Monday, June 13, 2011

ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ.......

පහුගිය මාසේ අපේ අහල පහල උදවියත් එක්ක අපි ලංකාව වටේම එක එක තැන් වලට ගියා. අර මම කිව්වේ මං දැකපු සුන්දර ගම්මානයක් ගැන එහෙම. එතකොට අර මුහුදු මහාවිහාරය ගැන එහෙමත් කිව්වේ. ඒ අපි ඇවිදපු තැන් වලින් දෙකක්. ට්‍රිප් යනකොට ඉතිං අංකල්ලා කට්ටිය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ වෙලාවට එයාලා දන්න පරණ කතා, ඉස්සර වෙච්ච රසවත් සිදුවීම් එහෙම එළියට එනවා. මේකත් ඒ වගේ වෙලාවක එළියට ආව කතාවක්.

ඔන්න ට්‍රිප් එකක් ගිය වෙලාවක අපි ගියා අපි දන්න අඳුරන කෙනෙක් අලුතින් ගත්තයි කිව්ව පොල්වත්තක් බලන්න කියලා කුරුණෑගල පැත්තේ. ඒ වත්තේ අපිට කොළඹදී ලේසියට හොයාගන්න බැරි බොහොම ගුණදායක කොළ වර්ග පිරිලා තිබුණා. ඔන්න ඉතින් ගැහැණු උදවිය ඔක්කොමලා කැඳ හදන්න කියලා එක එක ජාතියේ කොළ එකතු කරනවා.

එක ඇන්ටි කෙනෙක් වැල්පෙනෙල මිටියක් අරගෙන ආවා වෑන් එකට දාන්න කියලා. මේ වෙලාවේ පිරිමි කට්ටිය ලාවට අරගෙන හිටියේ. අර ඇන්ටි වැල්පෙනෙල මිටිය අරන් එනව දැකපු එක අංකල් කෙනෙක් එතන එහාපැත්තේ හිටපු ඇන්ටිගේ මහත්තයට මෙහෙම කියලා හිනා වෙනවා.

ආ මෙන්න මෙයා උඹට වැල් පෙනෙල හදලා දෙන්න යන්නේ.

එතකොට ඇන්ටි කිව්වා
ආ ඉතිං නරක දෙයක්යැ. වැල්පෙනෙල කොච්චර ගුණද

ආයේ අර අංකල් කියලනවා
ඔව් ඔව් ඕවා මාර ගුණයි ඒක නිසා ඕවා මහත්තයට හදලා දෙනකොට පරිස්සමෙන්

ඇන්ටි: ඉතිං ගුණනම් මොකටද පරිස්සමෙන් කියන්නේ?

අංකල්: ඕව කොච්චර ගුණද කියලා ඔයාල දන්නේ නෑ. පරණ කතාවක් තියනවා වැල්පෙනෙල ගැන ඔයාලා දන්නේ නෑනේ.


ඔන්න කට්ටියගේ දැඩි ඉල්ලීම මත අංකල් මෙහෙම කතාව කිව්වා.

දවසක් එක ගොවියෙක්ට තිබුණලු පතෝල මැස්සක්. ඉතිං පතෝලවැල් මැස්ස උඩින් යනකොට බිම තියන ඉඩත් ප්‍රයෝජනයට ගන්න ඕනේ කියලා හිතපු ගොවියා වැල්පෙනෙල ඇට ටිකක් පතෝල මැස්ස යටින් ඉස්සලු. පස්සේ වැල්පෙනෙල ටිකත් හොඳට හැදිලා තියනකොට පතෝල කරල් හැදෙන්න පටන් ගත්තලු. වැල්පෙනල වල ගුණේ කොච්චරද කියනවනම් සාමාන්‍යයෙන් පහලට වැටෙන පතෝල කරල් උඩ අතට යන්න ගත්තලු.


ඉතිං ඔය කතාවෙයි, "මහත්තයට වැල් පෙනෙල හදලා දෙනකොට පරිස්සමෙන්" කිව්ව කතාවෙයි සම්බන්ධය පිරිමි කට්ටියටනම් ඉක්මනට මීටර් වුනාට ගැහැණු කට්ටියට ඒක මීටර් වෙන්න ටිකක් වෙලා ගියා.

ප.ලි :කතාව කලින් අහලා තියනවනම් ඔන්න කරන්න දෙයක් නෑ.

Tuesday, June 7, 2011

මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල)

මුහුදු මහා විහාරය


මා කලින් ලිපියේ සඳහන් කළ සුන්දර ගම්මානයේ සිට කිලෝමීටර් සීයකටත් වඩා දුරින් පිහිටි පෞරාණික සිද්ධස්ථානයකි පොතුවිල්හි පිහිටි මුහුදු මහාවිහාරය. දැන් දැන් පිරිස් තරමක් මේ සිද්ධස්ථානය නැරඹීමට පැමිණීයද සාමාන්‍ය සතියේ දවසකට එය බොහෝවිට වන්දනා නඩ දෙක තුන වඩා වැඩි නොවිය හැකියි. අනුරාධපුරයට පොළොන්නරුවට ඕනෑම දවසක යන ඔබට ඒ ස්ථාන දැක බලාගැනීමට පැමිණි බොහෝ පිරිස් දැක ගැනීමට හැකියි. නමුත් අප මුහුදු මහාවිහාරයට ගිය අවස්ථාවේ සහ එහි සැරිසැරූ පැය කිහිපයක කාලය තුළ ඒ ස්ථානයට පැමිණියේ එකම එක වන්දනා නඩයක් පමණකි.
මුහුදු මහා විහාරයේ පිහිටීම මෙම සිතියමේ බලන්න


මෙහි 'A' අකුරින් මුහුදු මහාවිහාරයත් 'B' අකුරින් මඟුල්මහා විහාරයත් දැක්වේ. ඔබ කොළඹ අවට පදිංචි වී සිටින අයෙක් නම් මුහුදු මහා විහාරය නැරඹීමට ලංකාවේ මෙහා කොනේ සිට එහා කොනටම යාමට සිදිවෙනු ඇත
මේ සිතියමත් බලන්න


මුහුදු මහාවිහාරය ලකුණු කර ඇති ස්ථානයට තරමක් පහලින් බලන්න. ඔබ මුහුදු මහාවිහාරය ගැන නොදන්නවා වුවත් ඔබ හොඳින් දන්නා ස්ථානටක් දිස්වේවි. ඔව් ඒ ආරුගම් බොක්ක සහ ආරුගම් කලපුව ආශ්‍රිත ප්‍රදේශයයි.

විහාරමහා දේවිය ගොඩ බැස්සේ ලංකාවේ කිනම් ප්‍රදේශයටද? කිසිවෙක් ඔබෙන් ප්‍රශ්න කළොත් බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ 'කිරින්ද වෙරළට' යන්නයි. නමුත් සත්‍ය වශයෙන්ම විහාර මහාදේවිය ගොඩ බැස්සේ මේ මුහුදු මහාවිහාරය ආශ්‍රිත ප්‍රදේශයට බව පුරාතන සෙල්ලිපි වල සඳහන් කරුණු මඟින් දැන් අනාවරණය වී ඇත. මා මේ සඳහන් කළේ පොත පතින් සොයා ගත් කරුණු නොව. මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ වදාළ කරුණුය.

තවදුරටත් උන්වහන්සේ වදාළ පරිදි මේ අවට ගම් වලට නම් ලැබී ඇති අයුරුද පුදුමාකාරය. මගේ මතකයේ ඇති පරිදි ඒ කතා කිහිපයක් දක්වන්නම්.

කැළණිතිස්ස රජු රාජ්‍ය කරන කාලයේ මුහුද ගොඩගැලූ කතාව සියලු දෙනාම පාහේ දන්නවා ඇති. එදා ඒ ව්‍යසනයෙන් ගැලවෙන්න කැළණිතිස්ස රජ තුමාගේ දූ කුමරිය වුනු විහාරමහා දේවිය මුහුදේ පා කරලා හැරියා. ඒ ආරංචිය ලැබුණූ රුහුණේ රජ කරපු කාවන්තිස්ස රජු පිරිවර යොදලා විශාල අට්ටාල ගහලා කුමාරිය රැගත් නැව වෙරලට ගොඩ ගසයිද බලන්න පිරිස යොදවලා තිබුණලු. ඉතිං ඒ අට්ටාල ගහලා තිබ්බ ගම පස්සේ කාලෙට "අට්ටාලගාම" විදිහට තිබිලා පස්සේ දෙමළ ජනයා ඒ ප්‍රදේශයේ බහුල වීමත් සමඟම අද මේ වෙනකොට ඒ ගම හදුන්වන්නේ "අඩ්ඩාලච්චේනෙයි" කියලලු. 

ඊට පස්සේ කුමරිය රැහත් නෞකාව වෙරලට ගොඩ ගැසූ විට ඒ බව පැවසීමට පැමිණි පුද්ගලයා රජුට විස්තර පැවසීමෙන් පසු රජු ඒ පුද්ගලයාගෙන් "කෝ කුමාරිය" යැයි විමසුවාලු. එසේ විමසූ ප්‍රදේශය අද හඳූන්වන්නේ "කෝමාරිය" නමිනි.

රජු "කෝ කුමාරිය" යැයි විමසූ විට එයට පිළිතුරු වශයෙන් පණිවිඩය රැගෙන ආ පුද්ගලයා අත දිගු කොට පෙන්වමින් "අර ගමේ" යැයි පැවසුවාලු. ඔහු එසේ "අර ගමේ" යැයි පෙන්වූ ප්‍රදේශය අද "ආරුගම" නම් වෙයි.

මේ විස්තර සියල්ලක්ම පැවසුවේ මුහුදු මහා විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසිනි. ඔබ ලංකා සිතියමක් රැගෙන නිරීක්ෂණය කළොත් මේ සියළුම ගම්මාන එකිනෙකට ආසන්නව පිහිටා ඇති අයුරු දැක ගත හැකියි.




මේ ඡායාරූපයෙන් දිස්වන්නේ මුහුදු මහාවිහාර භූමියේ තිබෙන නටබුන් වී ගිය ගොඩනැඟිල්ලක කොටසකි. මේ ප්‍රතිමා වලින් කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, රහතන් වහන්සේ නමක් ඉදිරියේ සිටින අයුරු පෙන්නුම් කෙරෙන බව විහාරයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ අපිට පැවසුවා.



මේ තවත් නටඹුන්...........
මෙවන් නටඹුන් විහාර භූමියේ තැනින් තැන දැක ගත හැකියි.

තරමක් දුරට ඇවිද ගිය පසු මුහුදු වෙරළ හමුවේ. ඒ ප්‍රදේශයද අයිති විහාර භූමියටමය. එහිද තැනින් තැන නටඹුන් දැකිය හැකියි.




මේ විහාරයට අක්කර දෙසීයත් තුන්සීයත් අතර භූමි ප්‍රමාණයක් අයතව තිබුණත් අද ඉතිරි වී තිබෙන්නේ අක්කර කිහිපයක් පමණයි. අනෙක් සියළුම භූමි ප්‍රදේශ අන්‍යාගමික ජනයා විසින් අත් කරගෙන ඇති බවයි ස්වාමීන් වහන්සේ සඳහන් කළ සිටියේ. තව ඒ ජනයා අතින් සිදුවෙන බවට පැවසූ අකටයුතුකම්ද බොහෝමය. ඇත්ත වශයෙන්ම පන්සල අවට ප්‍රදේශයේ එකදු සිංහල ගෙයක්වත් තිබේදැයි සැක සහිතය. (කරුණාකර ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වද්දී අන්‍යාගමික ජනතාව පිළිබඳව අදහස් දැක්වීමෙන් වලකින්න. මක්නිසාදයත් සිංහල ගම්මාන රාශියක් මැද වෙනත් ආගම සිද්ධස්ථානයක් තිබූණද තත්වය මෙයම විය හැකි බැවිණි.)




මේ ඡායාරූපයේ සිටින්නේ මා ඉහත සඳහන් කළ සියළුම තොරතුරු දේශනා කළ, පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේයි.


මඟුල් මහාවිහාරය



පෙර රජ දවස අප සමාජයේ සියළුම සුභ කටයුතු පන්සල ආශ්‍රිතව සිදුකෙරිනි. එකල විවාහ කටයුතු පවා සිදු කෙරුනේ පන්සල ආශ්‍රිතවය. මඟුල් මහා විහාරය අපට වැදගත් වන්නේ එම විහාරස්ථානය කාවන්තිස්ස රජු විසින් විහාරමහා දේවියව සරණපාවා ගත් ස්ථානය වීම නිසායි.

මෙම පන්සල් භූමියේ සැරි සැරූ කාලය තුල නම් එකඳු වන්දනා නඩයක්වත් එහි පැමිණියේ නැත. නමුත් පන්සලට ඇතුල් වන ස්ථානයේ දෙපස කුඩා කඩවල් තිබිමෙන් කියා පාන්නේ මේ ස්ථානයට සාමාන්‍යයෙන් පිරිස් පැමිණෙන බවයි.

මේ විහාර භූමියේ ඉපැරණි ගොඩනැඟිලි වල ඉතිරව ඇති නටඹුන් රාශියකි. 

මේ විහාරයේ තවත් සුවිශේෂ දෙයක් තිබෙනවා. එනම් ඇතා පිට නැඟි ඇත් ගොව්වාගේ කැටයම රැගත් ලංකාවේ ඇති එකම සඳකඩ පහන හමුවන්නේ මේ ස්ථානයේදී වීමයි.

මේ තිබෙන්නේ එම සඳකඩ පහනයි.


පහළ ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇතා පිට නැඟි ඇත්ගොව්වා කැටයම දිස්වන ආකාරයයි.



මේ විහාරය බොහොම සුන්දර වට පිටාවකින් හෙබි පරිසරයක පිහිටා තිබේ. අති විශාල නෙළුම් මල් සහිත විශාල පොකුණක් පන්සල් භූමියට පැමිණෙන මාර්ගයේදී හමුවිය. එතරම් විශාල නෙළුම් මල් මම ඊට පෙර දැක නොතිබ්බෙමි.

මේ ඡායාරූපයේ සිටින්නේ මඟුල් මහාවිහාරයේ වැඩ සිටි, අපට විහාරයේ අතීතය පිළිබඳව විස්තර පැවසූ ස්වාමීන් වහන්සේයි.


ප.ලි: මම මේ ලිපිය ලියන්න හිටියේ කලින් ලිපිය ලිව්වට පස්සේ සතියේ ඒත් එක එක වැඩ යෙදුනු නිසා මේ ලිපිය ලියන්න වුනේ නෑ. ඒ පිළිබඳව සමාවෙන්න. 

මඟුල් මහාවිහාරය ගැන බොහෝ දෙනක් දන්නවා වුනත් මුහුදු මහා විහාරය ගැන වැඩි දෙනෙක් දන්නේ නෑ. ත්‍රස්ථවාදී උවදුරු එහෙම ඉවර වුන නිසා දැන් දැන් ගොඩ දෙනෙක් මේ ඓතිහාසික සිද්ධස්‍ථාන වලට යන්න පටන් අරන්. 

පොඩි ප්‍රශ්නයක් අහන්නද? සල්ලි තියන අපේ සමහර මිනිස්සු පිටරටවල් වලට යනවා ඒ රටවල් වල තියන දේවල් නරඹලා එන්න කියලා. එයාලා අපේ රටේ තියන සේරම තැන් බලලා ඉවරද?

Wednesday, May 11, 2011

කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී සැබෑ වනාන්තර මැදින් ගොස් හමුවන සුන්දර ප්‍රදේශයක් පිළිබඳවයි..................

මාර්ගය දෙපසම කොන්ක්‍රීට් ගොඩනැඟිලි වලින් පිරි ප්‍රදේශයකින්, උදේ පාන්දරින් ගමන් ඇරඹූ අපි පැය ගණනාවක ගමනකින් පසු මාර්ගය දෙපසම ගස්කොළන් වලින් පිරිපුන් ප්‍රදේශයකට පැමිණියෙමු. කොන්ක්‍රීට් වනාන්තර පසුකර සැබෑ වනාන්තර මැදින් ගමන් කරන විට හිතට මෙන්ම ගතටද සුවපහසු හැඟීම් නිතැතින්ම දැනෙන්නට විය. මා මේ ප්‍රදේශ පසුකරන්නේ වසර 9කට හෝ 10කට පසුවය. එදා අප පණ බයේ ගමන් ගත් දහඅට වංගුව අද එහි නොවීය. එය පුළුල් පාරක් බවට පත් වෙමින් පවතී. බොහෝ කම්කරුවන් යුහුසුළුව වැඩ වල නිරත වී සිටිනු අපි දුටුවෙමු. දහඅට වංගුවද බැස වල් අලි ගැවසෙන කැළෑ පසුකරමින් තවත් බොහෝ දුරක් ගමන් කර සවස් යාමය වන විට අපි අදාල ගම්මානය වෙත පැමිණියෙමු.

මේ මගේ කැමරාවට හසුවූ වල් අලි කිහිප දෙනෙකි.



අප පවුලේ සැම හා තවත් අසල්වැසියන් පිරිසක් සමඟ අප මේ පැමිණියේ මගේ මව කුඩාකල හැදී වැඩුනු ගමටය. මේ ගම්මානය කොළඹ සිට කෙලෝමීටර් 250කටත් වඩා දුරින් පිහිටියා වූ ගම්මානයකි. ඉතින් කොළඹ ඉපිද කොළඹම හැදී වැඩුනු මා මේ කියන්නට සැරසෙන්නේ මා දුටු ඒ ගම්මානයේ අසිරියයි.

මේ ප්‍රදේශයේ නගරබඳව තට්ටු නිවාසයක් දෙකක් දැක ගත හැකි වුවද ගම්මානවල නම් එකදු තට්ටු නිවාසයක්වත් මා දුටුවේ නැත. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව වූ ගම් වැසියන්ට තට්ටු නිවාස සෑදීමට තරම් තට්ටු ගැසූ සිහින නොමැති විය හැකිය. ගම්මාන වල සිට ළඟම පිහිටි ප්‍රධාන නගරයට යනතෙක් වූ ප්‍රධාන මාර්ගය තාර දැමා තිබුණද බොහෝ තැන් වලවල් සහිතය. ගම්මානය තුලට වන්නට බොහෝ පාවරවල් දිස්වන්නේ මේ අයුරිනි.




එම පළාතේ ගැහැණු පිරිමි කියා වෙනසක් නැත දෙගොල්ලන්ම හරි හරියට කුඹුරේ හේනේ වැඩ කරයි. කොළඹ පළාතේ සිටින කෙසඟ සිරිරු හෙබි ළාමක යුවතියන් දැක පුරුදු මම උදැල්ලක් කරේ තබාගෙන ගමන් කරන යුවතියන් දෙස බැලුවේ පුදුමයෙනි. කොළඹ සිටින බොහෝ තරුණියන් උදැල්ලකින් හේනක් කුඹුරක් කොටනවා තබා උදැල්ලක් අල්ලා තිබේද යන්න සැක සහිතය. මා මේ පවසනා ගමේදී මා දුටු එවන් වූ දිරිය තරුණියන් දෙදෙනෙකි මේ.




අතලොස්සක් වූ දිග කලිසම් ඇඳි තරුණියන් ආසන්නම නගරයේදී දැකගත හැකි වුවද ගම්මානවලදී නම් එවන් තරුණියන් නොදැකිය හැකි තරම්ය. මා මෙහිදී පවසන්නේ අප කොළඹදී දකින, කිටි කිටියේ හිරට පස්සා පැත්තෙන් භාගයක් පෙනෙන්නට තරම් පහලින් සමහර කෙල්ලන් ඇඳගෙන යන ඩෙනිම් කලිසම් ගැන නොව සාමාන්‍ය කලිසම් පිළිබඳවය. අනෙක් සෑම තරුණියක්ම පාහේ පුංචි මල් වැටුනු දණහිස තෙක් දිග ගවුම් අඳී. මෙම තරුණියන් දුටු විට, පළල් කර සහිත බ්ලවුස්, බුරිය පෙනන්ට ටී ෂර්ට්, අඩියක්වත් දිග නැති සායවල් ඇඳගෙන යන කෙල්ලන් දුටු විට පහල වන සිතිවිලි නම් කිසි විටෙකත් පහල නොවන්නේය.

ගම්මානය මැදින් ගලා යන ඇළය. ගම්මානයේ සියළුම දෙනා තම දවසේ වැඩ රාජකාරි නිමවා සවසට ඇළෙන් ස්නානය කරයි. ගමේ සියළුම දෙනා පාහේ හොඳ පිහිනුම් කරුවන්ය. තවද ගම්මාන කිහිපයක් පුරාවට විහිදි සුන්දර වැවය. මේ තිබෙන්නේ එම වැවයි.
වැව අසල පදිංචි කුඩා දරුවන් පවා පිහිනීමේ අති දක්ෂයන්ය. අප සැම වැවේ ස්නානය කරමින් සිටිනවිට එතැනට පැමිණි වයස අවුරුදු 11ක පමණ කුඩා දරුවෙකු පිහිනන අයුරු දුටු අපි මවිතයට පත්වීමු. ඔවුන්ව පිහිණුම් ක්‍රීඩාවට යොමුකළ හැකිනම් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් බොහෝ කුසලාන හිමිවනු නොඅනුමානය. නමුත් මේ ගම්මානයේ ඔවුන්ව පිහිණුම් ක්‍රීඩාවට යොමුකරනු තබා ආසන්න නගරයක ඇති පාසලකවත් පිහිනුම් තටාකයක් තිබේද යන්න සැක සහිතය. 
මේ මා ඉහත පැවසූ කුඩා දරුවා රැඟුම් දක්වමින් ජලයේ පිහිනූ ආකාරයයි.




තවද කොළඹ වෙසෙන බොහෝ දෙනා දෙහිවල සත්වෝද්‍යානයට ගොස් නරඹන කූඩු කරසිටින සතුන් බොහෝමයක් මේ ගම්මානයේ නිදැල්ලේ සැරිසරයි. එමෙන්ම් කොළඹ අවට ප්‍රදේශවල ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන සමහර සතුන් එම ගම්මානයේදී සාමාන්‍ය දසුනක්ය. මේ එවන් සතුන් දෙදෙනෙකි.



මෙම ගම්මානයේ හා අප වෙසෙනා නාගරික පරිසරයේ ඇති වෙනස්කම් බොහෝය. සහලින් ස්වයංපෝෂිත් එම ප්‍රදේශයේ මිනිසුන් පාන් ආහාරයට නොගන්නා තරම්ය. අපි නැවතී සිටි ප්‍රදේශයේ පාන් විකිනීමට ඇත්තේ සවස් වරුවේ පමණකි. උදෑසන ආහාරයට පාන් අවශ්‍යනම් කලින් දා ඇඳිරි වැටීමට ප්‍රථම පාන් ගෙඩියක් මිලදී ගත යුතුය. තවද උපන් දා පටන් එම ප්‍රදේශයේ වෙසෙන මගේ ලොකු අම්මා පවසන පරිදි ඔවුන් මතක ඇති දිනෙක දෙහි මිලදීගෙන නැත. තවත් මුදලට නොගන්නා එවන් දෑ බොහෝය.

එමෙන්ම එම ප්‍රදේශයේ තරුණයන් "සාමාන්‍යයෙන් කොණ්ඩය වවන්නේ නැත" යන්න මට සිතුණු සිතුවිල්ලකි. මන්ද යත් තරමක් කොණ්ඩය වැවී සිටි මාගෙන් බොහෝ දෙනෙක් "මොකද මේ කොණ්ඩේ වවාගෙන" යැයි විමසූ බැවිණි.

විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් අප දවස් තුන හතරකට මෙවන් ගම්මානයක නැවතී එහි සුන්දරත්වය ඡායාරූප මඟින් මෙන්ම වචනයෙන් මෙලෙස ලියුවාට, උපන්දා පටන් වසර ගණනාවක් තිස්සේ එහි  වෙසෙන පුද්ගලයන් දවස් තුන හතරට අප නොදකින ගමේ කටුකත්වය අත්විඳිනවා ඇත. මේ ලස්සන වැව වැසි කාලයට උතුරා පිටාර ගලා ගම්මාන යට වෙනවා ඇත. වගා පාළු වෙනවා ඇත. එමෙන්ම පායන කාලයට වැව් සිඳී ජලය නොමැතිව මහත් පීඩා විඳිඅනවා ඇත. නැවතත් වගා පාළුවෙනවා ඇත. වල් අලි සිටින ඡායාරූප බලා "ෂා.... ලස්සන අලි" යැයි ඔබ කියනවා ඇත. නමුත් ඒ අලින්ම උන්ට ආහාර හිඟකාලයට ගම් වැදී මිනිසුන්ගේ නිවාස කඩා බිඳ දමනවා ඇත. වගා පාළු කරනවා ඇත. ලස්සනට පෙනෙන කැළෑ රොදවල් වලින් පැමිණෙන විෂකුරු සර්පයන් නිසා මිනිසුන්ට කරදර වෙනවා ඇත. මේ පෙනෙන සුන්දරත්වය මැද ඒ කටුකත්වයද නිසැකවම මේ ගම්මාන වල පවතිනවා ඇත.

ප.ලි : මේ ගමනේදී මට බොහොම සුවිශේෂී පුද්ගලයෙකුත් මුණ ගැහෙන්න පුළුවන් වුනා. ඒ ගැන නම් මට බොහොම සතුටුයි. 
මේ ගම මොකක්ද කියලා මේක කියවන ඔයාලාට හිතාගන්න බැරි වෙයි. මම ඊළඟට මේ ගමනේදී හමුවුනු පෞරාණික වශයෙන් බොහොම වැදගත් ඒත් එතරම් ප්‍රසිද්ධ නැති සිද්ධස්ථාන දෙකක් පිළිබඳව ලිපියක් ලියනවා. අන්න එතකොට ඔයාලා හිතාගන්නකෝ මම මේ ලිව්වේ ඒ සිද්ධස්ථාන වලට ටිකක් ආසන්නයෙන් පිහිටි ගමක් ගැන කියලා.

Wednesday, May 4, 2011

ආයේ බොන්නේ නෑ.........................


විභාගේ කාලේ 
අතරමැද නිවාඩු දවසක
බිව්ව බියර් බෝතල් දෙක
විනාස කළා මුළු දවසක්ම
පාඩම් කරන්නට තිබූ
ඊළඟ විෂයට
ආයේනම් 
කටේ තියන්නේ නෑ
ඔය ජරාව
..........................
......................
...................
...............
..........
.....
...
..
.
විභාගේ ඉවර වෙනකම්!

Friday, April 29, 2011

මට කෙල්ලෙක් නෑ..........


ඉතිං මට...............
විනාඩියෙන් විනාඩියට රිං කට් නෑ
පැයෙන් පැයට මැසේජ් නෑ
උදේ හවස කෝල් නෑ
නිදි වරන්න ඕනේ නෑ
අප්පේ මට දැනෙන නිදහසක්......

දවසක් මොකක්දෝ හේතුවක් නිසා නරියෙකුත් කිව්වලු මිදි තිත්තයි කියලා ;)

Friday, April 15, 2011

බ්ලොග් ලියන, කියවන හැමෝටම මගේ අවුරුදු සුභ පැතුම.....


කියවන ලියන පිරිස දිනෙන් දින වැඩි  වේවා
ලියන   අයගේ  පෝස්ට්  ගාන   වැඩි   වේවා
පෝස්‍ට් වලට කමෙන්ට්ස් ගාන වැඩි    වේවා
කියවන  අයටත්  බ්ලොග්  ලියන්න   සිතේවා

කෙල්ලන් නැති කොල්ලන්ට කෙල්ලන් සෙට්  වේවා
කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වේවා
සෙට් වෙලා ඉන්න අයගෙ සිතුම් පැතුම්  ඉටු වේවා
කියවන ලියන සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා

Thursday, April 7, 2011

නොදැකපු නොලැබෙන පෙම........


කිසිදින නොදැකපු රුවකට
කිසිදින නොඇසූ හඩකට
කිසිදින නොලැබෙන ඇයටම
පෙම් කරයි හදවත කදිමට....

Tuesday, April 5, 2011

සිහින බක්මහ උළෙලට පැමිණ හුදෙකලා වීම........


මුලින්ම කියන්නම් බක්මහ උළෙලෙ මට පෙනුන හැටියටනම් බොහොම සාර්ථකයි. හැබැයි මම හිතන විදිහට අර අපි ගැන හඳුන්වාදීම කරන්න තිබ්බේ තරඟ පටන්ගන්න කලිනුයි. ඒ කොහොම වුනත් තරඟ පැවැත්වෙන අතරෙදි වුනත් මම නම් බොහෝ දෙනෙක්ව දැන හඳුනා ගත්තා. හැබැයි දැන් දැන් සමහර බ්ලොග් වල සහ විවිධ තැන්වල විවිධ පුද්ගලයන් කතාවෙනවා දැක්කා එයාලා තනිවෙලා වගේ හිටියා කවුරුවත් එයාලා එක්ක කතා කලේ නෑ කියලා. ඉතින් මට හිතුනා මාවම උදාහරණෙකට අරගෙන ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න.

මම මුලින්ම බ්ලොග් කරුවන්ගේ සුහද හමුවකට සහභාගීවුනේ මීට මාස කීපයකට කළින් තිබුණු SBU සුහද හමුවට. එදා මම එතැනට යනකොට මම කිසිම බ්ලොග් කරුවෙක්ව/කාරියක්ව හමුවෙලා තිබුණේ නෑ. ඒ වගේම ඒ කිසිම කෙනෙක් මගේ මූණූපොතේ හිටියෙත් නෑ. මම එතදී තමයි ඒ හැම කෙනෙක්මව හඳුනා ගත්තේ. ඒ වගේම මම එදා එතනට යනකොට එතන හිටපු අයගෙන් මගේ බ්ලොග් එක කියවලා තිබුණු අය හිටියේ බොහොම ටික දෙනයි. ඒ කිව්වේ දෙන්නෙන් නැත්තම් තුන් දෙනෙක්. 

මම එතැනදී කවුරුහරි ඇවිත් මාත් එක්ක කතා කරනකම් හිටියේ නෑ. මම පුළු පුළුවන් විදිහට හැම කෙනෙක් එක්කම වගේ කතා කළා. මට මුලින්ම බ්ලොග් එකක් ලියන්න හිතුනේ මුචලින්දගේ ටොපිය කියවපු වෙලාවේ. ඉතින් මම එදා ගිහින් මුචාට ඒක කියලා එයත් එක්ක කතා කළා. ඒ වගේම මාරයා අයියත් එක්කත් මම ගිහින් කතා කළා. ඔන්න එදා වත් අක්කනම් මම කතා කරන්න කලින් ඇවිත් මාත් එක්ක කතා කළා. ඒ විදිහට එදා මම බ්ලොග් කරුවන් බොහෝ දෙනක්ව දැන හඳුනා ගත්තා.

එතකොට පසුගියදා තිබුණු බකමහ උළෙලට මම යනකොට එතන මම කලින් හඳුන ගත්තු අය හිටියේ කීප දෙනක් විතරයි. කොටින්ම කිව්වොත් එතන හිටපු සංවිධායක මණ්ඩලේ එක්කෙනක් එක්කවත් මම ඊට කලින් හමු වෙලා තිබ්බේ නෑ. හැබැයි මම ගිහින් හැම කෙනෙක් එක්කම වගේ කතා කළා. හැමෝටම වගේ තම තමන් ප්‍රිය කරන බ්ලොග් කරුවන් ඉන්නවා. මම නම් මම ප්‍රිය කරන බ්ලොග් කරුවන් එක්ක කොහොමහරි උත්සාහ කරලා වචනයක් දෙකක් හරි කතාකළා. බොහෝම සුළු වෙලාවකට ආව දුකා අයියාව හැමතිස්සෙම කට්ටිය වටකරගෙන හිටියේ. ඒත් මම කොහොමහරි ගිහින් වචනයක් දෙකක් කතා කළා.

ඉතින් මට කියන්න වුවමනා වුනේ මේකයි. හිතන්න මම මේ හමුවීම් දෙකේදීම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඔහේ කවුරු හරි ඇවිත් මාත් එක්ක කතා කරනකම් වාඩිවෙලා හිටියනම්, සමහරවිට කවුරුත් මාත් එක්ක කතා කරන එකක් නෑ. ඒ වගේම මම ගිහින් අරයත් එක්ක කතා කරලා බයිට් වෙයිද කියලා බයේ හිටියනම් ඒත් මාව කවුරුවත් දැන හඳුනා ගන්න එකක් නෑ. මම නම් කිසිම වෙලාවක එහෙම හිතුවේ නෑ. ඇත්තටම මේ අවුරුදු උත්ස්වේදී තමයි මට මුලින්ම කෙහෙල්කොටුවේ චූටි මහත්තයාව හමු වුනේ. ඉතින් මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක අයිති කාරයා නිසා මම ගිහින් කතා කළා. මම බොහෝ කාලයක් ඉඳන් කමෙට් කරන කෙනෙක් වුනත් චූටි මහත්තයා අයියට මාව මතක නෑ. ඒ වගේ දේවල් සාමාන්‍යයයි. මොකද බොහෝ දෙනෙක් කමෙන්ට් කරන බ්ලොග් එකක අයිති කාරයා කොහොමද ඒ හැම කෙනෙක්වම මතක තියාගන්නේ. හැබැයි දැන් නම් චූටි මහත්තයා අයියට මාව මතක ඇති. ඒත් මම එයා එක්ක කතා නොකර හිටියනම් එයා මාව තාමත් දන්නේ නෑ.

ඔය තනි වෙලා හිටියයි කියන හැමෝටම මම කියන්නේ මේකයි. ඊළඟ සැරේදිවත් අපි හමුවුනාම කවුරුවත් තමන් ළඟට ඇවිත් කතා කරනකම් නොඉඳ පුළු පුළුවන් විදිහට හැමෝම එක්කම වචනයක් දෙකක්වත් කතා කරමු. මොකටද ලැජ්ජවෙන්නේ. අපි අපිනේ. තමන් ප්‍රසිද්ධ නැතත්, තමන් ආස බ්ලොග් කරුවොත් එක්ක කොහොමහරි කතා කරමු. ප්‍රසිද්ධ බ්ලොග් කාරයෝ වටේ හැමතිස්සෙම කට්ටිය වට වෙලා හිටිය නිසා කතාකරන්න බැරිවුනා කියන්නේ නිදහසට කාරණයක් නෙමෙයි. ප්‍රසිද්ධ අය වටේ කට්ටිය පිරිලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අතරේ හරි ගිහින් තමන් කැමති ඒ බ්ලොග් කරුවත් එක්ක වචනයක් දෙකක් කතා කරන එක තමන්ගේ වැඩක්. ඔන්න ඊළඟ සැරේ අපි එකතු වුනාම හැමෝත් එක්කම වගේ වචනයක් හරි කතා කරන්න හොඳේ.

Monday, March 28, 2011

ඇත්තම ආදරේද? මෝඩ කමද? (සංවාදයට විවෘත්තයි)


වෙනදා වගේම ඊයෙත් රෑ 8ට ටීව් එක ඉස්සරහින් වාඩිවුනේ ප්‍රවෘත්ති බලන්න. කාටූන් සහ ක්‍රීඩා වැඩසටහන් හැරුනාම මම බලන එකම දේ තමයි ප්‍රවෘත්ති. ඉස්සර තරම් කොලිටියක් නැතත් තාමත් අනිත් චැනල් වලට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙන නිසා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති තමයි බලන්නේ. ඊයේ ඒකේ ලස්සන ජපන් කෙල්ලෙක් සිංහල කතා කරනවා පෙන්නුවා.  සිංහල කතා කරගන්න බැරි සිංහල බෞද්ධ කෙල්ලෝ ඉන්න රටේ, ජපන් කෙල්ලෝ ඇවිත් සිංහල කතා කරනවා දැක්කම පුදුම හිතුනා. ඒත් මම ඒක ගැන නෙමෙයි කියන්න හදන්නේ.

තම සැමියාගේ හදිසි වියෝව දරා ගැනීමට නොහැකි වූ තරුණිය සියදිවි නසා ගනී!

කෙටියෙන්ම කිව්වොත් ඕක තමයි ප්‍රවෘත්තිය. ඒ අයගේ නම්, ගම් විස්තර අනං මනං නැතුව සරලව ඔය තියෙන්නේ. ඉතිං ඔය ප්‍රවෘත්තිය ඇහුවට පස්සේ මම මගේම සිතුවිලිත් එක්ක තර්ක කරගත්තු හැටියි මේ.

"අප්පේ මේ දෙන්නා කොච්චර ආදරෙන් ඉන්න ඇතිද? දෙන්නත් එක්ක දිවි නහගන්න කියලා ගිහින් ගඟට පැනලා පීනන්න දන්න නිසා මම බේරුනා, අරයා පීනන්න දන්නේ නැති නිසා මැරුනා කියන උන් ඉන්න රටේ මේ කෙල්ල ඒ කොල්ලට කොච්චර ආදරෙන් ඉන්න ඇතිද? මම ආදරේ කරපු කෙනා නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තරමටම කොච්චර ආදරක් තියෙන්න ඇද්ද? මම ඔයාට පණ වගේ ආදරෙයි කියලා ටික කාලෙකින් වෙන එකෙක් එක්ක යාළුවෙන උන් ඉන්න රටේ මේ නම් පුදුම කෙල්ලක්. පුදුම ආදරක් ඇත්තටම හරිම පුදුමයි"

ආයේ තව ටිකකින් මට මෙහෙම හිතුනා

"එක අතකින් බලාගෙන ගියාම මේ කෙල්ල මෝඩයි. මිනිහා මැරුණයි කියලා එයා දිවි නහගෙන හරියවද? නෑනේ. ඒකෙන් ඒ දෙන්නගෙම පවුල් වලට තවත් දුක වැඩි වෙන එකයි වෙන්නේ. අනික තාම ළයිනුත් නැති එකේ ඒ කෙල්ලට වෙන කසාදයක් කරගන්නත් පුළුවන්නේ. ඇයිද මන්දා මෙහෙම දුර දිග නොබලා තීරණ ගන්නේ"

ඔන්න ඔහොම තමයි මට හිතුනේ... 
මට තාමත් තේරුම් ගන්න බැරි ඒ කෙල්ල ජීවිතේ නැති කරගත්තේ ඒ කොල්ලට පණ වගේ ආදරේ කරපු නිසාද නැත්තම් දුර දිග නොබලා ගත්තු මෝඩ තීරණයක් නිසාද කියලා. මොකද හිතන්නේ?

ප.ලි: අද දාන්න හිටියේ වෙන පෝස්ට් එකක්. ඒත් ඒක ප්ස්සේ දානවා කියලා හිතුනේ ඊයේ රෑ ප්‍රවෘත්ති බලපු වෙලේ.

මේ කතාව සංවාදයට විවෘත්තයි. හැමෝම අදසක් දීලා යන්න.

Monday, March 21, 2011

මූණුපොතෙන් සෙවිය හැකිද සැබෑ මිතුරන්?


අනේ මෝඩ යකුනේ...

එහෙන් මෙහෙන් 
ඇප්ලිකේෂන් හොයාගෙන
ඒකෙන් උඹේ හොඳම යාළුවෝ කියලා
එක දෙක තුන විදිහට යාළුවන්ව
පොටෝවලට ටැග් කළාට

මොකක් හරි මඟුලක් හොයන් ඇවිත්
වෝල් එකේ කුරුටු ගාලා
ඔයා මගේ හොඳ යාළුවෙක් නම්
මමත් ඇතුළුව
තවත් ඔයාගේ හොඳම යාළුවෝ
දහ දෙනෙක්ගේ වෝල් වලත් 
මේකම කුරුටු ගාපන් කිව්වට

තමන්ගේ හොඳම යාළුවෝ 
හොයාගන්න පුළුවන් වෙයිද
ඔයවගේ මෝඩ වැඩ වලින්?

පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා
හදිස්සියකදී, කරදරේකදී
ඔය එක දෙක තුන වැටුනු උන්ද
උඹේ ලඟින් ඉන්නේ කියලා...........


ප.ලි: මේක මම ලිව්වේ මගේ යාළුවෙක් මූණුපොතේ කඩ්ඩෙන් ලියල තිබ්බ අදහසක් පොඩ්ඩක් වෙනස් කරලා. එයාගෙන් අවසර අරගෙනයි ලිව්වේ. මේ තියෙන්නේ එයාගේ අදහස.

if you need applications like "Friends Who Always Be There For Me " , "Friends who love me the most", "My best Friends" or "My Top Fans".....and bla blaaaa to recognize your true friends..... then my friend you are "AN ASSHOLE........"..... coz how dumb wld u be f u believe tht a F**king computer application can show your true friends..... ? (මේකේ වචන ටිකක් සැර වැඩිද මන්දා)
Related Posts Plugin for WordPress, Blogger...