මුලින්ම කියන්නම් බක්මහ උළෙලෙ මට පෙනුන හැටියටනම් බොහොම සාර්ථකයි. හැබැයි මම හිතන විදිහට අර අපි ගැන හඳුන්වාදීම කරන්න තිබ්බේ තරඟ පටන්ගන්න කලිනුයි. ඒ කොහොම වුනත් තරඟ පැවැත්වෙන අතරෙදි වුනත් මම නම් බොහෝ දෙනෙක්ව දැන හඳුනා ගත්තා. හැබැයි දැන් දැන් සමහර බ්ලොග් වල සහ විවිධ තැන්වල විවිධ පුද්ගලයන් කතාවෙනවා දැක්කා එයාලා තනිවෙලා වගේ හිටියා කවුරුවත් එයාලා එක්ක කතා කලේ නෑ කියලා. ඉතින් මට හිතුනා මාවම උදාහරණෙකට අරගෙන ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න.
මම මුලින්ම බ්ලොග් කරුවන්ගේ සුහද හමුවකට සහභාගීවුනේ මීට මාස කීපයකට කළින් තිබුණු SBU සුහද හමුවට. එදා මම එතැනට යනකොට මම කිසිම බ්ලොග් කරුවෙක්ව/කාරියක්ව හමුවෙලා තිබුණේ නෑ. ඒ වගේම ඒ කිසිම කෙනෙක් මගේ මූණූපොතේ හිටියෙත් නෑ. මම එතදී තමයි ඒ හැම කෙනෙක්මව හඳුනා ගත්තේ. ඒ වගේම මම එදා එතනට යනකොට එතන හිටපු අයගෙන් මගේ බ්ලොග් එක කියවලා තිබුණු අය හිටියේ බොහොම ටික දෙනයි. ඒ කිව්වේ දෙන්නෙන් නැත්තම් තුන් දෙනෙක්.
මම එතැනදී කවුරුහරි ඇවිත් මාත් එක්ක කතා කරනකම් හිටියේ නෑ. මම පුළු පුළුවන් විදිහට හැම කෙනෙක් එක්කම වගේ කතා කළා. මට මුලින්ම බ්ලොග් එකක් ලියන්න හිතුනේ මුචලින්දගේ ටොපිය කියවපු වෙලාවේ. ඉතින් මම එදා ගිහින් මුචාට ඒක කියලා එයත් එක්ක කතා කළා. ඒ වගේම මාරයා අයියත් එක්කත් මම ගිහින් කතා කළා. ඔන්න එදා වත් අක්කනම් මම කතා කරන්න කලින් ඇවිත් මාත් එක්ක කතා කළා. ඒ විදිහට එදා මම බ්ලොග් කරුවන් බොහෝ දෙනක්ව දැන හඳුනා ගත්තා.
එතකොට පසුගියදා තිබුණු බකමහ උළෙලට මම යනකොට එතන මම කලින් හඳුන ගත්තු අය හිටියේ කීප දෙනක් විතරයි. කොටින්ම කිව්වොත් එතන හිටපු සංවිධායක මණ්ඩලේ එක්කෙනක් එක්කවත් මම ඊට කලින් හමු වෙලා තිබ්බේ නෑ. හැබැයි මම ගිහින් හැම කෙනෙක් එක්කම වගේ කතා කළා. හැමෝටම වගේ තම තමන් ප්‍රිය කරන බ්ලොග් කරුවන් ඉන්නවා. මම නම් මම ප්‍රිය කරන බ්ලොග් කරුවන් එක්ක කොහොමහරි උත්සාහ කරලා වචනයක් දෙකක් හරි කතාකළා. බොහෝම සුළු වෙලාවකට ආව දුකා අයියාව හැමතිස්සෙම කට්ටිය වටකරගෙන හිටියේ. ඒත් මම කොහොමහරි ගිහින් වචනයක් දෙකක් කතා කළා.
ඉතින් මට කියන්න වුවමනා වුනේ මේකයි. හිතන්න මම මේ හමුවීම් දෙකේදීම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඔහේ කවුරු හරි ඇවිත් මාත් එක්ක කතා කරනකම් වාඩිවෙලා හිටියනම්, සමහරවිට කවුරුත් මාත් එක්ක කතා කරන එකක් නෑ. ඒ වගේම මම ගිහින් අරයත් එක්ක කතා කරලා බයිට් වෙයිද කියලා බයේ හිටියනම් ඒත් මාව කවුරුවත් දැන හඳුනා ගන්න එකක් නෑ. මම නම් කිසිම වෙලාවක එහෙම හිතුවේ නෑ. ඇත්තටම මේ අවුරුදු උත්ස්වේදී තමයි මට මුලින්ම කෙහෙල්කොටුවේ චූටි මහත්තයාව හමු වුනේ. ඉතින් මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක අයිති කාරයා නිසා මම ගිහින් කතා කළා. මම බොහෝ කාලයක් ඉඳන් කමෙට් කරන කෙනෙක් වුනත් චූටි මහත්තයා අයියට මාව මතක නෑ. ඒ වගේ දේවල් සාමාන්‍යයයි. මොකද බොහෝ දෙනෙක් කමෙන්ට් කරන බ්ලොග් එකක අයිති කාරයා කොහොමද ඒ හැම කෙනෙක්වම මතක තියාගන්නේ. හැබැයි දැන් නම් චූටි මහත්තයා අයියට මාව මතක ඇති. ඒත් මම එයා එක්ක කතා නොකර හිටියනම් එයා මාව තාමත් දන්නේ නෑ.
ඔය තනි වෙලා හිටියයි කියන හැමෝටම මම කියන්නේ මේකයි. ඊළඟ සැරේදිවත් අපි හමුවුනාම කවුරුවත් තමන් ළඟට ඇවිත් කතා කරනකම් නොඉඳ පුළු පුළුවන් විදිහට හැමෝම එක්කම වචනයක් දෙකක්වත් කතා කරමු. මොකටද ලැජ්ජවෙන්නේ. අපි අපිනේ. තමන් ප්‍රසිද්ධ නැතත්, තමන් ආස බ්ලොග් කරුවොත් එක්ක කොහොමහරි කතා කරමු. ප්‍රසිද්ධ බ්ලොග් කාරයෝ වටේ හැමතිස්සෙම කට්ටිය වට වෙලා හිටිය නිසා කතාකරන්න බැරිවුනා කියන්නේ නිදහසට කාරණයක් නෙමෙයි. ප්‍රසිද්ධ අය වටේ කට්ටිය පිරිලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අතරේ හරි ගිහින් තමන් කැමති ඒ බ්ලොග් කරුවත් එක්ක වචනයක් දෙකක් කතා කරන එක තමන්ගේ වැඩක්. ඔන්න ඊළඟ සැරේ අපි එකතු වුනාම හැමෝත් එක්කම වගේ වචනයක් හරි කතා කරන්න හොඳේ.