් මම උඹ ලියාපු එවුවයෙං මම කැමතිම එක . අනෙක් ඒවට අකමැතියි කීව නෙවේ . ඒ උනාට මේක උඹ බොක්කෙන්ම ලියලා තියනවා . ඒක නිසා බලන්න ආසා හිතෙනවා . අප්පට සිරි රෑ දෙක වෙනකම් ලීවද ඒක තමයි බං යක්කු ගස්යන වෙලාවට තමා හොඳ හොඳ කතා බිහිවෙන්නේ .

    අර හංගගෙන ඉන්න කතා සෙට් එකත් ඉක්මනටම එලියට දැම්මනම් මේ මචං මාස ගනං නම් බලං ඉන්න බෑ ඉක්මනටම දාපිය.

    පූස් ලවු එකට ජය වේවා !

    ReplyDelete
  8. @හිස් අහස:පිස්සුද බං උඹලාව මාස ගණන් හෙම්බත් කරන්න මේක මෙගා ටෙලි නාට්ටියක් කියලා හිතුවද? හික්zzzz :D

    බල වෙන්න එපා මේ කතාවට කොටස් තුනයි නැත්තම් හතරයි ;)

    ReplyDelete
  9. එල ආ... ;;) ;;)
    පොඩ්ඩක් අවුල් වගේ හැබැයි ආදරේ ගැන මතක් වෙනකොටත්.. :((

    ReplyDelete
  10. කියෙව්වා . .

    ඔන්න දැන් ඊලග චාමිගේ කතාවට යන්ටයි යන්නේ

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...