Thursday, July 19, 2012

උම්මන්තක සිතුවිලි...



මට ඕනේ උනා ලිපියක් ලියන්න. මොකක් හරි ලිපියක්. හරයක් නැතත් මදයක් ඇති ලිපියක්. මං ඔහේ කල්පනා කළා. මොනවා ගැනද මං ලියන්නේ කියලා. 
ආදරේ ගැන?
ඔව්... ආදරේ කියන්නේ අපූරු මාතෘකාවක්. ගොඩදෙනෙක් ලියන මාතෘකාවක්. ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු මාතෘකාවක්. සමහර මිනිස්සුන්ට ජීවත් වීමේ ආසාව ලබා දුන්නු මාතෘකාවක්. තවත් අයගේ ජීවිතේ නැති කරපු මාතෘකාවක්. ආදරේ... ඇත්තටම අපූරු මාතෘකාවක්. ඉතිං මං ලියන්න ගත්තා.... ආදරේ ගැන. ඒත්...... හරි පුදුම වැඩක්. ආදරේ ගැන ලියන්න ගත්තාම ලියවෙන්නේ ආසාව ගැන, ආරක්ෂාව ගැන, ආදායම ගැන. මං නැවත නැවතත් උත්සාහ කළා. ඒත් ප්‍රතිඵලය වෙනස් වුනේ නෑ. මං ලියපුවා කියවලා බැලුවා. ඒ ලිපියේ 'ආ' යන්නෙන් පටං ගන්න බොහෝ දේවල් ගැන ලියවිලා තිබුණා 'ආදරය' ගැන හැර. මට තරහා ගියා. ආදරේ ගැන ලිව්වාම 'ආ' යන්නෙන් පටං ගන්න මොන දේ ගැන ලිව්වත් වැඩක්ද ආදරේ ගැන නැතිව? මං ඉරලා දැම්මා. ලිපිය පොඩි පොඩි කෑලි වලටම ඉරලා දැම්මා.

මං හිතුවා ලියන්න දෙයක් හොයාගෙන ඇවිදන් යන්න. මං බස් එකට නැග්ගා. බස් එකේ සෙනඟ පිරිලා හිටියා. කළු මිනිස්සු, සුදු මිනිස්සු, තලෙළු මිනිස්සු. සුදු මිනිහෙක් කොන්දොස්තර දීපු බස් ටිකට් එක තමන් උන්නු තැනම බිම දාලා බස් එකෙං බැහැලා ගියා. අම්මාගේ උකුළේ උන්නු පොඩි එකෙක් අම්මාට පෙන්න පෙන්න ටොපි කොළේ ජනේලෙන් එළියට විසි කළා. පොඩි එකා හිනා වුණා. අම්මත් හිනා වුණා. අම්මා පොඩි එකාගේ ඔළුව අතගාලා "මගේ හොඳ පුතා" කිව්වා. මටත් හිනා ගියා. පොලිස්කාරයෙක් ෆුට් බෝර්ඩ් එකේ එල්ලුනා. වැරහැලි ඇදගත්තු ආච්චි කෙනෙක් රුපියලක් අඩුවෙන් දුන්නැයි කියලා කොන්දොස්තර බෙරිහන් දුන්නා. හෝල්ට් දෙක තුනක් ගිහින් පොලිස්කාරයා සල්ලි නොදීම බස් එකෙන් බැස්සා. මට ආයෙත් හිනා ගියා.

මං බස් එකෙන් බැස්සා. මෙරීන් ඩ්‍රයිව් පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා. බිම බලාගෙන ගියා. සිගරට් ෆිල්ටර් තැන් තැන් වල තිබ්බා. බියර් කෑන් පොඩි කරලා ගල් අස්සේ තිබ්බා. හිස් සිගරට් පෙට්ටි, කොන්ඩම් පැකට් කීපෙකුත් තැන් තැන් වල තිබ්බා. බයෙන් වගේ වටපිට බැලුව කපල් එකක් 'ROOMS' කියලා බෝඩ් එකක් ගහලා තිබ්බ තැනකින් ඇතුලට ගියා. මට හිනා ගියා. 

මං ගොඩාක් දුර ඇවිදන් ගියා....

මං හිටියේ කොල්ලුපිටිය මැක්ඩොනල්ස් එක ඉස්සරහා. පාරෙන් එහා පැත්තේ හම්පඩ ගැහිච්ච කලිසමකුයි, තැන තැන ඉරුණු ලොකු කමිසෙකුයි ඇඳගත්තු පොඩි එකෙක් ඇස් ලොකු කරං මැක්ඩොනල්ඩ්ස් එක දිහා බලාගෙන උන්නා. පොඩි එකා බලාගෙන හිටපු දිහා මාත් බැලුවා. වීදුරුව අයිනේ මේසෙක ලස්සන කපල් එකක් වාඩි වෙලා හිටියා. ඒ දෙන්නා ගාව උසම උස බර්ගර් දෙකක් තිබ්බා. ඒක දැක්කාම මටත් කෙල ගිලුනා. පොඩි එකා බලාගෙන හිටියේ ඒ බර්ගර් දෙක දිහා. කෙල්ල බර්ගර් එකක් කන්න ගත්තා. බර්ගර් එකක් කන හැටිත් බලං ඉන්න වටින දෙයක් මට හිතුනා. උස තට්ටු ගාන වැටෙන්නෙ නැති වෙන්න අත් දෙකෙන්ම අල්ලං පුළුවං තරං කට ඇරලා කෑල්ලක් කඩා ගන්නවා. මං පොඩි එකා දිහා බැලුවා. කෙල්ලගේ තරමටම නැතත් පොඩි එකාගේ කටත් කෙල්ලත් එක්කම ඇරුනා. මට හිනාගියා. ඒත් දුක හිතුනා.

මං හිතාගත්තා ලිපියක් ලියන්න. ලංකාවේ දුප්පත්කම ගැන. මං ගෙදර ආවා. මට හිතුනා යුරෝපා රටවලට සාපේක්ෂව ලංකාව කොච්චර දුප්පත්ද කියලා මගේ ලිපියෙන් උලුප්පලා පෙන්නන්න. යුරෝපා රටවල් ගැන හිතන්න ගත්තු මට මතකෙට ආවේ අර බර්ගර් එක කෑව ලස්සන කෙල්ලව. ලංකාව ගැන හිතන්න ගත්තාම මට මතක් වුනේ එළියේ වීදුරුවෙන් බර්ගර් කන කෙල්ල දිහා බලං උන්නු දුප්පත් පොඩි එකාව. මට හිනාගියා. ඒත් දුක හිතුනා.



[පින්තූරෙ - http://files.myopera.com/antiquecullen/blog/walking_alone.jpg ]

38 comments:

  1. ඇත්ත බං.

    මග දිගට කෙච්චර දේවල් අපි දකිනවද අත් විදිනවද?

    ඒක තමා ජීවිතේ !

    ReplyDelete
  2. උඹ අතේ කැමරාව ති​බුනේ නැද්ද....

    සිරා පූසා....

    ReplyDelete
  3. මාත් කියෙව්වා.. අන්තිමට බැලුවා කෝ ආදරේ කියලා.. මට ආදරේ හොයා ගන්න බැරි උනා.. ඒත්.. මට.. ඔවු මම සමාජයේ ඇවිදිනවා දැක්කා.. ආදරේ නැතුවම මං සමාජය දැක්කා..

    ජය....

    ReplyDelete
  4. //බර්ගර් එකක් කන හැටිත් බලං ඉන්න වටින දෙයක් මට හිතුනා. උස තට්ටු ගාන වැටෙන්නෙ නැති වෙන්න අත් දෙකෙන්ම අල්ලං පුළුවං තරං කට ඇරලා කෑල්ලක් කඩා ගන්නවා. මං පොඩි එකා දිහා බැලුවා. කෙල්ලගේ තරමටම නැතත් පොඩි එකාගේ කටත් කෙල්ලත් එක්කම ඇරුනා.//

    හම්.. ජීවිතේ කියන්නේ ඕක තමයි මචෝ..

    ReplyDelete
  5. දිගටම සංචාරය කරපං. ලියන්න තව හොඳ හොඳ දේවල් ලැබෙයි.

    ReplyDelete
  6. මේක සිරා පෝස්ට් එකක් බං....
    මාර ආසාවෙන් කියෙව්වේ...

    අන්තිම ටික තමා නියම.
    හිනා යනවා. ඒ වගේම දුක හිතෙනවා. ඒ දුක හිතිච්ච එක මතක් උනාම ආයෙමත් හිනා යනවා...

    ජය වේවා!!!

    ReplyDelete
  7. පූසා පට්ටයි මේක.......

    මාතෘකාව වැරදියි බන්...

    ReplyDelete
  8. වීදුරුවෙ ඝනකම නූලක්(3.175mm), දෙකක් වුනාට ඒ දෙපැත්තෙ තියන ලෝක දෙක අතර තියන පරතරය කොයි තරම් වෙනස් ද?

    ReplyDelete
  9. ජීවිතේ හැටි තමයි ඔය!..............

    ReplyDelete
  10. බර්ගර් එක හිඟන පොඩිඑකාගෙ රොටියට වඩා රසයිද?
    ඇත්තටම රසයිද?

    ReplyDelete
    Replies
    1. ගාන සැර උනාට ජීවිතේට එක පාරක්වත් කාලා බලන්න වටින කෑමක් අමිල. ට්‍රයි එකක් දාලා බලන්න!

      Delete
  11. මේක පට්ටයි පූසයියා..සෑහෙන කාලෙකින් බ්ලොග් එකක පෝස්ට් එකක් දෙපාරක් කියෙව්වේ

    ReplyDelete
  12. පූසා මල්ලි, මේක නම් මම කාලෙකින් උඹෙන් කියවපු සුපිරිම ලිපියක් ඒ අවස්ථා ගැලපිල්ලෙ තියන සාර්ථක කමට වෙන්න ඇති. නැත්නම් අපිත් අනන්තවත් දකින දෙයක් ආයෙම කියෙව්වම අරුමයක් හිතෙන්න හේතුවක් නෑ. ආයෙමත් මම මේ පෝස්ට් එකටනම් හරිම කැමතියි.

    ReplyDelete
  13. ගොඩක් වෙලාවට පාරෙ තොටේ දකින විෂමතා ගැන පූසා ලියල තියෙන්නෙ. මටත් ඒ වෙලාවට හිනා යනවා දුක හිතෙනවා තමයි. ඒත් පූසා ඒවා අකුරු කළා. එහෙම කියවද්දිනම් හිනා යනවට දුක හිතෙනවට වඩා දේවල් හිතෙනවා.
    ඒ වුණාට ඔච්චර එකේ අර පොඩි එකාට කීයක් හරි දුන්නනම් මොකද සීනි බනිසක්වත් කන්න :-D

    බර්ගර් එක රොටියකට වඩා විස්මිතයිනෙ අමිල පෙනුමෙන්ම විතරක්. මංනම් කාලා නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් එක පාරයි කාලා තියෙන්නේ. නිතරම කන්න ගාණ දරාගන්න අමාරුයි. කාලා බලන්න වටිනවා. හරියට අල්ලගෙන හරියට කන්න ඕනේ. නැත්තං මැද්දේ ටික අනික් පැත්තෙන් එළියට වැටෙනවා! :D

      Delete
  14. හ්ම්ම්.. නියම ලිපියක්...

    ReplyDelete
  15. සුපිරි බං! කොහොමත් අපට හිනාවෙලා නතර වෙනව ඇරෙන්න දෙයක් කරන්න බැරි තරම්. ඕනවට වඩා හිතල පිස්සු හදාගන්නත් බෑනේ....

    ReplyDelete
  16. වැරදි කරන මිනිස්සු (පොලිස්කාරයා/ ටොපි කොලේ විසික් කරපු පොඩි එකා අපිට ගොඩක් කතා කියා දෙනවා) මේක නම් සුපිරි ලිවිල්ලක්

    ReplyDelete
  17. සික් කෙල්ලෝ කන හැටි බලන් ඉන්නේ,,ඕවා මහ කැත පුරුදු

    ReplyDelete
  18. වැරදිලාවත් ඔය රූට් එකේ නම් මන් නම් ආයි යන්නෙ නෑ...

    ReplyDelete
  19. මිනිස්සු අතරෙ හැසිරෙද්දි ඔය වගේ හිනාවෙන්න දේවල් කොච්චර ලැබෙනවද?... දුක් වෙන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්...

    අන්තිම ටික ලියල තියෙනව දුම් විසි වෙන්න... මට මතක් වුනේ ඉස්කෝලෙ යන කාලෙ දැකපු සීන් එකක්... පොඩි ළමයෙක් කුණු බක්කියක් අවුස්සල ඒකෙන් මොකක්දෝ අරන් කෑවා.... හොඳම විහිලුව අපි ඒ වෙලාවෙ අතේ තිබුන සල්ලි ඉවර වෙනකම් විච්චූරණ කෑම ජාති කාල(බඩගින්නට නෙමෙයි) එම් සී එකෙන් එළියට එනව... :)

    ReplyDelete
  20. මේකට කියන්නේ මොනවද මංදා........

    ReplyDelete
  21. සිරාවටම නියම ලිපියක් පූසෝ.....

    ReplyDelete
  22. පූසා අයියා ලියන මෙන්න මෙහෙම කතා කියවන්න ඇත්තටම මම හරි කැමතියි!! කියන්න ඕනෙ දේ හරි ලස්සනට, අමුතු ව්ඉදියට ලියනවා.. අමුතුයි!! වෙනස්!! මේ ශෛලිය හරිම ශෝක්!!!

    බර්ගර් එක කන කෙල්ල දිහා බලන් හිටිය පොඩි එකාගෙ ච්ත්‍රයක් මට මැවිලා පෙනුනා.. දුකත් හිතුනා... ඒත්, ඕක තමා යාථාර්තය!!!

    ReplyDelete
  23. sensitive mind :)

    ReplyDelete
  24. පූසෝ ඔයාගෙ ලේඛන ශෛලිය වෙනස් වෙලා. ඒක සාධනීය වෙනසක්. ඒ වගේම මේ ලිපිය වගේම "එහෙමනං එහෙමයි" එකත් මල් හතයි !

    ReplyDelete
    Replies
    1. ඔව්! මගේ කියවීම වෙනස් වෙලා නිසා වෙන්න ඇති දැන් ලියවෙන්නෙත් මහා විකාර ;) :D

      Delete
  25. මැදිවියට ගියාමයි මේ වගේ කතා ලියන්න හිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් නිතරම කියනවා "මුගේ කතාව වයසට නෙමෙයි!" කියලා.

      Delete
  26. මොකද ඊලඟ එකේ කමෙන්ට් වහලා?

    ReplyDelete
    Replies
    1. ඒකේ අන්තිමට ඡේදේ ඇති හේතුව.

      Delete
  27. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි! වෙන වෙනම රිප්ලයි කළත් හැමෝටම කියන්න වෙන්නේ ස්තූතියි කියලයි! :)

    ReplyDelete
  28. මට නම් දුක හිතුනා :(

    ReplyDelete
  29. එල එල මචෝ පූසා මේක ලෝකේ හැටි බං.. ලංකාවට මෙහෙම හෙන ගහලා ගියේ රටේ දේශපාලනේ නිසයි බං මං නම් හිතන්නේ.. ලංකාව මුන් 2020 වෙද්දී හදනවලු අපි බලමුකෝ ඒ කාලෙට... අපි අශ්චර්යයට ලංවෙලාද කියලා.. හිනා යනවා බං.. :)

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...