Thursday, July 31, 2014

ආදරය යනු කුණුහරුපයක් වූ රටක......



අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් තමන්ට පොදු සතුරෙක් සිටින බව පසක් කරගන්නා විට සියල්ල සිදු වී හමාර ය. 

සතුරා, පෙම්වතුන්ගේ දූපත දෙස ක්‍රෝධයෙන් රත් පැහැ ගැන් වූ දෙනෙත් යොමාගෙන සිටියේ ය. ඔහු මුළු ජීවිත කාලය පුරාවටම පාහේ සතුටක් ලැබූ සාධකය වන යුද්ධය නැති වී ගොස් තිබිණි. තව දුරටත් ඔහුට සතුටු වන්නට යමක් නොතිබිණි. ඔහුට ජීවිත කාලය පුරාවටම ආදරය ලැබී තිබුණේ නැත. ඔහු ආදරය ඉගනගෙන තිබුණේ නැත. ඔහුගේ කාමරය පුරා විසිරී තිබෙන හින්දු, බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ත අතරේ ආදරය ගැන ලියවී තිබුණේ නැත. එකී පොත්පත් වල ආදරය නමින් අසමාන තාවය, මමත්වය සහ වෛරය උගන්වා තිබිණි. පෙම්වතුන් අතර හුවමාරු වන ප්‍රේමනීය හාදුවක රසය පිළිබද එකී පොත්පත් වල කිසිඳු සටහනක් නොවීය.

පෙම්වතුන්ගේ දූපතේ හුවමාරු වන හාදු දෙස බලාසිටි සතුරාට තමන් නොලැබූ දෙයක් ලබන තාරුණ්‍යය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති විය. තම කාමරයේ ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් නොවෙන යමක් සිදුකරන මිනිසුන් කෙරෙහි ක්‍රෝධයක් ඇති විය. ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය අතර අතරමං වූ සතුරා කිරි කිරි හඩින් දත්මිටි කන්නට විය. 

කාලය ගතවන්නට විය සතුරා තමාට සතුටක් ලබත හැකි කිසිවක් ගැන කල්පනා කරමින් කල් ගත කරන්නට විය. එක්තරා මොහොතක දී ක්‍රෝධයෙන් රත් පෑ ගැන් වූ දෙනෙතින් සතුරා කාමරය පුරා විසිරී ඇති දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ දෙස බලා කට කොණකින් සිනා සෙන්නට විය. 

කෙමෙන් කෙමෙන් සතුරාට සතුටු විය හැකි කාලයක් උදා වන ලකුණු පහළ වන්නට විය. සතුරාගේ කාමරය පුරා විසිරී තිබුණු දහස් සංඛ්‍යාත ධර්ම ග්‍රන්ථ පිළිවෙලට අසුරා තිබුණි. එක එක ආගම සඳහා වෙන වෙනම අල්මාරි සාදා තිබිණි. අදාල ධර්ම ග්‍රන්ථ අදාල ආගමික අල්මාරියේ පමණක් තැන්පත් කර තිබිණි. අල්මාරි එකිනෙකට ලං වුව හොත් ධර්ම ග්‍රන්ථ එකිනෙකා ගැන අවබෝධයක් ලබාවි යැයි බියෙන් මෙන් සතුරා අල්මාරි හැකිතාක් එකිනෙකට දුරින් තබා තිබිණි.

වැඩි කලක් යන්නට මත්තෙන් සතුරාට යලිත් සතුටු විය හැකි කාලයක් උදා විය. ධර්ගා නගරයෙන්, අලුත්ගමින් කලු දුමාරයන් අහසට නඟින දෙස බලා සතුරා මහා හඬින් සිනා සෙන්නට විය. ඔහුගේ ගොරහැඬි හඩින් අල්මාරි වල වීදුරු දෙදරන්නට විය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් උපයාගත් ගේ දොර, යාන වාහන පිලිස්සී යන දෙස බලා සතුරා සතුටින් ඉපිලෙන්නට විය. සතුටින් ඉපිලෙන අතරම සතුරාගේ දෑස් අවිඥාණිකවම පෙම්වතුන්ගේ දූපත දෙසට යොමු විය.

සතුරාගේ සතුට ක්ෂණිකව අතුරුදන් විය. පෙම්වතුන්ගේ දූපත පුරා ආදරය ඉතිරී යමින් තිබිණි. පෙම්වතාගේ අතේ එල්ලී යන ෆර්දාවෙන් මූණ වසාගත් තරුණියක් තවත් පෙම්වතෙකුගේ අතේ එල්ලී යන ධර්ම චක්‍ර සංකේතයක් කරේ එල්ලා ගත් තරුණියක හා ලෙංගතුව සිනාසෙන අයුරු සතුරාට නෙත ගැටිනි. තවත් එවැනිම පෙම්වත් යුගල් දෙකක් එකම බංකුව බෙදාගෙන අසුන්ගෙන සිටියේ ය. සතුරා ක්‍රෝධයෙන් ගැහෙන්නට විය. සතුරාගේ සතුට නසන එකම සාධයක ආදරය බව සතුරාට එවෙලේ පසක් විය. ඉහවහා ගිය ක්‍රෝධයෙන් දැවෙමින්, ගැහෙන දෙඅතින් සතුරා තමාගේ දුරකතනය ගත්තේ ය. 1.....1..............9 ඔහුට ඇමතීමට අවශ්‍ය වූ අංකය එයයි.

පැය බාගයක් ගතවීමටත් මත්තෙන් පොලිස් රොබෝවන් පෙම්වතුන්ගේ දූපත ආක්‍රමණය කළේ ය. ඔවුන් රොබෝවරුන් බැවින් දැන සිටියේ අණ ක්‍රියාත්මක කිරීමට පමණකි. කුඩ ඉහලාගෙන සිටින සියලුම පෙම්වතුන්ට කුඩ අකුලන්නට අණ ලැබිණි. නමුත් සතුරා ඉන් සෑහීමකට පත් නොවිනි. ඔහු නැවතත් සුපුරුදු අංකයම අමතන්නට විය. ඔහුට අවැසි වූයේ පෙම්වතුන්ගේ දූපතින් ආදරය අතුගා දැමීමටයි. ඒ මොහොත වන විටත් ආදර සාධයක ඇති වන සියලුම ස්ථාන විනාශ කිරීමට සතුරා තදින් අදිටන් කරගෙන සිටියේ ය. පොලිස් රොබෝවරු යළිත් පෙම්වතුන්ගේ දූපත් ආක්‍රමණය කළේය. මෙවර පෙම්වතුන්ට තරමක් දුරින් වාඩි වී සිටීමට අණ ලැබිණි. නමුත් සතුරා සෑහීමකට පත් නොවීය.  ඔහු දිගින් දිගටම ඇමතුම් ගන්නට විය. අවසානයේ සියලුම පෙම්වතුන් දූපතින් පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කොට තිබිණි. ඉන් පසුව පෙම්වතුන් රැස්වන සෑම දිනයකම පාහේ සතුරා සුපුරුදු අංකයම අමතන්නට විය.

අවසානයේ පෙම්වතුන්ගේ දූපතින් පෙම්වතුන් සදාකාලිකව පන්නා දැමීමට පොලිස් රොබෝවන් තීරණය කළේ ය. දැන් පෙම්වතුන්ගේ දූපත යනු පෙම්වතුන් මුක්ත කලාපයකි. හිස් වූ දූපත දෙස බලන සතුරාට දැන් සියුම් සතුටක් දැනෙයි. මේ මොහොත වන විටත් සතුරා ජයගෙන සිටියි. පෙම්වතුන්ගේ දූපත ආදරය සොයන අතර රට අතරමං වී ඇත.

(මෙය මනඃකල්පිත කතාවක් නොවේ)
෴෴


පින්තූරෙ - http://www.ilovegenerator.com/large/stop-love-love-131548869878.png

Sunday, March 2, 2014

සංක්‍රාන්තිය...

මට බ්ලොග් එකක් තිබ්බ බව අමතක වෙලා තිබ්බා නෙමෙයි. මතක් වෙන වාරයක් වාරයක් පාසා උවමනාවෙන්ම ඒක අමතක කරලා දැම්මා. ඕනෙනං හේතු දෙන්න පුළුවන්. බොරු හේතු. "දැන් මාර බිසී ලියන්න වෙලාවක් නෑ" වගේ හේතු. මිනිස්සු බිසී වෙන්නෙ නෑ. එක වැඩකට වඩා තව වැඩකට තියෙන උනන්දුව වැඩි උනාම මිනිස්සු කියනවා දැන් මම මේ වැඩේ නිසා බිසී අරක කරන්න දැන් වෙලාවක් නෑ කියලා, එහෙම නැතිනම් කරමින් හිටපු දේ තව දුරටත් කරගෙන යන්න කම්මැලි හිතුනාම මිනිස්සු කියනවා දැන් බිසී ඒක කරන්න වෙලාවක් නෑ කියලා. ඇත්ත කතාව උනන්දුව අඩු වීමයි.

දවසක් ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්නකොට යාළුවෙක් ශෙයාර් කරලා තිබ්බ, සංඛ දිනෙත් කියන මේ සිංදුව මට අල්ලලා ගියා.


ඒ වචන වල ලොකු තේරුමක් තියෙනවා. අනික ඒ සිංදුවේ තාලේ, සිංදුවේ විස්තර කරන සිද්ධියටත් ගැලපෙනවයි කියලා මට හිතෙනවා. ඔය සිංදුව අල්ලා යන්න හේතු වුණ අනික් ප්‍රධානම හේතුව ඔය සිංදුව අහන දවස් වල මමත් ප්‍රේමයේ සංක්‍රාන්ති සමයක හිටපු එක, ඒ කිව්වේ සිංදුවේ කියනවා වගේ නිසල විසල හුදෙකලාවක ගිලී වෙලී ශුණ්‍යතාවයෙන් හිටපු එක වෙන්න ඇති. ඒකත් හරි අපූරු අත්දැකීමක්. විඳලා බලන්න වටින තරමෙ අත්දැකීමක්! හැබැයි එල්ලිලා මැරෙන්න තරම් දෙයක් නෙමේ.

අන්තර්ජාලය කියන එක මේ තරම් ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් වෙන්න ඇති මිනිස්සුන්ට සැබෑ ලෝකේ විඳින්න බැරි සමහර දේවල් වර්චුවලි(අතත්‍යාකාරයෙන්) විඳින්න ලැබෙන එක. ඔය අතරේ ඩිජිටල් සෝෂල් මීඩියා එක්ක මිනිස්සු හරි අපූරු දේවල් කරන්න පටන් ගත්තා. හරියට තමන් නොවන තමන් කෙනෙක් ඇතිකිරීම වගේ වැඩ. ඒ කිව්වේ තමන්ගේ හැබෑ ජීවිතේ අදහස්, හැඟීම් වලට සම්පූර්ණයෙන් වෙනස් වුණු චරිතයක් සෝෂල් මීඩියා සයිට් එකක( උදා:- ෆේස්බුක්) හැදීම වගේ වැඩ. තවත් සමහරු ඔය සයිට් වලින් ආදරේ හොයන්න පටන් ගත්තා. ඒ වැඩේ දැන් බොහොම සාමාන්‍යය දෙයක් වෙලා. සමහරුන්ට හරියනවා. සමහරුන්ට වරදිනවා. හැබැයි මට දැනෙන දෙයක් තමයි බහුතරයකගේ සැබෑ ජීවිතයයි අන්තර්ජාල ජීවිතයයි වෙනස්. ඔය වෙනස මම හොඳින්ම දැක්කේ මීට අවුරුදු කීපෙකට උඩදී.

"මම ඔයාට ආදරෙයි" කියලා චැට් එකක ටයිප් කරනවට වඩා කෙල්ලෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන ඒක කියන එක මටනම් ටිකක් අමාරු වැඩක්. එතකොට මට ඒ වචන වල ලොකු බරපතල ගතියක් දැනෙනවා (සමහර විට මට විතරක් ද දන්නෑ). වර්චුවල් ලෝකේ ආදර වන්තයෝ සැබෑ ලෝකේ පළවෙනි වතාවටම මුණ ගැහුණ ගමන්, චැට් වලින් කියපු දේවල් ස්කයිප් වලින් දැකපු දේවල් සේරම එකපාරටම බොරු වෙලා ගියපු අවස්ථා මම දැකලා තියෙනවා. හැබැයි එහෙම නොවුණු අවස්ථාත් දැකලා තියෙනවා.

ඔය අතරේ මට ඇහුණා තවත් සිංදුවක්. අජිත් කුමාරසිරි කියන මේ සිංදුව. මගේ හිතට වැදුනු තව සිංදුවක්. ආදරේ කරන්න හිතෙන සිංදුවක්.


ගොඩ දෙනෙක් මේ සිංදුවට කැමති වෙන එකක් නෑ. අජිත්ගේ ගොරහැඩි කටහඩට කැමති වෙන එකක් නෑ. කැමැත්ත අකමැත්ත සාපේක්ෂයි. හැබැයි මම හිතනවා බහුතරයක් ගෑණු කැමතියි ගොරහැඩි පිරිමි ගතිය පේන පිරිමින්ට. 

ආදරේ කළා.  විවිධාකර හේතු නිසා වෙන් වුණා. විරහව වින්දා. එල්ලිලා මැරුණේ නැති අය ඉතිරි උනා. ආයේ ආදරේ කළා. කලින් ආදරේ කරපු මනුස්සයා නෙමෙයි ආයේ අලුතින් ආදරයක් ඇති වෙනකොට ඉන්නේ. කලින් කෙනාට වඩා අත්දැකීම් බහුල ආදරවන්තයෙක්, ආදරවන්තියක්.

මම කිසිම ආගමක් ගැන උනන්දුවක් නෑ කියලා එයා දන්නවා. එයා මට කියන්නේ ඔයාට ආගමක් නැති උනාට කමක් නෑ ඔයා ඉන්න විදිහේ වැරැද්දක් නෑ කියලා. මම බොන බව එයා දන්නවා. මට අද වෙනකම් එපා කියලා නෑ. අඩු කරන්න කියලවත් නෑ. කිසිම දෙයක් කියලා නෑ.

"ඔයා ගංජා බීලා තියෙනවද?" එයා ළඟදී දවසක බස් එකේ යන ගමන් මගෙන් අහුවා

"ඔව්"

"කී පාරක් ද?"

"ගණං කර කර නෙමෙයි බිව්වේ...."

එයා ජනෙල්ලෙන් එලිය බලාගෙන හිටියා විනාඩියක් විතර. ආයේ සාමාන්‍යය විදිහට හිනා වෙවී කතා කළා. එයා මේ ඉන්න විදිහට මම කැමතියි. එත් කොච්චර කාලයක් ඔහොම ඉදියිද? දිගටම ඉදියිද? නැද්ද?

ඔය අතරේ බූන්දියේ දැක්ක, රෝහණ පොතුලියැද්ද කවියා ලියලා තිබුණු මේ කවියට මගේ හිත ඇදිලා ගියා. මේ කවිය අනාගතේ ගැන මාව බය කළා.


"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර

රස්සාව කෙරුවා ­ ඕටීත් කෙරුවා ­තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ­ ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා ­ පංති ඇරියා ­ ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්

කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට

උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

*******************

බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං

මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං


මම මේ කවිය මගේ ෆේස්බුක් පිටුවේ ශෙයාර් කළා. කවුරුවත් දැක්කද දන්නෙත් නෑ. මම මේක ශෙයාර් කළේ මෙන්න මෙහෙම පද දෙකක් එක්ක.

"කිරි කිරි සද්දෙන් අයිස් කැට අස්සෙන් තිබුණාට හාද කම්
හෙටානිද්දා දවසක අපිටත් මෙහෙම වෙයිද බං??!"


(කවිය උපුටා ගත්තේ මෙතනින් - http://www.boondi.lk/article.php?ArtID=4016)
Related Posts Plugin for WordPress, Blogger...