Friday, June 15, 2012

රැවටීම....


රුචී කියන්නේ ගමේ කොල්ලෝ කොයි කවුරුත් දන්න කියන, කොල්ලෝ සෙට් වෙච්චි වෙලාවල් වලදී ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන කෙල්ලෙක්. අපේම සෙට් එකේ කොල්ලෝ කීප දෙනක් එක්කම ගල්කිස්සේ රූම්ස් වලට ගිහිං තියෙන රුචී ගැන ගමේ කොල්ලෝ දහයක් ගත්තොත් අට දෙනෙක් විතර අනිවාර්යයෙන්ම දන්න බව රුචීවත් දන්නැතිව ඇති. අනික රුචී පුබුදුවාගේ බොක්ක. ඕන මහ රෑක රුචීට ගෙදරින් පැනගන්න පුළුවන්කම තිබ්බොත් පුබුදුවාගේ එක කෝල් එකෙං ලයිට් එක පිච්චුන ලයිට් කණුව ළඟට රුචී එනවා.

කොහොමත් බීපු වෙලාවක තමයි වැදගත් මාතෘකා සෑහෙන ගානක් කතා වෙන්නේ. ඕපදූපද දේශපාලනේද ලිංගිකත්වයද අරවද මෙව්වද හැමදේම එකම දවසක කතා වෙනවනං ඒ සෙට් වෙච්චි වෙලාවක තමයි!

"මචං දැං මොකක්ද ඔය ආදරේ කියන්නේ.....? ආදරේ කියන්නේ බං ගෑණියෙකුයි මිනිහෙකුයි අර අහවල් වැඩේ කරන්න තියෙන ආසාවයි තව මොනාදෝ ආධ්‍යාත්මික බැඳීම් කියලා ජාතියකුයි තව එව්වා මෙව්වා ටිකකුයි එකට දාලා පිටට ලස්සනට පේන්න ඔතලා තියෙන කොළේනේ බං.
ඉතිං රුචී කරන්නේ බං ඔය කොළෙයි, අර මොනවද බැඳීම් ටිකයි, එව්වා මෙව්වා ටිකයි අහක් කරලා ඒකිගේ ආසාව නිවාගන්න එක. ඒකෙං කොල්ලෙක්ගේ ආසාවකුත් නිවෙනවා. ඒව්වා පිංකම් යකෝ පිංකම්!
අනික එහෙම බැලුවාම බං බොරුවට ආදරේ කියාගෙන කොල්ලෙක් එක්ක රූම් එහෙකට යන කෙල්ලෙක්ගෙයි රුචීගෙයි තියෙන්නේ පොඩිම පොඩි වෙනසයි බං. ඒ කෙල්ලෝ ඉන්නේ එක කොල්ලෙක් එක්ක, රුචී යනවා එක එක කොල්ලොත් එක්ක. එච්ච්රයි වෙනස."
ඒ තමයි පුබුදුවා හිතන හැටි.

හැබැයි දැං සතියක හමාරක විතර ඉඳං රුචී ටිකක් වෙනස් වෙලාලු. පුබුදුවා එක්ක උනත් වැඩි කතාවක් නැතිලු. වෙනදා වගේ කොහෙවත් යන්න කතා කළාට එන්නෙත් නෑලු. අපේ උං කියන විදිහට ඒකට හේතුව නාලක අයියා. මොකද අපේ එකෙක් දැකලා තියෙනවා නාලක අයියා රුචී එක්ක දෙහිවල බීච් එක පැත්තේ ඉන්නවා.

නාලක අයියලා අපේ එහා ගෙදරට පදිංචියට ආවේ මීට මාසෙකට විතර උඩදී. ඒ උනාට තාමත් මට නාලක අයියාත් එක්ක වචන දෙක තුනකට වඩා කතා කරන්න ලැබිලා නෑ.


"අඩෝ පුබුදුවා.... අර තෝ කියන මොනවද අහවල් එව්වා දාලා ලස්සන කොළේක ඔතලා කරලා රුචී අරූට අමුවෙන්ම ගිල්ලලා වගේ!" ඒ කළණයාගේ හැකර කට.

"ඌ ඒක සිරාවට කරනවද දන්නෑ බං. උඹලෑ එහා ගෙදර ඉන්න එකානේ පුළුවන්නං ඌට ඒකි ගැන ශේප් එකේ කියලා දාපං. මොනා උනත් පව්නේ බං. නාලකයා අවුලක් නැති හොඳ කොල්ලෙක් වගේ පෙන්නෙනං" දිනේශයා මට කිව්වා.

"එක්කෝ හොඳ වැඩේ බං. හොයලා බලන්නැතිව පොත්තට රැවටිලා කෙල්ලො යාළු කරගන්නවට"
එහෙම කියන්නේ රුචී එක්ක දෙතුන් පාරක්ම රූම් වලට ගිය සචියා. සචියා වගේම රුචී එක්ක රූම් වලට ගිය අනික් දෙතුන් දෙනාටත් නාලක අයියා ගැන තියෙන්නේ අනුකම්පාවක් මිශ්‍ර පොඩි තරහක් කියලා උංගේ කතා වලින් මට හිතුනා.

ඊට සතියකට විතර පස්සේ නාලක අයියලාගේ ගෙදර රෑ කෑමකට අපේ පවුලේ උදවියට ආරාධනා කරලා තිබ්බා. එදා තමයි මට නාලක අයියා එක්ක හරියකට ටිකක් කතා කරන්න ලැබුණේ.

"මල්ලී බොනවද?"
සාලේ සෙට් වෙන්න ලෑස්ති වෙන තාත්තලටයි, ඕපදූප කතා කරන අම්මලටයි නෑහෙන්න ආලක අයියා ඇහුවා.
"ඔව්!"
"එහෙනං අපි මොකටද බං තාත්තලා බොන ඒවා දිහා බලං කෙල ගිල ගිල ඉන්නේ. වරෙං යන්න."

නාලක අයියයි මායි නාලක අයියාගේ කාමරේ සෙට් උනා. ඇඳ අස්සේ හංගලා තිබ්බ භාගේ බෝතලයක් එළියට ආවා. වල්පල් මැද්දේ බෝතලේ පොඩ්ඩ පොඩ්ඩ හිස් උනා. මං මාතෘකාවට බැස්සා.

"නාලක අයියා රුචී එක්ක බීච් එකේ ඉන්නවා අපේ එකෙක් දැකලා තිබ්බා"

"අපේ එකෙක් කිව්වේ? ගමේ සෙට් එකේ එකෙක්ද?"

"ඔව්!"

"උඹලගේ සෙට් එකත් එක්ක ශොට් එකක් දාන්න ඕනේ බං කට්ටියව අඳුනගන්නත් එක්ක. කොහෙද මේ දවස්වල වෙලාවක් නෑනේ.
ඉතිං.. ඉතිං... කට්ටිය මාව වෙන කෙල්ලෝ එක්ක ඉන්නවා දැකලා නෑ නේද?"
පුංචි හිනාවක් දාන ගමන් නාලක අයියා ඇහුවා.

"නෑ... නෑ..." මාත් හිනාවෙලාම උත්තර දුන්නා.

"මොනවද කට්ටිය ඒ ගැන කියන්නේ? මම ඒකිට රැවටිලයි කියනවද?"

"එහෙමත් කියනවා"

"අපි තේරුම් ගන්න ඕනේ මල්ලී කෙල්ලන්ට මොනවද හරියටම ඕනේ කියලා. එහෙම තේරුම් ගන්න කොල්ලෙක් ලේසියකට කෙල්ලෙක්ට රැවටෙන්නේ නෑ. රුචී වගේ සුළුතරයක් ඉන්නවා, උන්ට ඕනේ ඔය බහුතරයක් කෙල්ලෝ හොයන ආදරේ කියන පරම පිවිතුරු ඉටි ගෙඩිය නෙමෙයි. ඒ වගේ කෙල්ලන්ගෙන් කිසි කරදරයක් නෑ. මුණ ගැහුනා, ඕන වැඩේ කරගත්තා, ගියා... එච්චරයි!"

බෝතලේ අන්තිම පොඩ්ඩ වීදුරුවට දාං බෝතලේ හිස් කරන ගමං නාලක අයියා කිව්ව ඒ කතාවට මාත් වචන නැතිව හිස් වෙලා ගියා
"මූත් පුබුදුවාටමයි හරියන්නේ" මට හිතුනා.

"මට කෙල්ලෙක් ඉන්නවා මල්ලී. ඒත් ඉඳලා හිටලා සෙට් වෙන රුචී වගේ කෙල්ලන්ට රැවටෙන්නත් මං ආසයි බං!"
කට කොණකින් හිනාවෙන ගමන් නාලක අයියා වීදුරුවේ තිබුණු අන්තිම ෂොට් එක උගුරෙන් පහලට දාගත්තා.


෴෴


[පින්තූරෙ-http://goo.gl/cslWe]

69 comments:

  1. කතාව කියෙව්වම උත්තරහක් නොදී බෑ කියල හිතුනා. මට හිතෙන විදිහට නම් ලිංගිකත්වය කියන්නෙ ආසාවක් විතරයි, එතන ආදරයක් නෑ.. Sex නැතුව ආදරයක් තියෙන්න පුලුවන්, හැබැයි මම අර උඩ තියන පින්තුරෙට කැමතියි, ඒකෙ ඔය ඔක්කොම ලස්සනට පෙන්නලා තියනවා...

    ReplyDelete
    Replies
    1. "Sex නැතුව ආදරයක් තියෙන්න පුලුවන්"
      ඔව් තියෙන්න පුළුවන් ඒත් එහෙම ආදරයක පැවැත්ම ගැන ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා!

      Delete
  2. ඇත්තටම උඩ තියෙන පින්තූරෙ මාත් විශ්ලේෂණය කරලා බැලුවා. හ්ම්ම්හ්... ඇත්ත වගෙ 1 කතාවෙ සාරාංශය එතන.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කතාවයි පින්තූරෙයි දෙකම හොඳට විශ්ලේෂණය කරලා තියෙන පාටයි!

      Delete
  3. අනේ මන්දා බං... මොනවා කියන්නද මේවට

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා....
      එම!

      Delete
  4. රුචී වගේ කෙනෙක් ගැන මමත් කාලෙකට කලින් මෙන්න මෙහෙම ලිව්ව. ඒත් මෙච්චර විස්තර ඇතුව නෙමෙයි. ෆක් බඩී කෙනෙක් එක්ක ඇසුර කෙටිකාලීනයි. ඒත් ඒ බැඳීම් වලින් තොර වින්දනය හරි වෙනස් අත්දැකීමක් මම ඔයාට ආදරෙයි කියල අත්වැල් පටලවාගෙන ඉඳිල්ලට වඩා. [මිනිස්සු බැඳීම් වලට වඩා නිදහසේ කාටවත් වගකියන්නෙ නැති සැහැල්ලු ජීවිතයකට හිතයටින් කැමතියි]

    ඕක අඳුරු මුල්ලක සැඟවිච්ච මාතෘකාවක් නිසා ප්‍රසිද්ධියේ තියල යන්න පුළුවන් කොමෙන්ට් එකත් සීමා සහිතයි පූසො.

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං කමෙන්ට් දෙකක්ම දැම්මා ඒත් ලින්ක් එක දැම්මේ නෑ නොවැ!

      "මිනිස්සු බැඳීම් වලට වඩා නිදහසේ කාටවත් වගකියන්නෙ නැති සැහැල්ලු ජීවිතයකට හිතයටින් කැමතියි"
      අනිවාර්යයෙන්ම! වගකීම් වලින් හෙම්බත් වෙච්චි බොහෝ අයට සමහර වෙලාවකට ඒ හැම දෙයක්ම දමලා ගහලා නිකා ඉන්න හිතෙන වෙලාවල් තියෙනවා කියලා මං අහලා තියෙනවා.
      අඳුරු මුල්ලේ හැංගිච්ච මාතෘකා ඕන තරම්. ඒත් ඒවා හොඳ එළිය තැනකට ගෙනත් දැම්මාම කාටවත් මුකුත් කියාගන්න බැරිව යනවා. මොකද ඒ මාතෘකා වල ඉන්න චරිත අපි අඳුරන අපේ අතරම ඉන්න නිසා! :)

      Delete
    2. ලින්ක් එක කෝ නවම්....
      අවංක හිතින් කතා කරන කොල්ලො අඩුයි. නැතිනම් බයයි...

      Delete
  5. රුචී වගේ ගෑණු ලමයින්ට ඇත්තටම ආදරේ කරන අය හොයා ගන්න අමාරුයි.එහෙම එක එක අය එක්ක යන අය විතරක් නෙවෙයි පෙම්වත්තු ගොඩක් දෙනෙක් ඉදලා ඒ හැමෝම එක්ක යන අයටත් ඕකම තමා.අර පින්තූරෙනම් නියමෙට ගැලපෙනවා. :))

    ReplyDelete
    Replies
    1. ඇත්ත! රුචී එක්ක කාමරේකට යන්න කොල්ලෝ ඕනතරම් එයි. ඒත් එයා එක්ක දීගෙක යන්න කැමති කොල්ලෝ ඉන්න් බොහොම ටිකයි!

      Delete
    2. ඕක තමයි මචෝ වැ‍රැද්ද, අපෙ මිනිස්සුන්ගෙ ආකල්ප හරිම ප‍ටුයි.. මිනිස්සු 100ක් එක්ක ගියත් කෙල්ලෙක් ඇත්තටම ආදරේ කරන්නෙ එකෙක්ට විතරයි.. එහෙම කෙල්ලෙක්ව තමන්ගෙ ආදරණී බිරිඳ කර ගන්න කොල්ලව මම සලකන්නෙ නම් නියම මනුෂ්‍යයෙක් විදිහට, එහෙම කරන්න ලොකු කැප කිරීම් කරන්න වෙනවා.. අනික තමයි, කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක නිදා ගත්ත කියන එක මහ දෙයක් නෙමෙයි, හැබැයි අර කෙල්ලට වෙන්නෙ රට්‍ටුන්ගෙන් කයි කතන්දර අහගන්න..

      පසන් කියනදේ මම හොඳින්ම දන්න දෙයක්... මිනිස්සු ලස්සන වෙන්න ඕනේ හැබැයි පෙනුමෙන් නෙමෙයි හදවතින්......

      Delete
    3. උඹ ඔය කියන දේටත් වඩා අපේ සමාජයේ ආකල්ප පට්ටම පටුයි බං. කොල්ලෙක් එක්ක ජීවිතේට අතිං අල්ලලාවත් නැති කෙල්ලෙක්ගේ පිරිසිඳුබව සුදු රෙද්දකින් හොයන තරමටම අපේ මිනිස්සුන්ගේ ආකල්ප පටුයි!

      Delete
  6. රුචී වගේ කෙල්ලෙක් හිටියා.. ඒකි බැන්දා.. දැන් ළමෙක් ඉන්න ලස්සන පවුල් ජීවිතයක් තියන මං දන්න හොද බිරිදක්..

    ඒත්.. කලින් ඒකිත් එක්ක බුදිය ගත්ත උන් ඒ කෙල්ලට වේසි කියලා බනිනවා.. මට හිතාගන්න බැරි බුදිය ගන්න කාලෙ එළ කෙල්ල උන ඒකි බැන්දට පස්සෙ වේසි වෙන්නෙ කොහොමද කියලා..

    වැඩියෙන්ම ගෑණු තියා ගත්ත එකා තමාලු බදින් ගෑණිගෙ පිරිසිදුකම් හොයන්නේ...

    අනේ මන්දා බං මෙව්වා නන්......

    ReplyDelete
    Replies
    1. රුචීත් බඳීවි ලස්සන පවුල් දිවියක් ගත කරාවි. වැරදි(?) කරපු මිනිස්සු පස්සේ හැදුනත් කලිං වැරැද්දම මතක් කර කර ඒ අයට බැණ බැණ ඉන්න අපේ මිනිස්සු හරිම ආසයි. ඒ කුහක කම නිසාද කියලා මං දන්නෑ!

      Delete
  7. හුටා.. කෝ මගේ ලින්ක් එක.... ?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං මාත් බැලුවේ.... කෝ මෙතනවත් ගෙනත් අතාරින්නකෝ!

      Delete
    2. දැන් නෙ දැක්කෙ මේ අවුල, මෙන්න ලින්ක් එක

      “කබී අල් විදානා කෙහෙනා ලක්මි”

      Delete
  8. Ruchi paw nadd?
    Ruchi Nalakatanam adere karanwa wagi.
    eyata kawadawath adere hamba wenne nathi eka sadaranad?

    ReplyDelete
    Replies
    1. අපි කොහොමද තීරණේ කරන්නේ රුචී ඇත්තටම නාලකට ආදරෙයි කියලා? නාලක රුචීට ඇත්තටම ආදරේ කරනවයි කියලා මගේ ‍යාළුවෝ ටික රැවටුනා වගේ ඔයත් රැවටිලා වෙන්න බැරිද?
      රුචීට කවදා හරි ආදරයක් ලැබේවි. එදාට එයා වෙනස් වේවි. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවං!

      Delete
  9. ආදරය සහ ලිංගීක ආසාවන් අතර වල්මත් නොවි ඉන්න තරමට ජිවිතේ සැපයි

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදේම ගාණට මිම්මට තියාගන්න ඕනේ!

      Delete
  10. හෙහ් .. හෙහ් ... ප්‍රධාන මාතෘකාව අතෑරියම මේක නිකන් බොනපාට් සංගමේ මාසික රැස්වීමෙ වාර්ථාව වගේනේ.

    අර උඩ තියන වෙන්රූප සටහනට නම් මමත් කැමතියි. හැබෑට ඕකෙ සර්වත්‍ර කුලකෙ මොකක්ද බං. (ඔය ගේ, ලෙස්බියන්ලත් එහෙම ඉන්න නිසා එහෙම ඇහැව්වෙ)

    ReplyDelete
    Replies
    1. නොබොන කෙනෙක් වගේ?
      ප්‍රධාන මාතෘකාව අතෑරපු තැනක කතාවේ හරයක් තියේවිද?
      පිතූරේ මගේ නෙමෙයි!

      Delete
  11. පින්තූරෙ නියමයි.. හොදටම ගැලපෙන්වා...

    කතාව ගැනනම් අනේ මංදා, රුචී වගේ කෙන්ක්ට ඇත්තටම ආදරේ කරන පිරිමි ළ්මයෙක් ඉදීවිද?? ??

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඉඳීවි. සමහරවිට නැති වේවි. අපි දන්නේ නෑ. හැබැයි පහල කමෙන්ට් කිහිපයකම තියෙනවා රුචී වගේ කෙල්ලෝ දැන් බැඳලා හොඳ පවුල් දිවියක් ගතකරන බවට සාක්කි!

      Delete
  12. රූපෙට තමයි මගෙත් හිත ගියේ. රූපෙ කිව්වෙ ඉහල තියන පිංතූරෙ.

    ReplyDelete
    Replies
    1. මගෙත් හිත ගියා රූපෙට. ඒකයි මේකට දැම්මේ! පින්තූරෙ ගත්තු තැන් ඇති කතාව පහලම!

      Delete
  13. රුචි වගෙ කෙල්ලෙක් ටිකක් වෙනස් අනිත් අයට වඩා..එයාලගෙ මූලික අරමුණ ඒ කියන්නෙ මේන් ප්‍රයොරිටි මෙව්වා එක (ලැජ්ජයි වාගෙ ;) ) අපි කියන ආදරේ නෙවි.ශාරීරික බැඳීම තමයි එයාලට වැඩිපුරම ඕනෙ.
    @හිතුවක්කාරි
    එහෙම කොල්ලො ඉන්නවා.මම දන්න අය කීප දෙනෙක් හිටියා.බැඳල දැං.ලමයිත් ඉන්නව.හැසිරීම නම් වෙනස් වෙලා තියෙන්නෙ පොඩ්ඩයි හැබැයි.වෙන කොල්ලො ලඟට යන්නෙ නෑ දැං. :ඩී

    පොඩි එකා වැරදිද මන්දා :O

    ReplyDelete
    Replies
    1. මල්ලී හරි ඇති මල්ලී!

      Delete
  14. ඒත් ඒගෑනුළමයටත් දවසක ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බවෙයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් වැඩි සම්භාවිතාව තියෙන්නේ ඒ වගේ අයට දවසක ඇත්තටම ආදරේ කරන කෙනෙක් හමුවීමට!

      Delete
  15. මට මේ කතාව කියවද්දී සප්ත කන්යා චිත්‍රපටියත් මතක් උනා .

    ReplyDelete
    Replies
    1. ඒකෙත් තියෙන්නේ මේ වගේ කතාවක්ද? මං බලලා නෑ ඒ චිත්‍රපටිය.

      Delete
  16. ආදරේ සහ ලිංගිකත්වය එකට හා වෙන මාතෘකා දෙකක්...... පිංතූරෙන් මුළු කතාවම කියවෙනවා.....

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය රාගයෙන් තොරයි කියලත් අපේ රටේ සමහර උදවිය ලියලා තියෙනවා!

      Delete
  17. ඒ ගෑනු ළමයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බ වෙයි ඒත් ඒ කොල්ලා කොච්චර ලොකු රැවටීමකට අහුවෙයිද.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආදරේ කරන තැනක රැවටීමක් තියෙන්නේ නෑ! තේරුම් ගැනිමයි විශ්වාසයයි වැදගත්!

      Delete
  18. එක එක මිනිස්සු තමන්ගේ සන්තෝසය විඳින විදි හා ක්‍රම තියෙනවා.., ඒවා අස්සේ රුචී තමන්ට ගැලපෙන ක්‍රමේ හොයාගන්න ඇති. අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගෙන් කිසි කතාවක් අහන්නේ නැතුව හරිම පිළිවෙළට [කියලා හිතාගෙන] නේ??
    ඒත් අවට ලෝකේ ගැන වගක් නැතුව තමන්ගේ පිළිවෙළට ජීවිතේ ගෙනියන රුචී වගේ චරිත අපි වගේ සුදු රෙදි පෙරව ගත්තු චරිත ඉස්සරහ කොයිතරම් ස්වාදීනද?
    ප්‍රෂ්ණේ තියෙන්නේ ඔය ස්වාධීන කමට ලොකේ තියෙන වටිනා කම අවම වෙන එකනේ..!

    උඹටත් හිතෙන දේවල් අම්මාපා..!! :)

    ReplyDelete
    Replies
    1. ලෝකෙටත් වඩා මං හිතන්නේ අපේ රටේ ඒ ස්වාධීන කමට සෑහෙන්න කතා අහගන්න වෙනවා! හිතලා බලන්නකෝ මං මේ කතාව කඩ්ඩෙං ලියලා ඇමෙරිකාවේ අය කියවන තැනක දැම්මොත් කට්ටිය ඇවිත් අහන්න ඉඩ තියෙනවා ඕක ලියන්න තරම් දෙයක්ද කියලා!
      මේක නිකම්ම නිකම් සිතුවිල්ලක් පමණක් නොවෙන්න බැරිද? :)

      Delete
  19. පුශට මුකුත් කරගන්ඩ උන්නැද්ද තිං ? :P

    ReplyDelete
    Replies
    1. උඹ හිතනවද මේක ඇත්තම් ඇත්ත කතාවක් කියලා?

      Delete
  20. රුචී කියන්නේ ගමට සම්පතක් නොවැ,,, බොලා ඔයිට වඩා ඒ දැරිවිට සලකන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. රුචීට අවශ්‍ය සැලකිලි අදාල අය නොමසුරුව ලබා දෙනවා!

      Delete
  21. ඕක තමා මල්ලි ඇත්ත තත්ත්වේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිත්තයි සීනි පැණි රහයි! :D

      Delete
  22. එයම කොමෙන්ට් වලට අනුව සමිතා පිරිමි දෙදෙනෙක් සමග සම්බන්ධතාවයන් පැවැත්වීම නිසා වල් ගැහැණියකි. නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි
    ෴ උපුටා ගැනීම : සාතන්ගේ රටේ සිට ලියමි෴
    මේක නෙවෙයිද යතාර්ථය.යාද ගොඩක් උන් ඒකි ගොනා,ඒකි වේසි කිය කිය යන්නේ ඇයි? ආත්මාර්ථකාමය,කුහකත්වය සහ ඉරිසියාව නිසා.ඌත් එක්ක බුදියගන්නවනම් ඔය කිසි කතාවක් නෑ!
    "අනුකම්පාව මිශ්‍ර තරහව"ට හේතුව ඔන්න ඕක තමයි මචං..එතන අනුකම්පාවට වඩා තියෙන්නේ තන්හාව!

    ReplyDelete
    Replies
    1. ඒ අපූරු ලිපිය මං කියෙව්වා!
      උඹ මගේ කතාවේ මට පෙන්නන්න ඕන වෙච්චි එක් දෙයක් උඹ හරියම අල්ලගෙන! :)

      Delete
  23. ඉතින් බන් පූස් උබ රුචීට ට්‍රරයි කලේ නෑද

    ReplyDelete
    Replies
    1. උඹත් හිතනවද මේ ඇත්තම ඇත්ත කතාවක් කියලා?

      Delete
  24. හ්ම්ම්.... friends with benefits ෆිල්ම් එකත් මතක්වුනා...

    වෙන් රූප සටහන නම් පට්ට ඇත්ත.මේ චරිත හැම එකකම ආරම්භය ගත්තොත් ඒ කෙල්ලට මුලදි කොතන හරි වැරදිලා ඇති කියලයි හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ ෆිල්ම් එකෙත් මේ වගේ කතාවක්ද තියෙන්නේ? මං බලලා නෑ.

      Delete
  25. [ආදරේ කියන්නේ බං ගෑණියෙකුයි මිනිහෙකුයි අර අහවල් වැඩේ කරන්න තියෙන ආසාවයි තව මොනාදෝ ආධ්‍යාත්මික බැඳීම් කියලා ජාතියකුයි තව එව්වා මෙව්වා ටිකකුයි එකට දාලා පිටට ලස්සනට පේන්න ඔතලා තියෙන කොළේනේ බං.]
    එකඟයි!

    ReplyDelete
    Replies
    1. ආදරේට එක එක අයට එක එක විදිහේ අර්ථ දැක්වීම් තියෙන්න පුළුවං!

      Delete
  26. රුචී සුදුද කලුද නැත්නම් නාලක සුදුද කලුද කියලා කියන්න තරම් මන් පිරිසිදු නෑ..ඉතින් මොනා කියන්නද උන්දෙන්නා ගන සහ බොලාගේ සෙට් එක ගැන..

    ReplyDelete
    Replies
    1. රුචීලා නාලකලා සහ අපි හැමෝම අළුයි!

      Delete
  27. ටිකක් බරපතල මාතෘකාවක් නේ..

    ReplyDelete
  28. රුචී වගේ අය වෙනස් කරන්න බැරි නැහැ නමුත් අමාරුයි. අනික එයා එයා යන විදිහට කැමැති නම් ඒක වෙනස් කරන්න ඕනිත් නැහැ.ඒත් එයා ගැන අනිත් අය හිතන විදිහ වෙනස් වුනොත් හොදයි කියලා හිතෙනවා.

    බලාන ගියහම පූසගෙ සෙට් එකේ බොන අයට වඩා වැඩියෙන්ම භයානක කෙනා නාලක අයියා.

    වගකීම් වලින් බැදෙන්න මිනිස්සු මේ තරම්ම අකැමැති නම් ඇයි වගකීම් සොයා ගෙන ගිහින් ඒවයෙ බැදෙන්නෙ කියනෙකත් ගැටලුවක්.

    අනේ මන්දා පූසෝ........වැඩිය හිතන්න ගියොත් මොලේ කොලොප්පන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් හිතන විදිහ හෝ විශ්වාස කරන දෙයක් වෙනස් කරන එක හරිම අමාරු වැඩක්! අනික බලෙන් ඒ දේවල් වෙනස් කරලා වැඩකුත් නෑ. තේරුම් ගැනීම තුලින් තමාම වෙනස් වෙනවෙනවනම් වඩා හොඳ!
      අනේ මන්දා එක සිද්ධියකින් මිනිස්සුන්ව නිශ්චය කරන්න පුළුවන්ද?
      සමහර වෙලාවට මිනිස්සුන්ට වෙනත් ආසාවන් සතුටු වීම් අතර වගකීම් ඇති බව අමතක වෙලා යනවා වෙන්න ඇති. ඔව් ඕවා වැඩිය හිතන්න ගියාම ඔළුව රිදෙනවා! :D

      Delete
  29. අර උඩට වෙන්න දාපු පින්තූරෙ නම් මාර ගති... නියමම අර්ථදැක්වීමක් වගේ.. රුචී වගේ කශ්ටියනට බොක්කෙන්ම ලව් කොල්ලෙක් එහෙම අහු වුනොත් හරිම අපරාදයක්...

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ? රුචීට හැදෙන්න අවස්ථාවක් නැතිද?

      Delete
  30. පූසා ඔයා නේද මෙතන 3rd party observer ? රුචි නාලකට ඇත්තටම ආදරේ නම් ? going out with other guys doesn't mean she can't fall in love with a single guy right?
    හැමෝම හැගීම් දැනීම් තියෙන මිනිස්සු කාටවත් කාවවත් විවේචනය කරන්න බෑ....

    රුචි වගේ අය ජීවිතේ අලුත් කරගන්න යනවනම් එකට කකුලෙන් අදින එකත් වැරදි නේද?

    ReplyDelete
    Replies
    1. "පූසා ඔයා නේද මෙතන 3rd party observer ?" ඔව්!

      "රුචි නාලකට ඇත්තටම ආදරේ නම් ?" සමහරවිට එහෙම වෙන්නත් පුළුවං නැත්තම් අපි නාලකත් රුචීට ඇත්තරම ආදරේ කරනවා ඇති කියලා රැවටුනා වගේ රැවටීමක් වෙන්නත් පුළුවං. මම කළේ පාඨකයාට කුතුහලයක් ඉතිරි කිරීම පමණයි!

      "going out with other guys doesn't mean she can't fall in love with a single guy right? " අනිවාර්යයෙන්ම!

      ඇත්ත අපිට මේ වගේ සිද්ධියක් දිහා බලාගෙන නාලකවවත් රුචීවවත් විවේචනය කරන්න බෑ. මොකද අපි කවුරුත් අති පිරිසිඳු චරිත නෙමෙයි. මම කළේ අදාල සිද්ධිය දිහා බලාගෙන ලිවීමක් විතරයි. කියවන තැනැත්තාට ඒක කැමති විදිහකට නිර්වචනය කරගන්න ඉඩ තියලයි තියෙන්නේ.
      රුචීගේ නාලකගේ විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ තමන්ට කැමති විදිහටකට පවත්වගෙන යන්න පුළුවන්. රුචීට විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක්ට ජීවිතේ අලුත් කරගන්නත් පුළුවන්. ඒත් සමාජයේ සමහර දෙනා කලින් වැරදි කරපු කෙනෙක් හොඳ කෙනෙක් බවට පත් උනායින් පස්සෙත් එයා වැරදි කාරයෙක්ම විදිහට හංවඩු ගහන එකනං අපේ රටේ හැමතැනම දකින්න ලැබෙන කණගාටුදායක තත්වයක්!

      Delete
  31. උඔ කොහෙද බං ඉන්නේ...? මටත් පොඩ්ඩක් රැවටෙන්න ;-)

    මම දන්න කෙනෙක් හිටියා පිම්පි වැඩේ කරපු. පොර වැඩේට පාවිච්චි කලේ පොර කලින් වැඩ කරපු තැනකදි හම්බවුණ කෙල්ලක්ලු. (අපට චාන්ස් එකක් දෙන්නම් කිව්වට ඒව කතාවට විතරක් සීමා වුණා) පොර කියන්නෙ ඒක ඒ කෙල්ල කැමැත්තෙන් කරන වැඩක් කියල. ඒකි ඌත් එක්ක ඉන්න ගමන්ම බිස්නස් එකක් විධියට වෙන උන් එක්කත් ඉන්නවා. ඒක සෑහෙන්න කාලෙක ඉඳන් කරන වැඩක්. උන් දෙන්න අතරෙ නම් ඔය පර්ෆෙක්ට් කතන්දරේ හරි ඇති කියල මට හිතෙනවා.

    ReplyDelete
  32. අනේ මන්දා මොනා කියනන්ද කියලා . . කිසි කෙනෙක් වැරදිකාරයෙක් කියලා මට හිතෙන්නේ නැති හැටි . . .

    ReplyDelete
  33. අද සමාජයේ හැටි බං.. හැබැයි හිටියොත් එපා කියන්නෙත් නෑ.. ඒත් ඊට වැඩ අවංක ආදරේක වටිනාකම වැඩී බං..

    ReplyDelete
  34. මමත් කසාද බැන්ඳේ ගමේ කොල්ලො කිහිප දෙනෙක් එක්කම හිටපු කෙල්ලෙක්ව, මගේ යාළුවොත් කිහිප දෙනෙක්ම එයා එක්ක ඉඳල තියෙනව, එක මට ප්‍රශ්නයක් නෙමෙයි...ඇත්තටම එයා හරිම ලස්සනයි සුදුම සුදුයි ඔන කෙනෙක් දෙපාරක් හැරිල බලනව...ඇත්තම කියනවනම් එයත් එක්ක හිටපු අයට ඉරිසියයි එවගෙ කෙල්ලෙක් බඳින්න බැරිවුනාට, මොකද එගොල්ලොන්ට අවශ්‍ය එයාව හැමදාම එගොල්ලන්ගෙ පාවිච්චියට පමනක් තියාගන්න, හැබැයි මම කසාද බදිනකන් එයත් එක්ක කිසි දවසක් ලිංගිකව හැසිරුනෙ නැහැ,දැන් අපි ගමේන් පිට අපෙම කියල ගෙයක් හදාගෙන සතුටින් ඉන්නව, අපිට අවු 4ක පුංචි පුතෙකුත් ඉන්නව... එයා මට මෙවනතුරු කිසිම අඩුපාඩුවක් කරල නැහැ, මට පන වගෙ ආදරේයි, මාව රිය අනතුරකට ලක්වුන වෙලාවේදි මගෙ ලඟින්ම ඉඳන් මට සාත්තුකරල මාව සුවපත් කරල තියෙනව, මමත් එයාට පන වෙගෙ ආදරේයි.. හැමොටම වැරදෙනව එක මනුස්ස ස්භාවය එවට අපි සමාව දෙන්න ඔනේ, වැරදි නිවැරදි කරගන්න අවස්තාව දෙන්න ඔනේ... උදා- අම්බපාලි ගණිකාවත් අන්තිමට රහත් වුනේ

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...